බුරති මුන් දෙකොනෙන්ම
බල්ලනුත්
නිගා වේ
පටලවා ගනිති අං
ගොනුන්ටත්
නිගා දේ
ජරා කති ජරා වෙති
සූකරත්
පරා ජේ
එවන් උන් ලොව නසයි
මිනිසා ගෙ
විනා සේ
බුරති මුන් දෙකොනෙන්ම
බල්ලනුත්
නිගා වේ
පටලවා ගනිති අං
ගොනුන්ටත්
නිගා දේ
ජරා කති ජරා වෙති
සූකරත්
පරා ජේ
එවන් උන් ලොව නසයි
මිනිසා ගෙ
විනා සේ
අනිකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු! (මානව හිමිකම් දිනය ස ම ර මු)
මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුනිවත බිදින්න, නැගී සිටින්න ඔබ සූදානම්ද?
ඔබ අසන්නේ මගේ සූදානම කෙබදුද කියාද?
සිදුවූ යමක හේතුඵල සබදතාවය අතීතයට එක්වූයේ කෙලෙසකද, එය එ අයුරින්මය. උපත සිදුවූයේය, පැවැත්ම ගලා යයි, නැවැත්ම කොතැනකද? කෙලෙසකද?
ඒ දක්වා සියලු ව්‍යායාම අපේක්ෂිත ඵල ගෙනෙන්නේද නැත. දාමයක, ජාලයක විටෙක ජංජාලයක පුරුක් වූ අප,
වරෙක දඩයක්කරුවාය, වරෙක දඩයමය නැතහොත් ඇමය.
අපේ ජන්මය ලාභයක්, පාපයක් හෝ සාපයක් වන්නේ ජීවන ක්‍රියාකාරකම් අනුවද?
ඉපයීම, වත්කම, දායාද හෝ හිමිකම් අනුවද?
පැවැත්මේ හා නැවැත්මේ සාධකයත් එයමද?
කුමක්ද එහෙනම් ධර්මයේ කර්මය?
නිව්ටන්ගේ තෙවන නියමය චින්ත ක්‍රියාවන්ටත් වලංගුද? නැතිනම් චින්තනයට විලංගු දමන්නේ දහමද?
ඩාවින් අප නවතින්නට යන තැනක් ගැන ඔබට කීවාද?
ඉදින් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර පමණින් අප දක්නා ලෝකයද සැබෑව, ඉන් එහා යමක් දියුණු මනසකින් දැකිය නොහැකිද?
ඒ දියුණු මනසද, මනෝ ලෝකයක්ද? එවිට පය ගහන ලෝකය පමණක්ද ලෝකය.
අපි කව්රුත් සිහින නොදකින, මානසික ලෝකයක් නැති උන්ද?
ශරීරයකින් පටන් ගෙන ශරීරයෙන්ම අවසන් වන දෙයක් නම් ජීවිතය... මේ හැටි වෙනස් කම් මන්ද ගස් වැලුත් අපත් සංචරණ හැකියාවෙන් පමණක් වෙනස් ජීවීන් නම්..බුද්ධිමත්.
බුද්ධිය යනු ගැට ලිහාගැනීමේ හැකියාවක්, අලුත් ගැට ගැහීමේ හැකියාවක් , ඇයි ලොව පුරා මිනිසුන් මෙපමණ ගැටවල ගැසෙමින් විදවමින්..බුද්ධිමත් නොවීමද පරම හේතූන්?
විවිධත්වය, විෂමත්වය..විටෙක සාමූහිකත්වය, ඒකීයත්වය. අරාජිකත්වය, පරාජිකත්වය..ජරාජීර්ණත්වය...
ආර්ථික සමෘද්ධිය පමණක්ද මේ සියල්ලට ම පිළියම ..
බුද්ධිය අකුරු කළ සද
එය න්‍යායකි
අවබෝධයෙන් කළ විට
අතැඹුලක් මෙනි
හැගීම් අකුරු කළ තැන මරු
රසක් දැනී
ඇලුනු අයට රසයට මධු
විතත් මදි
රොනට ඇදුණු බඹරිදු
බාදුරා මලේ
මල නොව අලය විස වෙයි
නියගලා වැලේ
රසයම සොයා ගොස් වැටිලා
පැණි හැලියේ
දැන් ගැලවෙන්න වලිකන
හැටි කඩිමුඩියේ
පුන් සද ආ ලෙසලු මහකට
එක රෑක
රසයෙන් එළි කළේ හැම
හදකම හීන
අකුරක් මැවූ හැම රසයම
හිත් ලාන
අතුරක් වගෙයි එක විටකදි
මධු බාන
කලු ඇන්දාට
සුදු හදවත්
නොවෙති කලු
සුදු ඇන්දාට
කලු හදවත්
වේද සුදු
කලු සුදු දෙකම
එක්වූ අළු
හදක් දැරූ
මනුසත්කම ය
ගොලු හදවත
පුබුදු කෙරූ..
මොනයම් පාටිත් ඉදහිට
ඉන්කම් එක සරු වූ විට
දාගෙන පොඩිවුන් වටකොට
සැපය කනේ වරද මොකද
කාල යන්න බඩ පැලෙන්න
බීල යන්න කණ පැලෙන්න
ආතල් පිට බණ අහන්න
අපගේ පාටියට එන්න
ස්වාමීන් වැඩ සිටවා
දෙමාපියන් සිහි කරවා
හරි සද්දෙට හඩ දාලා
ගජරාමෙට වැඩ බෝවා
රට ජාතිය නගන්නටයි
බණ දෙන්නේ සැරේටමයි
අප යන මග සදා සුවයි
බැලු බැලු තැන නිවන පෙනෙයි
ආමිස පූජා බෝවේ
පිළිවෙත බල්ලා කෑවේ
දිනක තවත් පින පෑදේ
එදිනට පාටිය උඹවේ
සුදුසුකම් අයිතිවාසිකම් සදහා හේතුවක්, නමුත් සුදුසුකම් යනු අයිතිවාසිකම් සදහා පමණක් හේතුවන්නක් නොවේ. සැබෑ සුදුසුකමට ඊට වඩා දිග පළලක් ඇත.
එනමුත් අයිතිවාසිකම් සදහා පමණක් සුදුසුකම් සපුරා ගැනීමට හුරුකරනු ලැබූ පිරිසක් බහුතරය වූ රටකට තමන් එබන්දන් බිහිකළ කාළකණ්ණිකමේ වරදට වන්දි ගෙවීමටම සිදුවේ.
අයිතිවාසිකමට පමණක් සීමා නොවූ සැබෑ සුදුස්සන්ටද එහි පීඩාව විදින්නට සිදුවේ.
අයිතිවාසිකම ම පතා පාදඩයින් සේ ක්‍රියා කරන්නන් හට ඒවායේ ප්‍රතිවිපාක මත්තේ දී හෝ ලැබෙන මුත් අවබෝධයක් නැති කමෙන් ඔවුන් සදහටම මුළාවේම සිටිමින් අනුනට වෙර වඩනු ඇත.
එහි පාපය නිසැකවම එබදු උන් හා උන්ගේ ගුරුන් වෙතම වනු ඇත! This awurudu yuddayak awasana thahawuru wana ak parama sathyayak wanneda ayay.
රථය බස්
පුද්ගලික ය එ බස්
නොකළ අප කතා බස්
නොවුණි කතිකාවතට බස්
සිටින ඇය අනලස්
මුව මත නැගේ මදහස්
දැක එන මිහිරි අදහස්
පවසා වේද උදහස්
වා පිත් සෙම් රජස්
අපටත් ඇතේ සිව්දොස්
සමාදන් පෙහෙවස්
හැරිය යුතුමය සියලු වස්දොස්
එනිසා තවත් නැත දොස්
අමතක කරමි මගෙ තොස්
පවසමි හුරුම අණ බස්
කිම කරන්නද මමයි කොන්දොස්
ඊයේ ජය නොගත් සත්‍ය අදද
අද ජය නොගත් සත්‍ය හෙටද
හෙට ජය නොගන්නා සත්‍ය නුදුරු දිනයේද
ජය ගනු නියතය
මා
තවදුරටත්
සත්‍ය සමග යමි,
එය සටනකි..
අපූරු ,
ත ම
විස්මිත
කපල
කොටල
ඉරල
රැහැල
හදන්නෙ
ලී
බඩු
විතරයි
ගමක්
රටක්
ලෝකයක්ම
නැසෙන්නෙ
ක්‍රොධ
හිත්
හන්දයි
ජඹුර වලේ මඩ තලනා
සංසාරේ අපි
හිණි පෙළ තරණය නොමකර
සසරේ ගැලි ගැලි
මඩ කැලතෙන හඩට රිද්ම
තාල දමා ලොලි
නටමු පේළි පේළි සැදී
මඩවන ලෙස ගොවි
වැපූරූ කළ තල අස්වැන්නට
නොමදෙයි අල
පැල ඉන්දූ අය හාරති
පැල වල මුල අල
වපුරන කල හොරාට වැපිරූ
මහතුන් කැල
අස්වැන්නේ නුගුණ කියති
මිටිකාගෙන දත
බලය සමග දත කාගෙන
ගැටුනු සම හරක්
සමග ඇදේ තවත් හරක්
කරට ගෙන බරක්
සංසාරේ කියන දුකම
නොවෙද මහමෙරක්
බලය නොවේ වටිනාකම
සබැදි පිළිවෙතක්
ගැයුම් සුගැයුම් ගැඹුරේ
අපේ සන්තානයේ නින්නාදය
අමරදෙව් අමරදෙව්ම වේවා
සසර වසන තුරු
නිවන් දකින තුරු
අපේ පුංචි
හෙළ දීපේ...
අද දොරමඩලාවෙ හරි අපූරු මාතෘකාවක් සාකච්ඡාවට බදුන් වුනා වෙනද වගේම, සියයක්ම ඇත්ත. එතන කීව නිසාම නොවෙයි, කාලයක් තිස්සෙ දකින ඇත්තක පැත්තක් පිළිබද ආපහු තදින්ම දැනුනු නිසා. තමන්ගේම මතවල එල්ලිල ඉන්න උද්දච්ඡ මිනිස්සුන්ගෙ පුහු අහංකාර කෙස් පැලෙන තර්ක නිසා එකතැන පල්වෙන අපේ රට.. දහසකුත් වැරදිකරමින් අනුන්ට උඩුබුරන මිනිස්සුන්ගෙ මාන්නය.. තමන්ගෙන් වෙන වැරැද්දක් ගැන කිසි හැගීමක් නැති උද්දච්ඡ කම. ඒ නිසාම ආත්මාර්ථය තුළටම කැසකවෙන මාන්නය.. ඒ තුළම කෑ ගසමින් පිරිහෙන සමස්ථය..
අපි සුප්‍රබුද්ධ නෑ. නමුත් ප්‍රබුද්ධ බව දැක තිබෙනවා. වැරදි හදාගෙන නිවැරදි වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා. මිනිස්සු නිර්භීත වෙන්න ඕනේ වැරදි පිළිගන්න. රටක් හැදෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ගෙ තරමටයි. අපේ සංවර්ධනයේ හැමදාම 'වෙමින් පවතින' රහස තියෙන්නෙ ඔතනයි.
*'රටක ජාතියක හෝ පුද්ගලයෙකුගේ සාඩම්බරය හෝ අභිමානය වචනාර්ථ කෙසේ වෙතත් කිසිදා නොසැලෙන පුහු උද්දච්ඡ කමක් නොවිය යුතුය' මම සිතමි.
'තරු පිරුනු ලොවක
මගේ තරුවේ මමත්වය
ලොවට එලියදෙන්නට නොව
බැබළෙන්ටයි උවමනාව'
කෙසේ හෝ...
කළ යුතුදේ ම කරන්
හළ යුතු දේ ම හළන්
මරණයට බිය ම නොවෙන්
වැඩිහිටිය
කන්දක් වෙයන්
බොරුව ම පාගා ලන්
ඇත්ත ම ඔසවා ලන්
දෙපයින් ම සිට ගන්
වැඩිහිටිය
කන්දක් වෙයන්
කාලය ම යයි පියඹමින්
සසල සිතමය රැවටෙමින්
ගැඹුරු සැනසුම ගිලිහෙමින්
වැඩිහිටිය
කන්දක් වෙයන්
දරුවනට උස් ලෙස පෙනෙන්
ඉහළ හිද පහළද බලන්
දුරක් ගැඹුරක් සකසමින්
වැඩිහිටිය
කන්දක් වෙයන්
සුද්දාගේ හදවත
කල්ලාගේ හදවත
බල්ලාගේ හදවත
යනු
එකක්මය
මිනිහාගේ හදවත
මිනිස් මොළයට
බලු වෙද්දී
කලු වෙද්දී
බලු හදවත
තවමත් සුදුය
තේරෙන සිංහලය දේශපාලන භාෂාවෙන් රැකිය නොහැකිය. ඉංග්‍රීසියෙන් හිතා සිංහල කතා කිරීමටත්, සිංහලයෙන් හිතා ඉංගිරිසියෙන් කතා කිරීමටත් වඩා සිංහලයෙන් හිතා සිංහලෙන් කතා කිරීමෙන් සිංහලය රැකෙනු ඇත. ඉංගිරිසියෙන් හිතන්නන් ඉංගිරිසියෙන් චැට් කළාවේ. අනිකුත් ලාංකිකයන් තමන්ගේ බස රැක්කාවේ, සිංහල දන්නවුන්වත් සිංහලෙන් දොඩත්ද? අපි මහා ජාතිආලයෙන් මරා ගන්නට පෙර අපේ බස රැකගෙන සිංහලකමට හයියක් දෙමු. සියල්ල ඉංගිරිසියෙන් සරිකර ජාතිවාදයට පමණක් සිංහලෙන් කතා නොදමනු. නැවතත්, දේසපාලන ජාතිවාද බසින් නොනැසී කළ යුතුදේ කරමු. රැකගත් යුතුදේ රැකය යුත්තේ භාවිතාවෙන් මිස චෝදනාවෙන් හෝ මාන්නයෙන් හෝ මෝඩ අහ්ංකාරයෙන් නොවේ. දෙස, බස, රැස මිස එක එක පුද්ගයන් මත්තේ ජාතිය හිලව් නොකොට අඩු තරමේ දන්නා සිංහලෙන් දන්නා අය සමගවත් කතා කරමු. බසේ රස හෝ රැකගමු. දැන් දැන් ඉංගිරිසිය සිංහලයට වඩා සරලවී ඇති බැව් පෙනෙන නිසා දැන්ම කියමි, මව් බස පළමුව...
සිරිමත් මගෙ සකි
ආප්ප කෑ හැටි
ලුණුමිරිසට ගෙන
දරුවෙක් කෑ හැටි
දේශපාලනයට, කෝන්තර වලට විතරක් නොව විනෝදයටත් දරුවා රූකඩයක්, කෙළිබඩුවක් කොට ගනිමුද?
එහෙව් වැඩිහිටියන්ගේ අනාගතයට දේව කරුණාව ලැබේවා!
දෑස් වසන් භාව ආව
ඇස් ඇරගෙන භාව නාව
රැය දහවල ගෙවෙනවාය
හිනහ වෙමින් භාවනාය
වයින් කරපු බෝනික් කෝ
පේන්ට් කරපු සූටික් කෝ
හරි ලස්සන ඔලු බක් කෝ
නරි නලවති බලු කුක් කෝ
අත් පොඩි දී හාදු හාදු
පවසමු අපි සාදු සාදු
එලිවෙනකොට දාදු සූදු
සිත්ගත් අය මාරු මාරු
පිරිවර දහසින් සිටියද
හැම යන තනි ගමනක් ඇත
නොසිතන නොපතන මොහොතක
මෙහි සිට එහි නික්මෙනු ඇත
රතු පාවඩ මට කුමටද
අවසන යන මේ ගමනට
අතුළත් කහවණු දෙණ වට
එක කහවණුවක් හිමි නැත
රවටාගෙන හිස හා හිත
අමතක කළ ඒ මොහොතම
පමණකි තිර වූ හිමිකම
නොතිරවු ගමනේ කෙළවර
අග්ගිස්සෙහි අතු මල් කොළ
වියපත් කළ ලස්සන නැත
මිලිනව හැකිළී ගිය තැන
කුරුලු බඹර හඩ නොඇසෙත
අද හෙට හෝ කලෙකින් තව
ගමනට මා අමතනු ඇත
එම විට එය පිළිගන්නට
සිත සමබර විය යුතුමය
තුටුවිය හැකිනම් මා හට
අබිමුව වුව ඒ මරණය
ජීවිතයෙන් ලද පාඩම
නිසිලෙස මා හදුනා ඇත
ඕවා වැරදි නෙවෙියි
අත් වැරදි
පව්!
බබාලා
බන්ධනාගාර වල දාලා
කව්රුත් වැරදි නෑ
ඔක්කොම නිදහස් කරන්න
අපි කූඩු වෙන්නම්
බබාලා නොවෙයි නොවැ අපි
මේක ජපනුන්ගේ රට වූවා නම්
මේක චීනුන්ගේ රට වූවා නම්
ඉංගිරීසි මිනිසුන්ගේ මදර්ලෑන්ඩ් එක වූවා නම්
ඇමරිකානු බිම වූවා නම්
ප්‍රංශ, ඉතාලිද, ජර්මන්
සිංගප්පූරුද රුසියා
ඈ වෙන අහවල් ජාතියෙ
ඔවුන්ගෙ රට වූවානම්
අප මන අගයක්ද රටට ??
නිකමට හිතුවේ හිතුමට..
නීරස මාර රසයකි
නිරර්ථය මාර අරුතකි
කට්ටයා පට්ට වැඩ්ඩෙකි
"සියවසේ හොරු" සම්මාන උළෙලකි
අත දුන් කෙනා අමතකය
හිත දුන් කෙනා හුරතල් ය
කෙළෙහි ගුණ හොරු ගෙනය
උපන්ගෙයි පොරවල් ය
ඉල්ලීම් අපමණය තව තව
නමුත් සම්පත් සීමිතය
ඩාවින්ගෙ තරගයය
උචිතයාගේ උන්නැතිය හා සන්තැසිය
(එයයි යුගයේ ෆැන්ටසිය)
කාලය ඉකුත්ව
ගිහින්
මිනිස්සු
තාමත්
ජීවත්වෙති
මනු සත්තු
හිත්
ඇතුලේ
මිනිස්සු
අරගල තවම
සමග
මනු සත්තු
රතු එලිය තේරුම් ගත්ත නම්, අපි කහ එලියටත් කොල එලියටත් කැමැත්තෙන්ම කීකරු වෙනව. රටේ ගමන් මගට වැටෙන රතු එලි කවදාවත් අපි හරියට තේරුම් ගත්තෙ නෑ, ඒවට දුන්නෙ දේශපාලන අර්ථයන්. ඒ නිසා අපිට කවදාවත් කහ එලි කොල දකින්න ලැබුනෙ නෑ. හැමදාම හැමදේම ඇනගත්තා. අවුරුදු තිහක් තිබුන යුද්දෙ පවා නිමා කරල අනිත් පැත්ත හැරුනෙ කොහොමද? එකට හිටි මිනිසුන් දෙතුන් ගොඩකට බෙදෙමින්. මේකට වගකිවයුත්තෙ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි, මේ රට වැසි හැම දෙනෙක්ම ඊට වගකිව යුතුයි. සංවර්ධනය වෙමින් පවතින රටක ඉදගෙන අපි හැමෝම කරන්නෙ මොනවද? මතවාද තුළ පිල් බෙදෙමින් කාලය කන එක නොවෙයිද? රටක් වෙනුවෙන්, එහි ජනතාව එනම් අපි වෙනුවෙන් අප කරගන්නා කාරණා කටයුතු වලට ලකුණු, තරු, පදක්කම් ගසා ගනිමින් තවමත් අපි එකතැන පල්වෙනවා නොවේද? එහි සියයට සීයක වගකීමත් අපේමය. විවිධ ලෝක තත්වයන් දේශපාලනයන් ගැන කියවමින් විචාරමින් හිදිනවා විනා, ඒ තුළ තම බඩගෝස්තරය ලැබේනම් අපට ඒ ඇත. පාර්ලිමේන්තුවටම නාකිවූ අප දේශපාලනයේ සීයා පප්පලා පවා කරනුයේ කුමක්ද? තවමත් ලකුණු රැස් කිරීමය. තනි තනිව හෝ අයි.පී.එල් වල ශතක ගැහුවාට රටේ පිලට ඵලක් නැතිසේම, පක්ෂ හෝ පුද්ගලයින් වශයෙන් රැස් කරන ලකුණු රටක නැගිටීමට සපුරා උර දෙන්නේ නැත. අඩු තරමේ දැන්වත් රට වෙනුවෙන් රැස් කල යුතුය. රට වෙනුවෙන් ඉතිරි කල යුතුය. රට යනු අප හැමගෙත් අපේ භූමියේත් එකතුව නම්. රට වෙනුවෙන් ඉතිරිය අප වෙනුවෙන්ම වේවි. රට වෙනුවෙන් ගොඩනැගූ දෑ අප වෙනුවෙන්ම වේවි. ආන්ඩුවේය, අහවලාගේය, මේක පුද්ගලිකය කීවත් හැම දේම සොබාදහමේ බව දැනෙන්නේ මෙබදු කාලවලය. එබැවින් මුහුදෙන් වටවීමෙන්ම අපට සීමා වූ බිම රැක ගැනීම අපට කල හැක්කේ සොබාදහම සමග මිතුරුව පමණි. රටක් සේ පොදුබවින් සළකා කටයුතු නොකිරීමේ සමහර ප්‍රතිඵල මෙතරම් ඛේදවාචක වී ඇත්තේ එනිසාම නොවේද? ස්වේච්ජාවෙන්ම බොහෝකොට තම ශ්‍රමය දායක කරන අපේ බොහෝ අයට පිල් වැඩක් නැත, පාට හෝ දේශපාලන වාද ඵලක් නැත. ඔවුන්ට සේම අප කාටත් අවශ්‍ය අපේ රට කියා සතුටු විය හැකි අපේ රටකි. එය රතු කොල නිල් පාටකට අයත් එකක් හෝ මහින්ද, රනිල්, අනුර, සිරිසේන හෝ සම්බන්ධන් යන පුද්ගල බද්ධ එකක් නොවේ. ඒ කවුරුත් අයත් එකකි. ඒ හැර අප සියල්ලෝද අයත් එකකි. සැබවින්ම එහෙව් රටක් කරා පිය නගනවා නම් තවදුරටත් අප වද වියයුත්තේ පොදුවේ අපේ රට ගැනය. ඉන් ඔබ්බේ අපේ සහෘද ලෝකයා ගැනය. එවිට අපට රටේ ගමන් මාර්ගයේ දැල්වෙන සැබෑ රතු එලි හැබෑවටම පෙනෙනු ඇත. ඒ හදුනා ගැනීම තුළ රටත් ජනයාත් වැඩියෙන් රැකෙනු ඇත. ප්‍රශ්නය නම් එතැනට අපි ගොනුවීම හැමදා කල්යාමයි. යුද්දය නිමාවීමට පාරක් හැදුනේත් අවුරුදු තිහක ඇවෑමෙනි. කාලයක් සාම මාර්ගයකත් කාලයක් යුධ මාරගයකත් රට දෝලනය විය. අවසන යුද්ධයට රට යොමුවිය. ඊට නායකත්වයන්් ලැබුනාසේම එයට බහුතරයාගේ අනුබලය ලැබිනි. දැන් ඇත්තේ වෙනස් වගකීමකි. වෙනස් යුද්ධයකි. පැමිණි තැනින් ඉදිරියට මාර්ගය ගොඩනැගිය යුතු ගමනකි. සාමයෙන් සමෘද්දිය කරා යා යුතු ගමනකි. පවතින කාර්ය නිසි ලෙස විග්‍රහ කොට ගැනීමත් ඊට නිසි නායකත්වය දීමත් රටේ පාලනාධිකාරියෙන් සිදුවිය යුතු අතර ඊට නිසි අනුබලය දීම බහුතර රට වැසියාගේ වගකීමකි. සියලු ලෙසින් ගොඩනැගිය යුත්තේ රටය. එවිට ගොඩ නැගෙන්නේ ජනයාය. වග්කීම හැමට සමානය. වෙනස් විය යුත්තේ අපේ සංකල්පය. බහුතරයාට දිය හැකි හොදම සවියත් යහ සංකල්පයයි, ශ්‍රමයයි. කවුරුත් කල යුත්තේ කළ හැකිදේ අවංකව කිරීමයි. යහ ආකල්පයෙන් මෙබිම අස්වැද්දීමයි නොවෙද? යහපත නම් බලෙන් හෝ පැල කල යුතුමය. සම්මා සංකප්ප වෙත සැවොම එළඹේවා, පටිපදා වෙසගක් මෙබිම පැළවේවා!
මිනිසාගේ සුවිශේෂී හැකියාව උනුන් හා අනුන් රැකීමය.
එහෙයින් තවදුරටත් අප විසින් අපි රැකෙනු ලැබෙත්වා!
උනුන් සේම අනුනුත්, අනුන් සේම උනුනුත් සියලු සත රැකේවා!
සොබාදම් සැනහී අපේ සැනසුමට තවත් අවස්ථාවක් උදාකරත්වා!
ඒ සැදෑවේ අරක්ගෙන සිටියා නුබ මා සිත, කවුලු දොර අස්සෙන් මා නෙත නුබ වෙත රැදවුනේ අහම්බෙන්, ගෙමිදුලටම විත් බලා හිදින්නට තරම් නුබ රූමත්. අවසන් වරට දකින විට සැරසී සිටියේ කලු පැහැති වළාකුලු ඇදුමකින්, එහි දමා තිබූ රිදී හා රන් පැහැති ගෙත්තම් වැඩ අඩ අදුරේ දිස්න දුන්නා. මහා හඩින් ගිගුරුම් දී වැසි වැටුනා සුළු මොහොතකින්, මා වැදුනා නිවෙස තුළට, ඔබ ගියේ කොහිද? නිමාවූ පසු අනෝරා වැසි නුබ සෙව්වත් නොපෙනුනි පෙර හුන් ඉසව්වේ..
දියවන්නාවේ දියවන මැදුර හරිම ජාතික අපරාධයකි. ඉස්සරත් එහෙමය, තවමත් එහෙමය. හැබැයි අප කවුරුත් එයට වගකිවයුතු නැත. අව්කාලා හැදුන අපේ මිනිස්සුනේ. රටේ ඉස්කෝල බොහොමයක මෙන් ඔය රැස්වීමුත් අව් රැල්ලක් බේරෙන ගහක් යට තිබ්බානම් ඉවරයි. හදිසියෙ ගුටි ඇනගත්තත් ජාතික ධනය ඉතිරි වීමක්, දුවල බේරීමත්, කියන ද්විත්ව වාසිය තියනවනේ. අනික අපව නියෝජනය වීම කියන්නේ අපේ මට්ටම තරාතිරමත් එතැන නියෝජනය වෙනවනේ. ඒ නිසා ගහක් යට හොදයි රටේ මහජන නියෝජිතයො රැස්වෙන්න. එතකොට ප්‍රශ්න ගොඩක් අඩුවේවි. තද වැස්සක් ආවොත් වැස්ස පායනකම් නිල රථයෙ ඉන්න බැරියැ.
ජාතිය වෙනුවෙන් නැහෙනා මෙපමණ මිනිස්සුන්
තක්කිට..
ආගම වෙනුවෙන් නැහෙනා අපමණ මිනිස්සුන්
තරිකිට..
කම්කරු ඈ දිළිදුන් වෙත අඩනා උතුමන්
කොපමණ..
ස්වර්ග, දිව්‍ය සම්පත වෙත තවත් මිනිස්සුන්
කොයිවෙද..
තවත් මිනිස්සුන්
සිංහල ජාතිවදීන්, දමිළ ජාතිවදීන්, ඉස්ලාම් අන්තවාදීන්, සියලු ත්‍රස්තවාදීන් හෝ ෆැසිස්වාදීන් හෝ බෙදුම්වාදීන් ... එකම කූඩුවක කූඩු වන, කොටුවන දිනක් ඒවා. එක්කෝ මුන් තමන් සියල්ලෝ එකම මිනිස් වර්ගයා බව වටහාගෙන සමගිව, වටු වැද්දාගේ දැලෙන් නිදහස් වූ වටු රැළ සේ කූඩුවෙන් නිදහස් වී ඉගිලේවි., නැතහොත් එකිනෙකා කා කොටා ගෙන උන් හැම වැනසේවි. එකම ලොවක සහයෝගී පැවැත්මක් නොපතන මෙහෙව් සත්වයන්ට සුදුසු උරුමය එයමතමා...
දූවිලි පොළොවට යා කරන්න වැස්ස වැටෙනවාමයි
ආපහු මල් පුබුදු කරන්නට ඉරත් නැගෙනවාමයි
මරණය ඔබටයි මටයි දවසක එනවාමයි
මියෙන්ට පෙර නැසෙන කාලය ගියොත් ගියාමයි
මේක පෙරුම් පුරන්න තියෙන රටක්
හැදෙනවුන්ට පාරාදීසයක්
නෑදෑකම් ඇති රටක්
දිනුවෙ නැතත් නොපරදින දීපයක්
මගේ රට දිනේවා! සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු ලාංකිකයනට යහපත් අලුත් අවුරුද්දකට සුබ පැතුම්! ජය
කොදෙව්වන්ගේ දිනයේ මිනිස් හාස්කම අපූරුය. විටෙක තම සංස්කෘතිය අපූරු අවියක් කොට ගනිමින් සිය මනසත් මගත් තනාගන්නා ඔවුන්ගේ වසරේ ක්‍රිකට් ජයග්‍රහණ සැබ්වින්ම කොදෙව් නම් නොවේ. කොදෙව්කම පරදන ඒ ජයග්‍රහණ වෙනුවෙන් අපේ සුභ පැතුම්!
සිංහයින් ලංකාවේ නැත. නමුත් අපේ ලයේ අභිමානය කියන්නට හැමදා අපි ගත්තේ සිංහයාය. ඒ නිර්භීත බව, සටන්කාමිත්වය සහිත ජාතියක් ගෙන හැර පාන්නටය. එහෙත් පසුගිය කාලයේ ඒ සිංහයාට තනි අයිතිය කියන්නට ගිය ලයිගර්ලා මෙන්ම, අධි සිංහවංශ පිරිස් තම පුද්ගලික අරමුණු උදෙසා ඒ සත්වයාට විවිධ ඇදුම් ඇන්දුවෝය. අලුත් පරපුර සිංහයා විසේකාර සතෙක් ලෙසින් දකින්නට පටන් ගැනීමත් එහි එක්තරා ප්‍රතිඵලයකි. සිංහයාගේ නීර්භීත අභිමානය උගේ විසේ වූ ලෙසම හොද ගුණයෙන් කලක් නැගුනු සිංහලයාද දුර්ගුණය වැළද විසේකාර ඇදුම් අදිනවාද? විසේ නමැති දුර්ගුණය බස්සාගෙන සිංහ ලයේ ගුණය නොහොත් අභිමානය කරා ආපසු යනවාද?
තීරණය ඔබ අතය, සියලු ජාතීන්ට සේ අපටත් අභිමානයක් ඇත්නම් රටේ සියල්ලන් හා එක්වී රටේ අනාගතයට උරදෙමු. හැබෑ සිංහ ලයක ගැඹුරේ ඇති අභිමානයක් නම් එයමය.
අද පැවති 20/20 ලෝකකුසලාන අර්ධ අවසන් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් දිනාවි යැයි ෆේස් බුක්හි කීමි. මීට පැය කීපයකට කලින් කී දේ දැන් සනාථ වී ඇත. එබැවින් මීඩියා වල අනාවැකි කීමට දැන් මා සුදුස්සෙකු නොවේද? සැක නම් ෆේස් බුක් පරීක්ෂා කර සැකය දුරු කර ගන්න... :-D විශ්වාසයත්, හැකියාවටත්, සුදුස්සටත් ඵල දරන්නට ඉඩ නොදෙනතාක් ලංකාවෙ අපට නම් දෙවි පිහිට තමයි.
හැබෑ කාරුණිකයෝ සුලබම නොවෙති. එබැවින් ඔවුන්ගේ ලතෙක් කරුණාව පතොක් කර ගැනීමෙන් වළකින්න. ඒ කටු ඇණී වණවී ඔබට විනවිය හැකිය.
ප්‍රමාද වී හෝ ගරු කළ යුතු දේ හොයා යමු. හිස නමමු. අපේ සුලු හෝ අකාරුණිකත්වයට ගොදුරු වූ හැබෑ කාරුණිකයෝ වෙත්නම් අපට තවදුරටත් කරුණා කරත්වා!
සංහතියම, සනුහරේම භය,භක්තියට වඩා නිරවුල් පටිපදාව වෙත යේවා! පශ්චාත් පොහෝ දින මාගේ පැතුම එය වේ.
සංස්කෘති, ගුරුකුල පැළැන්ති නඩත්තු කරත්. පැළැන්ති විසින් ඒවා නඩත්තු කෙරෙත්. කලාවත්, මුළාවත් ඔවුන්ගේ තේරීමත් අභිරුචියත් මතම වූ කල... අලුත් අලුත් දෑ නොතකන, නොතනන ජාතිය ලොව නගීවියැ.
කාලයක් කුණු වුනු හදවත් වල සාරය දැන් අතීසාරය වගේ
අමුඩ ගහන් නවතන්නට හැකිවෙද
ඒ
ටයිටැනික් හැපිලා අහවරයි අයිස්කදේ
මිනිස්සු පනිනවා ගැලවෙන්නට මුහුදේ
කොහෙද දුවන්නේ
රෝස් නොවේ ජැක් තව රොත්තක්ම මරු ක්ටේ
පරිසරය, සොබා දම දුන්
මා පිය, දෙගුරු නෑ මිතුරන්
ආගමින් හා දහමින්
නොලද ගට දෙන අපේ උතුමන්
මගේ රජිදා ඒ තුමා
ආගමත් උතුමා තමා
රැකුනෙ මා එතුමා නිසා
රකිමි උතුමන් පන දෙවා
පලමුවත් සරනම යමි
දෙවනුවත් සරනම යමි
ඔබ නැතිව කිසිත් නැති
තෙවනුවත් සරනේම යමි
ඔබ රැකී අප රැකේවා
අප රැකී ගට රැ කේවා
ගට රැකී ගැට දිනේවා
ගැට මතින් රට නැගේවා
සදා ඔබම සරනයි..