Showing posts with label රස්ටා-2. Show all posts
Showing posts with label රස්ටා-2. Show all posts

Friday, October 5, 2012

ක්ලික්..

වෙනස් හවසක ‍වෙනස් දවසක

පාට නැති ‍අහස දෙස බලාගෙන මං

තරුත් නැති සදත් නැති පායයිද හිතෙන්‍නැති

බැහැල යන හිරු බිමට දමා යන රැස්

 

මා එදින සැදෑවේ වෙරළත ඇවිදිමින් සිටයදී දුටු දසුන වහා මගේ තෙවන ඇස මොහොතකට ක්‍රියාත්මක කළේය. 

 

එකිනෙකා එරීගෙන එරුණු පය ඔසවගෙන 

සුමුදු ලෙස අඩි තබන ගමන හතරැස්

රාමුවක දැවටුවේ තෙවැනි ඇස විවර කළ

කාචසිත උරාගත් සැදෑ අව්රැස්


එය අපූරු හතරැස් රාමුවක සිත් ගත වූයේය. මගේ හිත් කැමරාවේ වේගය හා ග්‍රහණය ගැන මට ඇති වූයේ තෘප්තියකි.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

බය

අපි බය නෑ,  කාටවත්..

මෙහෙම කියන අය මෙහේ ඕන තරම්. හැබැයි ධනය, බලය, වර දාන ඉස්සරහ මෙයාල අහන්නෙ "අපි ඇත්තටම එහෙම කිව්වද?" කියල.

බය නොවෙයි මේ අපේ භක්තියයි කියල, දෙමාපියන්ටවත් ජීවිතේට නොවැදපු සමහර අය දේසපාලක‍යින් ඉස්සරහ ප්‍රසිද්ධියේ වැද වැටෙනවා. මේ ලගදිත් මේ වගේ බූරු නමස්කාරයක් ටීවී ‍එකේ දැක්කම මට හිතුනේ මෙහේ මිනිස්සු සම හරක් තවමත් හාන්ට විය ගහේ බදින්න පුළුවන් නේද කියල. ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉන්ධන වියදම් කරන්නෙ නැතිව පොඩි ලියද්දක් හාගන්න. ඒ අදාල දේසපාලකයන් කිව්වොත් කොහොමත් ඒ උදවිය ඕන කුඹුරක් හාන්න විය ගහට බලෙන්ම බැදෙනව. ඒක සහතිකයි.

 දහමෙත් කියල තියෙන විදිහට බය කියන්නෙ මිනිස්සු අගතියට දක්කන කාරණා වලින් එකක්. ඇත්තටම මිනිස්සු බය ඇයි?

ලොකු සංවේදී කමක් තියෙන වයි කියන මිනිස්සු මෙහේ ඉන්න වයි කියන නිසාද, ඔවුන්ගේ හිත හොද කමද මේ අපි බය හැටියට දකින්නේ, එතකොට ඒකමද නිවට කම හැටියට පෙනෙන්නේ.

නෑ, ඇත්තටම බයත්, නිවට කමත් මෙහේ පිරිලා.. දවසෙන් දවස මිනිස්සු ඒකෙන් අගතියට යනවා. නැත්ත ඇත්ත හැටියටත් , ඇත්ත නැත්ත හැටියටත් ඒ උදවියට පේන්න ගන්නෙ මේ අගතියට ඇතුළු වෙන සීමාවෙ. දහමෙ කියවෙන හැටියටම එතකොට මිනිස්සුන්ට කිසිම සරු දියුණුවක් ලබන්න බැහැ. 

සරු දියුණුව කියන්නෙ මිනිහෙක් ශක්තිමත් වෙමින් ඉදිරියට යන එක. නිසරු විදිහෙ දියුණුව කියන්නෙ මිනිහ ඉදිරියට යන්ඩ යන්ඩ බොඩිගාඩ්ලා වැඩි කරගන්ඩ ඕන විදිහෙ දියුණුවක්. බොහෝ විට මෙහේ දේසපාලකයින් බොහෝ දෙනාට මොනදේ නැතත් ගාඩ් හතරවටේ දාගෙන යන්‍න වෙනවනම් පුද්ගලිකව හරි මොළේ තියෙන කෙනෙකුට ඒ උදවියගෙ දියුණුව මොන විදිහෙ එකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. හැබැයි අතරින් පතර වුනත් මෙහේ වෙනස් විදිහෙ දේසපාලකයොත් හොයා ගන්න පුළුවන් කමක් නැහැයි කියන්න මට උවමනාවක් නැහැ.

හැ‍මදේකදිම මෙහේ තවමත් දේසපාලකයො ගැන කතා නොකර මුකුත් කතා ඵලක් නොවන්නේ , ගෙබි නමස්කාරය, බූරු නමස් කාරය කියන එක මෙහේ පරම්පරාවෙන් උරුම කරල තියෙන තත්වයක් ඇති නිසා. දෙමාපියෝ ඒ වාරිත්‍ර අනුගමනය කළා නම් හොද චාරිත්‍ර වලට වඩා ජීවිතය ජය ගන්න මේ වාරිත්‍ර අනුගමනය කරන්‍න දරුවොත් පැකිළෙන්නෙ නැහැ පහුවෙලා හරි. රස්ටාගේ රස්තියාදු තුළ දැක ඇති සත්‍ය නම් එයයි. දේශපාලකයන් ගැන කියද්දී කී‍ සේම මෙයින් වෙනස්වන දූ දරුවන්ද මෙහේ නොසිටිනවා නොවේ. නමුත් සම්ප්රදාය අරකයි.

ඉදින් , මේ බය බලියක් ඇර හෝ නැති කරගන්ට පුළුවන් නම්, මෙහේ බොහෝ දියුණුවක් දකින්නට බැරි කමක් නම් නැත. නිකම් දියුණුවක් නොව වේගවත් දියුණුවකි එය. හැබැයි අනෙකාගේ බය දැක දැක තමනුත් ඒ බය රෝගයක් සේ බෝ වන්නට ඉඩ නොදී, බයට පයින් ගසා එක එකා ලෙස නැගිටියහොත් පමණි එය කළ හැක්කේ.

බොහෝ දෙනා එදිනෙදා දිවියේ රස්තියාදුව ශුද්ධ නොකරන්නේත් බය නිසාමය. මේ ගැන ගැඹුරට ගියහොත් සැබවින්ම මේක පුස් බියක් බව ඔබටද දැනෙනු ඇත. 

අවිද්‍යාව, හේතුව එයයි. 

දහමේ කියවෙන පරිදිම හේතුවක් නැතිවම බියවන්නේ දකින දේ විග්‍රහ නොකර ගැනීමෙනි. රස්තියාදුව ශුද්ධ නොකරගත්තා යනු ද එයයි.

අහස කඩා වැටෙනවා යැයි කියා අර කව්රුද සතෙක් දුවන්නට ගත් විට කැලේ හැම සතාම ඒ පස්සේ වැටුනේත් ඔය බය නිසාමය. ඇත්තටම තමන් බිය වන කාරණා ගැන නුවණින් විමසිය යුතුය.

අද කාලේ හැම දේකටම බේත් තිබෙනවා යැයි සාමාන්‍ය මිනිහා විශ්වාස කරන නිසා ලෙඩ හදා ගැනීම ගැන ඔහුට බියක් නැත. මොකද රජයේ රෝහල හැම විටම තමන් සදහා විවෘත යැයි මිනිහා සිතන නිසාය.  එවිට පරම ලාබය ආරෝග්‍ය යැයි කියා රෝග නොහදා ගෙන ඉන්ට හිතන හෝ ක්රියා කරන අය අඩුවේ.

එපරිද්දෙන්ම බිය ට හොද සංග්‍රහයක් සමාජයෙන් ලැබෙනවානම් බිය වීම ප්‍රශ්නයක් නොවේ. එමට බෝතල්ද, සල්ලිද, උසස්වීම්ද ඇතුළු නොයෙකුත් වරදාන බිය සදහා සංග්‍රහයක් වනවා නම් බිය යනු අගතිගාමී දෙයක් ලෙස සිතා නිර්භයව ක්රියා කරන්ට සිතන්නෝ අඩුවේ. සිදුවී ඇත්තේ එය නොවේද? 

හැබැයි නැත්ත ඇත්ත හැටියට ගත්විට මතුවන බරපතළ ප්‍රශ්නය පසුවටය.  

එනම් මේ බිය නිසා වගකීම් යුතුකම් හරි හැටි ඉටු නොවුනු සමාජයේ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්නයි. 

ඒවාට මුහුණ දිය යුත්තේ පොලිසිය නොවේ. අපිමයි. සමාජයේ අපිමයි. ඉදින් මෙනයින් බැලූ කල විවිධ සමාජ ප්‍රශ්න උදෙසා කොතනදී කාට කොහොම බැන්නත් ඒ ප්‍රශ්න නිර්මාණයේ අප කොතරම් දුරට දායක වනවාද යන්න සිතා බැලීම වටී. බිය නොවී නිර්භයව මිනිසෙක් ක්‍රියා කරන්නට සිතන්නේ එතැනදීය. කිසිදෙයකට බිය නැති මිනිස්සු මෙලොවේ සිටියත් නැතත් බිය නිසා අගතියට යන මිනිස්සුන් ලෙස අප නම් කිසිවිටකත් නම් නොවිය යුතුය. ක්‍රියා නොකළ යුතුය. රස්ටා හැමවිටම පතන්නේ එයයි.

ඔබේ රස්තියාදුවේ මළ ශුද්ධ වේවා..

එසේම මාගේත්.

නැවතත්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,

 

වේවා ජයෙන් ජය..

Wednesday, October 3, 2012

ලෝ

ලෝ කියා කියන්නේ නීතියටයි. බල ලෝ කියා කියන්නේ අනුන්ගේ ලෝ අපට බලන්නට සිදුවීමයි. 

වින් කියන්නේ දිනනවාටයි. මං වින් කියන්නේ මං දිනනවාටයි.

"මං වින් කියා කියන්නෙකුගේ ලෝ බලන්නට සිදුවීම" කාලයක් තිස්සේ මෙහේ අපට නම් මහා අමන කතාන්තරයකි. මෝඩයි කියා රටේ වගකිවයුතු බලයක් ඒ මෝඩයාට ලබාදී අමන ‍මෝඩයාගේ ලෝ දිගින් දිගටම බලා හා රසවිදින ජනතාවක් කුමන මානසිකත්වයක සිටිනවාදැයි මා නම් දන්නේ නැත. මෙය අනාගතයට සපයන්නේ මහා ඛේදවාචක අවාදර්ශයක් බව නම් කිව යුතුමය. (අපද තිත්ත වන තරමට මෙය දැක ඇති මුත් කාරිය කරවන්නන් ගෙන් මේකට පිළියමක් නැත. ඒ නිසා අද ‍එය මෙහේ කාටත් විහිළුවක්ව ඇත.)

අපි ලෝ දකින්නේ සමාජයේ ක්‍රියාත්මක ස්වභාවයෙනි. එය පොත් පත් වල කෙසේ සටහන් වුවත් අපට පොත් පෙරලා වැඩක් නැත. එහි වැදගත් කම ක්‍රියාකාරීත්වයයි.

මොකක් හරි කියූ විට පරණ යුගයේ උන්දලා සම හරක් කියන කතාවකි, ඉතිහාසයේත් ඕවා තිබූ බව. ඉතිහාසයේ තිබුණු නිසාම අනාගතයත් එලෙසින්ම අනාගත යුතුද?

අප දන්නා ලෝ වලින් පාඩමක් මේ අමන මානවයින්ට උගන්නන්නේ නැති නම් ඊට වෙන ක්‍රමයක් තිබිය යුතුය. පමණ ඉක්මවා අමන කම් ඉවසන්නේ නම් එවැනි ජාතියකට දේව පිහිටවත් ඉතිරි නොවනු ඇත. හැම ජඩ කමක්ම කොට අවසානයේ දේව පිහිට පතන උදවිය තවමත් මෙහේ හිඟ නොවේ.

කේතුමතියෙන් අපට පලක් නැත. දෙපා බිම ගසා නැගිටින කොන්දක් ඇති තරුණ පරපුරක් අවැසි බව මග තොට කොතනත් රස්තියාදුවේ දී පෙනෙන්නේ එහි ඌනතාවක් ඇති නිසාය. 

නිවට නියාලු ලෙස හැම ජඩ ගුණයක් ඉවසීමට කියා මොනම දහමකවත් කියන්නේ නැත. දෙමාපියන් දරුවන්ගේ යහපත තකා හැම ජඩ වැඩක්ම නොදැක්කා සේ තම කාරිය පමණක් කොරගන්ට කියා තරුණ දරුවන්ට කියනවා නම්, අපේ අනාගතයට ඉතිරිවන්නේ මිනිසුන් නොව ඩමි පමණකි. 

අපට ඇති සවිය කුමක්දැයි නුවණින් විමසිය යුත්තෝ තරුණ රස්තියාදුවෝය. එක එක සුලභ වර වලට ගිජු නොවී ස්වාධීන චින්තනයකින් දෙපා බිම ගසා දූවිලි මතින් නැගී සිටින්නට බැරි ඇයි?

සමාජයේ ඇත්තේ බරපතළ ප්‍රශ්න නොවේ. ඉතා සරල හැම කලකම තිබූ තිබෙන ඒවා යැයි සාමාන්‍ය පණ්ඩිතයෝ කියති. එය සැබෑවකි. නමුත් මොන සමාජයේත් සැම කලකම පෙරළි කළ ජව චින්තන තිබූ නිසා සමාජය රැකුනු බව කිසිවෙක් නොකියත්ද?

බල්ලෙකුගේ ස්වාමියෙකු විය හැක්කේ මිනිසෙකුටය. නමුත් බල්ලාගේ බලු ගෙරවුමට ඇති බිය නිසා අපි බල්ලා අපේ ස්වාමියා කර ගන්නවාද?

දස අත රස්තියාදුවන රස්ටා නම් දකින්නේ බල්ලන් ස්වාමියන් කරගන්නට දැන හෝ නොදැන පෙළ ගැහෙන බොහෝ දනාය. මෙය වෛරයෙන් කියන්නක් නොවේ. තාරුණ්‍යයේ ජවය තාක්ෂනයෙන් ලොල් කර දියාරු ක්ලේ ඩමි නිර්මාණයක් දැනෙන පෙනෙන දකින නිසා කියන්නකි.

කැලෑ කපාගෙන කැලෙන් එලියට විත් සැහැල්ලු ලෙස මද සු‍ළ‍ගේ පහස විදි මිනිසා, ඉන් ඔබ්බෙහි වැද්දන්ටත් නිගා දෙන විදිහේ කල වැද්දෙක් ලෙස ආපහු හැරෙන්නෙක්ද? බෝනික්කා ලීලාවෙන් හිදින පඩරැල් සතෙක් වන්නේද? 

නැතිනම් පිරිපුන් ජීවී ගුණයෙන් යුතු, නුවණින් හෙබි සත්වයෙක් වන්නේද? පාර දිගේ මති ‍මතාන්තර වෙනුවෙන් සටන් ම නොකළාට තමන් ගේ හිතත් හිසත් කෙළින් තබා හැම දේ ගැන සොයා බලා එඩිතරව ආත්මාර්ථයට ලඝු නොවී කටයුතු කළ යුත්තෙක් වන්නේද? එසේ මිස කෙලෙසකවත් බියෙන් අගතියට යා යුත්තෙක්ද?

අනුන් දුවන රැළේ ඒ පස්සෙම වැටී දුවන්නේ නැතිව, හේතුවක් යුක්තියක් සිතා තීරණයක් ගන්නට බැරි නම්, තමන්ට කළ හැකිදේ ආත්මාර්ථය තකා මගහරින්නේ නම්, ඒ නිවටයෙක් ම පමණි. ඉදින් එහෙව් වූ නිවටුන්ගේ හෙට ලෝකය සදහා සැලසුම බල්ලන් තමන්ගේ ස්වාමියන් කරවීමද? 

බාර් එකේ,  ක්ලබ් එකේ මත් හයියෙන් පිම්බෙන් නේ නැතිව අවංක කමේ, හිතේ හයියෙන් කෙලින් කටින් ඉන්නා තරුණයන් ටික හෝ වේවා.. උන්ගේ රස්තියාදුව ශුද්ධ වී අනාගතයට මනුස්සකම් ටිකක් හෝ ඉතිරිවේවා..

දැන් අපි දන්නෙ අරගන්නයි , විකුණන්නයි විතරයි. ‍මෙහේ අනෙක් බොහෝ හැඟීම් හංගන්නේ බල්ලන්ට බය නිසායි, වැඩිහිටි ගෞරවේ ආරස්සා කොරන්නයි.

ඇත්ත ඒ හැටියෙන් කතා කොරලා ගහගන්න ඕනෑ නෑ ආවේගෙන්. කොරන්න ඕනෑ තේරුම් ගෙන පිළියම් ලෙස වැඩ කිරීම. කාටද දෙයියනේ එහෙම ඕනෑ. මූණට හිනාවෙලා, වැස්සද ඒ පැත්තට කියලා ඇහුව පමණින් අනාගතේ නම් සුභ වෙන්නේ නෑ.

අමාරු දේ වෙනස් කිරීම නොවෙයි. වෙනසක් අවැසි බව තේරුම් ගැනීම. ලොකුම ප්‍රශ්නය ‍ඒකයි. 

දැනෙන සත්‍ය හංගංනේ ඇයි?

සදය ලෙස විචාරයට මං නොහොයන්නේ ඇයි? 

කතාවෙන් ක්‍රියාවට පය නොතියන්නේ ඇයි?

සංයමයත් එඩිතරකමත් තිබූ අතීතයක් ගැන මෙහේ නන්දොඩවනවා යැයි සිතෙන්නේ එවිටයි. දැන් නම් ඒ දෙඩවීමත් නැති තරම්,. ඔහේ දෙනදේ කාගෙන වෙනදේ බලාගෙන ඉමුද තවත්?

එහෙනම් සමුගන්නට අවසරයි,     

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                        

 වේවා ජයෙන්‍ ජය..

සරල

ඔලුවෙ ගැඹුරටම දෙයක් වැදුනම ආපහු හොද හුස්මක් ඇරගෙන එලියට බැහැල හොද හුලඟක් වැදෙන්න හිටියොත් මිස මේ ජීවිත රස්තියාදුව හරිම නීරහ වෙන්න පුලුවන්.

මිනිස්සු සින්දු කියන්න කැමති ඒකයි. එකම හේතුව නූනත් සරල වචන ටිකකින් හිත හෑල්ලු වෙනව සංගීත‍යෙන් වගේම.‍

හුලග කොයි ‍තරම් සැහැල්ලුද, ඇගේ වදිනකොට අපි පාවෙන්නෙ ඒ නිසා. මද සුළගට මං ආසයි ඒ නිසාම. 

සිහිල් දිය ගැන වචන වලින් කියනවට වඩා දාහය ඇති වෙලාවක ඒක අත්හදා බලන්නම ඕන. බොන්න වගේම ඇගේ දා ගන්නත් අපූරුයි. 

ලස්සන වචනම කතා කරන්න පුලුවන් නම් මිනිස්සුන්ට හින්දි වගේ. තේරෙන්නෙ නැති නිසාම හින්දියෙන් බැනුම් ඇහුවත් සැපයි වගේ දැනෙන්නේ.. වචන වල තියෙන මිහිරියාව නිසා නේද,

ගිහින් එන්නම්,

‍එහෙනම්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                         

වේවා ජයෙන් ජය..

ටික්.

ටික්.ටික්.ටික්.ටික්.

මේ විදි‍හට කියූ විට සැනෙකින් ඔබේ මතකයට එන්නේ කුමක්ද, ඔර්ලෝසුව මිසක.

ඔරලෝසුව යනු කාලය පෙන්වන යන්තරයයි. කාලය රන් හා සමාන යැයි අපි කලින්ම කීවෙමු. ඔය රන් වලට වඩා ජීවිතය වටිනා බව දැන් කියන්නෙමු. ජීවිතය වටින්නේ එය සැබෑවටම ජීවිතයක් වුව හොත් පමණි. සතාගේ ද අපේද ඇති වෙනස එයයි. 

සතාටද ජීවිතයක් ඇත. ඌට නැත්තේ ජීවිතය පිළිබද හැඟීම නොව දැනගැනීමය.

සතා රස්තියාදු වන්නේ කෑම හොයන්නටය. අපි රස්තියාදු වන්නේ කුමට?   අන්තිමේදී බැලුවොත් අප රස්තියාදු වන්නේත් බඩ කට පුරවා ගැනීම පිණිසම, තමා. එසේ නොමැති වුව හොත් සිදුවන්නේ මැරෙන්නටයි. 

හැබැයි, මිනිහා කියන සතාට කට බඩ පුරවා ‍ගැනීම පමණක් සෑහෙනවා නම් අදත් අපි කොල අතු එල්ලා ගෙන කැලේම සිටිය යුත්තෝ නොවෙමුද? මිනිහා කැලය කපා ගෙන කැලයෙන් එලියට ආවේ ඇයි?

කැ‍ලෑ කැපීම හැම විටම හොද නැති මුත්, එතනින් එලියට ආ අපි හද වෙතද ගොස් ඉන් ඔබ්බේ චක්‍රාවාට දෙස බලා ගෙන දැන් කුමක් කරමුද?

මේ එලියට යාමේ නිමක් නැත. අප චක්‍රාවාට තරණය කර යමුද?

ඒක පැත්තකින් තියමු. ඉස්සෙල්ලම කාල බීල ඉන්න සල්ලි තියෙන්න ඕන, නිකමට හිතන්න අතේ සතයක් නැතිව මොකුත් හිතන්න පුලුවන්ද?

ඇයි? හිතන්නෙ සල්ලි වලින්ද?

කාලය, හිතන්න කාලය ඕන. කාලය කියන්නෙ මුදල්.

කාලය කියන්නෙ මුදල් නම් මුදල් වලින් කාලය ගන්න පුලුවන්ද?

තර්කය කියන්නෙ මොකක්ද? වචනවල අර්ථ නිශ්චිත කොට ගන්න බැරි වුනහම වචනත් තර්කයත් බල රහිත වෙන්නේ නැද්ද? 

වචනෙට වඩා වැදගත් සමස්ථය තුළ දැ‍නවෙන දේ නොවේද? ආපහු කාලය වැ‍යවෙනවා..

වචන වලට එහායින් මට නම් වැදගත් හිතට දැනෙන දේ, ඒකට වචන වලින් දෙන විග්‍රහයම අවශ්‍ය නෑ.

රසවිදින්න ජීවිතේ, ඒක හොයාගන්න ඕන. හැංගිලා ති‍යන දෙයක් හොයා ගන්න බකං නිලං ඉදල බෑ. අපි හිතනවනම් වෙලාව කියන්නෙ ඔර්ලෝසුව කියල, අපි කාලය ගැන තේරුම් ‍අරගෙන නෑ. අපි හිතනවනම් වටිනාකම තියෙන්නෙ මුදල් වල කියල අපි වටිනාකම තේරුම් අරන් නෑ. අපි හිතනවනම් ජී‍විතේ කියන්නෙ මේ ගත වෙලා යන දෙයයි කියලා අපි ජීවිතේ තේරුම් අරන් ද?

මට නම් මගේ ජීවිතේ හතර මායිම හොයා ගැනීමට තිබේ. උපත මරණය අතර රස්තියාදු වෙන ජීවිතේ .. 

කාලය, මුදල්, ජීවිතේ ... වැය කළ යුත්තේ මොනවාද? ඉපයිය හැක්කේ මොනවාද? අවසන ඉතිරිය මොනවාද?

තීරණය කළ යුත්තේ ඔබයි. 

එතෙක්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                         

වේවා ජයෙන් ජය..

ක්ලච්..

හැමදාමත් වාහන වල යන හින්දා

දඩයම් යුගයේ හිටි බල්ලා සිහි කැන්දා

ඌව උසි කවා දඩයම කර ගන්නා

විලසිනි රිය අසුන මත හිද වැඩ ගන්නා

 

ඔටුවෙකුගෙන්, ගොනෙකුගෙන් , බූරුවෙකුගෙන් බර වැඩ ගෙන තවලම් ද ගිය මිනිසා.. තවමත් උන් අත නෑරියද, ටවුමේ රිය නැවතුම් පොළේ උඩු මහලේ සිටිනා මට පෙනෙන්නේ හතර අතින් ඇදෙනා මොටෝ වාහනම පමණි. 

මොටෝ සයිකල්, මොටෝ රිය, බස් රිය, තුන් සක රිය, හැම කාරිය කෙරෙන්නේ මේ රිය මතින්ම නොවේද, මොටෝ රිය අද බොහෝ සෙයින් ඔටෝ වූවාට තවමත් වැඩියෙන්ම ඇත්තේ මැනුවෙල්ය. මේ කේතුමතිය නොවෙනා හෙයින්ම බරට සද්ද දමන බස් වෑන් අස්සෙන් මගේ සිත් ගත්තේ මැනුවෙල් ගේ මේ ක්ලච් එකය.

"දෙවියනේ, මගේ මොළයත්, හදවතත් අතර නිරන්තරයෙන් මේ යුගයේ ඇති වී ඇති ඝට්ටනයට එක්තරා විසදුමක් නොවේද මේ ක්ලච් එක." මට ටවුමේ කොතෙකුත් රස්තියාදු වෙද්දී මෙලෙස සිතුණු වාර අනන්තය.

මගේ හිත ක්ලච් එක නම්, මොළය වනු ඇත්තේ ගෑස් පෙඩලයද? හදවත ජියරය නම්, සිත නැමැති ක්ලච් එක පෙත්තටම පාගා හදවතේ  එකඟකමින් දමා ගන්නා හරි ජියරය ඒ එකඟකම නිසාම නිදහස් වන ක්ලච් එක නැමැති සිත හරහා මොළය නැමැති ගෑස් පෙඩලයට ලබාදී, වාහනයට අවැසි වේගය ලබා ගත නොහැකිද? හැබැයි හැම වේගයක්ම තීරණය කරන්නේ හදවත දමන ජියරය අනුව නොවේද?

පුඃ..

හැම දෙයක්ම වේගවත් වූ ලොවේ මේ ක්‍රමවේදය මට මගේ ක්රියාවලිය හැඩ ගස්වා ගැනීමට හොද යාන්ත්‍රණයක් නොවේද?

එතකොට බ්රේක් පැඩලය? එය වීරියයි. ජීවිතේ සමහර තැනකදී සිතත් ගතත් දැඩිව මැඩෙන්නට පෙත්තටම පෑගිය යුතුය. එනිසා බ්රේක් පැඩලය වීරිය ලෙස ගැනීමේ වරදක් නැති.

ඉදින් මේ අයුරෙන් යාන්ත්රීකරණය වූ මම, අනෙකුත් ඔටෝ මොටෝ අස්සේ දැන් යන්ත්‍රයක් පරිද්දෙන් ක්‍රියාත්මක වෙමි. මගේ වේගය සුපිරිය. 

දැන් රස්තියාදු වන්නේ මගේම වාහ‍නයේය. 

මම වාහනේ රස්තියාදුවේ යන්නට තෙල් වැය නොවීම වාසනාවකි. හැබැයි ඊට වඩා වටිනා දෙයක් ඒ වෙනුවෙන් වැය නොවනවාම නොවේ.

කාලය, රන් හා සමානයැයි කියනු ලැබේ.

රස්තියාදුවේ යමි, ශුද්ධ වනු පිණිස මගේ වාහ‍නයේ මළ..

එසේ නම් නැවත වතාවක්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                         

වේවා ජයෙන් ජය..

Tuesday, October 2, 2012

පොළේ..

රස්තියාදු වීමට අපූරු තැනකි, පොළ. 

සතියේ කවර දිනයක වේවා, ලාබෙට බඩු ගන්නට මෙහේ අපි යන තැනයි පොළ. ලාබෙට ඇති නිසාම ගන්නට කියා හිතා ගෙන අමතක වේයැයි හිතා කොලයක ලියා ගෙන ගිය වට්ටෝරුව පසෙක දමා, ලාබෙට දුන්‍නු ඒ දේවල් ගෙදර ගෙන එනවාද ‍ඔබ? හරියට ඩොක්ට ‍කෙනෙක් වෙනවා කියා පොඩි‍ එකෙක් පටන් ගත්තු ජීවිත ගමන හෙට වෙ‍නදේ අපි නොදන්නා නිසාම කොන්ඩොක්ට කෙනෙක් ගෙන් අවසන් වීම වැනි දෙයක් නොවේද එය?

ඩොක්ටත්, කොන්ඩොක්ටත් සමාජයකට එ‍කසේ වැදගත්ය. නමුත් ඩොක්ට කෙනෙක් වෙන්නට සිතා සිටි පොඩි එකා ලොකු වෙනකොට කොන්ඩොක්ට දක්වා තල්ලු වූයේ ඇයිද යන්න සිතා බැලීමට වටී.

ලාබෙට දෙන දේවල් ගන්නට ජීවිතය හුරු කරගත් නිසා ඩොක්ට වනවාට වඩා මහන්සියෙන් තොරව ලාබ ලෙස කොන්ඩොක්ට තනතුර ලබා ගැනීමට ලොකු එකා වූ කල සිතුවාද? 

අපි ලොකු වෙනකොට බොහෝ විට ලාබය ගැන සිතන්නෙමු. අපි ලාබය උදෙසා ගෙබිනමස්කාරයට පවා සූදානම් වන්නේ එනිසාය. සමහරෙක් බූරු නමස්කාරය ද කරති. (සත්වයින් උදෙසා පුද පූජා කරන මිනිස් ප්‍රජාව ගැන නොවෙයි මේ කතාව.) මොළේ කළදක් හෝ ඇත්තන්ට එය වැටහෙනවා ඇත.

අමුවට කා තරවී පසුවට මැෂිමක මළ ශුද්ධ කර ඇග බස්සවා ගන්නා ජාතියක්ද? අපි. නැත්නම් ‍එසේ වෙමින් සිටිනවාද? මැෂිමෙන් ඩයිනමෝ විදුලියක්වත් අමතර වාසි හැටියට ලැබෙනවානම්! කමක් නැත.

හැබැයි පයින් ඇවිද මග තොට රට තොට රස්තියාදු වී (පිට්ටනියකට පැන බෝල ගසා) ඒ රස්තියාදු මළ ශුද්ධ කොට ජීවිතයට එක් කර ගත්තා නම් ලැබෙන අමතර වාසිය කෝටියකි, දෙපා ශක්තිමත් වී ඇඟ පාලනය වීමට අමතරව ලොකුම වාසිය නම් මොළයේ නහර හොදින් ක්රියාත්මක වීමට පටන් ගැනීමයි.

ලාබ නිසා වට්ටක්කා වෙනු‍වට බණ්ඩක්කා මිලට ගෙන හරියන්නේ නැත. අතේ ඇති මුදලට ගත හැකි වට්ටක්කාව සොයා ගත යුතුය. ඒ සදහා පොළේ රස්තියාදු වීමට සිදු වනු ඇත. නමුත් එයින් පාඩුවක් සිදු වන්නේ නැත. මන්ද අවශ්‍ය තාව වට්ටක්කාවකි.

අපි අද ජීවිත පැවැත්ම උදෙසා වෙළදපොළ ලෝකයේ ජීවත් වන්නෙමු. ලාබ නිසා අනවශ්‍ය දේ ජීවිතයට මිලදී ගෙන ජීවත් වෙනවාද? අවශ්‍ය දේ රස්තියාදු වී හෝ ලබා ගෙන ජීවත් වෙනවාද?.........   තීරණය ඇත්තේ අප අතේ මුත්, බොහෝ දෙනා මෙහේ නම් පෙළඹෙන්නේ ලාබ ඇඩ් අනුව තීරණ ගැනීමටයි. හොද පාරිභෝගිකයෙක් වීම හොද මිනිහෙක් වීමට වඩා අගනේ යැයි කල්පනා වක් මෙහේ පහළ වෙමින් යන්නේ ඒනිසා විය යුතුය. හැබැයි මෙහේ එහෙම වූවාට කේතුමතියේ නම් ‍එහෙම නොවේ යැයි සමහරු කියති.

කෙසේ හෝ වේවා,

පොළේ රස්තියාදු වීමත් ඒ රස්තියාදුව ශුද්ධ එකක් කර ගැනීමත් ඔබේ වගකීමකි. ඔබ වෙනුවෙන් පොළේ යන්නට මට බැරිය. ඔබේ අවශ්‍යතා හා ඔබේ පඩිය දන්නේ ඔබයි. ගන්නා දේ වළදන්නේ ද ඔබයි. එහි අජීරණයක් වූයේ නම් අනාගතයේ විදවන්නේද ඔබයි. මෙය කියවා අද සිනහසුනේ නම් එදිනට ඔබට මා සිහිපත් වනු නොඅනුමානයි, හැබැයි එය රස්ටාගේ අනුමානයක් පමණි.

ගිහින් එන්නම්,

හමුවන තුරු රස්තියාදුවේ යළි,

 

වේවා ජයෙන් ජය..

ගෙම්බෝ

මෙය ගෙම්බන්ට නිගාව පිණිස ලියන්නක් නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය. වි‍ශේෂයෙන් ඒ පණිවිඩය සත්ව හිතවාදීන් වෙනුවෙනි.

රටක ජාතියක බහුතරය ගෙම්බන් වූ විට එම ගෙම්බන් හැදින්වීමට වෙනත් පදයක් නොමැති බැවින් ගෙම්බා යන්නම භාවිතා කිරීමට සිදුවන්නේ තව දුරටත් එබන්දන් හැදින්වීමට වෙනත් පදයක් තවම භාවිතයේ නොමැති බැවිනි.

ගෙම්බා..

හඬ තැලීමෙහි අතිශය සමත් සතෙකි ගෙම්බා. මේ එවැනි ගෙම්බන් පිළිබදවය.   ඡන්දය විනෝදය පිණිස භාවිතා කරන, කට වල්පල් සදහා භාවිතා කරන, ධර්මය ඇඩ් සදහා පාරිභෝජනය කරන, 2500 ක් ඉතිහාසය වෙන්දේසියේ හා පොළේ විකූණන, කද මෙහේ ඔළුව කොහෝ දැයි නොදන්නා නමුත් දෙපාද ඔහේ මෙහේ ගසා ගෙන සිටින, නිවට කමේ පෙත්තටම කප් ගසා සිටින මුත් ඒ බවද නොදන්නා, පීම්බී මිය යන තෙක් හරි අපූරුවට ජීවත් වෙන, ‍ඛේදයත් , සාපයත් තැන නොතැන සැමතැනම මම දුටුවෙමි. 

රස්තියාදුව උරුමයක් වී ඇති මෙහේ එබදු ගෙම්බෝ බොහෝ වෙසෙති. වරද මේ ගෙම්බන්ට පුද සත්කාර කරන ක්‍රමයක් මෙහේ තිබීමයි. අද මෙහේ පුද සත්කාර ලබන බොහොමයක් දෙනා මේ ගෙම්බෝය. මේ ගෙම්බන්ට ගෙම්බෙකුට වඩා මොළයක් නැත. ‍උංට පුද සත්කාර කරන්නන්ට මොළයක් ඇත. නමුත් උං තම මොළ, ඔළමොල සේ ගෙම්බන්ට විකුණා ඇත. එබැවින් උනුත් ගෙම්බන්මය. 

වගකිවයුතු මිනිසුන්ගේ කාර්ය භාරය මේ ගෙම්බන්ට උන්ට සුදුසු තැන ලබාදී මිනිසුන් ලැග සිටින මඩ වගුරු වලින් එලියට ඒමයි. ගෙම්බන් පුටු රත් කරද්දී මිනිසුන් මඩ වලේ ලැග ගෙම්බන්ට කරවීමට දීම ගෙම්බන් ගේම වූ ලෝකයක් තැනීමට ඉඩදීමකි. එනිසා ගෙම්බා උගේ ලෝකයට තල්ලු කොට අපි මිනිස් ලොවක් තැනිය යුතුය. ඒ සදහා භාවිතා කිරීමට මළ කෑ මොළ ශුද්ධ කොට මළ බැදුණු සිත් ශුද්ධ කොට තෙල් දමා ග්‍රීස් දමා එහි ක්‍රියාකාරිත්වයත් යාන්ත්‍රණයත් ශක්තිමත් කර ගත යුතුය. නැත්නම්, හෙට දිනයේ මිනිස් දරුවන්ට ඉතිරි වන්නේ ගෙම්බන්ගේ ලෝකයකි. වගකීමක්, වගවීමක්, යුතුකමක් නැති උංගේ ලෝකය හෙටට උරුම කරනවාද? හෙට ‍වෙනදේ අප නොදන්නා නමුත් අපට හෙට දිනය මිනිස් දිනයක් කිරීමට සැලසුම් කළ නොහැකිද?

අතන මෙතන කොතන රස්තියාදුවේදීත් දකින ගෙම්බා හා ගෙම්බන් පිටු දැක උංගේ ගෙබිකම් උංට දැනෙන ලෙස පා පහරක් දී අහිංසක ගෙම්බා නොව ඒ ගෙම්බන් එළවීමට තරම් ඔබේ ජීවිත රස්තියාදුව ශුද්ධ කොට ලබා ගන්න පන්නරයක්..

හමුවන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                          

වේවා ජයෙන් ජය..

Monday, October 1, 2012

හෙට

මම හෙට කුමක් කරාවිද අසනවාට වඩා මට හෙට කුමක් සිදුවේවිදැයි ඔබ ඔබෙන් ඇසුවොත්,

එය ඇත්තෙන්ම තේරුමක් නැති දෙයකි.

සිදුවෙන දේ කලින් දැන ගැනීමේ නුවණක් සාමාන්‍ය මිනිසාට නැත. ‍එහෙත් මම හෙට කුමක් කරාවිදැයි යන්නට පිළිතුරක් සාමාන්‍ය මිනිහාට සැලසුම් කළ හැක.

හෙට ගැන අපට ඇත්තේ අනුමානයක් මිස ප්පරත්ත්‍යක්ෂයක් නොවේ. ඊයේ ගැන නම් මට ප්රත්ත්‍යක්ෂය.

එහෙනම් මිනිස්සු ලෝක විනාශයක් ගැන මෙතරම් මාතෘකා කොට ගන්නේ ඇයි. එදා මෙදා කවදත් අනාගතය ගැන අනාවැකි තිබුණි‍. නමුත් මේ කොයි අනාවැකියත් සත්‍ය දැයි ප්රත්ත්‍යක්ෂ කොට ගැනීමට නම් ඒවා අතීතයට එක් වන තුරු සිටිය යුතුය. අපේ විනාශයක් නම් අතීතයට එක් වූ නමුත් එහි ප්රත්ත්‍යක්ෂයෙන් ඵලක් නොවනු ඇත.

අද මෙහේට වහිනවා කියා කීවාට සමහරවිට වහින්නේම නැත. විද්‍යාත්මක අනාවැකි එබදුය. වෙනත් ශාස්ත්තර වලින් කෙස්ගහට අනාවැකි කියනවා යැයි කියනා ඇතැමුන් පිළිබදවද අපට තැබිය හැකි විශ්වාස ඉතා අල්පය.

එසේනම් අනුමාන මත හුදෙක් යැපෙමින් ලෝක විනාශයක් පිළිබද සිහින තනාගන්නේ ඇයි. එක් අතකින් එය හොද වෙළදාමක් වන නිසා විය හැකිය. අනාගතය පිළිබද අනාවැකි හොද බිස්නස් එකකි.

එහෙත් එය අන්තිම නිෂ්ඵලය. කොතනදී හෝ කවදා නමුත් විනාශ වෙන සියල්ලක් මැද ජීවත් වන අපේ විනාශය පිළිබද අනාවැකි කුමට?

අද කළ යුත්ත අදම කොට නිමවා. හෙට කළ යුත්ත ගැන සිතනවා විනා. හෙට කුමක් වේදැයි අහස පොළව ගැටලීම විහිළුවකි.

හැම දෙයක් පිළිබදවම සෙවීම බැලීම උදෙසා කොපමණ රස්තියාදු වුවත් කම් නැත. රස්තියාදුව වටින්නේ අවසන එය ශුද්ධ කොට ගත් විට පමණි. නැතිනම් වන්නේ විවිධ මති මතාන්තර සිත තුළ සිරවී වේදනා ගෙනඒමය.

හෙට කළ යුත්ත මම අද රාත්තිරියේ සිතමි. සමහර විට හෙට මම නොසිටිය හැක. එය ලෝක ස්වභාවයයැයි රස්ටා දන්නා නිසා ගැටලුවක් නැත. නොමැරී සිටින්නට හෝ මැරෙන්නට කිසි විටකත් රස්ටා සිතන්නේ නැත. එහෙත් මරණය අප කාටත් උරුම බව රස්ටා තේරුම් ගෙන සිටින්නේය.

ජීවිතය රඟ මඩලක් යැයි වියතෙකු ‍කීවාසේ,

රංගයේ අවසානය ගැන නොසිතා අපි එහි හොදින් රැඟිය යුතුය. රංගය පිළිබද තෘප්ත සිතක් ඇතිවන්නේ එවිටය. නිසි වේලාවේදී රංගය නිමාවී යනු ඇත. අප ඒ ගැන සිතා කලබල වන්නේ ‍කුමට. එදා මෙදා කවදා ලොව පහළ වූවන්ටත් ඒ රංගය එයාකාරමය.

අපේ භුමිකා අපි සතුටින් රඟමු.

රස්තියාදු වෙමු රඟමඩලේ, හැම විටම ...


හමුවන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                           

වේවා ජයෙන් ජය..

Friday, September 28, 2012

සරුංගලේ

පොඩි කාලේ සෙල්ලං මතකයට නැගුණු නිසා අමතක ම කරන්න බැරි දෙයක් මතකයට ආවා.  ඒ ඔස්සේ පොඩි කාලෙට හිතින් ගිහින් රස්තියාදුවක් ගහන්න හිතුනා.

දහයක් වූ ක්රීඩා අතරේ තිබුණු සුන්දර මතකයක්.

ඒ සරුංගලේ.

සරුංගලයක් හදන්න නම් සෑහෙන දෙයක් ඉගෙන ගන්න වෙනව, පිසික්ස් ‍වගේ විෂයක්. හැබැයි, අපේ ලඟ හිටි අය ඒ ‍මොකුත් නොදැන හිටියට හරියටම සරුංගලයක් බැලන්ස් වන විදිහත්, කූරියා ගහන්නෙ නැතිව උඩ යවන්න සකසන විදිහත් දැනගෙන හිටිය.

අමාරුවෙන් අමාරුවෙන් හරි අනුන්ගෙ සරුංගල් අතර රස්තියාදු වෙමින් මටම කියල උඩ අරින්න නයෙක් හදාගත්තෙ ටිකක් වැඩ දාල.

සරුංගල් කාලෙට ගමේ ගොඩේ කවුරුත් වෙලේ නියරේ කරක් ගහනව සරුංගල් අරින්න මෙහේ ඒ දවස්වල. මමත් මේ රස්තියාදුවෙන් මිදුනේ නැහැ. එකක් උඩ අරින්න ගත්තම වරුවක් ඒක ආ‍කාසෙ හිනි‍ පෙත්තටම යවන්න තරම් කප්පිත්තොත් හිටිය.

දිනක් මගේ නයා සමඟින් මා වෙල් නියරේ ලත වෙමින් හිටියේ පියාද සමඟින්. අප දෙදෙනාටම උඩ යවා ගත නො‍හැකි පරිදි ‍නයා සරුංගලය මො‍කක්දෝ ආබාධයක් කියා පෑවා. ඒ අතර මෙහේ කොලු නඩයේ කෙනෙක් අපේ උදව්වට පැමිණීම අපට සහනයක් වුනා. නයාගේ වලිගයට වෙල් නියරෙන් ගත් වල් පදුරක බර එකතුකළ විට මෙන්න මේක උඩයනවා. අදහස කොලු අයියාගේ. වැඩේ කිරිගහට ඇන්නා සේ. 

නොහිතන විදිහට උඩ යන්න ගත්ත නයා සරුංගලේ බලන්න අපේ කොලු නඩේ එකිනෙකා අප සිටි තැනට එක් වුනා. කෙතේ නියරේ කොතරම් සරුංගල් සමඟින් රස්තියාදු වී තිබුනත් මෙතරම් ජයක් නොලද නිසා මා සිටියේ උද්දාමයෙන්. ඔන්න දැන් බෝලේ නූලත් දිග මදිවෙන ගානයි.

ගෙදර තියෙන අම්මගේ මැහුම් ගෙතුම් වල නූල් ‍බෝල එක එක එලියට ඇද්දෙ තාත්තගෙත් අවසරයෙන්.

ඔන්න මේ වෙන කොට අපේ සරුංගල් කප්පිති අයියෙක් එයාගෙ සරුංගලේ උඩ අරින්න පටන් ගෙන තිබුනෙත් අපට නුදුරු තැනක ඉදන්. ඒ සිද්ධියත් දැන් ගොඩක් වෙලාවක ඉදන්. නමුත් ඒක උඩ යන්නෙ නැහැ, හුළං ප්පරශ්නයක් වගේ. ඒක හින්ද  වෙනද කප්පිත්ත වටේ ඉන්න කට්ටිය අද මගේ වටේ. මොකද අහසෙ ඉන්නෙ මගේ සරුංගලේ.

සාමාන්‍යයෙන් කප්පිත්තෙක් වැඩේ අතාරින්නෙ නෑනේ. එනිසා ඔන්න අනෙත් පැත්තෙනුත් දැවැන්ත සරුංගලයක් අහසට නැගෙන්න ගත්තා ටික වෙලාවකින්ම. දැන් කට්ටියගෙ ඇහැ ඒ පැත්තටත් යනවා. ටිකකින් උඩු හුළඟට අහුවුනු ඒ සරුංගලේ ප්පරමිතියෙන් උසස් නිසා වල් ගසක් වලිගයට ගැට ගැසූ මගේ නයා සරුංගලයට වැඩියෙන් උඩ යන්න ගත්තා. මං හිතන්නේ ඒක උකුසු සරුංගයක්.

දැන් මං වටේ හිටිය නඩේ එකා දෙන්නා ඒ පැත්තට ඇදෙනවා. මගේ සරුංගලේ නූල කඩලාද කැඩිලාද එක පාරටම ඒක ගහගෙන යන්න ගත්තා ආකාසේ හුළඟට ඕනෑ විදිහට. ‍මගේ ලග උන්නු අවසන් කොලු අයියාත් නූල අතහැර යන්න ගියා.

දැන් මමයි පියාණනුයි පමණයි.

‍ආපහු දැන්   ඒ   ගැන හිතනකොට දැනුනේ ජීවිතයත් මේ වාගේ නොවෙද කියල.

අපි තනිවෙනවා, ආ‍කාසේ ඉන්නකම් පමණයි පිරිවර..

අවසරයි එහෙනම්, ගිහිං එන්න.

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                             

                                                                                                                      

වේවා ජයෙන් ජය..