Wednesday, September 30, 2020

අවිචාරයෙන් අ වි චාරයට??(දෙයියන්ට දීම)

රාජකාරිය දේවකාරියක් වීමත් සමාජයෙන් දේවත්වයට මිනිසා ඔසවා තැබීමත් සැබෑ ජනනායකයෝ ලබන දුර්ලභ ගණයේ වරප්‍රසාදයකි. ඒ තුළ තම ජනතාව තවදුරටත් ඉහළට ඔසවා තැබීම එබඳු නායකත්වය තුළ ජනතාව පෙරළා ලබන ප්‍රතිලාභයයි. ඒ ලාභය ලැබීමට නම් අවංකත්වයත් විචාරශීලීත්වයත් නායකත්වය තුළ තිබිය යුතුයි. පෙරළා ජනතාවද ඒ ගුණාංගයන්ගෙන් පෝෂණය විය යුතුයි.
නමුත් දේශපාලනයේ දෙයියන් බිහිවනවා නම් ඒ මහජනයාගේ අවිචාරයෙනි. යුද්ධය, භීෂණය, පරිසර විනාශය තුළ තවමත් අප උගත් පාඩමක් නැතිවීම තුළිනි. සවන්දීමත්, සදය විචාරයත් අපේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ මුල් නොබසින්නට හේතුව කිම? ඒ දේශපාලනීකරණයයි. නිළධාරී වාදයට පදනමද එයමයි. කිසියම් ප්‍රශ්නයකට දේශපාලන සෙවණැල්ලක් වැටුණු තැන සිට එයට ලැබෙන විසඳුමේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් නොපවතී. එසේ නොවන්නට අපේ රටේ ප්‍රශ්න මෙතරම් සංකීර්ණ වන්නේ නැත. අප රටේ දේශපාලකයන් බොහෝ විට උත්සාහ දරා ඇත්තේ ජනතාව නියෝජනය හෝ ජනයාට නායකත්වය ලබාදීමට වඩා බලවතෙක් බවට පත්වීම හා ඒ බලය උරුමයක් ලෙස පවත්වා ගැනීමටයි. ඒ උදෙසා බොහෝ කැපවීම් කරන්නට ඔවුන් සූදානම්ය. අවසනාවට මෙතෙක් එබන්ඳන්ගේ කැපකිරීම් තුළ තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්මම පමණක් නොවේ. ඒ සමඟ වර්ධනය වී ඇති බොහෝ මතවාදයන් හා පිරිසද සමාජය පිරිහෙලන සාධකයන්ය. අවිචාරවත් මාර්ගෝපදේශයන්ය. අවිධිමත් ව්‍යාපාරයන්ය. පවත්නා තත්වය තුළ නිසි භාවිතයක් නැති යන්ත්‍රයක මළකඩ පෙනෙද්දී අලුත් උපාංග සවිකිරීමේ ඵලය කිම?  දහනවයකුත් එකක් සංශෝධන කෝඳුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් යන්නට සමානත්වයකින් දැනෙන්නේ එනිසාය. අපි අප විසින් කරන කියන දේ පිළිබඳ වගකීමක් දැරීමට තරම් ශක්තිමත් හා නිවැරදි රටවැසියන් නොවනතාක් දේශපාලනය බොරුවක් වීමත් අප ඒ ව්‍යාජ දෙයියන් අදහන මිථ්‍යාදෘෂ්ටිකයින් වීමත් වැළැක්වීමට කිසිවෙකුට හැකි වන්නේ නැත. ඒ අඩුව පිරවෙන්නේ දිගට හරහට අපට ගුටිදෙන ස්වභාව ධර්මයා නැමති අපක්ෂපාතී ගුරුවරයාගෙන් පමණි. නමුත් ජෙෙන නිඝන්ඨයන් සේ ඒ ගුරු ධර්මය අප උරුම කරගත යුතු කරුමයක් සේ කරතබා ගන්නේ නම් රටක මිනිස් සමාජයක් ලෙස තවදුරටත් අපට කතා කිරීමට දෙයක් ඇත්තේද නැති. දෙයියන්ට ඉඩ දී බලා හිඳිමු අපි!

Wednesday, September 23, 2020

හොස් හොස්.. වස් දොස්.. හූ...

මෙරට සාම්ප්‍රදායික දේශපාලනය යනු රොටි පුළුස්සන තැටියකි. ඒ ඒ මොහොතේ තැටිය අතට ගත් අය තම තමන්ට රොටි පුළුස්සා ගත් මුත් මහජනයාගේ බලයෙන් රත් වෙන තැටිය මත ඇති සංවර්ධන රොටියේ පැත්ත මාරුවට හැර බුක්ති විඳීම පිණිස අත්පත් කර ගැනීමට නිසි වෙලාවක් හෝ නිසි ඉඩක් කිසිවිට ජනතාවට ලැබුණේ නැත. දෙපැත්තේ අඩුපාඩු හොයමින් පැත්ත මාරු කරන්නට ගොස් රොටියම කරවී අඟුරු වී ඒ ගඳ ඉවවහා ගොස් ඇතත් තවමත් චෝදනාව රොටියේ වැඩියෙන්ම පිළිස්සුණු පැත්ත ගැනයි. ඒ ගැන දෙස් දෙඩවීම් අපමණයි. තමන්ට කන්ට වෙන්නේ රොටි නොව අඟුරු බව දැන දැනත් අලුත් රොටියක් පුළුස්සා ගැනීමට බොහෝ මිනිසුන්ට වීර්යයක් නැති, බලයක් සවියක් නැති. ජෑම් හෝ බටර් තවරා හෝ අඟුරු කන්නට හිතන පතන ඔවුන්ගේ රැළිය හරි සද්දෙන් "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" ගේ භූමිකාවට පණ පොවන්නටයි. අලුත් එන්ජිමකට බලය දුන්නාට ගමන පරණ පීලි මතම නම්, පීලි මාරුවක් සිදු නොවේ නම්, ඒ ගමන බහුතරයේ සදා තෘප්තිය වූ දිනක  අපට හෙටත් අනාගතයටත් අකැමැත්තෙන් වුව ශ්‍රවණය කරන්නට සිදුවෙන්නේ සුපුරුදු සංවර්ධනට පෙර නඟන 'හූ' හඬත් ඒ ගමන් තාලයට අත්වැල් අල්ලන 'හොස් හොස්.. වස් දොස්' හති ලෑමේ රාවයේ ප්‍රතිරාවයක්ම පමණි. 

හරි හුරතල් ආදරේ.. හැමට එක විදිහටමයි!(මේ ආදරයයි)

අණ පනත් පොත් ගොඩවල් ගහපු, රාජ්‍යය ලාංඡන, ආයතනයේ මෙහෙවර දැක්ම ගැන බිත්තියෙ රාමුකරල ගහපු කාර්යාල ඇතුළෙ නීති හරි සනීපෙට නිදි. අපි සමහර ප්‍රශ්න ලිපිගොනු එක්ක ආයතන තුළ  අවුරුදු ගණන් රස්තියාදුවේ. ඒත් ඒ අය නොවෙයි නීති ඇහැරවන්නේ. ක්රිමිනල් කේස් එකක් වෙන්න ගියත් ඒ ආදරේ එහෙමමයි. නෑ නීති ඇහැරවන්නේ. එපමණට ආදරේ.. තරහ වැඩිකමට අපි හයියෙන් කතා කරහම නිලධාරීන් බලධාරීන් දේශපාලකයන්ට හරියට හිතට අමාරුයි. පව්නේ.. අර නීති ඇහැරේවි කියල, කොච්චර අමාරුවෙන්ද නීති නිදි කරවල ඇත්තෙ. තමන්ගෙ හිතවතෙක් ආවොත් විතරක් හරි පරෙස්සමට අතට දෙනව වඩා ගන්න. ඒ වෙනුවෙන් ගේන ටොපි චොකලට් එයාල ගන්නෙ නීති නිදි කරවගන්න මිස වෙන කිසිම හේතුවකට නෙවේ. ඒකයි ආදරේ කියන්නේ..
සැබෑ ආදරේ ගැන ඉගෙන ගන්න නම් ඇහැරවන්න බැරි විදිහට නිදිකරවපු නීති නිසා රටේ මිනිස්සු විඳින විඳවන අපිරිමිත සතුට පිළිබඳ අත්දැකීමක් ලබන්න ඕනමයි.

Sunday, September 13, 2020

ඡන්දය සමානයි, සැළකිල්ල අසමානයි - ඒ කිල්ලට අසුවූ ඡන්ද වලටද?

මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදාගෙන රටත් හදාගමු එදා කීවා
-
නීතිය නො හදා රට හදන්න බැහැ, නීතිය හදාගෙන රටත් හදාගමු මෙදා කීවා
-
දෙව්දත්ලා, ජුදාස්ලා, අජාසත්තලා, පිලාත්ලා ඇතුළු පිරිසකට අවසන අපි ඡන්දය දුන්නා