Thursday, July 26, 2018

නොදනිමි

කීවට අපි ගහ කොළ මල
ඒ වග නොදනී ගහ කොළ
වින්දට අපි ඇළ දොළ නළ
නොදනී ඇළ දොළ ඒ ගැන
සෙව්වත් නිරතුරු වතගොත
අපි නොදනිමු තව අප ගැන
හෙට පා යන ඉර හඳ මැන
පේන කියනු කිම නුබ ගැන


Wednesday, July 18, 2018

ශක්ති සංස්ථිතිය(භෞතිකවාසී මං)

කිසියම් රටක ශක්තිය හානි නොකර දියුණුවට යෙදවීම.. (පරිවර්තනය)  එය අපට පාසලේ භෞතික විද්‍යා පාඩමේ නම් ඉගැන්වූයේ නැත.
භීෂණයෙන්, යුද්ධයෙන්, සුනාමියෙන් හානි වූ රටේ ශක්තිය තව දුරටත් අද අපි නසා ගනිමින් සිටිමු.
ලෝකෙට ලොක්කෝ හදන්නට අපේ දෙමාපියන් වෙහෙසෙන තරමට හෙට දවසේ ලෝකයටම ලොක්කන් මෙහෙන් අපනයනය කළ හැකිවනු ඇත.
අද අපේ අධ්‍යාපනයෙන්ද යහගුණති දරුවෙකුට ඇති පරිසරය ක්රමයෙන් දියවී යනු පෙනේ.
පොත පතට හිමි තැන කුඩු පතට නොගියත් පොත පතේ නීරසයද තාක්ෂණයේ මායා රසයද දරුවන්ගේ මොළයේ ශක්තිය පසෙකින් කුඩේ කුඩුකර ඇත.
පාරේ කුණු හලන්නාගේ සිට පාර්ලිමේන්තුවේ කුණු කෙළ හලන්නා දක්වා තිබෙන්නේ එකම ආත්මාර්ථී චින්තනයකි.
අතේ පයේ ශක්තිය පාරේ තොටේ රස්තියාදු අරගලයටත් කටේදිවේ හයිය ඒ අරගලවල සාධාරණය පතාත් හිතේ හයිය මේ සියල්ල මැද ජීවත්වීම උදෙසාත් යොදන සමාජයක, දෙමාපියන් දකින එකම විකල්ප සිහිනය දරුවා කොතැන හෝ ලොක්කෙකු කරවීමයි.
ඒ අපේක්ෂා ඉටු වීම කෙබඳු වෙතත් එවන් දෘෂ්ටියෙහි පෙළ ගැසෙන බහුතර සමාජයකම ශක්තිය අපතේ යන්නේ රටක සංවර්ධනයට ඇති ජවය හීන දීන කරමින්.
දෑතේ, දෙපයේ, වචනයේ, හිතේ ශක්තිය රටක් ලෙස එක දිශාවකට දිශානුගත කරගන්නට අසමත් අපි තනි තනිව පුංචි රටේ ලොක්කන් වීමට සැරසෙමු.
නූතනයේ අප කාගේත් චින්තනය පෝෂණය කෙරෙන්නේ ඒ අයුරින්මය. ප්‍රභාකරන් ගැන කතා කරන්නවුන් ගේ මෙන්ම හිට්ලර් ගැන කතා දමන්නවුන්ගේත් චින්තනය එබඳු මැයි. දැන් දැන් රටේ සියලුම නායකත්වයන් පෙර කල අපේ බස් රථවල අල්වා තිබූ සුප්රකට ස්ටිකරයේ ප්රතිපක්ෂ භූමිකාව නිරූපණය කරන්නේය. ඒ ස්ටිකරයේ වුයේ "ලොක්කෙකු නොව නායකයෙකු වන්න" යන කියමන හා ලොක්කාගේ හා නායකයාගේ ගති ස්වභාවයේ වෙනසයි.
පුංචි රටක නිවහල් කම යනු රට වෙනුවෙන් රට වැසි සමස්ථයාගේ අවංකව කැපවීමයි. පුරවැසි නායකත්වයයි. ලොක්කෙකු නොව එබඳු නායකයෙකු වීමෙන් දිය හැකි ශක්තියයි. අපේ ශක්ති සංස්ථිතියෙන් දිනාගත හැකි අග්රඵලය එතැනයි.
එනමුත් රටක ශක්තිය සියලු මර්මස්ථාන වලින් අසීමිතව හානි වන තුරු අපට නොලැබෙන්නේ..ත් ඒ ශක්ති සංස්ථිතියමයි.
එබැවින් නොනසා ගන්න ඔබේ ශක්තිය, රටේ දරුවන්ගේ ශක්තිය විවිධ මායාවන්ට දිය වී යා නොදී. යොදවන්න ඉන් හැකි උපරිමය ඔබගේ රට වෙනුවෙන්ම, රටේ දරුවන් වෙනුවෙන්ම.

Monday, July 16, 2018

ආයුබෝ.. පුංචි රටේ ආයුෂය පිණිස!

මේ පුංචි රටේ යම් ලෙසකින් නිධන්ගතවූ වාසනාගුණය වනසා පුංචි මිනිහාගේ නොහැකියාව දඩමීමා කරගෙන ඔවුන්ගේ පුංචි හීන අප්රමාණව අවුළුවා උන් සිය ආශාවන්ගේ වහලුන් කරගෙන යමක් ඇත්තන්ට ප්ජාතන්රවාදයත් කිසිවක් නැත්තන්ට සුභසාධන වාදයත් විකුණමින් සියල්ලන්ගේ හැඟීම් දැනීම් උදෙසා ජාතිවාදයේ ආගම්වාදයේ අන්තවාදී තෙල් ඉසිමින්, පුංචි රටක එකාවන්ව එක්වන්නට ඇති ඉඩ කඩ වෙනුවට බෙදෙන්නට ඇති වැට මායිම් පුළුල් කරමින් කොන්ක්රීට් කරමින් තමන්ගේ බලය නිලය තත්වය පවත්වාගෙනයාම පිණිස මේ පුංචි රටේ ආයුකාලය නසන වනසන කෙළතොලු දේශපාලකයන්ට ද අනෙකුත් බලධාරී නිළධාරී සිවිල් සකළ ප්රජාවගේද නැණස් බද්ධය සඳහා මුන්ගේ කණැස් උගුල්වා දැමේවා!
පුංචි රටක සවි එසවුම යනු කැපවීමම පමණි. ඊට අවැසි විනය විද්‍යාවට අකමැති නම් පුංචි රටේ ආයුෂය තවත් බොහෝකොට පුංචිම කරගැනීමට අපට හැකිය. තම යුතුකමට වඩා ගොඩ ලොකු කරගැනීම උදෙසා වන වත්මන් අරගල බොහොමයක් තුළ ඇත්තේ අපේ වළ අපි විසින්ම කපා ගැනීමේ අන්ධභාවය හැර කවරක්ද? විනයක් විද්‍යාවක් තුළ මිස බලු කපුටු පොරයක් තුළ කවදත් කොතැනත් කිසිවෙකුගේ කුස පිරුණිද? පුරුදු කා කොටා ගැනීමට පාන් ආප්ප වාටි අදත් හෙටත් විසි වනු ඇත, ඒවා මත කා කොටා ගන්නේ බල්ලෝත් කපුටෝත්මය. හැබෑ මිනිසුන් නම් බලු කපුටු දාන දෙන්නේ සිවුපා සුනඛයන්ටත් පක්ෂී කාකයන්ටත් මිස නැණස කණැසක් කරගත් නිවටයන්ට නම් නොවේ. මිනිසුන් වෙනුවෙන් එබඳු දාන සකසන්නේ නීචයන්ය. ඒවා භුක්ති විඳීමට කා කොටා ගන්නේ පිසාචයන්ය. ඉඳින් අන්තයේ මේ භූමියේ ඉරණම කොතැනද යන්න රඳා පවතින්නේ මෙහි වෙසෙන මැදහත් නොනිවට පොදු ජනයාගේ සත් ක්‍රියාවන් මතම පමණය. එහිදී පුංචි මිනිහාගේ වුව සත් ක්‍රියාවන් රටේ ආයුෂය උදෙසා කිසිසේත් පුංචි වන්නේ නැත.

අලුත් පෙම

සූත්‍රිකා
නෙවෙයි
එයා
එල් ඊ ඩී
එකපාරට
යන්නේ නෑ
තාර්කිකයි
පිච්චෙන්නට
රත්වෙන් නෑ
ඇහැට සැපයි
ඇඟට හොඳයි
මං කැමතී
හැම රැයකම
ඉන්නවනම්
තනියට ළඟ

Tuesday, July 10, 2018

දෙවියෝ


'සතිය'

පෙතිය පෙතිය මලක පෙතිය
ගතට සිතට දැණුනි වශිය
රතිය මතිය බිඳුණු සතිය
අබල දුබල නැතිය කෙළිය

රතිය රතිය රතිය කිතිය
සිඳුනෙ මිඳුනෙ රතුව රතිය
සතිය සතිය ඉදිරි සතිය
උදා කළේ උමතු ගතිය

මතිනි දුවන දිවිය සවිය
දැවිනි දැවිනි දැවිනි දිවිය
බිඳෙන ලෙසට රතිය කිතිය
නැවත වැඩිය යුතුය සතිය

සැකිල්ල හා ඇලවිල්ල ((මත මරාගෙන මැරෙති මිනිස්සු ))

ජීවිතය පුරාවටම ඇත්තේ සැකිලි මත ඇලවිලි ය. නැත්නම් සැකිල්ලෙන් ගැලවිලි ය. ඒ කෝක වුවත් ඒ හැම තැනදීම සැළකිල්ල අතිශය වැදගත්ය.
ස්වභාවික, කෘතිම, යකඩ, ප්ලාස්ටීක්, ඩිජිටල්..සැකිලි මේ ඕනෑම දෙයකින් විය හැකිය.
වෙසක්, පොසොන්, තොරණ්, සරුංගල්..මේ ඕනෑම තැනක සැකිලි තිබිය යුතුය.
වෙද, හෙද සිට ගරාජයේ බාස් මහතා දක්වාත් වෘත්තීයමව දිනපතා සැකිලි අතපත ගාන්නෝය..
ඇටසැකිලි මත ඇලවුණු සිරුරුය.
සැකිලි මත නිමැවුණු නිවෙස්ය.
වාහන එන්නේ සැකිලි මත අමුණාය.
ජීවී මෙන්ම අජීවී බොහෝ දේ මෙආකාරයෙනි.
එකී මෙකී නොකී අපේ නිමැවුම් බොහොමයක් මේ සැකිලි මතය.
 අපගේ සමහර තේරීම්ද විටෙක සැකිලි මතය. බොහෝකොට ඇණවුමට ඇලවුම හේතුවක් වනු ඇත.
ජීවීන්ගේ නම් සැකිල්ලේ සවියත් ඇලවිල්ලේ ගුණයත් නිරෝගිකමට බලපානු ඇත.
අජීවී දෙයෙහි වුව ශක්තිය රැඳෙන්නේ බොහෝකොට සැකිල්ලේය.  ඇලවිල්ල යනු පෙනුම හා සුවපහසුවයි.
මිල, තක්සේරුව අධික වන සැකිල්ලෙන්ම සුපිරි වැඩ දෙන යන්ත්රයද මෙලොව ඇත්තේය.
සමහර කලාවකද ඇත්තේ සැකිලි පමණය.
විදර්ශනාව වඩන්නට ඈටසැකිල්ල ඉදිරියේ භාවනාවෙහි යෙදෙන්නෝය.
ලෝ ප්රකට වූ ජැක්සන් ශෙෙලියේ වඩාත්ම ඉස්මතු වන්නේ මිනිස් සැකිල්ලේ සන්ධිවල සංසිද්ධි නොවේද?
බොහෝ නර්තන කලාවන්ගේ දී මේ සැකිල්ලේ අසිරිය ඇලවිල්ලේ සිරිය කරගනු දැකිය හැක.
නමුත් ඇලවිල්ල පොෂ් හෝ පොලිෂ් කළ පමණට  සැකිල්ලේ පොදු සමානතාවය වෙනස් වන්නේ නැත. හරියට මිනිසාගේ වගේය. එනමුත් ස්ත්රී පුරුෂ සැකිලි ලෙසින් නම් බර, හැඩය සුළු වෙනස්කම් සහිතය.
පරිඝණක සජීවීකරණයේදී ද සැකිලි භාවිත වේ.
එනයින් භාවිත ලෝකයේ චලනය කළ නොහැකි සැකිලිවලට  චලනමය වටිනාකම දීමට හැකිය.
රහස් පරීක්ෂණයේදී රස පරීක්ෂණයේදී සැකිලි වලින් වන හෙළිදරව් බොහෝය.
වැදගත්ම දේ සැකිල්ල යනු පාදමක් වීමයි. එහි සමබර බව ශක්තිය සේම බෙදීම් සන්ධි මේ සියල්ල ඇලවිල්ලට අතිශය වටිනාකමක් වීමයි. සික්ස් පැක් හෝ රාත්රී කෑම වර්ජනයෙන් පතන සිරුරේ බෙදුම් රේඛාවන්ගේ වර්ණය එතැන වන්නේ එබැවින්.
ඉතිං වැඩිය ඇලවිලි නොදැමූ මේ කතා සැකිල්ලට මෙතැනින් තිත.

සපි අරලයි???


Monday, July 9, 2018

....චාර.....

අසම්මතය ප්රගුණ කළෝ ඒ අසම්මතයේ උපරිම ශිල්ප දක්වමින් සමාජය විචාර ති.
සම්මතය ප්රගුණ කළෝ ඒ සම්මතයේ උපරිම ශිල්ප දක්වමින් සමාජය විචාර ති.
මඩේ සිට මඩ ගැන කතාකිරීම එකකි. ගොඩේ සිට මඩ ගැන කතාකිරීම තවෙකකි. මඩේ සිටවූ ඉන්න එකකි. මඩේ පිපෙන නෙළුම වෙනමම එකකි. කළු සුදු අළු වලට වඩා ලෝකයේ වෙෙවර්ණ පවතින බව තේරුම් ගැනුම වටී. ඒ වර්ණය පෙනෙන්නේ ඇසටයි. දැනෙන්නේ හිතටයි. එහි අවසන් අර්ථකථනය පෙන්වන්නේ අප ටිකිරි මොළේ තරමයි.

ට්‍රැජඩි-පුංචි හිලෙන් නොපෙනේ අහස

ෆිල්ටි
ගිල්ටි
මල්ලි ගේ
බල්ටි
එච්චරයි
වනන්නෙම
අපේ රට
කලටි
පතුරුගියෙ
නැතිතාක්
හමස්බොක්ස්
පැරණි
උඩ දමා
තලන්නෙම
අද මෙහේ
ට්‍රැජඩි

Wednesday, July 4, 2018

මුග්ධ කාම


පී..කේ...

මිනිස්සු කියන්නෙ එක්තරා දියුණු සත්ත්ව කොට්ඨාශයක්. ජීවත් වෙන මහද්වීප අනුව රටවල් අනුව මිනිසුන්ගේ බාහිර ස්වරූපයේ සුළු සුළු වෙනස් කම් තිබෙනවා. සමේ, පැහැයේ, ඇසේ, නාසයේ, උසේ, මහතේ එනම් ශරීර ප්රමාණය මත ආදී වශයෙන්. ඒවා බොහෝකොට පරිසර සාධක හා ආවේණිය ඔස්සේ ප්‍රවේණි ගත වූ සාධක. එමෙන්ම භාවිතයන් අතින්ද ඔවුන්ගේ වෙනස්කම් තිබෙනවා. එහිදී ප්‍රධාන වන්නේ භාෂාව. ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරගන්නේ කට හඬ මුල් කරගෙන වැඩි දියුණු වී ඇති ඒ භාෂාව නැමති මාධ්‍ය ඔස්සේ. එවැනි වූ භාෂා සුවිශාල ප්‍රමාණයක් මිනිසුන් අතර තිබෙනවා. රටින් රටට මේ භාෂා වෙනස් වනවා සේම එකම භාෂාව විවිධ රටවල ප්‍රචලිත වී ඇති අවස්ථාව තිබෙනවා. ඊට අමතරව එකම රට තුළ එකම භාෂාවේ විවිධ ප්‍රභේද සේම එකිනෙකට වෙනස්ම භාෂාවන්ද භාවිත වෙනවා. ඉන් සමහර භාෂා ඉතා දියුණු තත්වයේ පවතින අතර භාෂාව කටහඩින් තොරව භාවිත කළ හැකි ක්‍රමවේදයන් මිනිසුන් අතර තිබෙනවා. එය භාෂාව සටහන් තබන ක්‍රමයක්. ඒ සඳහා ඒ ඒ භාෂාවට අදාළ නීති රීති පද්ධති තිබෙනවා. මේ භාෂාව මිනිසාගේ දියුණුවට සේම විනාශයටද බලපා තිබෙනවා. රටක රාජ්‍ය භාෂාව ලෙස භාෂාවක් නම් කිරීමේ සිට මේ බසෙන් රට ගැන කීමට තැනූ ගායනා විලාශයක් වන 'ජාතික ගී' ගායනයේදී පවා භාෂා ප්‍රශ්න මතුවිය හැකියි. විශේෂයෙන් භාෂා කීපයක් එකම රටක භාවිත වන විට එය මේ ගැටුමට හේතුවෙනවා. තවත් හේතුවක් වන්නේ මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස දැනුම සියළු දේ මේ භාෂාව ඔස්සේ සන්නිවේදනය වීමයි. එතුළ මේ සියල්ල ඒකාබද්ධව සැකසෙන සංස්කෘතිය නැමැති සමාජ පැවැත්මේ වැදගත් සාධකය ඉස්මතු වීමයි. එනිසා භාෂාවෙන් ඇතිවන අවහිරය නවතින්නේ සංස්කෘතියෙන්. ඒ අවහිරය ගැටුම් යුද්ධ දක්වා වර්ධනය වූ අවස්ථා තිබෙනවා. නමුත් දියුණු ලෝකයේ තාක්ෂණය නැමති සාධකය මත අද වන විට මිනිසා වඩාත් ප්‍රචලිත භාෂාවන් ඔස්සේ පුළුල් සන්නිවේදනයකට ප්‍රවේශය ලබා මිශ්‍ර සංස්කෘතීන්ට ගමන් කර තිබෙනවා. එහිදී දියුණු මිනිසා වටහාගෙන ඇත්තේ අනවබෝධය අවබෝධය තුළින් ජයගන්නටයි. ඒ සඳහා වන මෙවලමක් ලෙස උහු තාක්ෂණය භාවිත කරනවා. අන්‍ය සංස්කෘතික අවබෝධය මෙන්ම ඇගැයීමටත් රසවිඳීමත් ඔස්සේ එකිනෙකා සමීප වීම මෙතුළ සිදුවනවා. තමාට සමාන මූලික අවශ්‍යතා, සමාන හැඟීම් දැනීම් පද්ධතියක් අනෙකා සතු බවත් භාෂාව හෝ සංස්කෘතිය පරිසරමය සාධකයක් බවත් අද මිනිසා හොඳින්ම දන්නවා. නමුත් තවමත් ඈත එපිට රටවල විවිධ ජනකොටස් අතර මේ භේද පවතිනවා. ලෝකයේ දියුණුයැයි කියන රටවල පවා නොදියුණු මිනිස්සු සිටිනවා. නොදියුණු රටවල දියුණු මිනිස්සු සිටිනවා. ජානමය සාධක මත මිනිසුන්ගේ බුද්ධියේ අවබෝධයේ පවතින වෙනස්කම් සේම හැඟීම් දැනීම් පද්ධතියේ ඇති අසීමිත සංස්කෘතිමය බන්ධනයක්ද මේ නොදියුණු කමට හේතුවනවා. මේ නොදියුණු කම දැනුම හරහා යම් මට්ටමක් දක්වා දියුණු කළ හැකියි. ඒ සඳහා අද සමාජයේ බොහෝවිට භාවිත වන්නේ දැනුම අවබෝධය කරා සමාජගත කිරීමේ විධිමත් ක්‍රමවේදයක් වන අධ්‍යාපනය. මෙය විධිමත් ලෙසින් මෙන්ම අවිධිමත් අංශයකින්ද යුතු වනවා. අද අධ්‍යාපනය ආපසු අකුරට යන්නට උත්සාහ කරන විට අපට අධ්‍යාපනය සඳහා මෙවැනි අවිධිමත් අංශ භාවිත කිරීමට සිදුවෙනවා. මිනිසුන් තම පාලන කටයුතු වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන් ඔවුන් කරනා දේශපාලනය ඒ උදෙසා පැවැත්වෙන ඡන්ද මේ සියල්ලට අධ්‍යාපනයෙන් දෙන අවබෝධය බලපෑම් කරනවා. එම නිසා ඒ හරහා මිනිසාගේ නොදියුණු ලක්ෂණ දියුණු තැනකට එසවීම රටවල සංස්කෘතීන්ගේ නොදියුණු ලක්ෂණ වලින් දේශපාලනය කරනා නියෝජිතයන්ට ගැටලුවක්. භාෂාවෙන් සන්නිවේදනයෙන් විසඳා ගත හැකි සරල ගැටළු වර්ණවත් කර සංස්කෘතිය දක්වාත් අවසන ජාතීන් වශයෙන් වෙන් වීම් දක්වාත් ගෙන යන්නට මේ දේශපාලකයන්ගේ දේශපාලනයට හැකියාව තිබෙනවා. ඒ සියල්ලට නොදියුණු මිනිස් ලක්ෂණ, සංස්කෘතිමය බන්ධන වල සිට නොයෙක් වර දාන ලබාදීම ඔස්සේ තමන්ම ගොඩනැංවූ විවිධ සමාජ කණ්ඩායම්ද ඔවුන් භාවිතයට ගන්නවා. මිනිසාගේ දියුණුව ආපසු හැරී ලෝකය විනාශය කරා පන්නන දක්කන තත්වය නිර්මාණය වන්නේ එතැනින්. මිනිස්සු කියන්නෙ 'එක්තරා' දියුණු සත්ත්ව කොට්ඨාශයක් කියා මුලින්ම සඳහන් කෙරුණේ මේ නිසා. ඒ 'එක්තරා' කොටසේ ඇති ගෝත්‍රිකත්වය අභිබැවෙන තත්වයේ සිහියකට එනතෙක් මිනිසා යනු ලෝකයේ දියුණුම සත්වයා නොවේ.

(වො ෝ ට්)ස්


Tuesday, July 3, 2018

වි කලා


ඔය වත වසා ගන්නට උවමනා නැත


පස් මහ බැලුම් - අතිශයින්ම සරල නැත

නිව්යෝක් ටයිම්ස් අපේ ටයිම්ස් වලින් වෙනස්ය. ටයිම්ස් කියන්නේ කාල යයි. බොසතාණෝ කල් බැලුවේ මිනිසුන්ගේ මනසට නැණස පාදා ගන්නට සුදුසු විවේකය සහිත කාලයක් උදාවන තෙක් ය. නිසි කාරණයට නිසි කාලය නොලැබීම අරගලයට කාරණයකි.

කොළඹ පදිංචිය දියුණුවට පහසුකම් සපයතියි අප රට වැස්සන් අතර අදහසක් වෙයි. බෝසතාණෝ තමාට සුදුසු පෙදෙස තෝරාගත්දේත් හොඳ ඉගෙනුමක් දියුණුවක් ලබාගන්නට විය යුතුය. සුදුසු පෙදෙසක නොවීමද අරගලයට කරුණකි.

අපේ රටේ බොහෝ දක්ෂයෝ සිටියත් අඩු තරමේ ඉංග්‍රීසියේ ප්‍රාගුණ්‍යයක් නැත්නම් ජාත්‍යන්තරය යනු අන්තර්ජාලය පමණක් වන්නේය. ජාත්‍යන්තරයේ පෘථුල ඇදහීමක් තබා පෘථුල ලෙස නම රැඳවීමත් අප වැනි චූල සංස්කෘතිකයන්ට අදද පහසු නැත. නමුත් ඒ අතින් ඉන්දියාව, ගැඹුරත් උසත් දිගත් පළලත් සරල සංකීර්ණ මෙන්ම සුන්දර අසුන්දර සීමා මායිම් වලින්ම මහා සංස්කෘතියකි. ඒ පිළිබිඹුවේ සුරක්ෂිතතාවය දැවැන්තය. පැතිරීමද විහිදීමද දැවැන්තය. බෝසතාණන්ට අවශ්‍ය හරබර ස්ථාවරත්වයට එය හොඳම තෝතැන්නක් නොවේද?.. සමහරු පදිංචියට එවැනි දේශ වෙත සංක්‍රමණය වන්නෝය. දේශය නොනැංවීමද නිරන්තර අරගලයට හේතුවකි.

කුල ගෝත්රයට අදට වඩා එදා තිබූ සමාජ පදනම නොකිවමනාය. හුදෙකලාව හෝ හිස ඔසවා ගන්නට, බත් මුඛය පාදා ගන්නට, විලිය තිබුණා වුව තමාට අවැසි ලෙස එය වසා නොවසා ඉන්නට අඩු කුලයන් ලෙසින් නම් දැරූවන්ට අවසර තිබුණේ නැත. බෝසතාණෝ මේ පදනමට පහර දෙන්නට සුදුසු තැන එතැන තෝරා ගති. කුල හීන නිහීන යටපෙළ අදද අරගලයකි.

මවගේ ඒඩ්ස් දරුවෙකුට නවීන සමාජයේද හදිකළ තරම්.මව් මතක් කිරීම නින්දිත ලෙස බුකියේද කෙරෙන්නක්. ගෙදර බුදුන් නම් අපේ ගෙදර ද අනෙක් ගෙදරද වෙනස්ව සිටින්නක. ඇගේ ගුණය දරුවාගේ ගුණය නංවන්නේය. මව අප සමාජයේ ප්රමුඛ ස්ථානයේ අදටත් වන්නේ එබැවිනි. ඉතිං බෝසතාණෝ ඒ ගුණයට සුදුසු තැනම ලබා දුන්නෝය. ජීවනය ලැබීම, කළලය නොමරා ගැනීමම නූතන අරගලයයි.

මේ බොහෝ අරගල වල මූලයන්ය. සසර පුරා මේ අරගලයේ නිමාවක් නැත්තේය.

බෝසතාණෝ උපතින්ම මේ සියළු අරගල වලින් මිදුණ නිසා නිවන වෙනුවෙන් අරගල කරන්නටත් බොහෝ දෙනා මේ අනවතර සසර අරගලයෙන් ගලවන්නටත් හැකිවිය. ඒ  තමන් විසින්ම සසරේ උපයාගත් ශක්තියේම ඥානයේම අනුහසිනි.

පදාර්ථයෙන් ශක්තියෙන් සපිරි ලෝකයක එයින්ම සුසැඳි මිනිසා සියල්ල වෙනුවෙන් සොයන භෞතිකවාදයේ විසඳුම් අදටත් විග්‍රහ නොවූ පදාර්ථ හා ශක්තීන් වෙනුවෙන් අකාලිකව නම් වලංගු නැත. එබැවින් සසරේ ප්රශ්න සදාකාලික අරගල තුළමය-කියන්නට සිදුවේ.