Sunday, November 30, 2014

දූපතක අපි - ............. පෙර කිවයුතුම ටිකකි.

දූපතක වැසියෝය අප. ඒ දූපත් වාසී කම ලජ්ජාවක් වගේ දැනෙන්නේ උපතින්ම හරි පස්සේ හරි ටිකක් ඉංගිරිස් වලින් කටදිව තෙමෙන්න ගත්තාමද? ඉංගිරිස් තුන්වේල ජීර්ණය නොකරන මට නම් නොතේරේ. දූපතක නිසා අතීතයේ සිට කොතරම් උවදුරු වලින් අප ආරක්සා වෙන්ට ඇතිද? ඒ දූපතේ අහුකොන් වල තිබූ දෙයින් අපි කොතරම් නම් පෝෂණය වෙන්ට ඇත්ද? අම්මා තාත්තා මට නම් සුඛෝපභෝගී විදිහට සුරක්ෂිතව කන්නට බොන්නට දුන් නිසා මට ඔය අහු කොන් වැඩක් නැතේ යයි කෙනෙකු කියන්නටද පුළුවන. අනේ මේ දූපත් රට අදටත් බොහෝ දෙයින් වටින්නේ අපටය. අපේ මෝඩ කමට අපි එහිම ලැග එහිම මියෙත්වා.. මෙහි උපන් නිසා කටදිවේ ගෑවී හදවතේත් බුද්ධියේත් ගැඹුරටම කතාකළ සද්ධර්මය උරුමයක් කොට ගත හැකි වීමම අප ලද වාසනාවක් වේවා. ඒ ධර්මයේ කොනක් හෝ අල්ලා ගත් නිසාම විශ්වය ගවේෂණය නොකොටම තමන් තුළින් විශ්වයම වටහා ගන්නා හැටි වටහා ගත් නිසාම මගේ මානසිකත්වය දූපත්ම වේවා.. ඒ මෝඩකම නිසාම පස්වලින් ගොඩ කර දූපත මහද්වීපයක් හෝ අර්ධද්වීපයක් කරනවාට අපේ කැමැත්තක් නැත. අප කීවේ අප වැනි තවත් ගණනකට ගතහැකි අය ඉන්නා නිසාය. 

කලිසම කමිසය ඇන්දාට ඉංගිරිස් වචන කීවාට අපි අපේ රටේ වැදගත්කම ඉහටත් උඩින් අවබෝධ කර ගෙන ඇත්තෙමු. කාට නොවටිතත් අපට අපේ රට වටින්නේය. ජාතියක් ආගමක් මුල්කොට ගෙන අන්තගාමීවන්නට අපට උවමනා නැති සේම පිට පොට පටලවා ගත් සරමත් නොඅදින හෝ රාත්‍රියට දවටා ගන්නා අයගේ කතා අපට උවමනා නොවෙති. පාලකයන්ගේ වරද නිසා අපේ කමත් අපේ දෙයත් අපේ රටත් කියන්නෙහි අර්ථය සාමාන්‍ය මිනිහාට විටෙක පැටලුනාට ඔහුට ජන විඥානය ඇත. ඔහුගේ හිතේ හෝ ජානවල කොනකින් අවතරණය වූ ඒ ආවේණියේ කොටස් ඇත. 

ලෝකෙන් උතුම් රට අපේ රටයැයි අප කියූවේ ආර්ථික විද්‍යාව වැනි තිරශ්චීන විද්‍යා දර්ශක වලින් නොවේ. සද්ධර්මය පිහිටි රට නිසාය. එහෙයින්ම පාලකයාගේ වැරදි හෝ පාලනයේ වැරදි හෝ කාළගුණ දේශගුණ විපර්යාස හෝ රටේ මිනිහාගේ යම් කොනක් අල්ලා ගෙන සමස්ථ රටේ ගලායාම හෝ පැවැත්ම ගැන ඒ අනුසාරයෙන් අගතියට දෙසන්නට අප සූදානම් නැත. වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට අපේ ඇහැකින් බලනවා විනා තිරශ්චීන විද්‍යා ඇසෙන් බැලීම හෙනම ගොබ්බ වැඩකි. මන්ද ද‍හමෙන් පෝෂණය වූ මහ ඉතිහාසයක් ඇති රටක් තම අනාගතය දෙස බැලීමට රබර් ඇසක් භාවිතාව විහිළුවක් වන බැවිනි. 

ආරෝග්‍ය පරම ලාබය නම් සතුට පරම ධනය නම් පළමුව අප ලද යුත්තේ ඒ ආරෝග්‍ය හා ඒ සතුට නොවේද? සමහරුන්ට මේ දෙකම ගන්නට බටහිර විද්‍යාව හා ආර්ථික විජ්ජාව නැතුව බැරිය. මෙහෙම කිව්ව සැනින් සමහරු හාස්‍යට කට අරින්නේ සල්ලි නැතිව හුස්ම ගන්නේ වත් කොහොමද කියා දෙසමිනි. සල්ලි නැතිව තවමත් හුස්ම ගැනීමේ හැකියාව නිරෝගී අයට තවම මෙහේ තිබෙතත් මුදල් නැතිව ජීවත් වීමට නම් නොහැකි බව කොතැනටත් වගේම මෙතනටත් අදාළ වේ. ඉතින් මුදල් හොයන මග පළමුවට ගෙන අර දූපත් කියාගන්නා මානසිකත්වයට පයින් ගසා.. යන රැල්ලේ ගණිකා වෘත්තිය පවා නීතිගත කරමින් සූදු කැසිනෝ පමණක් නොව ආර්ථික වාසි ගෙනෙන ඕනෑ දෙයක් කර පින්නාගෙන අපි ‍යමුකෝ මරු ගමනක්... ධර්මයවත් අහවල් එකක්වත් මක්කෙටැයි.. ඔය දියුණුයි කියන රටවල් වගේ අපිත් යමු මහා ගමනක්..නිර්මාණය වේවි හොද සංස්කෘතියක්..අලුත් රස්සාත් නිර්මාණය කරන්නට තරමේ තවත් ප්‍රශ්නත්... විනාශ වේවි අපේ කියන හැම දෙයක්ම... ඒත් කමක් නැහැ අධිවේගී ගමනක්ම යමුකෝ හෙමින් නොයා. ආපස්ස බලන්නේ නැතිව.. අපේ මිනිස්සුන්ගේ ෆාස්ට් ෆෝවඩ් ගතිය අඩු නම් සියලු විලි ලජ්ජාව එකවිට නසා‍ගෙන අපි යමු අාර්ථිකයේ විතරක් නොවේ විනාශයේත් කෙළවරටම.. එනිසා...................................

කියන දේත් විග්‍රහත් උගත් බුද්ධිමත් භාවයෙන් අගතැන්පත් වූවත් විෂය හා පූර්ණව බද්ධ වූවත් අපේ ක්‍රමයේ වටිනා දේ අපි දැනුවත්ම මෙන්ම නොදැනුවත්වත් අපේ සංස්කෘතිය තුළ ව‍ාගේම අපේ ජාන ‍ව‍ාගේම හිතේත් හැංගී ඇති බවත් ඒවා සඵලදායී පමණට නිරවුල් කොට ගත හැකි හා යුතු බවත් අපි තේරුම් ගැනීම වැදගත්. අනුන් පෙන්වන පහසු හා සරල මාර්ග බුද්ධියට හොදට ගෝචර වූ පමණින් හිතට බොහෝ සේ සිත්ගත් පමණින්ම යපහතක් සපුරා උදා නොකරන බව අපේ දූපත් මානසිකත්වය  තුළ අප ඉගෙන ඇත. 

උගත් බුද්ධිමත්හු දෙසුවාට හැම දෙනාගේ කල්පනාව ඒ උගත්බුද්ධිමත් රටාව ‍නොවේ. එමෙන්ම හැගීම් බරවම දෙඩුවාට එයත් හැමගේ රටාව නොවේ. බොහෝ දෙනා මේ දෙතැනින්ම මධ්‍යස්ථ වූවන්.. ඔවුන්ගේ අදහස අප පරිණාමය වෙන්නට කලින් පරිණාමය අපි විසින් සිදුකර ගැනීම නොවේ. අකලට මේරීම යනු පරිණාමයක් නොවේ. ඩාවින්ගේ පරිණාම වාදයට අනුව උචිත උන්නතිය කියා කියන්නේද කාලයක් යන වැඩකි. එබැවින් අද උචිතයි කියා පේන දේ හෙට නූචිත වන්නටත් අද නූචිතයැයි පෙනෙන දේ හෙට උචිතවන්නටත් බලපාන පරිසරයත් ධර්මයට අනුව අප දන්නා නියාම ධර්මත් බලාහිදී. එබැවින් විද්‍යාවට වඩා එහා ගැඹුරු නියාමයන් දන්නා අප සරල විද්‍යාව හමුවේ වෙව්ලන්නේ ඇයි?? ධර්මය නොදන්නා කමින්ද?? එහි අදහස සරල විද්‍යාවට ගැරහීමක් නොවන බව උගත් බුද්ධීමත් මතධාරීහු තේරුම් ගනිත්වා.. එබැවින් ඒ විද්‍යාවට‍ අදාළවම වර්ධනය හා විකසනය සුදුසු තැන සුදුසු විට උනාවේ.. අප විසින් බලහත්කාරයෙන් සිදු කර ගැනීමට යා යුතු නැත. එයින් කියවෙන්නේ නිහඩව බකංනිලාගෙන සිටිමක් ගැන නොවන බව හැබෑ බුද්ධිමතුන් තේරුම් ගන්නවා ඇත. 

මේ එළඹ ඇත්තේ කාලයක් තිස්සේ රැස්වූ අවබෝධයකින් රටට ගැලපෙන මාර්ගය හදනා අපේ ගමන යාමේ කාලයක් මිස ලොකු හෝ බලවත් යැයි හංවඩු කොටා ගත් රටවල් දෙස බලා මගුල්ගමනේ හැඩ පෙන්වා දික්කසාදයවෙත යන ගමනක් නොවේ. 

එබැවින් රටට හැබෑ බුද්ධිමත්හු පහළවේවා. උගතුන් පිළිබද අංශමාත්‍ර වූ අනියම් හැගීමකින් තොරව මෙසේ ප්‍රකාශ කරන්නේ උගතුන්ගේ මහිම දකින විට උගත් පමණින් අර්ථයක් හැබෑවට ජීවිතයට ළංකර නොගත් බව දකින නිසා පමණි.‍ අපත් නන්නත්තාර නොවී රස්තියාදුවකින් ජීවිතයේ යම් හෝ යහපත් මාර්ගයක් තේරුම් ගත් හෙයින් මෙසේ කියන්නට ‍කරුණු යෙදී ඇත. නමුත් අපත් සමගත් ඉන් පසුවත් බිහිවූ පරම්පරාවේ කතාව බොහෝ සෙයින් උගත් පන්නයට බර වූවාට හරවත් පන්නය ඇමරිකන් හෝ බටහිර ෆෝමැට් රටාවෙන් නිවට කර ඔද්දල් කරවූ බව අපි දන්නෙමු. එයින් පෙන්වන්නේ බටහිර හෝ ඇමරිකන් විරෝධයක් නොව කරුණු සිදුවූ අයුරුය. එයට අපේ රටේ උගත්තුද බොහේ සෙයින් දායක වූහ. නමුත් හැබෑ බුද්ධිමතුන්ගේ වාසය තවමත් මේ රටේ ඇති බැවින් අපේ චින්තනයට යමක් එක්වුනි. ඔවුන් හැමට පින්සිදු වේවා. 

අමුඩය නොඇන්දත් සරමම පටලවාගෙන නොහිටියත් අප‍ේ කියන දේශපාලන හෝ විවිධ සමිති සමාගම් නියෝජනය නොකළත් අපේ කියා කෙරෙනා සියලු නරකත් හොද ලෙස දකන්නටත් මා සූදානම් නැත. එය වෙනමම දෙයකි. අපේ මිනිසුන් නිවරද වන්නට ඕනෑ එතැනින්ය. අපේ කියා කවුරුන් හෝ අපට පටලවා දුන් වැරැද්දත් අර උගත්කමෙන් වල්මත් වුනු අදහසුත් වෙනමම අප විසින් හදුනා ගත යුතුව ඇත. එය එතරම් පහසු දෙයක්ද නොවේ. අලුත් සංස්කෘතියක් නිර්මාණයට අපේ වැඩිහිටියන් පටන් ගත යුත්තේ ඒ නිවැරදි අවබෝධයට පාර කැපීමෙන් මිස කුඩා දරුවන්ට උගන්වන කවි කතාවක කොනක් අල්ලා නොගෙන බව ඉතා ‍වැඩිහිටියන් කෙරෙහි ගෞර‍වයෙන් මෙන්ම අවධාරණයෙනුත් කිව යුතුව ඇත. නැන්දාත් මාමාත් ගතවෙන කාලය ගැන වගකීම් සහගතව නොහිතා දුන්කොළ නැට්ටේ එල්ලුනොත් විදවීම යනු ඇත්තේ පඹගාලක පැටලෙන අනාගත පරපුරටය. ලංකා මාතා කියා මවකගේ දරුවන්සේ හැදෙන ඔවුන් එක වරම ලෝක අම්මා නොහොත් ලොකු අම්මා ගේ ඇසුරට යැවීම හිතනවාට වඩා පහසුවෙන් හා සරලව ගත්තොත් අපටත් ඇමරිකාවට සේම දෙවිපිහිටය. බටහිර බොහෝ රටවලට සේ දෙවිපිහිටමය. දෙවි පිහිටද සද්ධර්මයේ සරණද යන්න ජාති ආගම් වාද වලින් තොරව රටේ සමස්ථය සමග ඉදිරියට ගැඹුරෙන් හිතන්නට අවැසි අයට සිතිවිලි පහළවේවා...

යමක් කී පමණින් අප එක් කෙළවරක තබා නොසිතන්න. මමද ඔබද අපි සාමාන්‍ය වැසියෝම වෙමු. රජ හෝ බමුණෝත් එලෙසම වෙළෙන්දෝත්, ශුද්‍ර හෝ වෙනයම් කොට්ඨාශයකටත් ධර්මය එකමය. ප්‍රතිපත්තියෙන් අගතැන් නැතත් දැනෙන හැගෙන සත්‍ය කීමට එය බාධාවක්ද නොවේ. එබැවින්ම අප/ මා විසින් ..................... පෙර මෙසේ ලියන්නට අදහස් කරන ලදී.

මොන ආර්ථික මග ගත්තත් ධර්මය අමතක කළ තැන් සිට එ් දියුණුවේ පූර්ණත්වයක් නැති බව නම් අපටත් ඒ මග යෑමට සිදුවුවත් පළමුව කිව යුත්තකි. බුද්ධිය සමග ශ්‍රද්ධාව එක්ව ප්‍රඥාව ගැන අප තේරුම් ගත යුත්තේත් දෙසිය යුත්තේත් එනිසාය.

No comments: