Tuesday, August 21, 2018

පොරොත්තුවන්න


වලිග (සටන්)

මාන්නයට ධන බල
නමන තෙක් යටි හිත
මෙරට නැගුමක් නැත
නටන නැටුමක් මිස

පුස්සමයි දකින්නේ
සෙස්සමයි රඟන්නේ
නිස්සමයි නසන්නේ
විසින්මයි නැහෙන්නේ

දෙසන තරමට මුසා
වැදෙයි අත් පොඩි පුතා
සහෝදර කම් හොඳා
කැටත් අරගෙන රටවටේ යං පුතා

විස්ස තිහ හතළිහක්
පනහක් හැටක් හැත්තෑවක්
ට්රයි එකක් දුන්නොත්
වලිග මුත් හොලවාවි බල්ලත්

Sunday, August 19, 2018

මටත් සම්මා ණයක්!

ඇස් ඇරන්
කට ඇරන්
නිදි වරන්
ගෙදර ඉඳන්
බලාන ඉන්නෙ
හම්බවෙනකන්
අඩු පොළියට
සම්මා ණයක්
රැඩිකල් හම විකුණගන්න
සීල් එක ගහන්

Friday, August 17, 2018

මම රහතෙක් නොවේ

මමත්වය ගෙන මනසේ
අවබෝධයේ අයස්ථානය සෙවීමේ
නිවනේ තැන නොතැන සෙවීමේ
විහිළුව හෙළුව නම් වැටහේ
බමුණන්ට නොවැටහේ
සෝපාකට වැටහේ
චුල්ලපන්ථක නූගතා වටහා ගනී
අංගුලිමාල මැර ට ග්රහණය වේ
ඒත් මුග්ධ බමුණන්ට නොවැටහේ
ඒ තෙමෝ ගණන් හදති
සංඛ්‍යානයෙන් විචාර ති
අඛ්‍යානයෙන් අරඹති
අමරාවික්ඛේපවාදයෙන් වස්ති කරති
අවබෝධය අතින්ම අල්ලන්නට හදති
නිවනේ ඇඳුරු නොකී තියරි සොයති
ගෝලන් අඹරට අවුළුවති
අපර අහසේ තරු රටා දැක
ගෝලෝ ස්වර්ගස්ථ වෙති
දැනුමේ අනුභාවයෙන් මත්වෙති
නින්දෙන් ඇහැරී දිව්‍යමය බසෙන්
දනන් අමතති
ජුගුප්සාවෙන් ඔක්කාරය හදති
එතැන් සිට අර්ධ සත්‍ය ඔක්කාරයෙන් පිට වේ
බමුණෝත් වෙස්ගත් බමුණෝත් ඔක්කාර සත්‍යය ජූස් කරති
ඔක්කාර සත්‍ය ජූස් වෙළඳපොළ කළඹයි
ඔක්කාර සත්‍ය ජූස් බී උත්තම වූ බමුණු වැසියෝ
නැවත නැවතත් ඔක්කාරයම කරති
ඔක්කාර සත්‍ය විෂ වේ
වටිනාකම දිය වේ
සත්‍ය නිහඬව වැළලේ
මමත්වය පැළවේ
දෙව්දත් සිහිවේ
දෙව්දත් සටන සිහිවේ
අජාසත් රැවටුනෙ ඇයිද සිත්වේ
නලාගිරිට කව්ද රා පෙව්වේ
බුදුන් වදාළ ධර්මේ
අප්‍රමාදය සිහිවේ
වර්ජන ගර්ජන තර්ජන මැද්දේ
සමාජය ක්රොස් කර බුදුන් දැක්කේ
ධර්මය පෙනේ
රජුන්ද පෙනේ
බමුණන්ට නොවැටහේ
එනමුදු
එව බලව
තව බලව
රස බලව
ධර්මයේ

පරම පර වී..(ජර මර)

පරම බොදුනුවා
පරම කිතුණුවා
පරම ඉස්ලාමිකයා
පරම හින්දුවා
පරම හේතුවාදියා
පරම ...... වාදියා
පරම සත්‍ය නම් හොයන්නේ
ගරහන්නේ කිමද නින්දිතව
කිසිවෙකුත් පරම නොවන බව පෙන්වමින්
ශුද්ධවන්තයන් නොවන හැමදෙනාම
සළකමින් එකිනෙකාට මිනිසත්කමට
අමතාපන් පරම නුවණැසට

Thursday, August 16, 2018

(ආනන්දයෙන් අමන්දානන්දයට) අවබෝධය අතින් ඇල්ලීම-

-ට යාම "බය නැති එකා" ඔබේ කන ඇල්ලීමට හේතුවේ. ඔහුට මොළය තිබුනොත් ඔබගේ කන අතගෑමත් ඔහු සිදුකරාවි.
අවබෝධය ඇත්තේ කොහේද? මොළයේ, මනසේ,
ගින්දර ඇත්තේ කොහේද?
අවබෝධයට හේතුවන සාධක ඇති තැන අවබෝධය පවතී.
ගින්නට හේතුවන සාධක ඇති තැන ගින්න පවතී.
අවබෝධයට හේතුවන සාධක ස්ථාවරයෙන් අවබෝධය ස්ථාවර වේ.
ගින්නට හේතුවන සාධක ස්ථාවරයෙන් සදාකාලිකව ගින්න ස්ථාවර කරගත හැකිය.
අවබෝධය අතින් ඇල්ලිය නොහැක, විමසා පරීක්ෂාකොට බැලිය හැක. බෙදාගත හැකි වුවත් බෙදුවාට පසු ඇමීබා පරිදි ස්ථාවරය තමතමන් සතුය.
ගින්න අතින් ඇල්ලිය හැක, අත පිළිස්සෙනු ඇත. බෙදාගත හැකි අතර ඒ බෙදීම අවුළුවා ගැනීම නමි.

නූතන නොමග

බමුණෝ කිති කවති
එදත් අදත් තම ගෝලයන්
ගෝලයෝ රුචිය කිතියට
එදා තරම්
රාමු හදති බමුණෝ
එදා සිටන්
ඇඳ පුටු මේස මත
සත්‍ය ගවේෂං
භාෂා ඥානය අස්සේ
සත්‍ය රිංගා සෝමපාලගේ උළු අස්සේ
ෂුවර් එකට සත්‍ය ඇත්තේ
ලිප් බොක්කේ අළු අස්සේ
මගේ ලෝකේ
උඹේ ලෝකේ
අපි නොදන්න ආලෝකේ
බෙදන්න තේ හැන්දේ
ස්ටෙන්ලස්ටීල්
අලුත් පිට උවමනාවට වැඩියි දිස්නේ
තර්ක අතර මැද්දේ
මධ්‍යම ලක්ෂේ
හරියට හොයාගත් දවසේ
ඒ අතරමැද හිඳ
දෙපැත්තෙන් තලා ගත්තම
සත්‍ය වෑහේ
මොළේ වී ඉස්මේ

Wednesday, August 15, 2018

ශුද්ධ කරපන්න හද - ලංකා

ඇහැට පෙනෙන පමණින්ම වුව, පිරිසිදු වූ සියල්ල අපිරිසිදු වෙයි. අපිරිසිදු කෙරෙයි. චුල්ල පන්ථක අත වූ රෙදි කැබැල්ල පිරිමැදීමෙන් අපිරිසිදු විය. කාර්මීකරණයෙන් පසු සීග්රයෙන් ගගන දෙරණ අපිරිසිදු වන්නට විය. මිනිසාගේ ආයුෂය විද්‍යාවේ මුක්කු වලින් දිගට දරා සිටියත් බෝ නොවන රෝග, පිළිකා වලින්  තක්කු මුක්කු වීම දිනෙන් දින වැඩිවෙයි. මානසික පීඩාව උග්‍ර වෙයි. පීඩනය වැඩි වෙයි. පිරිසිදු ජීවන රටාවක් තව දුරටත් ඇත්තේ නැත. අපිරිසිදු වූ අප හැම කාලයේ ආකාලයේ රස්තියාදුවකය. දේශපාලනික මිතුදම හරහා ලද බුදුන්ගේ ධර්මය දේශපාලනික භාවිතාව තුළම අපිරිසිදු කර ඇත. පිරිමැදීමෙන් අපිරිසිදු වුනු රෙදිකඩ සේ භාවිතයේ ස්වභාවයෙන් අපිරිසිදු වන ජීවිතය ගැන තේරුම් ගෙන ඉන් මිදීමේ මගක් කියාදුන් බුදුන් අපට කීවේ සාංසාරිකවම අපේ රස්තියාදුවෙන් අප මුදවන මගය. නන්නත්තාරව ජීවිතය සොයා ගත නොහැකිව රස්තියාදු වුනු බොහෝ දෙනා උන්වහන්සේ විසින් ඒ අනවරත රස්තියාදුවෙන් මුදවාගන්නා ලදී. බුදුරඳුන්ගේ මහා පෞරුෂය හදවතේ ගැඹුරට ගත් කිසිවෙකු දේශපාලන හෝ වෙනත් ළාමක තර්ක මත උන්වහන්සේගේ ධර්මය පටලවා නොගනී. බුදුන් දෙස බැලිය යුත්තේ උන්වහන්සේ පවසා ඇති පරිදිම ධර්මය තුළින් මිස බියර් බෝතලයක් හා සිගරට් දුමක් මැද්දෙන් නොවේ. තමන්ට තමන්ව විග්රහ කරගත නොහැකි තරමට අපිරිසිදු වුණු අපි පට්ට ගසමින් ලෝකය ධර්මය නානා ශාස්ත්‍ර විචාරමු. එබඳු විචාර දර්ශන වාද තුළින් යමක් අසු නොවෙනවා නොවේ. පරමාණුව බිඳ බලශක්තිය නිපදවන්නට හැකි සේම එයින් ලොවම මොහොතකින් නසන්නටත් හැක්කේ ඒ විද්‍යාව තාක්ෂණයක් මිස සැබෑ ඥානයක් නොවෙනා බැවිනි. දැළිපිහි දැනුම අවබෝධයෙන් තොරය. අපිරිසිදුය. ලෝකයේ ස්වභාවයද ගතිකය. සත්වයාද ඇතිවී නැතිවී යයි. එන්නේ කොහෙන්ද යන්නේ කොතැනටද භෞතිකව සිතා කටයුතු කිරීම පමණක් සෑහෙන්නේ නම් ලෝකය පිළිබඳ ගැටළුව බොහොම සරල  එකකි. බඩෙන් ඇවිත් කනත්තෙන් ඉවර වෙනවා නම් සියල්ල අපේ පංචේන්ද්රියන්ට හසු වෙනවා නම් ලෝකයට මෙතරම් උපකරණ උවමනා ද නැත. එසේ උපකරණ අදත් නිපදවෙනවා නම් එහි අරුත එකවර අපේ පංචේන්ද්රියන්ට හසු නොවන තවත් කොතෙකුත් දෑ පැවතිය හැකි බවය. බුදුන්ගේ ඥානය විමසීමට අප භාවිත කරන්නේ අපූරු නිර්ණායකය. හොඳට පදමට මොළය මත් කර අපි ධර්මය විචාරමු. එසේ නොවන අවස්ථාවන් ගැන කීමට ඇත්තේ අයින්ස්ටයින්ගේ ඥානය සේ බුද්ධ ඥානය නොසැළකිය යුතු බවයි. තවදුරටත් කීවොත් ඇපල් ගෙඩිය ඔලුවට වැටීමෙන් නිව්ටන්ගේ චින්තනය අවදිවීමත් සතර පෙර නිමිති දැක බෝධිසත්වයන් සිදුකළ අභිනිෂ්ක්‍රමණයත් කිසිසේත් සමාන නොවන බවයි. බුදුන් ගැන ඉඳුරා කිව හැකි තවත් බුදුවරයෙකුට පමණක් බව බුදුරඳුන් ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර මුල් තැන සිටි සැරියුත් තෙරුණට පැවසුවා නම් අපේ ප්රමාණයෙන් බුදුරඳුන් ගැන තීරණය කිරීම අපටම බාරය. ලෝකයේ සුපිරිම පරිගණක සමහරවිට ඇත්තේ එකකි? බොහෝවිට තවත් එවැනි එකක් නැත. එය සරල කතාවකි.
එසේ වූ පමණින් තමන් අවබෝධ කොටගත් ගැඹුරු දහම අපටද අවබෝධ කරගත නොහැකි බව උන්වහන්සේ කීවේ නැත. දක්ෂ ගුරුවරයා යනු තමන්ගේ අවබෝධය සිසුවාගේ පමණට ගලපා දිය හැකි තැනැත්තාය. සම්මා සම්බුදුු ලෙස උන්වහන්සේ හැඳින්වෙන්නේ එබැවින්ය. විද්‍යාව විග්‍රහ කිරීමට විද්‍යාවේ පද තිබේ. ඒවායේ අරුත බැඳෙන්නේත් විද්‍යාව විග්‍රහ වන තැනටයි. ධර්මයටත් එසේමය. බුදුන් හෝ උන්වහන්සේ සම්බන්ධ කරුණු සමහරක් වෙනත් වචන වලින් විස්තර කිරීමම අදටත් අපිරිසිදු කරගෙන ඇති ධර්ම විග්‍රහ තවත් පටලවා ගැනීමකි. ගැඹුරේ අත පතගාන්නට හදන බොහෝ දෙනාට බුදුන්ගේ ධර්මයේ ඇවිත් බලන්නට කියා කියන තැනම ඇති ගැඹුර නොපෙනේ. ත්‍රිලක්ෂණය, හේතු ඵල දහම, චතුර්ආර්ය සත්‍යම නුවණ ඇත්තෙකුට නම් සෑහෙන සෑහිමකි. තව දුරටත් සත්‍ය සොයා බුදු නුවණ ලබා ගැනීමට අවැසි තැනැත්තාට බුදු බව දක්වාම යෑමටත් උන්වහන්සේ මග කියා ඇත. නමුත් සත්ය අවබෝධය යනු බුදු නුවණ නොවේ. සත්‍ය අවබෝධය යනු ලෝකයේ සැබෑ තතු සත්වයා පිළිබඳ සැබෑව අවබෝධ කොටගෙන කළ යුතු දෑ කිරීමයි. එය හඳුන්වා ඇත්තේ නිවන යනුවෙනි. අනියත ලෝකයේ සසරක සැරිසරන සත්වයා ඉන් මිදී යාම සරලවම නිවන යි. සම්මා සම්බුද්ධත්වයෙන් මෙපිට ඒ අවබෝධය ලබාගත හැකි අයුරුත් බුදුරජාණෝ දේශනා කළෝය. ඉතිං ඒ වන් උතුමෙකු වෙත පහන් සිතින් වන්දනා කිරීම හෑල්ලුවක් වන්නේ රැජිණගේ නම්බුවෙන් සර් නාම ගත් අයටද? නැත්නම් සහතික කොළයකින් පදවි නාම ගත් අයටද? එහෙම දෙයක් නැත. උඬගු කමින් උද්ධච්ඡ වී තවත් අපිරිසිදු වීමට පෙර බිඳක් සිතිය යුත්තේ බුදුන්ගේ දහම නොතිබෙන්නට අප ලෝකය ජීවිතය පිළිබඳ සොයා තවත් කොපමණ නම් රස්තියාදු යන්නට තිබුණාද යන්නයි. අවසන කියන්නට ඇත්තේ මා වැනි සාමාන්‍ය මිනිහෙකුට නම් බුදුරඳුන් යනු ඥාන උල්පතක් බව පමණය. සකළ ලෝකයේම සැරුවද රස්තියාදු වුනද නොලැබෙන යථා අවබෝධය තමා තුළින්ම අවබෝධ කරගන්නට කියා දුන් උන්වහන්සේට වන්දනා කිරීමට ලේබල් බොදු වීමට උවමනා ද නැත. එසේ නොකිරීමට තරම් පුහු ලේබල් රැඩිකල් හීන මානයට ගොඳුරුවීමටද මට නම් උවමනා නැත.
අද බොහෝ දනා සුප්රබුද්ධය, සමාජ ජාලවල පවා ඒ ඇමතීම් අප්රමාණය. එහෙව් සමාජයක අපිරිසිදුකමට රස්තියාදුවට අපි දොස් නගාගත යුත්තේත් අපටමය. ඉන් එහාට යාමට හිතනවා නම් ශුද්ධ කර ගත යුත්තේ අපේ රස්තියාදු ජීවිතයි. අවංකවම අපට අප ගැන හැබෑ හැඟීමක් නැතිතාක් අපත් රටත් පුහු රැඩිකල් රැවටිල්ලකම පමණයි.

Tuesday, August 14, 2018

..........................................

අභියෝගයන් අභිබැවීමට නොහැකි විට සාමාන්‍ය මිනිසා දෙවියන්ගේ බුදුන්ගේ පිහිට පතති. අතිශයින්ම දුර්වලයෝ දෙවියන්ටත් බුදුන්ටත් ලෝකයාටත් අතිශයින් නිගා දෙති. ශක්තිවන්තයෝ අභියෝගයට තමාට හැකි උපරිමයෙන් මුහුණ දෙති. වීරියවන්තයෝ අභියෝගය නිමාව තෙක් අත නොහරිති. ප්රඥාවන්තයා අභියෝගය විච්ඡේදනය කොට බිඳ දමයි.

මිනිස්කමේ සවාරිය - කෘතියෙන්

තණකොළ ඩිංගක් කැපීම පිණිස කිතුලේ රස්තියාදු වුනෙමි. තණකොළ ගස මුදුනේ නැත. ඒවා දුෂ්ට මිනිසුන් විසින් කලින්ම කපාගෙන ගොසිනි. මිනිස්සු සත්තු වෙලාය. සතෙකුට කන්ට තණකොළ ටිකක් ගස මුදුනක ඉතිරි කරාම වෙන පාඩුව..ගොනා මං එනකම් බලාහිඳී. ගසේ තිබූ රා මුට්ටිය ඌ වෙනුවෙන් බිමට බෑමට තරම් මනුස්සකමක් මාතුළ නොවේ නම් මාත් සතෙක්ම තමා.
කවදාවත් නොවිඳි රසයකින් තෘප්තිමත් වු ගොනා මොහොතක් දෙකකුලෙන් සිට ගති. උගේ අවයව, මා කියන්නේ අං ගැනය. ඒවා දිග නැත. අං කොට බැවින් අංකොටා යැයි වටේ අය මූට කියතත් මං කීවේ "මචං" කියාය. මචං මට කතා කරන සතෙකි. ඌ මට මනුස්සකම ගැන බොහෝ කතා කියා තිබේ.
ඉතිං මචං කකුල් දෙකෙන් අපි ගහමු රස්තියාදු.. අපි දෙන්නා එකට ආහාර ගෙන දෙකට දෙපැත්තේ වැතිර ගතිමු. මට අහස පෙනේ. මචං හොම්බ දික් කරන් බලාසිටී. ඒ බලන්නේ මං දෙසය. ඒ බැල්ම සැබවින්ම රැඩිකල්ය. මචං වමාරා කන්නේ තප්පුලන්නේ හොම්බ දික් කරන්නේ රැඩිකල් කතා අහන්නට ඕනෑ වූ විටය.
මං ඌට කතාවක් කියමි. ඒ මිනිසුන් ගේ දුෂ්ට කම් ගැනය. කුරිරුකම් ගැනය. මා හැර අනිත් උන්ගේ හදවත් ගැහෙනා හැටි මම ගොනුට කියමි. ගොපළු අවතාරය බොරු බවත් රන් කෙවිටක් නැති බවත් මම කියමි.

Monday, August 13, 2018

අපල(ක්ෂීර පථයේ නැත)

ශ්රද්ධාවෙන් තොර ප්රඥාවෙන්
ප්රඥාවෙන් තොර ශ්රද්ධාවෙන්
හදවතක් නැති බුද්ධියෙන්
බුද්ධියක් නැති හදවතෙන්
තැනෙනා මිනිසුන්
විමුක්තිය සොයා
පිළක් ගෙන
පලක් බැඳ
සොයත් ඵල
නැත ලබන්නේ
බිඳකුදුත්
ඉන්..

තෙත නැති පපුවක
දෙතන පුඩු තුඩ
නොඑන ලෙස
කිරි කඳුළක්?

තෙත ඇති පපුවක
දෙතන පුඩු නැති
උනන ලෙස
නෙත කඳුළක්?

සුරේඛා ගේ රස්තියාදුව

ඊර්ෂ්‍යා ඇතිවේ
බුදු රඳුන් වෙත
තර්කයෙන්
ඥානයෙන්
බුදු නුවණ
බැරිය අල්ලා ගන්නට
කොහෙන් හෝ මඟහැරේ
සංකල්ප
සංවාද
දෘෂ්ටි විතානය අස්සෙන්
කහ ලපයෙන්
මොළයට
යන්නේම නැත
එතැනදි
ශාරීරික උත්තේජක
මනස කුල්මත් කොට
නැවත විමසීමි
සාරාසංඛ කල්ප ලක්ෂයක
සියුම් ශක්තිය
නොසළකා හැර
අසු නොවන මානයටම
අත දමා
ඔ ඔ ඔන්න අහුවුණා
නැත
නැත කිසිත්
අහුවෙලා
ඒක මෙන්න මේ විධියයි
වචන ගොඩක හිර කරගෙන
දාන්න හැදුවත් එළියට
ශාරීරික උත්තේජක තරම්
ඒ ග්රහණය ලේසි නෑ
ඔව් මම රස්තියාදු වුණා
ඒත්
සුරේඛා
අහුවුණේ නෑ
ඉතිං මං
කොහොමද කියන්නෙ
යුරේකා!

Sunday, August 12, 2018

රැඩිකල් - ගුරු - කුල..ය (සාධූ.. සාධූ..සාධූ..)

ඒක අළුත්ම එකක්
ඉල්ලුම් පත්තරේ
හොයාගෙන රස්තියාදු වී
පුරවලා දෙන්න බොක්කෙන්ම
අලිඛිත ව්‍යවස්ථාව ගමෙන් ආපු පොරවල් හදපු
අම්මල අප්පල සාමාන්‍ය බොදු කිතුණු
අඳුනගන්න ඉවෙන් ඉවෙන්
ආශ්රය කරන්න බොක්කෙන්
පෝරමය කොළඹින් අනුමත වුණ ගමන්
කොල්ලෝ උඹත් රැඩිකල් බං
බය වෙන්න එපා
නම රිජිස්ටාර් වුණ ගමන්
උඹේ පිට කහන්න අය ඕන තරම්
ඔන්න ඕකයි පුතේ
අපි නොදන්න රෝස්පාන්
නැත්නං පුතේ
උඹ නිකංම පරළු පාන්
ධනේශ්වරයට ගල් ගැහුවට මදි
සමාජවාදයට දර ඇද්දට මදි
කුශලතාව උපතින් ගෙනාවට මදි
උඹට කෙළි කරන්න බෑ
රස්තියාදුවෙලා පාදා ගනින් ඥානේ
මේවයෙ ලයිසන් ඉන්ෂුවරන්ස්
කප්පං යන හැටි
දැන උගෙන ගනිං
මොක වුනත් පුතා
සෙට් වෙන්න
බොක්ක රැඩිකල් කර ගනින් සනා
පියවරින් පියවරේ ප්රතිරූප අභිනිෂ්ක්‍රමණය කරලා
උඹ
පොදු වෙයන්
පිදු වෙයන්
පිදිය යුත්තෙක් වෙයන්
එතකොට උඹත් දවසක
ඔය ගුරුකුලේ ලොක්කෙක්
නෑ පොරක්..
නෑ ලෙංගතු වචනයක්
කුහකයින්ගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන
මී විතක්
පැණි පොදක්
පිපාසයට දිය බිඳක්..
ඒත් අපි ප්‍රතිරූපවාදී නෑ පුතා..
තේරුම් ගණින්
.....
ඒක එහෙමයි සිද්ධ වෙන්නෙ
නොදැනීම
ඒව රැඩිකල් රහස්
රැඩිකල් සෞන්දර්ය එතනයි
තාම උඹට තේරෙන්නෙ නෑ බං මේවා
පළවෙනි පියවරට පලයං

Saturday, August 11, 2018

එක එකා දත කට පූට්ටු වී මට්ටු වන තුරු - මැරෙන්ට පෙර නඩු සීට්ටුවක්!!!

විකෘති වී අහවර අපි
අෑතට යන ප්‍රකෘතියට බායි කියනවා
කෑගහලා අඬන අතර හිතේ දුකට කවි පබඳිනවා
ගිලෙන නැවේ සමහරු මණි බඩු විකුණනවා
පොරක් වෙන්න මැරෙන්න පෙර සමහරු මුහුදටත් පනිනවා
අඩි ගහලා රත්වුණු අය දාර්ශනික මත දෙද්දී
ගිලෙන නැවේ වතුර ඉහින මිනිසුන්ට වතුර ගහන අයත් ඉන්නවා
වැඩ එක එක ගොඩ වෙනකොට පඩිය පඩිය යට වෙනකොට වැඩි පඩි නැත්නම් වැඩ නැති අකුරට යන අයත් ඉන්නවා
දෙයියො බුදුන් ගැන සිහිවෙන මිනිස්සුන්ට වලිදාගෙන තර්ක වලින් මැරෙන්න යන අයත් ඉන්නවා
අපෙ අයිතිය ඉල්ලාගෙන ගිලෙන නැවෙන් නොසෙල්වීම උපවාසත් තව දළුලනවා
ඇතුළට වතුර පිරෙනවා
නැව තවම ගිලෙනවා
ඈතට යන ප්‍රකෘතියට බායි කියනවා
අපි බයිල කියනවා
සමහරු තදට නටනවා
ගිලෙන තුරුම අපි හැමෝම වලියෙ ඉන්නවා
අනුන්ට විහිළු කරනවා
නැව ගැන ඩීල් දානවා
සමහරු ඔට්ටු දානවා
තව තව තට්ටු දානවා
නැව රළට ඇදෙනවා
සුළඟට තදට වැනෙනවා

ටටා..බයි බායි.. ප්‍රකෘති
(නැවේ කාර්යමණ්ඩලය නොසළකමි)

Friday, August 10, 2018

හදාපන්න එහෙම එකක් (යථාර්ථයේ ගැට්ටෙන් නොහැරී)

පොත පතේ
හදවතේ
බුකියේ
ලෝකයේ
අනේක තැන ඇති
සත්‍ය වෙනුවෙන්
ලියැවුණු කියවුණු නිමැවුණු විසිරුණු
ශක්තිය
හරවන්න
එකම එක
උපකරණයක්
සියල්ල නිවැරදි කරන
දහසක් බුදුන්
අමතක කරන
හැකිවෙන ස්වර්ගය
මෙහෙට ගේන්න

Wednesday, August 8, 2018

නික්මණ

අත හැරුම හැර
අත් හරිමි සියල්ල
බිඳ දැමුම හැර
බිඳ දමමි සියල්ල
විඳ ගැනුම හැර
විඳ ගනිමි සියල්ල
හැර යාම හැර
හැර යති සියල්ල

මේ අපේ ආදරයයි?

පිරිමැදීම්
ඇතිල්ලීම්
තට්ටු
දඟ
වේග
සීමාව
හතර
හය
පන්දු
ප්‍රහාර
සබඳතා
ත්‍යාග
කුසලාන
ඔට්ටු

එළිවැට

ඈතම ඈතින්
යන්තමට
නළියන
කණ මැදිරි
එළි දිගේ
නොදුටු මාවතේ
නොපෙනෙනා
අන්තයට
අනන්තයට
නොඉඳුල්ව
යන අතර
දුටුවෙමි
ලෝකයම
එක පහන් කණුවක් යට තිබූ
ඉඳුල් පිරි
බක්කියක් තුළ

Sunday, August 5, 2018

වනසන්

කපටිකම තබාගෙන ඉහ මත
හොර හිතින් හදාගෙන අමුතු මත
සෙව්වත් වෙනස ජීවිත පෙරළගෙන
මගෙරට කැරකි කැරකී පෙර පුරුදු තැන

වෙනසක් සොයන හැම මිනිසම පෙරට පැන
වෙනසින් හිතන්නටවත් නැහැ ඉඩක් ගෙන
කටමැත අඬහැරය හැම විට ගොඩම ගැන
ඒ ගොඩ තරකරන් නිවනට යමන් නුඹ

ගන්නට පමණි දන්නේ බෝ දනා අපේ
ඉල්ලූ විටයි මතුවන්නේ සසර ලොබේ
කළගුණ තබා යුතුකම වත් නැතිය හිතේ
එනමුදු ඒ තරම් "මිනිසුන්" නැතිය ලොවේ

හරබර කතා රැඩිකල් කුණු සරුප අගෙයි
ඒ කුණු කතා ඥානයෙ මහ පහුරු සදයි
ඒ මත රටේ අමුතුම ආයුෂය සැදෙයි
අපි විශ්‍රාමිකයි රට දැන් තොප ගෙ අතෙයි