Friday, September 27, 2013

කුණු කසළ - පොහොර සහ තුන්වෙනි ලෝකය

පොහොර කියන්නෙ 

කුණු කසළ

ඒත් කුණු කසළ කියන්නෙ

පොහොර නොවෙයි

ඕන කුණු කසළ නම් 

එතන කුණු ගොඩම තමයි

අරමුණ පොහොර නම්

කුණු කසළ කියන්නෙ

ඉස්තරම්ම පොහොර

වැඩකරුවාට කුණු ගොඩ‍

කසළම නොවෙයි නම්

තුන‍්වෙනි ලෝකය 

අපේ ඇහැට

පොහොරක්මයි

ඒ ‍පොහොර රට්ටුන්ටද අපටද

පොහොර ඕන

මේ බිමට 

:)

Monday, September 23, 2013

මෙහෙම වෙන්නෙ ඇයි? අපි දන්නව why..හිතන්න

ඡන්දයක් ඉවර වෙලා ප්‍රතිඵල එනකොට වටපිටාවෙන් ඇහෙන්න ගන්න දෙයක් තමයි, අපි නම් දුන්නෙ නෑ, ඡන්දෙ දෙන්න ගියේ නෑ, දීල වැඩක් නෑ කියන එක. මේක හොද කතාවක්ද? අපි බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් හෝ පක්ෂයක් ගැන තිබෙන විශ්වාසය බිද වැටුනම බොහෝ දෙනා කරන්නෙ ඒ තරහ තමන්ගෙ ඡන්දය භාවිතා කරන අවස්ථාවෙන් පිට කරගන්න එක. ලේසිම විදිහ තමන් කැමැත්ත දැක්වූ අයට විරුද්ධව ඡන්දය භාවිතා කරන එක, නැත්නම් පිළිට විරුද්ධව. ඒත් නැත්නම් ඡන්දය භාවිතා නොකර ඉන්න එක. හරියට ‍මූණ එක්ක තරහවෙලා නහය කපා ගන්නව වගේ මේ පුරුද්දෙන් තමාට හෝ රටට කිසිම වාසියක් වෙන්නෙ නෑ. ඇයි ඒ අයට අලුතෙන් හිතල ඡන්දයක් භාවිතා කරන්න බැරි? තමන්ට තියෙන අවස්ථාව නිවැරදිව භාවිතා කරන්නනම් හොදම දේ කිසිම ධාරාවකට ගැති නොවන එක යන්න මගේ අදහස. අපිට යම් අදහස් උදහස් තියෙන්න පුළුවන්, ඒව නියෝජනය කරන පුද්ගලයෝ හෝ පක්ෂ තියෙන්න පුළුවන්, නමුත් ඒ පක්ෂ පාට තුළම හිතලු බැදීම් සහිතව නිදන්ගත වෙන එක පුදුම මෝඩ වැඩක්. ඇයි අපි අනුන්ගේ දේශපාලනය අපේ හදවත් වල මොළයේ සින්නක්කරව ලියා පදිංචි කරවන්නේ? අපිට අවස්ථානුකූලව තීරණ ගන්න තියෙන ඉඩකඩ අහුර ගන්නේ? තමන්ගේ පොඩි ලාබය ගැන හිතන්න ගිහින් තමන්ගේ නිදහස් චින්තනය, නිදහස් අයිතිය විකුණාගන්නේ? කාලයක් මිනිස් වර්ගයා මිනිස් වර්ගයාම වහල් කර ගනිද්දී නිවහල් වෙන්න ලැබුන පොඩි හෝ ඉඩ ආපහු වහල් භාවයකට පාවලා දෙන්නේ? ලෝකයේ වෙනස් වෙන සියල්ලත් එක්ක වෙනස් වෙමින් යන දේශයන් වගේම ඒවායේ පාලනයනුත් අද තිබෙන ක්‍රමයට, අපට අවශ්‍ය ක්‍රමයට, අනාගතයට ගැලපෙන ක්‍රමයට, වඩා හොද ක්‍රමයකට ගෙන යන්න නම් ‍විනාශයෙන්, පිරිහීමෙන් මිදී දියුණුවක් කරා යන්න නම් කට ආයා ගෙන බලා සිටීමෙන් අත්වෙන සුගතියක් ‍නැති බව අප තේරුම් ගත යුතුයි. ඒ වගේම වෙනස් වන ස්වරූපයන් එක්ක අවස්ථානුකූලව තම ඡන්දය භාවිතා නොකිරීම - ඒ කියන්නේ පාට පක්ෂ බැදීම් තුළ  හෝ ඒ සමග ඇති අමනා‍පයෙන් නහය කපා ගැනීමට ඡන්දය දීමෙනුත් වන්නේ අයාලයට ඉඩදීමක් පමණයි යන්නත් තේරුම් ගත යුතුයි. මෙහේ බොහෝ ඡන්ද යන්නේ අයාලයේමයි. එය තම කැමැත්ත කියා හිතුවාට, බොහෝ විට කැමැත්ත නොව හුදු ආවේග අනුචිත ලෙස පිට කිරීමක් පමණි එය. එක් එක් ඡන්දය බැගින් ලක්ෂ ගණනින් අයාලේ ගිය ඡන්ද එකතු වූ විට සියල්ල මුළාවේය. එය වැටහෙන විට පමාවේය. එවිට අහන්නේ මෙහෙම වෙන්නේ ඇයි, කියාය. එවිට කියන්නට වෙන්නේ අපි නම් දනිමු why..(මේ අමුතු දේ නොවේ, සිතිය හැකි දේ නොසිතීමේ විපාකයයි.) නමුත් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් ඇත්තේ නැත. එනිසා අශ්වයා ගැන හිතන ඈයෝ ඉස්තාලය වැසිය යුතු අවස්ථාවත් වෙලාවත් දැන ගනිත්වා, ඒ පිළිබද සිතිවිලි පහළ වෙත්වා!!!

Friday, September 20, 2013

හෙටින් පස්සෙ කො කාගේ කාලෙ? - තව කාලයකට -

කවුරු කාට පෙන්නාවිද හෙටින් පස්සෙ මේකා 

හිතල මතල හොයල බලල දෙන්න ඒක හන්දා

Sunday, September 15, 2013

ඡන්දෙට දුවපල්ලා පස්සෙ අඩපල්ලා බොලව්-අහවල් තැන මීලග මීටින් එකලු

කාලයක් තිස්සෙ ඡන්ද තියෙනවා, මිනිස්සු විවේචනය කොරනවා, එහෙම කොර කොර එකිනෙකාගෙ පස්සෙන් දුවනවා, දන්නවාලු වෙනදේ, වෙන්න යනදේ.. ඒත් මොනව හරි කොරගන්න ඕනෑලු, අම්මපා හෙලුවෙන්ද ඉන්නෙ කියල අහන්න හිතුනත් වැඩක් නෑ.. හෙලුවෙන් නොවැ ඉන්නේ... හෙලුව වනා වනා පස්සෙන් යනවා, ගිහින් තමන්ට නොකරපු තැනයි ආයෙ බනින්නේ කාට කාටත්. ඉතින් බොලව් මේ විදිහට හැමදාම විගඩං කොරන්නේ නැතිව එක ගමනක් වත් බොලාගේ ඡන්දෙ පාවිච්චි කොරපල්ලා හිතට එකගව, මොළේ කල්පනා කරපල්ලා රටට ගමට පොදුවේ සෙතක් කරගන්න විදිහක් ගැන. නැත්නම් හැමදාම බොලාලා රැවටෙනවා..එක එක වාද ගැන, මහ ලොකු දේශපාලන දර්ශන ගැන කයි කතන්දර ඕනෑ නෑ.. තමන්ගේ ආගම දහමට වලංගු වෙන විදිහට ඡන්දය යොදපල්ලා අඩු තරමින්, උඹලාගේ දුවා දරුවන්ට ආදර්ශයක් වෙන්ඩ ඡන්දයක් කියන්නේ මොකද්ද කියලා තේරුම් යන්ඩ දෙයක් ‍කරපල්ලා.. පක්ෂ පාට වාද බේද කුමටද? කෙරෙන්න‍ ඕනෑ බොහොමයක් ම හිගා කාලා වගේ රටට තිබෙන මුදලින් ගමත් රටත් අපත් සංවර්ධනය වෙන්න වැඩක් කොරන්න අවංකව දත කට නියවන උදවියත් ඒ වෙනුවෙන් අපේ යුතුකමත් ඉටු කරන එක.. ඉන් ඔබ්බටයි අනාගතය ආශ්චර්යමත් කරන්න හිතන්න පුළුවන් වෙන්නේ... නැත්නම් ලාබෙටයි, වාසියටයි, බෝතල් කාලටයි, මස් රාත්තලටයි.. පස්සෙන් දුවලා .. සමහර විට ඊට වැඩි දේවල් හිතෙන් අර ඇදලා, පස්සෙ අඩපල්ලා බොලව්, නමුත් ඊට කලින් මතක් කොරලා ‍විටින් විට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපල්ලා හෙලුව ඔය වහගන්න වහන්තරා වලින් ඇත්තටම වැහෙනවාද කියලා..

Saturday, September 7, 2013

ගින්න මිස ගිනි පුපුරු ලෙස සැරිය මිස විරිය නැත-වෙනස‍ නොසොයා වෙනසේ කෙළවර සොයමු,දකිමු.

ගලකින් ගලකට ගසා හෝ දඩුකැබලි එකිනෙක පිරිමැද සොයන්නේ ගින්න නොව ගිනි පුපුරු බලා සන්තෝෂය භුක්ති විදින්නට නම්, එහි ඇත්තේ නිෂ්ඵල සතුටකි. ගින්නකින් කළ හැකි දේ බොහෝ වුව, ගිනි පුපුරු ගින්න බවට පත්නොකරගන්නේ නම් එහි ඇත්තේ විවිධාකාරයෙන් මතුවන එකම පුළිගු පැනීමක් පමණි. විටෙක දිගට වුව විටෙක හරහට වුව ඒ ගිනි පුළිගුමය. කළ හැක්කේ විවිධ ලෙස පනින පුළිගු බලා නිරර්ථක සතුටක් භුක්ති විදීම පමණකි.

සැරිය මිස විරිය නැති කලද එසේමය. ලොව සතර දිග්භාගයේ සැරිසැරුවත් සත්‍ය සොයන්නට දකින්නට විරීය නොකරන්නා ලබන්නේ එකම මූලයන්ගේ විවිධ සංයෝගයන් දැකීම පමණකි. කාන්තාරය වුව මහා සයුර වුව ඒ පරිසරයමැයි. කළ හැක්කේ දර්ශනයේ වෙනසෙන් ඇස සනහාගෙන ගත නළවාගෙන තාවකාලික සතුටක් භුක්ති විදීම පමණකි. එහි සතුට තාවකාලික වන්නේ ඇසට එතැන හුරුවූ පසු ගතට එතැන හුරුවූ පසු පෙනෙන දැනෙන දෑ තවදුරටත් අමුතු නොවන හෙයිනි. ගිනි පුළිගු පැනීම තරම්වත් එහි වෙනස ඉක්මන් නොවේ. කාළගුණික වෙනස පමණි ක්ෂණිකව වෙත්නම්, ඉදින් එයටත් හුරුවූ පසු.. 

කරුණු කෙසේ මුත් වත්මන් මිනිසා යනු වැඩකට ඇති ගින්නට වඩා ගිනි පුළිගු බලා සන්තෝෂ වන්නෙකි. විරිය ඇවසි තැන සැරියෙන් පමණක් සන්තෝෂ වන්නෙකි. සැවොම නොවූවත් බොහෝකොට මෙසේමය. 

එබැවින් අප පුළිගු වලට දැපනේ නොවැටී ගින්න සාදා ගත යුතුය. ගින්නෙන් අපට අවැසි වැඩ කරගත යුතුය. සැරියට වඩා විරිය සාදා ගත යුතුය. සැරියෙන් ලබන තාවකාලික වින්දනයට වඩා විරියෙන් සත්‍ය සොයාගත යුතුය. එවිට එක තැන ලතවෙන්නට, ජීවිතය හිස් බවින් ගතවෙන්නට කරුණු කාරණා නොසැළසෙනු ඇත.

ගිනි පුපුරෙන් නොනැවතී ගින්න සැදූ නිසා ආහාර පිසීම ඇරඹුනි. සැරියෙන් නොනැවතී විරිය වැඩූ නිසා ජනාවාස බිහිවුනි. මෙතනින් ඊලග පරිණාමය සදහා අප හදා ගත යුතු ගින්නත් අප වැඩිය යුතු වීරියත් ගැන ඔබ සිතුවාද? තනි තනිවත් එක්සත්වත් අප කළ යුත්තේ කුමක්ද? විමසන්න, ‍අප දෙපා යට ඇති පාදම..