Monday, December 31, 2012

මෙය වාතයක්

පාට වැසි ගැන ඊයේ වෙනකම්ම මෙහේ කතා කළා. සමහරවිට හෙටත් අනිද්දත් කතා කරයි. මොකද වැස්ස වගේ නෙමෙයි, පාට වැස්ස. කතාවට ඒක සුන්දර වුනත් එහෙම වැස්සක් වැටෙනකොට මිනිස් හදවත් සැලෙන්නේ හේතු භූත නොදන්නා බැවින්. කෘමි හෝ වෙනත් කුඩා ජීවීන් අරගෙන වැටෙන වැස්ස ප්‍රශ්නයක් නොවුනත් ප්‍රශ්නයක්. මේ සේරම ඇහැට පේන දේවල්නේ.

එතකොට විෂ වාතය, ගන්ධ වාතය අපට දැනෙනු මිස පෙනෙනු නැති නිසා පාට වාතයක් එනකම් වාත ප්‍රශ්න මෙහේ උදවියට දැනෙන එකක් නෑ. ඒක නිසා ‍ඇහැට පේන්න එකනම් නොපෙනෙන ප්‍රශ්න දුරතියා දැකීම බොහෝ දෙනාට වාතයක්. ඒක නිසා මේකත් වාතයක්. 

හැබැයි මේ වාතය පෙනෙන්න ගන්නකොට ‍වැස්ස දැක්කටත් වඩා ගොඩක් අයගෙ හුස්ම හිරවෙයි. ඒ නිසා ලොකු දූෂකයන්ට බනින අතරම අපේ පොඩි දූෂනයෙනුත් අපි හැකිතාක් ඉවත් වුනොත් ධර්මය රකින්නාගේ නීතියෙන් හෝ අප ආරක්ෂා වේවි යම් ලෙස. ඒ නිසා හෙටින් ලබන වසරේ සිට අපි ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙන න්‍යාය ගනු මිස ජෝතිෂ්‍ය අනාවැකි විශ්වාසයෙන් රැකෙන න්‍යායෙන් බැ‍හැරවෙමු‍. 

ඔබට ඔබ විශ්වාස කළ හැකි හෙට දිනයක් 2013 න් ඇරඹේවා...ඔබේ හැම හුස්මක් එක්කම මේ ගෝලයේ වාතය ඔබේ පෙනහළු තුළ පුදුම රස්තියාදුවක් වෙනවා, එතකම් ඔබත් මමත් ජීවත් වෙනවා. ඒ නිසා හිතන්න. ගොඩක් හිතන්න වෙලාව හොයාගන්න 2013 න් පටන් ගන්න...

Sunday, December 30, 2012

මෙය කුමන්ත්‍රණයක්

නැති කුමන්ත්‍රණ ගැන කතා නොකර,

ඇති කුමන්ත්‍රණ ගැන සම්මන්ත්‍රණ කරමු.

කතාවට නොව ක්‍රියාවට තැන දෙමු.

නව වසරේ බයිලා නොකියමු, 

බයිලා ගී වලින් පමණක් බයිලා රස සොයමු. 

සත්‍ය ට යි, යුක්තියට යි, ශක්තිය , බලය මේ එන ව‍සරේ...ජයවේවා2013 

Tuesday, December 25, 2012

අස්වැසිල්ලක්

ලොකු ගහක හෙවන යට ඉන්න පුළුවන් එක ලොකු අස්වැසිල්ලක්. 

ඊයේ මගේ උපන් දවස, ඒ කියන්නෙ උපන් දිනේ.

ඉස්කෝලෙ කාලෙ ඉදලම මේක සමරන්න වෙන්නෙ තනිවම, මේ නිවාඩු කාළෙ නිසා, බොහෝ තැන්වල නිවාඩු. කොහොම වුනත් නත්තල සමරන අය පවුලෙ වගේම රටේ තොටේ කොතනත් ඉන්න හින්ද උපන්දිනේට පස්සෙ නත්තල් දවස සිහිකරගෙන සතුටු වෙන්න පුළුවන් එක ලොකු දෙයක්. උපන්දිනේ සැමරුනේ නැතත් නත්තල සමරනවනේ. ඒක හින්ද නිකන් හරියට ලොකු ගහක හෙවනක ඉන්නවා වගේ හිතන්න පුළුවන් මට.

ජාති, ආගම් බේද හදාගෙන ආගමික නායකයන් කිසිදිනෙක නොකී කතාන්දර හදාගෙන කුළල් කා ගන්න අර අදින මිනිස්සුත් සුළුතරයක් හරි ඉන්න සමාජෙක ඒ බේද භින්න කම් වලින් තොරව, මිනිස්සුන්ට හරි මග කියා දුන් කව්රුනුත් අපි ආදර භක්තියෙන් සිහිපත් කළ යුතුමයි. ඔවුන්ට ගරු කරනවා කියන්නෙ ඔවුන් කියා දුන් යහමග තමන් ගමන් කිරීම මිස ඒ මග උදෙසා අනුන් සමඟ සටන් වැදීම නම් නොවේ. 

විනාශය විනාශ කොට අපි සමඟිව වෙසෙමු. යහමග ගමන් කරමු. නිදහස් වෙමු බේද වලින්...

Sunday, December 23, 2012

වගකිවයුත්තෝ

මෙහෙදී බොහෝ කරුණු කාරණා වලට අදාළව මේ අය සොයා ගන්න නෑ.

එයාගෙන් ඇහුවොත් එයා දන්නෙත් නෑ, මෙයාගෙන් ඇහුවට එයා දන්නෙත් නෑ. හරියට හැම දෙයක්ම නිකම්ම සිද්ධ වෙනවා වාගේ. 

කැකිළ්ලේ රජ මේ අය හොයාගන්න වටේ ගියා වගේ මොනව හරි දෙයක් සිද්ධ වුනහම මෙහේ, අපිටත් බොහෝ විට වටේ යන්න වෙනව ඒ වගේ.

කරන්න චණ්ඩි ඉන්නවා, පිළිගන්න කිසිම බණ්ඩියෙක් නෑ. කට තියෙනවා කොන්දක් නෑ. 

මෙහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි කියල සින්දු හැදෙන්නෙ ඒකයි. නමුත් හැමදාම ඒ සින්දු කියන්නම හිතනවනම්.... අනේ දෙව්දත් නොදිටි මොක්පුර

කරන දේට වගකියන්න පුරුදු වෙන්න. කරන්න පුළුවන් නම් තොත්ත බබාලා නොවී, පිළිගන්න වෙනකොට තොත්ත බබාලා වෙන්නෙ ඇයි? 

වෙනත් දේවල් බදාගන්නම හදද්දී වගකීමෙන් නම් පැනලම නිදහස් වෙන්න බලන්නෙ ඇයි?

ඇත්තටම වගකීමෙන් නිදහස් වෙන්න නම් වගකියන්න 100%ක්. එ‍තකොට ඔබ ඔබේ වගකීමෙන් නිදහස් වේවි. 

ඒත් අමතක කරන්න එපා යුතුකම් කියලත් දෙයක් තියෙනවා වගකිවයුතු මිනිහෙකුට. ඔබත් මේ සමාජයේ පුරුකක්, ඒක අමතක කරන්න එපා. මගේ වගේම ඔබේ තැනුම් ඒකකයත් දූවිල්ලම තමයි.

Thursday, December 20, 2012

දුක තමා

කරන කලට පව් රස වුනත් වින්දනය කරනකොට ගින්දර වගේ නේද?

මේ දවස් වල වැස්සේ විනාශයෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩාරියයි. ඒත් ඉගෙන ගනීද මන්දා.

කාලයක් තිස්සෙ වගකිවයුත්තො දුර දිග බලන්නෙ නැතිව, හිතන්නෙ නැතිව කරන කියන දේවල් වල ඵල විපාක මේ දවස් වල බහුතරයා බුක්ති වින්දනය කරනවා. ඒකට බහුතරයාත් වගකිව යුතුමයි. 

ලකුණු දාගන්න කරපු වැඩත්, කොමිස් සාක්කුවට වැටුනු වැඩත් එකෙන්ම මේ වැස්සට හේදුනා. වරද ස්වභාව ධර්මයේ නෙවෙයි. ධර්මයේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුනු ලාබ විදිහට හිතපු මිනිස්සුන්ගේ. වැඩක් කරනකොට හොයල බලල , හිතල මතල කරන්න ඕන. පනින්න පෙර හිතා බලනු කිව්වෙ නිකම්ම නෙවෙයි. දැන් අපේ අය ‍‍බොහොමයක් හිතන්නෙ පැනල අතක් පයක් කඩාගත්තටත් පස්සෙ. ඒ නිසා හිතන්නත් කලින් පැන්න වගේම බේරෙන්න බැරි විදිහට ස්වභාව ධර්මයෙන් ඉල්ලාගෙනම දුක් වින්දනය කරනව. 

මිනිස්සුන්ට හැම ස්වභාව ධර්ම විපතකටම මුහුණ දෙන්නත් ඒවයින් ගැලවෙන්නත් බැරි එක හැබැයි. ඒත් ගොඩක් දේවල් කාලයක් තිස්සෙ හිතල බලල කල්පනා නොකරපු ‍එකේ ප්‍රතිඵල නොවෙයිද? චෝදනාව පරම්පරා ගානකට වෙන්න පුළුවන්. හැබැයි දැන් වත් හරි පාඩමක් ඉගෙන ගත්තොත් ඔය වෙනත් රටවලට බලපාන තරමට දරුණු නැති අපිට බලපාන මේ උවදුරු වලින් පහසුවෙන්ම බේරෙන්න පුළුවන්. අඩු තරමේ මිනිස් ජීවිතවත් බේරගන්න පුළුවන්.

මේහේ අපිට නිදහස් අධ්‍යාපනේ දුන්නා කිව්වට ඒවගේ ප්‍රායෝගික භාවිතයන් කියලා දෙයක් නොතිබීම හරිම ‍ඛේදයක්. ලො‍්කේ කොහෙත් නැති තරමට දැනුමැති මිනිස්සු මෙහෙත් ඇති. ඒත් ප්‍රයෝගිකව හරි දේ කරන්නත් මුන්ට අල්ලස් දෙන්න ඕන. එතරමට ප්‍රායෝගික හා දුර දක්නා නුවණින් පිරිපුන්. මේවට අල්ලසට, නිවට කමට උඩගෙඩි දෙන දේසපාලුවෝ බදාගෙනම වගකියන්න ඕන. 

ඇත්ත කියන දේ තේරුම් ගන්නෙ නැතිව අනුන්ගෙ සෝවාන්, රහත් කම් ‍ගැන හොයන්නෙ නැතිව ඒ මේ කොයි කවුරුත් ගිරිය කඩාගෙන කියන කතාවල තියෙන ඇත්තක් ඇත්නම් ඒ ඇත්ත තේරුම් අරගෙන ඒකෙන් තොරව බොරුවෙන් ‍ලෝකය ජය ගන්න බෑ කියන එක දැන්වත් අපේ බහුතර මිනිස්සුන්ට තේරුම් යන තත්වයක් උදා වෙනව නම්, අඩු තරමේ හොරය බොරුව හරි ටිකක් අඩුවේවි. බොරු රඟපෑම් අඩුවේවි. ප්‍රසිද්ධ වෙන්න බොරු කියන එක කරන එක අඩුවේවි. නැත්නම් අපිට මේ කතා කිය කියා ජීවත් වෙන්න වෙන්නෙ මිහිපිට දුකම තමා කියාගෙනමයි හැමදාටම.

මොනදේ විනාශ වුනත් ජීවිතේ විනාශ නොවුනනම් මේ ස්වභාව ධර්මයේ උවදුරු වලදී ඉගෙන ගන්න මතක හිටින පාඩමක්, එහෙම පාඩමකට පොඩි හරි නිමිත්තක් මේ දවස්වල කාටත් නොතිබෙන්න බැරි කමක් නෑ. 

දුකම තමා කියන තැනින් වෙනස් වෙන්න ජීවිතේ ඇත්තම වෙනසක් ඇතිකරගන්න. නිදහස් වෙන්න හදාගෙන තියෙන හිස් බැමි වලින් , නිදහස් වෙන්න හොයා ගැනීම උදෙසා හැබෑම ජීවිතයක්.

Monday, December 17, 2012

වැස්සේ...

දෙවුර මත

හැපෙත්දිත්

පොකුරු කැට

වැටෙද්දිත්

 

සිදුරු නැති

කුඩේ යට

මා පමණි

තනිකමෙන්

 

දකින විට

එක පෙළට

නුබෙන් ඔය

 කදුළු මා

 

තවත් නම්

ඉන්න බෑ

වහංවී

ඉවසලා

 

විසිකරන්

මේ කුඩය

එක හිතින්

නැහැවෙන්න

 

අවසරද

නුබේ ඔය

කදුළකින්

පිබිදෙන්න

Friday, December 14, 2012

අන්තවාදී

සත්‍යට භාෂාවක් නැත. ආගමක් නැත. ජාතියක් නැත. කුලයක් හෝ ගෝත්‍රයක් නැත. සත්‍ය යනු සත්‍යම පමණි.

එය අන්තයක් නොව චක්‍රයකි. චක්‍රයකට අන්තයක් නැත. චක්‍රය පැහැදිලි කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරමු. හේතුව සහ ඵලය අනුව විග්‍රහ කිරීම පැහැදිලි සාර්ථකම විග්‍රයකි. එය අප බොහෝ දෙනෙකුට පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි විග්‍රහයකි.

නොයෙක් වාද බේද තුළ සිරවී සිටියද අපට හැමවිට මුහුණ දීමට සිදුව‍න්නේ එකම යථාර්තයට නොවේද?

අප‍ කෙරෙහි බලපාන්නා වූ මූලික ධර්මතා එකමය. එවිට අපට කෙසේ නම් වෙනස් යථාර්තයන් හිමිවන්නද. ලෝකයේ වෙනස් රටවල වෙනස් ස්වභාවයන්ගේ වෙනස් නීති රීති පද්ධතීන් තුළ අපට භුක්තිය උදෙසා ලැබෙන ඵල සමහර විට විවිධ වන්නට පුළුවන, නමුත් එහි හේතුන් එකක් මය. තවදුරටත් විමසා බැලුවහොත් ඵලයේද මතුපිට ස්වභාවය එකම නොවූවත් අර්ථ යේ සමානත්වයක් නොතිබෙන්නේමද?

වී ගොවියා අස්වැන්න වශයෙන් ලබන්නේ 'වී'ය. තල වගා කල විට ලැබෙනුයේ 'තල'යි. අවස්ථා දෙකම ගොවිතැනය. ඵලයේ ස්වභාවය වෙනස් වූවාට දෙකම ආහාරයි. 

අදහස් තුළ නිදහස් නොවී ඒවා නූවුමනා විලස කර පින්නා ගත් අන්තයට වැදුනා වූ අය සමාජයට  වෛරී සහගත අදහස් මුදා හරින්නේ තමන්ගේ අදහසට ගැති වීමෙන් ම මිසක එතුළින් නිදහසක් ලබන්නට නොහැකි කමෙනි. නොදන්නා කමෙනි. හරය නොවිමසන්නා නිසාම එවැනි අදහසක මතුපිට තලයේ ප්‍රතිවිරුද්ධ භාවයන් දකිනා තවත් උදවිය ඒවාට උත්තර විලසින් වපුරන්නේ තවත් වෛරයක්මය. පසුව ගොඩනැගෙන්නේ ඒ අන්තයත් මේ අන්තයත් අතර වෛරී හටනකි. 

ඒ සටනින් පරාජය මිස කිසිදු පැත්තකට කෙදිනකවත් ජයක් හිමි වන්නේ නැත. 

අදහස් නිදහස් කිරීම එකකි. එතුළින් වෛරය වැපිරීම තවෙකකි. අවසනදී ලැබෙන්නේ එසේ වගා කරන්නා වූ බීජයේ ප්‍රතිඵලයයි.

නිදහස උදෙසා මිනිසා සටන් වැදිය යුත්තේ තමා තුළින්ම මිස අන්තයකට, අදහසකට ගැති වී නිදහස උදා කරගත නොහැකිය. කිසිවෙකුටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තවකෙකුට සැබෑ නිදහසක් ලබා දීමක්ද කළ නොහැකිය. 

ජය ඇරඹෙන්නේත්, පරාජය ඇරඹෙන්නේත් තමා තුළින්ම මිස හිස් අවකා‍ශයෙන් නම් නොවේ.

Thursday, December 13, 2012

අන්ත...අනන්ත

12/12/12ත් පහුවෙලා. ලොකු පුදුමයක් නැතත් පොඩි පොඩි අංක ගැලපුම් මිනිසුන්ගෙ මනස හොල්ලනවා. 21‍/12/12ත් මේකම වේවි. තිගැස්සෙන්නත් දේවල් අපිට ඕනමයි. නැත්නම් කිසි ගතියක් නෑ නේ. 

වයසක අයට දැනෙන දේවල් පොඩි අයට දැනෙන්නෙ නෑ. ඒ දෙගොල්ලටම දැනෙන්නෙ නැති දේවල් ගැන තරුණ අය හිතනවා. දැනුම හොයාගෙන යනවා. කෙළවරක් නෑ. හොයාගත්තට වඩා වැඩියෙන් දිනපතා හොයන්න දේවල් එකතුවෙනවා. අලුත් ‍අලුත් දේවල් හැදෙනවා. අලුත් අලුත් විදිහට හිතනවා, කතාකරනවා. ෆැෂන්..

ඔය මොනවා මොන විදිහට සිද්ධ වුනත් ලෝකයේ තියෙන්නෙ එකම වේගයක්. අපි අලුතෙන් දැනගත්තත් සිද්ධ වෙන්නෙ එකම දේවල් ටිකක්. මොන මොන දේ කටට දාගත්තත් බඩට ගිහින් ඒව දිරවන සිස්ටම් එක එකක්මයි, ඒ වගේ..

නීතිය ගැන අවනීතිය ගැන හිටපු ගමන් තමන්ට අවාසි වෙනකොට කාටත් මතක් වෙනවා. එහෙම වුනාම ඒව ජනප්‍රිය මාතෘකා වෙනවා. පත්තර වලට හෙඩ් ලයින්ස්, මාස ගාණක් අදින්න පුළුවන්. ඔහොම කාලය ගතවෙනවා. පස්සෙ කාටත් නීතිය, අවනීතිය අමතකයි‍. ඔහොමයි මෙහේ.. කාලයක් තිස්සෙ මෙහේ එහෙමයි කිව්වට ටිකක් විමසිල්ලෙන් බලද්දි තේරෙන්නෙ අඩු වැඩි වශයෙන් වුනත් අවසානෙ කොහෙත් මෙහෙමයි. ඒක හින්දම මේවත් ලෝක ස්වභාවයට බාර දීල නිකම් ඉන්නව. ජනයාගේ ආධිපත්‍ය බොල්, බහුතර මතය පුස්, වැඩි දෙනා නින්දේ, ඔහොමයි ලෝක ස්වභාවේ..

වැරැද්ද වැරැද්දමයි. ගින්දරට පිච්චෙනව වගේ.. එහෙම දැනගෙනම අතීතයත්, වෙනත් රටවලුත් ගැන හුවා දක්වල වැරදි කරන්න කාටවත් අයිතියක් නෑ. පිච්චෙනවනම් ගින්දරට අතීතයේ පුච්චගත්ත කියල අනාගතයෙත් පුච්චගන්න ඕනද? 

එහෙම නොකරන තරමට මිනිස්සු ඉන්න රටවලුයි බුද්ධිමත් කියන්න පුලුවන්. ඇහැ ඇරගෙන ඉන්නව කියන්න පුළුවන්. ජීවිතේ කියන්නෙ කන බනේම නෙවෙයි. කන්න තිබුන කියලම මිනිහෙකුට නොමැරී ඉන්න පුළුවන් වුනත් නොමැරී ජීවත්වෙන්න නම් බැරිවෙයි සැනසීමකින්. ඒකට හේතුව බඩේ ගින්නට විතරයි ආහාරයෙන් සැනසීමක් දෙන්න පුළුවන් වෙන්නෙ, ඒත් හිතේ ගින්නට ඒක වලංගු නෑ.. ගොඩක් අය බඩේ ගින්නෙන් නිදහස් වෙන්න හිතුවත්, පූර්ණ නිදහසක් ලබා ගන්න නම් හිතේ ගින්නෙන් නිදහස් වෙන්න වෙනවමයි. 

ඒකට කරන්න ඕන බදාගන්න එකද, බෙදාගන්න එකද, අතාරින එකද කියලත් තවත් හිතන්න පුළුවන්. 

බදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? බෙදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? අතෑරල සතුටු වෙන්න ‍පුළුවන්ද? එහෙම නිදහසක් ගැන ඔබ හිතුවාද?

ගිහිගෙයින් නික්මෙන්න උවමනා නෑ අතාරින්න. ගිහි ගෙයි ඉදන් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න මිනිස්සුන්ට කොච්චර මහන්සි වෙන්න වෙයිද? අනාගත ලෝකය ඉල්ලා හිටින්නෙ එහෙම නිදහසක් හා නිදහස් මිනිසුන් කොටසක් නොවෙයිද?

Tuesday, December 11, 2012

එහෙම පුළුවන්ද?

ස්විච් එකක් ගානේ ගිහින් එකින් එක ඕෆ් කරනවට වඩා මේන් ස්විච් එකෙන් එකවර පද්ධතියේම විදුලිය විසන්ධි කරන්න පුළුවන්. එත‍කොට අපි කරන කියන වැඩ බොහොමයක් එකවර නවතිනව. ඊළඟට අපිට තවත් නවත්තන්න පුළුවන් මොනවද?

හුස්ම ගන්න එක, ඒකත් අමාරුවෙන් ටිකක් හරි වෙලා නතර කර ගෙන ඉන්න පුළුවන්, ඊළඟට?

අත පය හෙලවෙන එක නැවතෙන්න එක ඉරියව්වකට එන්නත් පුළුවන්, ඊළඟට?

හද ගැස්ම නවත්තන්න නම් අපිට බෑ, තව..

හිතන එක නවත්තන්න පුළුවන්ද? නවත්වයි, ඒත් ඊළඟ‍ට මොනවද හිතෙන්නෙ?

හිර කරගෙන හිටපු සියල්ලම එකවර මුදා හරින්න වෙනව මර බයෙන් හුස්ම හිරවෙද්දි.

මේ ජීවිතේ අපේ කරගන්න එක ලේසි නෑ. ලොකු කෙරුමෝ කියල හිතාගෙන හිටියට තමන්ට මොනවද පාලනය කරන්න පුළුවන්. 

හිතන්න, එහෙම පුළුවන්ද? ‍ෆ්‍රී වෙන්න

Sunday, December 9, 2012

මේ පාරෙන් එන්න

පාරක් හංදියක් ගානේ මේ පාරෙන් එන්න කියන උදවිය ඕන තරම්. පාර යන්නෙ කොහාටද, අපි යන්න ඕන කොහාටද?

අපි දන්නෙ නැත්නම් යන්න ඕන තැන පටන් ගන්න තැන ඉදන්ම හැම පාරකම අපිට යන්න වෙන්නෙ රස්තියාදුවක. එතනින් පස්සෙ තව දුරටත් ශක්තියක් ඉතුරුයි නම් පමණයි අපට අපේ පාර හොයාගන්න පුළුවන් වෙන්නෙ. 

අහම්බෙන් වගේ කීප දෙනෙකුට හරි ඔය රස්තියාදුව අතරෙ තමන්ගෙ පාර හම්බවෙනව වාසනාවට. තවත් සමහරුන්ට මේ ජීවිතේට පාර හොයා ගන්න ලැබෙන්නෙ නැහැ. පව් අවාසනාව. තවත් බොහෝ දෙනෙක් මේ පාරෙන් එන්න කිව්වම ඒක තමන්ගෙ පාර කියල හිතාගෙන යනව. පාර කියල දෙන්න කෙනෙක් ‍නැත්නම් වෙන මොනව කරන්නද?

හැබැයි, ඊලඟ මොහොතෙ අපි යන්නෙ කොහෙද කියල නොදන්න ගමන බොහොම අවදානම්. හිතට කිසිම නිදහසක් නෑ. මොකද ඒත් කරන්නෙ? මේ පාරෙන් එන්න කියනව මිසක් තමන්ගෙ පාර හොයාගන්න උදව් දෙන කිසිම කෙනෙක් හොයාගන්න නැත්නම්.

කල්පනා කරල බැලුවොත්, සමහර විට කලින් ඔය පාරවල් වල ගියපු අය ඇදපු සිතියම් තියෙන්න පුළුවන්. එහෙම සිතියමක් හම්බුනොත් තමන්ට තමන්ගෙ පාර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ කිසිවක් නොදන්න තරමට වඩා. ඒත් ප්‍රවේශමෙන් බොරු සිතියම් විකුණන අය ‍ඕන තරම්. 

හරි පාරෙන් හරි තැනට යන්න හරි අමාරු වෙන්න ඒකත් ලොකුම හේතුවක්. ඒත් හරිම පාර හොයාගන්නකම් උත්සාහය අතනාරින අයට නම් වරද්දන්න බෑ කාටවත්. කවදාවත්.


Saturday, December 8, 2012

ඔය රෙදි ගලවන්න

අන්දනව කියල මෙහෙමත් ඇන්දීමක්. පව් නොතේරෙන එක් අයෙක් වුවත් රැවටීම ඊලඟ භවයේ ගොනෙක් වෙලා වත් බේරෙන්න පුළුවන් පාපයක් නම් කරත්තයක් ඇදල ෂේප් වෙන්න පුළුවන් වෙයි. ඒත් හැබැයි දැන දැනම කරන කපටිකම් වලට රිටන් එක නම් ඊටත් වැඩිවෙනව සත්තයි.

ලියන්න, කියන්න  පුළුවන් නිසාම හොර පාරෙන් හරි ඡන්ද ගත්ත නිසාම කව්රුවත් රවට්ටන්න කාටවත් අයිතියක් නෑ. ඒත් ඉතිං මෙහේ තවත් ඇන්දවීමේ නම්‍ කෙළවරක් නෑ.

අන්දවන එකක් ගලවගන්න ගානට තව දෙක තුනක් අන්දනව. තුට්ටුවට, බත් පැකට් වලට විතරක් නෙවෙයි, මාරුවක් හදා ගන්න, ජරාවක් දෙන්න, ගන්න වගේම පුරුද්දටත් ඇදගන්න උදවිය තවත් ඉන්න එක හරි පව්.

මිනිස්සුන්ව මෙහෙම අන්දන උදවියට නම් මතු භවයේ රෙදි අදින්න වාසනාවක් ලැබෙන එකක් නැහැ. මොකද ලෝකය ගෝලාකාර වගේම අපි සැරිසරන චක්‍රයට වංචා කරල බේරෙන්න ඔය මොනම ජගතෙකුටවත් අංශුමාත්‍ර හැකියාවක් නැති නිසා. 

ඒ නිසා මිනිස්සුන්ව අන්දන්න, ඒත් මතක තියාගන්න කවදා හෝ රෙදි ගැලවෙන්නෙ ඔබගෙමයි. එදාට ඔබ තනි වෙනවමයි. අපි ඒ වගේ උදවිය බොහොමයක් මෙහේ කාලෙන් කාලෙට දැක්ක. ඒත් ඒවයින් දෙයක් වටහාගන්න තරම් අංශුමාත්‍රයක යහ චිත්තයක් නැති මිනිස්සු ඉන්න එකත් ලෝක ස්වභාවයක් නම් ඒ අයට ඒවගෙ විපාකත් ලෝක ස්වභාවය අනුවම අනුභව කරන්න වෙයි. 

ඔබට තේරෙනවනම් ඔබව අනුන් විසින් අන්දවල කියල, වහාම කිසි බයක් නැතිව ගලවන්න ඔය රෙදි, නිදහස් වෙන්න. ඇත්ත තේරුම් ගන්න.

මාධ්‍ය වැස්සේ, තොරතුරු සාගරයේ අන්දවන්න හදන රෙදි වංචාවෙන් මම නම් ගලවල දැම්මෙ සෑහෙන වලියක් දාගෙන, මොකද ඒ රෙදි ගලවල දාන එකත් සමහරුන්ට හරි භීතියක්. ඒත් තමන්ගෙ වස්ත්‍රයක් තියෙනවනම් අනුන් විසින් අන්දන රෙදි අපට ඕන කරන්නේ නැ‍හැනේ.

ඒ නිසා, ඔය රෙදි ගලවන්න එච්චර බය වෙන්න එපා. මොකද ඇත්තෙන්ම ඔය රෙදි බොහොමයක් සීතාම්බර සළුම තමා. ඇඟට දමාගන්න තරමට සැබෑවටම පේන්නේ හෙළුව. හෙළුවෙන් ඉන්න ඇත්තටම අකමැති නම් ගලවන්න ඔය රෙදි කිසි බයක් නැතිව. ඔබගෙ සැබෑ වස්ත්‍රයේ හැඩය එතකොට පේන්න ගනීවි අපූරුවට. ඔබේ සැබෑ ලස්සනත් පේන්න ගනීවි එතැන් සිට.

Friday, December 7, 2012

තෝරන්නට කියන කවි

ඇහැට බොහෝ දේ පෙනෙනා විට, කනට බොහෝ දේ ඇසෙනා විට, හිතට බොහෝ දේ දැනෙනා විට, නොතේරෙන කවි තැනෙනු නොමැතිද? මේ පින්බිමේ ඇති නිදහස ගොන් ‍‍ෆ්‍රී නොවේවා. ‍‍යහපත දිනේවා.


ඇහැට දකිනා ඇත්තා

 කනට ඇසෙනා ඇත්තා

සඟවා බොරුව හැමදා

බොරුවෙන්ම වල පතුලෙ වැටෙනා


ළපටි වස්සෝ උලා කති                       

මහ වස්සෝ වමාරා කතී                       

මී දෙන්නු කුලප්පු වෙතී                      

හාන්නට  නොගනිතී                               

 

උගෙනුමට වලි කතී                            

මරාගෙන මරා ගතී                            

උගෙනුමෙන් පල නැතී                         

අවසානෙ ලත වෙතී                           

 

උයන රකිනා පල්ලා                             

කියනු දෙයියන් පල්ලා                          

උගේ දඩ බල්ලා                                   

ඉන්නෙ හැම තැන ඉවම අල්ලා            


කියනු ග්‍රහ චාරේ                             

එක එක අ වාරේ                            

යන්න ඔහෙ පාරේ                            

නින්දෙ වැදිලා වගෙයි රාළේ             


රටක් ගැන කියවෙතී                        

පුන්නක්කු ගැලපෙතී                         

දුකක් නොව පව් සිතී                    

ජාමේ බේරා මේක තෝරතී              

Tuesday, December 4, 2012

ෆ්‍රී

උඩ පැනලා, බිම හැපිලා, ‍එහෙට මෙහෙට දුවලා ඇවිත් ආපහු හිටගත්තෙ පළමුවෙනි තැනමයි. හිමිතැන වගේම නිසි තැනත් එතැනමයි. අපි කොයි තරම් ඒ මේ අත දුවල, හැපිල හොයන්න හැදුවත් ඒ නිදහස හොයාගන්න වෙන්නෙ ඇතුළෙන්ම තමයි. 

පොඩ්ඩක් ෆ්‍රී වෙන්න හිතුවෙ කමිසෙ බොත්තම් කීපයක් ඇරල දාල හොද හුළඟක් වදින්නමයි ඇඟට. 

ඔන්න දැන් ලෝකෙ විනාශෙට සමහරු කවුන්ට්ඩවුන් කරනවා. මගේ ලෝකෙ නම් කොහොමත් විනාශ වෙන එකක් නිසා, ඒ විනාශය නවත්තන්න බැහැ කියල තේරුම් ගත්ත නිසා මගේ කවුන්ට්ඩවුන් එක නම් දැන් ඉවරයි. 

ලෝකෙට උවමනා විදිහට මිසක් අපිට උවමනා විදිහට ලෝකය ස්වභාවිකව නම් විනාශ වෙන්නෙ නැහැ ලඟපාතකදි.

ඒක නිසා දැන් කල්පනාව මගෙ නම් ෆ්‍රී වෙන්න. රස්ටාව ශුද්ධ කරගෙන ශුද්ධ සිතින් නිදහසේ සැහැල්ලුවෙන් පියාඹන්න දැන් කාලෙ හරි.

හැබැයි කොහෙ පියෑඹුවත් මං වහන්නෙ ගෙදර ගහේ සුපුරුදු අත්තෙමයි. ඒකයි වේරම්භවාතෙ කරක් ගහල ආපහු ගෙදර එන්න කැමති මගේ ස්ථා‍වරේ.