Thursday, December 13, 2012

අන්ත...අනන්ත

12/12/12ත් පහුවෙලා. ලොකු පුදුමයක් නැතත් පොඩි පොඩි අංක ගැලපුම් මිනිසුන්ගෙ මනස හොල්ලනවා. 21‍/12/12ත් මේකම වේවි. තිගැස්සෙන්නත් දේවල් අපිට ඕනමයි. නැත්නම් කිසි ගතියක් නෑ නේ. 

වයසක අයට දැනෙන දේවල් පොඩි අයට දැනෙන්නෙ නෑ. ඒ දෙගොල්ලටම දැනෙන්නෙ නැති දේවල් ගැන තරුණ අය හිතනවා. දැනුම හොයාගෙන යනවා. කෙළවරක් නෑ. හොයාගත්තට වඩා වැඩියෙන් දිනපතා හොයන්න දේවල් එකතුවෙනවා. අලුත් ‍අලුත් දේවල් හැදෙනවා. අලුත් අලුත් විදිහට හිතනවා, කතාකරනවා. ෆැෂන්..

ඔය මොනවා මොන විදිහට සිද්ධ වුනත් ලෝකයේ තියෙන්නෙ එකම වේගයක්. අපි අලුතෙන් දැනගත්තත් සිද්ධ වෙන්නෙ එකම දේවල් ටිකක්. මොන මොන දේ කටට දාගත්තත් බඩට ගිහින් ඒව දිරවන සිස්ටම් එක එකක්මයි, ඒ වගේ..

නීතිය ගැන අවනීතිය ගැන හිටපු ගමන් තමන්ට අවාසි වෙනකොට කාටත් මතක් වෙනවා. එහෙම වුනාම ඒව ජනප්‍රිය මාතෘකා වෙනවා. පත්තර වලට හෙඩ් ලයින්ස්, මාස ගාණක් අදින්න පුළුවන්. ඔහොම කාලය ගතවෙනවා. පස්සෙ කාටත් නීතිය, අවනීතිය අමතකයි‍. ඔහොමයි මෙහේ.. කාලයක් තිස්සෙ මෙහේ එහෙමයි කිව්වට ටිකක් විමසිල්ලෙන් බලද්දි තේරෙන්නෙ අඩු වැඩි වශයෙන් වුනත් අවසානෙ කොහෙත් මෙහෙමයි. ඒක හින්දම මේවත් ලෝක ස්වභාවයට බාර දීල නිකම් ඉන්නව. ජනයාගේ ආධිපත්‍ය බොල්, බහුතර මතය පුස්, වැඩි දෙනා නින්දේ, ඔහොමයි ලෝක ස්වභාවේ..

වැරැද්ද වැරැද්දමයි. ගින්දරට පිච්චෙනව වගේ.. එහෙම දැනගෙනම අතීතයත්, වෙනත් රටවලුත් ගැන හුවා දක්වල වැරදි කරන්න කාටවත් අයිතියක් නෑ. පිච්චෙනවනම් ගින්දරට අතීතයේ පුච්චගත්ත කියල අනාගතයෙත් පුච්චගන්න ඕනද? 

එහෙම නොකරන තරමට මිනිස්සු ඉන්න රටවලුයි බුද්ධිමත් කියන්න පුලුවන්. ඇහැ ඇරගෙන ඉන්නව කියන්න පුළුවන්. ජීවිතේ කියන්නෙ කන බනේම නෙවෙයි. කන්න තිබුන කියලම මිනිහෙකුට නොමැරී ඉන්න පුළුවන් වුනත් නොමැරී ජීවත්වෙන්න නම් බැරිවෙයි සැනසීමකින්. ඒකට හේතුව බඩේ ගින්නට විතරයි ආහාරයෙන් සැනසීමක් දෙන්න පුළුවන් වෙන්නෙ, ඒත් හිතේ ගින්නට ඒක වලංගු නෑ.. ගොඩක් අය බඩේ ගින්නෙන් නිදහස් වෙන්න හිතුවත්, පූර්ණ නිදහසක් ලබා ගන්න නම් හිතේ ගින්නෙන් නිදහස් වෙන්න වෙනවමයි. 

ඒකට කරන්න ඕන බදාගන්න එකද, බෙදාගන්න එකද, අතාරින එකද කියලත් තවත් හිතන්න පුළුවන්. 

බදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? බෙදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? අතෑරල සතුටු වෙන්න ‍පුළුවන්ද? එහෙම නිදහසක් ගැන ඔබ හිතුවාද?

ගිහිගෙයින් නික්මෙන්න උවමනා නෑ අතාරින්න. ගිහි ගෙයි ඉදන් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න මිනිස්සුන්ට කොච්චර මහන්සි වෙන්න වෙයිද? අනාගත ලෝකය ඉල්ලා හිටින්නෙ එහෙම නිදහසක් හා නිදහස් මිනිසුන් කොටසක් නොවෙයිද?

No comments: