Thursday, February 6, 2014

සාධාරණය හා යුක්තිය හදමු

දෙවර්ගයක මිනිස්සු නිතර සාධාරණත්වය හා යුක්තිය ගැන කතා කරති. පළමු වර්ගය තමන්ට වැරදුනු තැන සාධාරණය හා යුක්තිය කතා කරන පුලන්නෝය. දෙවැනි වර්ගය ජාත්‍යන්තර චින්තනධාරී සාධාරණ හා යුක්තිගරුක ප්‍රතිරූපධරයන්ය. මේ අතරමැද ඉන්නන්ගෙන් බහුතරය අන්ත අවස්ථාවාදී ලෙස ක්‍රියාකිරීමට හුරු කරන ලද්දන්ය. ඒ අවස්ථාවාදීත්වය කොතරම්ද යත් එය අද වන විට තැනේ හැටියට ඇණේ ගැසීමත්, වැල යන අතට මැස්ස ගැසීමත් යන සම්ප්‍රදායටම යටවී සම්මත සාධාරණීකරනයකට යටත් කර ඇත්තේය. නමුත් මේ අතරමැද නිවැරදි දිශානුගතව ක්‍රියාත්මක වන සුළුතරයක්ද සිටින බව නොසිතිය නොයුතුය. නමුත් ධනයත් බලයත් මත සියල්ලන්ගේ දෑස් නිලංකාර කරන විට මේ සුළුතර මතය හෝ බලය නොපෙනෙන්නේය. නමුත් සමාජයක සාධාරණය හා යුක්තිය හැදිය හැක්කේ අවස්ථාව හා පක්ෂය නොබලා ප්‍රතිපදාවෙන් ඒ උදෙසා පෙනී සිටින්නන්ට පමණි. 

තමන්ට වැරදෙන තෙක් අසාධාරණය හා අයුක්තිය ගැන නොදකින්නෝ සිය හොට පැටලුනු විට සාධාරණය හා යුක්තිය ඉල්ලා ආඩපාලි කියන්නෝය. සමහරු එතැනින් ‍ඔබ්බට ගොස් සමාජ සාධාරණය තකා යුධ වදින්නටත් කල්ලි තනන්නටත් වෙහෙසෙන්නෝය. මේ සියල්ල කෙටි කාලයකින් නිමවී යනු අප දැක ඇත. 

එමෙන්ම ජාත්‍යන්තර චින්තනධාරීහුද මතවාදීව සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිති. එය එක්තරා පැත්තකින් හොද වෙළද පොළකි. තමන්ගේ පුද්ගලභාවයට තවරා ගත හැකි හොද අයිසින් තට්ටුවකි. මානව හිතවාදීන්, මානව ප්‍රේමීන්, නායකයන් කියාගන්නා පිරිස් එබදු ලෙසින්ද ජනිතව සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෝය. 

මේ ජවනිකාමය සාධාරණය හා යුක්තිය ‍හුදෙක් තමන්ගේ පුද්ගලභාවය, ධනය, ව්‍යාපාරය හෝ දේශපාලනය වෙනුවෙන් මිස සැබෑවටම සාධාරණයේ හෝ යුක්තියේ අවශ්‍යතාව පිරිමසනු සදහා නොවන බව අපි කොතරම් නම් දැක ඇත්ද? එහෙත් ඒ ඒ විෂයේදී මෙන්ම සමස්ථයේදීත් සාධාරණය හා යුක්තිය තේරුම් බේරුම් කර ගැනීමට තරම් ඉවසීමක් මෙන්ම සමහර තැනකදී නිර්භීත කමත් සමහර තැනකදී බුද්ධියත් නොමැති වීමෙන් අපි තවමත් පීඩා විදින්නෙමු. 

සාධාරණය හා යුක්තිය යනු කුමක්ද? එය වටහා ගත හැක්කේ තමාටම පමණි. නමුත් එය වටහා ගැනීමට නම් ඒ තැනැත්තා තුලාවක මධ්‍ය ලක්ෂ්‍ය මෙන් විය යුතුය. තමන්ගේ වාසිය ගැන පමණක් තකන්නට හුරු කරන අද ලෝකයේ හැබෑවටම තුලාවේ කටුව වන අය මිසක් මධ්‍ය ලක්ෂ්‍ය සේ ස්ථාවරව හිද පැත්තේ බර අනුව කටුවෙන් පෙන්වන වෙනස දකින්නට ඉඩ හසර විවර කරන්නෝ වෙත්ද? නැත්තේම නැත.

මෙය කළ යුත්තකි. පටන්ගත යුත්තේ තමාගෙන්මය. තමාට තමා තුළ කොතරම් සාධාරණව ක්‍රියාත්මක විය හැකිද, යුක්තිසහගත විය හැකිද? 

කන්ට නැතිව හිටියත් පගාව නොගෙන ජරාව නොගෙන ජීවත් විය නොහැකිද? 

නිසි විය‍දමෙන් දිවිය සරි කොට ගෙන වංචාවට දූෂණයට දෙන තල්ලුව නැවතිය නොහැකිද?

තමන්ගේ ශක්ති ප්‍රමාණයට මිස අදිසි හස්තයන්ගේ බලයෙන් වරදාන නොලබා ජීවත් විය නොහැකිද?

පින තකා මල්වට්ටියට අත ගසන සේ තම පරමාධිපත්‍ය පක්ෂ පාට නොතකා නිවැරදි තැන නිවැරදි ලෙසින් භාවිත කළ හෝ හළ නොහැකිද? 

තමා නිවැරදිතැන නිවැරදි සේම වැරදිතැන හෘද සාක්ෂියට එකගව වරද පිළිගැනීම හා එතැන් සිට නිවැරදි මග ගැනීම කළ නොහැක්කක්ද?

අනුන්ගේ ක්‍රියාව කුමක් වේවා තමන්ගේ ක්‍රියාවට තමන්ට සපුරා වග කිව නොහැකිද? එසේ කළ නොයුතුද?

තවත් බොහෝ කළ යුතු හා කළ හැකිදේ විවිධ හේතු මත සාධාරණීකරනය කරමින් නොකරන්නට අපේ රටේ බොහෝ දෙනා දක්ෂයන්ය. එයට හේතුව රස්තියාදු ලෝකයක රස්තියාදු වීමට වඩා නිසි මග ගැනීමට ඇති හීන වීර්යය මිස අන් කවරක්ද? සැබවින්ම මේ හීන වීර්ය නිසාම බොහෝ දෙනා දෙසන්නෝ මිස කරන්නෝ නොවී හිදිති. කරතොත් බොහෝ විට තමන්ගෙන් නොව අනෙකාගෙන් ඇරඹුම බලාපොරොත්තු වෙති.

තනි තනිව අප පටන් ගත යුතුය. රටක සාධාරණය හෝ යුක්තිය ප්‍රශ්න කරන්නට තරම් අපි ජගත්හු වන්නෝ එවිට මිස ජාත්‍යන්තර චින්තනධාරී ලෙස සිතූ පමණින් නොවේ. අද හැමදේ ප්‍රශ්න කරන්නට සූදානම් අප කොතරම් නම් සාධාරණ හා යුක්ති සහගත අයවලුන්ද යන්න සිතා බලනු වටී. ප්‍රතිපදාවෙන්ම සැබෑ ශක්තිවන්තයෙකු ලෙස නොව වාසියට හෝ නොදැනම බළල් අතක් වී අප අසන ප්‍රශ්න හුදෙක් වැරදි දිශාව වෙත බදින තවත් හිනිමංම බව සාධාරණය හා යුක්තිය පිළිබද මේ පුංචි රස්තියාදුව ශුද්ධ වෙමින් යන විට මට හැගෙන්නේය. 

අපට යම් කරු‍ණක් වෙනුවෙන් පෙනී‍සිට එහි සැබෑ සත්‍ය වෙත යම් බලපෑමක් කළ හැක්කේ අප කොතරම් ප්‍රතිපදාවෙන් ඒ කරුණු කෙරෙහි ක්‍රියා කොට ඇතිද යන්න මතය, නැත්නම් එය හුදෙක් පුස් වෙඩිල්ලක් පමණක් වීම වළක්වනු නොහැකිය. ස්වභාව ධර්මයාගේ අපට පරාජය ‍කළ නොහැකි තැන එයයි. කිසියම්ම සත්‍යතාවයක් මත නොපිහිටා කරන කටයුතු සියල්ලක් කෙදිනකවත් අපේක්ෂිත නිසි ප්‍රතිඵලය ගෙන දෙන්නේ නැත. 

කළ නොහැක්කක් නොමැත යන්න හැබෑ පොළවේ විෂ නොවී ඵලදරන්නට නම් අපි සැබෑ අවෛරී හා මෛත්‍රී හැගීමෙන්ම ඒ වෙත ක්‍රියාකළ යුතුය. අපේ මහ පොළවේ හැබෑ ඵලදැරීමක් කරන්නට නම් එකිනෙකා බැගින් සැවොම වෙහෙසිය යුතුය. වාණිජත්වය හාත්පස උතුරා පිටාර ගැලූවත් ඒ වාණිජත්වය තුළ නිවැරදි සාධාරණ හා යුක්ති සහගත ඉසව්ව වෙත පිහිනීමට අප දිශානු ගත විය යුතුය. එ් එල්ලේ පිහිනිය යුතුය. නොකළ හැකි දේ පසෙක තිබියදී කළ හැකි අවම දේ හෝ ‍ඉටු වන්නේ එවිටය. 

සාධාරණය හා යුක්තිය හදමු මගෙනුත් ඔබගෙනුත් අරඹා...දායාද කරමු එය මව් පොළවට, උපන් බිමට...

Monday, February 3, 2014

තරුණ කටයුතු බාර සභාපති වෙමි.. ආදරයෙන් ඔබ අමතමි

මට පළමුවත් තරුණ පිරිසය, දෙවනුවත් තරුණ පිරිසය, තෙවනුවත් තරුණ පිරිසය. මම ඔබට ඇහුම්කන් දෙන්නෙමි. ඔබේ ප්‍රශ්න පුද්ගලිකවම මට කියන්න, එතරමට මා ඔබ වෙත අවධානයෙනි. 

අප නිරන්තරයෙන් ඔබව ලෝකයා වෙත ඔසවා තබන්නට සැරසෙන සැටි ඔබ දන්නා බව මම දනිමි. අප ඔබට පෙන්වන පාරේ ඔබ දිවයන සැටි දකිද්දී අපට ඇතිවන්නේ නිහතමානී සතුටකි. මෙතරම් ජව සම්පන්න, සුපින්වත් තාරුණ්‍යක් වෙන කෙබදු රටක වෙත්ද? ඔබ අපගේ කීකරු දරුවෝය.  ඔබේ යහපත තකා අප කියන්නක් ඔබ කරන්නේ අප යමක් කියන්නේ ඔබගේ යහපතට ම බව ඔබ හොදින්ම දන්නා නිසාය.  ඒ හැර ඔබ බියසුල්ලෝ නොවෙති. කොතැනකවත් නිවට නොවන්නෝය. ජානයෙන්ම නීර්භීත වූ ඔබ කිසිවිටකත් කිසිවෙකුට ගැතිව ගොඩනැගෙන්නට සිතත්ද? නැත. උදාහරණයකට දේශපාලක තරුණ මහතෙක් ගනිමු. ඔබ ඔහු වෙනුවෙන් තැන නොතැන වෙලාව අවේලාව නොබලා කඩේ යාවිද? කිසිලෙසකින් නැත. මෙවැනි ප්‍රශ්න නැගුවොත් ඔබ සිනහ නගනු ඇත. දේශපාලන කැරට් අල වෙනුවෙන් අපිත් කවර බලකා නම් තනමුද? එය කුමන විහිළුවක් දැයි ඔබ කියනු ඇත. රට වෙනුවෙන් ජීවිතය පිදුවත් අපි බලය ධනය නිසාම කිසිවෙකුටත් අනිසි ගරුසරුවක් නොදක්වන්නෙමුයි ඔබ එකහෙලා කියන බව අපි දන්නෙමු. අපි ඔබට දී ඇති ආදර්ශයත් එබදුය. ඔබ උතුම් පිරිසකි. ශ්‍රේෂ්ඨ පිරිසකි. ඔබ එලෙස සිතනතාක් අපට දැනෙන්නේ ප්‍රිතියක්මය. ඔබේ ඒ නිදහස් නිවහල් චින්තනය අපත් රටත් ඉදිරියටම ඔසවන්නේය.

මම ඔබට ගරු කරන්නේ එනිසාය. ඔබ මට ගරු කරන්නේ යම් සේද එපමණකට මා පෙළඹෙන්නේ ඔබ වෙනුවෙන් වෙහෙසීමටයි. එය මාගේ පරම යුතුකම බව අප රටේ කවරෙකුත් ලෙස මමද යුතුකමට ගරු කරමින් අදහන්නෙමි. තව දුරටත් මා ඔබ වෙනුවෙන් කතා කිරීමට නොවෙහෙසෙන්නේ ඔබ අපට හදවතින්ම ආදරය කරනා බව මා දන්නා නිසාවෙනි. එබැවින් මා ඔබ වෙනුවෙන් පසුපස නොබලා ඉදිරිය බලමි. අපි අත්වැල් අල්ලා සිටින තරමට බැදීමෙන්ද ශක්තියෙන්ද අප සුරක්ෂිතය. එනිසා අප සමගම බැදී ඉන්න, මමද ඔබ සමග බැදී ඉන්නෙමි, දිනන තෙක්ම අප.

Sunday, February 2, 2014

හෘද සාක්ෂිය

ඔබට නෑසෙන මට ඇසෙන හඩකි. මට නෑසෙන ඔබට ඇසෙන  හඩකි. ඒ හෘද සාක්ෂියේ  හඩයි. ඔබේ හෘද සාක්ෂිය ඔබට ඇසෙන මට නෑසෙන ලෙසින්ම මගේ හෘද සාක්ෂියද මට ඇසෙන ලෙසින්ම ඔබට නෑසේ. එහෙත් අපි දෙදෙනාම පැමිණිලි කරුවන් මෙන්ම විත්ති කරුවන්ද ජූරියද නඩුකාරයාද වන්නෙමු. 

ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට අපට ඇත. අපට ඒ සදහා ලැබෙන කාලයන්ද එකක්ම නොවේ. ඒ කාලයට අපි ජීවිතය යැයි කියමු. ජීවිත කාලයම ගියත් පිළිතුරු සම්පූර්ණ කරන්නට බැරි අවස්ථා මෙන්ම පුද්ගලයෝද වෙසෙති. කෙටි කලකින්ම ලැබෙන ලැබෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්නෝද සිටිති. ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්නට ඉඩ ලැබෙන අතරේ තව ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයේ ලියවෙන්නේය. ඒ ජීවිතේ හැටියකි.

සතුට උපදින්නේ කොතනින්ද යන්න මම නොසිතමි. නමුත් එය  හදවතට දැනෙනා බව දන්නෙමි. සතුට  හදවතට දැනෙනවා නම් දුක දැනෙනවාදැයි අමුතුවෙන් කිය යුතු නොවේ. ඒ සතුට දුක මැද හදවතේ ශක්තිය එහි රෝග නිවාරණයද වන්නේය.  

හදවතේ  ශක්තිය කොතැනද? හෘද සාක්ෂිය ඒ කොතැන ‍හෝ තිබෙන බව මට සිතෙන්නේය.  හදවතේ නාළ තෙල් වලින් ‍හෝ රුධිර කැටියකින් අවහිර වී හදවත නැවතුනොත් අප ජීවිතය නවතීවි, ඒත් හෘද සාක්ෂිය කොතැන මුත් අපට කරදර නොකරාවිද, අපව සතුටු නොකරාවිද..

   අකමැති නිසා මකා දැමිය නොහැකි

   ජීවිතයට සමුදී පලා යා නො හැකි

   ස්පර්ශයක් නොවූ මුත් 

   මිදී යාමට නොහැකි

   මගේ උසාවියේ 

   දෙපසටම ඇති 

   එකම සාක්ෂිය