Showing posts with label by. Show all posts
Showing posts with label by. Show all posts

Tuesday, October 17, 2023

සිරි ලක්වැසි අන්ද මන්දා නන්ද ~ (කපුටාස් හිට්ද බ්රේන් by වික්කමසිංහ )

විදේශ සහනාධාර පලමක් ලෙවකමින් ගැලරියේ හිඳ පාර්ලිමේන්තු ෂෝ එකක් බැලීමෙන් ලැබෙන ආස්වාදය වැන්නක් මෙකල්හි ලාංකේය වැඩිවයස් පුරවැසියෙකුට අන් කිසිඳු ව්‍යායාමයකින් ලද නොහැකිය. පන්දුවෙන් පන්දුව විචාරමින් නරඹන ජාත්‍යන්තර පිති පන්දු ක්‍රීඩා තරඟයකින් වත් එවැනි ආස්වාදයක් ඔහුට ලැබිය හැකි දැයි සැක සහිතය. බටහිර යථාර්තවාදය පරදන ලාංකීය දේශපාලන නළු නිලියන්ගේ අනගි රැඟුම් නැරඹීමෙන් ලැබෙන ආශ්වාදය, අඥාත කතෘවරුන් විසින් ආගාධයකට ඇද දමන ලද රටක තම ජීවන අරගලය මොහොතකට ඔහුට අමතක කරවයි. ජවනිකා තුළ ඇති අන්දා මන්ද රසය, පාර්ලිමේන්තු ක්‍රමය නඩත්තුව උදෙසා වෙන් කෙරෙන අති මහත් මුදල් කන්දරාව පිළිබඳ පුරවැසියාගේ සිත් තුළ ජනනය කරන්නේ කෝපයක් නොවේ. ශෝකයක් හෝ කළකිරීමක් ද නොවේ. තමන් විසින් නඩත්තු කෙරන ක්‍රමය පිළිබඳ අසීමිත භක්තියක් හා හද කුල්මත් කරන ප්‍රීති ප්‍රමෝදයකි. පාර්ලිමේන්තුවේ අනගි දසුන් නරඹන අතර "අනේ අපොයි!" නොකියන්නෙක් ජනතා ගැලරියේ නැත. ඒ ලෙසින් නිරායාසයෙන් කිසිවෙකුට කියවෙන්නේ නිකමට නොවේ. ඒ අතර "අනේ මුන්නැහෙලාව දෙවියෝම බලා ගන්ට ඕනෑ !" තවකෙකුගේ මුවගින් ප්‍රාර්ථනා පිරි වදන් ගුවනට එක් වන්නේ අහේතුවකටද නොවේ. ලාංකේය ගති සිරිතට අනුව හදවතෙහි ජනිත වන්නා වූ ළතෙක් හැඟුමන්ගේ නිර්ව්‍යාජ ප්‍රකාශනයක් වශයෙනි. නොසෑහෙන්ට රට වැසියා සතුටු කරන ප්‍රජාවක් වෙනුවෙන් සිරිලක වැසි අනන්‍යතාවේ හද පතුල  අව්‍යාජත්වයෙන් ඇවිලෙන්නේ එලෙසිනි.

Monday, July 31, 2023

නැටුමකට මාරු නොවීමේ ප්‍රතිවිපාක ~ Let's Dance (by Kekille)

රටට ජාතික නැටුමක් හඳුන්වාදීමේ වටිනාකම පැහැදිලි වන්නේ මෙවැනි අවස්ථා වලදී ය. 

මහජනතාවගේ ආතතිය ජාතික වශයෙන් කළමණාකරණය කිරීමට අමතරව එයින් අපට අත්කර ගත හැකි ධනාත්මක තත්වයන් ගණනාවකි.


1. සීරුවට වඩා පහසුවෙන් වින්දනය කළ හැකි වීම.

2. හඬට එහා සකල ශරීරයෙන් ජාතික අභිමානයට උපහාරය දැක්විය හැකි වීම.

3.ස්ත්‍රී පුරුෂ භාවයට අත නොතැබිය හැකි විධායක බලය අබිබැවිය නොහැකි වීම.

4. ඔපෙරා, ජන ගී, බයිලා, කපිරිඤ්ඤා  ආදී ගායන ශෛලීන් මෙන්ම විවිධ භාෂා ආර තුළින් හානි කිරීමට නොහැකි වීම.

5. "නැව ගිලුනත් බෑන් චූන්" අනියම් අර්ථයෙන් නොසැලෙන, ශක්තිමත්, සැහැල්ලු, ජවසම්පන්න, අභිමානවත් ජනතාවක් බව ප්‍රකට කිරීමට හැකිවීම.

Friday, July 14, 2023

රටේ වත්මන් තත්වය පිළිබඳ සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ ප්‍රකාශය

ලක්වාසී ජනතාව වෙත, කරුණාවෙන් දන්වන වග නම් !


මගේ පුටුව නිතරම රත් කරන්නේ ඔබේ රටේ මහ ජනතාවයි. එය මෙලොව කිසිවෙකුටත් රහසක් නොවෙයි. පසුගිය වසර දෙක තුනක කාලය තුළ මගේ කාර්යාල අසුන කී වාරයක් නම් අලුත්වැඩියා කරන්නට සිදුවුණි ද ! එය මගේ භවනේ තත් කාලීන වාර්තාවක්. හේතුව ඔබ රටේ මහ ජනතාවගේ නිමා නොවන ප්‍රශ්න හා ගැටළුයි. 

බීරි අලින්ට කරන වීණා වාදනය නවත්වා ලන්නට මා ඔබලාට කොපමණ උපකාර කර ඇතත් ඔබලා නැවත නැවතත් කරන්නේ එයමයි. දැන් මට සිදුවී ඇත්තේ ඔබට උපකාර කිරීම පසෙකලා මගේ වැඩක් බලා ගැනීමට පමණයි. අත්දැකීමෙන් වුව පාඩම් නූගන්නා පිරිසක් වෙනුවෙන් වෙහෙසීම නිශ්ඵල හා නිෂ්ප්‍රයෝජන කාර්යයක් බව දැන් මට වැටහී තිබේ. නැතහොත් මාද ඔබ මෙන් බීරි අලින්ට වීණා වයන වාදකයෙක් ලෙස පෙනී යන්නට ඉඩ තිබේ. එබැවින් තව දුරටත් ඔබගේ ගැටළු වෙත මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පමණක් සැහීමට පත් වීමට සිදුවන බව කාරුණිකව ප්‍රකාශ කරමි.


ස්තූතියි,

මීට 

ශක්‍ර දේවේන්ද්‍ර

(ස. ලො. අධිපති)

Tuesday, May 30, 2023

මගේ කොටස ඉටු කිරීම මගේ .. by රයිට් ඩවුන් කොමීඩියන් ෴

ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට ..... සපයන ජනතාවට ... වලට ..

Friday, March 31, 2023

Lyrics Melody Music Singing by Nuthana Don Juan

අත දෙන්න සුදු රත්තරන්
බැහැ තවත් නැගිටින්න නම්
හැර දමා ගිය දා පටන්
කදුළු සැලුවා මම හොරෙන්

ඔබ මා පෝෂණය කළාහුය. ඔබේ බස නොවන්නට, ඔබ තැනු මං මාවත්, ඇළ මාර්ග, පාලම් බෝක්කු ගොඩනැගිලි නොතිබෙන්නට, ඔබේ සංස්කෘතියේ බිඳක් හෝ නොවන්නට මට මෙහි වාසයට කිසිඳු හේතුවක් තිබුනේ නැත. මගේ ප්‍රේමය ඔබ ය. ඒ ඔබේ සුදු කම ය. ඔබ කඳු කපා බිම් සකසා බෝග වගා නොකරන්නට : ඒ අඟුරු කෑ යකඩ යකා නොසිටින්නට : මේ දීනයන් තවම අඳුරේ අතපත ගානු ඇත, මයිලෝ ඩ්. ඉඳින් එය සිහි වන විට කඳුළක් නොවැටෙන්නේ නම් මගේ දෙනෙත් කුමකට !

ඔබ නැතිව රසය නෑ තේ දල්ලේ
දුම්රිය හූ තියයි තවම ලතැවිල්ලේ
ආපහු එන්න පියඹා මෙහි නිදැල්ලේ
ගිවිසුම් ඉරා දෙමි සන්තක සියල්ලේ

අපට වැරදුණා මයිලෝ ඩ්. ඒ නිසා අපි පැරදුණා. මුන් මට ඇහුම්කන් දෙන්නෑ අදත් මයිලෝ ඩ්. මට සමා වී තව වාරයක් දෙන්න. එක වාරයක් ණය දෙන්න. හැන්ද දැන් ඇත්තේ මගේ අතේ මයිලෝ ඩ්. මේ මෝඩ ලියවිලි හැම ඉරා මම ඔබට පාවා දෙන්නම්. උන්ට නොවටින උන්ගෙ සාරය සාර භූමිය දෙන්නම්. ඔබගේ යෝජනාවලිය දැන් මාගේ පරමාර්ථයයි !

වීර නෑ අප මෝඩකම් පෙර දා කළේ
සාදරෙන් ඔබ හට පුදා අද මා සෙනේ
ඉන්න පැතුවේ පෙර කලත් යටතේ ඔබේ
දෛවේ නේද අප වෙන් කළේ ඒ වගේ

මාගේ මේ (බක් මහේ දීමනා) සුළු සුළු දීමනා ජනගැති භාවයක් ඔප් නංවනු පිණිස නොවෙයි මගෙ ලෝඩ්. මුන් හැම ලවා මගේ කාරිය කර ගනු පිණිසමයි. දැන් මගේ බලාපොරොත්තුව මුන්ය. එදා මෙන් මුන්ගේ සුවච කීකරු පරමාධිපත්‍යයය.

ආයෙත් එන්න හිරු නොබසන්න මේ රටින්
මෝඩ දුර්වල අප රැක ගන්න පණ ලෙසින්
ඔබ යටතේම අවසන් හුස්ම හෙළ තුටින්
මේ ජාතියට ඔබ නැති ව බෑ යළි ඉතින්

(මෙහි පද රචනය තනුව සංගීතය ගායකයාගේම ද නැද්ද යන්න සොයා ගැනීමට මුලාශ්‍රය‍ක් නොමැති වූ බව කරුණාවෙන් සඳහන් කරමි.)

Monday, March 27, 2023

නිකමට විවේකයට විනෝදයට නොවේ! by the way

නිකමට

බංකොලොත් වී ලොකු රටවල්
අපට ණය දෙන පොරවල්
එමට වැටුණොත් ලෝකේ !
අපට වෙයි බෝ සෝකේ !

සුනාමි ආවේ නොකියා ය. ගියේ අපව වනසාය. අපි එකට පහන් දල්වා එකිනෙක කටින් පිඹ නිව්වෙමු. කෝවිඩ් ආවේ ලෝකයට ම ය. ගියේ ලෝකය හඬවාය. බොහෝ විට අහසින් එන පේන විපත් වලට වඩා පොළව නොපෙනී එන විපත් වලට හරි සක්‍රීය යි. කෝවිඩ් ඇවිත් ගියේ ළඟ නිසා අපට ආයේ එහෙම බියක් දැනෙන්නට තව කල් මදිය. විශේෂයෙන් අවස්ථා අනුව රටට ව්‍යවස්ථා හදන අපි ත්‍රස්තවාදය හැර  මේ මොහොතේ බලන්නේ සුදිය හා ජොලිය පමණක්ය. යන විදිහට තව ටික කලකින් හදිසියකට වත් අපව රකින්නට රාජ්‍ය උරුමයක් නොතිබෙනු ඇත. කරුමයකටවත් එදාට ස්වභාවික විපතකින් වේවා, යුධ ගැටුමකින් හෝ රසායනික අවි අත්හදා බැලීම් වල පිහිට ආනුභාවයකින් වේවා ලෝකයේ ප්‍රබල රටවල් දණ ගැස්සෙන තැනකට හදිසියේ ලෝකය ඇද වැටුණොත් ලෝකයෙන් ණයට ණය වුණු රාජ්‍ය උරුමයක් නැති අපට කුමක් වෙයිද?

බංකොලොත් වූ තැන මහජනයාගේ සුබසාධනය කප්පාදු කර බදු සංග්‍රහය වැඩි කර රාජ්‍ය උරුමය සින්න කරන්නට සිදුවූ රටක, ඉන් ඔබ්බේ අපට ස්ව කැමැත්තෙන් අනිකෙකුගෙන් මැරුම් නොකා ගෙල වැල දමා ගැනීම වඩා යහපත් තීරණයක් විය හැකි සමාජ වටපිටාවක් ගොඩ නැගෙනු නැතිද?
බලය හමුවේ තුච්ඡ ලෙස මජර දේශපාලනයේ ඊළඟ සැලසුම් හදන මහා ප්‍රාඥයින්ට නිකමටත් නොසිතෙන්නේ මෙවැනි හිතලු ය. නමුත් එහෙව් හිතලු හැබෑ වූ අවස්ථා අපි අසා දැක ඇත්තෙමු. එවිට ඒවා හිතලු නොව තුන්කල් දුටු දිවැස් වැකිය. කෙසේ නමුත් දේශපාලන ආලයෙන් අවස්ථාවාදයෙන් අන්ධව වහසි දොඩන්නට පෙර ඒ බැව් සිහි තබා ගැනීම අතීතය අමතක පොර කුකුළන්ට සේම සිහියෙන් අනාගතයකට යන්නට හදන කාටත් වැදගත් නොවනු නැති ය.

විවේකයට

රැල්ල වෙරළට එන තුරු
හිරු මුදුන් වන තුරු
ණයට කා පිනවමු ද ?
පිනට කා ණය වෙමු ද ?

රටක පුරවැසියන් ලෙස සාධාරණය, යුක්තිය, තම මූලික අයිතිය දිනා ගත නොහැකි වීම නිසා එදා මෙදා බංකොළොත් වූ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත, රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට පෙරම බාර දෙමින් තිබුණේ කරුමයටයි. ආර්ථිකය බිඳ වැටීම නිසා බිත්තියටම හේත්තු වූ ජීවිත වල බරපතළම සැබෑ බේදවාචකයන් අදටත් අත්විඳින්නේ රටේ අහිංසක ම මිනිසුන්.
එදා ඔවුන් පීඩනයට පත් වූයේ දුර්වලයන් ලෙසින් නම් අද ඔවුන් තමන්ගේ රට තුළම අනාථ කොට දැමූවන්. අත්හැර දැමූවන්. ඔවුන්ට සිහින තබා නින්දත් ඇතැම් විට ජීවිතත් අහිමියි. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු අදාළ වන බලධාරීන් නිලධාරීන් මෙරටේ එදත් හිටියේ නැත අදටත් නැත. නීති සරණට දිරියක් මුදල් නැති උන් මෙහි කෝටියක් යැයි කීම එනයින් වරදක් නැත.

ධනය, බලය, කුලය, නිලය, වර ප්‍රසාද මුල් කොට සිය පැවත්ම තකා ලාංකීය සමාජයේ වටිනාකම් කොල්ලලකා විනාශ කළ මජර දේශපාලකයෝ ඇතුළු මජර ලෝලීහු ණයට ණය වී නැවත හදන වැලි මාළිඟා ඔවුන්ගේ කෙළි සෙල්ලම් පිණිස පමණක්ම වන්නේ ඒ තුළ අයුක්තියට අසාධාරණයට දූෂිත ක්‍රමයන් වලට පිළියමක් නොලැබෙන නිසායි. වැල්ලට ගොස් වැලි මාළිඟා තැනීමෙන් සාමාන්‍ය ළදරු ජනයාටත් අයිස් කැටයම් හා අයිස් මාළිඟා තැනීමෙන් පොෂ් ළදරු ජනයාටත් අද විනෝද විය හැකියි. රැල්ල වෙරළට එන කාලයත්, අයිස් දියවන කාලයත් සොබා දහම තීරණය කරාවි, කිසි වෙක්ම මැදිහත් නොවුණත්!
නමුත් ඒ තවත් අර්බුධයෙන් අර්බුධයකට මග මිස විසඳුමක් නොවේ. වැල යන අතට මැස්ස ගසමින් යා හැකි දුරක් ඇත. අපි රටක් වශයෙන් ඒ දුර පසු කොට බොහෝ කල්ය. වැල අවුලක් අවුල් ජාලයක් වූ විට කපා දමන පරිද්දෙන් දැන් ජන සමාජයක පැවැත්ම කපා දැමීම පහසුද සුදුසුද? ජන සමාජය දැවැන්ත අර්බුධයක් කරා ආවේම අයුක්තිය අසාධාරණය අන්තනෝමතිකත්වයන් සමඟ රට අනවරතව ණය බරට සින්න වීමත් සමඟින් ය. මේ ක්‍රමය ප්‍රවර්ධනය කළේ කවුරුන්ද? කුමක් අරඹයාද ? එහි ම දිගුවකින් රට ගොඩයාමට පවතින ක්‍රමය කොතරම් දුරට ඉඩ දෙයි ද ? ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු නොවන රාජ්‍ය පාලනයකට රට වෙනුවෙන් කියා මහ ජනතාව මත කොයි තරම් දුරකට අඥාදායකත්වය පැටවිය හැකිද?

විනෝදයට

අපි දුකෙන් දුක නසමු !
ණයෙන් ණය ගෙවමු !
වෙනස්වම හිතමු !
ලෝකයම දිනමු !

ඉදිරියට එන්නේ සැප විඳීම ම නිසා ඒකාකාර වු ජීවිතයේ වෙනසක් පතා දුක සොයා යන ලෝකයයි.
ස්වභාව ධර්මය විසින් අපට බංකොලොත්භාවය සමඟ විශිෂ්ඨ ප්‍රඥාවන්ත නායකත්වයක් උරුම කළේ ඒ අවස්ථාවෙන් ලද හැකි ප්‍රතිලාභ පින්වත් ලාංකිකයාට උදාකර දීමටමයි .
අෂ්ඨ ලෝක ධර්මයට අනුවත් හැමදා දුක නැත. සැපට හැරවිය හැකි ස්වභාවයක් දුක තුළම ඇත. කෙනෙක් සැප අලෙවි කරද්දී තවත් අයට දුක අලෙවි කළ නොහැකි ද?
උපරිම සැප ~ කාමසුඛල්ලිකානු යෝගයෙන් වෙද්දී අපට උපරිම දුක ~ අත්තකිලමථානු යෝගයෙන් ලබා දිය හැකිය.
සිංගප්පුරුව කාමසුඛල්ලිකානු යෝගය අලෙවි කරන අතර අප  නිතරඟයෙන් අලෙවි කළ යුත්තේ අත්තකිලමථානු යෝගය යි. එනම් දුක් විඳීම වෙළඳාමක් කිරීමයි. එතනට ආයෝජන ගෙන ඒමයි. සැපය අත්විඳීමට මෙන්ම දුෂ්කර ජීවිතය අත්විඳීමටත් මිනිස්සු අසීමිතව ප්‍රියය. ඒ වෙළඳ පොළ ජාත්‍යන්තර ව දිනා ගැනීමට මේ හොඳම අවස්ථාවයි.

තව දුරටත් ඒ දුක වැටහුණු අයට සතුටින් සිටීමේ මැද මගත් අවශ්‍ය අයට දුකින් මිදීමේ මාර්ගයත් පිළිබඳ දේශනා ලැබීමටත් මෙහි අවස්ථාව විවෘතය.
ඔවුන්ට කැමති දවසක් කැමති දුෂ්කර දුක්ඛිත තත්වයක් සමඟ ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතු ය. නිදසුන් වශයෙන් ~ රෑ මැදියමේ වල් අලි ප්‍රහාරයක් සමඟ, දිවි සරිය උදෙසා සැබෑ වැල් පාලමක එගොඩ මෙගොඩ යන ජීවිත සමඟ, අඩුම වියදමෙන් දිවි රැක ගන්නවුන් සමඟ, වේලක් දෙකක් නිරාහාර ජීවිත සමඟ, ජීවත් වීම පිණිස හිඟා නොකා හිඟා කන අය සමඟ, ජීවත් වීම පිණිස වත්කම් උගස් කරනවුන් සමඟ, කියන කියන පදේට ගොවිතැනේ යෙදෙන්නට සිදු වූවන් සමඟ, නොපැහැදිලි අනාගතයට ඉව අල්ලන දරුවන් සමඟ, අයුක්තියට අසාධාරණයට ලක් කෙරෙමින් පාගා දැමෙන ගමේ රටේ තරුණ්‍යයේ ඛේදය සමඟ,  බිඳ වැටුණු ජනයාගේ ජීවිත වල දුක සමඟ,... මේ ආදී වශයෙන් අවම උපරිම මිල ගණන් සහිත පැකේජ සඳහා දුක් සිද්ධි වර්ගීකරණය කළ හැකිය. වැඩි දුකට ගාණ වැඩි ය. අඩු දුක ගාණෙන් අඩුය. එවිට ජනතාව දුක තවදුරටත් විඳවීමක් නොවේ. ආදායමකි. බිස්නස් කියන්නේ එහෙම එකකි.
එවිට සංචාරක කර්මාන්තය තව දුරටත් ගම් නියම්ගම් වල නොවිසිදෙන දුක් ගැටළු සමඟින් නව ප්‍රවේශයක් තුළ පුළුල්ව ප්‍රවර්ධනය කළ හැකිය.
බෝඩ් අල්ලා ගෙන සුද්දාට අරගල කරන්නට එන්න කියු කතාවට වඩා මේ කතාව ප්‍රායෝගිකය. වැඩ පිළිවෙල රාජ්‍ය හිතවාදීය. යටිතල පහසුකම් බිඳ වැටෙන තරමට වෙළඳාම විවෘත ය. පුළුල්ය. සමහර විට වැඩේ නැගලා ගියොත් මිනිස්සුම පාරවල් කඩා දමා දුෂ්කරතාවයන් වැඩිකොට ගෙන වුව වෙළඳාම සරු කර ගනු ඇත.
අපට රටට රාජ්‍යට පාලකයාට පහසුම හා ප්‍රතිපත්ති නැති රටක් වශයෙන් ණයෙන් ණය ගෙවීමේ දියුණුම හා සාර්ථකම ක්‍රමය වනුයේ ඒ අනුවර්තනයයි. සමාජ පරිවර්තනයකට වෙහෙසීමට වඩා සැබවින්ම බංකොළොත්භාවය යනු රටකට අත් නොවිය යුතු ඉරණමක් ය යන්න අධ්‍යයනය කරන්නන්ට පවා මේ ඛේදය අලෙවි කිරීමක් බවට පත් කිරීම කළ යුතුය. දුක වටහා ගැනීමට වෙහෙසෙන්නන්ට රටේ ජන දුක වටිනා මිලකට ලබා දෙන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පවතින වටපිටාව තුළ ණයෙන් ණය මත මේ දුකෙන් දුක නැසිය හැකි මග පෙනෙන්නේ එහෙමම ය.

Saturday, March 25, 2023

සිංහයා විනිද්‍රාවකට පත් කොට චිකිත්සකයා කඩුව පැහැර ගෙන ! by Reporter

දැන් මම සිටින්නේ අදාළ ස්ථානය අහල පහළ ය. (මෙය ස්වංආරක්ෂක කළාපයක් බැවින් ඒ සියළු කටයුතු පරිගණන රොබෝවන් කරන නිසා ඒ පිළිබඳ වාර්තාකරණය වගකීමෙන් බැහැර කරමි)
හිස් කොඩියක් අබියස ලොකු ඝෝෂාවකි. කොඩියේ ලණුව අල්ලන මුදුන තට්ට මිනිසෙක් වට කොට ගත් පිරිසක් දෙකට තුනට හතරට බෙදී මහ ගාලගෝට්ටියකි.
ටයි කෝට් ඇඳි හීන්දැරි උස එකෙක් කඩුවක් දෑතින් ම ඔසවා වැනෙමින් හිඳිනු එතනට මේ මොහොතේ ගුවනින් පාත් කොට ඇති අප ඩ්‍රෝන යානයක කැමරා දර්ශන (අන්තර්ජාලයට යොමු කොට ඇති සජීවි දර්ශන) ඔස්සේ පෙනෙයි.

මුදුන තට්ට සර්
ඒයි මුදුනේ .. තට්ටේ..
ඇයි අපිට අවස්ථාව නැත්තේ !
ඩ්‍රෝන යානාව තවත් අඩි කීපයක් පොළවට පාත් වෙද්දී දැන් සමීප රූප පෙනෙයි. සද්දේ නම් මයික් නැතුව ම ඇසෙයි. එච්චරට සද්දේ ඒකයි.
එයා ආචාර ධර්ම උල්ලංඝනය කරලා ! ~ නිරීක්ෂකයෝ කෑ මොර දෙති.
ආචාර ධර්මයක් නැහැ, තිබ්බත් කඩුව දෙන්නෙත් නෑ ! ~ චිකිත්සකයා තනිව බෙරිහන් දෙයි. කලිසම උස්සයි. හිස ගස්සයි.
අපි සපෝට්. අතාරින්න එපා, ඔයා තමා මෙහෙ වැඩ්ඩා, පොර ! ~ මජරයෝ චිකිත්සකයා රකින්නට මෙන් ඔහු අසලට යති.

උමතුවෙන්, ඔහු උමතුවෙන්. අපට කඩුව පෙන්වමින් තර්ජනය කිරීමෙන් එය පැහැදිලියි ! ~ නිරීක්ෂකයෝ 

මමයි එකම සිංහයා ! ~ චිකිත්සකයා

පිස්සුව වැඩිවුණොත් විශාල හානියක්, ආචාර ධර්ම වලට ගරු කරන්න !~ නිරීක්ෂකයෝ

එයා සිංහයෙක්, මූණ ඕනෙ නෑ නමේ නැට්ට බලන්න. එයා තමයි දැන් සිංහයා ! ~ මජරයෝ

දැක්ක නේ, හරි නේ. Shut up ඇන්ඩ් සිට් ඩවුන්, මෙතන පුටු නෑ නෙ. අයි සෙඩ් බිම ඉඳගන්නවා ! ~ චිකිත්සකයා

ඔව්, ඔව් ඒ සිංහයෙක් තමයි. නමත් හරි, වැඩත් හරි ! ~ මජර ලෝලීයෝ 

අන්න අන්න මුදුන තට්ටේ ලණුව අතෑරලා පැන්නා, වගකීමෙන් පැනලා යන්ඩ දෙන්ඩ එපා !~ නිරීක්ෂකයෝ හා පිරිසක් ඔහු පස්සේ වැටෙනු පෙනෙයි.
ආ ඊ එකඟද !
හා යි අල්ලන්න ඔට්ටු නෑ ! හරි ද:
බයි බායි !
කියමින් මුදුන තට්ට මිනිහා පාත් කරපු ඩ්‍රෝන එක උස්සද්දිම මේන් ඒකෙ එල්ලුනා. මිහිහ සමබර නිසා ඇඟ බර නැද්ද! කැමරාව මිනිහගෙ සුදු කමිස සාක්කුවේ.
අන්තර්ජාල දර්ශන සුදු විය.

චිකිත්සකයා හිනා වෙනු ඇසේ. 

ඔව් දැන් දර්ශන ලැබෙන්නේ ළඟ ඉන්න කාගෙ හරි ෆෝන් එකකින්.

හහ් හහ් හුහ් හුහ් ... හිතෙන් නැද්ද මීළඟට ගුජු ගුජු කෝච්චියක් එනවා කියලා. හහ් හහ් හුහ් හුහ් ~ චිකිත්සකයා

ගුජු ගුජු ගුජු ගුජු  ~ මජරයෝ

හහ් හහ් හුහ් හුහ් ~ චිකිත්සකයා

ස... ර් ~ තඩි මජරයෙක්

එහෙම කීවේ ~ තව මජරයෙක්

තේරුන් නැද්ද , ඒ හෝන් එකේ සද්දේ, හරි දැන් මං පිටිපස්සෙ පෝලිං වෙන්න ~ චිකිත්සකයා කඩුවෙන් ජියර් දමා කෝච්චි එංජිම පණ ගන්වයි.

හහ් හහ් හුහ් හුහ් ගුජු ගුජු ගුජු ගුජු ස... ර්
~ සියල්ලෝ

හෝන් එක ගැහුව ඉක්මන් වැඩී, තව ටිකාක් යන්ඩ තිබුනේ ~ කළු මජරයෙක්

දැක්කෙ නැද්ද සිංහයා, අහු වුණා ද කෝච්චියට ~ සුදු මජරයෙක්

කට කට, කෝච්චියක්, මේක බඩු කෝච්චියක් කියලා කෑ ගහනවා ~ තුවායක් කරේ දමා ගත් මජරයෙක්

බඩු කෝච්චියක්, බඩු කෝච්චියක් ... මේක ! ~ සියල්ලෝ

බඩු කෝච්චියේ හඬ උස්ව ඇසෙන්නට වු නිසා වෙලාවක් යන තුරු කිසිවක් ම ඇසුනේ නැත.
බඩු කෝච්චිය බඩු බෑවේ ලු. එතන සංග්‍රහයක් තිබුණාලු. කන්න, බොන්න, නාන්න, තව ගෙදර ගෙනියන්න බඩු මලු ගමේ අයට බෙදන්න, මට සතුටුයි ඒ නිසා හැමෝටම දෙන්න කියා චිකිත්සකයා කීවාලු.

දැන් මජර ලෝලියෝ ගීයක් ගයනු ඇසේ.

එයා තමා දමා ගියේ කටේ පස් එදා
ගියා වුණත් ආයෙ ආවනෙ අනේ පප්ප පා
කඩුව ගත්ත හැටි බලන්න මාර පොර එයා
දැන් කොටනව දැන් කොටනව මිනිහ සිංහයා
එයා අපේ සිංහයා
කෝච්චියක් අරන් ගියා හිස් එකක් එයා
බඩු පුරවන් ආපු විදිහ අනේ පප්ප පා
දැන් බෙදනව දැන් බෙදනව මිනිහ
වීරයා
එයා අපේ වීරයා
දැන් දැන් රටේ සුරයා
තව තව එයා සිංහයා
කැරකිලා !

ඒ ගීතය ණයට ගත් ගීයක ට්‍රැක් එකක් තුළ ප්ලේ කරන අතර අවසානයේ මජර ලෝලීහු රතිඤ්ඤා දමා සතුට පල කර සිටියෝය.

මම රිපෝටර්, හැරී පෝටර් නොවෙයි.
දැනට මෙතන සජීවී තතු එපමණයි.
අපි ප්‍රධාන බුකියේ නිව්ස් ෆීඩ් එකට යොමු වෙනවා :

Wednesday, March 22, 2023

J R හොඳයි Ranil හොඳා..යි! (මේ පොලිටිකල් නො වේ)

වැඩියෙන්ම රනිල්ට බෑ කියපු මිනිස්සු දැන් එයාටම විතරයි පුළුවන් කියනවා !
රටේ ප්‍රශ්නේ ~ පොළේ බඩු විකුණන විදිහට ඒ ඒ වෙලාවට විකුණ ගන්න පුළුවන් දේශපාලන ගැජමැටික්ස් වගකීමක් නැතිව විකුණමින් ලාබ උපයන ජඩ දේශපාලනය නිසා රට හිඟමනෙන් හිඟමනට වැටුණු එක.
ඒ ජඩ දේශපාලනය නැවත රට ගොඩනැඟීම වෙනුවෙන් ඇප වෙනවා. කැප වෙන්නේ නෑ. යථාර්තය ඒක. මේ විදිහෙන් අපි හදන්නෙ දෙයියන් වහන්සේවත් රවට්ටලා සුගතියට යන්න. නැත්නම් කෙටි මාර්ගයෙන් නිවනක් ලබන්න. 
විවෘත ආර්ථිකේ හොඳයි කියනවා ~ අපිට හොඳක් කර ගන්න පුළුවන් වුණා ද ~ මේක ව්‍යවස්ථාව තරමටම වේදිකාවේ පට්ට ගහපු දේශපාලන මාතෘකාවක්
ණය ආර්ථිකේ නැතුව බෑ කියනවා ~ 17 පාරක් ගියා කියනවා අල්ලගෙන ඉන්න බැරුව. මේකත් පතුරු ගහනවා.
කෝක පතුරු ගැහුවත් අපි රටට ගැලපෙන ක්‍රමයක් හදා ගැනීමට අසමත් මිනිස්සු කොට්ඨාශයක් බව ව්‍යවස්ථා සංශෝධන ගණනින් පේනවා. වම් අත උස්සලා සම්මත කරන දේ ඒ මිනිහාම දකුණ උස්සලා පරාජය කරනවා. එහෙම දේශපාලනයක් අවස්ථාවාදී ව අනුමත කරමින් දශක ගණනාවක් ඇවිත් රටේ ජනතාව ලබා ගත් ජයග්‍රහණ මොනවාද?
එකම දේ තාම රටත් වැසියාත් භෞතිකව සමස්ථයක් හැටියට පවතිනවා. එහෙම හිටි පමණින් රටක් ශක්තිමත් වීමක් හෝ ගොඩනැඟීමක් වෙන්නේ නෑ. නොමැරී ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන අර්ථය අංග සම්පූර්ණ වීමක් නොවෙයි. 
මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිතයක් වගේ නෙවෙයි රටක ජීවිතය. කොටස් හැටියට පංති හැටියට පැළැන්ති හැටියට එක එක් කොට්ඨාශයට එක එක අයට රටේ රාජ්‍යයේ සැළකීම එක එක විදිහ වෙන්න බෑ. සමානාත්මතාවයක් සාධාරණයක් යුක්තියක් රටක ජනයාට එක ලෙස විය යුතුයි. ජනතාවගෙන් රටට පූර්ණ ශක්තිය උකහා ගෙන ජවයෙන් නැගිටින්න පුළුවන් එතනදි. එහෙම නැති ව කාලෙන් කාලෙට එක එක නායකත්ව ප්‍රතිරූප උත්කර්ශයට නංවා යැපෙන්නේ මජර දේශපාලනයේ පැවැත්ම පමණයි. අපි අද දක්වාත් කරන්නේ එහෙව් දේශපාලනයක් උදෙසා රටක් නඩත්තු කරනවා මිස රට වෙනුවෙන් යහපත් දේශපාලනයක් ගොඩනඟා ගැනීම නොවේ.
ඉඳින් විවෘත ආර්ථිකය හොඳයි කියූ ලෙසම අපි ණය ආර්ථිකයට හොඳා..යි කියා අවස්ථාවාදී වීම හැර මේ අවස්ථාවාදය නඩත්තු කරන මජර දේශපාලනයට බායි කීමට තවමත් සුදානම් නැතිද?
අලුත් අලුත් දෑ නොතනන, නොතකන, එයට ගරහන, ඊට බිය, කැප විය නොහැකි, ෂේප් න්‍යායෙන්ම යැපෙන, විලි ලජ්ජාවෙන් තොර හා කෙටි කාලීන මතකය හැර වෙනත් අනන්‍යතා නැති ජාතියක් ලොව නොනගී. නැගීම තබා ණය බරකින් වත් එවැනි ජාතියක් අත්මිදෙනු නැති.

Friday, March 10, 2023

by එහෙයියා (එහෙයියා~ව)

මෙරට විසූ සහ අදටත් වෙසෙන සත්ගුණවත් යුක්ති ගරුක සාධාරණ පාලකයින්ට එදා මෙදා බාධා කරන උන් නොවන්නට අද අප සියල්ලෝ කේතුමතියක වසන ප්‍රීතිමත් මිනිසුන්ය. 
ඉතා යහපත් පාලකයින් අදූරදර්ශී අයහපත් තීරණයන්ට පොළඹවා ඇත්තේ මේ බාධා කරුවන් ය. ඉතා යහපත්ව පැවති දේශපාලනය අයහපත් මාර්ගයට ඇද දමා ඇත්තේ මේ බාධාකාරී ජනතාවය. ඇත්තෙන්ම ඔවුන් පහර දී එලවා දමා සත්ගුණවත් දේශපාලන ප්‍රභූන් රැක ගැනීම රාජ්‍යයේ ආරක්‍ෂකයින්ගේ වගකීමය. රටක වැදගත්ම පිරිස රටේ පාලනාධිකාරිය හොබවන දේශපාලකයා ය. ජනතාව විශේෂයෙන් අරගලකාරී ජනතාවක් නොව රටක දියුණුවට ඇවසි රටේ පාලනාධිකාරිය ප්‍රශ්න නොකරන ජනතාවකි. කොටින්ම කීවොත් එහෙයියන් පිරිසකි. පාලකයාගේ යහපත් සිත මුදු මෙලෙක් වන්නේ එවිටය. 
ගත සිත නොරිදවා , කී දේ කර දෙවා , බැති පෙම් උපදවා , වැඩ කර ගනිව් රජුට වැඳලා යනුවෙන් අතීතයේ ප්‍රබුද්ධ කවියෙක් පවසා තිබුනේ නිකම් නොවේ. නමුත් මෝඩ ජනතාවකට එය නොවැටහීම රටේ ඛේදයකි. 
විධායක බලයක් හොබවන ආන්ඩුවකට ව්‍යවස්ථාදායකය බලයත් තමන්ට අවශ්‍ය ආකාරයකට හැසිරවිය හැකි නම් ඔවුන්ට අති මහත් බහුතර ජනතාවක් මෝඩ අරගල කළ ද 
එලක් නැත. එබඳු විටෙක විචක්සන පාලකයින් කෙසේ හෝ අප රට තව කලකින් ලෝකයේ ඉහළම තැනකට ගන්නා බව අවිශ්වාස නොකර හිඳීම ප්‍රමාණවත් ය. ඊට හේතු උවමනා නැත. ජනතාවගේ වගකීම ඔවුන්ට ඉඩ දී බාධාවකින් තොරව ඔවුන්ගේ කටයුතු කිරීමට ඉඩ හැරීම ය. ප්‍රශ්න නොකර ඔවුන්ට සහයෝගය දීමය. එහිදී තම ජීවිත පැවැත්මට මුල් තැන දීම වැරදිය. රාජ්‍ය පාලකයා පළමු තැන තැබිය යුතුය. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් බලවත් ඔවුන් යන්නය. එබැවින් තමාගේ දුර්වලතාව තේරුම් ගෙන අරගල නොකොට පාලකයා කරන සියල්ල ගුණ යහපත්කම් ලෙස දකින්නට හුරු වීම රටක පොදු ජනයා බුද්ධිමත් වීමක් ලෙස අර්ථ විග්‍රහ කොට ගැනීම කිසියම්ම ලෙසකින් ලජ්ජා වීමට හේතුවක් ඇති දෙයක් නොවේ.
ඔබ කිසියම්ම ලෙසකින් පාලකයාගේ සදොස් බව ප්‍රශ්න කළ ද තමා සතුව බලය පවතින තෙක් ඔහුට උවමනා පරිදි එය නොසළකා ක්‍රියා කළ හැකිය. එබැවින් මෝඩයෙක් වෙන්නට එපා! විවිධ අයියන් මැද ඔබ අඩු තරමින් එහෙයියන් ගොඩවත් නියෝජනය කළ යුතුමය. මේ සත්ගුණවත් රාජ්‍යයේ පරම සේවකයෙකු නම් ඔබට ඒ සඳහා බාධා තවත් අවමය. 

Wednesday, March 8, 2023

by හාමු ~ දිව්‍ය ලෝක ගමන 1

හාමු අලියාගේ වල්ගය තදින් අල්ලා ගත්තේ ය. ඉන්දියානු ඉන්ධනය. චීන ඇංජිමය. ඇමරිකානු මෙහෙයුමය. මෙහෙන් හාමු හා පිරිසය. මේ තෝරාගැනීම ගැනම අප රටක් වශයෙන් ලෝකයට ණය ගැතිය. මින් පෙර අලියාගේ වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයට ගොස් තිබුණේ මේ හාමුගේ මී මුත්තා ය. එබැවින් පරම්පරාවේ නම්බුව මී මුණුපුරා තබනු ඇතැයි කව්රුත් විශ්වාස කළෝය. මීට පෙර හාමු සමඟ අමනාපයෙන් හිටි බොහෝ දෙනා මෙවර හාමු සමඟ දිව්‍ය ලෝක ගමනට එක්වී සිටීම ඇතැමුන් සිහිසුන් කරවන තරමේ පුදුම සහගත තත්වයක් විය. ඇත්තෙන්ම එහෙම නොවුණා නම් පුදුමය. හාමු සමඟ ජන්මාන්තර වෛරයෙන් පසු වූ ඇතැමුන්ගේ වෙනස ගම්මුන් උමතු කරන තරමේ එකක් විය. කෙසේ නමුත් හාමු සිටියේ සතුටිනි. දිව්‍ය ලෝක ගමනට කලක් තිස්සේ උත්සාහ කළ ද "පූරුවේ පින ඵල දෙන්නේ දැන් තමා" ඔහු හාමිනේටත් තමන්ගේ අත වැස්සන්ටත් කීවේ දැනට දින කීපයකට කලින් මේ ප්‍රීතිය සැමරීමට සාදයක් පැවැත් වූ හවසකය. මධුවිත තොළඟා බටහිර විලාසිතාවට හාමිනේ ගේ නළලට හාදුවක් දුන් ඔහු "මුන් මට ඒ දවස් වල කීවේ හාමුට බෑ කියලා" යයි ඔලොක්කු සිනාවක් නැගුවේ ය. කොහොම වුණත් දිව්‍ය ලෝක ගමනට රටේ සබාවෙන් තමා තෝරා ගැනීමටත් වඩා ලෝකයේ රටවල් වලින් ගමනට ආධාර ලැබීම හාමුට ගෙන ආවේ සතුට කි. "අපේ උන්ට වඩා මට උන් එක්ක ගනුදෙනුව ලේසියි" අලියාගේ වලිගය අතගාන අතර හාමු තොල මැතිරුවේ ඒ හෙයිනි. ඉන්දියාව ඉන්ධන දුන්නත් චීනය එංජිම දුන්නත් ඇමරිකාව ගමනේ සැලසුම ඇන්දත් දිව්‍යලෝකයට යා යුත්තේ වලව්වේ ගහේ බැඳ ඉන්න අලියාගේ වලිගේ එල්ලිලා ය. අලියා වලව්වට ආ ගමන හාමු ඉපදෙන්නටත් පෙර කතාවකි. අලියාගේ හොඳ කාලයෙන් හොඳටම වැඩ ගත්තේ මී මුත්තා ය. "මගේ හොඳ කාලෙදි මූත් වයස වුණා නොවෙන්න මං නවතින්නේ දිව්‍ය ලෝකෙ නෙවේ. බ්‍රහ්ම ලෝකෙට ගිහින් " 
ඒත් ඉතිං මක් කරන්නද මේ වෙලාවෙ රාජා මුදලාලි තමයි හැම දේටම කියල හාමු ගෙ දකුණු අත වගේ හිටියෙ. කොටින්ම දිව්‍ය ලෝක ගමනට වෙන සුදුස්සෙක් නැත ය කියල හාමුටම වැඩේ පoගාතු කළේ උන්නැහැ තමා. එක පැත්තකින් රාජ මුදලාලිට තිඋන අවස්ථාවක් මේක. නමුත් හාමුගෙ වෙලාවට අලිය විකුණල නොතිබ්බ එකයි වසනාව, ඊටත් වඩා හෙන්ඩුව. හාමුගේ හිත ගර්වයෙන් රත් වුණා. "මගේ හිතේ විශ්වාසෙ හොඳයි" හාමු ඉංග්‍රීසියෙන් තමන්ගෙ ගර්වය ගැන සෑහෙන උද්දාමයකින් තමන්ට ම කතා කර ගත්ත.
වලිගෙ තදින් අල්ලගත්ත හාමු ගෙ සෙට් එක හාමුගෙ ඉණ වටෙන් අත දාල එක එක්කෙනා පෝළිමට එල්ලුනා දිව්‍ය ලෝක ගමනට. ඔය ඔක්කොමත් හරි හාමුට විතරක් නෙවෙයි රාජ මුදලාලිටත් ඉහිලුම් නොදෙන දෙයක් තිබුණා. ඒ තමයි ගමේ කොල්ලො කුරුට්ටො මේ වැඩේට දාන පල් එක. උන් කියන්නෙම මෙහෙම දිව්‍ය ලෝකෙ යන්ට බෑ ය. වයසට ගියාම කොහොමත් බෑය. අඩු තරමෙ දිව්‍ය ලෝකෙ යනව නම් හැට පිරෙන්නට වත් පෙර යා යුතු බවය. අනික උන් මෙහෙම ගමන පිළිගන්නේ ද නැත. වලිගේ එල්ලී දිව්‍ය ලෝකේ යා නොහැකි බව ද උන් කියති. විශේෂයෙන් ම රාජාගේ මුදලාලි කමටවත් තමන්ගේ හාමු කමටවත් උන් ගරු නොකරති. රාජා මුදලාලි සමඟ විරසක ව හිටි කාලයේ නම් ඔහුත් කොල්ලන්ගේ පැත්ත ගෙන මුදලාලිට වෙට්ටු දැමූ මුත් මුදලාලි මිතුරු වෙස් ගෙන කළ උපකාරයෙන් පසු තමා ගිරයේ ලෑ පුවක මෙන් හිරවුණු බව හාමු දනී. දැන් කොල්ලන්ගේ වැඩ හාමුට සුළු පටු වදයක් නොවේ. වත්තේ මුරකරුවන් ලවා ලයිසොන් තුවක්කු බයිනෙත්තු පෙන්නුවාට ඉස්සර මෙන් කොල්ලන් ඒවාට බය වෙන්නේ ද නැත. රට්ටුන්ගේ අවධානය නිසා මුන්ගේ රැස් බැස්සවීමට ඔයින් එකක් දෙකක් පත්තු කිරීමට හිතුනත් එය ලේසියට කළ නොහැකි ය. ඒ මදිවාට කොල්ලන් වලව්වට ගල් ගසනවා යැයි ළඟදී මුරකරුවන් කීප දෙනෙක්ම වග පල කියනවාද හාමුට ඇසී තිබේ. හාමු මුරකාර දීමනාව සියයට විස්සකින් වැඩි කළේ උන්ගේ යටි හිතේ ඔය වලව් ගර්වය මෝරන්නටත් එක්කලාය. වත්ත මායිමේ කරක් ගැසූ කොල්ලන් වැට පොලු උගුල්ලා බය කොට පැන්නූ බව මුරකරුවෙකු කියනු ඇසුනු හාමු ඔහුට ප්‍රසංශා කළේ මුත්තා හා ඊට පසු කලක තමන්ගේ කෙරුම් සිහියට නඟමින් "ඔය වගේ දහයක් හිටියනම් මට ඇති ගමකට" කියමිනි.
මේ හිතිවිලි එක්ක හාමුට අල්ලගෙන හිටි වලිගය මිරිකුණා විතරක් නෙවෙයි. තව ටිකෙන් විකෙනවා ඒක. ඒ තරමකට එන කේන්තියක්. චීන  ඇංජිමට ඉන්දියන් ඉන්ධන යොදා ඇමරිකන් සැලැස්මට තමයි අලියට උඩ යන්න රොකට් පවර් එක දෙන්නේ. අලියගෙ වල්ගෙ එල්ලිල තමයි සෙට් එක දිව්‍ය ලෝකෙ යන්නෙ. එහෙම ගිහිල්ල මී මුත්තගෙ මතකෙ අලුත් කරල නම්බුවයි ගරුත්වෙයි බේරගෙන ආපහු එන්න බැරි වුණොත් එහෙමම නවතින්නයි හාමු හිතාන උන්නෙ. යන යන තැන හාමිනේව එක්කන් යන්න හිතුවෙත් ඒකමයි.
මතු ~