Wednesday, March 22, 2023

J R හොඳයි Ranil හොඳා..යි! (මේ පොලිටිකල් නො වේ)

වැඩියෙන්ම රනිල්ට බෑ කියපු මිනිස්සු දැන් එයාටම විතරයි පුළුවන් කියනවා !
රටේ ප්‍රශ්නේ ~ පොළේ බඩු විකුණන විදිහට ඒ ඒ වෙලාවට විකුණ ගන්න පුළුවන් දේශපාලන ගැජමැටික්ස් වගකීමක් නැතිව විකුණමින් ලාබ උපයන ජඩ දේශපාලනය නිසා රට හිඟමනෙන් හිඟමනට වැටුණු එක.
ඒ ජඩ දේශපාලනය නැවත රට ගොඩනැඟීම වෙනුවෙන් ඇප වෙනවා. කැප වෙන්නේ නෑ. යථාර්තය ඒක. මේ විදිහෙන් අපි හදන්නෙ දෙයියන් වහන්සේවත් රවට්ටලා සුගතියට යන්න. නැත්නම් කෙටි මාර්ගයෙන් නිවනක් ලබන්න. 
විවෘත ආර්ථිකේ හොඳයි කියනවා ~ අපිට හොඳක් කර ගන්න පුළුවන් වුණා ද ~ මේක ව්‍යවස්ථාව තරමටම වේදිකාවේ පට්ට ගහපු දේශපාලන මාතෘකාවක්
ණය ආර්ථිකේ නැතුව බෑ කියනවා ~ 17 පාරක් ගියා කියනවා අල්ලගෙන ඉන්න බැරුව. මේකත් පතුරු ගහනවා.
කෝක පතුරු ගැහුවත් අපි රටට ගැලපෙන ක්‍රමයක් හදා ගැනීමට අසමත් මිනිස්සු කොට්ඨාශයක් බව ව්‍යවස්ථා සංශෝධන ගණනින් පේනවා. වම් අත උස්සලා සම්මත කරන දේ ඒ මිනිහාම දකුණ උස්සලා පරාජය කරනවා. එහෙම දේශපාලනයක් අවස්ථාවාදී ව අනුමත කරමින් දශක ගණනාවක් ඇවිත් රටේ ජනතාව ලබා ගත් ජයග්‍රහණ මොනවාද?
එකම දේ තාම රටත් වැසියාත් භෞතිකව සමස්ථයක් හැටියට පවතිනවා. එහෙම හිටි පමණින් රටක් ශක්තිමත් වීමක් හෝ ගොඩනැඟීමක් වෙන්නේ නෑ. නොමැරී ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන අර්ථය අංග සම්පූර්ණ වීමක් නොවෙයි. 
මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිතයක් වගේ නෙවෙයි රටක ජීවිතය. කොටස් හැටියට පංති හැටියට පැළැන්ති හැටියට එක එක් කොට්ඨාශයට එක එක අයට රටේ රාජ්‍යයේ සැළකීම එක එක විදිහ වෙන්න බෑ. සමානාත්මතාවයක් සාධාරණයක් යුක්තියක් රටක ජනයාට එක ලෙස විය යුතුයි. ජනතාවගෙන් රටට පූර්ණ ශක්තිය උකහා ගෙන ජවයෙන් නැගිටින්න පුළුවන් එතනදි. එහෙම නැති ව කාලෙන් කාලෙට එක එක නායකත්ව ප්‍රතිරූප උත්කර්ශයට නංවා යැපෙන්නේ මජර දේශපාලනයේ පැවැත්ම පමණයි. අපි අද දක්වාත් කරන්නේ එහෙව් දේශපාලනයක් උදෙසා රටක් නඩත්තු කරනවා මිස රට වෙනුවෙන් යහපත් දේශපාලනයක් ගොඩනඟා ගැනීම නොවේ.
ඉඳින් විවෘත ආර්ථිකය හොඳයි කියූ ලෙසම අපි ණය ආර්ථිකයට හොඳා..යි කියා අවස්ථාවාදී වීම හැර මේ අවස්ථාවාදය නඩත්තු කරන මජර දේශපාලනයට බායි කීමට තවමත් සුදානම් නැතිද?
අලුත් අලුත් දෑ නොතනන, නොතකන, එයට ගරහන, ඊට බිය, කැප විය නොහැකි, ෂේප් න්‍යායෙන්ම යැපෙන, විලි ලජ්ජාවෙන් තොර හා කෙටි කාලීන මතකය හැර වෙනත් අනන්‍යතා නැති ජාතියක් ලොව නොනගී. නැගීම තබා ණය බරකින් වත් එවැනි ජාතියක් අත්මිදෙනු නැති.

No comments: