Showing posts with label හලෝව්. Show all posts
Showing posts with label හලෝව්. Show all posts

Friday, June 28, 2013

හිස් සාක්කුව-සමුදෙමි ඔබට

ජීවිතයේ ඇති තතු
එලෙසින්ම දකින්නට
මග පෑදූ
මගේ සීමාකාරී සාධකය
හිස් සාක්කුව
ඔබට
ස්තුතියි,
දැන් ඉතින්
අවසරයි,
කෘත ගුණ සළකන්න
ඉඩ දෙන්න
පුරවන්න
ඔබව, 
මගේ අනාගත කාසිවලින්

:) :D ;) ;D ගුණබර කාසිබර - ටු ඉන් වන් අනාගතයක් වෙනුවෙන් සව්දිය පුරන්නට ඇරයුම්... අවංක හිස් සාක්කුකාරයින් හට විශේෂයි.

Wednesday, June 26, 2013

සපත්තුවට කකුල


ඒක වැරදී බං

සපත්තුවට කකුල නෙවෙයි
කකුලට සපත්තුව කියන එකයි හරි

ඉතින්, සපත්තුවට නොවෙද කකුල දාන්නේ
සපත්තුවට කකුල, කීවාම මොකද

නමුත් පළමුව කකුලයි
සපත්තුව දෙවනුවයි

නෑ, සපත්තු සයිස් තියෙනවා
හරියන සයිස් එකට කකුල දානවා

මං කියන දේ උඹට තේරෙන්නෙ නෑ

මං කියන දේ උඹ තේරුම් ගන්නෙ නෑ

මේ උඹලට ඔය සපත්තු දාගන්න බැරිනම් නැතුවම වරෙල්ල

නිකමට කියපන්, සපත්තුවද වටින්නේ
කකුලද?

කකුලට වඩා වටිනා සපත්තු තියෙනවා බං කඩවල

මගුල

යකෝ ඔය එහෙකටවත් නෙවේ
කකුලෙ ආරස්සාවට දාගනින් ඔය දෙක
පස්සෙ, කටු ඇනුනයි කියන්න එපා
ගල් ඇනුනයි කියන්න එපා

හරි හරි යං, අපි එනවා බං...

විතර්ක ආලම්

අපි ගමනක් ගියෙමු
එකිනෙකා එකට හැපෙමින් ගමන් ගතිමු
මද දුරක් ගියෙමු
දෑත් මුදා දෙපසට වී ගමන් ගතිමු
දැන් අප දෙපසය
එක් පසෙක ඇය
අනෙක් පස මම
අපි දුටුවෙමු
ඇය කීවේ එය මහා ඵල ඇති රුකක් බවයි
මම දුටුවේ දිරා ගිය මහා රුකක් බවයි
පසෙකට වී බැලුවෙමු
පැත්තක් දිරා ගිය අනෙක් අත ඵල බරවූ මහ ගහක්
දෙදෙනාම ඒ වෘක්ෂයක් බවට එකගවුනෙමු
යලිත් ගමන් කළෙමු
අපි දැක්කෙමු
ඇය කීවේ ඒ සුදු හමක් බවයි
මා දුටුවේ හම කලු බවයි
පසෙකට වී බැලුවෙමු පෙර ලෙසම
පැත්තක් දා පිච්චී ගිය මහළු මිනිසෙක්
දෙදෙනාම එකගවුනෙමු මහළු මිනිසෙක් බවට ඒ
යළිදු ඉදිරිය බැලුවෙමු
දුටුවෙමු
ඇය කීවේ දෑසක් නාසයක් කටක් බඩක් ඇති බවයි
මම ගෙලක් පිටක් පස්සක් වලිගයක් ඇති බව කීවෙමි
පසෙකට වී බැලුවෙමු
වානර කුලයෙන් බවට අප එකගවීමු
අපි නැවතුනෙමු
එය අන්ධ බව ඇය කීවාය
එය බිහිරි බව මම කීවෙමි
පසෙකට වී බලන්නට 
අපට අවැසි නොවිණි

Tuesday, June 25, 2013

බයිට්

කටට රහට 

අපට හැපෙන

බැදෙන 

කරවෙන

එකම තෙලේ 

හිට ඇහුවලු

බයිටද?

උඹ

Monday, June 24, 2013

යුෂ්මතා කව්ද? (දන්න කෙනෙකුගෙන් අහගන්ඩ, අහවලා ගැන මගෙන් අහන්ඩ)

හිතලා  බැලුවා

තවම තේරෙන්නෙ නෑ වගේ

ඇහුවම  කිව්වා

දැන් නම් හරි වගේ

තීරණය කළා

ආපහු කල්පනා කලා

ඒ පාර පොඩ්ඩක් වෙනස් වගේ

තව හෙව්වා

උත්තර  ලැබුනා

දැන්නම් ඉතිං වැඩේ ගොඩ වගේ

ළගදි දවසක් 

කෙනෙක් ඇහුවා

........................

මම ?  

නම ?

ඒ නමම තියෙනවා තවත් කෙනෙකුට

ඇත්තද? 

නොම්බරේ...

එක්කෙනෙකුට එක නොම්බරයයි, 

සමහරුන්ට තුන හතරක්..

වැඩක් නෑ අවුල්, අප්සට් විලි ලැජ්ජයි

කෙලින්ම කියන්න බැරි වුනානේ..

ඇයි? මං හිතුවෙ දන්නව කියලනේ...

කොහොමද කියන්නෙ

මගේ උසාවිය 

නඩුකාරය මම

ඒත්, එවේලේ

නැතිවුනා කටඋත්තර

අහපු ප්‍රශ්නෙ?

යුෂ්මතා කව්ද?

යුෂ්මතා කව්ද?

යුෂ්මතා කව්ද?

මම..? 

... පස්වාන් දහසකට බුදුවන්ඩ...

දන්න කෙනෙකුගෙන් අහගන්ඩ

අහවලා ගැන මගෙන් අහන්ඩ


-මම- හලෝව් රස්ටා.. :)

හේතු (පිරිහුනු කිරි)

ඉබාගාතේ අයාලේ

යන පිරිස් දැක මුළාවේ

තැනක බැනවැද තැනක බණපද

දකින කවුරුත් විචාරේ

     ගෙදර සිට උන් පාසලෙද පසු

     ටියුෂනුත් ගත් වෙලාවේ

     කව්රුනුත් උන්ගෙන් එවේලේ 

     ඇසුවෙ බලමුකො විභාගේ

එකත්පස් කොට නොහොද හොද ගැන 

හැදෙන්නට ගති මනාසේ

කිසි කලක උන්හට දෙසුවෙහිද

පාඩමුත් කළ මනාවේ

       කලා නොකලා කලාවේ රස 

       ගුණය මිනිසුන්ගේ අගේ

       සමතලා වී  ගිය පසුද දැන්‍‍අර 

       දොස්  නගනු ගැන මේ ක්‍රමේ

ඉටිවලින් හෝ මැටිවලින් නොව

කඩදහින් කම් නෑ වැඩේ

කරනවානම් හොද නරක කිම

ඵලය පමණයි තැකූයේ

             රස්නයට ඉටි උණුවුනත්

             මැටි කරවෙලා යන විලාසේ

             දැවී යන කඩදාසි ගැන දැන්

             කව්ද වග ඵල සොයන්නේ

දැනෙන විට මෙහි වුනු හබේ

ආපසු හැරෙනු බෑ කියන්නේ

බොහෝ දුර කට ගිහින් කවුරුත්

හුන් තැනින් දුර අවාරේ

              හේතු නොසොයන හේතු නොදකින

              ප්‍රශ්න උත්තර සමා‍‍‍‍ජේ

              කට පාඩමට දුන් පිළිතුරුයි

              හැම ප්‍රශ්නෙටම තියෙන්නේ

අපත් දන්නැති අපිට සිත් නැති

පැන  නැගෙන විට වෙලාවේ

අවේලාවේ පැන දුවනවා 

මිසක වෙන කිම කලාවේ

කිරි පිරිහුනේ ජලයෙන්මද ගොම බිදක් වැටීමෙන්ද ? හේතු හොයමු යළි නොපිරිහෙන්නට..

Sunday, June 23, 2013

පුණ්‍යවන්ත (පව්කාර පුණ්‍යවන්ත‍යෝ)

පන්සල් යයි 

දන්සැල් දෙයි

බණත් අහයි

සිලුත් ගනියි

        අදත් එකයි

        හෙටත් එකයි 

        එදත් එකයි

        ඔහුම තමයි

ශ්‍රද්ධාවත් එකම තමයි

ප්‍රඥාවත් එයම තමයි

ඔහු ඉන්නේ එකම තැනයි

අනෙක් අයට බෙදෙන පිනයි

       අතන වැඩෙත් කෙරිලා ඇති

       මෙතන වැඩෙත් කෙරිලා ඇති

       ඔහු හැමතැන ඉන්නා විට

       හැමගේ බර ඔහු පිට ඇති

වැඩෙන් තොරව නැත බුහුමන්

වැඩක් නැතිද ඔහු කළ පින්

කලක පටන් රැස් කළ පින්

වගා වුනිද මේ බිම දැන්

         එකත් පස්ව බණම තකා

         ගියත් නැතිද වෙන්නේ මුළා

         බුදුන් දෙසූ දම් වළදා

         ඒවා දැන් මිල කරලා

පෙරහැර ගෙන යෑම හොදයි

දෙසනා බණ දහම් හොදයි

යටි කුරු කළ බදුන් ගොඩයි

ඒවාටම දහම් දෙසයි

             ශ්‍රද්ධාවෙන් ඉවසාගෙන

             හිටි පමණින් පුණ්‍යවන්ත

             රැස්‍ වේවිද පුණ්‍ය මහිම

             දිවියේ ජය මං තැනුමට

නිවන නිවන නිවන තමා

ඒක කොහොද අපට අමා

දනට පිනට කැමති එකා

සූරාගෙන කන්න එපා

                  ආතල් ‍‍වී පුරන ‍‍විතින් 

                  නොයෙක් දනා නොයෙක මතින් 

                  පු‍‍වත් නොදැන මෝඩ සිතින්

                  මගුල් කරති ‍පොහොය ගෙවෙත්

පව්කාර පුණ්‍යවන්තයන්ගේ පින පෑදේ‍වා, අද වැනි දිනක...වත්

Thursday, June 20, 2013

තැටිය රත් වී ඇත, සුරා බදුනත් කහට තේ එකත් අතරින් (ප්ලස් වීමේ කතාව)

සුරා බදුනට ගැලපෙන්නේ මස් පෙත්තකි. කහට කෝප්පයට රොටියක් ගැලපේ. අප දන්නා ප්ලස් කිරීම නම් එබදුය.

දැන් තැටිය රත්වී ඇත. රොටියක් පුළුස්සුමුද? මස් පෙත්තක් පුළුස්සා ගනිමුද? ප්ලස් වීමේ කලාව සමග ඔබගේ තේරීම කුමක්ද?

අප ජීවත් වන හතරවරං සමාජයේ මේ හතරවරං අභූත රූපය මොළය කළදකට වඩා වැඩි ඈයින්ට නොතේරී යා නම් නොහැක.

දැන් සූදානම එවැනි දෑ තේරුම් ගන්නට කැමැති උදවිය වෙනුවෙන් ඒ කතාව කියන්නටයි. කාළයක සිට තමන් ලද විවිධ අත්දැකීම් තුළ පුද්ගලයා සේම පොදු සමාජ දේහයද යම් කිසි පරිණතියකට ලක් වෙයි. මේ පරිණතියේ සීමා කෙබදුද එහි වටිනාකම් කෙබදුද යන්න පසෙක තිබියදී එහි පරිණාමය ගැන අවධානයට ලක් කිරීම මගේ කැමැත්තය. කිසිවෙකුගේ වාද හෝ මුලාශ්ශර වලින් තොර මගේ ශුද්ධ වූ රස්තියාදු ඥානයේ වටහා ගැනීමෙන් මෙසේ ලියමි. එසේ  කියුවේ එබදු මුලාශ්ශර දන්නා අය ගැන කිසියම් ම වූ නොපහන් හැගීමකින් හෝ අගෞරවයකින් නොවන බවද මෙතැනම කියමි.

මා කල්පනා කළ ඒ පරිණාමයේ බෙහෙවින් තීරණාත්මක අවදියක අද අප සිටින්නේයැයි ඒ මේ අත අප සමාජයේ සරලව සැරි සරද්දී මම දකින්නෙමි. එය හරියට අවුරුදු පනස් පහක වයසක තැලැත්තෑනියෙකුගේ පරිණත භාවය මෙන් යැයි විටෙක මට සිතේ. ජන මනස රත්වී ඇත. දැන් දැන් තමන් සන්තකයේ තිබුණු සංස්කෘතිකමය හරයේ වටිනාකම දකින අතරම වෙනස් වන සමාජ රටාව නූතන තාක්ෂණය සමගින් ගම් නියම් ගම් කරා අනියමින් හෝ සම්ප්රේෂනය වී ඇති බව පෙනේ. මතුපිටින් යන තාක්ෂණය සමග මතුපිටින්ම ගමන් කරන සමාජ සබදතා වල ඇති කෘතිම ගතිය ක්රමයෙන් ගමතුළටද පැතීරී ඇත්තේ නොදැනුවත්වමය. තමන්ගේම වැරදි නිසා තමන්ගේම වගකීම් යුතුකම් ඉටු නොකළ විශ්රාම යෑමට ඔන්න මෙන්න කියන මේ තලැත්තෑනියා දැන් සුසුම් ලමින් හිදී. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය. එබැවින් ඒ සදහා වෙහෙසීමට නොව, ඉතිරි වයසත් දැන් ඇති නුවණත් නිසි ලෙස භාවිත කොට දැන්වත් තම යුතුකම් ඉටු කරන්නට වගකීම් තම අතටම ගන්නට මේ තලැත්තෑනියා කල්පනා කරන්නේ නම්? සමාජ දේහයේ අද වැඩිහිටි නියෝජනය බාල පරම්පරාව හමුවේ නිරුත්තරව හිදිති. වරද කාගේවත් නොවේ. එය එක්තරා යුග පරිණාමයකි. එයට ගොදුරු වූ මානවයාගේ වැළපිල්ලකි.

එබැවින් දැන් තැටිය රත්වී ඇත. රත් වෙමින් ඇත. සුරා ලෝලීන් මස් පුළුස්සන්නට බලා හිදී. කහට කෝප්පයක් තොල ගා සැනසීමක් ලබන අහිංසකයෝ රොටී පුළුස්සන්නට බලා සිටියත්, ඔවුන්ට එයට නිසැක සහයක් ලැබෙන්නේ කාගෙන්ද? මෙය බුදුන් වැඩිය රට වුවත් අද සුරාලෝලීන්ට වැඩි සැළකිලි තිබේ. එබැවින් අපි කහට එකක් බී රොටියක් කන්නට සිහින මවන විට, බල ඇත්තෝ නම් සුරාවේයයි කියන්නෝ සුරාවෙන් තම පිම්බුනු අවයව බලහත්කාර ලෙස භාවිත කොට අපේ තැටියේ ඔවුන්ගේ මස් පෙතිම පුළුස්සති. මෙරට වසන්නන්ට ඒ මස්ගද හොදින් දැනෙන්නේ අද ඊයේ සිටන් නොවේ. තැටියේ රත් වීම වැඩි වන්නට එය දැන් වැඩියෙන් දැනෙන්නට ගත්තා පමණකි. ඉදින් කණගාටුවේ අවේගය දුකක් නොවනු පිණිස මෙසේ ලියා තබන්නේ පහන් සංවේගයකිනි. තවත් මේවා ලියා ඵලක් ද නැත. ඊලගට ලිවිය යුත්තේ තෙවැනි දශකයකින් මෙපිටට එන ජීවිත වයස් ඇති මගේ පරම්පරාවේ අය වෙනුවෙනි. ඒ බොහෝ අයට තැටියත් , රොටියත් හතරබීරි කතාවක්ම පමණි. 

ඒ ඈයින්ට රස්තියාදු ප්ලස් වන්නේ නැත. එය විනාශයට මගක් විය හැකිය, ශුද්ධ රස්තියාදුව කීවාට තේරෙන්නේ නැත. එය ඔවුන්ගේ වරද නොවේ. යුගයේ පරිණාමික ත්වරණයේ වරදයි.

එනිසා අපි ඔවුන්ට ප්ලස් කළ යුත්තේ අලුත්ම දේවල්ය. ඒ මෙවැනි අයුරකින් යැයි මට සිතේ.

ඔවුන්ට අපි ලියමු, ලස්සන කතාන්දර. විද්‍යාත්මක ලෝකයේ ජීවිතය හා අතේ තියෙන ඇත්ත ඇත්ත බව නොදන්නා නිසා වටේ ගිහින් ඒ ඇත්තම හොයා ගන්නා හැටි. අපිට තියෙන තාක්ෂණික අලුත් දැනුම යොදාගෙන  ඒ ගැන නිර්මාණාත්මක දේ කරමු. අපි ඇත්ත හොයාගන්න ගිය රස්තියාදුව අඩු තරමින් ඒ අයට විද්‍යාත්මක ක්රමයක්වත් කරමු. එතකොට අඩුම වශයෙන් සමාජ පිළිගැනීමවත් ඒ උදවියට ලැබේවිනේ. එය කාටත් සතුටු සිතින් ජීවත් වන්නටවත් අවස්ථාවක් ගෙනදේවි. දැන් වන විටත් ක්රියාත්මක වන ඒ ක්රමයට මෛත්රියෙන් හිස නමන්නේ පෙරලුනු පිට හොදයි කියන්නට නොව, ආපිට පෙරළන්නට බැරි බව දන්නා නිසයි. නොපෙරෙළෙන බව දන්නා නිසයි. එහෙනම්, එබදු දේ රත් වූ තැටියට ප්ලස් වේවා..යි පතමු.

හරි හතරැස් පෙට්ටියට පියනක් නැත ( ඉනිමං තනන්නට මහන්සියක් කුමට)

හරි හතරැස් පෙට්ටියකි, එහි පියන විවෘතය. එබැවින් ඉහළින් දමන සියල්ල පහළට වැටෙන්නේය. එබැවින් අපේ නඩත්තුව තවමත් කෙසේ හෝ සිදුවන්නේය.

හරි හතරැස් අ මු තු ජා ති  ක ය ක චි න් ත න ය ක නම් පෙට්ටියක දමාගෙන අපිව රකින්නෝ අපට කන්නටත් දෙති. ණය වී හෝ අපට බොන්නටත් දෙති. එබැවින්ම අප මේ පෙට්ටියේ දිග අතටත් පළල අතටත් හැමදා ගමන් කරනවා විනා මෙහි උස අත ගැන කල්පනා නොකරමු. ඇත්තෙන්ම මේ පෙට්ටියේ උස ගැන තවමත් ඔබ කල්පනා කර තිබෙනවාද?

මෙබදු කතාවක් මම කලකදී කියවිමි. සතුන් සම්බන්ධව පර්යේෂණ කරන්නන් පිරිසක් සිදු කළ පර්යේෂණයක් වූ ඒ කතාව මෙබදුය. එක් කූඩුවක දමා සිටි එළුවෙකි. උගේ කූඩුවේ දොර පහතින් හරස් පොලු කීපයක් යොදා කූඩු දොර වැටකින්ද අවහිර කර තිබිණි. එබැවින් එළුවාගේ කූඩුවේ දොර අරින සෑම විටකම පිටතට පැමිණීමට නම් ඌ අර වැටට උඩින්ද පැනිය යුතු විය. මාස ගණනාවක් මේ තත්වය මෙලෙසම පැවතිණි. කූඩුව අරින සෑම විටකම එළුවා කූඩුවෙන් පිටතට පැමිණියේත් ආපහු ඇතුළට වැදුනේත් අර වැටෙන් පනිමිනි. කාළයකට පසු පර්යේෂකයින් විසින් මේ වැට ඉවත් කරන ලදී. ඉන් අනතුරුව කූඩු දොර අරින ලදී. කුමක් සිදුවන්නට ඇත්ද? එළුවා සතුටු සිතින් වෙනදාට වඩා පහසුවෙන් එළියට ආවද? ඔබ බලාපොරොත්තු වූයේත් එවැන්නක් නම්, ඒ ගැන කණගාටුය. එළුවා වෙනදා මෙන්ම දැන් නැති වුව වැටේ උසින් පැන්නේය. 

එහිම අනෙක් කතාවකි. තවත් සිව්පාවෙකුට හැමදා කෑම ලබා දුන්නේ සීනු හඩකින් පසුවය. කාළයක් ගතවෙද්දී කෑම නොලැබුනත් සීනු හඩට ඌ කෑම බලාපොරොත්තුවෙන් සුපුරුදු තැන සිටියේය. නමුත් ඌට සිතූ පරිදි ඒ මොහොතේ කෑම නම් නොලැබුනේය.

ප්රත්‍යක්ෂයට වඩා පුරුද්ද ලොකු වීමත් පුරුද්ද පුරුද්දට යාමේ අබ්බැහියත් මෙතුළ ඇත. නමුත් ඒ සතුන්ය. සතුන්ගේ හැටි බොහෝ විට එහෙමය. 

එක් අතකින් නොව අර්ථ කිහිපයකින්ම අපිද හොද සත්වයෝය. එබැවින් අපි ද ඉහත වැටට, සීනු හඩට කලක  සිට  බොහෝකොට රැවටී හිදින්මු. එබැවින් පෙට්ටියේ පියන විවෘත වුව අප ඒ බව සිතන්නේම නැත. මොකද අපට කෑම, හා බීම ණය වී හෝ ලැබෙන නිසාය.  එබැවින් හරි හතරැස් පෙට්ටියේ පතුලේම හිදිනවා විනා, විවෘත පියනෙන් ගැලවී පැමිණීමක් ගැන බොහෝ කොටම නොසිතමු.

එනිසා කූඩූ වෙවී තවත් කූඩු වෙන්නටම කතිකා කරමු. තරහ ගිය විටකත් කූඩුවටම බනින්නෙමු. විකල්පයක් නැත. අනේ  අපේ නිරුත්සාහයත්  පුරුද්දටම  ගියාදෙන්... ඉතිං, ඉනිමං තනන්නට මහන්සියක් කුමට?

Monday, June 17, 2013

මරණ බය හා ගස් බැදීම-ගුටි ඇනීම-දණ නැමීම- සමග මීළගට හෙලුවෙන් දිවීමද? (ගුරුතුමා දණ ගසත් නම් මරණ බය උපදවා ගෙන අපි හෙලුවෙන් දීවාම මොකෝ, දැන් අපි නිදහස් ජාතියක් නේ)

ලංකාවේ භීෂණය තිබුණා යයි මම අසා ඇත්තෙමි. ඒ යුගයේ අග භාගයේ උපන්නෝය අප, එනිසා එහි තතු වටින් ගොඩින් දැක, අසා, කියවා, මෙන්ම ගම් වල ක්‍රියාත්මක වූ විප්ලව නොවූ ක්‍රියාවන් තුළ විදින්නට සිදු වූ යම් අද්දැකීම් වලටද හිමිකමක් ඇත්තෙමි. මගේ කතාව එය නොවේ. ‍මේ කතාව කියුවේ හැම දෙයක්ම අතීතයේත් වුනා යැයි අතීතය මත වර්තමානයත් අනාගතයත් තක්සේරු කරන්නට හදන්නන් වෙනුවෙන්ය.

අප උපන් අවධිය වන විටත් ඇරඹී තිබුණු යුද්ධයේ දරුණුම බලපෑමට නතුවූවෝ අපි වෙමු. අපේ සහෝදරයින් දමිළ වේවා සිංහල හෝ මුස්ලිම් හෝ බර්ගර්, මැලේ හෝ අහිකුණ්ඨක හෝ වේවා මිය ගියෝය. බොහෝ කොට අප හා සමවයස් මෙන්ම බාල සහෝදරයෝ යුද්ධය වෙනුවෙන් මියැදුනෝය. එනිසා මියැදුනෝය. සියල්ලෝම දැන හෝ නොදැන බේදවාචී යුගයක ගොදුරු බවට පත් වූවෝය. මගේ කතාව ඒ ගැනද නොවේ. මේ කතාව කීවේ ඊලගට කියන්නට යන කතාවට පසුබිම හැදෙන්නේ මෙතනින් වන නිසාය. මන්ද යුද්ධයෙන් පසු අපි දෙවන වරටද ලොකු නිදහසක් ගැන පාරම්බෑ නිසාය.

කාලයක් තිස්සේ භීෂණයේ වේදනාව විද ඒ ගැන කතා කරමින් හිද දෙවනුව යුද්ධයෙන්ද බැටකා අද වෙනවිට  ඒ නිදහස් වීම් ගැන අප පාරම් බාන්නේ යහපත් සුභඅනාගතයක් ගැන උදම් අනමින්ය. සුද්දාගෙන් නිදහස් වූවා කීවාට තිස් අවුරුදු යුද්ධයෙන් නිදහස් වූවා කීවාට, නිවට පාදඩ අමන දේශපාලන බැම්මෙන් නිදහස්ව තවමත් තමන්ගේ පරමාධිපත්‍ය හෙවත් ඡන්දය වත් පාවිච්චි කරන්නට අපේ ර‍ටේ ඔය ජනයාගෙන් කී දෙනෙක් සමත්ද?

එය මට ප්‍රශ්නයකි, 

එහෙනම්, අප නිදහස්ද? අඩුම තරමේ නිදහස් චින්තන හැකියාවක් අපට තිබේද? ලාංකීය ජනයාගෙන් පැහැදිලිවම තුනෙන් දෙකක් තවමත් කඩේ යති. දෙ පතුළ උකුල් ඇටේ තෙක් ගෙවුනත් මේ ගමන නොනවතින්නේමය.

ප්‍රතිඵල රැසකි.

තමන්ම ගස් බැදුනෙමු, 

කැමැත්තෙන්ම ගුටි කෑවෙමු,

දණ ගැස්සූ බවද අසමින් සිටින්නෙමු,

මීළගට අපි හෙලුවෙන් දුවමුද?

තඹයක ‍ගරුත්වයකට හිමිකම් නොකියන දේසපාලුවන් කරමත හිදුවාගෙන ගොස් ඔවුන්ගේ ජඩ නින්දිත  කම් අභිමුව විලිලජ්ජාව නැතිවම අප රෙදි ගලවාගන්නේ කවර වරදකින්ද? පූරුවේ වරදකින්ද? 

සාමාන්‍ය ව්‍යවහාරයේ ඉල්ලං කනවා කියා කියන්නේ මේවාටයි. 

දේශපාලුවන්ට අනවශ්‍ය ගරුත්වයක් දෙන්නේ බලයට ඇති බිය නිසාමද, ලාංකීය ජනයාගෙන්  බහුතරය තවමත් අත නාරින නිවට නින්දිත තම වාසිය බලාගෙන රෙදි උස්සා ගෙන කඩේ යාමේ ජන්මයට වැඩි පුරුද්ද නිසා නොවේද? ජනයා මේ බලු-බලයට විරුද්ධ ව එක්කාසු නොවන්නේ ඇයි, මේ කියන්නේ තවත් දේසපාලකයින්ට කඩේ යන වැඩක් ගැන නොවේ. අනාගත පරපුර වෙනුවෙන් කඩේ යාමක් ගැනයි.

කෙසේ හෝ රස්සාවක් ලැබීම මිනිහෙකුගේ සැබෑම තෘප්තියකට මග කියන්නක්ද? කැම්පස් ගියද රස්සාවක් හදා ගන්ට කියා අර සමිතියට මේ සමිතියට බැදී නිවට නියාලු චින්තනයකින් බුද්ධියට හෝ උගැන්මට ලද සහතිකය අර දේසපාලු‍වාගේ දෙපතුල් මුල හොවා වැද වැටෙන නින්දිත, චින්තන විරහිත උගත්කමක් ගැනද අපි සිහින දකින්නේ. නෑ, රස්සා ගන්ට කියා තමන්ගේ අහවල් අහවල් දේ කුලියට දෙන තරමට ඔවුන් වැටෙන්නේ නෑ කවදාවත් උගත්කමට සරිලන චින්තනයක් තිබෙනවා නම්, වරද කාගේද? වරද සමාජ ක්‍රමයේම නොවේ. සමාජ ක්‍රමයත්  ඔය  ඔබ අප කාගේත් දායකත්වයෙන් නඩත්තු වන්නකි. අප නිවැරදි තැන සමාජය නිවැරදි වනු ඇත. වරදට එරෙහි වීමේ ශක්තියක් අප ලබනු ඇත.  එහෙනම් මේ දුබල කමේ පළමු වරද මගේ නිවැරදි නොවීමමයි.

ඔතරම් නින්දිත නොවී, පොල්ලක ස්වීප් ටිකට් ගසාගෙන වාසනාව විකුණන්න. එය දාහින් සම්පතකි. රජයේ සූදුව යැයි සමහරු කීවත් එය අර තකතීරු උගත්කමට හා නිවට චින්තනයෙන් ලබන ටයි කෝට් රස්සාවට වඩා අගනේය.

සියල්ල අවසන දේශපාලකයාට බැනීම නොව, දේශපාලකයාට ඒ පුහු මාන්නාධික බලය ලබා දුන් තමන්ටම තලා ගන්න. උගත්කමත් සහිතවම වැරැද්ද වෙනුවෙන් කඩේ යාම කොතරම් සාමාන්‍ය කරණය වී ඇත්දැයි කීවොත් දැන් එවැනි උදවියට හිනා වෙමින් බෙල්ල කැපීමද කළ හැක. බැලිය නොහැක්කේ රූපවාහිනියේ එවැනි දෑ පෙන්වන ප්‍රවෘත්ති හා නාටකයි. එතරමට තමන්ගෙන් සමාජයට කැටෙන විනය ගැන ඔවුන්ට හැගීමක් නැත. ඒ මොළ ඔළමොළ වී හමාරද?

ඉදින් මෙවැනි දේශපාලුවන්ගේ නිවට ක්‍රියාවලට සිනහ වෙවී සිටින එකේ මීළග ඵලය - රෙදි ගලවාගෙන හෙලුවෙන් දුවන්නට වන කතාවක් වුවොත්, 

නිවටුනි, උගත් නිවටයිනි, මරණ බයෙන් රෙදි ගලවාගෙන දේශපාලුවාගේ පදයට රගන්න. ජනතාවනි, තම පරමාධිපත්‍ය ජන්දය යැයි කියමින් එයත් තුට්ටු දෙකේ චින්තනයන්ට විකුණා මේවාට අත්පොඩි තලන්න.

හැබැයි මතක තියා ගන්න, මේක මේ දේවල් පටන් ගත්තු තැනවත් ඉවර වෙන තැනවත් නොවුනට අපේ උවමනාව තියෙනවනම් තැන කොතැන වුනත් යහපත වෙනුවෙන් සමාජයක් තැනිය හැකි බව.  අයහපතට තිත තියන්න ගන්න එක ‍තැනක් මෙතැන කරගන්න පුළුවන් බව.

ලොකුකම් වැඩක් නෑ, හැබැයි රටක දියුණුවට නම් ඒ රටේ මිනිස්සු ලොකුවට හිතන්න ඕනෑ...

අමතක කළාද? ;) තේරුම් ගත්තද? :) (අදුර හා ආලෝකය)

ජීවිතේ සමහර දේ අපි මතක් කරන්න අකමැති නිසාම අමතක කරල දාන්න හදනව. නමුත් කොච්චර අමතක කළත් නොහිතන විදිහට ඒව අපේ මත‍කයේ තියෙනව, සෞඛ්‍යමය ගැටළුවක් නැතිනම්. ඒත් අපි ජීවිත අතුළෙ තේරුම් ගත්ත සමහර දේවල් මතකයේ නැවත නැවත වද දෙන්නේ නෑ. ඒක ඇත්තක්ද ? ඔබම හොයලා බලන්න.

අමතක කරන්න හදන්නෙ අපි ගොඩක් දේ අපේ පහසුව , හා ලෙහෙසි නිදහස් වීමක් ගැන හිතලා. ඒත් මොහොතකට අවස්ථාවෙන් නිදහස් වුනත් හිත නිදහස් වෙන්නේ ඒ දේ තේරුම් ගත්ත දාට නොවෙයිද? හිතලම , නුවණින් විමසලම බලන්න.

නමුත් ජීවිතේ හැපෙන, රැදෙන, පැටලෙන බොහෝ දේ කියන තරම් පහසුවෙන් අමතක කරන්නත් ඒ තරම්ම විදිහකින් තේරුම් ගන්නත් කොහෙත්ම ඉඩක් අපට ලැබෙන්නේ නෑ.

අපි කොයිතරම් පුද්ගලීකරණය කරගන්න හැදුවත් සමහර දේවල් ඇතුළෙ තියාගෙන ඉන්න එක එතරම් පහසු දෙයක් නෙ‍මෙයි. ඒ අපහසුව දරාගෙන අනවශ්‍ය පීඩනයකින් පෙළෙන්න ගියොත් ඔහු හෝ ඇයට නවතින්න වෙන්නෙ රෝහලක, තවත් එහාට ගියොත් මානසික රෝහලක. 

ඒ නිසා තමන්ට ගැලපෙන ප්‍රතිපදාවකට වඩා මිහිහෙකුට සත්‍ය ධර්මයක් එක්ක ගැලපෙන ප්‍රතිපදාවක පිහිටීමේ වටිනාකම එතැනින් ඉස්මතුයි. අපිට ගැලපෙන විදිහ කියල දෙයක් අපි හදාගත්තත් පුළුල් අර්ථයෙන් අපිට ගැලපෙන විදිහ කියා දෙයක් නැහැ. ගැලපෙන්නේ එකම විදිහේ දේවල්මයි. අදුර කියන්නේ අදුරමයි. ආලෝකය කියා කියන්නේ අදුර නසන එකටයි. ඉතිං විදුලියෙන් උනත්, හිරු එළියෙන් උනත් එන්නෙ ආලෝකයක් , ඒකෙ ප්‍රභේද කවර ආකාර වුනත් වැදගත්දේ ආලෝකය හා අදුර යනු එකම කාසියක දෙපැත්ත මෙන් එකට බැදෙන තත්වයන් දෙකක් බව. මන්දාලෝකයේ සිට තිව්‍ර ‍ආලෝකය දක්වාත් මද අදුරේ සිට ඝන අදුර දක්වාත් අපි පරිමාණයක් යොදන්නේ මේ තත්වයන් දෙක පැහැදිලි අයුරකින් ප්‍රමාණාත්මකව හදුනාගැනීම සදහාමයි. ඉදින් ප්‍රශ්නයත්, පිළිතුරත් මෙබදුම ආකාරයේ සම්බන්ධයක් සහිත දෙයක් නොවේද?

එනිසා ජීවිතයේ තත්වයන් ,අවස්ථා තේරුම් ගැනීමට ටිකෙන් ටික උත්සාහ කිරීම මිස 'හෙට  මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා' යන සංකල්පයේම පිහිටා මතකයේ අමතක සුවය සොයන්නෙක් බවට පත්වූයේ නම්, අද ජොලිය කෙසේවෙතත් හෙටින් පසු කාල‍යාගේ අවසානයේදී ඔබ නොදැනීම රෝහල් සුවය විදිමින් මියයන්නෙක් බවට නම් පත්වේවි නිසැකවම. 

ඒ නිසා අමතක නොකර මතකයේ තියාගන්න, අමතක කිරීම කෙටි කාලීන බවත් තේරුම් ගැනීම දිගු කාලීන බවත්. ඒ බැව් අප තේරුම් ගත්තොත් මිත්‍යවේ අදුර දුරුවී සත්‍ය කරා ගමන් කිරීමේ මාර්ග පහසුව ඇති වන බවත්. කල්පනා කර බලන්න ඒ බැව් තේරුම් ගන්න පුළුවන්ද කියා, නැත්නම් සිද්ද වෙන්නෙ ඒකත් අමතක කර දාන්නද? 

Sunday, June 16, 2013

කාළගුණය අකාරුණිකයි (අපි)

කළගුණය අකාරුණිකයි කියල, අයහපත් කියල අපි සිංහලෙන් කියන්නෙ පරිසරය අපිට වධ දෙනව කියල හිතෙන තැනකදි. පරිසරය ගැන එහෙම කතා කියනකොට නිකමට වගේ කණපිට චින්තනයකින් හිතෙනව, අපි කොච්චර කාරුණිකද, යහපත්ද කියල. හැමදේකම හොද ගුණය , හොද සුවය වින්දනය කරන්න කැමති අපි කොච්චරක් නම් ඒ හොද ගුණය තව කෙනෙකුට ලබා දෙන්න කැමතිද?

මිනිස්සුත් පරිසරයෙම කොටසක්. සත්වයින් අතරින් පැහැදිලි, ප්‍රබල හානියක් පරිසරයට කරන්නෙ මිනිසා. කෙනෙක් ඒක දියුණුව කියල අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපි යම් යම් අර්ථ කතන තුළ අකාරුණිකත්වය සාධාරණී කරනය කරන්න හදනකොට ස්වභාව ධර්මයම අපිට පාඩම කියල දෙන්න පටන් ගන්නවා. අකාරුණිකත්වයට ප්‍රතිචාරය ලැබෙන්නෙත් අකාරුණික  විදිහටමයි. ඒ කෙන් මිදෙන්න අපිට හැකිවෙන්නෙ කාරුණික වෙන්න පුළුවන් අපිට නිසාමයි. ක්‍රියාත්මක වෙන්න පුළුවන් අපිට නිසාමයි. 

ගැජට්ටු, විජට්ටු තුළ ගතවෙන ජීවිතයක් හිමි අපි අද ඒ ලෝකයේම සිරවෙනවා නම් පරිසර‍ය අපට වධ දීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ආර්ථික කාරණත් මේ දේවල් එක්ක බද්ධ කරගත්තම ස්වභාවික පරිසරය තුළ අපි හදාගන්න පරිසරය තුළ ආපහු ස්වභාවිකත්වය  හැදීමත් ව්‍යාපාරයක්. නමුත් හැම දේකටම වගේ කොතනින් පටන් ගත්තත් හරි තැනට යන අරමුණක් තියෙනවනම් ආර්ථිකය මැද්දෙ හරි පරිසරය රැකේවි, දශම ගණනකින් වත්. අපි හැමදා දියුනු වුනේ පරිසරයේ සම්පත් යම් ලෙසකින් ප්‍රයෝජනයට ගනිමින්ද යම් දිනෙක අපි විනාශ වෙන්නෙත් ඒ ණය ආපහු ගෙවන්න බැරි වීමෙන්ම කියන එක පැහැදිලි සත්‍යක්. නමුත් පොලියට පොලී හැදෙන වැල් පොලී ක්‍රමයට නොයා හැම දෙනෙක්ම හැකි පමණින් තමන්ගෙන් පරිසරයට වන හානිය වළක්වගන්න ක්‍රියා කරනව නම්, අඩු තරමේ නිදහසේ අවසන් හුස්ම අරගෙන මැරෙන්න ඒ අයට අනාගත ලෝකයේ අවස්ථාව ලැබේවි. නැත්නම්... පරිසරය පිළිබද අනාගතය අපේ ඉරණම කොයි ලෙසකින් විසදාවිද? යන්න භයානක හීනයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගණන් හදන්නෙ අපේ වයසත් එක්ක ඒ වෙනකොට අපි ඉදීවිද කියල. 

හැබැයි අපි නැති වුනත් එදාටත් හුස්ම හිරවෙන්නෙ මිනිස්සු ඇතුළු අහිංසක සතුන් පිරිසකගෙම තමයි. අඩුම තරමෙ අද ටිකක් හිතුවොත් හෙට වෙන අනතුරේ හානිය වත් අවම කරගන්න අවකාශයක් අපට ඉතිරිවේවි.

එනිසා කාළගුණය අයහපත් හැම විටම අපි තව තවත් යහපත් වීමට සිතමු. ස්වභාව ධර්මය අපට වෙනස් කළ නොහැකි වුනත් අපේ ස්වභාවයන් වෙනස් කරගැනීම තුළ ස්වභාව ධර්මයේ රැකවරණය ලැබීමට අපට හැකි නොවන්නේ නැත. කෙටියෙන් කීවොත් ඔබේ ස්වභාවය කාරුණික නම් ස්වභාව ධර්මය ඔබට අකාලේ අකාරුණික නොවනු ඇත. ස්වභාව ධර්මය  ඔබේ ජීවිතයට වගකීමක් නොදෙතත් ඉන් සැනසීමක් නම් ඔබ වෙත ඉතිරිවනු ඇත්තේමය.

Saturday, June 15, 2013

සැගවෙන නුවණ (හිරු නොදුටු ලොව)

පිපිණු මල් ගැන අපි කතා කරමු

පාට මල් වල ලස්සන බලමු

වෛවර්ණ ලෝකයේ උන්මාද හීන දකිමු

ඒත් ඉර නොපායයි නම්...

මේ සියල්ලක් නැත, 

ඒත් ඉර නොපායන රාත්‍රියේ

අපට සද ඇත

අපි ඒ ගැන කතා කරමු

සද නොමැති දා අපි පහන් දල්වමු

ඒත් ඉර නොපායයි නම්...

අපිට සද නැත,

එවිට ඉර නැත්නම්   සද ද  නැත

ඉර සද නැතිදා

ලොව ද නැත

කිසිවෙක් ලොව නැතිවිට

අදුර පමණකි

එහෙත්, 

සැගව ඇත නුවණ

හිරු නැගෙන ලොව

මල් පිපෙන පරවෙන 

මිය යමින් 

යලි යලිත් දළුලන

ඔබට ලැබ දෙනු පිණිස

ඥානය


ඥානය ලබනු පිණිස හිරු බැස යාමට මත්තෙන්,  පිබිදෙන්න ...

Friday, June 14, 2013

වෙන තැනක සිට ලියූවෙමි(පරණ මතකය ගීයකින්)

හෙමින් හෙමින් හෙමින් ඇවිත් 

ඇහි පිය ලග නතරවෙලා

වැටී... වැටී... වැටී... මිය යන්නම්

දෙපා මුල විසිරිලා

    පෝයදා හද ලස්සනයි

    පිනි වැටුණු රෑ සීතලයි

    මගේ හිත නුඹ ලග රැදෙයි

    සිහින මැද කවි පද ගෙතෙයි

දැවටි දැවටී දැවටෙමින් 

කදුළු බිද බිද කොපුලගින් 

සිහින මැද ඔබ මතකයෙන්

කදුළු මතකය මියැදෙමින්

    හෙමින් හෙමින් හෙමින් ඇවිත් 

    ඇහි පිය ලග නතරවෙලා

    වැටී... වැටී... වැටී... මිය යන්නම්

    දෙපා මුල විසිරිලා

Sunday, June 9, 2013

ඇත්තට බොක්ක (පට්ට)

ඇත්තට බොක්ක දීම කියන්නේ ශුද්ධ වූ බොක්කක් ඔබට හිමිවෙනවා කියන එක. බඩ ශුද්ධ වීම නිරෝගී ජීවිතයකට හේතු වේවි. එනිසා බොහොම ලස්සන සුකුමාළ වචන වලින් කියන අති සුන්දර පට්ට පල් බොරු වලට වඩා අසභ්‍ය නොවන රස්තියාදු වචන වලින් කතාකරත් ඇත්ත දේ සුන්දරයි.

ගොඩක් දේ වල් වලදි පට්ට විදිහට ඒ දේවල් කරන්න කැමති රස්තියාදුවෝ ඇත්ත ත් එක්ක පට්ට විදිහට බැදෙනවා නම් ඇත්ත ජීවිතේට පට්ට විදිහට ගලපගන්නවා නම් ඇත්තටම පට්ට විදිහටම ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්. ‍

පහසුවෙන්ම තමන්වත් අනුන්වත් රවට්ටගන්න පුළුවන් විදිහට බොරු ගොතන්න, උත්තර බදින්න සමහර විට හරි ලේසියි. හැබැයි ඒ බොරු නිසා සිද්ද වෙන්න පුළුවන් දේවලුත් කියන්න වෙන තවත් බොරුත් ගැන හිතුවම තේරෙයි ඇත්ත කතා කරන හා ඇත්ත තේරුම් අරන් ක්‍රියා කරන එක මොන තරම් බුද්ධිමත් දෙයක්ද කියලා. 

කොහොමත් ඇත්තට බොක්ක දෙන්න සමහරුන්ට බෑ. ඒක ජන්මෙට වඩා ලොකු පුරුද්ද නිසාද, පුරුද්දට එහායින් අතාරින්න බැරි ජන්ම ගතියක්ද කියන එකත් තේරුම් ගන්න ඕන තම තමන්ම තමයි. 

එනිසා උපක්‍රමශීලි වෙන්න, ස්ථානෝචිත වෙන්න හැබැයි බොරුවෙක් වෙන්න එපා. මොකද  කවද හරි දවසක ඔබටත් මටත් අරගෙන යන්න ඉතිරි වෙන්නෙ ඔය ඇත්තට ඉඩ දුන්නු බොක්කේ රැදෙන දෙයක් විතරයි. එදාට ඔබට පට්ට විදිහේ සන්තෝසයක් හරි දුකක් හරි දැනෙනවානම් ඒ ඔබ අද ගන්න නිවැරදි අවංක හෝ වැරදි වංක තීරණයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

ආයෙත් කියන්නේ ඇත්තට බොක්ක දෙන්න බයවෙන්න එපා. පට්ට විදිහට ඔබේ ඇගේ ලේ පිරිසිදු වේවි. ඒත් මතක තියාගන්න ඇත්ත නාමෙන් වෛරය වපුරවන්න හදන එක නම් කිසිදා සමාව ලැබෙන වරදක් නොවේ කියන එක. එතනට සදා පිළිතුර ලැබෙන්නෙ නිවට නොවන ඉවසීමකින් , පට්ට ඉවසීමකින්ම පමණක්මයි. 

Tuesday, June 4, 2013

සීමා නෑ (නැත්තෙ නෑ)

ලෝකයා සියලු බාධක මැඩ ගෙන සීමා මායිම් නැති ලෝකයක් කරා පිය නගති. එහෙත් ඇති සීමා අතික්‍රමණය වෙද්දී තව තවත් සීමා එළැඹෙයි. ඒ සීමා වෙත යද්දී තවත් සීමා ඈතින් දිස්වෙයි.

ලෝක‍යාගේ ගමන පසෙකින් තබමු. අපේ ගමන, මගේ ගමනේ සීමා කෙබදුදැයි මොහොතකට සිතමු. සීමා අවශ්‍යද? පුළුල් ප්‍රශ්නයකි. පටු පිළිතුරක් මම දෙමි. සීමා අවශ්‍යයි. මේ සීමාව කොහේද? ඔබේ බුද්ධියේ, චින්තනයේ ගෙදර වත්තේ වැටේ, තාප්පයේ ඔබත් මමත් අතර මේ හැම තැනකම තිබිය යුතු සීමා තිබිය යුතුමයි. ඒවා සංශෝධනය විය යුතුය. සංශෝධනය විය හැකිය. එහෙත් සීමා තිබේ. මි‍නිසෙකු හැටියට අපට සීමා නැති ජීවිතයක් නඩත්තු කළ නොහැකිමය. මිනිසාගේ සීමාව සතෙකුගේ සීමාවට වඩා අතිශයින්ම පුළුල්ය. නමුත් විටෙක නිරුවතින් දිවෙන ලජ්ජා සංකල්පයෙන් මිදුනු සත්වයාට වඩා අපි වස්ත්‍රයෙන් සීමා වෙමු. එහි අදහස නිගණ්ඨභාවය අගයන බව නොව, වස්ත්‍රයෙන් නිර්මිත සංස්කෘතියේ සුපහන් භාවයයි. ඒ වස්ත්‍රයම තවත් කෙතරම් සංස්කෘතීන් නිර්මාණය කරනවාද? සමහර විට නිරුවත් සත්වයා නූපදවා ගන්නා අමුතු කාමය රාගය වස්ත්‍රය පදනම් කොට මිනිසා උපදවයි. නැවතත් සීමා ඇති තැන් ගැන සිතන්නට එවිට ඉඩක් ඇත.

අපට ඕනෑ තැනකදි දමා ගන්නා සීමාවට වඩා නිසි තැන නිසි විට ඇති සීමා පිළිබද මිනිසාට ඇති ඉව ඉතා ඉහළය. නමුත් භාවිතාව ඉතා පහළය. නමුත් ඉන් නිසි ඵල ගන්නෝ ජීවිතය දියුණුව කරා ගෙනයති. ඉදින් එහෙව් 'සීමා' සමග ගනුදෙනුව පහසු නැත. නිරාකරණය කරගත යුතු තැන් බොහෝය. සිතිය යුතු දේ බොහෝය. මන්ද සමහර සීමා අතික්‍රමණය ලෝක යුද්ධයකින් වත් කෙළවර කළ නොහැකි වනු ඇත. ලෝක යුද්ධයකින් කෙළවර කළ නොහැකි සමහර සීමා නිසි අවබෝධය සහිත සිතක විවරණයෙන් කෙළවර කළ හැකි තැන්ද ඇත.

ජාති, ආගම්, කුල, ගෝත්‍ර වශයෙන් වැටෙන සීමා සංස්කෘතික පරිසරයේදී තබා ගනිමින් සිත් තුළ ඒ සීමා බොහෝ කොට ගේට්ටු සහිත තාප්ප සීමා මෙන් ගනුදෙනු වට  පිවිසුම් පිටවීම් වලට ඉඩ කඩ ලැබෙන ඒවා වනවා නම්, සීමා යන්න ඔබ අවබෝධ කොට ඇත. 

හිතේ ඇති සීමා, ගතේ සීමා, සමාජ පරිසරයේ සීමා, ගෙදර, පවුල, අපේ දහසකුත් භූමිකා තුළ ඇති විවිධ වූ දහසකුත් සීමා ගැන සිතීමට ඇති කාලය ත් සීමා සහිතම වේ. එහෙත් ඒ කාල සීමාව තුළ ඔබ නැවත නැවතත් සිතිය යුතුයි, සීමා - කොතරම් අසීමිතයැයි කීවත් මිනිහාට යම් තැනකදී වැටෙන 'සීමා' ව ගැන.

Sunday, June 2, 2013

ගරු.....(ආචාර්යවරුන්ට පමණක් නොවේ)

මෙය කියවන පාඨක ඔබ සැමගෙන් අවසරයි, ගරු මහත්ම මහත්මීනි...

ඔබ ඇත්තටම ගරු කටයුත්තෙක්ද? හැමදෙයක්ම තමන්ගෙන් ප්‍රශ්න කරල ජීවිතය තේරුම් ගන්න ඕන මිනිස්සු එකිනෙකා තම තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. මොකද්ද මේ 'ගරු' කම. ලොකු කමක්ද? නැත්නම් ආත්ම ගෞරවයයි කියන එකද? නැත්නම් බය හින්ද ඇතිවෙන දෙයක්ද? මුදල් හින්ද ලැබෙන ‍දෙයක්ද? සමාජ තත්වයයි කියන එකක් නිසා ලැබෙන දෙයක්ද? බොහෝ කෙටි ප්‍රශ්න වල පස්වෙනි නැත්නම් අවසාන උත්තරය වගේ ඉහත සදහන් සියල්ලම නිවැරදියි' ද.

ඇත්තෙන්ම මිනිහෙක් හැටියට ඉපදුනු ඔබත් මමත් ගරු කරන්න ඕන කාටද, මොකටද, කියන එක මොළේ ආබාධයක් නැති, හදවතේ කහටක් තියාගන්නෙ නැති, කාටත් ගැති නැති මෙන්ම  නිර්භීත ඕනම කෙනෙකුට සාමාන්‍ය වශයෙන්ම තේරෙන දෙයක්. නමුත් ඉතිං ඔය ඉහත සියලුම ගුණාංග එකට තියන මිනිස්සු අඩු නිසාම ගරු කිරීම කියන දේට අපේ සමාජයේ හරි අර්ථකතනය බොහෝ විට ලැබෙන්නේම නැහැ.

අපි එකිනෙකාට ගරු කළ යුතුයි කියල අපේ සමාජයේ සාමාන්‍ය කතාවක් තියෙනව. ඒ වගේම අන්‍යන්ගෙන් ගෞරවය ලබන්න නම් තමන් අනෙක් අය වෙත ගරු කළ යුතුයි කියන කතාවකුත් තිබෙනව. මීට අමතරව ගරු කටයුතු පුද්ග‍ලයා කවුරුන් වුවත් විවිධ ආකාරයේ ගරු කිරීම් සමාජයේ අපි එදිනෙදා දකිනව.

මේ සියලු කතා මෙහෙම නම් අපි ඇත්තෙන්ම ගරු කළ යුත්තේ කාටද? මුලින් කියූ පරිදිම හැම දෙයක්ම මෙන් ගරු කිරීමත් තමන්ගෙන් පටන් ගන්න දෙයක් විය නොහැකිද. මට පුළුවන්ද මට ගරු කරන්න. බැරි නම් මම පිළිගන්නවා මම එතරම් හොද පුද්ගලයෙක් නොවෙයි කියන එක. අනිත් අතට මට පුළුවන් නම් මට ගරු කරගන්න. මම හිතනවා මම සැළකිය යුතු ගුණාංගයක් සහිත පුද්ගලයෙක් කියලා. එතනින් තේරුම් ගන්න පුළුවන් කාරණය තමයි, අපි කොයි කවුරුත් තමන් ගැන හිතද්දි වුනත් සැළකිලිමත් වෙන්නේ තමන්ගෙ ගති ලක්ෂණ, ගුණාංග පිළිබදව කියලා. පුහු මාන්නයකින් මම ගරු කළ යුත්තෙක් කියල හිතාගෙන ඉන්න මානසික ව්‍යාධියක් ගැන නොවෙයි මේ කියන්නේ. හොද සිහි බුද්ධියෙන් තමන්ට තමන් ගැන හිතිය හැකි මානසික නිරෝගී භාවයක් ගැන. ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය කියන දේ ගැන කතාකරන්න මිනිහෙකුට පුළුවන් වෙන්නෙ එතැනදි. ආත්මයක් වශයෙන් ආත්ම ගැනීම නොවෙයි, ව්‍යවහාර වශයෙන් ආත්ම යනු 'මම' 'මගේ' යන හැගීම නම් ‍එ අයුරින්  මට මා ගැන තක්සේරු කිරීමේ හැකියාවක් ලබා ගැනීමයි. තවත් විදිහකට කියනවා නම් මගේ හැගීම් වල ගුණා ගුණ පිළිබද තක්සේරුවක් මට තිබීමයි. මගේ හැගීම් පිළිබද මටම ඇති අවබෝධයයි. මම ගැන මම හොදටම දැනගෙන සිටීමයි.

දිගින් දිගටම කීවේ ගරු කරන්නට නම් යමෙක් යමෙකුට හැබෑවට, දැනගත යුතු බව නිවැරදි ගුණය කුමක්ද යන වග. 

අපි එකිනෙකාට ගරු කරන්නෙ මිනිසුන් හැටියට මිනිස් කමට වුවත් ඒ හැගීමේ ප්‍රබලත්වය මතුවෙන්නේ ඒ මිනිහාගේ ගුණයත් එක්කයි කියන එක යටපත් කරන්න බැරි සත්‍යක්. මිනිස් නම් වූවාට මිනිස් කම් නැත්නම් අපේ ගරුත්වයත් ගරු... නම් වූවාට සැබෑ ගෞරවයක් වෙන්නේ නම් නෑ. එනිසා නමින් ගරු නොවී හැගීමෙන් උපදින ගෞරවය හොයා යන්න. හොයා ගන්න.  

මේ අදහස කාගෙන්වත් ගෞරවය හොයායන්න කියා නොව හැබෑ ගෞරවය යනු කුමක්ද යන්න හදුනාගත යුතු බවත් එවැනි ගෞරවය ලැබිය යුත්තන් එබදු ගෞරවයෙන් පිදිය යුතු බවත්මය. එලෙස ගෞරව නොකළ යුත්තන් විශේෂයන්ගේ ලයිස්තුවෙන් ඉවත් කර සාමාන්‍ය මිනිහෙකුට ලබා දිය යුතු ගෞරවය පමණක් ඔහුට හෝ ඇයට පුදන්න. මන්ද පිදිය යුත්තාට පිදිය යුතු සේම නොපිදිය යුත්තා පුදන්නට නොයෑමත් පිදිය යුත්තාටම ලබා දෙන හැබෑ ගෞරවයක් වන බැවිනි.

Wednesday, May 29, 2013

‍ගොඩයා(මඩයා කව්ද?දැනගන්න)

වර්ණ භේදය, ජාති භේදය, කුල භේදය සමාජයේ දියුණුවත් එක්ක නැති වෙලා ගිහින් කියල හිතුවත් එතරමකට දියුණු සමාජයක් ලෝකයේ නෑ කියල විමසිල්ලෙන් බලනකොට කාටත් තේරුම් ගන්න පුළුවන්. 

මේ ‍භේදයත් එක්කම යන තවත් ලස්සනම වචනයක් ලගදි දකින්න ලැබුන. ඒකත් නැතිවෙලා ගිහින් කියල හිතුනට තවමත් 'මඩයෝ' එමට බව ඒ වචනෙ ඇහුනත් එක්කම තේරුනා. 

'ගොඩයා' මෙහේ සාමාන්‍ය ව්‍යවහාරයේ තාමත් ඉංග්‍රීසි පන්නය නොතේරෙන, බටහිර සංකල්ප  නොදන්නා, කොළඹ නරුම පන්නය නොතේරෙන වගේම ඒ සිරිත් විරිත් අනුගමනය නොකරන සමහර උදවියව හදුන්වන්නට මේ වචනය පාවිච්චි කරනවා. පළමුවෙන්ම සිහිපත් කළ යුතුයි. අසාමාන්‍ය නොවන මොනයම් මිනිසාත් කන්නේ කටින් හා ජීර්ණය වූ ඉතිරිය පහ කරන්නේ අධෝමගින් කියන එක. ඔය ගොඩයායි කියන කෙනාත් කටේ දිවේ ඉංග්‍රීසිය ගාගත් බටහිරින්ම නිපදවෙන වෙන වෙන ගැජට් ඇග පුරා වනා ගත්තත් ඒ උදවියත් ප්‍රධාන ශරීර නඩත්තුව කරන්නේ ඔය මාර්ග දෙකෙන්ම තමයි කියන එක. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මිනිසුන් ජනිත නොවන්නා සේම ගොඩයින් හෝ මඩයින් ලෝකයේ ජනිත වී ඇත්තේත් නෑ. 

මිනිසුන් තමන් හැදෙන පරිසරය, සංස්කෘතිය විසින් යම් යම් පරිදි පෝෂණය වනවා හැර එහි වරදක් හෝ අඩුවක් කියා දෙයක් නෑ. ඇත්තේ යම් යම් ගනුදෙනු වලදී තිබෙන නොදන්නා කම නිසා ඇති වන දුර්වලතා, අපහසුකම් වෙන්න පුළුවන්. ඒත් කිසි කෙනෙකු සංස්කෘතික පරිසරයන්හී ඇති නොගැලපීම් මත 'ගොඩයා' කියා යමෙකු හදුන්වනවානම් ඒ තැනැත්තාව හදුන්වන්නට වෙන්නේ 'මඩයා' කියා පමණයි. ‍ගොඩයා තවරා නොගත් මඩ තවරාගත්තෙකි ඔහු. එනිසා මිනිහෙකුගේ නොගැලපීම හෝ හැදියාව මත 'ගොඩයා' යි කීම මේ ගැජට් ලෝකයේ අතිශයින්ම ඉංග්‍රීසි පන්නයක සිහිනයක් තුළ ජීවත් වන 'මඩයා' කෙනෙකුගේ කතාවක්ම පමණි. 

යම් අදහසක් කැටි කර කියන වචනය එකපැත්තකට විතරක් නොවෙයි, එහි විරුද්ධාර්ථයක් ද තිබෙනවා. එහෙනම් පිරිසක් ‍ගොඩයින් නම් ගොඩයින් නොවන අනිත් අය මඩයින්. ඒ ආකාරයෙන් ගත්විට ඇත්ත එබදුයි. 

එබැවින් කටින් නොකීවත් 'ගොඩයා' සංකල්පය සිතේ තිබෙන අයටත් කිව යුත්තේ ඔබ හිතනවානම් ඔහු හෝ ඇය 'ගොඩයා' කියා, දැනගන්න 'මඩයා' ඔබයි කියා.

Sunday, May 26, 2013

අපි කළ ගොන්කං නුඹලා නොකරගං

(මිනිසා අනුකරණයට උපන්ගෙයි හපනෙකි. ඒ පිළිබද සිතා ගෙන මෙය කියවන්න.)

මරණයට නියම වූ මිනිසෙක් සිය පාපෝච්ඡාරණය කරමින් කියා සිටියේ මා කළ වරද කිසි දිනක සිදු කරගන්න එපා, ජීවිතය වන්දි‍ගෙවන්න වේවි යනුවෙනි.

හුදු රස්තියාදුවකින් අත්වන ජීවිත නන්නත්තාරය වටහා ගත් මා කියන්නේ රස්තියාදුව ශුද්ධ කොට ජීවිතය වටහා ගෙන ජීවත් වන්න කියාය.

අත්හදා බැලීම් අවැසිය. එහෙත් ඒ අත්හදා බැලීම් වල පරමාර්ථය ශුද්ධ එකක් නොවේ නම් අත්වන්නේ විනාශයම පමණි. අත්හදා බැලීම් ජීවිතයට අවශ්‍ය සේම එයට නිසි මාර්ගයද වටහා ගත යුතුය.

විෂ ගන්නේ විෂ නැසීමට නම් ප්‍රතිවිෂ තැනීමට නම් විෂ වුවත් විෂ නැසීමට භාවිතා කළ හැක. එනමුත් විෂ ගන්නේ හළාහල විෂ තනන්නට නම් අත්වන්නේ දරුණු විනාශයයි. 

මේ කියමන් කීපයක් කීවේ යහපත් වූ අරමුණකිනි. ප්‍රතිපදාවක් කියා දෙයක් ජීවිතයට නැති දිළින්දෝ යම් යම් තැන් වල යම් යම් ක්‍රියාවන්කරති. පසුව තවත් අය ‍එවැනි දේ කළ විට මෙසේ කියති.

අපිත් අහවල් අහවල් දේ කරා (උඹලත් ඒක කරපන්!)ඕව කරාට කමක් නෑ...

අපි කල පමණින් සියල්ල නිවැරදිද? අපි අතින් වූ වැරදි නැතිද? එනිසා යමක් දුටු විට එය අපි අතින්ද සිදු වී ඇති දෙයක් නම් වැරද්ද වුවත් එලෙස සිදුවීම ප්‍රශ්නයක් නොවේද? කොටින්ම අපි කල නිසා කිසිවක් හරි හෝ වැරදි වන්නේ නැත යන්න මෙහි අදහසයි. එම කල ක්‍රියාව විසින් ඇති කරනු ලැබූ ප්‍රතිඵල සියල්ල විමසුමට ලක්කර මිස ඒ පිළිබද තීරණයක් දීමටද නොහැකිය. එනිසා නිවැරදි ක්‍රියා වටහා ගැනීම යනු වත්මනෙහි කෙසේවත් පහසු දෙයක් නම් නොවේ.

ජීවිතයේ හය හතර දැනගන්නටත් පෙරම සමාජීය ක්‍රමය විසින් කුරුවල් කරනු ලබන බාලයින්ට යමෙක් දෙන ඔවදන 'උපන් ගෙයිම ගෙල සිදීමක්'  බදු නම්, එවැනි සමාජයක බිහිවන්නේ නරුම සිත් මිස අන් ‍කවරක්ද?

එනිසා ලජ්ජාවත් බියත් එකවිට නසා ගන්නා 'හුදු සංචාරයක්' බදු  ජීවිත රස්තියාදුවකට ගොස් උපන් ගෙයිම ගෙල සිද නොයා ඉවසීමෙන් අවබෝධයෙන් සැහැල්ලු ජීවිත ගමනක් යන්නට බාලයින් දිරිමත් කළ යුතුය.

එවිට ජීවිත රස්තියාදුව ශුද්ධ කරගැනීම අතිශය වැදගත් දෙයකි. රස්තියාදුව ශුද්ධ සිතින් වීමද වැදගත් දෙයකි. ඒ මේ 'රස්තියාදුව' යන්න හොද වූවත් නැතත් අප මේ යුගයේ ගතින් සිතින් නිරන්තර රස්තියාදු වන ක්‍රමයක සිටින බැවිනි. නොදැනම රස්තියාදුවක හිදින බැවිනි.

මා කුඩා කල සිට පංචින් බෑග ක්‍රමයට දෑත් පුහුණු කළේ වගේම බිත්ති වලට තඩි බාමින් දෑත් පුහුණු කළේ නිකම් ආසාවටය. ක්‍රමයෙන් මා ආවේගශීලී වෙන අවස්ථා වලදී බිත්ති දෙදරුවේ මගේ දෑතක පහරකිනි. දිනක් මම පාඩමක් ඉගෙන ගතිමි. ආවේගය විසින් මට ඉවසීම පිළිබද පාඩමක් උගන්වුවේය. උච්ච ආවේගය නිසා එල්ල කළ අත්පහරේ ශක්තිය ශක්තිමත් බිත්තියෙන් පරාවර්තනය වී මගේ වෙදගිල්ලේ අස්තියක් යම් ලෙසකට භග්න කළේය. මම ආවේගයේ බිහිසුණු කම වේදනාවත් සමග අත්දුටිමි. එයින් කිසිවෙකුට හානියක් නොවී මටම වූ හානිය ගැන ස්තූතිවන්ත වුනෙමි. අවසන මගේ ඉවසීම නොඉවසිය හැකි මට්ටමකට ප්‍රගුණ වෙමින් ගියේය. දැන් මම ආවේගය පාලනය කරමි. නිසි තැන නිසි ලෙස මුදා හරිමි. 

එනිසා කියන්නේ මම කළ නිසා උඹත් කඩා ගෙන ඉවසීම ඉගෙන ගනින් කියා  නොව අත කඩානොගෙන මේ පාඩම ඉවසා ඉගෙන ගෙන උපන් ගෙයි ගෙල සිද නොගන්නා ලෙසටයි. මන්ද ඉවසීමෙන්ම කල්තියා කල්පනා කළේ නම් මේ ආවේගය මිදීමේ ක්‍රමය සැබවින්ම ගොන්කමක් යන්න කලින්ම මා වටහා ගත යුතුව තිබුනු නිසයි. නිසි ක්‍රමය මට ප්‍රගුණ කළ හැකිව තිබූ නිසයි.

එනිසා නැවත කියමු, අපි කළ ගොන්කන් නුඹලා නොකරගන්..කියා.

Friday, May 24, 2013

ප්‍රීති වෙසක්!

අපිට ආධාර කරන්ඩෝ

බෝධීන් වහන්සේගේ දකුණු පස කනුවක වැඩ සිටින ලව්ඩ්ස්පීකරවහන්සේ බෙරිහන්දෙති

ධාතූන් වහන්සේලා අතනත් මෙතනත් වැඩ සිටිනවාද?

එතනටත් ආධාර කරන්න, මෙතනටත් ආධාර කරන්න

ප්‍රශ්නයක් නෑ බුදුන් නොවැන්දාට 

පන්සල් ආවනේ

දන්සැල් කෑවනේ

අද පිටින් කෑමනේ

ආධාරත් කළානේ

ආධාරයේ පිහිටෙන් සියලු දුක නිවෙනවා 

ඒකාන්තයි

අනේ සාදු

කන කලතන සද්ද 

අපි දැන් දියුණුයි

ඒ හින්දම

බොහෝ දෙනා සංචාරකයෝ

පොටෝ ගන්නවා

බලන්ඩකෝ පිළිමේ උස, දිග

වටේටම කලා රස බේරෙනවා

හිස ඇලකර කෝණයකින් බලන්නේ සසර දුක වටහාගන්නද?

නොතේරුනේ එයමයි

ආවද? කොහේ..

ඊයේ රාත්තිරිය ගෙවුනේ පිට්ටනියේ සංගීත සාජ්ජයේ

ඒක ජයටම නැගලා ගියනේ

නොකිව්වාට

වෙසකෙට මරු ආවේසෙ තිබුනේ එතැන

කන පැලෙන්න ගහලා

ගහලා

දැන් මතේ බැහැලා

එහෙනං

ඔන්න දැන් ප්‍රාර්ථනාව

වෙසක් සුභ වේවා

හැමට ප්‍රීති වෙසක් වේවා! 

 

'ජොලි කෙරෙලි' පසෙක තබා අන්ධ වෙසක් තුළින් ධර්ම වෙසක් දකින්නට රකින්නට පින පෑදෙවා!