Showing posts with label යුක්තිය. Show all posts
Showing posts with label යුක්තිය. Show all posts

Wednesday, September 3, 2014

අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!

ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත.‍ වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.

කෙසේ හෝ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ.  ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි. 

දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?

 ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාල‍නයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා  සැප සෙවීමත් යෙහෙකි.

ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.

විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි. 

ඉතිං  මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...  

අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ‍ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.

Tuesday, August 19, 2014

දැනගෙනම ඉඩ දෙනවාද? පාදඩ මර්වින් ප්‍රතිරූපකයන්ගේ කණ පළනවාද? දරුවන්ටත් තරුණයන්ටත් ආතල් ගන්නට කියා දෙන වැඩිහිටි ගොබ්බරාළලා විසින් සමාජය වනසා තමන්ද වැනසෙන හැටි

මර්වින් ප්‍රතිරූපය‍ාගේ සිට ගත්කළ ගොබ්බ ‍ගොමකල බදු වැඩිහිටියන්ට අතුල් පහර දෙන්නට සුදුසු පිරිසක් පහළවේවා. එ් පහළ වන පිරිසත් අපම මිස වෙන කව්ද? එසේ සිතෙන්නේ සමාජයේ යන්තමින් හෝ ඉතිරිවී ඇති වටිනාකම් එළිපිට කෙළසන මර්වින් ප්‍රතිරූපකය වැන්නන්ට එ් ජඩකම්වලට බදුන්වන තැන්වලදීම නිසි ප්‍රතිචාර දැක්වීමට නොතරම් තරමට අප මහජනයා මරණබිය ඇතිවුන් වීම සමාජයේ අද කුඩා දරුවා හෙට පාදඩයෙක් කරන්නට දෙන ලයිසමක් වීම වැනියැයි වැටහෙන නිසා. හරි හෝ වැරදි මහනායකටත් බණ දෙසන මර්වින් ප්‍රතිරූපකයන් අපට අත ‍එසෙව්වොත් නම් හෙට මැරුවත් එතැනම කණපලනවා සත්තයි. හැකි තරම් ප්‍රසිද්ධියේම එවැනි පුහු පාදඩ ප්‍රතිරූප බිදිය යුතුය. තිරශ්චීන වැඩිහිටි ප්‍රතිරූපයන්ට එබදු ලෙසින් සැළකීමට අපට හිමිකමක් ඇත.  අප යනු මා වැන්නන්ය. මා යනු ශුද්ධ රස්තියාදුවන්ය. බලපුලුවන්කාර හෝ දූ දරු ඥාතී හයිය හෝ පරම්පරාව හෝ රටේ කෙරුමෝ යන්න අපට බිය ඇතිකරන්නක් නොවේ. අප ඒවාට බිය වන්නේද නොවේ. නීර්භීත කම යනු උස මහත හෝ ප්‍රභූත්වයද නොවේ. කපටි කමෙන් තොර සද්භාවයයි. අවස්ථානෝචතියයි. නමුත් ගරු කළයුතු වැඩිහිටියන්ට අපි දොහොත් මුදුන් තබා වන්දනා මාන කරමු. ඔවුන් අපේ ශක්තිය සේම මතු පරපුරේ ආලෝකයයි.

සමාජයකට ගුරුහරුකම් ගන්නට අප සියල්ලක් නිතර හැරෙන්නේ අප වැඩිහිටියන් වෙතයි. ඒ වැඩිහිටියෝ අපට කියාදෙන්නේ ආතල් ගන්න හැටි ගැනනම් එහෙව් උන්දලාගෙන් තැනෙන සමාජයක් වින කටින්නේ උන් උන්ට පමණක් නොව තවත් බොහෝ දෙනාටයි. උදාහරණ කප්පරක් ඇතත් නුවණ ඇත්තන්ට සෑහෙන ලෙසින් එක් උදාහරණයක් පමණක් කියමි. මෙසේ කියන්නේ රටේ ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් තැනෙන දහසකුත් අවස්ථා තම පුද්ගලිකත්වය මතින් විනාශ කරන පාපතරයන්ට අප කෙළින් කටින්ම එරෙහි විය යුතු නිසාය. එ් තැන්වල බඩගෝස්තරය වෙනුවෙන් නිවට නොවිය යුතු නිසාය. එවැනි දේ මෝඩ කම් යැයි හිතනවානම් ඔබත් මොළේ පමණක් ඇති  හද‍ේ පනක් නැති නිකම් ගොබ්බ මිනිහෙක් පමණි. වහාම මෙතනින් ඉවත්වී ඔබේ මහත්මා තිරිසන් දිවියටම යන්න.

මීට අවුරුදු කීපයකට පෙර එක්තරා රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවක් අප ප්‍රදේශයේ ඇරඹුනි. එහි පාලනය භාර ගන්නට පැමිණියේ රජයේ ප්‍රධානම ගුවන් විදුලි නාළිකාවක සිංහල අංශයේ ප්‍රධානිය‍ායැයි ගර්වයෙන් කියමින් පැමිණියෙකි. තරුණයන් වූ අපද ඒ වෙත බලාපොරොත්තු සහිත වූයේ හදවත අතට ගෙන ඔහු කතා කරනු අසාය. නාළිකාව විකාශන කටයුතු ආරම්භ කරන්නට ආසන්නයේ සම්මුඛ පරීක්ෂන සදහා පැමිණි පිරිස පාරවල් දිගේ පෝලිම් තැනෙන තරමට විය. ටික දිනකින් මේ ප‍ෝලිම් නිමා වූයේය. අලුත් පිරිසක්ද එතැනට බදවා ගැනුනි. නාළිකාවේ විකාශනය පරීක්ෂනාත්මක තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට ආවේය. ගත වූයේ ටික කලකි. තමන්ගේ ස්ත්‍රී ධූර්ත කමත්, සුරා ලෝලීත්වයත් කර පින්නා ගත් ප්‍රධානියා සමහර අවස්ථාවලදී තමන්ගේ පුද්ගලික භාවයද ආයතනයේ කටයුතු තුළට ගෙන ආ බවට එහි මුල්ම කණ්ඩායම ඇතුළත් වූ මා මිතුරා සාක්ෂි දරනු ඇත. විටින් විට යම් අවස්ථානුකූල දායත්වයන් දැක්වීමට ගිය අපවද ඔහු සාදරයෙන් පිළිගත්තේය. මෙසේ ටික කලක් ගත විය. ලාබ හෝ පාඩු හෝ සාර්ථක හෝ අසාර්ථකත්වය තුළ රාජ්‍ය ප්‍ර‍ාදේශීය නාළිකාවක ලේබලය පමණක් සහිතව මෙම නාළිකාව ටික කාලයක් ගත කළේය.

දිනක් බොහෝ සේ  රස්තියාදුකාර වූද ඒ ආයතනයෙන්ම මෙහෙයවනු ලැබූ කටයුත්තක් සදහා මමද එහි ගොස් සිටියෙමි. තතු නොදන්නා අපේ පිරිසක් හමුවේ තම ගුණ යපහත්කම පෙන්වීමට ආයතන ප්‍රධානියා එතැනදී බොරු රංගනයක් ඉදිරිපත් කරනු සෑහෙන වේලාවක් ඉවසා බලා සිටියෙමි. අප වෙතද බලපෑම් සහගත වූ එ් රංගයේ සීමාව ඔහු විසින් අතික්‍රමණය කරන්නට යෙදුන තැන ඔහුගේ අවසරය රැගෙනම මම ඔහු  හමුවේ කෙළින් සත්‍ය වචන කීපයක් කතා කළෙමි. ඔහු අපහසුවට පත් විය. අනතුරුව මම එතැනින් ඉවත්ව ආවේ මගේම කැමැත්තෙනි. අප වැඩසටහන් ප්‍රධානියා නැවත පැමිණෙන ලෙස ඇමතුමක් දුන් නමුත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඉන් බොහෝ දවසකට පසු හදුනන්නෙකු පැවසූයේ ආයතනයේ ප්‍රධානියා එහිදී ඉතිරි වූවන්ට කියා තිබුනේ මාව සම්මුඛ පරීක්ෂනයකින් නොතේරුනු නිසා එ් හැගීමෙන් මා ඔහුට නිකරුනේ චෝදනා කළ බවක්ලු. එය ඇසූ මට ඔහුගේ නිවට ගතිය ගැන සිනා පහළ විය. අදාළ සිදුවීමේදී සම්මුඛ පරීක්ෂනය පිළිබද වගක් මට නොවීය. මා ඔහුට පැවසූයේ අපට කෙළින් කතා නොකොට වක්‍රාකාරව අපව මුළා කරන්නට ඔහු කළ තැත අපට වැටහෙන බවය. නමුත් ඔහුගේ වැඩිහිටි කමට මම කාරුණික වීමි. ඒ සිදුවීමෙන් පසු ඔහු තවත් තැනකදී මට හමුවිය. එහිදී ඔහු මා ඇගයූවේය. මගේ මිතුරාව ආදරණීය ලෙස විවේචනය කළේය. ඔහු අප මුණගැසුනු එ් සාකච්ඡාවේදී යම් ඉදිරිපත් වීමක් කරන අයෙක් වෙතොත් ඔහු හෝ ඇය තම ආයතනයට බදවා ගන්නටත් පොරොන්දු විය. කුහක වැඩිහිටියන් ගැන හදුනාගෙන සිටි මම හැකියාව තිබියදීත් ඉවසා නිහඩවූයේ වැරදි ලෙස අවස්ථා දිනා ගැනීම අපහට තරම් නොවන නිසාය. ඔහු එහිදී අපේ ඉදිරි දැක්ම විමසුවේය. මම දුන් පිළිතුර වර්තමානයේ සම්මත එකක් නොවීම පිළිබද ඔහු විචාර කළේය. මේ වැඩසටහනේ ප්‍රධානියාද ඔහුද මිතුරන් වූ නිසා ඔවුන්ගේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් හා දේසපාලුවන්ගේ පිට කසා ගැනීම් මේ වැඩසටහන් තුළද අන්තර්ගත විය. එ් වැඩසටහනේ තවත් තැනෙක ඔහුගේ අතින් සහතික පත්‍රයක් ලබන්නටද අවස්ථාවක් මට විය. අකමැත්තෙන් වුවත් මම ඒ අවස්ථාව ඉවසීමි. තවත් විටෙක මුණ ගැසුනු තැන අත වනා සමාචාර කිරීමටත් ඔහු ‍ක්‍රියාකළේ අ‍පගේ හිත පදහවන්නටය. මමත් ඔහුට එලෙසින්ම ප්‍රතිචාර පෑමි. නමුත් මේ සියල්ල තුළ මා එකක් වටහා ගතිමි. කපන්ට බැරි අත සිම්ඹත් මේ වැඩිහිටියාට අප වැනි තරුණයන් ගැටලු සහගත වූ බවයි. ගැහැනුන් ගැන නන් දොඩා, දේසපාලන මුසා පවසා, ඔහුත් සමග අඩියක් ගැසුවේ නම් අපත් ඔහුට ගැලපෙනු ඇත. නමුත් අඩි ගහන්නට ඕනෑ නම් ගහන්නට හැකි වුවත් අපට නුවමනා නිසා අපි අඩි ගහන්නේ නැත. ගැහැනුන් ගැනද එසේමය. කළ යුත්ත හා නොකළ යුත්තත් විය යුත්තත් සොයායමින් සිටි අවධියක වුව අපට හිතේ හයියත් ඇගේ හයියත් දෙකම අවුරුදු කීපයකට පෙරත් තිබුණේය. ශුද්ධ වන්තයන් නොවුනත් අපි පිරිසුදු කම අගය කළෙමු. පිරිසිදු කම හොයා ගියෙමු.

නමුත් අර විදිහට තම ජඩකම් පුද්ගලික පටිපදා ලෙස ආයතන තුළ අනුමත කරගෙන හිටි මිනිසුන්ට වූයේ කුමක්ද? ටික කලකින්ම සිදු වූයේ තමාගේ අදූරදර්ශී අහංකාර වැඩපිළිවෙල නිසා ආයත‍නයේ ඇතිවූ කඩාවැටීම හේතුවෙන් එතැනින් යන්නට සිදුවීමයි. ඉන් කියවෙන්නේ ඉන් පසු ආයතනයේ තත්වය යපහත් කරන්නට කිසිවෙකු සමත් වූ බවද නොවේ. තවමත් ආයතනය බංකොලොත්ය. බැහැර සබදකම් පවත්වමින් සිට වුව ඉන් පිටවූ දා පටන් තවම එ් ස්ථානයට පය නොතැබූවත් ඒ බව දකින්නට ගුවන් විදුලියක් වූ එහි යා යුතුද නැත. කෙසේ නමුත්රජයේ මහජනයාගේ මුදලට වැඩවන්නේ එලෙසින්ය.

මේ අවුරුදු පහ හයකට පෙර සිදුවීමකි. කතාවට විෂය කොටගත් ප්‍රධාන උන්දෑ සමග මගේ හිතේ කිසිදු කෝන්තරක්ද නැත. නමුත් තමන්ගේ අයපහත් දුර්ගුණ හුවා දක්වමින්, පටු මාන්නයටත්, වාසියටත් දැන නොදැන අන්‍යන් විනාශ කරන්නට මෙබන්දන්ට බලය ලබා දෙන්නේ කව්ද? එය අපට ප්‍රශ්නයකි.  ජඩ දේශපාලුවෝ නොවේද එ්? උන්ට බලය ලබා දෙන්නේ කව්ද? අප නොවේද? මම නම් ‍එලෙස ලබාදී නැති නිසා, නිර්භයව එබදු මහත්මා ප්‍රතිරූප ජඩයින් පත් කරන්නට ඡන්දය දෙන උන්දලාට අැඹුල් පොල් පිති පහර දිය යුතු බව කියනවාට විරුද්ධ නොවෙමි. තමන්ට වැඩ කළා කියා එක එකාට සළකත් නම් ජඩයින්ට ඡන්දය නොදෙන අවංක මිනිසුන්ට සළකන්නේ කව්ද? ඔවුන් මුහුදට දැමිය යුතුද? මේක ඒ ජඩයින්ටම ගිය රටද?

තරුණයන් හෝ වැඩිහිටියන් හැටියට මුල් දින කීපයේ ඒ ගුවන් විදුලිය වටා රොද බැදුනු ප්‍රාදේශීය මිනිසුන්ගෙන් ඵලක් ගන්නට එ් ප්‍රධානියාට නොහැකි වුනේ ඇයි? හදවත අතට ගෙන කතාකරත් තමන්ගේ ජඩ ගති තමන්ටම පාලනය කරගන්නට නොහැකි වූ නිසාය. එහෙව් ජඩ වැඩිහිටියන් කෙරෙහි අප දැක්විය යුත්තේ කෙබදු ආකල්පයක්ද? ඒ ඒ ප්‍රදේශයේ හැකියා දක්ෂතා ඇති මිනිසුන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවස්ථා බොහොමයක් මෙහේ කළමණාකරණය වන්නේ එබදු ලෙසකින් නොවන බවට ඔය රූප පෙට්ටිවල සද්දදාන එක ගොබ්බ කෛරාට දේසපාලුවෙකුට ඔප්පු කළ හැකිද? නොහැකිය. පොඩි කොන්ත්‍රාත්තුවේ සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා මේ විෂබීජය පැතිර තිබෙනු අප කොතෙකුත් දකින්නෙමු.  ඒ ජඩයෝත් උන්ට ඡන්දය දෙන බුබ්බඩයෝත්ම පමණි, රටේ බහුතරයත්. ඉන් මිදීමට තරම් හිතේ වීර්යයක් ඇත්තේ කී දෙනාටද? බොහෝ දෙනා ඒවාට ‍එරෙහි වීමට වඩා බඩ ගෝස්තරයට නිවට වීම යපහතියයි අදහති.

 සමහර වැඩිහිටියෝ අපට කියා දෙන්නට හදන්නේ කෙල්ලන්ගෙන් ආශ්වාදය ගන්නා හැටිය. සුරාවෙන් ගත ප්‍රබෝධමත් කරගන්නා හැටිය. මෙහෙව් වූ ගොබ්බ නිවටයෝ සමාජයත් කා ඉන් චුත වන්නේ අපටද පව් ගොඩ ගසාය.

උන් දෙසන ආකාරයට මේ යන රැල්ලේ ආශ්වාදය ගැනීම මහලොකු දෙයක්ද? ඒ පට්ට ආතල් ගන්නා හැටි ගැනත් අපි හොදින්ම දන්නෙමු. නමුත් දැනගන්නට දැනගන්නට අප හදන්නේ  සියල්ලක් විනාශ ‍කරන එ් ගොබ්බ මාර්ග වලින් ශුද්ධව ජීවතයක සැනසුමක් දකින්නටය. ඒ ගැන කියන්නටය. එහෙත් තමන්ගේ ජීවිතවලටත් හැබෑ අරුතක් දිනා ගන්නට අසමත් වූ හැකියාවක් පමණක් ඇති වුන් සමාජයකට දැන දැන ම වල කපන්නේ නම් ඒ හුදෙක් තමන් වලට වැටුනු වෛරයෙන්ම පමණි. ඉන් මිදීමට නොහැකි මායාගත හීන වීර්යයෙන්ම පමණි.

ඔය ආකාරයෙන්ම හැමදා කතා කරන තවත් ප්‍රශ්නයක ආකාරය ත්‍රස්ත වාදයක් දක්වා ගියේද මෙතනින් යැයි සිතමි. දැන් සමහර රතු පක්ෂ වල ඉතිහාස‍ගත කැරළි වලට දෙස් තබන වම් දකුණු ප්‍රධාන පක්ෂ, ඒ එදා රතු පක්ෂ  හේතු යුක්ති ඇතිව හෝ නැතිව යම් කෙටි කාලයක වැගුරෑ ලෙය හෝ විනාශ කළ නිශ්චල චංචල දේපළ මතක් කරමින්ම ජනතා‍වගේ හිස අතගා අවුරුදු දහය විස්ස තිස්සේ සූරා කෑම හොදද? එබදු ලෙසකින් කොපමණ මුන් සූරා කා ඇත්ද? ගුණ මකු කම නම් දෙකම එකය. නමුත් දෙපයින් හිට යුක්තිය පිළිගැනීමට කොන්ද ඇති මිනිසුන් අද ඔතැන නැත. බහුතර වශයෙන් මහත්මා ජඩයෝ පමණක් හිදිති. අපි කළොත් හොදය. අනෙකා කළොත් නරකය.

එහෙව් මෙහෙව් වශයෙන් ගෑනුද, මත්පැනද, තවත් නොයෙකුත් වරදානද වෙනුවෙන් කෙළ හළන ගොබ්බර වැඩිහිටි ප්‍රජාවක් මේ රටේ වෙසෙති. උන්ගේ ක්‍රියා කළාප අප හොදින්ම දැක ඇත. නූතනයේ දරුවා ගේ සිට තරුණයා දක්වා වනසන මුන් වෙත අපේ අසිපත් අවදියෙනි. ඒ අයෝමය අසිපත්ම නොව බුද්ධියේ හා ප්‍රඥාවේ අසිපත්ය. අයෝමය අසිපතකට වඩා දහසකුත් වැඩ එයින් කළ හැකිය. පණ ඇති තුරු අප නවත්වන්නට සමත් ජගතෙකුද නැත. අවසන් පණ කෙන්දෙදීද වැලිකැටය හෝ අප විසි කරන්නේ සාධාරණය හා යුක්තිය සදහාම පමණි.

කුඩා කළ සිට ‍මෙහෙව් ජනයාගේ පර වැඩ දකිමින්ම විටෙක එ්වා තුළ වැටෙමින් වුව දෙපයින් හිද ජීවිත රස්තියාදුව ශුද්ධ කරගත්තවුන්ය අප. එ් ලෙහෙසි පහසු ලෙස දෙමාපිය උරුමයක් ලෙසින් නොවේ. දෙමාපියන්ගේ මෙන්ම අපේද අසීමිත කැපවීමකිනි.  එබැවින් පරයින්ගේ දෙපා මුලින් අල්ලා උන් පර සක්වල ගැසීමට අප ගතත් සිතත් ශක්තිමත්ය. නියමින් ‍හෝ අනියමින් අප කරන්නේ එයයි. කළ යුත්ත එයයි. එසේ නැතිව දුර්වල මනසින් ගණිකා වෘත්තියේ යෙදෙමින් හිතට හදට දැනෙන ඇත්ත යුක්තිය අනාගත පරපුරට‍ නොදී සමාජ විග්‍රහ කර කර හිදීමම නොවේ. එ්ක එක විෂයක් මේක තව විෂයක් ලෙසින් අප දැනුමෙන් පොහොසත් වෙද්දී හදවතටත් හිතටත් ගතු කියන අර ජඩයින් කී ගුණයකින් නම් ළමා තරුණ පිරිස් ඩැහැ ගන්නේද? මුළාවේ හෙළන්නේද? නියමින් හෝ අනියමින් විරුද්ධ විය හැකි කොපමණ ජඩ කම් ප්‍රමාණයක් හමුවේ අප නිවට වී ඇතිද?

එහෙව් වූ පාපතර වැඩිහිටි ගොබ්බයින්ට එරෙ‍හිව හිස එසවිය යුතු කාලයයි මේ.

එබැවින් මතක තබා ගන්න, තමන්ගේ හිත දුර්වල හෝ රස්තියාදු වූ පමණට හැමකාම එ් රස්තියාදුවේම විනාශය දක්වා කලතන්නට කිසිවෙකුට අයිතියක් නැති බව. විය යුත්තේ, කළ යුත්තේ ඒ රස්තියාදුවෙන් මිදීමට උන්ට අතහිත දීමය. දෙපයින් නැගී හිදින්නට දිරි දීමය. නැතිව මේ සමාජයේ හෙට විකසිත වන්නට පිපෙන කැකුළු වලට ආතල් ගන්න හැටි කියා දීම නොවේ. එ් අති ගොබ්බ විනාශකාරී ආතල් කඩා ගන්නා හැටිත් දෙපයින් කොදු කෙළින් කොට ජීවත්වන්නටත් කියා දීමය. අපට වඩා වැඩිහිටියනි, මේ සදහා මං හෙවීමට තොපට යුතුකමක් නැතිද?

ගොබ්බ මොළ වලට වධදී මේ ලෝකයේ විනෝදය අතර හිතේ සැනසුමත් ගතේ සැනසුමත් දෙන සද්ධර්මය හොයන්නටත් යහමග යන්නටත් හැමට වීරිය වේවා. ප්‍රඥාව පහළ වේවා. මෛත්‍රිය වැඩෙත්වා.