Showing posts with label ආවර්ජනා. Show all posts
Showing posts with label ආවර්ජනා. Show all posts

Tuesday, May 9, 2023

දේශපාලන බල මජර වෛරසයට එරෙහි වූ (9 ~ ප්‍රති මජරත්ව සටන)

එදා මෙදා මිනිස් ඝාතන සංස්කෘතියක් මේ ධර්මද්වීපයේ වීද ඊට වඩා මිනී කාක්කන්ගේ සංස්කෘතිය අද වඩා සාමාන්‍යකරණය වී ඇත. දේශපාලනික අර්බුධ, සමාජ අර්බුධ ඊටත් මෙහා පුද්ගලික අර්බුධ මත සිදු වන ඝාතන ආදී වශයෙන් පවා මරණ විකුණමින් යැපෙන මිනීකාක සංස්කෘතිය අද හරි සරලය. 

මිනිස් ජීවිතයක වටිනාකම මෙපමණට හෑල්ලු වූ මාර සංස්කෘතියක් මේ ධර්මද්වීපය තුළ වැඩුනේ කාගේ කාගේ වරදින්ද?

මහජන විරෝධතාවයකට ගිනි තබා දේශපාලන වෛරයන් අවුලුවා අනිසි භීෂණයක් නිර්මාණයට මුල පුරා තමන් විසින්ම කැපූ වලේ ඇද වැටුණු සහෝදර මිනිසෙකුගේ මාංශය කිඹුල් කඳුළු සමඟින් අදටත් අනුභවයේ යෙදෙනුයේ නම් ඒ නියම මජර දේශපාලන කපුටන් ය.

මෙයින් ගැලවෙන්නට දරණ යම් උත්සාහයක, අරගලයක දිශාව පවා නැවත සිය සුපුරුදු මජර දේශපාලනය වෙත යොමු කරවා ගන්නට තරම් ඔඋන් දුෂ්ඨත්වයෙන් හා මුග්ධත්වයෙන් සවිමත් නම් අද රටට වින කරන සැබෑ ත්‍රස්තවාදය කුමක්ද, එය පවතින්නේ කොතැන ද, කවරාකාරයෙන්ද යන්න වඩා පැහැදිලිය. 

රාජ්‍ය කරවන උන් විසින් නැවත නැවතත් සකසන පෙර මංපෙත් තුළ යළි යළිත් පෙනෙනුයේ මෙරට ජන සමාජය ගිල ගත් මජර දේශපාලනය මුල් කොට ගත් නරුම සංස්කෘතිය ඔසවාලන විනාශකාරී ගමන හා එහි තරම නොවේද?

රටෙහි විනාශය උදාවී ඇත්තේ ආර්ථිකයක පමණක් නොවේ. සියළු සමාජ සංස්කෘතික අධ්‍යාපනික පද්ධතීන්ම දෙදරා නාය යමින් පවතී.

තවමත් සිය මජර බවට එරෙහි අරගලයේ පිළිබිඹුවට බුරන, නන් දොඩවන මුග්ධ දේශපාලක ප්‍රතිරූපධාරියෝ මීලඟ බල දඩයම පිළිබඳ සිහින මවමින් සිටිති. බල ගේමට පාර කපති, තාර දමති.

ආත්මාර්ථී දේශපාලන මජරත්වයෙන් අත් දුටු විනාශයේ මීළඟ අදියර අත් විඳින්නට සිදුවන්නේ ආත්මාර්ථී පුරවැසි මජරත්වය මතයි.

රට ගලවා ගැනීම සබුද්ධික පමණක් නොව එකමුතු, සවිමත්, සක්‍රීය ක්‍රියාවලියක් විය යුතු වන්නේ එබැවින්ය. වාද බේද විරහිතව පළමුව මේ මජර සංස්කෘතිය මෙරටින් තුරන් කළ යුතු ය. එසේ නොකොට කිසියම් සරු බීජයක් මේ නිසරු පසෙහි ඵල දරන්නට යළි ඉඩක් ඇත්තේම නැත. තවදුරටත් සරු බීජ පවා බිහි නොවනු ඇත! හිස් කාන්තාරයක මිරිඟුවක් පසු පස ලුහුබඳින්නන් බවට අප පත් වනු ඇත.

Monday, May 1, 2023

🌀

 මජර යකුන් එලවන යකදුරන් මිස

යකා වැහී නටනා උන් මොකට තව

නිධන් පිරුණු රට උගසට සින්න කළ

නායකයින් වඳින්ට ගාථා නැති ද


ඔඋන්ගේ මජර කමත් බහුතරයාගේ අන්ධ විශ්වාසයත් අතර ~ රට දෙපයින් දණිස්සෙන් මුනින් තලා වී ඇද වැටිණ !


දශක දෙකක් ආපස්සට හැරෙන තැන මහජන ඡන්දෙන් අගමැති වූ රනිල් ය. දශකයක් ආපස්සට හැරෙන තැන තිස් අවුරුදු යුද්ධයක නිමා වේ අභිමානය සමරමින් හුන් මහින්ද ය. ඊයේ වන විට මහජන ඡන්දයෙන් ම රනිල් හුන්නේ ගෙදරය. මහින්ද අනුප්‍රාප්තිකයා වශයෙන් ගෝඨාභය රට බාරගෙන සිටියේ ය. නිකම් නොවේ, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ද සහිතවය. 

අද මහින්ද, ගෝඨාභය තනතුරු අතහැර රනිල් ඔවුන්ගේ තේරීම බවට පත්ව ඇත. (ඔය දශක දෙක අතරින් පතර හිටියේත් අලුත්/අමුතු පිරිසක් නොවන කොට) අද වන තෙක් අපේ පරමාධිපත්‍ය බලය යෙදී ඇත්තේ කොහාටද? කපුටාට ද? ඉබාගාතේ රට ඇදෙන ගමන වෙනස් කිරීමට ජන බලය බලපෑමක් නොවේ නම් ජනතා පරමාධිපත්‍ය යනු කුමක් ද? එසේ නොමැති නම් බලතණ්හාදිකයන් බලවත් කොට අත්පත් කර ගත් විනාශයන්ට වගකිව යුත්තේ බහුතර ජනතාවම ය. දෙපයින් දෙදණින් මහ මග මත ඇද වැටුනේ බේබද්දෙක් නම් ඔහුට මුනින්තලා වී ඇද වැටීම තබා ඇද වැටුණු තමාගේ මුහුණ  ඉව කොට කකුල උස්සා සුළු දිය හලන සුනඛයාගේ සංග්‍රහයත් දැනෙන්නේ දේදුනු වර්ෂාවක් ලෙසින් නම් බංකොළොත් රටක ඉරණමත් ඒ ලෙසම බාර ගනිත්වායි වසර විස්සකට පෙර සතළිස් වියැති අද හැට සපුරන මුත් තවමත් වැල යන අතට මැස්ස ගහන පුර වැසියන්ට විශේෂයෙන් ආශිංසනය කළ යතුය.

Monday, April 24, 2023

අපේ උණ්ඩ ~ කාගෙවත් 1/4තුවක්කු ~ තියන්නෙ අපිට මයි!

දේශපාලන බල මජරත්වයේ මානසික බර අවිය ~ ජන මනස තුළ ස්ථාපිත ස්කිමාවකි. අපි ම දමාගත් ලෙඩ කි. අප 'ඵලය' මිස 'හේතු ව' නොවෙයි ~ නිරන්තර අප විසින්ම අපේ ඔලුවට දමාගත් මුළාව එයයි. 

එලෙසම දේශපාලකයා මෙහෙම හිතනවා. අපිව පත් කළේ ජනතාව. ඒ අනුව හේතුව ජනතාව. ඵලය තමා අපි, වැරදි නම් ඇයි බලය දුන්නේ..

මජර දේශපාලනයට ඒක හොඳ තර්කයක්.

එතකොට බලය සම්බන්ධ කාරණයේ දී ~ ජනතාව ~ අපි බලය දුන්නා, වගකියපල්ලා කියන අතරේ

දේශපාලකයා ~ ජනතාව අපිට බලය දුන්නා, කරන්න දීපල්ලා කියනවා.

අවසානෙදි වගවීමත් නෑ. කෙරෙන දේකුත් නෑ. කාලය කනවා, මැති ඇමති තණ්හාව මෝරනවා, ඩීල් දැමෙනවා, රට කාලකණ්ණි වෙනවා. ආයෙ බැට කනවා.

එහෙනම් ඇයි අපි අපට වගනොකියන ඔඋන්ව තෝරා ගන්නේ. ඉදිරිපත් වෙන්නෙ එක ම පිරිස් වෙන්න පුළුවන්. ඒත් ඇයි මජර අයවත් බොහෝ විට ප්‍රතික්ෂේප නොවෙන්නේ. ඒකයි මා න සි ක හු රු ව.  අපි බබාලා ගැඹුරින් හිතන්නෙ නෑ ප්‍රතිඵලය තීරණය කෙරෙන හේතුව අපි කියලා. නැත්නම් අහිංසක වැඩි කමට තීරක අයිතිය පවා දීලා. සල්ලි වලට විකිණිලා, අල්ලසකට යට වෙලා.

ඉතින්, ඇත්ත හේතුව ~ අපි, ඵලය ~ ඔඋන්. එනිසා අප විසින් නිවැරදි ප්‍රතිඵල උදෙසා හේතු සම්පාදනය නොකෙරෙන තාක් හොරු /තක්කඩි /වනචර /මජර පිරිස් තම දක්සතා තුළින් අපි දුන් බලය ක්‍රියාවට නඟනවා. ඒ ඉසව් වලින් රට මෙපමණ දියුණුවට ගමන් කර ඇත්තේ ඒකයි. වෙමින් පවතින්නේ එයයි. 

දෙකෝටියකට වඩා එකෙක් බලවත් වෙන්නෙ විධායක කම නිසාම නොවෙයි. ජන අරගලයෙන් පුළුල් කර ගත් ජන මන ස්කිමාව ආපහු පරණ දේශපාලන තැටියටම අකුළගත් නිසා : ඒ තැටිය වාදනය වෙනකම් රටම විකුණුවත් අපි එකම තැනමයි. එයා මෙයා කරයි, ණයට කරයි, පිනට ලැබෙයි කියල හිතන කම් ජනතාවත් රටත් අසරණයි. මජර දේශපාලයේ බර අවිය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි. ඒකට උන්ඩ දෙන්නෙත් ගොදුරු වෙන්නෙත් අපිමයි!

අරුතක් සහිත ජීවිතයක් හොයන්න නම් අවම වශයෙන් අවියත් උණ්ඩත් ගැඹුරු මුහුදේ ගිල්විය යුතුමයි. හතර වටේම මුහුද නිසා අවි බර උනත් හරියට උත්සාහ කරොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ ! කවුරුත් එකතු වෙලා කරොත් බර තවත් හෑල්ලු වෙයි: අපිත්, රටත් හෙට ට ඉතිරි වෙයි !

Thursday, January 9, 2020

වලංගු - විලංගු

January 9, 2017 at 6:34 PM

දුර බලන්න, දෙවනුව ළග බලන්න (25ක් 2ක්)

අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න,  අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙලා එකම කැපකිරීමකින් වැඩකරමු. 
එහෙම කියන්නත් ඒ විදිහට වැඩ කරන්නත් බලය ඇති කාටවුනත් මෙහේ බාධා කරන්නෙ කව්ද?
බාධා වලට යටපත් වෙනව නම් ඒ බලය කියන්නෙ මොකක්ද?
අසීමිත බලයත් මිනිහා සහ සමාජයට ගෙන එන්නේ විනාශයක් නම්, රටක දියුණුව සංවර්ධනය උදෙසා බලයේ ප්‍රමාණය පමණක් එකම සාධකය නොවන බව පැහැදිලියි. 
බලය භාවිතා කරන්නන්ගේ පරිචය හා පරිණතිය.. ඒවා ගැන හිතනවාට වඩා ජන්දයකදි අප දකින්නේ දවස් කීපයක අනාගතයක් ගැන පමණක් නොවේද?
හදුනාගත් නොගත් කෙටි දිගු සියලු ප්‍රශ්න ගැටලු සදහා බහුවරණ ක්‍රමයට අනුව දී ඇති පිළිතුරු වලින් එකක් තෝරන කිසියම් නිර්මාණ ශක්තියක් නැති සියලුදෙනා මේ සදහා වගකීම දැරිය යුතුය. දේශපාලනයට සුදුස්සන් තේරීම සියලු ජනතාවගේ වගකීමයි. ඔවුන්වෙත පහසු ක්‍රමයෙන්ම පිළිතුරු සොයනවා වෙනුවට සුදුසු පිළිතුරු දිගු හෝ කෙටි වශයෙන් නිවැරදිව ලබා දීම සියලු දේශපාලකයන්ගේ වගකීමයි. ඒ සදහා අතර මැදි රාජ්‍ය නිළධාරීන්, සේවකයින් ඔවුන්ගේ නිසි හා නොමසුරු දායකත්වයත් වාද බේදයකින් තොරව සංවාදශීලීව ක්‍රියාශීලිව සිදුකරනවා නම් බලය ක්‍රියාත්මක වීමේ බාධා මග හැරී නොයන්නේ නැතිද. 
තත්වාකාරයෙන් කරණු සරල හෝ පහසු නොවෙතත් එබදු ලෙසකින් මිස ජයගත නොහැකි අපේ ගැටලු වලට පොළොවේ පස් කෑමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකිද?
ඒ බදු නිවරැදි ක්‍රියාවලියකට යත්න දරණ අතරේ සමාජයේ සියලු තැන්හි ඇති දුර්වලතා ගැන අවබෝධයෙන් හා විනාශකාරී නොවන නිසි හඩ නැගීමකින් පමණක් නොවෙද අපටත් රටටත් ඵලක් වන්නේ, අඹ ඇටයෙන් ඵල ලැබීමට හැක්කේ, ගොවිතැනින් නිසි අස්වැන්නක් ලද හැක්කේ, රටක දියුණුවක් දැකිය හැක්කේ අන් කවර මගකින්ද?
අපට ඒ සදහා දිය හැකි දායකත්වය නම් කිසි දේශපාලකයෙකු කෙරෙහි විශේෂ අනුග්‍රහයකින් තොරව අවස්ථාවට කාලයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීම හා නුසුදුසු විට ඔවුන් ඉවත් කිරීමත්, එනම් ඔවුන්ගෙන් වැඩ ගැනීමත්, අපේ ක්ෂේත්‍රයෙන් අපට එළිපෙහෙළි කළ හැකි දියුණු කළ හැකිදෑ නිස්සරණයන්ම කිරීමත් නොවේද.
රට යනු ඔබත් මමත් භුක්ති විදින මහාම හිමිකම නොවෙයිද. ලෝක උරුමයෙන් මෙපිට අපේ අනන්‍යතාව රැදි උරුමය අප සුරැකිය යුත්තේ හදවතින් මෙන්ම බුද්ධියෙන්ද එකාවන්ව හිදිමින් මිස බෙදෙමින් වැනසෙමින් නොවේ. එහෙම ගියොත් අවසන කිසිවෙකුට  බෙදාගන්නට කිසිත් ඉතුරු නොවේවි. 
දුර බලන්න, දෙවනුව ළග බලන්න කියන්නේ පාට පක්ෂ දෙස බලාගෙන නොව යහපත් රටක මියයාමේ හෝ භාග්‍ය තවදුරටත් අපට තිබිය යුතු නිසයි. බිහිවෙන නව පරපුරක ජීවිගුණය ගැන ඔබ හිතනවානම් අපේ අවධියේ පරපුර මෙන් ඔවුන් දෙමගක් අතර අතරමං කොට පලා නොයන්න. සැබෑ පරාර්ථය හදුන්වා දෙන්න. නිවැරදි ක්‍රියාකාරිත්වය වටහා දෙන්න. පුද්ගලිකත්වයට වහල් නොවී තාක්ෂණට ඔවුන් පවරා නොදී පසුපසින් ඉන්න. ඔවුන්ට යම් සෙවණැල්ලක් වනු පිණිස ඔබ සැඩ හිරු එළියට මුහුණ දෙන්න. ඔවුන්ගේ හෙවණැල්ලේ සැගවෙන නිවටයෙක් වෙන්න එපා. හැබෑව හංගා ඔවුන්ගේ ආවේගයන් මතින් ඉගිල්ලෙන්න හදනු එපා, පෙනෙන දුරකදි ඔබ වැටෙනවා පමණක් නොව ඔවුන් ඔබ මතින් හැගීම් විරහිතව ඇවිද යනවා සත්තයි!
(25 කින් පසු අද ගැන හිතා දුක් නොවීම පිණිසයි)