Showing posts with label සද්භාවයෙනි. Show all posts
Showing posts with label සද්භාවයෙනි. Show all posts

Monday, May 8, 2017

තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)



විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිය  හෙළිදරව්ව ගෙනෙන්නේය. අතීතයට වඩා වර්තමානයේත් වත්මනට වඩා අනාගතයේත් විද්‍යාව යනු එකම දැනුමක් නොවේ. දිනෙන් දින එහි හැඩය වෙනස්ය. එබැවින් කලින් කලට විද්‍යාවේ අර්ථ දැක්වීම් එකක්ම නොවෙයි.
බුදු දහම ධර්ම මාර්ගයක් ඔස්සේ තම  හෙළිදරව්ව ගෙනෙන්නේය. එහි අතීත වර්තමාන අනාගත කාල බේදයක් නොවේ. ඉන් ගෙනෙන දැනුම එකක්මය. එහි හැඩය නොවෙනස්ය. 
සියල්ල අනිත්‍ය බව පැවසෙන දහමක ස්ථිර බවක් නම් කුමක්ද?
එනම් මේ පවසන්නේ දහමක් සමාජය තුළ පැවතීමේ ස්ථිර බවක් නොව එහි අන්තර්ගතයේ නොවෙනස් බවයි. එවිට ඒ දහම තුන් කලටම එකක්ම වෙයි. 
විද්‍යාව වයනය මහත්කොට සළකයි. එනම් අතටත් වඩා මොළයටයි. බුදු දහම ප්‍රත්‍යක්ෂය මහත්කොට සළකයි. ඒ මොළයටත් වඩා අවබෝධයටයි. මොළයට ස්පර්ෂය බුද්ධිමය තාර්කිකත්වය වෙද්දී අවබෝධයට ප්‍රත්‍යක්ෂය මොළයේ බුද්ධිමය තාර්කිකත්වය අබිබැවූ පරිපූර්ණත්වයක් වෙයි.
බුදුන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ එබදු පරිපූර්ණ අවබෝධයේ පරිසමාප්තියට පත් අයෙකු හැටියටයි. 
එබැවින් බුදු දහම අපේ විද්‍යාවෙන් පරම ලෙස විචාරන්නට යෑම අන්ධයන් ඇතුගේ හැටි කියනවාට දෙවැනි නොවේ. හේතු ඵල දහම, ජීවිතයේ උපත, විපත, වෘද්ධභාවය, රෝගීභාවය  ආදී අපට මගහැරිය නොහැකි ගැඹුරු සත්‍යන් මත බුදුදහම විචාරය ඊට වඩා සුපැහැදිලි මගකි. 
තෙමගුල සැමරීම යනු සැබවින්ම බුදුන් දැකීමයි. බුදුන් දැකිය හැක්කේ ධර්මය දකින්නාටයි. ධර්මය දැකිය හැක්කේ කාටද? බුදුන් දේශනා කලේ උන්වහන්සේගේ දහම නැණතියන්ට බවයි. ඒ නැණ නම් ප්‍රඥාවමැයි. 
බුදුරදුන්ගේ උපත සම්බුද්ධත්වය හා පිරිණිවන නැවත ආපසු බොදුනුවාට ඒ  ප්‍රඥාවට එළැඹෙන්නට වසරකට වරක් දෙන මතකයයි. 
ඔබ ගන්නේ ඒ මතකයද? ඒ ගැන වගවෙන්නා ද ඔබට ඔබමයි.


Monday, January 9, 2017

දුර බලන්න, දෙවනුව ළග බලන්න (25ක් 2ක්)

අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න, අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙලා එකම කැපකිරීමකින් වැඩකරමු.
එහෙම කියන්නත් ඒ විදිහට වැඩ කරන්නත් බලය ඇති කාටවුනත් මෙහේ බාධා කරන්නෙ කව්ද? බාධා වලට යටපත් වෙනව නම් ඒ බලය කියන්නෙ මොකක්ද?
අසීමිත බලයත් මිනිහා සහ සමාජයට ගෙන එන්නේ විනාශයක් නම්, රටක දියුණුව සංවර්ධනය උදෙසා බලයේ ප්‍රමාණය පමණක් එකම සාධකය නොවන බව පැහැදිලියි.
බලය භාවිතා කරන්නන්ගේ පරිචය හා පරිණතිය.. ඒවා ගැන හිතනවාට වඩා ජන්දයකදි අප දකින්නේ දවස් කීපයක අනාගතයක් ගැන පමණක් නොවේද?
හදුනාගත් නොගත් කෙටි දිගු සියලු ප්‍රශ්න ගැටලු සදහා බහුවරණ ක්‍රමයට අනුව දී ඇති පිළිතුරු වලින් එකක් තෝරන කිසියම් නිර්මාණ ශක්තියක් නැති සියලුදෙනා මේ සදහා වගකීම දැරිය යුතුය. දේශපාලනයට සුදුස්සන් තේරීම සියලු ජනතාවගේ වගකීමයි. ඔවුන්වෙත පහසු ක්‍රමයෙන්ම පිළිතුරු සොයනවා වෙනුවට සුදුසු පිළිතුරු දිගු හෝ කෙටි වශයෙන් නිවැරදිව ලබා දීම සියලු දේශපාලකයන්ගේ වගකීමයි. ඒ සදහා අතර මැදි රාජ්‍ය නිළධාරීන්, සේවකයින් ඔවුන්ගේ නිසි හා නොමසුරු දායකත්වයත් වාද බේදයකින් තොරව සංවාදශීලීව ක්‍රියාශීලිව සිදුකරනවා නම් බලය ක්‍රියාත්මක වීමේ බාධා මග හැරී නොයන්නේ නැතිද.
තත්වාකාරයෙන් කරණු සරල හෝ පහසු නොවෙතත් එබදු ලෙසකින් මිස ජයගත නොහැකි අපේ ගැටලු වලට පොළොවේ පස් කෑමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකිද?
ඒ බදු නිවරැදි ක්‍රියාවලියකට යත්න දරණ අතරේ සමාජයේ සියලු තැන්හි ඇති දුර්වලතා ගැන අවබෝධයෙන් හා විනාශකාරී නොවන නිසි හඩ නැගීමකින් පමණක් නොවෙද අපටත් රටටත් ඵලක් වන්නේ, අඹ ඇටයෙන් ඵල ලැබීමට හැක්කේ, ගොවිතැනින් නිසි අස්වැන්නක් ලද හැක්කේ, රටක දියුණුවක් දැකිය හැක්කේ අන් කවර මගකින්ද?
අපට ඒ සදහා දිය හැකි දායකත්වය නම් කිසි දේශපාලකයෙකු කෙරෙහි විශේෂ අනුග්‍රහයකින් තොරව අවස්ථාවට කාලයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීම හා නුසුදුසු විට ඔවුන් ඉවත් කිරීමත්, එනම් ඔවුන්ගෙන් වැඩ ගැනීමත්, අපේ ක්ෂේත්‍රයෙන් අපට එළිපෙහෙළි කළ හැකි දියුණු කළ හැකිදෑ නිස්සරණයන්ම කිරීමත් නොවේද.
රට යනු ඔබත් මමත් භුක්ති විදින මහාම හිමිකම නොවෙයිද. ලෝක උරුමයෙන් මෙපිට අපේ අනන්‍යතාව රැදි උරුමය අප සුරැකිය යුත්තේ හදවතින් මෙන්ම බුද්ධියෙන්ද එකාවන්ව හිදිමින් මිස බෙදෙමින් වැනසෙමින් නොවේ. එහෙම ගියොත් අවසන කිසිවෙකුට බෙදාගන්නට කිසිත් ඉතුරු නොවේවි.
දුර බලන්න, දෙවනුව ළග බලන්න කියන්නේ පාට පක්ෂ දෙස බලාගෙන නොව යහපත් රටක මියයාමේ හෝ භාග්‍ය තවදුරටත් අපට තිබිය යුතු නිසයි. බිහිවෙන නව පරපුරක ජීවිගුණය ගැන ඔබ හිතනවානම් අපේ අවධියේ පරපුර මෙන් ඔවුන් දෙමගක් අතර අතරමං කොට පලා නොයන්න. සැබෑ පරාර්ථය හදුන්වා දෙන්න. නිවැරදි ක්‍රියාකාරිත්වය වටහා දෙන්න. පුද්ගලිකත්වයට වහල් නොවී තාක්ෂණට ඔවුන් පවරා නොදී පසුපසින් ඉන්න. ඔවුන්ට යම් සෙවණැල්ලක් වනු පිණිස ඔබ සැඩ හිරු එළියට මුහුණ දෙන්න. ඔවුන්ගේ හෙවණැල්ලේ සැගවෙන නිවටයෙක් වෙන්න එපා. හැබෑව හංගා ඔවුන්ගේ ආවේගයන් මතින් ඉගිල්ලෙන්න හදනු එපා, පෙනෙන දුරකදි ඔබ වැටෙනවා පමණක් නොව ඔවුන් ඔබ මතින් හැගීම් විරහිතව ඇවිද යනවා සත්තයි!
(25 කින් පසු අද ගැන හිතා දුක් නොවීම පිණිසයි)

Sunday, January 8, 2017

අවුල

තමන්ගේ අවුල දේශපාලකයන් පිටට දමා මිනිස්සු ආතල් ගනිති. 
දේශපාලකයා තමන්ගේ අවුල තම විරුද්ධපාක්ෂිකයා මත හෙළා ආතල් දෙති.
අවසන සිදුව ඇත්තේ තමන්ගේ වගකීම නොගන්නා එනිනෙකා උනුන් හා කා කොටා ගැනීම පමණකි.
නමුත් මේ ඇත්ත පැහැදිලි කර ගැනීමට වඩා තොප්පි පාස් කරන ආතල් එකට බොහෝ අය කැමතිය. එනිසා කවුරු රට කළත් වැදගත් ඇත්තටම මේ පැත්ත බෙදී ගන්නා ආතල් එකය. අපේ කම කියා අපි ඔය අවුල් ආතල් එකම මතු පරපුරටත් උරුම කර දෙමු.
අපේ එකමුතුවේ මුතු ඇටයේ වසන්නන්ගේ හැකියාව ඔපමණකි. තමන්ගේ දුර්ගුණය පිළිගැනීමටත්,
අන්‍යන්ගේ යහගුණය ඔසවා තැබීමටත් නිස්සරණයක් නොතැනෙන තාක් අපි කොටහ ගමු, බදා ගමු. ගිණුම් පමණක් තර කර ගනිමු.

Friday, January 6, 2017

උඹට කුකවි

උඹ අල්ලපු අත්ත ඉහළය
උඹ පයගසා උන් පොළොවය
උඹ බීවේ ගගෙන් වතුරය
උඹ දැන් ආවඩයි මුහුදට

වගෙයි උඹෙ ඔලුවම පුස්වෙලා
හිස්වෙලා පිට කොන්දම උඹෙ මුදු ර බර් වෙලා
ලජ්ජාව උඹෙ බලුකිස්ථානෙට විකිණිලා
පලයන් උඹ කිරිකිස්ථාන් රජ වෙලා

සමහර කතා කියන්නට අපිට කිසිම උවමනාවක් නැත. නමුත් සමහර නිවටුන් නිසා සමහර කතා නින්නාද කරන්නටම සිදුවේ.
හැබෑ කුහකයින් මහා කාරුණිකයින් කරවන, කාරුණික මිනිසුන්ගේ ළතෙක් බව හුදු මෝඩකමකට පටවාලන්නට යන යුගයකි මෙය.
තමන්ගේ නින්දිත ජඩකම පිළිගැනීමටවත් අවංක කමක් නැති ජඩයන්ට සිය ජඩකම දෙපයින් බේරෙන තුරු බොහෝකොට මෙත් සිතින් කරුණා කළ යුතුමය. එය කාඩ්බෝඩ් වීරයන්ගේ යුගයේ අවශ්‍යතාවයකි, මෙහෙවරකි.
බෙල්ල කැපූවත් සුදුසු තැන සුදුසු ලෙස - එළිපිට වඩ වඩාත් වැඩියෙන් ඉදිරියටත් මම එය කරමි. මෙත් සිත වැඩිදියුණු වීම උදෙසාම කරමි. 😐

ඉක්මන් නොවුනේ? (නොදැමුණේ, මහළුවිය)

උපයා සපයා ගත් වටිනාකම්
දියකර යොබ්බන මදයට ලොල්වී
තකා අමුතු සුව පසුපස එලවා
ගොස් අඩ සිහියෙන් මරුවැල් පාගා

කිසි සරණක් නැති අසරණ ඉමකදි
සිහිකර දෙව්බඹු හා හා සම්බුදු හිමි
නොදැමුණ සිත සරණය සොයනා සද
කාලය ඉකුත්ව ගොස් ඔහු මහළුය

තාරුණ්‍යයේ වේගය හේතුවෙන් මග වරද්දා ගත්තෝ කී දෙනෙක් අදටත් මහළුවියෙහි තැන නොතැන දුක් විදින්නෝද?

Thursday, January 30, 2014

දෙයියන්ගෙ පිහිටෙන් ඔහොම යං.. කියා ඉර හදටත් බොරු කරන අපේ අෑයෝ..

තමන්ට තමන්ව රවටා ගැනීම පහසුය. කොතරම් තමන්ට තමන් රවටා ගැනීමට එපා කීවත් තමන් විසින්ම තමන්ව මුළාවේ හෙළා ගැනීම මිනිසුන්ගේ එක් ස්වභාවයකි. ඉන් පසු දෙවියන් යැදීමත් විශේෂයෙන් අපේ ජන්මයට වඩා ලොකු පුරුද්දකි. එලෙස තමන් විසින්ම රැවටෙමින් ඉර හද දිවුරන්නට යන ඉර හදටත් බොරු කරන්නට යන අපේ ඈයෝ අදද සිටිත්.

දෙවියන් විශ්වාස කළා හෝ නොකළා අප දන්නා දෙවියන් නම් සළකන්නේ අඩු තරමින් තමන්වත් නොරවටා ගන්නා තරමේ සාධාරණත්වයක් අැති අයවලුන්ටය. ඉන් අදහස් කරන්නේ අනුන්ව රවටා තමන්ට නොරැවටී සිටිය හැකි බව නොවේ. අනිකෙකු රවටන්නට සිතන තැනම පළමුව රැවටෙන්නේ තමන්ය. එබැවින් දෙවියන් එබන්දන්ගේ පිහිටට එනවායැයි සිතිය හැකිද? නැත. දෙවියන්ගේ මුවාවෙන් ඉර හදටත් ව්‍යාපාරික සැළසුම් හදන තරමේ දෙයියන් නම් රැවටිලි කරුවන්ගේ පිහිටට ඉන්නේය. අවසන සියල්ල කෙළවර වන්නේ දසක තෙක තුනක ඇවෑමෙන් හෝ මහඋළු ගෙදරින්ය.

අද කප්පරකට රවටන්නන්ය. මන්ද නොරැවටීම නිසා මෙහේ තවමත් වන්නේ පාඩුමය, අලාබයක්මය යනුවෙන් මතයක් හැදී ඇති නිසාය. එය ඇස් පනාපිට හැබෑවක් ලෙසින් පෙනුනත් දිගු කාලීනව ජීවිතයේ සැනසීමත් සතුටත් ගෙන දෙන්නට දෙවියන් බැල්ම හෙළන්නේ ඔය කෙටි කාලීන සුවිශාල ලාබ උපයන්නන්ට නම් නොවේ. වාසි ගොඩගහන්නන්ටත්  නොවේ. මෙහි සත්‍යතාව යනු ඔබටත් මටත් සොයාගැනීමට අපහසු තත්වයක්ද නොවේ. නමුත් අප දෙදෙනාගෙන් ඒ තත්වය වටහා ගන්නා තෙක් ඉවසන්නට නොහැක්කා රහසේම රැවටීමට ගොදුරු වන්නේ දෑහින් පමණක් සත්‍ය දකින්නට ගොහින්ය. රැවටීමේ මග ගෙන අද රජවී හෙට බලුත් නොවටිනා වන්නේ එබන්දෝය. මෙහේ එබදු උදාහරණ අපි අනන්තවත් දැක්කෙමු. ඒත් තවමත් අධික ලාබය තකා සන්තකයම වැරදි තැන ආයෝජනය කරන්නෝය. මුළාවී දෙයියන් යදින්නෝය. තවමත් අපට දෙයියන්ගේ පිහිට ඇතියි අප හිතන නිසා තවමත් දෙයියන්ගෙ පිහිටෙන් ඔහොම යං..

 නොරැවටීම යනු විය සිදුරෙන් අහස බැලීමකි. රැවටීම මෝස්තරයක් නැතිනම් ව්‍යාපාරයක් වූවාට පසු එය වෘත්තීමය යැයි කියනු ලැබේ. ඕනෑම දෙයක් වෘත්තීමය වූ පසු නීතිමය පදනමකින් ලියාපදිංචියක් ලද පසු එයට තවදුරටත් රැවටීමක් යැයි කිසිලෙසකින් කියනු නොලැබේ. ඉන් පසු එය භාණ්ඩයක් හෝ සේවාවක් පමණක්ද? පිළිගැනීම එලෙසය. නීතියේ හෝ වෙනයම් අතුරු සිදුරු තුළින් රැවටීම නීතියට වලංගු කිරීම තවමත් මෙහි අපහසු නොවේ. එබැවින්ම මිනිහාගේ සහජ ඥානය මොට කරවා වෘත්තීමය ගරුත්වයක් තුළ රැවටීම මෙහේ සම්මාන ලබයි. (ලොවක් වටින අපේ හැබෑ වත්කම් වලට ඉල්ලුම නොසෑදෙන්නේ රැවටීමේ වන්දනාවක යෙදෙන දනන් වෙත දේවාශිර්වාදය නොලැබීමේ ප්‍රතිඵලයක් හැටියටයැයි කිසිවෙකු කියද්ද? :) කොච්චර බොරු කළත්, වංචා කළත් දෙයියන්ගේ මල්ලිට එහි ගැටලුවක් නැතැයි බොහෝ දෙනා කට හුරුවට ඔහේ කියත්. ඒ නිවට නියාලු දෙයියන් වෙනුවට මල්ලිගේ ආශිර්වාදය වංචාවෙන් දිනන චින්තනය නිසා අප හැමදා දෙකකුල් අස්සේ හිස ගසා පාරම්බාන්නෝ වී සිටිත්.)

නමුත් රැවිටිලි කරුවාගේ ඉරණම යවුලක් මත එක් මුඛයක් තබා යවුල අනෙක් මුඛයෙන් මතුවන තුරු දුකට පත්වීමම පමණක් බව ඉර හදටත් බොරු කරන උන් අවට දකින අපට නම් සිහිවන්නේය. 

එබැවින් රැවටීමෙන් ගොඩ එමු. නොරවටමු දැන දැනම එසැණ පාඩුවත් අලාබයත්,  ගොඩඑනවානම් අපත් රටත් නුවණින් හා නොරැවටීමෙන්ම මිස.. මතු දියුණුව තකා වෙනත් මගක් අපට නම් නොපෙනෙන්නේය.

Monday, January 20, 2014

දිළිදුභාවයේ විෂම චක්‍රය නොහොත් මිනිහාගේ ඉරණම තවම මාකට්

ලාබයි ලාබයි, ඔබේ ඉරණම ලාබෙට විකුණනු ලැබේ, මේ අකාරයෙන් දිනපතා රූප මාධ්‍යයෙන් වගේම ශ්‍රව්‍ය මාධ්‍යයෙනුත් තව ලිඛිත මාධ්‍යයෙනුත්අපේ ඉරණම විකුණනවා. නොමිලේ වගේම ගෙවලා වුනත් තමන්ගේ ඉරණම ගැන දැනගන්න අකමැති කව්ද?  අපේ රටවල මිනිස්සුන්ට ඒක ජන්මෙන්ම ලැබුනු දායදයකුත් වෙච්චිකොට, මේක උණු කැවුම් වගේ බිස්නස් එකක්. කාලයක් තිස්සෙ කොයි කොයි විදිහට කෙරුනද කියලා විවිධ මාධ්‍යයෙන් ම මේ කලුකඩ ගැන කියන අතරේ එයාලම ආපහු ඒ කලුකඩ බිස්නස් එක ජනතාකරණය කරනවා, ඔන්න ඔබේ ඉරණම කියලා. ඉතිං දිළිදු බවේ විෂම චක්‍රය සම්පූර්ණයි.

අපේ ඉරණම ගැන වැකි අහගන්න අපි කට ඇරන් ඇස් ඇරන් විවිධ මාධ්‍ය දිහා බලන් ඉන්නවා. විවිධ පුද්ගලයො දිහා බලන් ඉන්නවා. අපේ ඉරණම විසදෙන්න තියෙන කාලය ගෙවිලා යනවා. කවදද අපි මේ පාඩම ඉගෙන ගන්නේ එදා වෙනකම් අපි මේ මාකට් එකේ විකිණෙනවා අපිටත් නොදැනිම. 

සමහරු බනිනවා, මේ අයත් එක්ක වාද විවාද හදාගන්නවා. මේ විෂයේ අරුත නිරුත පැහැදිලි කරගන්න තම ඉරණම දිය කරගන්නවාට වඩා දන්නා ශිල්පයෙන් ඉරණම් සිතියම තේරුම් ගන්නත් තමන්ගේ ඉරණම තමන් විසදගන්නත් උත්සාහ ක‍ළොත්?

ජීවිතය දිහා තමන්ගෙ තමන්ටම හැරිල බලන්න පුළුවන්නම් මැදිහත් සිතින් , බුද්ධිය මෙහෙයවල ටිකක් හිතුවොත් වැරදුනු තැන් , හරිගිය තැන් වගේම කවදාවත් නොසිතුව තැන් ගැන, ඉරණමේ සිතියම අහුවෙනව තුන්හිතකින්වත් නොහිතපු විදිහට. 

ඒක නිසා අපි අපේ ඉරණම අපිට ඕන විදිහට විසදගමු. ඒකට මගක් තියෙනව. මං දන්න තරමින් , හොයා දැනගත්තු තේරුම්ගත්තු විදිහට ඒකට කියන්නේ -හරි මග- කියල. ඒ මග හොයා ගත්තොත් අපේ ඉරණම අපිටම විසදගන්න පුළුවන් කියල තතු දන්නෝ කියනව. හැබැයි ඒක ලේසි නෑ කියල හිතුවොත් ලේසි නෑ වගේම අමාරු නෑ කියල හිතුවොත් අමාරුත් නැහැ. 

එ්ත් පරදිනවට වඩා දිනන එක, හරි මගෙන් දිනන එක සියයට සියයක ඉවසීමෙන් කරන්න ඕන දෙයක් කියල ඉරණමත් මාකට් එකක් වුනු මේ වගේ කාලෙක අපට හොදින්ම වැටහෙනව.