Monday, June 30, 2014

දෙපයින් නැගී සිටීමේ සිහිනය යථාර්තයක් බවට - (පස්ස පැත්තෙන් යාම හා සබැදේ)

දෑස් පෙනෙන්නට ගැනීම නිසා මහත් ආශ්වාදයක් ලද හැක්කේ අන්ධව සිටි තැනැත්තාටය. සාමය සතුට හොදින් දැනෙන්නේ යුද්ධයෙන් භීෂණයෙන් පීඩා විදි ජනයාටය. ජලයේ ඉමිහිරි රසයක් ඇතැයි හැගෙන්නේ පීපාසයෙන් පීඩා විදි තැනැත්තවුන්ටය.

දෙපයින් නැගී සිටීමේ තෘප්තිය හොදින්ම ලබන්නේ පස්ස පැත්තෙන් ගිය උන්ය.

විඩාවකදී පස්ස බිම තබා හිදගෙන විවේක සුවයක් ලැබීම එකකි. දෙපා පණනැති කමෙන් ශක්තිය නැති කමෙන් පස්සෙන් ම ඇදි ඇදී යාම අනෙකකි. අපි පස්සෙන් ඇදි ඇදී යා යුතු මිනිසුන් කොටසක්ද? නැත්නම් ඔබ විශ්වාස කරන්නේ මේ වන විට අප දෙකකුලෙන් යන බවද? යුද්ධයක් නිමාව අද්දර මුහුණ පෑ අනේක විධ බාධක කරදර මැඩ අප දෙපයින් නැගී සිටීමට උත්සාහ ගන්නා බව අසත්‍යක්ද? නැත. මා දන්නා ආකාරයට නම් ඉතිහාසයේ ඈත මෑත හැම යුගයකම හැල හැප්පීම් බාධා තර්ජන මැද අප ඔලුව උස්සන්නට වෙර දරා ඇත. සමහර තැනක අප ඔලුව ඔස්සා දෙපයින් හිට ගෙන සිටින්නටද ඇත. නමුත් දැන් අප සිටින්නේ අද දවසේය. යා යුත්තේ හෙට දවසටය. ඉතිහාසය අමතක ‍කර මෙන්ම ඉතිහාසය කියවමින් පමණක්මත් අපට යහපත් පැහැදිලි හෙටක් උදා කරගත හැකිද? යුද්ධයෙන් පසු අප දෙපයින් නැගිටින්නට උත්සාහ කළත් අප එය කරන්නේ හැබෑවටමද? වැටුනු මිනිසුන් නැගිටින්නට උත්සාහ කරන පුරුද්ද අනුකරණයෙන් පමණක්ද? 

අද අප ලබන දියුණුව එකකි. කෙනෙකුට එයින් සතුටු විය හැකිය. මං මාවත් තැනේ. ගොඩනැගිලි තැනේ. අධිවේගී මාර්ග, වරාය, තවත් දේ කියති. පෙන්වති. ඒවා හොදය. නමුත් අදට වඩා නිවැරදි හෙටක් වෙත යන්නට ඒවා පමණක් ප්‍රමාණවත් නැත. පොඩි පොඩි වශයෙන් හිතුවත් අප හැමදා වරද්දාගෙන ඇති මේ ලොකුවී වනසන්නට අමාරු ‍වන තෙක් වැඩෙන පොඩි වැරදි අදත් අප නොසළකාම හැර තිබේ. මේ නැගිටීමේ උත්සාහයන් හුදෙක් වැටුණු මිනිහෙකු නැගී සිටින්නට දරණ අනුකාරකවාදී තත්වයක් පමණක් ලෙසින් දකින්නට වන්නේ එහෙයිනි. 

තැන තැන ඇති තමන්ගේ කුණු කිසි හැගීමක් නැතිව ඔහේ විසිකරණ, අලුතෙන් හැදෙන වැසිකිලි කැසිකිසි වල පිටපැත්තේ සුලුදිය හලන ගති අඩුවනවායයි වත් හිතමු, ඒත් වැරදි පාරෙන් වැඩ කරවා ගැනීමේ ගති, සුදුස්සාට සුදුසු තැන දෙන්නට අකමැති ගති, පොඩි පොඩි පන්දම් වලින් වැඩ කරවා ගැනීමේ ගති, පරංගියා කෝට්ටේට ගියා සේ නිකං අපේම මිනිස්සු රස්තියාදු කරන රාජකාරි ගති, අරමුණු නොහදා පෙරගමන් සංවිධානය කරන ගති, අනුනුත් රවටා තමනුත් රැවටෙන ගති, ඇත්තට වඩා වාසියට බොරු කියන හා කරන ගති, රෑ වැටුණු වලේ දවල්ටත් වැටෙන්නට යන ගති, හිත හොද කම නිසා ඇන්දෙන හා ඇදගන්නා ගති, වෙලාවකට වැඩක් කරන්නට ද‍න්නේ නැති ගති, පුද්ගලික හෝ මුදල් නොලැබෙන වැඩක නම් වගකීම් හා යුතුකම් අමතක වෙන ගති ආදී වශයෙන් ගත් කළ තවත් නොකී අමන ගති රාශියක්ම නම් කිසිම අඩුවීමක් පෙනෙන්නට නැත. මේ අපේ ජන්ම ගති යයි සමහරු සහ විටෙක අපි අපිම කියතත්, එය එසේ විය හැකිද? සුනාමිය වැනි අතිභයංකර පෙර නොඇසූ විරූ විනාශයක් අත්දුටු අප ඒ මොහොතේ අප මිනිසුන්ගේ ජඩ ගති මතුවනවා දැක්කේ ඉතා අහම්බෙනි. බොහෝ දෙනා අපේ ජන්ම ගති වල හොද පැත්ත පමණත් ඉක්මවා දැක්වූයේ හදාගත් හැදියාවට වඩා ඒ ජන්ම උණුවීම අපට ඇති බව පෙන්වා දෙමිනි. ඒත් ඒ උණුවීම වඩා හොද විදිහකට භාවිතාවට ගෙනෙන්නට අපට නොහැකිද?

කවුරු කෙසේ කීවත් අහු මුළු වලට හොස්ස පො‍වා හොදින් ඉවකරන ලෝකයේ බලගතු රටවල් ගහන්නට හිතුණු තැන තණකොළ කපන්නට ගස් ගිය මිනිහාටත් වඩා හේතු සහිතව අදාළ තැනට ගහන්නේ කට උත්තර නැතිවන්නටය. නමුත් අවුරුදු ගණන් අපේම වැරදි වලින් දක්කා ගෙන ගිය යුද්ධ අපි කට උත්තර ඇති පමණට නිමා කොට ඇත. එහිදීද උණුවීම අපි දැක්කෙමු. එය ඔය සමහර රටවල හදාගත් හැදියාවට වඩා ඇත්තෙන්ම සද්භාවික විය. නමුත් ඒ සද්භාවය අන්ධභාවයක් දක්වා ගෙන යන්නට හදන ව්‍යාපාරත් සමහරු මෙහි බිහි කර ඇත. එමෙන්ම සද්භාවය කුරුවල් කරන්නට සමහරු වලිකන්නේය. දෙපයින් නැගී සිටින්නට හිතන මිනිහාගේ ශක්තිය එතැන අපතේ යන්නේය. නාස්ති වන්නේය. අමන ගති හදන්නට වඩා වවන්නට අවස්ථාවාදී දේශපාලුවෝ කරුණු කියද්දී මිනිසුන්ගේ සද්භාවය කුරුවල් කරන්නටත් ඔවුන් අන්ධ කරන්නටත් ඇතැමෙක් වලිකද්දී කවර නම් මිනිහෙකුට දෙපයින් නැගී සීටීමට හැකිවෙයිද? 

අපි කුඩා කල කල්පනා කළේ රට ගැන අපට හදා දී තිබූ ප්‍රතිරූප ඔස්සේය. සැබෑවටම ඒ ප්‍රතිරූප ඉතිහාසයේ වෙහෙර විහාර ගල්කණු තුළින් අලංකාර වී තිබුණු නමුත් මෑත තිබූ සුද්දාගේ ආක්‍රමණ වලිනුත් පසුව ඇතිවූ භීෂණවලිනුත් අනතුරුව ඇතිවුණු යුද්ධ තුළිනුත් භයංකර වී තිබුණි. අප උපන් සමය භීෂණයේ කෙළවරකටත් යුද්ධයක ඇරඹුමටත් මැදිවිය. බෝම්බ යනු අප ළමා වියෙන් ගැටවර වියට එළැඹෙන විට අලුතෙන්ම ඉගෙන ගන්නා මාරකයය. රටේ ඉහළම පුද්ගලයින් ඉහළම තැන් බිමට සමතලාවනු අපි දැක්කෙමු. ඉන් අනතුරුව යුද්ධ කතා මෙන්ම සාම කතා වටයන් දැක්කෙමු. ඒ අවධියේ වැඩිහිටියන් කළ කතා අපි අසා සිටියෙමු. තරුණ අවදියට එන විට ජීවිතයේ පළමු වරට එක දිනට දෙකට දහස් ගණනින් මිනිසුන් මියගිය සුනාමිය අපි දුටුවෙමු. අනතුරුව යුද්ධයේ අවසානය අපි දුටුවෙමු. අපේ මානසිකත්වය කෙබදුද? රට ගැන ප්‍රතිරූපය කෙලෙස වෙනස්වීද? ලෝක කුසලානයක් දිනා ගැනීමේදී දැනුනු සතුටක් පමණද රටක් ගැන මිනිසුන් විදිය යුත්තේ, යුද්ධයක් නිමා‍වීමේ සතුට පමණක්ද මිනිසුන් තම ජන සමාජය ගැන විදිය යුත්තේ. තුවාලයන් තිබූ තැනැත්තාට සුවයේ සතුට හොදින් දැනෙනා බව ඇත්තකි. මා කතාවේ මුලින්ම එය කියූවෙමි. එහෙත් සුවයෙන් පසු දෙපයින් නැගී සිටින්නට හැබෑ වීරිය නොගන්නේ කම්මැලියන්ය. කලක් ඇදේම ලැග තුවාල සුව වුවත් දෙපා බිම නොගහන්නේ බියගුල්ලන්ය. අපි දැන් දෙපා බිම ගසා නැගිටින බව කෙනෙක් කීවත් ‍බොහෝ දෙනා පිළිගත්තත් හරියට අපේ වැරදි හදුනාගැනීමකින් තොරව නැවත නැගිටීම අනුකරණයක් පමණකි. අනුකරණයට කියනා තවත් පදයකි රංගනය.   

එක එක මිනිහාගේ එක එක වැරදි හදන්නට කාටවත් බැරිය. ඒවා තමන් විසින්ම කර ගත යුතුය. එහෙත් රටක මිනිසුන්ගේ පොදු දුර්වලතා හදන්නට නීති හෝ රීති තිබිය යුතුය. වෙලාවට වැඩ කරන්නට, හරියට වැඩ කරන්නට බැරි ඇයි. සුදුස්සෝ සුදුසු තැන්වල නොතබන්නේ ඇයි? හරි ක්‍රමවේද ඇති කිරීම තමන්ගේ ඉදිරි ගමනට වල කපා ගැනීමක් යයි හිතන්නෝ මැරයෝම  නොවේද? එබදු මැරයෝද බොහෝ තැන් කරවන්නේ, සිල් රෙදි සේ රෙද්ද බැනියම අදින සමහරුන් මෙවැන්නන්ද? කෝට් කබා ඇද උගත් හදාගත් හැදියාව පෙන්වන සමහරුන් මෙබන්නන්‍ නොවේද? 

කොතැනින් හෝ කෙසේ හෝ කවරෙකු බැගින් හෝ පටන් ගත යුතුය. නොපමාව නිවරද වෙන්නට පටන් ගත යුතුය.‍ 

ලොකු ලොකු විලසින් ලොකු ලොකු දේ ගැන කතා කලාට ඒ සාකච්චා සම්මන්ත්‍රණ ඉවර කර කා බී හමාර කළ දේ පුටුව යට හලා යන ක්‍රමයන් වෙනස් කළ යුතුය. වරු ගණන් කතා කොට ඔලු ගෙඩි ඉහළටත් පහළටත් හොල්ලා හදාගත් හිනා වෙස්මූණු පෙන්වා අතීරණයෙන් ආපහු හැරෙන කාලකණ්නි ක්‍රම වෙනස් කළ යුතුය. වැරදිම දකින වැරදිම කියන තමන්ගේ මතයට බැහැරව වුව කළා වූ හරි දෙය වුව පිළි නොගන්නා අන්තවාදය හදුනා ගත යුතුමය. එකෙකුටවත් යට නොවී නිවැරදි දේට හා හරි මාර්ගයට පමණක් යට වීමේ මානසිකත්වයක් මිනිසුන් තුළ ඇතිවිය යුතුය.‍ එතැනදි අපි අපි නිවැරදි වන්නට උත්සාහ නොකරන්නේ නම් මගේ අයිතිය ගැන මිස මගේ යුතුකම ගැන නොහිතන්නේ නම් අනේ අපිට සාධු.. 

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හෝ අකුරක් කියන්නට ලියන්නට දන්නා අපේ ඈයින්ට බඩ ගෝස්තරය ගැන පමණක් හිතන නිවට නියාලු හිතුවිලි පමණක් තිබිය නොහේ. ලෝකයේ නන් දෙස අපේ ඇසට විකාර රූපී මෙන්ම හැබෑවටත් විකාර රූපී සංස්කෘති ඒ ඒ උදවියට ඔවුන්ගේ උරුමයට තබාලා අනුන්ගේ ඇසට කෙසේ වේවා අපි දන්නා අපේ උරුමයක් අපි හදා ගමු. වැරදි හදාගන්න හදන අපේ උරුමයක් හොයා ගන්න හදන අපට පමණයි, වෙනස් වන ලෝකයක ඒ වෙනස දකිමින් අපේ ක්‍රමයක නොසැලී ඉන්නට හැක්කේ. දෙපයින් නැගී සිටීමේ තැනකදී අපේ කාර්ය එයට උරදීමේ අපේ මග හොයා ගැනීම මිස ජාතික කොඩිය ඔසවාගෙන තැන නොතැන දගර නැටුම් දැමීම නොවේ.

Saturday, June 21, 2014

ඇම්ම ගැම්ම නැම්ම හා පස්සපැත්තෙන් යාම නොහොත් මේක අපේ රට - දෙකකුලෙන් යාම පිණිසයි.

රට ගැන හැගීමක් මොටද?

ඇම්මටද, ගැම්මටද, නැම්මටද?

අපේ පරම්පරාව පැත්තක තියෙද්දි -රට ගැන හැගීමක් තියෙනවයි කියන එක- පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන පොඩි පට්ට පහේ ඇම්මක් ගැම්මක් වගේම නැම්මක් ගන්න වැඩක් ද? කියල වෙලාවකට හිතෙන්නෙ වැඩිහිටි උදවියටත් ඒක ඒ ගානට දැනිල වගේ පෙනෙන නිසා.  හරියට මගුලටත් අවමගුලටත් දුකටත් සැපටත් අඩියක් ගහනව වගේ වැඩක් වෙලා තියෙන නිසා...

මේ රට පස්ස පැත්තෙන් යන‍්නෙ ඔන්න ඔය නිසා. 

පට්ට දේශපාලන අදහස් නොදැරුවට, ධනවාදයේ පරතෙර අස්සෙන් සමාජවාදයේ පරතෙර නොදැක්කාට, මහා බුද්ධිමත් උගත් පණ්ඩිතයන් නොවුනට, අනුන්ගෙන් බැනුම් ඇහුවට, හිත හොද, ඔළුව ඇතුළෙ සාධාරණ බුද්ධියක් ඇති මිනිස්සු තවම මෙහේ ඉන්නවා. අච්චර බුද්ධිමතුන් ඉන්නවට වඩා අන්න ඒ අහිංසක මිනිස්සු ඉන්න රටකට මෙහෙම වීම ඛේදවාචකයක්. අනුන්ගෙ හන්දියක හරි ලයිට් කණුවක දවල්ටත් ලයිට් පත්තුවෙන එක ජාතික අපරාධයක් කියල හිතල කණුවෙම පහළ තියෙන ස්විච් එකෙන් ඒක නිවල දාන මිනිස්සුත් තවම ඉන්න රටකට පස්ස පැත්තෙන් යන්න වීම හරිම දුක හිතෙන කතාවක්. ගන්න පඩියට විතරක් නොවී රජයේ රස්සා කරන මිනිස්සු තවම ඉන්න රටක මේක විළිලජ්ජාව හදාගන්න ඕන කතාවක්. පිනට විතරක් නැතුව ඕන තරම් දන් දෙන මිනිස්සු තවමත් ඉන්න රටක මේ පොළොව පළාගෙන යන්න ඕන කතාවක්.

ඇමරිකාව වගේ ඉදිරිගාමී රටවල් ඉස්සරට බර නිසා පොඩ්ඩක් වැරදුනු ගමන් ඇනෙන්නෙ හොම්බ. අපි වගේ රටවල් පසුගාමීව පස්සට වැඩි බරක් තියෙන නිසා වැරදුනු තැන බිම ඇනෙන්නෙ පස්ස. හොම්බ බිම ඇනීම වගේම හොම්බෙන් යන්නට වුනොත් ඒක වේදනාවක්. ඉතින් ආයෙ පස්ස බිම වැදීම හා පස්සෙන් යන්නට සිදු වුනොත් ඒකෙන් ඇති වන වේදනාව ගැන පර්යේෂණ කරලම වටහා ගන්න අයට මිස අනෙත් අයට අමුතුවෙන් කිව යුතු නැහැ.  ඒ වගේම හොම්බ ඇන ගන්න රටවල් පස්ස ඇනගන්න රටවල් ගැන විමර්ශනය කිරීම කියන්නෙ අමුම විහිළුවක් බව හිනා නොවෙන්න දන්න අයට මිස අනෙක් අයට කිව යුතුත් නැහැ.

තවමත් අපි මාතෘකාව වටේ ගියා මිස ඒ රස්තියාදුව ශුද්ධ කරන්ඩ ගත්තෙ නෑ. ඔන්න දැන් ඒ කතාව... 

තවම අපේ මිනිස්සුන්ට තියෙන්නෙ දේශපාලකයෙක් පස්සෙ බඩගාල, හිතවතෙක්ට සළකල දුව පුතාට හොද රස්සාවක් හෙවීමේ චින්තනේ. ඒ සාමාන්‍ය ගොල්ලන්ට. අනෙක් අයට ඒ ඒ තරාතිරමෙ හැටියට ධනය, බලය, මානය රැකෙන මට්ටමේ විවිධ රැකියා. තමන් විතරක් තනිව දියුණු කරන අධ්‍යාපනේ පරතෙර. හැබැයි ඉතින් කොහොම අධ්‍යාපනේ කළත් මන්ත්‍රී ඇමති ඇදුනුම් කමත් පක්ෂ සංවිධානෙ ලැයිස්තුවේ නම තිබීමත් අතිශය වැදගත්. අනේ සාධු.. මේ රැකියා අතරේ -සුරක්ෂිතව දිවි නසා ගැනීම වගේ- අමුතු දේවලුත් තියෙනව. කමක් නෑ, මොකද මටයි ගෙදර අම්ම තාත්ත ඇතුළු පවුලෙ අයටයි මැරෙන්න තරම් ප්‍රශ්නයක් තවම නෑ, හොද පඩියක් ලැබෙනවනම් එච්චරයි. පවුලෙ නෑදෑ කෙනෙක් හෙම සේවාව ගන්න ආවොත් පොඩ්ඩක් හොරෙන් දැනුවත් කරන්න පුළුවන්නේ වැඩේ භයානක කම ගැන, මේක තවත් බිස්නස් එකක් විතරයි කියලා.

එතකොට තව සමහර රස්සා නිකං ආතල් එකට රස්තියාදු වෙනව වගේ දේවල්. බඩු විකුණල ලකුණු දා ගන්න එක, අල කියල ලූනු දෙන්න හදනව වගේ ප්‍රමෝෂන් වැඩ. අපේ රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන කොල්ලො කෙල්ලො වැඩි පිරිසකට මෙවැනි රස්සා ලැබෙනව. ඒ ගොල‍්ලො හරි කැමතියි ඒවට, ලස්සන ඇදුමක්, සමහරවිට පයින් ඇවිද්දත් දාඩිය දාන්නෙ නැති වෙන්න ටයි පොල්ලකුත් ඕනනම් කෝට් බෑයකුත් දාගෙනම වැදගත් කමට ගෙයින් ගෙට පයින් කට්ට අවුවෙ ගාටන්න පුළුවන්. ලස්සනට බිස්නස් එක කෙ‍රෙනව. ඇවිදින තරමට මේ රටේ ගෙවල්වල පාරිභෝගිකයින්ගෙ වත්කම් තේරෙනව. ඩොලර් අහවල් ගාටන වැඩියිලු.  දේසපාලුවන්ගෙ හයියට තමන්ගෙ හයියත් දාල කප්පන් ගන්න වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒවත් හොද රස්සා අප්පා .. ඉක්මණින්ම දියුණු වෙන්න පුළුවන් ඒවායින් මෙහේ.

ඔය අතරෙ අපේ ඇගේ වැඩකරන ඇම්ම ගැම්ම තමන්ගෙ නැම්මට හරි ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නනව. හැම කෙනා ගාවම හොද නවීන පන්නයේ ජංගම දුකරථන, ලැප්ටොප් කීවොත් ගොඩක් දෙනා හැරිල බලනව. පල්ලෙහා ඉන්න ගොඩක් දෙනා මේවට හරියට නැමෙනවා. උඩ ඉන්න අයට නොදැනීම තවත් උඩට යන්න තමන්ගෙ කොන්ද දන් දෙනවා. පින් නැතිව උනත් ඒ දන් දීම නම් පාප උල්පතක්, ඒත් ඒක සිද්ද වෙන්නෙ නොදැනීමනේ. බස් ලගදි නොහැරෙන ඔලු කාර් ලගදි හැරෙන ගතියක් ලගදි මම පාරෙදි දැක්කා.

ඉතින් ඔහොම සවිඥානිකව පාරෙ යන අය ඉද්දි කහ ඉරෙන් පාර පනින අයටත් තමන්ගෙ සීලෙ බිද ගන්න පොලිසියත් ආරාධනා කරනවා සමහර තැන්වල. ඒකෙ අනිත් අදහස මිනිස්සුන්ට කමක් නැත්නම් එයාලටත් කමක් නෑ වගේ තත්වයක් හැදිල තියෙන්නේ, ඒකත් හරි අපූරුයි. ගුරුවරුන් හා ළමයින් අතර සම්බන්ධයත් උපයන්න පුළුවන් ආදායමත් එක්ක ඉල්ලුමට සැපයුම වගේ තත්වයකින් අපූරුවට යනවා.  වැඩිහිටියො පොඩිවුන් දිහා බලලා අනේ අපේ හෙට පරපුර කියලා සන්තෝෂ වෙද්දී දරුවෝ වැඩිහිටියෝ දිහා බලලා අනේ මෙයාලට තේරෙන්නේ නෑනේ වගේ ගතියකින් බකං නිලාන ඉන්නවා. 

රට රැකගන්න කතා කරනවා, අවවාද දෙනවා, බණ කියනවා. පිළිපදින මනුස්සයගෙ කකුල කොනිත්තනවා. අපි අහවල් රටක් හදමු කියනවා. කැප කරන එකෙක් නැති ගානට ලක්ස ගණන් අතරේ පේනවා. ඉන්න එකා නොපෙනී යනවා. උදව් ලැබෙන්නේ හිගමනේ යන්නාට. කොන්දක් ඇති මිනිස්සුන්ට උදව් නෑ. මේ කියන්නේ දේශපාලනේ නැම්මවල් හදාගන්න කතාන්දර රගන උදවිය ගැන නොවෙයි. එක එක තැන්වල එක එක දේට හිතුමතේ ඔලුව පාත් නොකරන මිනිස්සු. එහෙම උදවිය රටකට ඕන නැති ගානයි. දුකටයි සැපටයි අඩි පුඩි ගහන මිනිස්සු හදන්න වියදම් කරන රටකට පස්ස පැත්තෙන් යන්න වෙන එක අහන්නත් දෙයක්ද? නමුත් නොතේරෙන්නෙ ඇස් කන් වීමවත් කන් වලට නොඇස් වී යාමවත් නිසා නොවෙයි. පිළිවෙතකට නොයාම නිසයි. ඔහෙ කියවනවා විතරයි. හරි හමන් තැනකින් පටන් ගන්න හයිය ඇති කරගන්නෙ නෑ. එතනට ඔය කයිවාරුකාර බොහෝ දෙනා කැපවෙන්න සූදානම් නෑ. ළිදට වැටුණු මිනිස්සු ‍ඒ කටෙන් හරි උමගක් කපල වෙන තැනකින් ගොඩ එන්න හරි වෙහෙසෙන්න ඕනමයි. නමුත් අපේ උන් හදන්නෙම ආඩි හතේ කැදහැලි බොහෝ තැන්වල ලක්ස ගණනින් එකතුවෙලත්.

ඒ අතරෙ ඇම්මට හදාගන්නා ජාති වාදත්, ගැම්මට හදාගන්නා අහවල් වාදත් තුළින් රටට නැම්මවල් දීමට ගොස් හදන්නේ පස්ස පැත්ත තවත් තුවාල කිරීම පමණයි.‍ ඒ තුවාල තවත් වැඩිවූ දාට ආයේ කන දේ දිරෙව්වත් බැහැර කර ගන්නට බැරි තත්වයක් හදා ගතහොත් එදාට තේරේවි යන්නේ පස්සෙන් බව. අපේ උදවිය බොහෝ දෙනාට තේරෙන්නේ එවැනිම විටෙකයි. එතකොට කැපකිරීම එන්නේ බණක් ලෙස නොව අණක් ලෙස බලහත්කාරයෙන්. අපේ පසුගාමිත්වය එයට කැමතියි. පසුගාමිත්වයෙන් සිට හොම්බෙන් නොයන තරමේ ඉදිරිගාමිත්වයකට අප පැමිණිය යුතුයි. එතැනට නම් අවම වශයෙන් අප එකිනෙකා අවංක ව සිතන තැනකට පැමිණිය යුතුයි. පටු ආත්මාර්ථයෙන් අත්වන විනාශය විදවමින් විලාප නගමින් වෙනස් වන්නට සිද්ද කරගන්නවාට වඩා, තමා ගැන විලසින්ම අනෙකා ගැන හිතන යුගයකට කල්පනා නො‍කළහොත් ..... අපි අපවම රවටා ගැනීමේ ඛේදය බරපතළ අයුරින් අපේ අනාගතයට පහරදෙනු වැළැක්විය නොහැකි වේවි. අපේ ළාමක බවට දැනෙන අළාමක තත්වාකාරය නම් එයමැයි.

යා යුත්තේ දෙපයිනි, එනිසා තතු විමසිය යුතු සේම නිවරද දේ වටහා ගැනීමත් ඒ හා එක්ව යාමත් කළ යුතුමය.

Tuesday, June 10, 2014

පාට දේදුනු සේදිලා - තෝරාගන්න -

වර්ජන, ගර්ජන, උපවාස, උත්ඝෝෂණ, සමහරුන්ට හරියට අහසේ වෙලාවකට පායන දේදුනු වගේ. ජීවිතේට, ඇගට ලොකු ගැම්මක් නැම්මක් ගේනවා. බලාපොරොත්තු ගේනවා. හීන ගේනවා. ඒ අමාරු දුෂ්කර කාලෙ කාටත් වැඩත් අවැඩත් වෙමින් නිමා වුනාට පස්සෙ නිකං පාට දේදුනු  හේදිලා වගේ දැනෙනවා. ආයෙ එහෙම අවස්ථාවක් එනකම් හීන, බලාපොරොත්තු වැටිලා බිමටම. වල් පල්, බයිලා ගහ ගහ ඉන්න පුළුවන් ආයෙ කාලයක් එනකම් ඒ වගේ. සමහරුන්ට එහෙම, විශේෂයෙන් දේසපාලනයට දණ්ඩ නමස්කාරයෙන්ම බඩගෝස්තරමාර්ග හදාගත් උදවියට. තවත් සමහරුන්ට අරවගේ කාල වලින් පස්සෙ හැබෑවටම වැඩ තියෙනවා. බකන්නිලං ඉන්න වෙලාවක් ඒ අයට නෑ. අනිත් අයත් එක්කම තල්ලු වෙලා දිනාගන්න කේක් කෑල්ල තිබුණට තනියම පරහට කරන්න වැඩත් තියනවා එයාලට. අපේ සමාජෙ මෙහෙමයිලු. කොයි කොයි සමාජවලත් එහෙම මෙහෙම දේවල් එහෙ මෙහෙ විදිහට තිබෙනවාලු.

කොහොම උනත් ජීවිතයකට හීන බලාපොරොත්තු උවමනායි. ඒව හදාගන්නෙත් ඒ වෙත ගමන් කරන්නට තිබෙන්නෙත් අපිටමයි. එක්කො හීන දැක දැක බල බල ඉන්නත් පුලුවන්. නැත්නම් ඒ පස්සෙ දුවන්නත් පුලුවන්. අහසේ ඈතට හුළං බලෙන් ඇදෙන සරුංගලේ පස්සෙ ඒ දිහා බලන් බිම දුවන්න බෑනේ. සරුංගලේ දිහා බලන ගමන් බිම බල බල ඒ පස්සෙ දුවන්න වෙන්නෙ. බලාපොරොත්තු පසු  පස්සෙ යෑමත් ඒ වගේ නොවෙද? නෙළාගන්න ඕනකරන දේ වපුරන්න වෙනව වගේ හදාගන්න අරමුණු වල විදිහට ඒවගෙ පස්සෙ දිවිල්ලත් වෙනස් වෙනව. හැබැයි ඉතිං වපුරපු දේ නෙළාගන්නත් කාළය එනකම් වගාව සුරැකෙන්න එපැයි. ඉතිං අරමුණු වලට යන්න තියෙන මාර්ගයෙ හරියට යන්නෙ නැතිව වෙනත් වෙනත් තැන්වල රස්තියාදු වෙන්න ගත්තොත් හැමදාම වට රවුම වටේ ගියා වගේ වෙන්නත් බැරිනොවී යනව. අවසානෙට නෙළා ගන්න වෙන්නෙ පුස්සක් වෙන්නත් පුළුවන්. 

ඒ නිසා අපි හදා ගන්න අරමුණු දිනාගන්න තැන, අරමුණත් මගත් දෙකත් එක්කම ගොඩක් හිතන්න වෙනවා අපිට. අද ගොඩක්ම වෙලා තියෙන්නෙ මගේ මාර්ගය මට ඕනෑ එක, මට ඕනෑ විදිහට යන්න පුළුවන් කියල හිතන එක. ඒකෙ වරදක් නෑ තමන්ගෙ ගමන තනියම යනවානම් තනියෙන් ඉපදී තනියෙන් ම මරණයට යනවා ‍වගේ. ඒත් උපත විපත තබා හැම ගමනක්ම එක එකාගේ ඇගේ හැපෙමින් යන්නට වන විටක, අපිට අප සමග ගැටෙන අනෙකා ගැනත් හිතන්නටම සිදු නොවේද අපමණටම. 

අනිකගෙ බෙල්ල උඩින් නෙවෙයි, බෙලි රොත්තක් උඩින් ගියත් කම් නෑ අපේ ගමන කියල සමහර අය හිතන්න උත්සාහ කරන එක, හිතන් ඉන්න එක පාට දේදුනු හේදිලා කියල දවසකදි කියන්න සිද්ද කරන වැඩක්. විනාශයක්, ඒක විනාශයක් වෙන්නෙ ඔබේ මාර්ගය තවත් කෙනෙක්ගෙ බෙල්ලක් උඩින් වැටෙන කොට ඒක ඔබට ප්‍රශ්නයක් නොවේ නම් තවත් කෙනෙක්ගෙ මාර්ගය ඔබේ ගෙල උඩින් වැටෙන එක ඔහුට හෝ ඇයටත් ප්‍රශ්නයක් නොවන නිසා. හැමදෙනාම එහෙම හිතුවොත්,,, එහෙම අරමුණු දිනා ගැනීමක් අවසන ඉතිරි වෙන්නෙ කව්ද? කිසි කෙනෙක් නෑ අවසන ඉතිරිවෙන, හිස් බවක් මුග්ධ කමක් විතරයි. 

ඒ නිසා තෝරාගනිමු උස් අරමුණුත් නිසි මගත්. මුළු අස්වැන්න නැතත් අස්වැන්නෙන් කොටසක් හෝ ලැබේවි. හානිය අවම වේවි. කාලය ඉතිරි වේවි එවිට.