Thursday, September 28, 2017

මියෙන මග නිවෙන මග නොවේමය

හිරුගෙන් නොව සදුගෙනුත් දැවෙන මිනිස්සු
ගෙල කඩාගත්තද දිය කදක මුහුණ සගවාගත්තද
මරණයත් නොදමන අමර ගින්නේ දැවෙන මිනිස්සු

Sunday, September 24, 2017

සුභාසිත මං

සුභාසිත


නැණති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබද
විමති දනන් හට කළ කිසි ගුණ නොමද
ඒ නැති වේය දිය පිට ඇදි ඉරක් ලෙද


මං


උපයන දෙයය පරිභෝජන වාදයය
වැජඹෙන සිහිය පමණට හරි නාටකය
අමතක කර දමා මුල් හා සිල් පදය
අමුතුම පද ගෙනා මේ සකි කලියුගය

Saturday, September 23, 2017

මගෙන් තුණ්ඩුවක්

මං ලොකුත් නැත
මට ලොකුත් නැත
හොර බොරුත් නැත
හිත කැතත් නැත

Friday, September 1, 2017

ස්වර්ණවාදය


ඕනෑම දෙයක තුන් පැත්තක් තිබෙයි, නෝනා හෝ පොල්ල නොවැටී කාසිය හිට්ටවුණු දා මම එය වටහා ගත්තෙමි. කලු හෝ සුදු ලෙසට සියල්ල පෙණුනු කලුසුදු රූපවාහිනියක  වැඩිපුර පෙනුණු අලුපාට රූප නැවත එම සත්‍ය මගේ සිහියට ගෙනවුත්දිණි. බුදුන්ගේ මැද මගත්, තිරසර සංවර්ධනය සඳහා මගත් එක සමාන්තරදැයි එවිට මට සිතේ. ඒ පැත්ත මේ පැත්ත රට කෙරූ ආණ්ඩු හා විපක්ෂ අතරමැදත් ආණ්ඩුවක් පවතින්නට හැකිනම්, මගේ සැකය සනාථය. ඕනෑම දෙයකට ප්‍රධානවම පැතිතුනකි. අහස පොළොව අතරමැදි අපේ ලෝකයද එවැන්නකි. අහසෙහි පහළ සීමාවාසිකයා අපය. පොළොවේ ඉහළ සීමාවාසිකයා අපය. එනම් අහස පොළව මැවූ සර්වබලධාරියා ඒ අතරමැද්දේ තබා ගියේ අපවය. අහසෙහි සැරුවාට අහසටත් අයිති නැති, පොළොවේ සැරුවාට පොළොවටත් අයිති නැති ඒ අතරමැදි තෙවන පාර්ශ්වය අපය. එහෙයින්ම ජයත් පරාජයත් ඒ අතරමැදි තරඟයත් කුමක්ද යන්න වටහා ගැනීමට අප උත්සුක විය යුතුය. මිනිහාගේ ඇරඹුමේ හා නැවැතුමේ අතරමැද පැවතීමේ සැබෑ සාධකයන් එතැනය. ඒ සාධකයන් නිවැරදිවම විග්‍රහ කොටගන්නා, තමා නම් වන මිනිසා පිළිබඳ  නිවැරදිම අවබෝධයක් ලබයි. මිනිසා සැබෑ වර්ණයන් දකින්නේ එතැනදීය. බොහෝ මිනිස්සු ස්වකීය වර්ණය හඳුනාගත්තේ වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. බොහෝ රටවල් ස්ව වර්ණය හඳුනාගත්තේද වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. ඔවුන් සිය වර්ණය තම අනන්‍යතාව ලෙස ප්‍රකට කර ඔප් නංවා ලෝකය ඉදිරියේ තැබුවා යැයි මම කියමි. දේශපාලනික කඳවුරු ගැන පැරණි කතා මම නොකියමි. තම ජානගත ශක්තිය දේශයේ වර්ණය හා බද්ධකොට තම රටවල් තමන්ගේම පැහැයකින් ලොවට විවෘත කරගත් ගමනක් ගැන මම කියමි.
කුමක්ද මේ වර්ණය? වර්ණය යනු එකම මානවීය ආලෝකයේ විභේදනය විශේෂ්ණයැයි මම කියමි. අපට අනන්‍යව එය හඳුනා නොගැනීම අපේ අසාර්ථකත්වය යැයි මම කියමි. රටේ අසාර්ථකත්වයද එයමයැයි මම කියමි. දුගීභාවය, විරැකියාව, අධ්‍යාපනයේ අර්බුධය, සමස්ථ සංවර්ධනයේ අර්බුධය එතැන යැයි මම කියමි. කලු සුදු ලෙසින් ප්‍රශ්න වල දෙපැත්තක් පමණක් දකින, ජය පරාජය ලෙස විසඳුම් වල දෙපැත්තක් පමණක් දකින, වර්ණ අන්ධ බහු මතයක් ජනමතයක් බවට නිරතුරු පත්වන, පවතින දේශපාලනයේ වර්ණය රටක වර්ණය වූ බැව් පමණක් කියමි. දේශපාලනයේ වර්ගයේ වර්ණයන්ගෙන් දේශයක් විනිවිදින්නට හදනා ඔවුන්ට දැකිය හැකි විනිවිද බවක් නැතිබව කියමි. තමන්ගේ හැබෑ වර්ණයන් නොදන්නා තරමට ඔවුන් දුර්වර්ණ වී සිටීම ඊට හේතුවයි. විශ්වයේ මහා කළුකුහර සේ සියලු වර්ණයන් ගිලදමන්නන් ඔවුන් වීම තවද ඊට හේතුවෙයි.
කළ යුත්ත කුමක්ද? එහා ඉවුරෙන් මෙහා ඉවුරට මාරුවීම නොව සුදුසු තැන ඉවුරු යා කොට හරස් වේළ්ලක් තැනීම නොවෙද..
එබැවින් පරදන්න ඔවුන්ගේ දීනවාද. ගන්න ඔබේ ස්වාධීන සංවාද.
සොයන්න ඔබගේ ස්ව වර්ණය.. තවත් වර්ගවාදයක්ට නොව, ස්ව රටේ ස්වර්ණවාදයකට..
තමන්ගේ වර්ණයෙන් පිබිද නැගී තම රටේ මදහස වඩන්නට නිසි රිසිම කාලයයි මේ!