Showing posts with label ගණිතය = විද්‍යාව = 0. Show all posts
Showing posts with label ගණිතය = විද්‍යාව = 0. Show all posts

Friday, September 22, 2023

ප්‍රේක්‍ෂාව!

බොහෝ කොට අන්තවාදයට සහ අවස්ථාවාදයට උචිත වන පරිදි පිටිය සැකසූ රටක සෞභාග්‍යමත් පිතිකරණයක් හෝ පන්දු යැවීමක් බලාපොරොත්තු විය හැකිද? එබඳු විටෙක සෞභාග්‍යමත් තරඟයක් වෙනුවෙන් විනිසුරුවන්ට සහ තරඟ තීරකයන්ට කළ හැක්කේ කුමක් ද? කළ යුත්තේ කුමක් ද?

Thursday, September 21, 2023

ප්‍රතිව්‍යුහගත‍ නොවන අවස්ථාවාදය = රටේ පරාජය (0=0)

අස්ථාවාදී දේශපාලකයෝ සහ අවස්ථාවාදී රට වැසියෝ තමන්ගේ පුද්ගලික ලාබ වාසි සඳහා රටත් තම සහෝදර ජනයාත් බිල්ලට දුන්හ. තවදුරටත් දෙමින් සිටිති. මේ පිළිබඳ විචාර විවේචන ගෙනෙන අනෙකුත් සියල්ලෝ ඒ වරද නිවරදි කිරීමේ අරමුණෙන් ඒකරාශී නොවනතාක් ඔවුන් කරන්නේද කර ඇත්තේද ඒ අවස්ථාවාදය පෝෂණය කිරීම පමණි. එවිට මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වෙන ස්වර්ණමය අවස්ථා ඉතිහාසයේ වර්තමානයේ සේම අනාගතයේද එක් එක් වර්ගයේ පටු අවස්ථාවාදයන් තුළ අපතේ යනු ඇත.

ක්‍රමයක වෙනස නම් මේ අවස්ථාවාදය පුද්ගල, පක්ෂ, කණ්ඩායම් වලින් බැහැර කොට රට වෙනුවෙන් භාවිත කිරීම ය. එබඳු කැපකිරීමකට දායක වීමට තරම් අවංක නොවන පිරිස බහුතරය වන තාක් ඒ අවස්ථාවාදයේ සාපයෙන් ගැලවීමට බහුතර රට වැසියාට ඉඩ නොලැබෙනු ඇත.

වර්තමාන පාලකයාට ඒ පිළිබඳ සැබෑ උවමනාවක් තිබේ නම් එහි සමාරම්භය සනිටුහන් කිරීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුය.

තවදුරටත් වංචාව හා පැළැස්තර ඇටවීම් තුළ තම පුහු මාන්නයන් හා බල තණ්හාව දිගේලි කිරීම ඔවුන්ගේ අවශ්‍යතාව නම් තවදුරටත් පරණ හරකා කණුවක බැඳගෙන සිටිය හැක. 

තමන්ගේ පටු අවස්ථාවාදය රට වෙනුවෙන් කැපවන ලෙසට ප්‍රතිව්‍යූහගත කරණයට අසමත් වන තෙක් වෙනත් කිසිඳු ප්‍රතිව්‍යුහගත කිරීමකින් අසමත් රාජ්‍ය සමත් කිරීමට හැකි නොවනු ඇත.

Friday, April 26, 2019

අතරමං වූවෝ

විශ්වයේ පැවැත්ම යනු ආලෝකයයි. නැවැත්ම යනු අඳුරයි. එහි ජීවයක් යනු ආලෝකයේ මුදු බව මත අඳුර නැමති කඩතොළු ඇති කරන්නා වූ පමණක ඝර්ෂණයයි. ඉන් ඔබ්බේ ඇතිවන සෙවණැලි ඒ ඝර්ෂණයේ සංගුණකයයි. ඒ රූප සෙවණැලි විටෙක රමණීය බිතුසිතුවම් නිර්මාණය කළත්  එහි ඇති පරමත්වය කුමක්ද? සදාකාලික හෝ අකාලික බව කුමක්ද? නැත, ඒ එක්තරා සංගුණකයක් පමණි.
උගත්කමින් ඒ සංගුණකයට ලොල් වී ඊට ආල වඩන්නෝත්  මුග්ධත්වයෙන් ඒ සෙවණැලි රූප වලට පෙම් බඳින්නෝත් යනු  සැබෑ ජීවිතය නොදැන සැබෑ මරණයද නොදැන අතරමඟ වූ සෙවණැලි මත අතරමංව අන්තගාමී වූවන්ය.  අන්තවාදය යනු සැබවින්ම අන්තයක් නැති මිරිඟුවක දිය සෙවීමක් පමණය. කාන්තාරයක ක්ෂේම භූමි නොසොයා මිරිඟුවක් ලුහු බඳින ඔවුන් ලබනා කිසිවක් නැත. එබැවින් කිනම් හෝ අන්තවාදියෙක් යනු සැබවින්ම අන්තයක් දැකීමට අසමත් කෙනෙක් පමණි. මිථ්‍යා දෘෂ්ටියේ ගැඹුරුම ආඝාධයද මනුෂ්‍යත්වයේ ගැඹුරුම ආඝාතයද එතැනින්ම ඉපදීම එහි ඇති ගැඹුරුම ඛේදවාචකය මෙන්ම එහි ඇති අති ශෝචනීයත්වයද වන්නේය.

Thursday, August 7, 2014

සද්ධර්මය ම පමණයි පිළිසරණ

ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැති දිනයේ අප පිළිසරණට හිදින්නේ කව්ද? සද්ධර්මය නොදන්නා එතැන අසරණය. ලෝකය දිනූ අධිරාජ්‍යන් වේවා, මහ මග යදින සිගන්නෙකු වේවා එදිනට වෙනසක් නැත. කුඩා කල කාගෙවත් පිට නොකසන අපගේ පිට කසන්නට බොහෝ දෙනා සිටිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ උදවිට අපෙන් ඈත් වෙති. ඒ මිනිසාගේ සොබා සංස්කෘතියේ හැටියකි. ඒ ඈත්වීම රටින් රටට ගමින් ගමට වෙනස් වූවාට ඔය කොයි පෙදෙසෙත් එදාට වඩා අද වැඩිය. එය කාලයේ හැටිය. ඉතින් මහ මිනිසුන් වූවාට පසු යාළුවෙකු, සොහොයුරෙකු හැර දෙමාපියන්ගෙන් තොරව නම් බොහෝ දෙනා අපේ පිට කසන්නට එන්නේ නැත. යාළුවා හෝ සොහොයුරා හෝ බොහෝවිට එන්නේත් අප ඔහුගේ හෝ ඇයගේ පිට කසන තරමටය. ස්වාමි භාර්යා සබදතාව ගැන මා කතාකරන්නට යන්නේ නැත. සමහරවිට එය සොදුරු අන්‍යො‍න්‍ය පිට කසා ගැනීමක් වන්නට පුළුවන. කෙසේ හෝ ලෝකයේ ඇත්තේ මේ පිට කසාගැනීම්ම පමණකි. මේ පිට කසා ගැනීම් නොවන්නේ සද් ධර්මයක් ඇති තැනක පමණකි. තමන්ගේත් අනුන්ගේත් පිට කැසීමෙන් තොර නිරාමිස සතුටක් භුක්ති විදිය හැක්කේ, සැනසුමක් අත්විදිය හැක්කේ එතැන පමණකි. එබැනින් තතු දන්නෝ තමන් වටා ඇති කුණු කසළ මඩිමින් ඉදිරියට එන්නේ එබදු වූ සද්ධර්මය සොයාය.

මේ සත්ධර්මය යනු සමාජ සම්මතයක් නොවේ. එලෙසින්ම අසම්මතයක්ද නොවේ. සම්මතය කලකින් කලකට වෙනස් ‍වනවා සේම ඊට විරුද්ධාභාස ඇති අසම්මතයද සම්මතයේ තරමට වෙනස්වේ. ඒ අන්ත දෙකක් පමණි. විටෙක සම්මතයේ පැත්තක සිටිනා සද්ධර්මය විටෙක අසම්මතයේ පැත්තක ද සිටී. එවිට සම්මතයින්ද අසම්මතයින්ද ඒ කොන් අල්වා ගෙන තර්ක මවති. නමුත් සද්ධර්මය යනු එබදු අන්ත දෙකක් නොවේ. සම්මතයෙන් පහර කෑවෝ අසම්මතයට නැඹුරු වෙති. අසම්මතය පිළිකුල් කරන්නෝ සම්මතය වැළදගනිති. එහෙත් මේ දෙකම හුදු මත පමණකි. සද්ධර්මය යනු හුදු මතයක් නොවේ. එය ජීවනය තුළ යථාර්තයයි. ජීවිතය තුළ යථාර්තයයි. ලෝකය හා විශ්වය තුළද අපට ගෝචර කර ගත හැකි එකම සත්‍ය සද්ධර්මය පමණි. 

දාඩිය පිළිකුල් කර සුවදවිලවුන් තවරා ගත් පමණින්. සැපදායක ඇදුම් පැළදුම් ඇගට දා ගත් පමණින් අපට මැඩිය හැක්කේ කවර ධර්මයක්ද? එයින් අදහස් කරන්නේ දාඩිය පෙරමින් ගද ගසමින් සිටිය යුතු බවද? නැත. යථාර්තය නම් සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බවය. එබැවින් සුවද විලවුන් තවරා ගෙන දාඩිය පිළිකුල් කිරීමවත් නැත්නම් දාඩිය පෙරාගෙන ගද ගසමින් හිදීමවත් සැනසීමට මගක් නොවේ. දහදියට එහා ගිය මරණයක්ද අප ශරීරයට ඇති බව වටහා ගනිමින් දහදියෙන් ආතතිය ගැනීමත් ගලා යන දහදිය ‍පිස නොදැමීම යන අන්ත දෙකෙන්ම මිදී එ් මොහොතේ දහදිය පිස දමා ගැනීමෙන් එ් මොහොතේ සැනසීමය. වටහා ගත යුතු සත්‍ය නම් සත්ව ශරීරය සම්බන්ධ සමහර දේ කල් දමා ගැනීමට අපට හැකත් සදාකාලික ජීවනය මේ ශරීරයේ අපට ලැබිය නොහැකි බවය. 

යථාර්තය සගවා සතුටුවෙන්නට ජීවිතය අරඹන අවදියේ සිට අපි උගනිමු. අපට උගන්වන්නේද එය හරියට කරගන්නා හැටිය. නමුත් යම් දිනක අපි කව්රුත් වටහා ගන්නා දෙයක් නම් මේ යථාර්තය ජීවිතයේ යම් යම් තැන එලිබහින බවය. කදුළු තද කොට හිනැහුනාට අපට හිත විදවන දුකෙන් මිදිය හැකිද? ඉන් මිදිය හැකි එක මගක් ඇත. ඒ සද්ධර්මය දැන ගැනීමයි. ජීවිතය යනු සැපය පමණක් ලැබෙන දෙයක් නොවන බව අප වටහා ගතහොත් පමණක් නොවේද  අපට දුකෙහිදී සැනසීමක් ලැබිය හැක්කේ. පහසුවෙන්ම ජීවිතයේ යථාර්තය පසක් වෙන පරිසරයක, එය කියාදෙන සද්ධර්මයත් දැක දැකම අපි අපේ රටක ඒ හරය ඉවත ලමින් සිටින්නෙමු. අපරදිග ක්‍රමයට ජීවිතය විචාරමින් රස්තියාදු ගසන්නෙමු. බුද්ධිය ම මුල් කොට එහි අක්මුල් තුළ පමණක් සත්‍ය සොයන්නෙමු. එය හරියට ලොව දියුණුම පරිගණක වලින් විදුලිය නැතිව වැඩ ගැනීමකට සමානය. එසේ කියන්නේ පද්ධතිය කොතරම් දියුණු වුවත් ඊට ශක්තිය සැපයෙන හිත හෝ පද්ධතිය නිසා හට ගන්නා චිත්තය පද්ධති සමාන වූ පමණින් ක්ලෝන නොවන බව අපට තේරුම් යන නිසාය. එබැවින් භෞතිකව ඒකාකාර පදනමක යන සත්ත්ව ශරීරයම වුව ජානමය වශයෙන් කොතරම් සු විශේෂී වෙත්ද, නොපෙනෙන චිත්තය ඒ පදනමෙන් වුව මැනීම කොපමණ අයුරකින් ප්‍රමාණවත් වෙත්ද? එය ඵලදායී නැති නිශ්ඵල ක්‍රියාවකි. ශරීර සුවය හැදුනත් එදිනෙදා දිවිය බෙහෙත් සමග කොපමණ අවුල්වේද, චිත්ත හෝ හිත කම්පන සංඛ්‍යාත හෝ තරංග ආයාම අතරින් නිරවුල් කිරීම පිස්සු නැත්නම් පමණක් හොදය.   

එබැවින් සද්ධර්මය හමුවේ ගණිතය හෝ විද්‍යාව තවත් එක් විෂයන්ම පමණි. එබැවින් පැවැත්ම උදෙසා ගණිතය විද්‍යාව උගත්තත් වටහාගත යුත්තේ සද්ධර්මයි. එබැවින් පැවැත්ම උදෙසා රංගනය කළත් සැනසුම ඇත්තේ සද්ධර්මයේ බව ස්ථිරයි. එබැවින් හොයාගත යුත්තේත් උඩගු කමින් අප රැස් කරන කුණු කසළින් අප තුළම වැළලෙන සද්ධර්මයයි.


Wednesday, July 30, 2014

නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ, ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක්ද?

අපෙ අප්පා හොද පොලිස් කාරයෙක් අප්පා. අතටම ගෙනත් පගාව දෙද්දී  ජරාව නොකෑ නිසා ඒ ලේවල හයිය අපට තියෙනවා. දෙකයි පනහේ පොලීසියට ගහන පයින් පාරවල් එ් නිසා අපට වදින්නේ නෑ , අපි ඉන්නෙ ඒවාට ගොඩක් ඉහළින්. අප්පා දැන් විශ්‍රාම නිසාම දැන් ඔය පණත් නැති පව් කියා හිතෙන පොලිසියා දිහා බල බලා අනේ පව් කියන ගමන් වැරදි වැරදි හරි හොද අරමුණෙන් බණ කියන අය දිහාත් සානුකම්පිතව නීති අධිකරණයත් ධර්ම අධිකරණයත් සංසන්දනේ කරන්න හිතෙනවා.

නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේලු කියා මා අසා තිබෙනවා. නමුත් කවුරුත් ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවෙනවා කියා කියනවා මා අසා නෑ. 

ඇත්තටම දඩුවම් ලැබෙන නීතිය ඉදිරියේ සීරුවෙන් ඉන්නා අප මොහොතක් පසා නීතියද ඇතුළු සබ්බ සකළ මනාවම යටත් ධර්මය ඉදිරියේ සීරුවෙන්ද? නීතියෙන් රිංගා ගියත් ධර්මයෙන් අපට රිංගා ගිය හැකිද?

නීතිය නිර්මාණයක්, ධර්මය නිර්මාණයක්ද? නිර්මාණවාදී කතා ආශ්‍රයෙන් ඉ‍ගැන්වෙන දහම් තිබුනත් ඒවායේ කියන්නෙත් කවුරු විසින් හරි නිර්මාණය කරන ලද ධර්මයට හෝ අපි අඩංගු බව. හැබැයි නිදහස හොයා ගෙන යන අති උත්තම බුද්ධි පරපුර කිසිම දේකට යටත් වෙන්නට සූදානම් නැති හැඩයි. 

විදුලිය හොයාගත්තා, විදුලිය නිර්මාණය කරන විදිය හොයාගත්තා, ඒකෙන් කරන්න පුළුවන් වැඩ හදුනා ගත්තා මිස ඇත්තෙන්ම විදුලිය ස්වභාවයේ නොතිබූ දෙයක්ද? සරල උත්තරය අකුණ, නැත්නම් හෙණේ, තව විදුලි කෙටීම.

ගුරුත්වාකර්ෂනය කියන්නේ නිව්ටන්ගේ නියමයට අනුකූල දෙයක්ද, නැත්නම් ස්වභාව ධර්මයේ ඒ ආකාර්ශනය නිව්ටන් නියමයකින් පෙන්නුවාද? අර අපේ රටේ ඇතැම්මු ගරහන මුත් ඇත්ත ඇද නැතිව කෙළින්ම කියන නිසාම වැඩියකට නොතේරෙන බුද්ධිමතා කියනවා වගේ මේ සේරම කතන්දර. ගොඩක් දේ සුද්දා හැදුවාලු. කවුරු හැදුවත් කොයි තියරියත් ස්වභාව ධර්මයේ තියරියට වලංගුයි. 

හැබැයි ඔය සුද්දා දන්නවාට වඩා ස්වභාව ධර්මයේ ‍හැමදේ විනිවිද ගිය ධර්මයක් අපට කාලයකට ඉහත ලැබුනා. අපි තවත් මහිමය කිය කියා ඉන්නවා මිස එයින් වැඩ ගන්නේ දශම ගණනකට. අර නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ කියල ඒක දැනගන්න දතකන නීතිගරුක පොෂ් මිනිස්සු කී‍ දෙනෙක් ඔය නීතිය කිසි ලෙසකින් කඩ නොවෙන ඊට එහා ගිය ධර්මය එය දැන නොසිටීම ‍නිදහසට කරුණක් නොවේ කියල දැනකියාගන්න හදනවද? ධර්මාධිකරණයට ඔය අපි කාටත් යන්න වෙනව ජීවිත කාලෙටම උසාවියකට පය නොතිබ්බත්.

කර්මය කියන්නෙ ක්‍රියාවටයි කියනවනේ. එතකොට පූර්ව කර්ම කියන්නේ පෙර කරන ලද ක්‍රියා, වර්තමාන විද්‍යාවෙ කියන හැටියටත් අපේ සාමාන්‍ය දැනීමේ හැටියටත් ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනව. අඩු තරමෙ දූවිල්ලට, මිරිස් සැරට අහුවුනාම කිඹුහුමක්වත් යනවනේ. අනික් අතට කව්රු හරි ඉස්සරහින් තල්ලු කළොත් අපේ පස්ස බිම ඇනෙන්න පුළුවන් වගේම පිටිපස්සෙන් තල්ලු කරොත් මූන බිම ඇනෙන්නත් පුළුවන්. ප්‍රතික්‍රියාවෙ විදිය ඒ විදිහයි. නමුත් ප්‍රතික්‍රියාව සිද්ද වෙන්නෙ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් නම් වඩා වැදගත් බලපෑම් කළ හැකිදේ ක්‍රියාව නේද? යාළුවෙක්ව විහිළුවකට හරි තල්ලු කරන්න කලින් පොඩ්ඩක් හිතුවොත් නේද වටපිටාව යාළුව ඉන්න ඉරියව්ව හරියට පෙනෙන්නෙ. නැතුව අර සමහරු විහිළුකරන විදිහට එක පාරට ඉස්සරහින් හරි පස්සෙන් හරි තල්ලු කරොත් එයා ඉන්න විදිහට වැටෙන්නත් පුළුවන්, නොවැටෙන්නත් පුළුවන්. නමුත් තල්ලු කරාට පස්සෙ ඒ ගැන හිතල වැඩක් නෑ. නමුත් කරන්න කලින් හිතුවොත් විහිළුවක් කරන අතරම අඩු නොකඩා ගන්නත් පුළුවන්. සරල තැනින් හිතන්න පුළුවන් ක්‍රියාව මයික්‍රො හෝ නැනෝ නැත්නම් ඊටත් එහා නොපෙනෙන සුළු මට්ටමට යනවා. ඒ හිතත් එක්ක. හිත අපිට පේන්නෙ නෑ, නමුත් ඒ නොපෙනෙන හිතේ ඇති වන දේවල් වලට ශක්තියක් නැද්ද? ඒක ඔබත් මමත් හොදටම අත්විදල තියෙනව. හිරකාරයො සියල්ලෝ මනුෂ්‍යයෝය කියල ගහල තියෙන තාප්ප ඉස්සරහින් යද්දි ඔය හිතේ ශක්තිය එක විදිහටක මුදා හැරපු අයගැනත් අපිට සිහිපත් වෙනව. කොහොම වුනත් ඔය ධර්මාධිකරණයේදි වඩාත්ම තැනක් ලැබෙන්නෙ ඔය හිතත් එක්ක බැදුනු දේට කියනවනේ.. ඉතින් ඒක නිසා ධර්මය ගැන ටිකක් හොයන්න වෙයි, හිතන්න වෙයි. අනූකූලව ඉන්නත් වෙයි. මොකද එ්කෙන් බේරෙන්න බැරි නිසා. ඊට පස්සෙ බේරෙන විදිහක් හිතන්නත් පුලුවන් අර නීතිය දැනගෙන ඒකෙන් බේරෙන්න කරන වැරදි දේට වඩා හරි විදිහට, මොකද නීතියට කරන බෙ‍ාරු ධර්මයට කරන්න බැරි නිසා.

කොහොම වුනත් මේ දේවල් එක්ක කියන්න තියෙන්නෙ ධර්මය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ කියන දේ පමණයි. ඒ නිසා වහ වහා උගනින්න ධර්මය. සද්ධර්මය.

ශුද්ධ සිංහ‍ලයෙන් ගැයෙන අපේ උන්ගේ ගුණය නොහොත් කෙළගනිල්ලා

අපේ උන් බර උස්සන්න හරිම දස්සයෝ

හැබැයි පල්ම පල් ගොබ්බයෝ

එක එකා රවට්ටගෙන යන රගේ කෙළවර

දොස්තරලාත් කෙළගන්නවා, වින්නඹුවොත් හෙදියොත් මරා ගන්නවා

පොලීසිය මිදිලා අයිස් වගේ, එතකොට හමුදාවට අපේ උත්තමාචාරය 

ගොටු අැල්ලීමේ වෘත්තීය කාරයෝ  හැමතැනම

වැඩ නොකර පඩි ගන්න මෙහේ ඇවිත් උගනින්න

හොට් නිවුස්, හොටු නිවුල්, උස්සපුවා, ගල්කරපුවා සහ ගොන්පාට් ප්‍රවෘත්ති වල

පින් කරනවා ඡන්දෙට, සේල් දානවා ඡන්දෙට

මුන්ට රට ජාතිය වගේම 

තව බොහොම ටික කාලයකට අම්මා තාත්තා මතක තියේවි...

මගුලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

ආඩිහතේ කතන්දරෙන් හැමදාම ජයට මගුල්

කෙළගනිල්ලා එක එකා

රවට්ට ගනිල්ලා එක එකා

අනික් උන් දිනන තැන හූල්ලපල්ලා

කරුමයම කියපල්ලා

බණම දෙසපල්ලා

බොරුම කියාපල්ලා 

අවසිහියෙන් ජීවත් වෙයල්ලා

අතීතයත් ජාතකයත් කියවමින් අනාගතයත් අවජාතක කර ගනිල්ලා

උඹලා දන්නේ ත් උඹලාට හැක්කේත් ඔපමණයි

මාලෙ දූපත් වලට  පසු අපි ගිලෙන කාලෙක

ඔක්කොම පනිමු රට 

එතකන් ගමු

පට්ට ආතල්

ඔපරිම ෆන්....

මොනව හරි කර කර කිය කිය 

ඔහේ ඉමු බං

Tuesday, July 29, 2014

සියල්ල කර්මය අනුව සිදුවන දහම කුමක්ද? එය අප පිළිගන්නා දහම නම් නොවේ.

උදෑසණට කියන බණක හරි අපූරු කතාවක් කියවුණි. ඉන් කියවුනේ ළමයෙකු ගණිත විෂය අසමත් වූ කාරණයක් පිළිබදවයි. එම අසමත්කම පෙර අකුසලයක් නිසා සිදුවන්නට ඇති බව උපකල්පනය කොට ඒ අකුසලය මැකෙන්නට කියා දිළිදු දරුවන්ට පත පොත ලබා දීම ආදී ක්‍රියා සිදුකරමින් පාසැල්ද පංතිද ගිය අතර දෙවන වතාවේ දරුවා විභාගය සමත් වූ බව ඉන් කියවිණි. ඒ අනුව අර අකුසලය නිසා ගණිතය අසමත් බවට කළ උපකල්පනය නිවැරදි යන්න එහි අදහස විය. තවදුරටත් එහි කියවුනේ මෙවැනි බොහෝ දේ සිදු වන්නේ හා නොවන්නේ අපේ පූර්ව කර්මයට අනුව බවයි. එය ඇත්තක්ද? 

පොත පත ලබා දීම හොදය. දිළිදු දරුවන්ට නම් වඩාත් වටින්නේ ඔවුන්ට පත පොත මිලදී ගැනීමට හැකියාව අඩු නිසාය. එය වෙනම කරුණකි. මගේ විෂය අවබෝධය නිසි ලෙස නොවුනේ පූර්ව අකුසලය නිසාමද? සියල්ල දන්නා නුවණක් නැති අප කර්මයද තවරා ගෙන එවැනි කරුණු පිළිබද විග්‍රයන්ට යා යුතුද? ගණිතය අසමත් වීම, විභාග අසමත් වීම පූර්ව කර්මයක් පළදීමක්මද? උණ හෙම්බිරිස්සාව හැදෙන්නේ පෙර කරුමයක් නිසා නොවන බව දහය පන්තියේ දහම් පොතේත් තිබුනා මතකය. එය අපේ සරලම නුවණින් තේරුම් ගැනීමට තරම් සරල මදිද? අප දන්නා දහමේ නම් කියවෙන්නේ කර්මය යනු උතු , බීජ , කම්ම , ධම්ම , චිත්ත යන පංච නියාම දහම් වලින් එකක් හැටියටයි.

අප දහම ගැන දන්නේ අල්පයකි. එනිසා අප දහම ගැන ගැඹුරින් දේශනාවට යන්නේ නැත. නමුත් දන්නා දේ මේ දේශනාවල ළාමක බව තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත්ය. මෙබදු ළාමක දේශනාවන් ප්‍රචලිත වන්නට පටන් ගන්නා තැන අමූලික ශ්‍රද්ධාවන්තයන් තුළ ජනිත වන්නේ මුළාවයි.

විවිධ කරුණු ගැන අපේ උපකල්පන කීම එකකි. මෝඩකමට හෝ වේවා එය අපේය. නමුත් ඒ උපකල්පන දේශනාවක් මිස ධර්ම දේශනාවක් නොවේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය - කියා බණ ගැන වුවද කියන්නට සිදුවීම එක්තරා ඛේදයක් වුවත් යුගයේ සත්‍ය නම් එයයි. මේ කිසිවකු හෙළා තලා දැකීමක් නොව අපේ රස්තියාදුව තවත් මුළාවකින් ශුද්ධ කර ගැනීමක්මය.

එනිසා අපට කියන්නට ඇත්තේ අප පිළිගන්නා දහමේ නම් සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මය මතම පමණක් නොවේ යන්නයි.

Thursday, July 24, 2014

හ‍දේ හාවා හා සත්‍ය සෙවීම * සිහියෙන් ජීවත් වීම.

හදේ හාවා සිටිත්ද

තරු ගැනීම මගේ ජීවිතයේ සතුටය!

සත්‍ය අවබෝධ කරගන්න

සතුට හොයාගන්න!

ගණිතය +_ = විද්‍යාව -_

0

සිහියෙන් ජීවත් වන්න.