Monday, August 21, 2017

ස් වා සි ලන්තයේ සිට..


*ක්‍රිකට් මේ දවස්වල මෙහේ උණුසුම්ම මාතෘකාවක්!!
ඕකට කරන්න ඕන දිවාරාත්‍රී සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක දවසක් එළිවෙනකම් පාලක, ක්‍රීඩක හා ප්‍රේක්ෂක හැම මණඩලයකම කට්ටිය එකට හිටන් තොවිලයක් නැටීම, ලංකාවෙ විදිහට. දහඅට සන්නියම නටන්න පුළුවන්නම් ඔය පොඩි පොඩි මානසික ව්‍යාධි එහෙම්පිටින්ම හේදිලා යාවි. 4/1ලෙස මෙදා ඉතිරිය දිනාවි, අත්දුටුවයි..

*හොරු ඇල්ලීම මේ දවස්වල මෙහේ ජාතික ප්‍රශ්නයක්!!
ඕකට කරන්න තියෙන්නෙ හොරුන්ට බය නැති නිළධාරි බලධාරි ටිකක් අදාළ තැන්වලට පත් කරල දේශපාලකයො පොඩ්ඩක් ඈත්වෙලා බලාන ඉන්න එක, ලංකාවෙ වගේ. රටේ නැති හොරුත් අල්ලාවි, සහසුද්දෙන්..

*නඩු නොවැටීම නඩු කල්‍ යාම වගේ දේවල්!!
අදාළ අයට පැමිණිලි පාර්ශ්වයක් වෙන්න වුණු දවසට නඩු දමාවි, නඩු කල් නොයාවි කියල විතරයි හිතන්න වෙන්නෙ, අපිට හෙම ඔහොම නඩු වැටුනොත් කෙළින්ම ගස් යෑම ෂුවර් නිසා ඔය කතාව දැනට ඇති. අම්මප.. ලංකාවෙ නෙවේනෙ.

*ඩෙංගු ප්‍රශ්න කුණු ප්‍රශ්න අයිටම් ප්‍රශ්න ගැන යමක් කීවොත්!!
ආණ්ඩු පෙරළන්න, ප්‍රයෝජනයට ගත හැකියි .. ලංකාවෙත් එහෙමයි..
ඊට පස්සෙ එන ආණ්ඩුව පෙරළන්නත් ඒ අයිටම්ම යාවත්කාලීන කරල ගන්න පුලුවන්, හැමදාම අරගල කරන්නයි, ආණ්ඩු හදන්නයි එත්කොට පුළුවන්. ජනතා පමාධිපත්‍යත් රැකෙනව ඒකෙන්..

*මහ බැංකු!!!
ඒකත් කලින් ප්‍රශ්න වලටම අදාළ එකක්නේ. මහ බැංකුව වෙනුවට රටට ගැලපෙන අතරමැදි කුඩා බැංකුවක් තිබුණ නම් වැඩේ ඉවරයි. ඕකෙ අධිපතියත් මෙහෙන්ම පත්කරන්න තිබුණ ලංකාවෙ වගේ..

*අනාගතය ගැන දැක්ම..!!
දැක්මක් ඕන නෑ. ජාති ආලයයි ආගමික ප්‍රේමයයි උගස් කරල ඕනම වෙලාවක ඕනම දහංගැටයක් දාන්න පුළුවන්, ලංකාවෙ වගේමයි. අනාගතේටත් ඒකමයි අපේ අනාහැනීම, මොකද රටට වඩා ජනතාවත් ඊට ඉස්සරහින් මාධ්‍ය වළල්ලත් තියෙනවනේ... අම්මා.. මාධ්‍ය තියනව කියන්නෙ තව මොනවද? ප්‍රශ්න උත්තර එච්චරයි. ආපහු ඔයා යමක් ඇහුවොත් මම උත්තර දෙනව.. යමක් වෙන්නම ඕන නෑනේ, අපේ බිස්නස් දුවනවනම්.. තේරුණාද... තේරුණා තේරුනා එච්චරයි.

Sunday, August 20, 2017

පිදුම!


හැබෑ වංකයන්
හැබෑ කුහකයන්
නොනිස්සන් කූනිස්සන්
කිසිදා නොපතන
හැබෑ අරුණෝදයක්
උදෙසා...ම'
හැබෑ ජයක්
උදෙසා ම.

Wednesday, August 16, 2017

පැතුම නොනසනු! සබඳ නැගිටිමු! (බිමට නැවෙන වී කරල්, තල්, පොල් සහ ක්‍රිකට් මැද... නැගිටිය යුතුම වේ...)

හිස් බිමට බරවෙන්නේ නිහතමානීකමටමද? තල් පොල් සේ කෙළින්ම ඉන්නේ ඍජු ගතියටමද? අප සමාජයේ මේ දෙකෙන්ම කෙරෙන්නේ බොරුවකි. පරදින්නෙ පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයෝ දෙකොටසම නොවේ. හොඳ ‍යහපත් අවස්ථාවන්... ඒ ලෙසම බයාදු නිහතමානිත්වයත් උද්දච්ජ ඍජු කමත් බොහෝ කොට තනි පැවැත්ම ආත්මාර්ථය හා අවස්ථාවාදය උදෙසාමයි. එයින් ගිලිහෙන්නෙ රටක යහමගක අවස්ථාවන්. එනිසා පාට ආණ්ඩු වෙනස් කළ පමණින් හෝ තම ජාමය බේරා ගැනීමටම තල් පොල් හෝ ගොයම් සේ සිටීමෙන් ඵලක් වන්නේ අධමයින්ට පමණයි. අපමණට එකම චක්‍රය කැරකෙන්නේ එකම විදිහටමයි. අවංකව කල්පනා කරනා ඒ අනුව ක්‍රියා කරනා බහුතරයක් නොතැනෙන තාක් සමාජයේ රජ වන්නේ රැවටිලිකාර මායාවක් පමණමයි. එක් එක් උතුමාගේ මනදොළ සපිරෙන අවස්ථාවාදය පරාජය කළ හැක්කේ එක අවංක කැපවීමට ගොනුවීමෙන්ම පමණයි. පුහුණු කරුවන්ගෙන් හෝ ක්‍රීඩයන්ගේ තේරීම් මතම ජය නොලැබෙන අපේ ක්‍රිකට් සේම සමාජයද ජය ගන්නේ අපේ ක්‍රමයක් තුළ උපයන උපායන් ජය ගැන්වීමට එකමුතුව කැපවීමෙන්ම පමණයි, විශ්වාසයකින්ම පමණයි.
සැබෑ ප්‍රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ...  පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!

Tuesday, August 15, 2017

1 1 9


වළා පටලය ඉරාපන්
හොරා ගත් රැස් මුදාපන්
අහසෙහිම බැඳ තබාපන්
හවස ඇප දී යවාපන්

Wednesday, August 9, 2017

කිරි කැකිරි සිරි (න ග රේ අ ග)


වැස්සේ රස්නෙට දහදිය දමලා
ගිනියම් සිත මට කරදර කරලා
ඇසිපිය මානේ අකුණක් ගැසුවා
ගිනියම් වූ මේ මිගෙල් මද්දහවලේ

කැමරා අත ඉස උඩින් කරකලා
මනුස්ස හොරකම් සෝදිසි කරලා
අන්තර්ජාතික සීල් ගසාලා
සෙල්ලම් බඩු බඩු බඩු බඩු සල්ලන් සෙල්ලන් නේ

පාට කූරු පැහැ හැමතැන උළලා
ගොඩනැගිල්ල මත රැජිණක් මවලා
දිරවා ගන්නට බැහැ මේ බොරු සඳ
කහට කෝප්පය වමනෙන් වළකාපන් මා

යාචකයන් නැති ගුවන් මගින් නැග
අහස අල්ලලා මුහුදු හුළං විඳ
මරණය පරදන අමර පුරේ සුව
පොළ වේ යට නොව දෙවියන් මෙහි වැඩ ඉන්නේ

අන්ත්‍රාවෙන් සංතුෂ්ඨිය දළුලා
මුහුණේ පපුවේ පුෂ්ප පිපීලා
රතුවන් කලුවන් තොල් අතරින් හෙට
විකිණෙන තනුවට සද්දෙනි ගීත ගැයෙන්නේ