Wednesday, November 27, 2019

දකුණ වම සහ කපට හිස..

යේ ධම්මා - ගාථාවේ මුල් කොටසම උපතිස්ස ගේ ප්‍රඥාව අවධි කළත් කෝලිතට ගාථාව පූර්ණ වශයෙන් අහන්න සිදුවුනා ප්‍රඥාව අවදි වෙන්න, සමහරුන්ට ඇත්ත තේරෙන්නේ, ප්‍රඥාව පහළ වෙන්නේ අශ්වයා පැනගිය පසුවයි. ( වැරදි ගුරු උපදෙසකින් නවසිය අනූ නවයක් මරන්න අංගුලිමාල වූ අහිංසකට සිද්ධවුණා සත්‍ය අවබෝධ කරගන්න කලින් )  අද දිග හැරෙන නාටක වල යටි පෙළ තව අවුරුදු ගණනකින් ආපිට පෙරළෙන දින බොහෝවිට අපට විකල්ප ඉතුරු නොවීම තිබේ වි.. එකලට කියන්නට ඉතිරිවන්නේ පෙරළුණු පිට හොඳයි කියන සර්වාශුභවාදය පමණයි. අද ඒ පිළිබඳ ඔබ ලබන අවබෝධය පමණක් එදිනට ඔබට සහනය වේවි! ඒ නිසා දැනුම වඩාගෙන සමථයෙන් සත්‍ය අවබෝධයට උත්සාහ දරන මහාපන්ථකලා අතර හැකිනම් විදර්ශනා වඩා කල්නොයවා සත්‍යාවබෝධය ලබන චුල්ල පන්ථක කෙනෙක් වන්න.

Monday, November 25, 2019

බෙර හා බණ..

දහම - දේශපාලනය එකිනෙකා උදෙසා පැවැත්වීමෙන් සත්දහම තඩිබෑම උදෙසා දේශපාලන හමක් පමණක් වේ.

Thursday, November 21, 2019

රජවරු

ෆෑන් බේස් එක මේන්ටේන් කරමින් බලය ආභරණයක් නොව උපකරණයක් කරගැනීම - කලාවකි

සන්තෑසිය!

ලුණු දෙහි.. සමඟ දාන්න පහක්! සාධු දේශපාලනයකට???

Tuesday, November 19, 2019

🔜

මී ළඟ පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක නැණැති මිනිසුන්ගෙන් සවිමත් කළ යුතුය

3%

මඟී දනා බසයේ රියදුරු කොන්දොස්තර අගයා ටයර් සමඟ අමනාපයට රථ රෝද වලට ඇණ තැබුවා සේ...

සති සමාධි - පැරද

හූ හඬ සාධුකාරය හා අත්පොළසන් - බොදුනු දේශපාලන සතිය වැඩි ඡන්දයෙන් සම්මා සතිය පරදවයි

Monday, November 18, 2019

සුජාත - .....

ස්වභාව ධර්මයාට ඌ තවත් එක් සතෙක්මය.. මිනිහාට මිනිහෙක් විය හැක්කේ මිනිසුන් අතර පමණය..

(සත්‍යයේ සාක්ෂරතාවය නොසැළකීම) -සත්‍ය මරණයෙන් කෙළවර කළ නොහැකි බව නොවැටහීමේ අවස්ථාවාදය-

මෙරටේ සිංහල තරුණයන් මූලික වී භීෂණයකින් අවසන් වූ අත්දැකීම් වල හරය - මෙරටේ දෙමළ තරුණයන් මූලික වී යුද්ධයකින් අවසන් වූ අත්දැකීම් වල හරය - මේ සියලු කාරණා තුළින් පාලකයන් වටහාගත යුතුවූ හරය - වෙනසකට පෙළගැසුණු තරුණ පරපුර තුළ වූ සැබෑ අපේක්ෂාවේ හරය - ඊයෙ පෙරේදා නිමාවූ ජනපතිවරණයේදී යම් මධ්‍යස්ථ හැසිරීමක් පෙන්වූ ජනමාධ්‍යයක ජනප්‍රිය වැඩ සටහනකදී එළි දුටු රටේ නූතනම තරුණ ප්‍රජා වේ සමස්ථ ප්‍රශ්න කිරීමක සැබෑ හරය - ගර්භිත කොට යටපත් කොට දැමිය නොහැකි රටේ සැබෑ සත්‍යයේ හරය - එය තවදුරටත් මඟහැරීම යනු අප තවදුරටත් මෙලෙසම අවස්ථාවාදී පැවැත්මක් තහවුරු කරන රටක ජනතාවක් වී මිය යෑමේ උරුමය සහතික කරගැනීම පමණය.
දේශපාලන චරිත බැලුම් සේ පුම්බා සියල්ලම අවස්ථාවාදයෙන් වසන්නට උර දෙන තක්කඩියන්ගේ අවස්ථාවාදයට අවස්ථාව ලැබෙනතාක්, මේ උරුමය කරුමයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
මෙයට විසඳුම සාධාරණ යුක්ති සහගත තත්වයට සාකච්ඡාව, සම්මුතිය, නීතිය හා නීති ගරුකත්වය දක්වා රටක මනුෂ්‍යත්වය දියුණු කිරීම බලගැන්වීම පමණය. හැම රට වැසියාටම තමාගේ වගකීමක් ඇත්තේ ඒ තැනය.
මරණය කින් කෙළවර කළ හැක්කේ ශරීරයක පැවැත්ම මිස මතයක අදහසක පැවැත්ම නොවේ.
එබැවින් අප ගමන් කළ යුත්තේ පෙරට නම් පළමුව හිස නැමිය යුත්තේ ගැති නැති, පාට නොකළ, යටපත් කළ නොහැකි සත්‍යට මිස විකෘති කළ අර්ධ සත්‍යට නොවේ.

අහවල් එක සහ අවසන් එක

දකුණ, උතුර, බටහිර නැගෙනහිර, සමව නොසළකා එක රටක් ගැන ජාත්‍යාලය ආලයෙන් අන්ධ වීමක්මය!

ජපති මෙෙත්රීගේ නිදහසින් ඔබ්බට!(නව ජපති නිදහස..)

ගෝඨා ස් වෝ නම්
නෝ මෝ වෝ කීම
වෙනස් වීම සහ 
දකුණ සේ උතුර, බටහිර සේ නැගෙනහිර දිනාගැනීම මෙන්ම කිසිම අනීතික වෑන් හෝ ඩෑම් නැති බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම ඒ තුමාගේ වගකීමය, අපිට කවදත් විචාරයට අවකාශය ඕනෑමය. අපි උපන්දා සිට මේ රටේ පුරවැසියෝ වම්හ. 
තවද තමාගේ විරුද්ධ පිළේ සේම තම පිළේ දූෂකයන්ට නීතිය අකුරට ක්‍රියාත්මක වනු ඇතැයිද වංචාවට තිත තබා සමෘද්ධියට මග කපනු ඇතැයිද උදක්ම බලා සිටින්නේ රට පිළිබඳ සතුටු වනු පිණිසමය.

Sunday, November 17, 2019

අවසන් පැතුම!

අමූලික ශ්‍රද්ධාවට ශ්‍රී ලාංකිකත්වය යටපත් කිරීමට ඉඩ නොලැබේ වා!

Tuesday, November 5, 2019

වැඩවසමට වැඩ... පවුලට ජය...

ගමේ පොලිසියට ඇති පවුල් සබඳතාව, ප්රාදේශීය සභාවට ඇති පවුල් සබඳතාව, ප්රාදේශීය ලේකම් කාර්යාලයට ඇති පවුල් සබඳතාව රටේ ප්රාදේශීය නීතියෙන් රිංගා යාමට ඔබට ඇති සරලම සුදුසුකමයි. එය ගමේ පවුල්වාදයේ බලයයි.
රටේ රාජ්‍ය පාලන හා පරිපාලන ආයතන තුළ පවුල් වලට ඇති එවැනි බලය රටේ පවුල්වාදයට හේතුවේ. 
රටේ මහා නීතියෙන් රිංගාම යාම, ඒක ඒ අයට හරිම සරල සිම්පල් දෙයක්.
ඒ වැනි අනියම් බලවන්තයන්ට වඳින පුදන වැඩවසම් ජනතාව සිටිනතාක් ඔවුන්ට තම අසාධාරණ වැජඹීම යෙහෙන් කරගෙන යාමට හැකිවීම ගැන වීමට නොමැත පුදුමයක්!
අපි නැමෙමු, ජය පතමු.

Friday, November 1, 2019

අතීත මතක මැදින් ඇස්වැද්දෙන හරි සුන්දර ඡන්දය! (බත්කන අපේ හත්වෙනි බබා නොහොත් අපේ ප්‍රාථමිකත්වය)

18 වැඩි ලියාපදිංචි උන්ගේ සුළැඟිල්ලට දම් පැහැ තීන්තෙන් හණ ගසා ජනපතියෙකු පිළිසිඳවීමට කෝටි ගණනක සිරිලක් වැසියෝ 16 දා රති කෙළියට සැරසෙන වගයි! 
ඔසප්චක්රයේ ප්රශ්න මත ඊයේ සිටද ඉදිරියේ තව දින කීපයකදීද තැපෑලෙන් ඔය වැඩය කිරීමට ඇතැමෙක් ට අවසර දී ඇත.
ආසන්න අතීතයේ සිට බලන කල ඔය කෙළිය දැන් හරි මොඩිෆයි වී ඇති සෙයකි.

ගිනි අවි සහ ගිනි කෙළි නැත
අවකෙළි සහ අංකෙළි ඇත
පෙරළි පෙරළි සුරතලි  අර
රති කෙළියට සුළැඟිලි වෙද

බබා වීර පුරන්අප්පු කෙනෙක් වේද? මද්දුම බණ්ඩාර වගේ වේද? කෙසේ වෙතත් දෙමාපියන්ගේ හැටි පාට කෙසේවෙතත් හොඳ පාට පිහිටන බබෙක් පිළිසිඳවීමට හැමට අවශ්‍ය සක්තිය ලැබේවා! සුබාවික උපතක් නොවුනොත් සීසේරියන් සැත්කමකදී පැලෝපීය නාළ ආරක්ෂා කොට දීමට තියටර් එකේ කොමසාරිස්තුමා වගබලාගනිත්වා! 
17 දා බබා බලන්නට රටම එනු ඇත බබාට තෑගි ගෙනෙනු ඇත. බබා අප වෙනුවෙන් සඳුන් ගැටයක් නැතත් දහම් ගැටයක් හෝ අත තබාගෙන එනු ඇත. අප ඒ ගැටය උලා නළලේ ගා වසර හැත්තෑගණනක් තිස්සේ හිසේ හිතේ රටේ ඇති ඇරියස් අමාරුව හිරු දුටු පිණි සේ එකසැණේ හමාර කර ගන්නට පෙරුම් පුරා හිඳිමු.
බබාට නමක් අපි දැන් තියාම හදාගෙන සිටින්නෙමු. ඒ දුවක වුනත් පුතෙකු වුනත් අපි ඒ තුමාට පුදන්නේ හදපත්ලෙන් නැගෙන මුග්ධත්වයේ එකම ආදරයයි.