Thursday, November 19, 2020

ෆේල් - නීතිය සාධාරණය දේශපාලකයාගේ රීතිය ලංකාවේ තියරිය හා ප්රැක්ටිකල්

 2020.11.18


දුක්ගන්නාරාළ තුමා,

ඔපීසිය,

ජනපතිතුමාගේ ලේකම් කාර්යාලය.


ගරු මැතිතුමනි,

                

               යුක්තිය ඉෂ්ඨ නොවීම


ආයුබෝවන්ඩ, දන්න දා පටන්ම ජනාධිපතිතුමා කී දේ අපිත් කියනවා. අදටත් කියනවා. අපිත් මේ රටට ආදරෙයි නොවැ. අපිත් කාටවත් බය නෑ, ඥාති මිත්‍ර කමට එහා සාධාරණේ, යුක්තිය අපිත් හොයනවා මහත්තයෝ. 

කාගෙ කාගේත් පම්පෝරි වලට වඩා කියනදේ කරන එකයි අපිටත් වැදගත්. අපි හැමදාම ඡන්දෙ දුන්නෙත් අපෙන් ඡන්ද ගත්තු අය කිව්වෙත් එහෙම. යුද්දේ කරපු තරමට, තව තව මහ වැඩ කන්දරාවක් කරපු තරමට කියලා අපිත් එතුමාව විශ්වාස කරනවා.

ඒත් ආයුබෝවන්ඩ, ජනාධිපතිතුමා යටතෙම ගමේ පොලිසිය, ගමේ සභාව, පළාතේ සභාව, සමහර රජයේ ආයතන ඒ කතාවට පස්ස හරවනවා නම්, සමහර ආණ්ඩුවෙම දේශපාලකයො, නිල බල ධාරීන් කියන අය වැරදි තැනට වැරදි විදිහට අත හොට පොවනවා නම්, එතනදි ගමේ ගොඩේ සාමාන්‍ය අපිව රකින්නේ කව්ද? නියපොත්තෙන් කඩලා විසඳන්න පුළුවන් සුළු සුළු කාරණා පොරොවෙන්වත් කපන්න බැරි රටේ ප්‍රශ්න බවට පත් කරලා,  අපිව මඩවලා රටක් සාර්ථක කොරගන්ඩ පුළුවන්ද? ආයුබෝවන්ඩ. හැමදාම උඩින් වෙනස් කොරන්ඩ හදන ඔය ක්‍රමේ ගමේ බිමේ හිරවෙන්නෙ, හිර කරන්නෙ ඔතැන නේද?

බිං මට්ටමේදි අපට යුක්තිය ඉෂ්ට වෙන්නෙ ඇත්ත මැරුණට පස්සෙ. එතකොට අපි භාගෙට මැරිලා. නැත්තං නොමරා මරලා. එහෙමත් නැත්තං අපිට වළපල්ලෙ ඉඳලයි ඒව දකින්ඩ වෙන්නෙ. 

පොඩියක් නෙවේ, හොඳටම හොයලා බලලා ගමෙන්ම පටන් ගන්ඩ ඔය ක්‍රමේ වෙනස් කිරිල්ල. අපිට යුක්තිය ඉෂ්ට කෙරෙන කල් අපි බලාන ඉන්නවා මහත්තයෝ. බලාගෙනම ඉන්නවා.


මීට, 

මේ රටේ ඉපදුණු, 

මේ රටවැසි කමේම මැරෙන්ඩ වෙන තවත් මිනිහෙක්

Monday, November 16, 2020

අපේ රටේ ප්‍රති-ශක්තිය

රතු තණකොළ දිගට ඇදුණු බිස්ස මත දිග ඇඳිලා කොළපාට අහස දිහා බලාගෙන පාට පාට අනාගතයක් ගැන හීන දැකපු මිනිස්සු හිටියා පළමු පන්තියේ දෙවන පන්තියේ වගේම තුන්වැනි පන්තියේත් දරුවන්ගෙ චිත්‍ර පිටුවල. ලොකු වෙද්දි හිටියේ කළු සුදු අළු පාට මිනිස්සු විතරයි ඒ බොහෝ හිත්වල. වෙනස් වෙන්නෙ ලෝකය නෙවෙයි, මිනිස් හිත. ඒත් තවත් හිත් නිසා. අපි හිටියත් නැතත් ලෝකයට ඉර හඳ පායනවා. අලුත් දේ බිහිවෙනවා, මියදෙනවා. එනකොට ගෙනාපු අඩි එකහමාරක දෙකක ශරීරය අඩි පහක් හයක් කරල ආපහු මහ පොළොවට දීල අපි යන්න යනව. ආවෙ කොහෙන්ද වගේම යන්නෙ කොතැනටද අපි කව්රුත් දන්නෙ නෑ. එහෙම දන්නවයි කිව්ව අය කියාපු පාරවල් තැන් ගැන හිතාගෙන හිටියත් ආපු වෙලාව වගේම ඉන්න ලැබෙන වෙලාවත් අපිට තීරණය කරන්න හරිම අමාරුයි. අනිත් කොයිකාටත් වඩා ලංකාවේ දේශ-පාලකයන්ට ඔය ටික හරියට තේරුම් යනවනම් කොයි තරම් අපූරු ද? ජනතා බදු මුදලේ අනිසි සැප අරන් යන්න බෑ කියල යන තැනකට. පාට පක්ෂ ඡන්ද නැතිව යන්න වෙන්නෙ තනියම කියල. 

මිනිස්සුන්ට ජීවත් වෙන්න මිස රටක් හදන්න ඕන මිනිස්සුන්ට සමාදානයේ සැතපෙන්න නොවෙයි. නීතිය සාධාරණය වැදගත් වෙන්නෙ මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න. සාධාරණව නිදහස්ව යුක්ති සහගතව ජීවත්වෙන්න පුළුවන්කම තියෙනව නම් ඒ රටේ හුස්ම ටික කොහොම කොතැන ගියත් සැපක් නොවෙන්නෙ කවර මිනිහාටද? ධර්මය ගැන කොතෙකුත් දෙසන රටේ යම් ධර්මයක් දළුලා පැළවෙන දවසක කොරෝනා යන්නම යන්නෙ මිනිස්සුන්ගෙ සැබෑ ප්‍රති-ශක්තියට ඔරොත්තු දෙන්න බැරිව. ලෝකය තබා රටක් හැටියට හදාගන්න ඕන ඒ ප්‍රතිශක්තිය මිස ඊළඟ ඡන්දෙ ශක්තිය නොවෙයි. පක්ෂ විපක්ෂ කොයි කාටත් මේක අදාළයි. බොරුවෙන් ආත්ම වංචාවෙන් ගැතිකමෙන් ඩීල් වලින් ගේම් වලින් හැමදාම දිනන්න බෑ. රටක අගමැති ජනපති කමෙන් වුනත් ඡන්ද මිස රටක් දිනන්න දිනවන්න ලේසි  නොවන්නෙ ඒකයි. රටක් කියන්නේ ඡන්ද ගොඩක්, ශරීර ගොඩක් නෙමෙයි, මහා පරිසර පද්ධතියක්. ගහකොළ  සතා සිව්පාවා ගංඟා ඇළදොළ, මහ සයුර, මහ පොළොවේ ගල් වැලි විතරක් නෙවෙයි ඒ අස්සෙ හැංගුණු නටඹුන් අතීතයත් නොපෙනෙන අනාගතයත් අයිතියි. අග නගරෙ තියෙන ලොකු ගොඩනැගිලි වගේම තවම අත තබා ඇස නොගැටුණු හැමතැනක්ම අයිතියි. ඒ හැම අහුමුල්ලකම ඉන්නා කාටත් ඇති හැකි ලෙසට සතුටින් මෙහෙන් යන තුරු ජීවත්වෙන්නට ඇති අයිතිය රැකදීම මහා වගකීමක් වන්නෙ ඒ නිසාමයි. හෙට දවසේ වෙහෙස මහන්සිය කැපවීම විය යුත්තෙ ඒ සඳහා මයි. "මීටරේ දෙකේ නෙවෙයි, තුනක පරතරයත් එහෙම කැපවීමකට නම් බාධාවක් වෙන එකක් නෑ"

Tuesday, November 3, 2020

කිරි මුට්ටි පිටින් ගඟේ යතේ, අත් පොළසන් හාත්පසේ!(මේ කොරෝනා සමයයි)

2013, 2014 කාලයේ අලුත් විදිහකට කරන්න හිතාගෙන මම පර්යේෂණාත්මක දිගු නාට්‍ය පිටපතක් සකස් කළා. ඒක "පුරුෂ තුනම හෙළුවෙන්" උත්තම මධ්‍යම ප්රථම පුරුෂතුනේ හමුවට එන්න, ස්ත්‍රීන්ටද අකැප නොවේ... වගේ ඇමිණුම් පදයකුත් යොදාගෙන නම් කළා. අපේ රටේ තුරුණු කලාවට, නාට්‍යට, නිර්මාණකරණයට තිබෙන අනුග්රහය අප්‍රමාණ නිසාම එය නිර්මාණයක් නොවී පිටපතක් බවට පමණක් පත්වුණා. රටේ සයිබර් අවකාශයේ විකාශනය පුළුල් වෙමින් පැවති අවදියේ ඒ පදනම හරහට හූරා බලන්නට නිර්මිත නාටකය ඊයේ මහ මිනිසුන් ගේ හඬ පට තුළත් අද පොඩි උන්ගේ හඬ පට තුළත් කලාවෙන් ඔබ්බේ යථාර්ථයක් බවට වෙලා. යථාර්ථය ඥානනය කරන කලාව පරදිද්දී ආතල් එක දිනනවා, ඒක හරි.. ඉතිං අපි තවත් මුට්ටි පුරවලා කරදියෙන් වත් කරමු ගඟට ගලා යන්නට  කිරිදියෙන්... හෘද සාක්ෂිය, මේ ඔබේ අවධානය පිණිසයි.

කෝවිඩ් 19 - අවධාරණය