Sunday, March 31, 2013

අපි චණ්ඩි, ලම්භකව උඩ බලල කෙළ ගැහුවත් වැටෙන්නෙ අහකට...(අපේ බල පරාක්‍රමයේත් බුද්ධියේත් මහිමය නොහොත් වලිග පෑගුනු වීරයෝ)

අපි චණ්ඩීන් වෙමු

අපේ පරම්පරාව සුපිරිසිදුය

අපි කළ යුත්ත පසුවට නොතබමු

ඒ කෙසේද යත්

කැපිය යුතු තැන 

පොල් බෑ මූණා සේ

අත්ත උඩම ලැග ඒ අත්තම වුව කපන්නෙමු

අපේ එඩිතර බව එතරම්ය

අතීත බලපරාක්‍රමය මතක් වන්නේ දෙකක් දා ගත්තාමය 

නැත්නම් දෙකක් අහගත්තාමය

නැත්තම් හත්පොළේ ගා ගත්තාමය

නැත්නම් සියල්ල අනාගත්තාමය

අපි පසුබාන්නන් නොවේ 

පාරම්බාන්නන්ය 

තනියෙන් වැරැද්දට එරෙහි කට නෑරීම අපේ ජන්ම දායදයය

සියල්ල කළ යුත්තේ බෙදාගෙනය

එනිසාම  

වරදට එරෙහිව ගට එන්නේ

සීය දාහ එක් වූ විටය

අපි අභිමානය එපරිද්දෙනි

ගෙදර ඉන්න පොඩි එකාගේ අනාගතය 

තැනෙන්නේ අපේ වෛරී ආඩම්බරයෙනි 

ඒ කෙසේද යත් 

අවෛරයෙන් වෛරය සන්සිදේ යැයි කියා පොල්ල අතට ගැනීමෙනි

රටත් ජාතියත් ආගමත් එතරමටම අපේ ගතට කැවිලාය

ඒ කොතරම්ද යත් 

වැරදීමකින්වත් 

ප්‍රාණගාතයක්

සොරකමක්

කාමමිත්‍යාචාරයක්

බොරුවක්

සුරාවක්

අප අතින් සිදු නොවේ

එබැවින්ම ධර්මය රකිනා අපේ 

ධර්මයද සුරැකෙන තරම

ඒ මහිමයෙහි ප්‍රාතිහාර්ය කොතරම්ද යත්

අපි ලම්බ ලෙස උඩ බලා හරියටම අංශක 90 දී

බේටය ගුවනට මුදාලූවත් 

එය අප මුහුණට නොවැටේමය

මේ දිනවල දසතින් මේ ප්‍රාතිහාර්ය ඔබට නොපෙනෙනු විය නොහැකිය

එබැවින්ම එන්න අප හා එක්වන්න

ලම්භ ලෙස උඩ බලා කෙළ ගහන්න 

රට දැය සමය නියම ලෙස සුරැකේවි 

හෙට උපදින පරපුර වෙනුවෙන්

කළ යුතුදේ යහපත දිනවීමට 

අයහපටත කඩේ යාමය

අපේ බුද්ධියේ මහිමය

බලනු මැන කෙතරම්ද? 

 

අවධාරණයයි - වත්ත බද්දට දී ඇස්සට දත නියවීම ඵලක් නොවේ. දැන් කල්පනාව විය යුත්තේ අවසන වත්ත නැවත ලබා ගැනීමට කටයුතු කිරීමටත් ඒ වත්තෙන් තමන් අස්වැන්න නෙළා ගන්නේ කෙලෙසකදැයි දැන් තබා සැලසුම් කිරීමත් ඒ සදහා ඉවසීමෙන් කටයුතු කිරීමත් නොවේද?

මේ තෙල් පොළක වූ පුවරුවකි.

අභූතරූපී හරස් පදයෙන් අවබෝධය ලබන බුද්ධිමත් ප්‍රජාවගේ පහන් සංවේගයත් පහන් එළැඹුමත් පිණිසයි.

Thursday, March 21, 2013

වැරැද්ද මගේ...

දෙනෝ දහක් ඉදිරියේ මම සපථ කොට සිටිමි

නිවැරදි කරුවා මම බවට

ගැහුවේ මට අනෙකාය

බැන්නේ මට අනෙකාය

හෙලා දැක්කේ අනෙකාය‍

ඊර්ෂ්‍යා කළේ අනෙකාය

වපරැසින් බැලුවේ අනෙකාය

මම පිරිසිදුවෙමි

මම සුපිරිසිදු වෙමි

සියල්ලෝ වැරදිය සිතේ

අසල්වැසියාද වැරදිය 

ගමේ බොහෝ අයද වැරදිය 

‍රටේ බහුතරයද වැරදිය

ලෝකයේ අති මහත් බහුතරයද වැරදිය

මම නිවැරදි වෙමි

සියලුදෙනා ඉදිරියේ මම සපථ කොට කියා සිටින්නේ

මම නිවැරදි කරු බවය

ඔබ වැරදි කරු බවය

මා කළ වැරැද්දේ වග උත්තර කරුවා ඔබය

ඔබ මගේ අයිතිය දිනා දිය යුතුය

ඔබ මගේ නිවැරදි බව පෙන්වා දිය යුතුය

මා නිවැරදිය 

වරද ඔබ අතය 

නැතිනම් පවසන්න

වරද කාගේද?

Monday, March 11, 2013

ජීවිතය තුන් තේරවිල්ලක්ව?(ජීවිතයෙන්ම විසදුවොත්-ඔබ ත්‍රස්තයෙක් හෝ නිකමෙක් හෝ නොවනු ඇත)

කටකලියාව සිත පළන්දා

තෝන් ලනුව හිසින් ගෙන

පදවන්නේ නම් ඔබ

ගමන ජය කණුව වෙතම වනු ඇත

එයින් මේ ලෙස කියවෙන්නේද  මෙයින් ඒ ලෙස හැගවෙන්නේද  පිළිතුර එතැනය.