Showing posts with label හලෝව් රස්ටා-1. Show all posts
Showing posts with label හලෝව් රස්ටා-1. Show all posts

Saturday, November 3, 2012

උපාය(1/1000)

කුකුළු පැටව් දෙදෙනෙක් මිදුලේ කතා කරමින් හුන්නෝය.

1000- මගේ පරපුර උගැන්මට ම උපන් පරපුරකි. එබැවින් මගේ අධ්‍යාපනය දහසකුත් ප්‍රශ්න නැගීමට අවශ්‍ය දැනුම සම්පාදනය කර ගැනීමයි. ඔබේ අදහස කුමක්ද?

1-මගේ පරපුරේ අය සේවකයෝය. සැම ප්‍රශ්නයකටම ප්‍රායෝගික විසදුම් සොයන්නට ඇත්තේ අපටයි. එනිසා මා සොයන්නේ දහසකුත් ප්‍රශ්න විසදන ක්‍රමයකි. මගේ අදහස ඒකයි?

1000- අනතුරකදී ඇතිවන දහසකුත් ප්‍රශ්න ගැන ඔබ දන්නවාද?

1-මා හිතුවේ දහසකුත් ප්‍රශ්න වලට මේ මොහොතේ දිය හැකි පිළියම, හැකිනම් දුවගොස් සැඟවෙන්න දැන්ම.(කුකුල් පැටවා අවසන් වචන කීපය කීවේ දිව යන ගමන්මය. නමුත් අවසනාවකට දැනුමැති කුකුල් පැටවා සිතන්නටත් පෙර ඌ ඉහළට එසවුනේ එකවර පහත් වූ උකුස්සාගේ දඬු අඬුවක් බදු පාද යුග්මයේ සිර වෙමිනි.)

වැරදි හා මිනිස් ගතිය(මෝඩ කමෙන් මිදීම)

මිනිස් ගතිය වැරදි කිරීමද? 

එහෙම දෙයක් කතාවට කීවාට එහෙමම කිව හැකියයි මම නම් නොසිතමි. නමුත් වැරදි කිරීම නොව වැරදි සිදුවීම මිනිස් ගතියක් විය හැකිය. එය මිනිස් මෙන්ම සත්ව ගතියක්ද වනු ඇත. නමුත් මිනිසාට තව පියවරක් ඉදිරියට තැබිය හැක. එනම් වරදක් සිදුවූවා යැයි හදුනාගත්තේ නම් හැබෑවටම එය පිළි ගැනීමයි. මිනිස් ගතියක් යැයි කටපුරා කිව හැක්කේ නම් එබන්දකි. එහි අදහස මිනිස් ගතිය යනු වැරදි කිරීම නොව වැරැද්ද පිළිගැනීම යන්නයි. 

වරද පිළිගැනීම පමණක් ප්‍රමාණවත්ද?

වරදක් සිදුවූ බව තේරුම් ගත් විය නිවැරදි වීමට මිනිසෙකුට ‍ඕනෑ තරම් අවකාශ ඇත. එහිදී නිවැරදි වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ කපටි කමකි. වරද පිළිගෙන ඇත්තේ ජාම බේරා ගැනීමටය. එවිට ඔහු හෝ ඇය අයත් ව‍න්නේ දැන දැන වැරදි කරන ගනයටය.

සිදුකළ යුත්තේ පසුතැවීමද?

පසුතැවෙමින් හිටියාට අත්වන ඵලක් නැත. සිදුවූ වරද පිළිගෙන එය නිවරද කර ගත හැකිනම් එතැන ඇති වන්නේ පසුතැවීමක් නොව ඉදිරි ගමනකි. වැරැද්දෙන් ඉගෙන ගන්නවා යනු එයයි. මිනිසුන් මෝඩකමෙන් මිදෙන්නේ එවිටයි.

වැරදි ගැන කිය කියා, වැරදි කරුවන්ට දොස් නැගමින් හිදීමම ඵලක් ‍ඇති දෙයක් නොවේ. වැරැද්ද ගැන විචාරිය යුත්තේ වැරැද්ද හදුනා ගැනීමට මිස, එය නිවරද කර ගැනීමට මිස අන් කුමකටද? දියුණුව හෝ පරිහානිය ඒ මත රැදෙනු ඇත.

කුරුටු ගීය

මම කියවමින් සිටි පොතෙන් දෙනෙත් මෑත් කර එපිට බැලීමි. නෙත් රැදවෙන්නේ එක එල්ලේ ඈතින් පෙනෙන කදු ගැටයේය. පැහැදිලි අහසේ ඈතින් පෙනෙන කදු ශිඛරය එදා සේම අදද මා සිත අවදි කරවන්නේ අපූරු කුහුලකිනි. මම පුටුවේ සැහැල්ලුවට දිග ඇදුනෙමි. 

සෙමෙන් නෙත් පියවෙත්ම අදුර සිදලන හිරු රැස් කැටිත්තක් සේ කුහුල සිදන රැස් දහරක් සිත තුළට එබෙන්නේ පුංචි කවුළුවක් තුළින් මගේ මතකය අතීතයට යවමිනි. මම උපැස් යුවල ගලවා පොත මතින් තැබීමි. සැබවින්ම මගේ දෙනෙත බොදවිය. සිතිවිලි අර කවුළුවෙන්ම ගලා එයි. එදා මොහොතක සිනහවක් ගෙන දුන් ඒ කතාව අද මට අතැඹුලක් ව ඇති සැටි.

අර කවුළුව තුළින් මා අතීතයට පිය මනින්නට වූයෙමි. ඈතින් පෙනෙන කදු ශිඛරයේ මුදුනට පහළින් තියුණුව පෙනෙනුයේ කුඩා දොරකි. ඈතට මුත් පැහැදිලිව පෙනෙන ඒ කුඩා දොර දිස්වූයේ ගුහා කටක් පරිද්දෙනි. හැමදා දකින මෙදසුන අවුරුදු පනහකට පෙර කොලු ගැටයෙකු වූ මගේ සිතේ නිරන්තර දල්වා තිබුනේ නොසන්සිදුනු කුහුලකි. දිනක් එහි කූටප්‍රාප්තිය එළඹියේය. මා මිතුරෝ ‍දෙදෙනෙක් අප නිවසට පැමිණියේ එහි ප්‍රතිඵල වශයෙනි. නිවසේ මුව දොර පිහිටි කදු ශිඛරය තරණය කිරීම අපේ දිනයේ අභියෝගය විය.

දුටු මතින්ම කන්ද මුදුනට පහළින් පෙනෙන්නා වූ ගුහා කටක් බදු විවරය මා මිතුරන්ගේද සිත් කුහුලින් ‍පුරවා තිබිණි. උදෑසණ තේ පානයෙන් අනතුරුව අප තිදෙනාගේ ගමන ආරම්භ විය. අපි ගමන් කළෙමු. කදු මුදුන දිශා කොට වැටුනා වූ අඩි පාර ඔස්සේ ගමන් ගතිමු. නිරන්තර මිනිස් පාද ස්පර්ශ නොකරන බව කියා පෑ මේ අඩි පාරේ ඉදිරියට යත්ම අපට බාධක බොහෝ විය. කටු පදුරු, වල් පදුරු අප දෙපය විටින් විට බදා වැළද අප පොළොවට පහත් කෙරෙව්වෝය. අපි ඒ පදුරු ඇද කඩා අපේ ගමන ඉක්මන් කළෙමු. නමුත් එය පහසු දෙයක් නම් නොවීය. එන්ට එන්ටම අඩි පාර පාරකට වඩා මං සළකුණු වලට පමණක් සීමා වන බැව් පෙනුනි. කුහුලත් එනිසාම ඇතිවූ දිරියත් නිසා කුමන බාධාකයකටත් අප අභිබවා යෑමට අපි ඉඩ නොදුන්නෙමු. කටු පදුරු වලින් දෙපය සීරී යද්දී අපි අපේ අවසාන ඉලක්කය පෙනෙන මානයට පැමිණියෙමු. 

 

වැලක එල්ලී යාම කොතරම් අපහසුද, වැලකින් වැලකට මාරු වීම ඊටත් වඩා අපහසුය. එක් වැලක දැඩි වීරියෙන් යුතුව එල්ලී ආ අපට දැන් සිදුවී තිබෙන්නේ වැලකින් වැලකට මාරුවීමටයි. ගුහා කට ඇත්තේ අපට ‍‍වඩා අඩි පහළොවක් පමණ සීග්‍ර නැග්මකට ඉහළින්ය. මෙතරම් අපහසුවක් විද මෙතනට පැමිණි අප කෙසේ නම් සටන අතහැර පලා යන්නද? අපි අභියෝගය බාර ගත්තෙමු. පස් කණ්ඩිය බදා වැළද ගත් අප එකිනෙකා බැගින් ඉහළට යන්නට කළ උත්සාහය අතිශය ත්‍රාස ජනක විය. යන්තම් පය ගසා ගත හැකි කණ්ඩියේ පොඩි කඩතොළු වලට පය රිංගවා කණ්ඩිය මත ඇති වල් පදුරු වල ශක්තියෙන් ඒවායේ එල්ලෙමින් ඉහළ නැගෙන්නට අපි දැරූ උත්සාහය කෙළවරක් නොවීය. ඒ හැම මොහොතකම අපේ උත්සාහයේ නෙත් තුළ දැල්වුනේ ගුහාවේ නිධානයකි. ඒ ව‍යසේ ස්වභාවයට මෙන් අප කා තුළත් නිධානය නම් අලුත් දේ සොයා අත්පත් කර ගැනීමේ උවමනාව දැඩිව විය. 

දහදියෙන් සිරුරු තෙත් කළ ව්‍යායාමයෙන් පැයකට පසු හති හලමින් ගුහා කට අභිමුව සිටින්නට අපි සමර්ථ වීමු. බිම වැතිරී විඩා නිවා ගතිමු. කටෙන් එබෙනා විට ගුහාව තරමක් අදුරුය. ඈත සිටන් බලනා කළ වුව ගුහාවේ කටක් පෙනෙන්නේ එය  ගොඩනැංවීමක් නිසාය. මිනිස් දෑතකින් බැදුනු ගඩොලින් ගුහාවේ කට දොරක් සේ නිමවා තිබිණි. එය පහත සිට බැලූවෙකු දකින තරමට මේ නිරාවරණ පරිසරයේ තියුණුව දිස්වන්නේ එනිසා බව අපට පසක් විය. කටින් එබුනු අපි හිමින් සීරුවේ වට පිටට දෑස් යොමු කළේ මිනිස් දෑතකින් නිමවුනු මේ ගුහා කුටියේ කිසිවකු ලැගුම් ගෙන සිටීමක් ගැන අපට ඉවෙන් මෙන් හැඟුණු නිසාය. දෙවනුව සතා සර්පයා ගැන නිරන්තරයෙන් මෙබදු අදුරේ ඇතිවන බිය නිසා අපි ප්‍රවේශමෙන් අඩි තබන්නට වීමු. ගුහාවේ ද්වාරය අසළින් මෑත් වත්ම අපගේ සෙවණැලි ඡායා ඇදෙන තරමේ ආලෝකයක් කුටිය තුළට වැටුනේය. 

"මොකුත් නෑ" අපේ කෙනෙක් කීවේය.

"ආපහු යමුද? මම ඇසුවේ ගුහා කුටියේ ඒ මේ අත සැළකිය යුතු වේලාවක් පියවර නැගීමෙන් අනතුරුවයි. 

"අර, බිත්තියේ මොකක්ද ලියලා" ‍ප්‍රොෆෙස යන අන්වර්ථයෙන් හැදින්වුනු අනෙක් මිතුරාගේ දෑසට යමක් හසුවී තිබුනේය.

අපි හිස් පහත් කරගනිමින් එතැනට ළං වුනෙමු. මෙය එතරමට ලොකු ගුහාවක් නොවූ බැවින් එකිනෙකා හැපෙන තරමේ සමීපයක සිට ලියා තිබූ දේ අඩ අදුරේ කියවන්නට උත්සාහ කළෙමු. තියුණු දෑස් තිබූ අපට අදුරේ වුව ඒ ගල මත හුණු ගලකින් අසීරුවෙන් කුරුටු කළ අකුරු ගලපන්නට අවසන හැකිවිය. ප්‍රොෆෙස ඒ පද වලට සෙමෙන් හඬ මුසු කළේය. 

 

බොහෝ දුක් විදවමින

ඇයිද ආවේ ඉතින

මොකුත් නෑ දැන් දකින

තේරුනා හිස් බවම

නොතේරී ඒ බැව් මෙහෙ ආමි. තේරුම් ගත් බැවින් මෙලෙස ලිවීමි.

 

 

නිමි

Friday, November 2, 2012

දැන දැන වැරදි කරන්නෝ(නිවරද බර දැන උස්සන්)

මිනිස් සමාජයේ බොහෝ දෙනෙක් වැරදි කරන්නෝය. ඒවා සාධාරණීකරණය කරන්නෝය. 

මේ සදහා හේතු ව‍ශයෙන් හලෝව් රස්ටා දකින්නා වූ කරුණු දෙකකි. එකක් කපටි කමය. අනෙක මෝඩ කමය. තවත් ආකාරයකින් කීවොත්: දන්නා බව වැඩි කමය. නැත්නම් නොදන්නා කමටය.

විපරමෙන් අපේ සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ මේ කොට්ටාශ දෙකම බහුල වශයෙන් සිටින බවය. 

සමහරු දන්නා බව සිතා සිටියාට කරන කියන දෙයින් පෙනෙන්නේ නොදන්නා බවයි. තවත් සමහරු නොදන්නා බව පෙන්නුවාට කරන කියන දෙයින් නම් පෙනෙන්නේ ඔවුන් නොදන්නවා යන්න නොවේ.

සමාජයට ප්‍රබලම විනය කටින්නේ මේ දැන දැන වැරදි කරන්නන්ය. ඔවුන්ගේ කපටිකම් සමාජය පිරිහෙලන්නට කෙළින්ම දායක වන්නේය. පැවැත්ම සදහා උචිතයෙකු වීම උදෙසා කරන සටන සාධාරණ කරගන්නට කියන්නේ කපටිකමෙන්, වංචාවෙන් නොවේ. සැබෑ විග්‍රහයක් මතිනි. මේ විග්‍රහය දැන දැනත් තමන්ගේ සටන කූටත්වයෙන් සාධාරණීකරණය කරන්නා නිවටයෙකි. එහි සරල අදහස දැන දැන වැරදි කරන්නේ නිවටයින් බවයි. එබැවින් ඔවුන්ට කිසිදු සමාවක් නැත. යම් දිනෙක තමන්ගේ හෘද සාක්ෂිය හමුවේ දැවෙන්නට සිදුවීම ඒකාන්තය. එහි දින වකවානු දැන ගැනීම ඔවුන්ටම මිසක් අපට අයත් කාරියක් නොවේ. (නමුත් සරල අනාවැකිය නම් මරණයේදී ඔවුන්ට ඒ පිළිබද හොදින්ම දැනෙනු ඇත යන්නයි.)

එහෙනම් නොදැන වැරදි කිරීම සාධාරණද?

නැත. නමුත් සත්‍ය දැන ගන්නා තෙක් ඔවුන්ට සමාවක් ඇත. ඉන් ඔබ්බේ ඔවුන්ද දන්නා අය වීම නිසා එතැන් සිට වැරදි කරන්නේ නම් දැන දැන වැරදි කිරීමේ වරදට ඔවුන්ටද සමාවක් නැත.

වැරැද්ද මොකද්ද?

හැම වැරැද්දකටම පිළිතුරු ඇති අද සමාජයේ කෝකත් සාධාරණීකරනය කරන්නේ ඉතා පහසුවෙනි. බොහෝ දෙනාගේ ඇස් පනාපිටම බලවන්තයින් කරන අපරාධ ඉතාම සුළු වැරදි සේ මෙහේ බොහෝ තැන්වල සාධාරණීකරනය වන්නේ එබැවිනි. මෙහිදී අපට කළ හැක්කේ කුමක්ද? කළ හැක්කක් ඇත. 

එනම් එබදු බලවන්තයින් වේවා, කුල වන්තයින් වේවා, දැන දැන වැරදි කරන්නන් ප්‍රතික්ෂේප කිරීමය. එම ප්‍රතික්ෂේප කිරීම ගෙදර සිට කරන්නක් පමණක් නොව ඔවුන් ඉදිරියේ වුව කෙලින් කීමට තරම් ශක්තියක් ඇති කර ගැනීමය. එවැනි කෙලින් සිට ගත හැකි කී දෙනෙක් අද මෙහේ සිටිත්ද? මේ කියන්නේ වෛර හිතකින් බුම්මාගෙන හිදීමක් ගැන නොවේ. ආවේගය වේගයක් බවට පත් කරගෙන ඉන් ශක්තියක් උපදවා ගෙන නැගී සිටීමක් ගැනය. මෙය සපුරාම කළ හැක්කකි. 

පළමුව ඔබ නිවැරදි කෙනෙකු වීම මෙහි පළමු අවශ්‍යතාවයයි. ඔබ නිවැරදි නම් බොහෝ දෙනා කියවන "බලවතුන් හමුවේ මරණ බය දැනීම" ඔබට විහිළුවක් පමණක් වනු ඇත. අද සමාජයේ ප්‍රසිද්ධ ජඩ දේසපාලුවන් හමුවේ තමන්ම ගස් බැදෙන නිවටුන් බිහි වන්නේ කලිසමේ මුත්‍රා යන මේ මරණ බය නිසාය. 

මිනිහෙකු මැරෙන්නේ එක් වරකි. නිවටයා හැම නිවට කමකදීම මැරි මැරී උපදින්නේය. අද ලංකාවට ආවේගයෙන් නොව හැබෑ වේගයකින් ක්‍රියා කරන තරුණ පරපුරක් ඇවැසිය. නමුත් ප්‍රශ්නය, අපේ පරපුරේ බොහෝ දෙනාට ඕනෑ වී ඇත්තේ දැන හෝ නොදැනම අනුන් විසින් පුම්බන නිවටයින් වීමට මිස තමන් විසින්ම ශක්තිමත් කරගන්නා මස්පිඩු දැරීම නොවේ. මේ කි‍යුවේ බොඩිබිල්ඩින් ගැන නොවේ. එහි වරදක් නැත. හැබැයි චින්තනයෙන් ශක්තිමත් නැති එකා ගතින් කොපමණ සවිමත් වූවත් වැඩක් නැත. 

එබැවින් තරුණයන්ට සැබෑ හෙටකට නම් මෙහේ, පණ ඇතිව නැගිටියව් ආවේගෙන් නොව වේගයෙන්.

දන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් දන්නවාද කියා. 

නොදන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් නොදන්නවාද කියා.

එතකොට නුඹලාට ඇත්තටම හමුවේවි, දන්නා දේ තුළ හැංඟුනු නොදන්නා දේත්   නොදන්නා දේ තුළ හැංඟුනු දන්නා දේත් - උඹලා ශක්තිමත් වෙන්නෙ ඇත්ත තේරුම් ගත් දාට විතරයි. 

එතකම්: කොච්චර උඩ ගියත් සද්දයක් නැති පුස් අහස් කූරු විතරයි නුඹලා...

Wednesday, October 31, 2012

වෙනස(පරංගියා කෝට්ටේ ගිය පාර දිගේ)

- සරල ප්‍රශ්නයක් තියෙනවා, අහන්නද?   ශාරීරික පිළිකා සොයාගන්න පුළුවන්, මානසික පිළිකා සොයාගන්න පුළුවන්ද? 

ඔයාට පිස්සුද අනේ, මොන සරල ප්‍රශ්නයක්ද? ඕක. හරිම බරපතළ ප්‍රශ්නයක් නේ. අපිට උගන්නලත් නෑ. විෂය නිර්දේශ වල තිබුනෙත් නෑ. ඒක නිසා කියන්න දන්නෙ නෑ‍. බටහිරින් ශාස්ත්‍රීය පර්යේෂණ කරලා ඒක හොයාගෙන, පිළියම් කියා දුන්නොත් අපි දන්නවා. ඒ ගොල්ලො කිව්ව දාට අපි ඒ ගැන කතා කරමු.

- හැබැයි, සමහර විට දහමේ මේ ගැන සදහන් වෙලා ඇතිනේද?

අපේ දහම පතුරු ගහල හොයන්න බලන්න අපිට උවමනාවක් නෑ අනේ. මොකද දහම අපේනේ. ඒක හරි වටිනවා. ඒක හින්ද ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා, වෙන මොනවද? ඒක අපිට ගෞරවයක්නේ. ඒ මදෑ.

අපිට හැම දේම බටහිර විද්‍යාත්මක චින්තනයෙන්ම විග්‍රහ වුනහම ඒක පිළිගන්න පුළුවන්. එතකම් බෑනේ, ඒක හරි නෑ වගේ නේද. අපිට දැනෙන හැගෙන දේට වඩා සුදු මහත්තුරු අපිට තාමත් විශ්වාසයි. ඒ ගොල්ලො අන්තර් ජාලෙටවත් තොරතුරු මුදා හැරියමයි  ඒක අපේ ඔලුවට වදින්නෙ. ආර්ථ්කයත් එක්ක එකහෙලාම බද්ද වෙන්නෙ නැත්නම් මොන දැනුම වුනත් අපිට ඵලක් නෑ. විද්‍යාත්මක විග්‍රහය මාකට් එකට සම්බන්ධයි. දහම මාකට් එකට කෙළින්ම ගැලපෙන්නෙ නෑ. ඒක නිසා අපි විද්‍යාත්මක ක්‍රමයට කැමතියි. ලෝක විනාශයක් ගැන උනත් මාකට් වෙන තත්වෙ කතා කරන්න අපි කැමති ඒකයි. වෙනස් වෙන ලෝකයක් ගැන කියන දහමෙන් ඒ ටික තේරුම් ගන්න තරමට අපි සරල බුද්ධිමතුන් නොවේ. මාන්නාධික, පණ්ඩිතවාදී උගතුන් සහ උජාරු කාරයෝ. ඒ නිසා ඒකට ගැඹුරු විග්‍රහයක් ඕනෑ. හැබැයි කොච්චර ගැඹුරට ගියත් ආපහු කතාව නවතින්නෙ සරල තැනක. බටහිරට නම් මේක යම් පමණකට සාධාරණයි. ඔවුන්ගේ දහමත් විද්‍යාවත් පැති දෙකක ලෙස සරලව විග්‍රහ වෙන නිසා. අනික ඔවුන්ගේ විද්‍යාව එහි ක්‍රියාකාරකම් තුළ ප්‍රබලයි. නමුත් විද්‍යාවටත් එහා ගිය දැනුම් පද්ධතියක් ඇති දහමක් පවතින අපේ රටේ, ඒ දහම අදහනවා යැයි කියන බහුතරයා විද්‍යාවට වඩා ඒ දහම විනිවිද දකින්නට සමත් නොවන්නේ ඇයි? වෙනස කියා ඔවුන් හිතන විද්‍යාත්මක විග්‍රහය අපට පස්සෙන් තිබෙන දෙයක් බව ඔවුන්ට නොපෙනෙන්නේ ඇයි?

විද්‍යාත්මක විග්‍රහයේ දැනුම, සතුට හොදය. හැබැයි අප අපේ අතීත මුත්තාගෙන් පළමුව උගත යුතුය. සරලත්වය ආදර්ශයට ගත යුතුය. එවිට අපේ දහමේ විද්‍යා ඥානයේ ගැඹුර දැක ගැනීමට පෙර මගක් සැකසෙනු ඇත. කුමන හෝ ගැජට්ටුවකට විජට්ටුවකට විද්‍යාත්මක විග්‍රහයන් දීමේදී, අපේ සුවය සතුට වෙනුවෙන් ඒවා භාවිතයේදී,  මේ මිහිතලයට හෝ ජීවි අංශුවකට හානියක් කරන්නට ඔබට අයිතියක් නැත. මටද අයිතියක් නැත.

ඇත්තේ භාවිතාවට අයිතියක් පමණි. සතුට ලැබිය යුත්තේ නිසි මාර්ගයේ වන්නේ එබැවිනි. එවිට සතුටත්, භාවිතාවත්, සාධාරණය. යුත්ති සහගතය. අන්තගාමී නොවිය යුතු මනුසතාගේ දහම නම් එයයි.  එය නිසි නොවන හැම තැනදීම ඔබ සමස්ථ සමාජය වෙත නව ප්‍රශ්න නිර්මාණයට කිනම් ආකාරයෙන් හෝ දායක වන්නෙකි.  තම පැවත්ම උදෙසා සංස්කෘතික පරි‍සරයේදී උචිතයෙක් වනවා යනු සාධාරණ සටනකින් විය යුතුය. ස්වභාවික පරිසරයේදී සටන සාමාන්‍යයෙන් අසාධාරණ ලෙස සැකසී ඇති වුවත් එබදු අසාධාරණ අයුක්ති සහගත සටනකින් ජය ගන්නවා යනු මිනිසෙකුට නම් තරම් නොවේ. එබන්දන් තමන් විසින් තමන්ට සුදුසු නාමය සොයා ගත යුතුය. (මේ කියන්නේ සටන සාධාරණ, යුක්ති සහගත එකක් කර ගත යුතු බවයි.)

මිනිසා මෙය තමා ප්‍රධාන කොට ඇති තමන්ගේ ලෝකයක් යැයි සිතනවා නම් තමා සාධාරණ හා අන්‍යන් වෙනුවෙන් යුක්ති යුක්ත මිනිහෙක් විය යුතුය. හොද පාරි‍‍භෝගිකයෙක් වනවා පමණක් නොව හොද මිනිසෙක් වීම යනු නූතනයේ හොදම වෙනසයි.

 

 නමුත්, ‍‍මේ කියනා දේ ‍බොහෝ කොට බොහෝ දනාට නොහැගෙන්නේ ඇයි? එකම තැනකට පාරවල් කීපයක් තැනිය යුත‍්තේ එනිසාය. 

 

වචන වලින් කතා කිරීම මේ තාක්ෂණයත් සමග වෙනස් වනවා. ඒ කිව්වේ කියන, ලියන එකේ සාමාන්‍ය ස්වරූපය ගැන. එතුල සන්නිවේදනයේදී වෙන සියුම් වෙනස් කම කාලයාගේ ඇවෑමෙන් දැ‍වැන්ත වෙනවා. එතකොට අපිට දෙවිදිහක් දැනෙන්න ගන්නවා. 

වචන ගැන සංසන්දනයක් කරන්න වෙන්නෙ එතනදි. මොකද සංසන්දනයකට අඩුම තරමේ ද්විත්වයක් තියෙන්‍න ඕන නිසා. එක චිත්‍රයක් විතරක් නම් තියෙන්නෙ. ඒකෙ ලස්සන ගැන මිම්මක් නෑ. නමුත් දෙකක් තියනවනම් එකකට සාපේක්ෂව අනික ගැන කියන්න පුළුවන්. 

අද අපි භාෂාවේ ව්‍යාකරණ රකින්නෙ නැත්තෙ ඇයි, විභාග ඇරුනාම. අක්ෂර වින්‍යාසය අපි ගණනකට ගන්නෙ නැත්තෙ ඇයි, විභාග හැරුනාම. තාක්ෂනික මෙවලම් තුළදි නම් යම් අපහසුතා වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන ම දේ ඒක නොවෙයි. අපේ යුගයෙ ඒක ලොකු අවශ්‍යතාවයක් නොවන හින්දයි. කොටින්ම කියනවානම් හර බර විදිහට ලියන කියන එක ගොඩක් දෙනාට තේරෙන්නෙ නැහැ. ඒක කියවීම වෙහෙසකර බව සමහරු කියනවා. ඒකට හේතු ගණනාවක් තියෙන්නත් පුළුවන්. නිරෝගී මිනිස්සු රෝගී වුනේ ආහාර පාන, පරිසරය එන්න එන්නම විෂ වෙන නිසා වගේම නරක පුරුදු නිසා. වචන රෝගී වුනේ කොහොමද කියල සිතා බලන්න නම් දැන් ප්‍රමාදයි.

වචන මැරිලා ඉවරයි. මැරිලා යයි කීවේ ඒවාට පණ තිබූ නිසා. මැරුණු වචන වලින් දැනෙන්නේ මිය ගිය ජීවියෙකුගේ නිසල දේහයක ඇති හිස් බවක්. ඒත් අපිට කතා කරන්නට, අදහස් හුවමාරු කරන්නට වචන ඕන නිසා අපි තවමත් කතා කරනවා. කොතරම් කතා කරත් මැරුණු වචන වලට පණ දෙන්න දැන් බැහැ. ඒ අතර පෙති වලින් දුවන මිනිසුන් අ‍තරේ නිරෝගී මිනිස්සුත් ඉන්නා පරිද්දෙන්, භාෂාව නොමැරුනු තැන් නැතුවාත් නොවෙයි. නමුත් ඒ භාෂාවෙන් ගනුදෙනු කළ හැක්කේ එබදු පිරිසකටම පමණයි. අනෙක් අයට එම භාෂාව නොතේරෙනවා නම්? මේ කියන්නෙ සමාජයේ සාමාන්‍ය මිනිස්සු ගැන, අපි‍ වගේ. අපි ජීවත් වෙන්නෙ සාමාන්‍ය ‍‍පරිසරයෙ. සාමාන්‍ය සංස්කෘතිය තුළ. (මේ කියන්නෙ සාමාන්‍ය මිනිහාගේ, සාමාන්‍ය භාෂා භාවිත ඥානය ගැන)

ඉතිං මේ හැම දෙයක්ම තවත් එක් විෂයක් පමණක් වෙද්දී මිනිස්සු ඒ සබ්ජෙක්ට් ගැන කතා කරනවා. ආපහු ලෝකෙ ආපස්සට යනවාද කියා හිතෙන්නත් දේවල් තියෙනවා. ගෝත්‍රික යුගයට වඩා වෙනස් විදිහට කනවා, බොනවා, ජොලි කරනවා කියන සංකල්ප ආපහු කරළියට ඇවිත්. මෙහේ අපි කන්ට, බොන්ට, ජොලි කරන්ට තවත් අලුත් ක්‍රමවේද ගවේෂණේ කරනවා. වෙනසක් හොයනවා. අපි මෙහෙයවනවාට වඩා අපිව මෙහෙයවෙනවා නොදැනම.

 වෙනසක් කියන්නේ මොකක්ද?

කකුල් දෙකෙන් ඇවිදිනවා වෙනුවට අත් දෙකෙන් ඇවිදින එක වෙනසක්. ඒත් ඒක සැමවිට සැමතැන හා එදිනෙදා ප්‍රායෝගික නැහැ. නමුත් ප්‍රජාව වඩාත් ඇදී යන්නේ එහෙම දේකට. සංකල්ප මිසක් එහි හරය ගැන බිංදු මාත්‍රයක් වැටහීමක් නෑ. ප්‍රධානම කරුණ තේරෙන්නෙ නැති එක. ඒ කියන්නෙ දැනෙන්නෙත් නෑ. තමන්ට තේරෙන්නෙ නෑ කියල තමන්ට දැනෙන්නෙ නැති කොට ලැජ්ජාව, බය නොවේ කිසිම සීමා මායිමක් නෑ. ‍එහෙම මායිම් ගැන දැනෙන්නෙත් නෑ. එච්චරකට ශද්දකෝෂ වලින් දුන්නු වචන අර්ථ වල අපේ මොළ හිරවෙලා. යාන්ත්‍රීකරණය වෙලා. දැනුමෙන්ම ලෝක‍ය විග්‍රහ කරගන්නට ගොසින් සාමාන්‍ය සංවේදී කම, සරල උපක්‍රම දැනෙන්නේ නැතිව ගොහින්. වෝල්ට් තිස්තුන්දාහෙ කරන්ට් එක වැදුන මිනිහට බැටරි කරන්ට් එකක් දැනෙන්න තරම් දෙයක් ඉතුරුවෙයිද? දැන් හොද පදමට කරන්ට් එක වැදිලා ඉවරයි. ඒක පේනවා, දැනෙනවා. දැන් මේ කරන්ට් එක වැදුන මිනිහට වෙනසක් දැනෙන්න කියලා වතුර ගහනවා. කලන්තෙ හැදුනු මිනිහට වතුර ගැහුවට කරන්ට් වැදුනු මිනිහට වතුර ගැහුවොත් මොකද වෙන්නේ? අද සමාජයේ හරයක් නැති වෙනස ඒකයි.

මේව ගැන සැබෑ මිනිස්සු හැටියට දැනෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් නිහඩවම යටපත්වෙලා. ඒකත් කලියුගයේ හැටි. දොස් කීමක් ‍කියා දෙයක් නැහැ. නමුත් උත්සාහය කියා දෙයක් අවැසියි වෙනසකට.

හැබැයි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. නිහඩවෙලා ඉන්න මේ ඇත්තම මනුස්සයෝ කවද හරි දවසක ඇත්තටම අවදිවෙනවා. එදාට මේ නිහඩකමේ පාලුව නැතිව යයි. මනුස්සයින්ගේ හදවතේ ඇතුළෙන් ඇත්තටම ඇහෙන කුණු හරුප නොවූ අදහස් එතකොට දකින්න පුලුවන් වෙයි. ටික කාලයකට හරි ආපහු මාකට් නැති මනුස්ස කමක් යන්තම් හරි දැනේවි.

එතකොට වෙනස වචනවලින් තොරව දැනෙන්න, ආපහු හිතන්න ඉඩක් ඉතුරුවෙයි.  

Tuesday, October 30, 2012

මොනවද මුත්තේ..(මුත්තාගෙන් ඉගෙන ගන්න)

අපේ මුත්තා මා දන්නා ආදිතමයාය‍. ඔහු හොද පුද්ගලයෙක් යැයි මා කියන්නේ ඔහු අප වෙනුවෙන් වැඩක් කළ නිසාය. 

"මොනවද මුත්තේ මොකද කරන්නේ, මොකටද ඔබ ඔය බිම හාරන්නේ" මා මුත්තාගෙන් ඇසුවේ නොදන්නා කමටය. 

මුත්තා මට කීවේ, අප වෙනුවෙන් අඹ ඇටයක් හිටවන්නට බිම හාරන බවය. එදා‍ මෙන්ම අදටත් මට මුත්තාගේ ඒ ළෙංගතු කමේ ගැඹුර සිතාගත හැකිය.

ඒ ටික කීමෙන් පසු මට ප්‍රශ්න දෙකක් අසන්නට අවැසිය. තුන්වෙනි ප්‍රශ්නයක් ඇතත් එයට කන් දෙන්නට කෙනෙකු නොමැති බව දන්නා බැවින් එය අසා ඵලක් නැත. මෙසේ ප්‍රශ්න නැගීමට මට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ යැයි පොඩි අවදියේ සිට වැඩිහිටියන්ට බෙහෙවින් ගරුකළ අයෙකු වූ මම සිතන්නෙමි.

මේ ප්‍රශ්න මම මගේ ගෙදර උදවියගෙන් පළමුව අසා ඇත්තෙමි. දැන් මට මෙය අසන්නට ඕනෑ අපේ සමාජයේ පොදු වියත් වැඩිහිටියාගෙනි.

1. මුත්තාගෙන් පසු පරම්පරාවේ අපේ ආච්චී වෙතය, පළමු පැනය - ආදරණීය ආච්චියේ  මුත්තා හිටවූ අඹ ඇටය වෙනුවෙන් ඔබ කළේ කුමක්ද?

2. ආච්චීගෙන් පසු පරම්පරාවේ අපේ තාත්තා වෙතය, දෙවන පැනය - ඔබ ඔබේ සීයා හිටවූ අඹ ඇටය වෙනුවෙන් කළේ කුමක්ද?

 තෙවන ප්‍රශ්නය අපේ පොදු අයියාගෙනි, නමුත් මිනිහාට ප්‍රශ්නේ වත් තේරෙනවාද සැක සහිතය. එබැවින් අසන්නේ නැත.

ඉතිහාසයේ අප පැරැන්නන්ගේ සරල ජීවන රටාවට පින්සිදු වන්නට තවමත් අපි ඒ අඹ ගහෙන් ඵල ලබන්නෙමු. කාළයක් ගහේ ඵල භුක්ති වින්දෙමු. ආච්චීගේ පරම්පරාව මා දන්නා පරිදි මේ ඵල කුළුදුලේම භුක්ති විදි අයයි. තාත්තලා ගහ හිටවූ මිනිසා ගැන නොදැනම හෝ දැන හෝ එහි ඵල භුක්ති විද තිබේ. අපේ අයියාද වයසට යමින් තිබූ ගහට ගොඩවී හෝ එක දෙක හෝ ඵල භුක්ති විද තිබේ. දැන් ගහ මැරිලාය. මුත්තාගෙන් පසු කව්රුත් අඹ කෑවා මිස අනාගත පරපුරට එක ගසක් වවන්නට හිතුවේ නැත. අනෙකුත් වැඩ එච්චරටම වැඩිවූ නිසා ඒ යුතුකම අමතක වී ගියාසේය. අනාගත පරපුරට ගස් නගින්නටත්, ගෙඩි කඩන්නටත් කියා දුන්නා මිසක බොහෝ දෙනා ගස් හිටවීමක් ගැන හිතුවේම නැත. එනිසාම අද බොහෝ දනා අඹ ගස වන්නේ අඹ පැළයයැයි නොදන්නෝය‍. අඹ පැළය වන්නේ අඹ ඇටයයැයි නොදන්නෝය. 

එනිසාම තියරියෙන් පිට මුත්තාගේ ගස් වැවීම යටපත් වී ගියේය. 

මුත්තා ඇන්දේ අමුඩයය. ඔහු නූගත් සාමාන්‍ය කෙනෙකි. ප්‍රශ්නය ගොඩක්ම තිබුනේ එතන විය හැකිය.

ඉස්කො‍්ලෙන් - පන්තියට - ගෙදරට - ජීවිතයේ මේවා දැනෙන්නේම නැත. ඊට ඉඩක් නැත. ඇත්තේ නම් ඒ ගැන කතා විතරය. දෙසුම් විතරය. එපමණකටම වේලාව නැත. අපි එවැනි දිවියක උරුම ලද්දේ අපේ ක්‍රම වේද වලට පින් සිදු වන්නටය. 

මුත්තාගේ වගාව බලමින් අපි වීදි සරන්නෙමු. ඉදිරි පැවැත්මක් ගැන මුත්තා සේ සිතන්නට අපට උවමනා නැත. එසේ සිතෙන්නේද නැත්තේ අප සිතන්නට පුරුදු කොට ඇති ක්‍රමයේ පිහිටෙන්ය‍. මුත්තා තරමට අපි තුළ නිස්සරණ අධ්‍යාසයක් නැත. එහෙව් අධ්‍යාසයක් ගැන ‍දැන හෝ නොදැන මුත්තා කළ දේ දැන උගත් අපට කරන්නට වේලාවක් නැත. අපි බිසී වෙමු.

දැනෙන හැගෙන සරල චින්ත‍නයේ තිබූ වටිනාකම දැන් හැගෙන්නේම, දැනෙන්නේම නැත. මුත්තා අමුඩය ගසා ගත් බටහිරයෙකු වූවා නම් හැබෑටම අපි අද අමුඩ ගසා අනාගත පරපුරටත් අමුඩ ගස්සවා ඔය තියරියද ඒ වටිනාකමෙන්ම පවත්වා ගන්න බව නම් සහතිකය. 

මන්ද අපිට අපි ෂුවර් නැත. අපි කිව්වේ අපේ කියා අපි හිතන දේය. එය කතාවට පූචානමට පමණක්මය. අපිට අපේ දෙයක් නැත. අපි කතා කරන‍්නේ ඉන්දියාවේ ජාතික හැගීම ගැනය. මා දන්නා තරමින් කෘෂිකර්මාන්තය කීවාට හරියට ඒකවත්, ඉන් ඔබ්බේ ඉදිකටුවක් වත් නූතනයේදී අප හදනවාද? මුත්තාගේ අඹ ඇටයේ පිහිටෙන් එයට පින්දෙමින් හිදින්නේ නූතන අප්‍රාණිකත්වය වසා ගැනීමටද? කොයි පාලකයාත් එකය. උන්ට ශක්තියක් නැත්තේ ආපහු අමුඩ ගැසීමටය. හැබැයි ඒ අමුඩය. හෙලුවට උඩින් ගහන්ට ශක්තිය තිබීම අවැසිය. එනම් හැබෑ කැපවීමකට ප්‍රවේශයයි. මේ කලියුගයේ එහෙම දෙයක් කරන්නට හයියක් ඇතැයි බලාපොරොත්තු වීම හිතලුවක්ම සේ හැගෙන්නේ දකින පෙනෙන දේ අනුවය. ගැජට්ටු, විජට්ටු ලො‍්කේ කාටත් ඕනෑවට හරි එපාවට හරි ඕනෑ ඒවාමය. ඒවාද ආනයනය කෙරෙන දේය. අපි හොද පාරිභෝගිකයන්ය. වෙන්නේ මොනවාදැයි දන්නේ නැති සේම, මොනවා උනත් ම‍ට නොවේ නම් කම් නැතිද? ඉදින් වෙන මොනවාද? ඇතිදේ කකා බලා ඉන්නවා මිස..

වගකියන්නේ කව්ද?

ආච්චීට සහ තාත්තාට වුනු වැරැද්ද  නිවරද කර ගැනීම සදහා දැන් හෝ ඇත්ත කතාවට අවකාශ ඇත. හිතට එන දේ කීවාට තවම මා පොඩි එකෙක්ය. එනිසා නුඹලා කොන්ද කෙළින් කොට ගෙන දැන්වත් වරද නිවරද උදෙසා කතා කළ යුතුය.

මට කිව හැක්කේ නම් මෙපමණයි,

කරව් හැම දෙනාටම හැකි හැකි දෙයක් මේ වෙනුවෙන් නිවැරදිවත්, සාධාරණවත්.. එපමණයි සැනහීමට හැකි ‍එකම දේ මතුවට තෙපිට..

Friday, October 26, 2012

ඉන්ටමිෂන් -(මිෂන් අතහැර පුරන පර්මිෂන් පාරමිතාව)

"දියව් දියව්, අපිට දියව්" මම කෑ ගැසීමි. දින කීපයකින් උත්ඝෝෂණ රට පුරා දියත් විය. 

"සාකච්ඡාවකට එන්න" ‍එතුමා අපට ආරාධනා කළේය.

"වැඩක් ඇති දේකට මහන්සි වෙන්න" සාකච්ඡාව අවසන එතුමා මගේ පිටට තට්ටුවක් දැමුවේ ලෙංගතු කමකිනි.

"මම දිනනවා" නින්දට පෙර මගේ සිත දිගු කල්පනාවක ගැලී ගියේය. සතියකින් පසු මැතිවරණය එළැඹුණි.

"ජයවේවා" මම කෑගැසීමි. දින කිහිපයකින් ඡන්දය නිමා වූයේය.

 

"හෙට එන්ඩ, අද මේ වැඩේ කරන්ඩ පුළුවන්කමක් නෑ." මම ඔහුට කීවෙමි. හෙතෙම මගේ මුහුණ බැලුවේ කෝපයෙනි. 

"ඊළඟ" ඔහු කිසිවක් කියන්නට පෙර මම පෝළිමේ ඊළඟට සිටි තැනැත්තාගේ මුහුණ වෙත හැරුනෙමි.

"හෙට දින මට නිවාඩුවක් අවැසිය" මම ආයතන ප්‍රධානියාට දීම සදහා ලියුමක් සැකසුවෙමි.

"අපේ රට කියන්නෙ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්" පොඩිඑකා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දුන් මම තේ කෝප්පය තොලගාමින් පුවත්පතේ සිරස් තල වලට නෙත් යොමු කළෙමි.

"පාටියක් දාන්නම ඕනේ මේක සමරන්න" නිවාඩුවෙන් පසු දිනයේ මට නොනිල රාජකාරි බහුල වූයේය.

 

මෙලෙසින්ම සුපුරුදු ජීවිතය දිනෙන් දින ගලා යන්නේය. 

මම අලුත් ආලේපනයක් අත්හදා බැලුවෙමි. දැන් හිසකේ ප්‍රශ්නයත් බොහෝ දුරට විසදිලාය. 

ජීවිතයට සතුට මෝදු වන්නේ ටිකෙන් ටිකය. ඉදිරියේ ඇති විදෙස් සවාරියේ අසුනක් දැනටමත් මට වෙන්වී ඇත. කාළයක් මහන්සි වූ මිෂන් එකේ ප්‍රතිඵල අපතේ ගොස් නැති බව දැක මම සතුටු වීමි. 

සහකාරධූරයෙන් භාරකාරත්වයට පැමිණෙන දින මගේ දරුමුණුබුරන්ට හොද කලක් උදා වනු ඒකාන්තය.

 

ඉන්ටමිෂන්..

Thursday, October 25, 2012

හරුපයේ තෙවැනි අර්ථයෙන් රස්ටාගේ ආවේගයේ සිට හලෝව්ගේ වේගය වෙත ගෙන යා යුතු ජීවිත නොහොත් නව ලොව ජීවිතය වෙනුවෙන් අවබෝධ කළ යුතු හලෝව් රස්ටාගේ යථාර්තවාදී හරුපය

"රස්ට්  ට්‍රස්ට්  විතවුට්  කොස්ට්   විත්   මාෆියා"

  මේ හරුපයේ තේරුම් මේ ආකාරය.

-වටිනා කමෙන් තොර රස්තියාදු විශ්වාසයෙන් යුතු මාෆියාව 

-රස්තියාදු විශ්වාසයෙන් ගෙන් තොර වටිනාකමෙන් යුතු මාෆියාව

 මේ හරුපය සමාජයේදී දැක විද ඇති රස්තියාදුවන් මෙහි සැබෑ අර්ථය 1ද 2ද වෙනකක්ද යනු වටහා ගත නොහී රස්තියාදුවෙන්ම ජීවිතයේ විනාශ මුඛය දකින්නේය.

ඔබ දන්නවාද?

ඔබට මේ හරුපය තේරෙනවාද?

-පළමු වැනි අර්ථය ගනිමු.  එයත් හරිය, 

-දෙවැනි අර්ථය ගනිමු. එයත් හරිය, 

මෙයට තවත් අර්ථ නැතැයි කිව හැකිද? නොහැක.

නමුත් කිව යුතු දෙය නම් මෙහි අර්ථය රැදෙන්නේ ඒ අර්ථ වලටත් ඔ‍බ්බෙහි ඇති  තෙවැනි තැනක බවය. එනම් යථාර්තයේය.

අර්ථය රැදෙන්නේ කියන්නාගේ අදහසත් ග්‍රාහකයාගේ අදහසත් එකට ගැටෙන්නා වූ තැන නොවේද? එතැනදී වන පැහැදිලි කිරීම හරහා අර්ථය ගලපන්නට හැකිවන්නේය. එතකොට අර්ථය රැදී ඇත්තේ වචනාර්ථයේ නොව හඟන හැඟුමේ නොවේද? යථාර්තය නොහොත් හැම දෙයකටම ඇති තෙවැනි අර්ථය එයයි. එනම් අප විග්‍රහ කරන ඕනෑම දෙයක සැබෑ අර්ථය රැදෙන්නේ යම් සන්ධිස්ථානයකය. එනම් එකඟතාවයකය. එතැනින් එහාට කතාවක් නැත.

අද සමාජයේ සිදු වන්නේ කුමක්ද? දෙසන්නා හා ග්‍රාහකයා අතර ඇති එකඟතාවය කෙබදුද?

නිසි කොට ස්වරාජ්ජයේ පැවැත්ම ඇත්තා තමාගේ රට ‍රාජ්ජයත් නිසි පැවැත්මේ දකින්නට රිසිය. නමුත් රට යනු මගේ බූදලයක් නොවේ. මගේ රට යැයි කියූවාට එය අප සියල්ලන්ගේය. ඉදින් මේ රාජ්ජේ නිසි කොට පැවැත්මක් නොදකින සද ඒ පිළිබද විග්‍රහ හුදු හරුප වන සද ඒ හරුපද පෙර ලෙසින් අර්ථ විග්‍රහ කොට ගන්නට නොසමත් සද මා කියන්නා වූ සාමාන්‍ය මිනිහාට ඇති වන්නේ ආවේගයකි.

 මේ කියන්නේ සාමාන්‍ය සමාජයේ, සාමාන්‍ය ජීවිතයක් හිමි, මොළයත්, හදවතත් හොදින් ක්‍රියා කරන එ නිසාම යමක් වැටහෙන හුදී සාමාන්‍ය මිනිසා ගැනය. මේ ගණයට අයත් තරුණයා මෙහිදී විශේෂිතය.

ඉදින් මේ මිනිසා ආවේගය හුදු ආවේගය ලෙසින් පිට කරන්නට පටන් ගතහොත් ‍එතෙක් හොදින් තිබූ ඔහුගේ පැවැත්මත් එතැන් සිට ඇද වැටෙනුයේ විනාශ මුඛයටයි. නමුත් මේ ආවේගය කරණ කොට වේගයක් උපදවා ගත හැකි නම්,..

දියුණුවට වේගයක් අවැසිය. තවමත් රටටත් බොහෝ දනාටත් නැත්තේ මේ වේගයයි. අප එක තැනක බොහෝ වෙලාවක් නිශ්ඵලව ලතවන්නේ මේ වේගය නොමැති නිසාය.  සියල්ලක් අපතේ යන්නේ මේ වේගය නොමැති නිසාය. වේගය අප හදුනාගෙන නැත්තේ හුදෙක්ම පෙර කියූ තේරුම් කරගත නොහැකි දේ තුළ ජනිත වෙන ආවේගය නිසාය. එනිසාම නිවැරදි වේගයක් ගන්නටත් ආවේගයෙන් මිදෙන්නටත් අපට හැකියාවක් නැත. බොහෝ දෙනා මෙතැනදී කරන්නේ තමන් හිතන දේ නිවැරදි යැයි සිතීම විනා විග්‍රහය තුළ රස්තියාදු ගසා සැබෑ තෙවැනි විග්‍රහයට යාම නොවේ. එබැවින් ‍ක්ෂනික පිළියම ආවේගයයි, අනතුරුව ස්ට්‍රෙස් සදහා පෙත්තයි.

අපේ වේගය පටන් ගන්නේ ආවේගයෙනි. ආවේගය පාලනය කරගන්නට උගත්තා එහි වේගයෙන් වැඩ ගන්නට සමතෙකුද වේ. 

රස්ට ජීවිතයේ දී බොහෝ විට බොහෝ තැන උපදින්නේ ආවේගයයි. 

ආවේගය හෙනයක් බදුය. හෙනයකින් වැඩ සිද්ධවන අවස්ථාවන්ද නැතුවා නොවේ. යම් යම් සාරවත්‍ දේ පොළවට පොහොර කරන්නට හෙනය සමත්ය. එලෙසින්ම හෙනයකින් සිදුවන විනා‍ශයක්ද ආපසු හැරවිය නොහැකි තරමේ එකකි. එහෙත් මේ හෙනයේ ධාරාව ක්‍රමානුකූලව හසුරුවා විදුලි ධාරාවක් බවට පරිවර්තනය කරගන්නට හැකි නම් එය සපුරාම සඵල කාරියකි.

ඉදින් ක්‍රියාවට ගත යුතු මේ සත්‍ය හේතුවෙන්, නිරන්තර ගහන්නට වෙන රස්තියාදුවේදී උපදින නොයෙක් ආවේග ඉවසීමෙන් ශුද්ධ කොට නිසි වේගයක් බවට පත්කොට ගෙන එයින් වැඩගන්නට මා සමීකරණයක් හදා ගත්තෙමි.

ඒ මෙසේය,

හලෝව්ගේ වේගය = රස්ටාගේ ආවේගය + ඉවසීම  

හලෝව්ගේ වේගය යනු ජීවිත ගමනට ලබා ගත හැකි ශුද්ධ වේගයකි. රස්තියාදුවේ ආවේගය ඉවසීමෙන් දරා ගත්විට ගතට සිතට ලැබෙන පන්නරය එයයි.

ඉදින් මේ වේගය සිතට යෙදූ කල වේගවත්ව ක්‍රියා කරන්නට ලැබෙන බවත් ඒ වේගවත් ක්‍රියාත්මක වීම අධිවේගී සමාජයේ පීඩනයෙන් තොරව සැහැල්ලුවෙන් වේගවත් විය හැක සාර්ථක මගක් බවත් මම අත්දැකීමෙන් පසක් කර ගත්තෙමි. 

රස්ටාගේ ආවේගය ඉවසීම මතින් හලෝව්ගේ වේගය බවට පත්වී හලෝව් රස්ටාගේ හිතට වේගය සැප‍යෙන්නේ එපරිද්දෙනි. 

මෙහි ඉවසීම යනු ‍නිහඩ බවම නොවේ. අනවශ්‍ය විට කතා නොකර සිටීමයි. නිසි විට කතා කිරීමයි.‍ මෙහි වේගය යනු ඉක්මන්කමම නොවේ. අනවශ්‍ය විට ඉක්මන් නොවී සිටීමයි. අවශ්‍ය විට ඉක්මන් වීමයි. 

එබැවින් හලෝව්ගේ වේගය තුළ ත්වරණ මෙන්ම මන්දනත් ඇති බව දත යුතුය. එය සිදුවන්නේ යොදන බලය නොහොත් ආවේගය ඉවසීම නම් පාලකය හරහා අප අතට ගතහොත් පමණක් වන බවද තේරුම් ගත යුතුය. අපට අවශ්‍ය පරිදි බලය යොදමින් ගමනේ බාධක ජය ගැනීමට වේගයේ අඩු වැඩිය නිසි විට භාවිත කළ හැක්කේ එවිටය.  සාර්ථක ජීවිතයකට අවශ්‍ය එය නොවේද?

Wednesday, October 24, 2012

හේ.

කෙහෙරැල්ලෙ

දැඟලිල්ලෙ

සුළැඟිල්ලෙ 

දැවටුනා

 

නෙත් ඇතුළෙ 

සිත පතුළෙ 

මොනවදෝ 

ලියවුනා

 

නොසිතාද

නොපතාද

කාළයක් 

ගතකළා

 

හැදිනගනු

නොහැකිවද

හද තලා

දුර ගියා 

 

එක් දිනක් 

තව දිනක්

දස වසක්

ගත වුනත්

 

තවම ඇයි 

මතකයේ 

රැන්දුනේ 

ඔය ලෙසින් ?

ඈ..

කෙහෙරැල‍් ලේ

  දැඟලිල් ලේ 

    සුළැගිල් ලේ 

      හිත දැවටුනා

                නෙත් ඇතු ළේ 

                  සිත පතු ලේ 

                    මො‍නව දෝ ‍

                      ලියවුනා

                                    නොසි තූ 

                                      නොපැ තූ

                                        කාලය ක් 

                                          ගතවුනා

                                                    හැදින ගත

                                                      නොහැකි සිත

                                                         අප ව

                                                            දුරකට කලා

                                   එක් දින ක්

                                       තව දින ක්

                                           දස වස ක්

                                              ගත වුනත්

                                                            තවම ඇයි

                                                                මතකයේ 

                                                                    රැන්දිලා

                                                                       මේ ලෙසින්

රස්ටාගේ ස්වරාජ්ජය සිහිනය

මෙය හැබෑ නොවන්නට දකින හීනයක් නොවේ. 

හැබෑවන්නට හැමදා පතන හීනයකි.

හිතින් ගතින් නන්නත්තාරව රස්තියාදු ගසමින් ස්වරාජ්ජයක් ගැන දොඩවන දාහක් දෙනා දැක මා කල්පනා කලේ ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කියන්නට පෙර මගේ ගතයි හිතයි මගේමයි කියල හොද සිහියෙන් යුතුව කියන්න අපට දැන් පුලුවන්ද කියන එකයි.

හිසේ ඉහළම කේශයේ සිට පයේ පහළම ස්ථානය දක්වා කවුරුන් හෝ අප වෙනුවෙන් වග කියන්නට සූදානම්. පූර්ණ විකල්ප රක්ෂනාවරණයක් ගෙන ඒ වෙනුවෙන් සල්ලි ගෙවා හිටියානම් මදෑ. එතකොට ස්වරාජ්ජය හරුපයක්ද? 

මට නම් මේ රස්තියාදුවෙන් මිදී මියෙනකම් මගේ ගතේ හා හිතේ රජා වන්නට ඇවැසිය. එවිට මා මගේ ස්වරාජ්ජයේය. එහි පාලනය කෙසේ වෙතත් පැවැත්ම උදෙසා යහ යාමනයක් කරගන්නටවත් හැකිනම්..

මට මගේ ස්වරාජ්යක් නැතිව වෙනකක් ගැන කවර කතා. ගතත් හිතත් රැකගන්නට බැරි මිනිහා තමන්ගේ රාජ්ජයක හිමිකරුවෙකු වන්නේ කෙසේද? ඔහුට දකින්නට වන්නේ ස්වරාජ්ජය සිහිනයක් නොව පරරාජ්ජය හීනයකි. තමන්ගේ සවියෙන් නොව අනුන්ගේ දහදිය කදුලින් යැපෙන එබන්දෝ ස්වරාජ්ජය හි‍මියෝ නොව, ස්වරාජ්ජය ලේබල් අලවාගත් පරරාජ්ජය හොරුන් පමණක්මය.

එබැවින් මගේ ස්වරාජ්ජය මට වේවා.. ඒ ස්වරාජ්ජයේ මිනිහෙක් වෙන්ට ඉතිං මට අවසරද? 

අවසරයි මට,

Friday, October 19, 2012

හලෝව් රස්ටා වටහාගත් කලාව

මුදල් හම්බ කරන්නට කලාවක් තිබෙන බව සැබෑය. එය හම්බ කිරීමේ කලාවයි. එහි රසවිදින්නට දෙයක් ඇත්තේ මුදලාලිලාට පමණයි.‍ ඉන් ඔබ්බේ සාමාන්‍ය මිනිහා රස විදින්නට රුචි සැබෑ කලාවයි. (මේ ඒ ගැන හලෝව් රස්ටා කියන කතාවයි.)

මිනිසුන්‍ උදෙසා කළ යුතු කලාව මුදල් උදෙසා කරන්නට යෑමෙන් අත් වන විනාශය කෙබදුද යන්නට හොදම උදාහරණ අද මෙහේ ඇත.

මිනිසුන් අතරින් ‍කිසිවක් නොදන්නා අයෙකු සේ ඇවිද යද්දී දැනෙන්නේ ඔවුන්ගේ මොට කළ ඒ රසඥානයේ දුගදයි. කොතරම් සුවද විලවුන් ගැල්වුවද ඒ දුගද මැකිය නොහේ. වරද කාගේද?

සංවේදී භාවයන් මොට කළ මිනිසුන්ගේ හදවත් අක්‍රීය වී මොළ පමණක් ක්‍රියාවේය. ඉදිරියට යන හැම පියවරකදීම පසුපසට පියවර කීපයක් තැබිය යුත්තේ මේ පිළිබද විමසුමටයි. නැතහොත් මේ වේගයේ ඔරොත්තු නොදෙන සීමාවේදී නොසි‍තන වේගයේ කැරකී මිනිසා මත් වන්නේ සදා වල්මත් වෙමිනි. 

සාම්ප්‍රදායිකත්වය මුල් කොට ගත් බොරුවෙන් තොරව ගත්විට නූතන ගමක කලාවක් වෙත්ද? 

ඥානනය උදෙසා කලාව මෙහේ අද තහනම්ද? ඒ උදෙසා ඉඩක් වෙත්ද? 

සමහර කලාවන් තුළ පරිවර්තන, අනුවර්තන වලින්ම යැපෙන්නට උත්සාහ ගන්නා නූත‍නයේ අනාගතයට යා හැකි ස්වතන්ත්‍ර නිර්මාණයන් වෙනුවෙන් කොතරම් ඉඩක්  මෙහේ ඇතිද? 

ඒ පිළිබද උනන්දුවක් ඇත්තේ කාටද?

ඔහේ කරන්නක් හෝ පණ්ඩිත ඇකඩමික් ආඩම්බරයේ හුදු තමන්ගේ අය පිම්බීම හැර මෙහේ රස්ටාව තුළ මතුවෙන සැබෑ කලාවකට ඉඩක් වෙත්ද? 

පරණ කලා කෘති හැර නූතන මානවයින් වෙනුවෙන් බිහිවෙන සැබෑම අලුත් අර්ථ දැක්වීම් වලට මෙහේ ඇති විචාර මොනවාද?

සරලවම මෙහේ නූතනය හා මුසුවිය යුතු කලාව පිළිබද හැඟීමක් කිසිවෙකුටත් නැති. ඇත්නම් ඒ බටහිර මත ඔස්සේ විග්‍රහයන්ට යන එහේ දේ මෙහේ කරන්නට උත්සාහ දරන්නන් පමණි. මෙහේ අලුත් යමක් නැත්නම් එහිත් වරදක් නැත. 

අපේ රට යනුද අපිට දැනෙන හුළගේ සිට ‍කොයි රටකත් මෙන් අනන්‍ය ලක්ෂන ඇත්තකි. ඒ ලක්ෂණයන් හා බැදෙමින් අපේ නූතන මිනිසාගේ ඥානනය උදෙසා කලාව යනු වෙනත්ම විධික්‍රම තුළ මතුවෙන්නක් විය යුතුය. එය හුදු අතීතය හෝ සම්ප්‍රදාය මතම පදනම් වෙන්නක් නොවේ. අතිශය සියුම් භාව විග්‍රහයන් තුළ නූතන අපේ මිනිසාගේ මනස ස්පර්ශ කරන්නක් විය යුතුය.  ඒ මනස හදුනාගෙන ඇත්තේ කව්ද? එයට මගක් වෙත්ද?

අද මෙහේ රසවින්දනය යනු බොරුවකි. රස විදින්නේ  තමන් නොව තමන්ගේ නොදන්නා කම හෝ නොතේරුම් කමයි. මෙයට පැහැදිලි වචනය මුළාවයි. රස විදීමක් නොව මුළාවීම රසය ලෙස ගන්නෝ බොහෝය. නිර්මාණ කරන්නෝ බොහොමයක් සේම රස විදින්නන් බොහොමයක්ද මුළාවේම තවත් විදීමට මං සොයති. එය සැබවින්ම විදීමක් නොව විදවීමට මං තනා ගැනීමක් බව ‍ඔවුහු නොදනිති. මුළාවේ ස්වභාවය එබදුය.

සරලවම ගත් විට නිර්මාණයක් යනු පූර්ණ සත්‍යක් නොවේ. නමුත් එතුළ සත්‍ය අන්තර්ගත විය යුතුය. ඒ සත්‍යයේ නිරූපණයන් උදෙසා නිර්මාණකරුවා විචක්ෂන විය යුතුය. එනම් තියුණු මෙන්ම සංවේදී විය යුතුය. සංවේදී විය යුත්තේද මුදලට නොවේ. සරලම වුව නිර්මාණයේ ගුණය දැකිය හැකි වන්නේ එය මිනිසුන් උදෙසා නිර්මාණය කරන විටය. මුදල් උදෙසා නිර්මාණ කරන විට මතුවන්නේ මුළා‍වන් බලගැන්වීමේ නිර්මාණ කරුවෙකි.

කලාව යනු මුළාවට මගක් නොවේ. කලා රසය තුළ ගැලෙමින්ම කෙනෙකු මුළාවට පත්වීම වෙනමම දෙයකි. එහි වරද පුද්ගලයාගේ මිස නිර්මාණයේ නොවේ. 

නමුත් මුදල මූලික කොට අඥ්+ඥානනය වෙත නිර්මාණ බිහි කිරීමේ ප්‍රතිඵලය සුළු පටු නැත. අප සිනාසී සැහැල්ලුවෙන් විදිනා ඒ මුළාවේ වන්දිය අනාගත පරපුර වෙත ගෙවීමට සිදුවන හෙට දිනයේ දී එහි බරපතළ කම නම් කාටත් දැනෙනු ඇත.

කලාවෙන් හම්බ කළ යුතුය. නිර්මාණකරුවාගේ ගිණුම තරවන විට රසවිදින්නාගේ ගිණුම හිස් වෙයි නම් එය සැබෑ ප්‍රශ්නයකි. නිර්මාණකරුවාගේ ගිණුම තරවන විට රසවිදින්නාගේ ගිණුමත් තර වෙනවානම් එහි ප්‍රශ්නයක් නැත. නමුත් ඒ ගිණුම් මුදල් අවලංගු කාසි නම්.. කිසිවෙකුටත් එයින් ඵල නොවනු ඇත.

හලෝව් රස්ටා වටහා ගත් මුළාව

මුළාව යනු විනාශයයි. ඒ විනාශය පේන මානයේ නැතිනම් නොපෙනෙන මානයේදී නියත උරුමයකි. මුළාවෙන් ඥානනයක් නැත. විනාශයට හේතුව එයයි.

මුළාවට වැටෙන්නේ කැමැත්තෙන් නොව නොදැනමය. හරියටම බොරුවලකට වැටෙනා පරිද්දෙනි.

ඇත්ත සොයන්නට, සොයා දැනගන්නට උවමනා නැති බොහෝ දනා මහත් විනෝදයෙන් මුළාවේ මග රස්තියාදු ගසන්නේ අන්‍යන්ටද ආඩම්බර පෙන්වමිනි. ගෙදර රූපවාහිනියේ සිට අපි සන්නිවේදනය කරගන්නා බොහෝ තැන් වල මුළාව දො‍්රේ ගලන්නේ කිසිදු බාධාවක් නොමැතිවය. එනිසාම අපි ඒ මුළා ජලයේ ගිලී ක්‍රීඩාවේ යෙදෙන්නේ මෙය බොහෝ ප්‍රීතිමත් දිය කෙළියක් යැයි සිතමිනි. නමුදු මේ ජලයේ ගිලී මියෙන්නෙට වෙන්නේ කුමන මොහොතේදැයි අප දන්නේ නැත. මුළාවේ විනාශය එබදුය.

අසාරේ මී විතක් කොට

සත්‍ය තලුගසා හපයක් කොට 

මී විතෙන් සැනහෙන කොට

හපයේ රසය නැති කොට

ඇත්ත නීරස කොට හපයක් පරිදි ඉවත ලා කිසිවෙකුටත්, කිසිකලකත් ජීවිතය දිනනු නොහේ සැබෑවට. හලෝව් රස්ටා වටහා ගත් පරිදි මුළාවෙන් සඟවන්නේ එබදු වූ හැබෑවකි.

Thursday, October 18, 2012

හලෝව් රස්ටාගේ නීතිය

පපුවට  අත තබා හදවතේ ක්‍රියාකාරීත්වය මැනගතිමි.

නළල රැලි කොට හිස් කබලට දැනෙන්නට හිස තද කොට ලිහිල් කළෙමි.

දෑත ඉදිරියට ගෙන ඇඟමැලි කඩා හොද හුස්මක් ගෙන සිරුර ලිහිල් කරගතිමි.

දැන් මූලික ක්‍රියාවලිය අවසන්ය, නීතිය ගැන කතා කළ යුත්තේ දැන්.

නීතිය නැමැති ප්‍රතිපදාවකින් යුතු රාමුවක් ජීවිතයට ඇවැසිමයි. නැතිනම් මිනිසෙක් ලෙස මේ ලොවේ රැදෙන්නට පහසු නැත. සතෙක් නොව මනසක් මෙහෙයවෙන සත්වයෙක් ගැනයි මේ කතිකාව.

ලෝක‍ය ගලා ගෙන යන අයුරට ඔරොත්තු දෙන්නා වූ, හදවතට එකඟ වන්නා වූ, බුද්ධියට එකඟ වන්නා වූ, තමන්ගේ ධාරිතාවයට ඔරොත්තු දෙන්නා වූ, අන්‍යන්ට හානිකර නොවන්නා වූ, ප්‍රතිපත්ති මාලාවක් නොහොත් තමන් විසින් තමන්ට පනවා ගන්නා නීති පද්ධතියක් මිනිසෙකුට ඇවැසිය. රටේ ලෝකයේ නීතිය රීතිය ගැන සාධාරණත්වය, යුක්තිය ගැන මිනිහෙකුට කතා කරන්න‍ට හැකි වන්නේ එවිටය. 

ලෝකයේ නීතිය, රටේ නීතිය මෙන්ම මගේ නීතියට මා වලංගු නැතිනම්, මා මඩේ හිටවූ ඉන්නක් පමණි. ගොන් බැදීමටවත් මා තරම් නොවේ. 

එබැවින් මෙසේ කියමි.

හලෝව් රස්ටාගේ නීතියට(ප්‍රතිපදාවට) මා වලංගුය. එය මගේත් ඔබේත් යපපත පිණිසමැයි.

රස්ට අමෘතය

ලොකු දේවල් ගැන ලොකුවට කයිවාරු ගහන ලොක්කන්ගේ අමෘතය නම් මෙය නොවන බව දනිමි.

බේ බද්දට බද්ද ගෙවා ගත නොහී මියයන්නටම පෙරුම් පුරන රස්ටාවන්ගේ අමෘතය ද මෙය නොවන බව දනිමි.

මගේ අමෘතය මෙයයි.

පිරිසිදු ජලය,

මා නිරෝගිව තැබූ ජලය, පිරිසිදු ජලය බොහෝ සෙයින් ‍මගේ රස්ටාවේ ඉන්ධනයක් වූවේය. තවදුරටත් ජලය, පිරිසිදු ජලය අපේ පැවැත්මේ මූලික සහකරුයි. පසුගියදා වැස්ස නැතිව හූල්ලා හැඬූ මිනිසුන්ට දැන් ජල ප්‍රශ්න නැත. යාතිකා කළ විට හැමදා අපට දෙවියන් වැසි වස්සනු ඇත. ප්‍රශ්නය පැමිණි තැනම එයට විසදුම් සෙවීමට සූදානම්ව හිදිනා අපේ රටේ ජල ප්‍රශ්නයට නැවත විසදුම් සොයනු ඇත්තේ ඊලඟ භයානක නියඟයේදීය. නැත්නම් මහා ගංවතුරේදීය. එතෙක් වැස්සේ තෙමෙමින් අපි ප්‍රීති වෙමු.

මෝඩයිනේ, මේ නුඹලාගේ කේතුමතිය ගැන සිහිකර ප්‍රීති වෙන්නට වේලාවයි. 

බුද්ධිමත් මිනිසුනේ, නුඹලාට හඬන්නට අවැසි නම් එමට කරුණු තිබේ. භාව විශෝධනය උදෙසා හඬන්න.

රස්ට මංගලම්

මංගල්ලේ ලොකුවටම කාලා, ඒක ගමටම කියලා, රටටම පෙන්නලා, ගන්න ලොකු ආසවක්‍‍.

චාරිත්‍ර ‍කොරලා, වාරිත්‍ර නොකළා, කාටත් පෙන්නලා, ගන්න ලොකු ආසාවක්.

පෝරුවටත් නැගලා, මංගලම් කියලා, මුද්දකුත් දාලා, තැල්ලකුත් බැදලා, ඉන්න ලොකු ආසාවක්.

කාටත් මතක හිට්ටවලා, එකට පේළියේ හිට්ටවලා, පොටෝ ගස්සවලා, පෙන්නන්න ලොකු ආසාවක්.

කවුරුත් නොකළා, අපි කළා, වෙනස්ව කළා, කොහොමද වැඩේ, කියන්න ලොකු ආසවක්.

සේරම ඉවර වෙලා, බෝතලුත් ඉවර කළා, සතුටත් ඉවර වෙලා, පාටිත් ඉවර කළා, හැමෝම ගෙදර ගියා, සියල්ල සතුටින් නිමා වෙලා, දැනෙන්න ලොකු ආසවක්. ‍

මඟුලට කලින් රස්තියාදු ගැන අපිට වැඩක් නෑ. මඟුල් අස්සේ රස්තියාදු ගැන අපිට වගක් නෑ. දැන් මඟුල අවසානයි. පතන්නේ අවමඟුල් තුරාවට සතුටින් සිටින්නට ඔවුන්ට හැකිවේවා කියා. මේ මඟුල වටින්නේ එවිටයි. අවසන් ඵලය ඵල දරන්නේ එවිටයි. 

මඟුල් ගොඩක රස්තියාදුවී සතුට ගැන හතරපාරක් සිතා බැලූවිට මේ බැව් පසක් විය. 

එනිසා කියමි, විවාහ ජීවිතය ඇත්තේ විවාහයෙන් පස්සේ...

Monday, October 15, 2012

රස්ටා හලෝව්

හිතන ක්‍රම විවිධයි. ආරෝහණව වගේම අවරෝහණවත් හිතන්න පුළුවන් විදිහක් තියනවා.

සරලව ඉන් අදහස් කළේ පුංචි සිතිවිල්ලකින් පටන් ගෙන ඒ වටා ලොකු දෙයක් ගොඩනැංවීම වගේම, ලොකු දෙයකින් පටන් ගෙන ඒක විශ්ලේෂනය කරගෙන ඒක ඇතුළෙ හැංගුණු පුංචිම සිතිවිල්ලටත් එන්න පුළුවන් කියන එක. 

ලෝකෙ ගො‍්ලෙන් පටන් ගෙන ඒකෙ තියෙන රට හොයාගන්නත් පුළුවන්. රටෙන් පටන් ගෙන ලෝක ගෝලේ දිහා බලන්නත් පුළුවන්.

කොයි පිළිවෙලට හිතුවත් ගමන්කරන්නෙ එකම පාරක් ඔස්සේ නේද? වෙනස පටන් ගන්න තැන පමණයි. හරියට ප්‍රධාන පාරේ ඉදන් නිවසටත්, නිවසේ ඉදන් පාරටත් එනවා යනවා ‍වගේ.

 

සමහර විට අපිට එකිනෙකා ගැන තේරුම් ගන්න බැරිවෙන්නත් මේ දේවල් බලපානවා. සමහරු එක්ක කටයුතු කරද්දි ඒ දේවල් දිරවගන්න අපට බැරිවෙන්නෙත් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න තියෙන බැරිකම නිසා.

අපි මුල ඉදන් කතා කරනකොට සමහරු අග ඉදන් කතා කරන්න ගන්නවා. කතා‍ව අහගෙන ඉන්න තරම් ඉවසීමක් නැති නම්, අපි හිතනවා එයාට තේරෙන්නේ නෑ කියලා. එයා හිතනවා අපිට තේරෙන්නේ නෑ කියලා. නමුත් අවසානයක් දකිනකම්ම බැලුවොත් කතා කරන්නෙ එකම දේ. වෙනස පටන් ගන්න තැන පමණයි. 

එනිසා වචන මතම යම් කිසි කාර්යයක් හෝ දෙයක් ග්‍රහණය කරන්න බැරි බවත් තේරුම් ගන්න වෙනවා. වචන, වචන ගැලපීමේ අනුපිළිවෙල විතරක් නොවෙයි, සමස්ථයේ ව්‍යුහය මොකක්ද කියන ‍එකත් යමක අන්තර්ගතය තේරුම් ගැනීමට යාමේදී වැදගත් වෙනවා.

 

සරලව ගත්විට බොහෝ වාග්මය හෝ ලිඛිත සදහන් තුළදී උදාහරණ මගින් කෙරෙන්නේත්, චිත්‍ර භාවිතයෙන් කරන්නේත් මෙවැනි දෙයක් නොවේද?

උදාහරණ තුළින් සිත තුළ මවන්නේ චිත්‍රයකි. අදාළ කතාවෙන් කියූ දෙයෙහි අන්තර්ගතයේ ව්‍යුහයට ගැලපුමක් කළ හැකි චිත්‍රයකි. එබැවින් චිත්‍රයකින් පසක් කරන්නේ ව්‍යුහාත්මක දත්තයන්ය බව කිව හැකිය. 

 

මේ දෙක එක්ව භාවිතා කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයන්ගේ ඇති රසයට හේතුවත් එයම නොවේද? ඒ තුළ අපට ඇති වන්නේ ප්‍රබල සංවේදනයක් නොවේද?

භාෂා භාවිතය අතරම එයින් නූපන් හැඟුම් එකවර කැටි කොට දැක්වෙන චිත්‍රයකින් එම භාෂා අර්ථයේ ව්‍යුහය ඉදිරිපත් කෙරෙන්නේය. එය කනින් ඇසූ දේ ඇසින් දැකීමකි. නැතහොත් ඇසින්ම දුටු දේ තවදුරටත් පැහැදිලිව දැකීමකි. ඒ දර්ශන අතර ගැලපුම පැහැදිලි ග්‍රහණයයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයක් වන සිනමාවේදී නම් අප දකින, අසන දෙය හා සබැදෙන හැඟුම උපදින්නට සැකසූ පහසු පසුතලයක්ද වෙයි. එබැවින් චලනය වීම ඔස්සේ වෙනස් වන රූප රාමු එකින්‍ එක ඔස්සේ සිතිවිලි පෙළ ගැසෙන්නේය. එනම් නූපන් හැඟුම්ද ඉපදෙන්නේය. යම් විටෙක එම හැඟුම් දෙබස් වී කියැවෙන්නේය. එමඟින් එම දසුනේ  ව්‍යුහය අපට තහවුරු වන්නේය. ඒ ඔස්සේ නිර්මාණය අපට ග්‍රහණය වන්නේය. එය සමබරව සිදු කෙරුණු තැනකදී අපි හොද රසවින්දනයක් ලබන්නෙමු.

 

මේ රස වින්දනය ලැබීමට නම් අපි ‍තුළ හොද ඉවසීමක් තිබිය යුතුය. හොද ඉවසීමක් තිබීමට නම් මනස සන්සුන් විය යුතුය. සිතේ පැහැදිලි බව මනස සන්සුන් කරයි නම්,.සිත පැහැදිලිව තබා ගැනීම අපේ වගකීමකි. සිත පැහැදිලිව තිබෙන්නේ අවුලෙන් තොරවූ විටය. අවුලෙන් නිරවුල් වීමට නම් ‍‍හි‍තේ එක එක දේ තියාගෙන බැරිය. හිතේ එක එක දේ රැදෙන්නේ, කසල ගොඩක් සේ උවනමා දේත් එපා දේත් එහි තිබූ විටය. එබැවින් කසල නිකලස විය යුතුය. සිතට එක එක දේ හිතෙන නිසා එතනට නුඋවමනා දේ පැමිණිය හැකිය. ඒවා ඉවත් කර ගත යුත්තේ ඒ හිතේ අයිතිකාරයාය. කසලෙන් වැඩ ගැනීමටත් සමහරු දන්නේය. එය පසෙක තිබුනාවේ... 

 

කසලෙන් නිකසල වීම ප්‍රථම කරුණයි. එය නිරන්තර අවශ්‍යතාවක් නිසා එ‍යට ක්‍රමවේදයක් තනා ගැනීම වටිනා වැඩකි. එවිට මට මතක් වන්නේ කම්පියුටරයයි. නිතර අනවශ්‍ය දේ ඩිලීට් කොට දැමීමට එහි තැනක් ඇත. එහි ඇති දේ ප්‍රතිචක්‍රීකරණයද අවශ්‍ය නම් සිදුකල හැක. බුද්ධිමත් මිනිසුන්ගේ වැඩක්,

 

රස්ටා වැඩ කළ හැකි කොම්පියුටරයක් නම් හලෝව් යනු රිසයිකල් බින් එකය. රිසයිකල් බින් එක නැවත පරීක්ෂා කොට කලබලයට ඩිලීට් වූ යමක් රිස්ටෝ කළ හැකිය.

පරිගනකයටත් වඩා කාර්යබහුල වෙමින් තිබෙනා එදිනෙදා දින දසුනේ අප නොදැන අපෙන් ගිලිහී යන වටිනා කම් බොහෝය. ඒවා ආසන්න කාලයකදී රිස්ටෝ කර නොගත හොත් පද්ධතියම රිස්ටෝ කර ගැනීමට දිනකදී ඔබට මට සිදුවනු ඇත. නමුත් අදාළ දිනක් දක්වා පද්ධතිය රිස්ටෝ කර ගැනීමට හැ‍කිවේදැයි මට නම් සැක සහිතය.

 

එම නිසා මගේ රස්ටාවට මා නිතර කියම්, හලෝව්..

Thursday, October 11, 2012

රස්ටා දකින රිfරැf(රස්ට) චක්‍රය

යථා ස්වභාවයට හිත හා බුද්ධිය ගලපා ගැනීම පහසු නැත. මේ දෙක අතර ගිවිසුම සදහා වීරිය නම් අවැසිමය. නැතිව අප කොතෙක් උත්සාහ කළද රිfරැf චක්‍රයෙන් මිදීම පහසු නැත.

යා දෙක නොරත රත, සමඟ පෑහීමක් නැත- කීවාසේ සමහර විට බුද්ධියේත් හද‍වතේත් එකඟතාවයට අදාළ හුදු කපටිකමෙන් තොර විග්‍රහය හදුනා ගැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකි නිසා ඒ දෙක නොපැහී මොළයේ අමාරුකමින් හෝ හදවතේ අමාරුකමින් පීඩා විදින රස්ටාවෝ නුතන හුදී ජනයා අතර බොහොමය. 

බොහෝ දෙනාගේ විග්‍රහය අනුව, බුද්ධිය හැඟීමට ලියාදීම හෝ හැඟීම සින්නක්කරයට බුද්ධියට පැවරීම රිසි දෙයක් වූවාට නිසි පිළියමක් නොවේ. හිතෙන දේ කිරීමේ උපරිම වීරියද බුද්ධිය හෝ හදවත නැති කල හුදු ව්‍යායාමයක් පමණක් බවද තේරුම් ගැනීම වටී.

 

කුමක්ද මේ චක්‍රේ?

සාමාන්‍ය සුප්‍රසිද්ධ පොතෙහි නැති රස්ටාගේ දැනුම් පොත පෙරළන කල දුටු චක්‍රයකි මෙය.

කුඩා කල සිට දැනුමත්, අධ්‍යාපනයත් ලබාගෙන සුදුසු වයසේදී අන්තඃ සාකච්ඡාවෙන් ගමන් දිශාව තේරුම් ගන්නා හදවත හා බුද්ධිය සාමාන්‍ය භාවිතාවේ යොදවාගන්නන්ට වඩා මේ අන්තඃ සාකච්ඡාවේදී බුද්ධියේ හෝ හදවතේ අංශය වැඩියෙන් ක්‍රියාත්මක වීම නිසා මේ එක් හෝ අංශයක වැඩි භාවිතාවක් ඇත්තෝ මේ රස්ට චක්‍රයට බොහෝ සෙයින් අසුවන්නෝය.

සරලව කීවොත් හැඟීම් බර හිතට අවංකයෝද, බුද්ධියට බර අහිංසකයෝද බොහෝ සෙයින් මේ ගොන්නේ සිටිති.

අවිහිංසකත්වය - බුද්ධිය - හැඟීම - හදවත ලෙසින් මේ චක්‍රය දෙපසටම කරකැවෙන්නේය. මේ චක්‍රයට වැටුණු විට රස්ටාව පමණක් සිදුවන්නේය. කෙළවරක් නොමැතිව කාලයක් ඉසව්වක් නොමැතිව ජීවිතය ඇදී යන්නේය. 

 

චක්‍රය බිදින්නේ කෙසේද?

අංගුලිමාල සිතු දෙයින් අඩක්වත් සිතිය යුතුය. මම දුවන්නේ ඇයි? කොහෙද? ගමනාන්තය කොහේද? 

සරල ලෙස කියන ශුද්ධ රස්තියාදුව නම් එයයි. දුවන්නේ කොහේද දැනගෙන දුවමු. දුවන්නේ ඇයි කියා දැනගෙන දුවමු. ගමනාන්තය දැනගෙන දුවමු.

තවත් දෙයක් එකතු කළ යුතුය. දිවීමේ වේගයද දැනගෙන දුවමු. 

රස්ටාගේ වැඩ පිළිවෙත

මෙය පාරිභාෂික යෙදුම් සහිත දර්ශන මාන උගත්තුන්ගේ පරිකල්පනයට අතිශයින් සරල සාමාන්‍ය රස්ටා යෙදුම් තුළ අවබෝධය පිණිස බැව් සැළකුව මනාය.

 

හදවතක් නොමැති කල මිනිසෙක් තවදුරටත් ඉතිරි නොවේ.

මොළයක් නොමැති කළ මිනිසෙකුට තවදුරටත් පැවැත්මක් නොවේ.

මව සහ පියා ලෙසින් හදවතත් මොළයත් අපව ඉදිරියට රැගෙන යනවා නොවේද? මේ දෙදෙනාගේ සමබරතාව කුටුම්බයක් යහපත් කරන්නේ යම් ලෙසකින්ද හදවතත් මොළයත් සමබර වූ විට ජීවිතයේ ප්‍රබලතාවය මිනිහා ඉදිරියට ඔසවන්නේය.

හදවත මරා මොළයෙන් ලොව ජගන්නට තනන මිනිසා ඉතා ඉක්මණින්ම විනාශයට එකතුවනු ඇත. බුද්ධියට පිටුපා හදවතින් පමණක් ලොව ජය ගත් මිනිසෙක්ද නැත.


එබැවින් හදවතෙහි ඵලය වූ හැඟීමද, මොළයෙහි ඵලය වූ බුද්ධියද සමබර කරගැනීම රස්ටාගේ පිළිවෙතයි. හිතේ රස්තියාදුවද, ගතේ රස්තියාදුවද එකට කලතා පෙරා ශුද්ධ කොට ගන්නේ එනිසාය.

තිත්ත වුවත් ඒ ශුද්ධ පානය අපහසුවෙන් වුව බොන්නට උත්සාහ ගන්නේ ජීවි‍තයේ රෝග නිවාරණය සළකාය.

Tuesday, October 9, 2012

රස්ටාගේ ලංකා විග්‍රහය හා කාල රාමුව

මෙය නූතන කිරුම් මිනුම් ලෝකයේ දශමයටම ගණනයන් සිදුකරන පඩිවරුන්ගේ විග්‍රහයකට අතිශයින්ම අනුකූල නොවන ඉතාම සරල මුත් රස්ටා මිනුම තුළ නිවැරදි විග්‍රහයක් බව සැලකුව මනාය.  

 

1933... , 1944... , 1955... ස් ගණන් වල අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තිබුණේ දැනුමේ අඩු කමකි?

1966... , 1977... , 1988... ගණන් වල ‍අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තිබුණේ අධ්‍යාපනයේ අඩු කමකි?

1999... , 2000.. , 2011... ගණන් වල අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තිබූණේ සාකච්ඡාවේ අඩු කමකි?

මේ එක් එක් කාලයන්හිදී රටේ යම් යම් දැන උගත් හෝ බුද්ධිමත් ගුණවත් උදවිය සාමාන්‍ය ලාංකිකයාගේ  මේ අඩුපාඩු කම් සැපිරීම උදෙසා කටයුතු කළෝය.

 

මින් ඔබ්බට අපට අවශ්‍ය කුමක්ද? 

 

දැනුම අඩු කළ දැනුම සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

දැනුම ලැබුණු විට අපි දැනුමෙන් වැඩ ගන්නට උගත්තෙමු. හරියට ඉඩමක් නැති අපට ඉඩමක් ලැබුනා බදුය.

 

අධ්‍යාපනය අඩු කළ අධ්‍යාපනය සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

අධ්‍යාපනය ලැබූ කල අපි අධ්‍යාපනයෙන් වැඩ ගන්නට උගතිමු. ඒක හරියට ඉඩමක් තිබුණත් මුදල් නොමැති මිනිහාට ගොඩනැගිලි ද්රව්ය තොගයක් ලැබුනා බදුය.

 

සාකච්ඡාව අඩු කළ සාකච්ඡාව සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

සාකච්ඡාව සිදුවුණු කල අපි විවිධ මති මතාන්තර තුළින් පෝෂණය වුනෙමු. හරියට ප්ලෑනක් ඇද ගන්නට නොලැබුනු කල ප්ලෑන් ගණනාවක් අතටම ලැබුනා බදුය.

 

 එසේනම් දැන් අපේ අඩු කම කුමක්ද?

අනුක්‍රමයෙන් ගත්විට දැනුම නැමති භූමය අපි සපයා ගෙන සිටිමු. අධ්‍යාපනය නැමති ‍ගොඩනැගිලි ද්රව්ය අපි සපයාගෙන සිටිමු. සාකච්ඡාව තුළින් සුදුසු නිවාස සැලසුමක් අප තනාගෙන යන්නෙමු.

දැනුමත් තිබේනම් , අධ්‍යාපනයත් තිබේනම් , සාකච්ඡාවත් සිදුකරන්නේ නම් , මා කියනා මේ සාමාන්‍ය මිනිසා ඉන් ඔබ්බේ පිය නගන්නේ කුමන ඉසව්වකටද?

 භූමියක් තිබූ පමණින්, අමුද්රව්ය තිබූ පමණින්, සැලැස්මක් තැනූ පමණින් සුදුසු නිවහනක් ඉදි නොවන බව ඔබට අමුතුවෙන් කීමට තරම් උවමනාවක් නැත. දැන් තිබෙන්නේ සුදුසු කාල රාමුවක් ගොඩ නැංවීමයි. ජීවිතය නැමති නිවහන ගොඩනැංවීමට සුදුසුම කාල රාමුවක් සකසා ගැනීමයි. 

 

නිවෙස වගේම ලෑන්ඩ්ස්කේපින් ගැනත් අමතක කරන්නට නොහැකිය. මන්ද ජීවිත නිවහනට සොදුරු වටපිටාවක් අවැසිමයි.