Saturday, November 3, 2012

වැරදි හා මිනිස් ගතිය(මෝඩ කමෙන් මිදීම)

මිනිස් ගතිය වැරදි කිරීමද? 

එහෙම දෙයක් කතාවට කීවාට එහෙමම කිව හැකියයි මම නම් නොසිතමි. නමුත් වැරදි කිරීම නොව වැරදි සිදුවීම මිනිස් ගතියක් විය හැකිය. එය මිනිස් මෙන්ම සත්ව ගතියක්ද වනු ඇත. නමුත් මිනිසාට තව පියවරක් ඉදිරියට තැබිය හැක. එනම් වරදක් සිදුවූවා යැයි හදුනාගත්තේ නම් හැබෑවටම එය පිළි ගැනීමයි. මිනිස් ගතියක් යැයි කටපුරා කිව හැක්කේ නම් එබන්දකි. එහි අදහස මිනිස් ගතිය යනු වැරදි කිරීම නොව වැරැද්ද පිළිගැනීම යන්නයි. 

වරද පිළිගැනීම පමණක් ප්‍රමාණවත්ද?

වරදක් සිදුවූ බව තේරුම් ගත් විය නිවැරදි වීමට මිනිසෙකුට ‍ඕනෑ තරම් අවකාශ ඇත. එහිදී නිවැරදි වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ කපටි කමකි. වරද පිළිගෙන ඇත්තේ ජාම බේරා ගැනීමටය. එවිට ඔහු හෝ ඇය අයත් ව‍න්නේ දැන දැන වැරදි කරන ගනයටය.

සිදුකළ යුත්තේ පසුතැවීමද?

පසුතැවෙමින් හිටියාට අත්වන ඵලක් නැත. සිදුවූ වරද පිළිගෙන එය නිවරද කර ගත හැකිනම් එතැන ඇති වන්නේ පසුතැවීමක් නොව ඉදිරි ගමනකි. වැරැද්දෙන් ඉගෙන ගන්නවා යනු එයයි. මිනිසුන් මෝඩකමෙන් මිදෙන්නේ එවිටයි.

වැරදි ගැන කිය කියා, වැරදි කරුවන්ට දොස් නැගමින් හිදීමම ඵලක් ‍ඇති දෙයක් නොවේ. වැරැද්ද ගැන විචාරිය යුත්තේ වැරැද්ද හදුනා ගැනීමට මිස, එය නිවරද කර ගැනීමට මිස අන් කුමකටද? දියුණුව හෝ පරිහානිය ඒ මත රැදෙනු ඇත.

ජීවිතයේ දී ගතින් හා ඊටත් වඩා හිතින් මා ගැසූ රස්තියාදු බොහෝය. ශුද්ධ සිතින් ඒ රස්තියාදු සිද්ධ වූයේ ජීවිතය ඉගෙනීම සදහාය. හලෝව් රස්ටාවකට මා පිවිසෙන්නේ එතැනිනි. හිත ශුද්ධ නිසාම මම කළ වරදක් ඇත්නම් එය පිළිගැනීමටත්, නිවැරදි වීමට මෙන්ම අවශ්‍ය නම් දඬුවම් විදීමටත් මම සූදානම්ය. හැබැයි ඒ යුක්ති යුක්තභාවයක් තුළය. සාධාරණත්වය මතය.

රස්ටාව හලෝව් විය යුත්තේ ඉදිරි ගමනක් වෙනුවෙනි. හලෝව් රස්ටාව යනු සාධාරණ, යුක්ති සහගත මනසකි. චින්තනයකි.

No comments: