Saturday, November 17, 2012

උත්තමාචාරය(100%)

ටියුෂන් හා ගුරු රැකියාව යන පරතරය ආරම්භ වූයේ අප යුගයටත් පෙරයි. අප යුගයේ ඒ පරතරය යම්තාක් වැඩිව තිබුනි. එබැවින් සැබවින්ම ගුරු භූමිකා අප මතකයේ රැදෙන්නේ පැරණි යුගයේ අයට වඩා අඩුවෙනි. එයින් අදහස් වන්නේ ගුරුන් අමතක කිරීම හෝ අවතක්සේරුව නොවේ. යුගයේ වෙනසයි. ගුරු භූමිකාවේ නවතාවයයි. ගුරු සිසු බන්ධනයේ ස්වභාවයයි.

එහෙත් තරුවක් බදුවූ එක් ගුරුවරයෙක් මගේ ජීවිතයේ යම් බලපෑම් සහගත චරිතයක් වන්නේ ඔහුගෙන් මා ගුරු භූමිකාව ඔස්සේ දුටු විශිෂ්ඨ ගුණාංග නිසාමය. ‍

ඒ කතාව මෙතැන් සිට,

 ප්‍රාථමික අංශයෙන් ඇරඹෙන තාර දැමූ පාර විද්‍යාලයේ ඡේෂ්ඨ අංශය දක්වාම මීටර දෙසීයක පමණ දුරක් අප පාසල තුළට දිවෙන්නේය. නිතිපතා අනෙක් දරුවන් ගේට්ටුවෙන් ඇතුළුව පයින්ම පාසල තුළට එද්දී අප පාසලේම ඉගෙනුම ලබන තම දරුවන් මොටෝ රියෙහි නංවාගත් ගුරුවරුන් විද්‍යාලය තුළටම ඔවුන්ව ගෙනගියේ විශේෂ වරප්‍රසාදයකින් මෙනි. එබැවින් ප්‍රමාද වී පැමිණියත් 'ගුරු දරුවන්ට' ලොකු ගැටළුවක් තිබුනේ නැත. නමුත් ඔවුන් ගුරුවරුන් නිසාම කිසිවෙකු ඒ ගැන ප්‍රශ්න නගන්නට නොගියේ එය ඔවුන්ට ලැබෙන සැළකිල්ලක් සේ සළකමිනි. 

නමුත් මා කියන්නට යන ගුරුභවතා කිසිදු දවසක තම දරුවා සිය වෑන් රියෙන් පාසල තුළට ගෙනආවේ නැත. ඔහු ප්‍රමාද වී පැමිණියද තම දරුවා විද්‍යාල ගේට්ටුව අබියස බස්සවන්නේය. එවිට ප්‍රමාද වී පැමිණියොත් ඔහුද ඒ දිනවල ප්‍රමාදව පැමිණෙන්නන්ට දෙන දඬුවමට යටත්ය. මම පළමු පන්තියේ සිට උසස් පෙළ දක්වා එකම විද්‍යාලයක සිටියෙක්මි. තමන්ගේ රියෙන් පැමිණ නිතිපතා දරුවා ගේට්ටුවෙන් බස්සවා පැමිණි වෙනත් එබදු ගුරුවරයෙකු මගේ විද්‍යාලීය මතකයේ නැත.

ඔහුට කිසි දිනක පන්තියේ විශේෂයින් සිටියේ නැත. දක්ෂතා හෝ ගුණයෙන් මිස වෙනත් ක්‍රම වලින් ඔහු සිසුන් කිසිවෙකු ඔසවා තැබූවේද නැත. දිනක් ඔහු අපේ පන්තියේදී මට නැගිටින්නට කීවේය. නම විමසුවේය. මම නම පැවසුවෙමි. "ලස්සන නමක්" යැයි කී ඔහු "මං ඒ ළමයාගේ යම් විශේෂත්වයක් දකිනවා" යැයි කීවේය. පසුව ශුද්ධ සිතින් අනේක රස්තියාදු ගැසුවද ඒ දිනවල චණ්ඩි රෑනක් සිටි අපේ පන්තියේ මා බොහෝ සෙයින් අහිංසක තැන්පත් අයෙකුගේ ලකුණු වලින් යුතුවීම එසේ කීමට හේතුව බව මම පසුව වටහා ගතිමි. කිසි දිනෙක පාසලේදී මගේ මේ සැඟවුනු සාමකාමී ගුණයට ඇගයීමක් නොලැබූ මම සැබවින්ම ඒ වචන කීපයෙන් මහත් දිරියක් ලද්දෙමි. ඔහු සිසුන්ට වගකීම් පැවරුවේ ඔවුන් ගේ දියුණු විය යුතු ගතිගුණ හදුනා ගෙනය.  ඉතාම සමානාත්ම තාවයෙන් කා සමඟත් කටයුතු කළ ඔහු බෙහෙවින් නිවුණු ස්ථිර ගුණයෙන් යුතු පුද්ගලයෙකුගේ ලකුණු පළ කලේය. ඇත්තෙන්ම ඒ දිනවල එතුමාගේ ආදර්ශය බෙහෙවින්ම මගේ සිතේ පැළපදියම් වී තිබිණි. අපේ බොහෝ ගුරුවරු අපිට ඉගැන්වූයේ හොද පිළිබද මුත් ක්‍රියාවේදී බොහෝ දෙනා සිටියේ ඒ හොදම තත්වයේ නොවේ. නමුත් එහෙව් ආදර්ශවත් චරිතයක් දකින්නට ලැබීම ම‍ට අදටත් දනවන්නේ සතුටකි. වචන දෙකක් නැති, කුහක කම් නැති, අන්‍යන්ගේ දොස් හෝ කට වාචාලකම් නැති සැබවින්ම ප්‍රසන්න චරිතයක් වූ එතුමා සාමාන්‍ය ගුරුවරයෙක් ට වඩා උසස් මිනිසෙක් ලෙසින් මට දැනිණි. "මම වෑන් එකේ එන්නෙ කීප දෙනෙක් එක්ක එන්න ඕන නිසා. නැත්නම් පුස් බයිසිකලේ එන ‍එක වඩා හොදයි, පරිසර දුෂණයත් නැතිව." එතුමා අප පන්තියේදී දිනක් පැවසුවේ හුදු කතාවටම නොවේ. කතාව අවංකවම බව අපට දැනුණි. 

අපේ පන්තිවල හොද ව්‍යාපාරික මහතුන්ගේ දරුවෝ සිටියෝය. මෙහේ බොහෝ දෙනාගේ ගිජුකමට එවැන්නන් අත වැනීමක් වුවද තමන්ගේ ගුරු කමෙන් තමාට හෝ තම දරුවාට හෝ අනිසි වරප්‍රසාද ගන්නට එතුමා කිසිවිට කටයුතු කරනවා අපි නොදුටුවෙමු. මගේ පියා මෙන් එතුමා මගේ සිත් ගත්තේ එබැවිනි. ටියුෂන් පවත්වන්නට කිසිදු උවමනාවක් නොදැක්වූ එතුමාගේ දක්ෂතාව නිසාම සිසුන්ගේ ඕනෑකමට ටියුෂන් එකක් කළ බව මතකය. එයත් මුදලට වඩා සිසුන්ගේම පෙරැත්තයටය. ඔහු අනවශ්‍ය වදනක්වත් කටින් පිට කරනවා මට මතක නැත. එතුමාගේ මේ චර්යාවට සිසු ගෞරවයද ඉහළින්ම ලැබුණි. කිසිවෙකුට එතුමාට ඇඟිල්ලක් දිගු කිරීමට ඉඩක් නොවීය. එතුමා එතරමටම නිවැරදි විය. ජේත්තු පෙනුමක් තිබුනත් ඔහු ගේ ඇදුම පැළදුමද සරලය. ඒවා සැබෑ ගුරුවරයෙකුගේ අල්පේඡ්ච භාවයෙන් යුතුවිය. ඒ වන විටත් යන්තම් මැදිවිය එළිපත්තේ සිටි නමුත් ප්‍රසන්න භාවය නිසාම එතුමා තරුණ ගතියෙන් අපට පෙනුණි. මා දන්නා තරමින් අදටත් එතුමා ඒ ප්‍රතිපදාවේම ජීවත් වන්නේය. ඉද හිට අදද මා බසයේ යද්දී එතුමා මෝටර් බයිසිකලයක් මත සැහැල්ලු ගමනක මම දකිමි. 

ඔහු ප්‍රසිද්ධ කෙනෙක් නොවේ. නමුත් නිවට ප්‍රසිද්ධ මිනිසුන් දාහකට වඩා එබදු එක් නිහඬ මිනිසෙකු සමාජයට වටින්නේ නොවේද?  ඔහුගේ සේවය හැමටය. නිවරද දේ සමඟය. දිනක් බොරු චෝදනාවක් කළ සිසුවෙකුට ඔහු දුන් කම්මුල් පහර අදත් මා මතකය‍ට නැගන්නේ එනිසාය. තම දෙමාපියන් ඉදිරියේදීම පහර කෑ සිසුවා නිරුත්තරය. බොරුවට අත්වන ඉරණම එයයි.

 මේ ගුණ ගැයීමක්ම නොවේ. ආදර්ශයක්ය. නමුත් ගුණ ගැයිය යුත්තන්ගේ ගුණ ගැයීම පමණක් නොව වැයීමේද වරදක් නම් නැත. ඒ ගුණ කිසිවිටකත් ගුණයක්ම මිස නුගුණයක් ලඟා නොකරන බැවින්ය. එබැවින්ම ඒ සිත්ගත් ගුරුවරයාටත්, අප දැන හෝ නොදැන අපේ යහදැනුම වැඩුමට මං තනන දහසක් ගුරුන්ටත් පින්සිදු වේවා. ඔවුන් සැමදා දිනේවා... මගේ පරම පැතුම එයයි. 

ඔවුන්ගේ අගය අදට වඩා මතුවට අපට දැනේවි.

No comments: