Thursday, November 29, 2012

රොබොට් / ඩමි, නොවනු පිණිස

මිනිස් කුලේ එකෙකු වූ ඔබේ වටිනාකම අනන්තයි. 

ජීවිතය තුට්ටුවට විකුණන්න එපා. ලෝකයේ ලොකුම ලංසුවට විකුණන්නත් එපා.

දක්ෂතාවයෙන් හැකියාවෙන් ඵල ගන්න. 

ඔබ අත්හැරියොත් ඔබව, කිසිවෙකු නෑ ඔබව අල්ලා ගන්නට. 

අවසානයේ ඔබටත් බෑ ඔබ අල්ලන්නට. 

අල්ලා ගන්න ඔබ ඔබවම.

දැන්ම.

සටන් කරන්න ඔබ සමඟ.

මිනිසෙක් වනු පිණිස.

සැබෑ මිනිසෙක් වනු පිණිස.

එවිට යම් දිනෙක හැකිවනු ඇත, මිනිසෙක් විලස මියෙන්නට.

නාමික මිනිසෙක් නොව සැබෑ මි‍නිසෙක් ලෙසම.

ඔබ හදුනනවාද සැබෑ මිනිසා?

හදවතට කන්දී අසන්න.

නෑසේද ඔබට?

සොයන්න, බලන්න.

නිසැකවම ඔබ තුළ සිටිනු ඇත.

එන්න හැංඟුනු තැනින් එළියට.

එන්න පෙරට.

ඔබට බියේ, සැඟවුනු මිනිහා අවදිකොට.

වේදනාකාරී වර්තමානය(විභාග)

ඇත්තටම සුන්දර අතීතයක් ගැන මතකයේ තිබුණ නිසයි  වර්තමානයේ වේදනාකාරී බවක් දැනෙන්න ගන්නෙ. ඒ නගරාසන්නය ගම තරම් නිදහස් නොවන නිසා. ඒ මතකය වර්තමානයෙන් ඒමත් මගේ වරදක් නම් නෙවෙයි.

හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන සබදකම් දකින්න වෙන්නෙ නගරෙ කිට්ටුව. එහෙම කිව්වට මේ කියන සබදකම් හදවතින්ද බුද්ධියෙන්ද කියල ඉරි ගහල වෙන් කරන්න බෑ. නමුත් ඒ බව දැනෙනවා. මරණ ගෙයක්, ශ්‍රමදානයක් වගේ තැන්වල දකිනවා, පේනවා. ඉතින් සුන්දර මතකයකට වේදනාබර දේ එකතුවෙන්නෙ හදවත ගල් කරගෙන වැඩ කරන්න සිද්ධ එතකොට.           ඒත් ඒක නම් මෙහේ පැවැත්මේ ක්‍රමය, දොස් කියනු කාට. සමහරවිට සමහර තැනක එහෙම හිතෙනවා. නමුත් තවත් ටිකක් හොදින්, මේ සිද්ධ වෙන දේවල් දිහා අවධානයෙන් බැලුවොත් දකින්න තියන ඇත්තම ප්‍රශ්නය ඒක නොවෙයි. පරණ ගමේ වගේ එකම තැනින් නොආපු විවිධ පැති වලින් ආපු අය අතරෙ විශ්වාසයක් ලෙහෙසියකට ඇති නොවනවා වගේම, බොරු ලොකුකම්.. තරඟය..         ඇත්තටම නගරයට සංක්‍රමණය වීම කියන සංකල්පය තුළම මිනිස්සු හදාගත්ත බොරු සංකල්ප ගණනාවක්ම නොදැනීම මේ පීඩාවන් ගෙනත් දෙනවා. උගත් කියා කියන සමාජ තුළ තියෙන ණයට ගත්  සංකල්ප වලට බලෙන් රිංගන්න යෑම දැන හෝ නොදැන මහා ප්‍රශ්න ගණනාවක ඇරඹුමක් වෙනවා. ඊට පස්සෙ ජීවිත කාලෙම නොදැනම දා ගත්ත ඒ ප්‍රශ්න විසදගන්න කියල විදවගන්නවා. 

බොරුවට පයින් ගහන්න තියෙන අකමැත්ත, බය වගේම අවිශ්වාසයත් නිසා නගරයේ බොහෝ දෙනාගේ වර්තමානය වේදනාකාරී වී තිබෙන බව පේනවා. එළියට නොපෙනෙන හිත් පොත් කොච්චර හංගන්න හැදුවත් ඒව සමාජයේ ශුද්ධ රස්තියාදු ගහන ඕනම කෙනෙකුට පෙනෙනවා. 

ඉතින් අපේ වෙදමහත්තුරු වටිනා බෙහෙත් හොයන්න කැලේට රිංගනවා වගේ ඒ උදවිය තමන්ගෙම අතීතයට පොඩ්ඩක් රිංගලා බලන්නෙ නැත්තේ ඇයි? ඒ කැලේ හොද බේත් ඇති බවට විශ්වාස නැද්ද? තමන්ට තමන් විශ්වාස නැතිද? එහෙනම්, ‍එහෙම වුනේ ඇයි? මෙහෙම ගියොත් නම් හැමදාම අනුන්ගෙන ටියුෂන් ගන්නවා මිස වර්තමානේ නැමැති විභාගේ ලියා ජය ගන්නට නම් නොහැකි වනු ඇත.

උත්තර තිබෙන්නේ තමන් තුළමය යන්න මගේ අදහසයි. එහෙම කියන්නේ තමන් මුහුණ දෙන ප්‍රශ්න තමන්ම හදාගත්ත ප්‍රශ්න නොවේදැයි දකින්නට ඇති නිසා. එහෙනම් මගේ ප්‍රශ්න වලට උත්තර තිබෙන්නේ මං ළඟ වගේම ඔබේ ප්‍රශ්න වලට උත්තර තිබෙන්නේ ඔබ ලඟ. ඒ හින්දා කියන්න වෙන්නේ අනුන් කොපි කිරීම අසාර්ථකයි කියන එක. හැබැයි තව කෙනෙකුගෙන් ඉගෙන ගැනීම නම් අසාර්ථක නෑ. ඒත් ඒ ඉගෙනීම කළ යුත්තේ ඔබයි. උත්තර දැනගත්තාම විභාගය වේදනාකාරී නොවේවි වර්තමානය සේම. 

සුන්දර අතීතය(පාඩම්)

පොත පතේ කියවෙන හැටියටත් වියතුන් කියන හැටියටත් නම් ඕනෑම මිනිස් සමාජයක පරම්පරා අතරේදී සුන්දර අතීතකාමයකින් කතා කිරීමක් තිබෙනවාලු. වර්තමානයට හා අනාගත පරම්පරා වෙත දොස් පැවරීමක් සිදු කෙරෙනවාලු.

අපි තවම වයසක උදවිය නෙවෙයිනේ, නවසිය අග ගණන් වල අය. ඒ නිසා මෙතන පරම්පරා ප්‍රශ්න නෑ. හැබැයි තාක්ෂනයත් එක්ක ලෝකය මුහුවෙලා. වෙනස්වන වේගය වැඩිවෙලා. ඒක නිසා ඊයෙත් අදත් අතර සිදුවුන වෙනසකම් වගේම තත්පර දෙකක් අතරේ වෙන්න පුළුවන් වෙනසකම් ප්‍රමාණෙත් ගොඩක්ම වැඩි බව දැනෙනවා.

කියන්න යන‍්නෙ ඒ ගැන නෙවෙයි, ඒ නිසා පසෙක දමමු ඒ කතා, මේ කියන්නේ සුන්දර අතීතයක් ගැන. හැබැයි ඒ කතාව අතීතයෙන් එන එකක් වීම මගේ වරදක් නම් නොවෙයි. 

සියලු සිදුවීම් පැයෙන් පැය වර්තාවෙන, තොරතුරු වලින් පිරුණු ලොවක් මෙහේ මීට අවුරුදු විස්සකට පෙර තිබුණේ නැහැ. මම හිටියෙ අපූරු ගමක ඒ කාලෙ. වයස අවුරුදු දහයක් නැති තරම් මට. අපේ අවට හිටිය තරුණ, ළමා රෑනක්. ඒ මේ කොයි කවුරුත් අපි යාළුවෝ. සෙල්ලම් කරන්න ගියාම ආපහු ගෙදර එන්නෙ නැති තරමට වත්තෙ පිටියෙ, කුඹුරු කපපු කාලෙට කුඹුරෙ. එහෙදි තමයි මම බොහොම පරණ සෙල්ලම් වගේම හිතේ හැටියට සෙල්ලම් කරන්න පුරුදු වුනේ. 

අවුරුදු කාලෙට ගමේ අවුරුදු උත්සවේ කළේ තරුණ අය එකතු වෙලා. ළමා අපි එකතුවෙලා කරපු පොඩි පොඩි අපේම උත්සවත් නොතිබුනා නොවේ. ඒව කළේ සැබෑම සතුටෙන් මිස බලෙන් සතුටක් හදාගන්න නොවෙයි.     සරුංගලේ වගේම උණබට තුවක්කුව හදන්නත් මම පුරුදු වුනේ එහෙදි. අපිට හදාගන්න බැරි තැනදි ඒවට උදව් වුන පොඩි ලොකු අයියල රෑනක් අපට හිටිය. තර‍ගෙට ගමින් ගම තරඟ තිබ්බෙ ඔට්ටුවටම නෙමෙයි. දාම් අදින්න විතරක් නෙවෙයි, අපි නොදැන හිටිය ගුඩු චක්ගුඩු අපි කලේ කොහොමද, ඒ වගේ සමහර අය කජුත් ගැහුවා. ඔළිද පුවරු හදාගෙන ඒවයින් සෙල්ලම් කළේ ඇත්තෙන්ම හරිම නිදහසකින්.        කොහොම වුනත් එහේ ස්ථිර පදිංචි කරුවෙක් නොවුන මම අපේ ගෙදර අයත් එක්ක ‍එහෙන් ආවෙ මට වයස ‍එ‍කොළහක් දොළහක් වෙද්දි. එන්න කැමැත්තක් නොතිබුනත් එහෙන් එන්න වුනා. කාලය ගත වුනා අවුරුදු ගණනකින්. අවුරුදු පහළොවක් දහඅටක් විතර කාලය ගතවෙලා. දැන් ඒ ගම එතැන නෑ. නම පමණයි.

අතීතය පාඩමක් කියල හිතෙන්නෙ අපි ගොඩනැංවීම ඒ මත සිදුවන නිසා. ඒ පාඩම ගමක් වෙන්නත් නගරයක් වෙන්නත් නැත්නම් වෙන රටක් හරි තැනක් හරි වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් ඒ අපේ ගතවුනු ජීවිතයේ කොටසක්. අපේ මත‍කයේ කොටසක්. ඒක සුන්දර එකක් නම් ඉගෙනගත්ත පාඩමුත් බොහොම සුන්දර වෙන්න පුළුවන්. එහෙම වුනාම අතීතය ගැන මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ අත්දැකීම් වලින් ගොඩක් වැඩ ගන්නත් පුළුවන්.

 ඒත් හැම දෙනාගෙම අතීත මතක සුන්දර වෙන්නෙත් නෑ, ඒත් ඒ අතීත මතක ඇතුළෙ රස්තියාදුවක් ගහල ඒක ශුද්ධ කරන්න ගත්තොත් වැරදුනු තැන් හදාගන්නත් පාඩම් ගොඩක් ඒ මතකයේ නැතිවෙන්න නම් බෑ, නේද? මං හිතන්නෙ නම් හැම දෙනාටම හොදින්ම ඉගෙන ගන්න පුළුවන් තමන්ගෙන්මයි.

Tuesday, November 27, 2012

සුළඟට ළෙලෙනා(ස්ථාවරේ)

ස්ථාවරේ කියන්නේ හෙලවෙන්නෙම නැති දෙයක්ද? ඒක දෙදරන්න, කැළඹෙන්න බැරි දෙයක්ද?

මං ඒ ගැන තේරුම් ගත්ත සරල විදිහයි මේ,

මොන සුළං ආවත් මගේ ස්ථාවරේ - මොන කැළඹිල්ල ආවත් මගේ ස්ථාවරේ - බලලත් හා බලවත් අයගේ ලෙස මෙහේ - සුළඟටම ළෙලෙවනා අස්ථාවරේ නම් නොවේ. එබැවින් කබරගොයා කිසිවිටකත් තලගොයා නොවේ. තලගොයා කිසිවිටකත් කබරගොයාද නොවේ.

ඒ කන්ද දෙස මේ කන්දේ සිට බලන්නේ නැතිව, මේ කන්ද දෙස ඒ කන්දේ සිට බලන්නේ නැතිව අතරමැදින් සිට දෙපස බලා, අවට බලා, ඕනෑ නම් ඒ හැම තැනටම ගොස් බලා- ඒ කන්දත්, මේ කන්දත්, අර කන්දත් ගැන සමබරව දැනගන්නට හැකි නම්, මොකද්ද ඒ ගැන ඔබේ ස්ථාවරේ.. ඒක හොද වේවිද අපේ ස්ථාවරේට, රටේ ස්ථාවරේට.

Monday, November 26, 2012

ළගන්නා සුන්දරයා(පොඩි ලොකු දේ)

අන්තර්ජාලයේ නේක සුන්දර රූප දමන්නන්ට ස්තූතිය

Monday, November 19, 2012

ලොකුම ටෝක් එක(අවසන් දේශනය නොහොත් මගේ සුපිරි ලොවේ සිහිනැති වීරයින්ට එරෙහිව)

තමන් කවුද නොදැන කැලෑ සතෙකුව සිට දණගා බඩගා කැලයෙන් එළියට විත් පසුව නොනවතින අරගලයක් කොට දෙමාපියන්ගෙන් දායද ඉල්ලන දරුවන් පරිද්දෙන් ස්වභාව ධර්මයා වෙතින් තම අවැසි කම් උදෙසා නොයෙක් දේ නොයෙක් විලසින් ලබාගෙන අද උජාරුවෙන් මුත් යන මං නොදැන මුළාවෙහි ඇදෙන හුදී අප වර්ගයා වෙත අනුකම්පාවෙනි,

අවසන් දේශනයක් කරන්නට සිදුවන්නේ යන විනාශයෙන් ගැලවෙන්නට වලිකන, දතකන, පමණක් නොව නොනවතින අරගලද කරන ප්‍රඥාවට ආවඩන ජනයා වෙනුවෙනි.

තිරසාර සංවර්ධනයන් තිරසාර භාවිතයන් ගැන කතා කරමින්ම අප යන්නේ ඒ මග ඔස්සේ නම් නොවේ. කතා කරන්නේ, තීරණ ගන්නේ, අවැසි දේ සදහා මුත් එදා සිට කටයුතු සිදුවන්නේ ඒ කතාවට හෝ තීරණයට අනුව නොව, බොහෝ තැන පටු චින්තනයෙන් මෙහෙයවෙන ගිජුකම කරණකොටම වීම නිසා අපේ විනාශය ‍දිනෙන් ‍දිනම වේගවත්වීම නොවැළැක්විය හැකිය. කාළය වර්ෂ ක්‍රමය ඔස්සේ අප ඉදිරියට යන බව පැවසුවත් හුදෙක් අපේ ගමන් මග වැටෙන්නේ මානසික ශක්තිය ඔස්සේ විග්‍රහ කරන විට කැලෑපාර ඔස්සේ කැලෑවටය. 

එදා නූගත් කම හා නොදියුණු බව නිසාම වනචාරියා කළ දේ අද අපි දැනුවත් කමත් උගත් කමත් ඇති මුත් හීන මානසික ශක්තිය නිසාම කරන්නෙමු. එදා වෙදකම් නොමැති කමෙන් මිනිස්සු මිය ගියෝය. අද බෙහෙත් නිසා මිය යන මිනිස්සු සිටිති. වරද වෛද්‍යක්‍රමයේ නොව මානසික ශක්තියෙන් දුර්වල මිනිහා කැමැත්තෙන් රෝගියා වීමය. ඒ කැමැත්තද ඔහු දැනුවත්ව සිදුවන්නක් නොවේ. නොදැනුවත්වම සිදුවන්නකි. අපට නොතේරී කළදක් මොළය ඇත්තන්ට, පසුව තේරෙන ලෙසින් අද වැඩ කටයුතු සිදුවන්නේ ඒ අයුරෙනි‍.

ආර්ථීකයක්ම මිනිසා පෝෂණය කරන්නේ නැත. එසේ කරන්නේ නම් දියුණුයි කියනා රටවල කිසිදු ප්‍රශ්නයක් මිනිසුන්ට තිබිය හැකිද? මොන මිනුම් වලින් කෙලෙස මැන්නත් අප අසන දකින පෙනෙන දේ ‍ඔස්සේ වටහා ගත හැකි සත්‍ය නම් ඔවුන් බොහොමයකට නිසි මගක් නොමැත යන්නයි. 

අද අපි බොහෝ දේ දන්නෙමු. උගත් කම නිසා අපි බොහෝ දේ දන්නා බව මෙන්ම දැන ගැනීමේ උනන්දුවෙන්ද පෙළෙන්නෙමු. නමුත් මේ දැනීම හුදෙක් හිස් සහ පුස් දෙයක් බවට පත්වන්නේ යතාර්ථය නොදන්නා විටය. නොවටහා ගත් විටය. සකල විධ දැනුම ඔස්සේ පැමිනෙන්නට වන්නේ එකම යථාර්තයටය. සත්‍ය නම් එයයි. 

අප දැනුමෙන් ගැටී බලන්නේ මේ සත්‍ය අපට අවැසි ආකාරයෙන් ගලපා ගන්නටය, ගලපා ලන්නටය. නමුත් සත්‍ය ගැලපිය හැ‍ක්කේ සත්‍ය මත පමනය. "මම" මා පවතිනවාට කැමතිය. නමුත් යථාර්තයේ මා කියා කෙනෙක් නැත්නම්, සත්‍ය එයයි. දැනුමෙන් පතුරු ගසා ගෙන ගොස් මේ බැව් තේරුම් ගත්තත් ඊලඟ මොහොතේ අපට ඇතිවන බඩගින්නේ දී මම මගේ බඩ පුරවා ගැනීමට කෑම කන්නෙමි. අප සම්බන්ධ යථාර්තය එයයි. එබැවින් දැන ගැනීමට ඔබ්බෙන් අවබෝධය පිණිස වෙහෙස විය යුත්තේ සතුට එතැන රැදෙන බැවිනි. මේ "සතුට" යන්නේ අර්ථය සුවයයි. ඇති‍ දේ ඇති හැටියට දැකීමෙන් කණගාටු නොවී ඉදීමට ලැබෙන අවකාශයයි. 

අපි භෞතික සම්පත් භාවිත කරන්නෙමු. එවිට පරිසරයේ සම්පත් ක්‍රමයෙන් හිඟවන්නට වන්නේ අපේ පාරිභෝජන වේගය අධික නිසාමය. ඊට පිළියම කුමක්ද? තිරසාර ලෙස සම්පත් භාවිතයයි. එනම් සම්පත් භාවිත කරන අතරම සම්පත් බිහිවන හා රැකෙන පරිදි කටයුතු කිරීම මෙහි සරල අර්ථයයි. අපි මේවා ගැන කතා කරන මුත් ක්‍රියාවේ නොයෙදෙන බැවින් සම්පත් හිඟකම දිනෙන් දින උග්‍ර අර්බුධයක් වෙයි.

අපි අපේ මානව සම්පත විවිධ කටයුතු උදෙසා භාවිත කරන්නෙමු. මානවයාගේ මානසික සම්පත මෙහිදී කොතරම් වැදගත්ද? ඒ මානසික ශක්තිය යහපත් කටයුතු කරන කලදී තව තවත් දියුණු වන්නේ, නිසි ව්‍යායාම ලැබෙන විට භෞතික ශරීරය දියුණු හා ශක්ති සම්පන්න වන අයුරිනි.‍ එනම් මනසට හිතවාදී දේ කරන විට මනස දියුණු වනවා යන සරල අදහසයි. එමෙන්ම අයහපත් කටයුතුවලට යොදන කල අනිසි ශාරීරික ක්‍රියා(පැවතුම්) හේතුවෙන් සිරුරට හානි පීඩාවන් සිදුවන්නේ කවර ලෙසින්ද මනසටත් එබදුමය. එනම් මනස දුර්වල වීමටත් මානසික ආබාධ ඇතිවීමටත් එය හේතුවේ. මේ දෙතැන්හිදීම පිළියම් ව‍ශයෙන් "පෙති" අද නිපදවා ඇත. පෙත්තට ඇබ්බැහිය සැබෑ සුවයට මගක්ද? ලෝකයේ බොහෝ වශයෙන් අසන්නට ලැබෙනවා සේම මෙහිද අද පෙත්තට කැමැත්තෙන් ඇබ්බැහි වන්නන් බොහොමයක් බව අසන්නට ලැබේ. එය ඉදිරිය වෙනුවෙන් සුබදායීද?

ඔබ සරල නම් ඔබේ අවශ්‍යතා සීමිත නම් ඔබට පහසු දිවි පැවැත්මක් හා සුව පහසු ඉදිරියක් දෙස බැලිය නොහැකිද? නොහැක. අපිට වාණිජ ලෝකයේ ගත නොයුත්තක් නැත. එතරමට අපි වහල්ලුය. අමාරු දේ කිරීමට වඩා ලේසි දේ කර බකං නිලා සිටීම ජනප්‍රිය දේශනයයි. නැව ගිලුනත් බෑං චූන් කියන්නේ එහෙයින්මය.

මුහුද හත් ගව්වක් තියා අමුඩ ගසන්නට ඕනෑ සුනාමි නිතර එන බව දන්නවා නම්ය. නැත්නම් සුනාමි ආවත් බෑං චූන් කියා මැරෙන්නටත් නූතන මානවයා ගේ මනස සූදානම්ය. හේතුව, නිසි මගක් නැති හිස් කමයි. වරද අපේ සුපිරි ලෝකයේ අපි රජවරුන් වන්නට සිහින මවනවා මිස සැබෑ ලෝකයේ අපට හිමි තැන වටහා නොගන්නාකමයි. 

නමුත් සිහිය තිබෙ‍නවා නම් එබදු නොවැටහීමකින් අප ගැලවෙනු ඇත. සැබෑ සිහිය සැබවින්ම අපට දැන් තිබෙන්නා වූ සිහිය වැනි මොට්ට පිහියක් නොව, හිතා ගන්නට බැරි තරම් තියුණු එකකි. තියුණු කළ හැකි එකකි. පළමුව හොද දෙයක් හිතා හිත මුවත් තබන්නට පටන් ගත යුතුය. මනසේ මළ යන්නේ එවිටය. මනසේ මළ ගිය කළ සිහිය ඇති‍වනු ඇත. ඇතිවූ සිහිය තියුණු කළ යුත්තේ නූතන ලෝකයේ තිබෙන්නා වූ අමුතු "වැල යන අතට මැස්ස" ප්‍රතිපදාවෙන් නොවේ. සුදුසු ලෙස "වැල හා මැස්ස" ගලපන මුත් පැහැදිලි ස්ථිර ප්‍රතිපදාවකිනි. එවිට "මගේ ලෝකයේ සිටින සිහිනැති රජුන්" කනෙන් ඇද දොට්ට දැමීමට හැකියාවක් ඔබට ලැබෙනු ඇත. නමුත් එය හුදු විජ්ජා පෙන්වා ‍මුදල් ගැරීමේ මානසිකත්වයෙන් ගැලවිජ්ජාවක් කොට ගන්නට ගියහොත් නම් සිහිනැති වීරයින් වෙනුවට සිහිවිකල් වීරයින් ඔබේ සුපිරි ලෝකයේ පිනුම් ගසනු ඇත.

එබැවින් මගේ ලෝකයේ රජ විය යුත්තේ "මා" නම් ඒ'ද නිවැරදි ක්‍රමයෙන් රජ වීමක් මිස මොක කළත්, මොක වුනත්, මං රජයි කියා හිතා ගන්නා ඒකාධිපතිත්වයෙන් නම් නොවිය යුතුය. "මගේ සුපිරි ලොවේ සිහියක් නැති වීරයෙක් වීම" සකළ ලෝ වාසීන්ටත් පළමුව තමන් සමඟ වාසීන්ටත් පීඩාවක් මිස කළදක හෝ හොදක් නම් සිදු නොවේ. අකමැත්තෙන් වුව අප දැක්කෙන්නේ එදෙසටයි. ඒ අධිවේගී ගමනේ තමන්ගේ සත්‍ය මාර්ගය හොයා මරණ බයෙන් තොරව ගමන් රියෙන් බිමට පනින්නට හැකිනම් අඩුතරමේ අඬු කඩා‍ ගෙන හෝ ඔබ සුවපත් වනු ඇත. නැත්නම් ඒකාන්තවම දිය සැළිය රත්වූ පසු කකුළුවාට අත්වන ඉරණම ඔබටත් ඒකාන්තය. 

පොෂ් සිතිවිලි(පුස් නැති)

සිතිවිල්ලේ සියුම් කම ඔබට දැනේද? 

පොෂ් වීමට මං හොයා පුස් වන්නේ නැතිව සිතිවිල්ලේ සියුම් කම හදුනා සිතිවිල්ලෙන් පොෂ් වන්න. පුස් නැති සැබෑ පොෂ් එක කිසි තැනක සේදෙන්නේ නැත. සෝදායවන්නට බැරිය.

තෙලුත් තිරයත් ඇති කල දැ‍ල්වෙන පහන්සිල සේ ළෙලෙන සිත මනරම් වේ නම් පහනින් සැබෑ ආලෝකයක්ම ලැබෙනු ඇත. සුළඟට නොනිවෙන්නට නම් දැල්ල ප්‍රබල විය යුතුවේ. දැන් දැන් සුළඟ තදයි. නොනිවී දැල්වෙන්නට තිරය සවිමත්ද? තෙල් සෑහෙද? නිවෙන්නට පෙර අදුරට ආලෝකයක් දෙන්නට ඔබට හැකිද? 

පොෂ් වෙන්න සිති‍විල්ලෙන්.

Saturday, November 17, 2012

උත්තමාචාරය(100%)

ටියුෂන් හා ගුරු රැකියාව යන පරතරය ආරම්භ වූයේ අප යුගයටත් පෙරයි. අප යුගයේ ඒ පරතරය යම්තාක් වැඩිව තිබුනි. එබැවින් සැබවින්ම ගුරු භූමිකා අප මතකයේ රැදෙන්නේ පැරණි යුගයේ අයට වඩා අඩුවෙනි. එයින් අදහස් වන්නේ ගුරුන් අමතක කිරීම හෝ අවතක්සේරුව නොවේ. යුගයේ වෙනසයි. ගුරු භූමිකාවේ නවතාවයයි. ගුරු සිසු බන්ධනයේ ස්වභාවයයි.

එහෙත් තරුවක් බදුවූ එක් ගුරුවරයෙක් මගේ ජීවිතයේ යම් බලපෑම් සහගත චරිතයක් වන්නේ ඔහුගෙන් මා ගුරු භූමිකාව ඔස්සේ දුටු විශිෂ්ඨ ගුණාංග නිසාමය. ‍

ඒ කතාව මෙතැන් සිට,

 ප්‍රාථමික අංශයෙන් ඇරඹෙන තාර දැමූ පාර විද්‍යාලයේ ඡේෂ්ඨ අංශය දක්වාම මීටර දෙසීයක පමණ දුරක් අප පාසල තුළට දිවෙන්නේය. නිතිපතා අනෙක් දරුවන් ගේට්ටුවෙන් ඇතුළුව පයින්ම පාසල තුළට එද්දී අප පාසලේම ඉගෙනුම ලබන තම දරුවන් මොටෝ රියෙහි නංවාගත් ගුරුවරුන් විද්‍යාලය තුළටම ඔවුන්ව ගෙනගියේ විශේෂ වරප්‍රසාදයකින් මෙනි. එබැවින් ප්‍රමාද වී පැමිණියත් 'ගුරු දරුවන්ට' ලොකු ගැටළුවක් තිබුනේ නැත. නමුත් ඔවුන් ගුරුවරුන් නිසාම කිසිවෙකු ඒ ගැන ප්‍රශ්න නගන්නට නොගියේ එය ඔවුන්ට ලැබෙන සැළකිල්ලක් සේ සළකමිනි. 

නමුත් මා කියන්නට යන ගුරුභවතා කිසිදු දවසක තම දරුවා සිය වෑන් රියෙන් පාසල තුළට ගෙනආවේ නැත. ඔහු ප්‍රමාද වී පැමිණියද තම දරුවා විද්‍යාල ගේට්ටුව අබියස බස්සවන්නේය. එවිට ප්‍රමාද වී පැමිණියොත් ඔහුද ඒ දිනවල ප්‍රමාදව පැමිණෙන්නන්ට දෙන දඬුවමට යටත්ය. මම පළමු පන්තියේ සිට උසස් පෙළ දක්වා එකම විද්‍යාලයක සිටියෙක්මි. තමන්ගේ රියෙන් පැමිණ නිතිපතා දරුවා ගේට්ටුවෙන් බස්සවා පැමිණි වෙනත් එබදු ගුරුවරයෙකු මගේ විද්‍යාලීය මතකයේ නැත.

ඔහුට කිසි දිනක පන්තියේ විශේෂයින් සිටියේ නැත. දක්ෂතා හෝ ගුණයෙන් මිස වෙනත් ක්‍රම වලින් ඔහු සිසුන් කිසිවෙකු ඔසවා තැබූවේද නැත. දිනක් ඔහු අපේ පන්තියේදී මට නැගිටින්නට කීවේය. නම විමසුවේය. මම නම පැවසුවෙමි. "ලස්සන නමක්" යැයි කී ඔහු "මං ඒ ළමයාගේ යම් විශේෂත්වයක් දකිනවා" යැයි කීවේය. පසුව ශුද්ධ සිතින් අනේක රස්තියාදු ගැසුවද ඒ දිනවල චණ්ඩි රෑනක් සිටි අපේ පන්තියේ මා බොහෝ සෙයින් අහිංසක තැන්පත් අයෙකුගේ ලකුණු වලින් යුතුවීම එසේ කීමට හේතුව බව මම පසුව වටහා ගතිමි. කිසි දිනෙක පාසලේදී මගේ මේ සැඟවුනු සාමකාමී ගුණයට ඇගයීමක් නොලැබූ මම සැබවින්ම ඒ වචන කීපයෙන් මහත් දිරියක් ලද්දෙමි. ඔහු සිසුන්ට වගකීම් පැවරුවේ ඔවුන් ගේ දියුණු විය යුතු ගතිගුණ හදුනා ගෙනය.  ඉතාම සමානාත්ම තාවයෙන් කා සමඟත් කටයුතු කළ ඔහු බෙහෙවින් නිවුණු ස්ථිර ගුණයෙන් යුතු පුද්ගලයෙකුගේ ලකුණු පළ කලේය. ඇත්තෙන්ම ඒ දිනවල එතුමාගේ ආදර්ශය බෙහෙවින්ම මගේ සිතේ පැළපදියම් වී තිබිණි. අපේ බොහෝ ගුරුවරු අපිට ඉගැන්වූයේ හොද පිළිබද මුත් ක්‍රියාවේදී බොහෝ දෙනා සිටියේ ඒ හොදම තත්වයේ නොවේ. නමුත් එහෙව් ආදර්ශවත් චරිතයක් දකින්නට ලැබීම ම‍ට අදටත් දනවන්නේ සතුටකි. වචන දෙකක් නැති, කුහක කම් නැති, අන්‍යන්ගේ දොස් හෝ කට වාචාලකම් නැති සැබවින්ම ප්‍රසන්න චරිතයක් වූ එතුමා සාමාන්‍ය ගුරුවරයෙක් ට වඩා උසස් මිනිසෙක් ලෙසින් මට දැනිණි. "මම වෑන් එකේ එන්නෙ කීප දෙනෙක් එක්ක එන්න ඕන නිසා. නැත්නම් පුස් බයිසිකලේ එන ‍එක වඩා හොදයි, පරිසර දුෂණයත් නැතිව." එතුමා අප පන්තියේදී දිනක් පැවසුවේ හුදු කතාවටම නොවේ. කතාව අවංකවම බව අපට දැනුණි. 

අපේ පන්තිවල හොද ව්‍යාපාරික මහතුන්ගේ දරුවෝ සිටියෝය. මෙහේ බොහෝ දෙනාගේ ගිජුකමට එවැන්නන් අත වැනීමක් වුවද තමන්ගේ ගුරු කමෙන් තමාට හෝ තම දරුවාට හෝ අනිසි වරප්‍රසාද ගන්නට එතුමා කිසිවිට කටයුතු කරනවා අපි නොදුටුවෙමු. මගේ පියා මෙන් එතුමා මගේ සිත් ගත්තේ එබැවිනි. ටියුෂන් පවත්වන්නට කිසිදු උවමනාවක් නොදැක්වූ එතුමාගේ දක්ෂතාව නිසාම සිසුන්ගේ ඕනෑකමට ටියුෂන් එකක් කළ බව මතකය. එයත් මුදලට වඩා සිසුන්ගේම පෙරැත්තයටය. ඔහු අනවශ්‍ය වදනක්වත් කටින් පිට කරනවා මට මතක නැත. එතුමාගේ මේ චර්යාවට සිසු ගෞරවයද ඉහළින්ම ලැබුණි. කිසිවෙකුට එතුමාට ඇඟිල්ලක් දිගු කිරීමට ඉඩක් නොවීය. එතුමා එතරමටම නිවැරදි විය. ජේත්තු පෙනුමක් තිබුනත් ඔහු ගේ ඇදුම පැළදුමද සරලය. ඒවා සැබෑ ගුරුවරයෙකුගේ අල්පේඡ්ච භාවයෙන් යුතුවිය. ඒ වන විටත් යන්තම් මැදිවිය එළිපත්තේ සිටි නමුත් ප්‍රසන්න භාවය නිසාම එතුමා තරුණ ගතියෙන් අපට පෙනුණි. මා දන්නා තරමින් අදටත් එතුමා ඒ ප්‍රතිපදාවේම ජීවත් වන්නේය. ඉද හිට අදද මා බසයේ යද්දී එතුමා මෝටර් බයිසිකලයක් මත සැහැල්ලු ගමනක මම දකිමි. 

ඔහු ප්‍රසිද්ධ කෙනෙක් නොවේ. නමුත් නිවට ප්‍රසිද්ධ මිනිසුන් දාහකට වඩා එබදු එක් නිහඬ මිනිසෙකු සමාජයට වටින්නේ නොවේද?  ඔහුගේ සේවය හැමටය. නිවරද දේ සමඟය. දිනක් බොරු චෝදනාවක් කළ සිසුවෙකුට ඔහු දුන් කම්මුල් පහර අදත් මා මතකය‍ට නැගන්නේ එනිසාය. තම දෙමාපියන් ඉදිරියේදීම පහර කෑ සිසුවා නිරුත්තරය. බොරුවට අත්වන ඉරණම එයයි.

 මේ ගුණ ගැයීමක්ම නොවේ. ආදර්ශයක්ය. නමුත් ගුණ ගැයිය යුත්තන්ගේ ගුණ ගැයීම පමණක් නොව වැයීමේද වරදක් නම් නැත. ඒ ගුණ කිසිවිටකත් ගුණයක්ම මිස නුගුණයක් ලඟා නොකරන බැවින්ය. එබැවින්ම ඒ සිත්ගත් ගුරුවරයාටත්, අප දැන හෝ නොදැන අපේ යහදැනුම වැඩුමට මං තනන දහසක් ගුරුන්ටත් පින්සිදු වේවා. ඔවුන් සැමදා දිනේවා... මගේ පරම පැතුම එයයි. 

ඔවුන්ගේ අගය අදට වඩා මතුවට අපට දැනේවි.

Friday, November 16, 2012

ඔත්තුකාරයෙක්(ප්‍රවේශම් වන්න)

ලොකු දේම ලොකු බව හිතන්නේ පොඩි දේ ලොකු වන බව නොදන්නා අයයි. එම නිසා දෑහටත් නොපෙනෙන, පුංචිම කියා කියන පරමාණුව කරන හපන්කම ගැන පොඩ්ඩක් සොයා බලන්න.

ඔත්තුකාරයා ගැන කතාව මෙතැන් සිට,

අප සා.පෙ.ළ ට සූදානම් වන අවදියේ මට පෙරදිග සංගීත වි‍ෂයේ ප්‍රයෝගික පුහුණුව සදහා බාහිර ගුරු ඇසුරක් අවශ්‍යව තිබුණි. ඒ මගේ සංගීත භාණ්ඩය වූ වයලීනය  පුහුණුවීමටයි. මම නගරයේ ජනකලායතනකින් ගුරුවරියක් සොයා ගත්තෙමි. තරුණ ගුරුතුමියක් වූ ඇය සැබවින්ම මගේ වයස සැළකීමේදී අක්කා කෙනෙක්මය. ඉන්දියාවේදී වැඩිදුර සංගීත අධ්‍යාපනය හදාරා තිබූ ඇය එහි සිට මෙහි පැමිණි පසු මුලින්ම හමුවූ සිසු පිරිසට මමද අයත් වීමි. 

කෙසේ වේවා ගැටළුව තිබූයේ තවත් ප්‍රවීණ ආචාර්ය වරයෙකු මෙහි සේවය කිරීමයි. මැදිවිය ඉක්මවා තිබූ ඔහු ප්‍රදේශයේ පිළිගත් වයලීන වාදකයෙකි. මා ඔහුගේ පංතියට යොමු නොවුනේ කලින් ඔහු පිළිබදව වැඩිමනක් දැන නොසිටි නිසාය. නමුත් මේ ආචර්ය වරයා තරමක් මධුවිතට ලෝලියෙකු වූ බැවින් ඔහුගේ පන්ති පැවැත්වීමේ පිළිවලේ යම් අවුලක් විය. එනමුත් ඔහු සුපිරි වයලීන් වාදකයෙක් යන්න කිසිවිට බොරුකලේ නැත. 

කටයුතු මෙසේ වුවත් ම‍ට අපේ ගුරුතුමිය තෝරා ගැනීම පිළිබද කිසිදු ගැටලුවක් තිබුනේ නැත. ‍‍‍ අපේ ගුරුතුමියගේ අඩු සිසු පිරිසත් සමඟ අපට කටයුතු පහසු විය.

අප ආචාර්ය වරයා ගුරුතුමිය වෙත ළමුන් ඇදෙනු දැකීමට නොරිසි බව අප දැනගත්තේ පසු අවදියේය. නමුත් අප ගුරුතුමිය තරුණියක් වූ බැවින් හෝ ඇයට එබදු හිතක් නොවූ බව අපි දැන සිටියෙමු. කෙසේ හෝ කිහිපදෙනෙකු ‍වූ අප පන්තියේ පිරිස සමඟින් සංගීත කටයුතු පුහුණුව දිගටම සිදුකෙරුනේ සුපුරුදු විලසිනි. 

මෙසේ කාලය ගතවී යද්දී අප පන්තියට ගැහැණු ළමයෙකු සම්බන්ධ වූයේ අලුතින්ය. අලුත් කෙනෙකු කීවාට පැමිණි දිනයේ පටන් වයලීනයෙන් වැඩ පෙන්නන්නට ගත් තැනැත්තිය බොහෝ විට අප අභිබවන්නට උත්සාහ කළාය. හැම වාදනයකදීම කැපී පෙනෙන්නට ඈ ගත් උත්සාහය නිරුත්සාහයෙන්ම අපට අවබෝධ විය. කෙසේ නමුත් ඈට පුහුණුවෙන් ලද නිපුණතාවක් තිබුණු බව කිව යුතුය. එබැවින් ගුරුවරිගෙන් වැඩි අවස්ථා ඇයට හිමිවිය. දින කිහිපයක් අපත් සමඟ පන්තියට ආ ඇ‍යගේ පැමිණීම හිටි ගමන්ම නැවතිණි. ඇය අර ආචර්යවරයාගේ පන්තිය නියෝජනය කරන බව අපට දැනගන්නට ලැබුනේ ඒ අතරය.

ඇය ඔත්තුකාරියක් බව අප දැන ගත්තේ එවිටය. කලාවක් තුළ මා මුලින්ම ඔත්තුකාරයෙකුගේ කතාවක් අසළට සමීපවී සිටි ප්‍රථම අවස්ථාව එය විය. ඇය පැමිණ ඇත්තේ අපේ පන්තිය පිළිබද ඔත්තු සොයන්නටත් තමාගේ ගුරුවරයාගේ වැඩ අප හමුවේ පෙන්වා යන්නටත්ය. වැඩ පෙන්වීම හොදය. එහෙත් මෙබදු දේකට ඔත්තුකාරකම් කිරීම හොදද? කලාව යනු මුළාවට මගක්ද නොවන කල්හී ...

හැමදේටම මුල් වන‍ චේතනාව මෙබන්දකට නම් කෙසේවත් ශුද්ධ වූවක් විය නොහැකිය.

සරලව මේවා කොහෙත් අනන්තවත් සිදුවේ. නමුත් කොතනත් සුළු වුව මේ කැත වැඩය. සු‍ළුවෙන් මෙබදු කැත වැඩ කරන්නෝ ඒ වැඩ අත් නොහරින්නෝ නම් පසුවට කරන්නේ තම  පිළ උදෙසා ජය උදෙසා දරුණු වැරදිය. පුහුණු කරුගේ අනුදැනුමෙන්ම තහනම් ඖෂද ගෙන අනෙකා පරදවීමක් අපට අවැසිද?  බරපතළ කම තම අභිමානය උදෙසා බාලයන් බිල්ලට දෙන මේවායේ ගුරුන්ය. එවැනි ගුරුන් වෙත්නම් දෙගුරුන් එබන්දන් ගෙන් තම දූ දරුවන් රැකගත යුතු නොවේද? අහිංසකයෙක් අංගුලිමාල කෙනෙකු වූ කතාවක් මා අසා තිබේ.

එසේනම් අවසන් වන තුරු හැදින ගත නොහැකි මෙබන්දන් පිරි සමාජයේ අප එකිනෙකා අවිශ්වාස කළ යුතුද? නැත, නමුත් එකිනෙකා පිළිබද විමසිලිමත් විය ‍යුතුය. දක්ෂතාවයන් හා ආකර්ශනය පිළිබද සරල ඉරිසියා වෙන්ද ඉවත්විය යුතුය. එය සුන්දර ලෝකයට මාර්ගය නොවේද? වරද නම් බොහෝ අය කැත වැඩය දකිමින්ම ඉවසා ප්‍රතිඵලයට බැන වැදීමය.

ඩිටෙක්ටිව් විශිෂ්ඨයා(පොලිස් හොරා පොලිස්)

සුප්‍රසිද්ධ නොවූවද මගේ පියා සුපිරි වැඩ කළ පොලිස් නිළදරුවෙකි. මට ඒ අභාෂය ලැබුනේ එහෙයින්මය. 

එකල මා හුන්නේ තරුණ භටයින් පුහුණු කරන කදවුරකය. කදවුරේ කා අතරත් මා ගැන හොද ප්‍රසාදයක් තිබුනේ විවිධ කටයුතු වලදී දැක්වූ විවිධ දායකත්වයන් හේතුවෙනි.

තරුණයන් මෙන්ම තරුණියන්ද රැදී හුන් මේ කදවුරු භූමිය අක්කර ගණනකින් යුතුවිය. භූමිය දෙපාර්ශවයේ අපගේ බිලට්ටු පිහිටා තිබුණි. අප පුහුණු වූයේ ගණ සරඹ පමණක් ‍නොවේ. විවිධ විෂයන් යටතේ අපි පුහුණු වුනෙමු. ඒ කටයුතු අතරේ කදවුරු භූමිය පවිත්‍ර කිරීමේ කටයුතුද විටින් විට අපටම යෙදුනේ මෙහි ක්‍රියාත්මක කාලසටහනකට අනුවය. 

මෙදින භූමිය සුද්ධ පවිත්‍ර කිරීම අරඹා පැයක් යන්නට මත්තෙන් පිරිමි භටයින් හට කැදවුමක් ලැබුනේ තමන්ගේ බිලට්ටුව වෙත ඒකරාශී වන ලෙසයි. අපි කරමින් හුන් වැඩය පසෙක දමා වහා බිලට්ටුව ඉදිරියේ රැස් වුනෙමු.

බරපතල ප්‍රශ්නයකි. බිලට්ටුව ඇතුළත කොල්ල කෑමක් සිදුවී තිබේ. සියලු දෙනා බිලට්ටුවෙන් බැහැර වූ පසු එතුළ වූ ලොකරයක් කඩා භටයෙකුගේ වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන තිබේ. මෙය කළේ කවරෙක්ද? සාජන් තැන, ක්‍රෝප්‍රල් තැන මෙන්ම කැප්ටන්ද පසුවූයේ කෝපයෙනි.

සියලුදෙනාටම පෙළ ගැසී පරක්ෂාවකට පෙනී සිටීමට නියෝග ලැබුණු අතර සාජන් තැන කිහිප දෙනෙකුට බිලට්ටුව පරීක්ෂා කිරීමට නියෝග කළේය. 

ඒ අතර මගේ ඔලුවේ වැඩ කරමින් තිබුනේ හොරකම පිළිබද අතීත මතකයකි. අප විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ කොල්ලෙකු ‍කර තිබූ කොල්ලයකි එය. කොල්ලන් පමණක් සිටි අප පාසලේ මිනිහා කර තිබුනේ සූක්ෂ්ම හොර කමකි. පන්තියේ වැඩ කටයුත්තක් සදහා එකතුකොට තිබූ මුදලක් එය රැස්කළ සිසුවාගේ බෑගයෙන් හොරා ගත් මිනිහා වෙනම තැනක එය සඟවා තවකෙකු මත හොරකම පටවන්නට සූදානම් වූයේ ඇසින් දුටු සාක්ෂි කරුවෙකුගේ විලාසයෙන්ද පෙනී සිටිමිනි. එය අපේ වයසට වඩා තරමට වැඩි දෙයක්ද විය. චණ්ඩියෙකු මෙන්ම මැරෑටියෙකුද වූ ඔහු මෙල්ල වූයේ පොලිස් නිලධාරීන් ගෙන්වීම දක්වා පෙන්වූ ගුරුවරුන්ගේ උපක්‍රමික ප්‍රඥා රංගයට හසුවීමෙනි.

කෙසේ හෝ වේවා මේ මතකය සමඟ මට හොරා පොලිස් සෙල්ලමේ සියුම් ඥානයක්ද ඔලුවට වැටුනේ මා සැරයන් වරයාට අදහසක් දැක්වූයෙමි. මේ වන විටත් කිසිදු සාක්ෂියක් හෝ සොයා ගැනීමට නොහැකිව තිබීමේ හේතුවෙන්ම ඔහු ‍මාගේ අදහස පිළිගත්තේය.

"අපිවයි, බිලට්එකයි චෙක් කරනව කියල හොරා අනිවාර්යයෙන් දන්නව. අපි හිතන් නැත්තෙ කොතනද? හොරා හිතන්නෙ ඒ ගැන."

ඒ අනුව මොහොතකින් අපි ක්‍රියාත්මක වන්නට වූයෙමු. විශ්වාස දායී කීප දෙනා බැගින් තැන් තැන් වලට යොමු වද්දී මම තවත් සගයෙකුද සමගින් තෝරාගත් ස්ථානයක් පරීක්ෂා කරන්නට වීමි. ඒ අනුව පළමුව අප වැසිකිළි පද්ධතිය ආශ්‍රයේය. දෙවනුව ඉන් ඔබ්බේ එළිමහනේය.

පළමු ස්ථානයෙන් ලද ප්‍රතිඵලයක් නොමැති කොට අපි එළිමහනට බැස්සෙමු. මට නැවතත් යමක් මතක් විය. ඉස්කෝලේ සිද්ධියේදී හො‍රා මුදල සඟවා තිබුනේ පොල්කටුවක් මුණින් අත නවමිනි. හොරකමක් ගැන ඇසුනු විට අහුමුළු වල බලනවා මිසක එළි මහනේ හොදට පෙනෙන දකින තැනට අපේ ඇස්  නොයන බව හොරුන් දන්නවාද? ඒ නිසා සාමාන්‍ය ස්වභාවයේම තැනක හොර බඩුව තැබූ විට  හොරා එය අපට නොපෙනේ දැයි සිතනවාද?

මේ සිතිවිල්ලත් සමඟ අප සිටියේ කෙසෙල් පදුරක් අබියස යන්තම් කසළ විසිරුණු තැනකය. "මේ වගේ තැනක වුනත් නොතිබෙන්න බැරි කමක් නෑ" මම සිතට පිවිසුනු අදහස එළියට දැමීමි.

"බලමු" සගයා එතැන පිරික්සුවේය. 

"ඔය රෙදි කෑල්ල" මම කීවේ බැනියම් කැබැල්ලක් අවට දැකීමෙනි.

"මේ , බලන්න"

සැබවින්ම එතැන ජංගම දුරකතනය තිබුනේය. ඔබ විශ්වාස කරනවාද? අපට ගතවුනේ විනාඩි කීපයක්ම පමණි. කෙසෙල් පදුර අබියස යන්තම් කසළ විසිරුණු පෙදෙසේ කුඩා රෙදි කැබැල්ලක ඔතා සැක නොසිතෙන පරිදි ඔහේ දමා තබු‍නේ මේ හොර බඩුවයි. 

මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. සැබවින්ම මගේ චින්තනය නිවැරදි දිශාව ඔස්සේ තිබීම ගැන මට ඇතිවූයේ ක්ෂනික ප්‍රීතියකි. අක්කර ගණනාවකින් යුතු මේ භූමියේ මා මේ ස්ථාන තෝරාගත්තේද මගේ අනුමාන ඥානයෙනි.

"කව්රුත් නම් මෙතන බලයි කියල හිතන්නෙම නැතිවයි දාල තියෙන්නේ" සගයාටද  අදහා ගත නොහැකි වූයේ අප ඉලක්කය කරා ළං වීමේ වේගය පිළිබදවයි.

"මං සාජන්ට කියන්නම්"

අපට වැරදුනේ එතැනය. හොර බඩුව සොයා ගත්බව වහා ප්‍රචාරය වුනේය. එයින් අපට හොරා අල්ලා ගැනීමට තිබූ ඉඩ මගහැරුණි.  එතැනින් ඔබ්බට කදවුරු නීතිය අනුව හොරකම පිළිබද මේජර් තැනගේ වෙනම කතාවක්ද අණක්ද විය.

දෙවනුව මට පුද්ගලිව ප්‍රශ්න කීපයක් යොමුවූයේ මගේ සගයන්ගෙන් හා අපේ සමාජ විද්‍යා ගුරු තුමාගෙනි. මෙහි අපට සමාජ විද්‍යාව ඉගැන්වීම පිණිස ගුරු තුමෙක් සිටියේය. "කොහොමද හරියටම එතැන තියෙයි කියලා හිතුවේ." ඔහු මගෙන් ඇසුවේය.

නමුත් ඔහුගේ ප්‍රශ්නය යටිපෙළේ ඇත්තේ පොලිස් හොරා ගැන හැඟීමක් බව මට දැනුණි. වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන ලෝකයේ, ඉක්මන් වේගය මරු කැදවයි කීවාසේ, හොරාගේ චින්තනයෙන් හිතා හොරකමේ දිශාව හොයා ගත් මගේ වේගයම මා දෙස වෙනම ඇසකින් බැලීමට ඔහුව පොළඹවා ඇති අයුරු අසාධාරණද? නැත. මා පිළිබද දන්නා මුත් ඔහුගේ සමාජ විද්‍යාවට අනුව පුද්ගලයන් පිළිබද විශ්වාසය එබන්දකි. 

"තාත්තගේ පොලිස් ඉව මටත් තියෙනවා." මම සිනහවක් නැඟුවේ එබැවිනි.

"එයාලගෙ ඉස්කෝලෙත් ඔය වගේ දෙයක් වෙලා තියෙනව." සගයෙක් කීවේ මා කියා තිබූ 'අතීත මතක' කතාවට අනුවය.

පොලිස් හොරා වීමේ කතාව තවදුරටත් දුර නොගියේ මගේ ස්වභාවය කවුරුත් යන්තමින් හෝ දැන සිටි නිසාය. එබැවින් ඒ ඩිටෙක්ටිව් විශිෂ්ඨයා :) ගේ කතාව ‍අපූරු හොරා පොලිස් මතකයක් මගේ මතකයේ රන්දා ගියේ, තාත්තාගේ අතීත කතා අසා තිබූ මගේ සිතටද පොඩි ගතියක් සපයමිනි.

Wednesday, November 14, 2012

කුරුවල්(දත, නොදත හා රත, නොරත)

රෙද්ද ගැන කීව නිසාම මතක් වුනේ ඊලඟට කුරුවල් කමටත් රෙද්ද බලපාපු බව. ඒක වුනේ මෙහෙමයි. කාලයක් තිස්සෙ තිර රෙද්දෙන් වහල තිබ්බ නොදත යුතු දේ තිර‍ රෙද්ද කඩල දාල පෙන්නන්න ගත්තම දත කට පූට්ටු වුන සමහරුන්ගේ නොරත දේ රත් වී කුරුවල් වීමක් වුනු නිසා.

ශුද්ධ සිංහලෙන් කීවොත් රෙද්ද කඩා දැමීමෙන් හෙළුව පේන්නට පටන් ගෙන නොදත් දේ දත් උදවිය සමහරෙක් නොරත දේ රත් වී නොමග ගිය බවයි. 

දැන් මේ ශුද්ධ සිංහලය ශුද්ධ රස්තියාදුවෙන් තෝරන්නට අවසරයි.

අප අවුරුදු පහේදී උගැන්ම අරඹා පංතියෙන් පංතියට ඉහළට එන්නේ පියවරෙන් පිය‍වරය. අපිට එකේ පංතියේ සිට පසුවදාට උසස් පෙළ ලියන්නට හැකියාවක් නැත. පොඩි මොළයට ඔරොත්තු දෙන්නේ පොඩි දැනුමය. පොඩි හදවතට ඔරොත්තු දෙන්නේ ළාමක අදහස්ය. කුරුවල් වන්නේ පොඩි එකාට උසස් පෙළ ලියන්නට සිදුවී පොඩි හදවතට ජීර්ණය නොවන්නා වූ අදහස් වැටෙන්නට වූ විටය. අන්තර්ජාලේ ජංජාලේ කියන්නේ එවිටය. රූප පෙට්ටිය යකාගේ පෙට්ටියක් යැයි කියන්නේ එතැනය. එමුත් වරද පෙට්ටියේවත් ජාලයේවත් නොවේය. නිවැරදි අවංකයා(අපි වෙනුවෙන් ඔබ) කෙනෙක් නැති නිසාය. මම මගේ සිතිවිලි වලට අවංකය. නමුත් මට අන් කිසිවෙක් මාරයි(දුක නෑ) මිස දුක ඇති තත්වයේ නැත. එබැවින් මමත් ඔබත් සිටින්නා වූ ජාලයේත් රූප පෙට්ටියේත් නොදත් දේ දත් කරන්නා වූ ද නොරත් දේ රත් කරන්නා වූ ද බොහෝ දේ ඇත. ඒවා මෙහේ පොදුය. වයසකට තරතිරමකට ඇති වාහකයෝ නොවන්නෝය. එබැවින් කුරුවල් වීමට හරි පහසුය. රස්තියාදුව නොපයින් හරිම පහසුය. හැබැයි ශුද්ධයට කිසිවෙක් නැත. නමුත් ගන්ධය කියන්නට නම් අය බොහෝය.

ඔබේ රස්තියාදුවට හලෝව් කියන යුද්ධයකට ඔබ එළැඹිය යුත්තේ ඔබේ සුවයට මිස මගේ සුවයට නොවන්නේ එබැවින්ය. 

කුරුවල් ‍වූවාම රසයක් නැත. එබැවින් දත, නොදත යුතු දේ නොරත, රත වන අකාළයේ අප වෙනුවෙන් අප  වැඩ ඇරඹිය යුත්තේ සිහියෙන් බුද්ධියෙන් නොවේද? එබැවින් නිවැරදි පෝළිමේ නිවැරදිව සිටගන්නට අපට කාළය එළඹ ඇති බව තේරුම් ගත යුත්තේත් අපමය. නැතහොත් කුරුවලුන් ද අපමය, අපටමය.

රෙද්ද(රැකගන්න)

රෙද්ද ගැන කතා කරන්න තවමත් සිද්ධ වෙන්නෙ මෙහේ කව්රුත් තවම රෙදි අදින නිසා. කාලෙකට පස්සෙ අද අහන්න ලැබුන රෙදි උස්සපු කතාවක්. වැරදිවට තේරුම් ගන්න එපා මේ රෙදි උස්සල තියෙන්නෙ ගෙදරක රෙදි වැලෙන් මිසක් වෙන තැනකදි නෙවෙයි.

වට පිටාවෙ අහන්න ලැබුන මේ රෙදි උස්සපු කතාවත් එක්ක හිතුනෙ රෙද්ද මිනිස් ජීවිතේට කොතරම් බද්ධ වෙනවද කියල. කොටින් කීවොත් රෙද්ද නැත්නම් මිනිස්සු කොයි වගේ ජීවත් වේවිද?  කොච්චර දේවල් වෙනස් වේවිද? කොතරම් නම් දේවල් ආරම්භ නොවී තියේවිද? අද යුගයෙ ලොකු කර්මාන්තයක් වන රෙදිපිළි කර්මාන්තය මෙහේ කොතරම් නම් මිනිස්සුන්ගෙ ජීවිත ජීවත් කරනවද? ඒ වගේම ලෝකයෙත්. ඒ නිසා මිනිස්සු ඒ අර්ථය සළකාවත් තව දුරටත් ඇදුම් අදින්න ඕනයි කියන එක මට හිතුන :) .

කොහොම වුනත් ඇදුම නිසා ඇඟ වහගන්න වගේම අපේ සංස්කෘතියක් පිළිබිඹු කරන්නත් අපිට අවස්ථාව තියෙනවනේ. නැත්නම් හැම රටකම මිනිස්සු ගැහැණු පාටෙන් විතරක් වෙනස්ව එකම විදිහකට ඉදීවි. අනික අපි එක එක අයගෙ හිතුම් පැතුමුත් මේ ඇදුමෙන් දකින්න බැරිමද? ඒ වගේම වර්ණවත් ලොවකට පාර කැපෙන්නත් රෙද්ද හේතු වෙන්නෙ පරිසරයෙ දකින්න තියන පාට වලටත් වඩා අපේ ඇදුම් වල තියෙන පාට ගැන හිතල බැලුවමයි. 

කොහොම වුනත් තවත් ටිකක් හිතුවම මෙහේ අපේ අය නම් තව අවුරුදු සීයකට එහා වත් මේ විදිහටම ඇදුම් අදීවි කියල නම් හිතෙනව. ඒක මගේ දැක්මට අනුව නම් පැවැත්මට සුභවාදියි.

අතීතයේදී රෙද්ද හදන්න කපු කැ‍ටපු කුවේණී මිත්තණියගෙන් ආරම්භ වුනු එක් කතාවක් වගේම අනාගතේ කවද හරි දවසකත් ආපහු රෙද්ද නිසාම වෙනස්ම  අනාගතයක් ලියවෙන්නත් කටයුතු නොයෙදේවිද මෙහේ. එහෙම හිතෙන්නෙ ලෝක ධර්මතාවය කියන චක්කරේ කැරකෙනවනම් ආපහු පටන් ගත්ත තැනත් හමුනොවී තියේවියැ කියල හිතුවමයි.

Tuesday, November 13, 2012

නිවැරදි අවංකයා(අපි වෙනුවෙන් ඔබ)

හොරා  හොරකමට අවංක වීම, මිනී මරුවා මිනී මැරුමට අවංක වීම, දුෂකයා දුෂනයට අවංක වීම, මම මට අවංක වීමක් යනු මේ කියාගෙන ආ අර්ථයෙන් නම් "අවංක කම" සමාජයම විනාශයට යන මගක් මිස දියුණුවට යන මගක් නම් නොවේ‍.

හොර කම යනු හරි දෙයක් නොවේ. ඊට පෙළඹෙන සමාජීය කාරණා බොහෝ ‍තිබෙන්නට පිළිවන. නමුත් හොරකම සමාජයක පැවැත්මට අහිතකර දෙයකි. මම කව්ද? මගේ පැවැත්ම කෙබදුද? මගේ ජීවන රටාව කෙබදු වේවා මා මගේ ක්‍රියාවට අවංක වීම පමණක් සැබෑ අවංක කමක් වන්නේ නැත්තේ එබැවින්ය.

ජනප්‍රිය චිත්‍රපට වල මෙවැනි ජවනිකා තිබේ. යම් පුද්ගලයෙකුට වන අසාධාරණයක් කරණකොට ඒ වෙනුවෙන් අවංකව සටන් වදින වීරයා සමාජයේ බහුතරයකට හානිවන ලෙස මුත් තම සාධාරණය වෙනුවෙන් සටන් වදින්නේය. එය ඔහුගේ පවුලට සිදුවූ අසාධාරණයට සාධාරණ අවංක වීමක් වුව බහුතර සමාජයට  ඔහුගෙන් වන අසාධාරණය සාධාරණයක් වන්නේ කෙසේද?

මෙහිම අනෙක් පාර්ශවයද ජනප්‍රිය චිත්‍රපට සමහරක එන්නේය. පොදු අසාධාරණයක් වෙනුවෙන් සටන් වැද ඒ සටන හානියක් සමඟින් වුව දිනන අවස්ථාවන්ය. එහිදී අවංකත්වය ගැන කතාව කෙබදුද? සටනින් වන හානිය අසාධාරණ නොවන්නේ කෙසේද?

සැබෑවටම නිවැරදි අවංකයා කවුරුද?

මම අවංක විය යුත්තේ මගේ පුද්ගලික සිතුවිලි වලටද? මම අවංක විය යුත්තේ පොදුවේ සාධාරණ සිතිවිලි උදෙසාද?

මෙහිදී මතුවන තවත් වැදගත් කරුණකි, පුද්ගලයාගේ නැණ පමණ. එක් එක් පුද්ගලයා තම නැණ පමණින් දකින සාධාරණය, යුක්තිය එකක්මද? එය ‍හුදු භෞතික මානයෙන් පමණක් විග්‍රහ කළ හැකි එකක්ද? අප දකිනා යුක්තිය, සාධාරණය ක්‍රියාත්මක වන්නේ හුදු අපේ භෞතික ක්‍රියාවලීන් පදනම් වීමෙන් පමණද? එහි විශ්වීය සාධාරණ නියාමය කුමක්ද? සාධාරණය අපට තීරණය කළ හැකි දෙයක්ද, හුදෙක් කරුමයක්මද? නැතිනම් මේ දෙක අතමැදියෙක්ද?

මගේ ජීවිත රස්තියාදුව ශුද්ධ විය යුත්තේ ජීවිතය දැන ගැනීමටයි. ජීවිතය මටත් අනෙක් සියල්ලන්ටත් එකමය. එසේ නම් සාධාරණය, යුක්තිය උදෙසා නැණවත් භාවයකින් අවංක වීම යන්න වඩා ගැලපෙන දෙයක් ලෙසින් මට හැ‍‍‍‍‍‍‍‍ගේ. එය මගේ පැවැත්ම මෙන්ම අනෙකාගේ පැවැත්මේත් දියුණුව හා යහපත වෙනුවෙන් ඇති එකම මග නොවේද? 

දුහුවිල්ලෙන් උපන් සත්වයා දුහුවිල්ලටම පත්වන්නේ නම්, ස්වභාවධර්මට එකඟ නොවන්නා වූ අවංකත්වයේ පැවැත්ම මට වුවද මම වුවද ඉක්මන් නැවැත්මකට හේතු වනු නම් නොඅනුමානය.

Sunday, November 11, 2012

මාරයි(දුක නෑ)

මිනිහෙකුට ගහනවා

පොල්ලකින් ගහනවා

බිම දාගෙන ගහනවා

අපි ෆොටෝස් අප්ලෝඩ් කරල කමෙන්ට් දෙනවා

මාරයි

ඒ ගහල තියෙන්නෙ

නිවැ‍රැද්දෙලු

දුක නෑ 

මාරයි

මිනිහෙක්ට මඩ ගහනවා

අපි කමෙන්ට් දානවා

මාරයි

හිතට ‍දැනෙනවා

වැඩේ තේරෙනවා

ඒත් මොනව කරන්නද

මාරයි

අප්ලෝඩ් කරපුවම හිත නිදහස් වෙනවා

කමෙන්ට් දාපුවම හිත නිදහස් වෙනවා

අනෙක් අයට ඒ අප්ලෝඩ් වලින් මොනව හිතුනත් දැනුනත්

ඒ ‍කමෙන්ට් වලින් මොනව තේරුම් ගත්තත් අපිට වැඩක් නෑ

කොටින්ම අපේ හිත නිදහස් කරගත්තම අපිට සනීපයිනේ

හෙන ගැහුවට මොකද අහකට

අනේ

මාරයි

දුක නෑ

- මේ මිනිස්සු, කළදකට වැඩිය මොළයක් තියන, හිතන්ඩ බැරි තරම් ලොකු හිතක් තියන, කෑමයි බීමයි ඇරුණු කොට අනේක විෂයන්ගේ කෙළපැමිණි මිනිස්සු අතරෙලු මේ දෙවල්

ඒත්..

මාරයි, දුක නෑ


පිස්සු(නැත්තේ කාට)

ගොඩක් දෙනා තම තමන්ගේ කෝන, මාන වලින් ම මැනගෙන බොහොම උජාරුවට හිතා ගන්නවා අපිට නම් පිස්සු නෑ, හැබැයි අනිත් ගොඩක් මිනිස්සුන්ට නම් පිස්සු කියලා. මේක ඇත්තද?

කායික ලෙඩ රෝග ගැන කතා කරද්දි වුනත් අපේ සාමාන්‍ය මිනුමෙන් ගත්තම ලෝකයේ නිරෝගිම පුද්ගයින් කියලා පිරිසක් ඉන්නවද? කව්රු මොන නිගමන දුන්නත් දැන් අපි රෝග කියලා නොහිතන දේ පවා අනාගත විද්‍යාවෙන් රෝග කියලා නිගමනය කරන බව නම් සහතිකයි. කොටින් කීවොත් මේ ලෝකයේ පරිපූර්ණ මිනිසුන් නෑ කයින්වත් මනසින්වත්.

ඉතින් එහෙව් ලෝකෙක හැම මිනිහටම පිස්සු කියන එකත් ටික ටික හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් සාධාරණ විදිහට හැමෝගෙම පිස්සු එක්තරා මානසික ස්වභාවයන් හැටියට ගණන් අරගෙන කාටත් පිස්සු නෑ කියන්න ඕන. එහෙම නොකියන්නේ ඇයි?

සාමාන්‍ය දිවියේ අපේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය, යෝග්‍ය මිම්මක් හදාගෙන තියෙන නිසා. තමන්ගේ කටයුතු හරියාකාරව කරගන්න පුළුවන් කායික මානසික ස්වභාවය තිබෙනවනම් සරලව ඔහු සාමාන්‍ය මිනිහෙක්. එවැනි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙක් කියන්නේ ඒ නිසා. නමුත් මේ සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වෙන මට්ටමේ තත්වයන් තිබෙනවා නම් ඒ තත්වයන්ගේ බරපතළකම අනුව අපි ඔහුගේ කායික හෝ මානසික රෝග නිශ්චය කරනවා. ඒ කියන්නේ මේක සාපේක්ෂ මිනුමක්. එහෙනම් එතැන සරල අදහස එදිනෙදා දි‍වියේ සාර්ථක පැවැත්මක් තිබෙනවා නම් අපි සාපේක්‍ෂව කායික නිරෝගී අය මෙන්ම පිස්සු නැති අය කියන එක. 

නමුත් කව්රුත් දන්නවා කොතරම් හොදින් ජීවත් වුනත් එක එක අය එක එක විදිහයි කියන එක. පොදු මිනිස්කම මැද, සමාජ කටයුතු තුළ ජීවත් වුනත් එකිනෙකාට වෙනස් ගති ලක්ෂන අපිට තියෙනවා. ඉතිං මේවායේ යහපත් අයහපත් ස්වභාවයන් වගේම ඒ තුළ තිබෙන අනන්‍යතාත් අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා අපිට නොගැලපුනු පමණින් තව කෙනෙකුට පිස්සු කියන්න අපිට අයිතියක් නෑ. මානසික ස්වභාවයන් කියන්නේ ඉහළ පහළ යන දෙයක්. ඒකත් ශරීරය වගේමයි. අපි ශාරීරිකව රෝගී වුන අයව ලෙඩා කියල කොන් කරන්නේ නැති ලෙසින්ම ඊට වඩා සංකීර්ණ තත්වයක් වන මානසිකව රෝගී වුන අය කොන් කරන්නත් හොද නැහැ. මොකද අපිට වඩා මානසිකව රෝගී අය ඉන්න පරිද්දෙන්ම අපට වඩා මානසිකව නිරෝගී අයත් මේ ලෝකයේ ඉන්න නිසා. 

හිතල බලන්න අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව ඔබ ඉන්නෙ කොතනද? 

එහෙම හිතනකොට අනිකාට තියෙන පිස්සුව ඔබට නැතිවුනාට ඔබට තියෙන පිස්සුව අනෙකාට නැති බවත් තේරේවි. 

එතකොට පිස්සා කව්ද? පිස්සු නැත්තේ කාටද? 

ඇත්තේ අඩු වැඩියක් පමණක් නොවේදැයි එවිට වැටහේවි.

Saturday, November 10, 2012

ලස්සන කැත වැඩ(අවලස්සන හොද වැඩ)

හොද වැඩක් නම් එහි හැංඟුනු ලස්සනක් තිබෙනවාමයි. නරක වැඩක් නම් එතුළ දැවටුනු අවලස්සනක් තිබෙනවාමයි. එනමුත් ඒ මිම්ම අපට නොදැනේ නම් කිව හැක්කේ අපේ හිත හොදින් සුසර වී නොතිබෙන බවයි. එවිට අපට පෙනෙන්නේ මතුපිටින් ඇති ඔපය නම් වූ බොහොම සරල ලස්සනක්.

ඒ ලස්සනට මුවාවී කැත වැඩක් කෙරෙනවා අපට තේරෙන්නේ නැහැ. හරියට ඉස්සරහ හොදට මල් වැවූ හෝටලයක පිටිපස්සෙ ජරාවල් ගොඩගැහෙන්න අරිනවා වගේ. ඒ වගේම තමයි ඉස්සරහ මල් වැ‍වුවෙ නැතත් කුස්සිය හොද හෝටල් තියෙන්න පුළුවන්. ඒත් අපි එතනදි හොද කෑමකට ‍වඩා පළමුව දකින ඉදිරි පෙනුමට කැමති වෙනව, කෑම රස බලන්නෙ දෙවනුවට නිසා. හැබැයි අපි කවදාවත් උනන්දු වුනේ නැත්නම් හොද කෑම තියෙන්නෙ කොතනද කොයි හෝටලේද කියන එකත් අපිට දැනගන්න ලැබෙන්නෙ නැහැ. අපි හැමදාම ලස්සන නමුත් කෑම හොද නැති හෝටලෙන් කනවා.  අපිටත් පාඩුයි. අවලස්සන හෝටලේටත් පාඩුයි. බැරිවෙලා හරි අවලස්සන හෝට‍ලයෙන් කන්න උන දාට අපි රසේ වෙනස තේරුම් ගන්නවා. අවලස්සන තැන්වල හොද වැඩ ගැන දැනෙන්නෙ එවිට. 

මෙහේ නීතිය රකින නිලධාරියෙක් නීති කැඩීමකට අපට දොස් පැවරුවොත් ඒක දැකුමට අවලස්සනයිද? අතට ගත මනාවක් අරගෙන හිනා වෙලා කටවහ ගත්තොත් ඒක හොදයිද? අපිම ගතමනා දීලා අපිම අර නිලධාරීන්ට බනින්නේ නීති කඩනවා කියලා. ලස්සන කැත වැඩේ අපි කරන්නේ ඒ විදිහට‍. සමහර දොස් දැක්වීම් අවලස්සන හොද වැඩ වෙන්නෙ ඒ විදිහෙ සිද්ධි වලදි. 

ජරා ජීර්ණ වුනු පරණ වාහනයක් තීන්ත ආලේපයෙන් දිදුළවන්නට පිළිවන්. නමුත් එයින් ලස්සන පෙනුම මිස වෙන කිසිදු යහපතක් වන්නේ නැහැ. තීන්ත ආලේපය ජරා ජීර්ණ වුනු නමුත් ක්‍රියාකාරීත්වය හොද නම් එවැනි වාහනයක් වටිනවා. නමුත් ඇසට ප්‍රිය නැහැ. එහි තීන්ත ටිකක් ගෑවා නම්..තත්වය ආපහු වෙනස් වෙයි. හේතුව කොතරම් හොද වුනත් ලස්සන නැත්නම් සිත් ගන්නා සුළුබව අඩුවෙන්නෙ පුළුවන්. මිනිස් හිතේ හැටි එහෙමයි.

එබැවින් ලස්සන වීම වැදගත්, හැබැයි හොද වැඩක් සදහා. අකමැත්තෙන් වුනත් හොද වැඩක් සදහා ටිකක් අවලස්සන වෙන්න වුනත් කමක් නැහැ. මොකද පෙනුම කොහොම වුනත් වැඩය හොද නම් ප්‍රතිඵලද හොදම වන නිසා. නමුත් කැත වැඩ ලස්සන කිරීම නම් විනාශයට හේතුවක්. වැඩේ ලස්සන වුනත් ප්‍රතිඵලයෙන් වෙන්නෙ අයහපතක් ම නිසා. ඒ වැඩ අවලස්සනටම වෙනවා නම් හොදයි. 

එනිසා අවලස්සන හොද වැඩ ලස්සන කරන්න වගේම ලස්සනට කරන කැත වැඩවල අවලස්සන පෙන්නන්නත් අපි කාටත් යුතුකමක් තිබෙන්නේ මේ සමාජය කියන්නේ අපේම එකතුවක් වන නිසාමයි.

Tuesday, November 6, 2012

ඉස්පිරිතාලය(චින්තන විප්ලවය)

සියලු දනා සුවපත් වෙත්වා.

ලංකාවේ චින්තන විප්ලවයක් පටන් ගන්න හොදම තැන ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ. නේවාසික අය හැරුණු කොට කාර්ය මණ්ඩලය වගේම උදේම ඕපීඩී එකට එන ලෙඩ්ඩුත් විශේෂයෙන්ම අපේ රටේ පවතින දහම්රාගයේ පිහිටෙන්  හොදටම සසර දුක වටහා ගෙනයි ඉන්නෙ. ඒ අයගෙ යටි හිත් වල මානුෂික ගුණාංග පිරිල. හැබැයි මේ සේරම තුණ්ඩු දීල බෙහෙත් ගන්න පෝළිම් වෙලා ඉන්න තත්පරෙන් තත්පරේ ඇස් පනාපිටම බිද වැටෙනව.

අපි හොද වීර්යක් තියෙන රටක මිනිස්සු. හැබැයි ඒ වීර්ය හරි විදිහට පණ ගන්වල හොද වේගයකට ගන්න බැරි වුනොත්, අපි තරම් නිවට වෙන තවත් පිරිසක් ඉන්නවද කියල හොයන්න ලෝකයේ සමීක්ෂනයක් කරන්නත් වෙයි.

මා ගාව තිබුණු නූල් පන්දුවක කෙළවර හොයාගන්න මට ගොඩක් දුක් විදින්න සිද්ද වුනා. හේතුව නූල් බෝලෙ දිගහැරිල අවුල් වෙලයි තිබුනෙ. හැබැයි කෙළවර හොයා ගත්තම ඒක දිගහැරගන්න මට පහසු වුනා.

අපේ මිනිස්සුන්ට ලෙඩ නෑ. ඒත් හිත් වලින් ලෙඩ වුනාම ආයේ ගොඩ එන එක ලේසි නෑ. තවම මෙහේ ගොඩක් අය දුක්වෙන්නෙ ගතේ ලෙඩ ගැන විතරයි. තව දශක දෙක තුනකින් මෙහේ අතගහන්න වෙන්නෙ අපි ආදර්ශ ගන්න ගොඩක් තැන්වල තියෙන විදිහටම හිතේ ලෙඩ වලට. දැන් පටන් ගෙන තියෙන්නෙ ඒකෙ ආරම්භය. ගත ලෙඩ කරවල පටන් ගන්න මේ ලෙඩේ හෙට වෙනකොට හිතට දැනේවි. 

ඒක නිසා ඉස්පිරිතාලෙට යන්න, ගෙදර ඇවිත් හිතන්න ඊලඟට නැවතෙන්නෙ කොතනද කියලා?

පරම ලාභය ආරෝග්‍යද, පරම ධනය සතුටද, ඒක ලැබෙන්නෙ කොහොමද, ඒ ටික හිතුවොත් හරි උත්තරය හොයාගන්න පුළුවන් වෙයි.

Saturday, November 3, 2012

උපාය(1/1000)

කුකුළු පැටව් දෙදෙනෙක් මිදුලේ කතා කරමින් හුන්නෝය.

1000- මගේ පරපුර උගැන්මට ම උපන් පරපුරකි. එබැවින් මගේ අධ්‍යාපනය දහසකුත් ප්‍රශ්න නැගීමට අවශ්‍ය දැනුම සම්පාදනය කර ගැනීමයි. ඔබේ අදහස කුමක්ද?

1-මගේ පරපුරේ අය සේවකයෝය. සැම ප්‍රශ්නයකටම ප්‍රායෝගික විසදුම් සොයන්නට ඇත්තේ අපටයි. එනිසා මා සොයන්නේ දහසකුත් ප්‍රශ්න විසදන ක්‍රමයකි. මගේ අදහස ඒකයි?

1000- අනතුරකදී ඇතිවන දහසකුත් ප්‍රශ්න ගැන ඔබ දන්නවාද?

1-මා හිතුවේ දහසකුත් ප්‍රශ්න වලට මේ මොහොතේ දිය හැකි පිළියම, හැකිනම් දුවගොස් සැඟවෙන්න දැන්ම.(කුකුල් පැටවා අවසන් වචන කීපය කීවේ දිව යන ගමන්මය. නමුත් අවසනාවකට දැනුමැති කුකුල් පැටවා සිතන්නටත් පෙර ඌ ඉහළට එසවුනේ එකවර පහත් වූ උකුස්සාගේ දඬු අඬුවක් බදු පාද යුග්මයේ සිර වෙමිනි.)

වැරදි හා මිනිස් ගතිය(මෝඩ කමෙන් මිදීම)

මිනිස් ගතිය වැරදි කිරීමද? 

එහෙම දෙයක් කතාවට කීවාට එහෙමම කිව හැකියයි මම නම් නොසිතමි. නමුත් වැරදි කිරීම නොව වැරදි සිදුවීම මිනිස් ගතියක් විය හැකිය. එය මිනිස් මෙන්ම සත්ව ගතියක්ද වනු ඇත. නමුත් මිනිසාට තව පියවරක් ඉදිරියට තැබිය හැක. එනම් වරදක් සිදුවූවා යැයි හදුනාගත්තේ නම් හැබෑවටම එය පිළි ගැනීමයි. මිනිස් ගතියක් යැයි කටපුරා කිව හැක්කේ නම් එබන්දකි. එහි අදහස මිනිස් ගතිය යනු වැරදි කිරීම නොව වැරැද්ද පිළිගැනීම යන්නයි. 

වරද පිළිගැනීම පමණක් ප්‍රමාණවත්ද?

වරදක් සිදුවූ බව තේරුම් ගත් විය නිවැරදි වීමට මිනිසෙකුට ‍ඕනෑ තරම් අවකාශ ඇත. එහිදී නිවැරදි වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ කපටි කමකි. වරද පිළිගෙන ඇත්තේ ජාම බේරා ගැනීමටය. එවිට ඔහු හෝ ඇය අයත් ව‍න්නේ දැන දැන වැරදි කරන ගනයටය.

සිදුකළ යුත්තේ පසුතැවීමද?

පසුතැවෙමින් හිටියාට අත්වන ඵලක් නැත. සිදුවූ වරද පිළිගෙන එය නිවරද කර ගත හැකිනම් එතැන ඇති වන්නේ පසුතැවීමක් නොව ඉදිරි ගමනකි. වැරැද්දෙන් ඉගෙන ගන්නවා යනු එයයි. මිනිසුන් මෝඩකමෙන් මිදෙන්නේ එවිටයි.

වැරදි ගැන කිය කියා, වැරදි කරුවන්ට දොස් නැගමින් හිදීමම ඵලක් ‍ඇති දෙයක් නොවේ. වැරැද්ද ගැන විචාරිය යුත්තේ වැරැද්ද හදුනා ගැනීමට මිස, එය නිවරද කර ගැනීමට මිස අන් කුමකටද? දියුණුව හෝ පරිහානිය ඒ මත රැදෙනු ඇත.

කුරුටු ගීය

මම කියවමින් සිටි පොතෙන් දෙනෙත් මෑත් කර එපිට බැලීමි. නෙත් රැදවෙන්නේ එක එල්ලේ ඈතින් පෙනෙන කදු ගැටයේය. පැහැදිලි අහසේ ඈතින් පෙනෙන කදු ශිඛරය එදා සේම අදද මා සිත අවදි කරවන්නේ අපූරු කුහුලකිනි. මම පුටුවේ සැහැල්ලුවට දිග ඇදුනෙමි. 

සෙමෙන් නෙත් පියවෙත්ම අදුර සිදලන හිරු රැස් කැටිත්තක් සේ කුහුල සිදන රැස් දහරක් සිත තුළට එබෙන්නේ පුංචි කවුළුවක් තුළින් මගේ මතකය අතීතයට යවමිනි. මම උපැස් යුවල ගලවා පොත මතින් තැබීමි. සැබවින්ම මගේ දෙනෙත බොදවිය. සිතිවිලි අර කවුළුවෙන්ම ගලා එයි. එදා මොහොතක සිනහවක් ගෙන දුන් ඒ කතාව අද මට අතැඹුලක් ව ඇති සැටි.

අර කවුළුව තුළින් මා අතීතයට පිය මනින්නට වූයෙමි. ඈතින් පෙනෙන කදු ශිඛරයේ මුදුනට පහළින් තියුණුව පෙනෙනුයේ කුඩා දොරකි. ඈතට මුත් පැහැදිලිව පෙනෙන ඒ කුඩා දොර දිස්වූයේ ගුහා කටක් පරිද්දෙනි. හැමදා දකින මෙදසුන අවුරුදු පනහකට පෙර කොලු ගැටයෙකු වූ මගේ සිතේ නිරන්තර දල්වා තිබුනේ නොසන්සිදුනු කුහුලකි. දිනක් එහි කූටප්‍රාප්තිය එළඹියේය. මා මිතුරෝ ‍දෙදෙනෙක් අප නිවසට පැමිණියේ එහි ප්‍රතිඵල වශයෙනි. නිවසේ මුව දොර පිහිටි කදු ශිඛරය තරණය කිරීම අපේ දිනයේ අභියෝගය විය.

දුටු මතින්ම කන්ද මුදුනට පහළින් පෙනෙන්නා වූ ගුහා කටක් බදු විවරය මා මිතුරන්ගේද සිත් කුහුලින් ‍පුරවා තිබිණි. උදෑසණ තේ පානයෙන් අනතුරුව අප තිදෙනාගේ ගමන ආරම්භ විය. අපි ගමන් කළෙමු. කදු මුදුන දිශා කොට වැටුනා වූ අඩි පාර ඔස්සේ ගමන් ගතිමු. නිරන්තර මිනිස් පාද ස්පර්ශ නොකරන බව කියා පෑ මේ අඩි පාරේ ඉදිරියට යත්ම අපට බාධක බොහෝ විය. කටු පදුරු, වල් පදුරු අප දෙපය විටින් විට බදා වැළද අප පොළොවට පහත් කෙරෙව්වෝය. අපි ඒ පදුරු ඇද කඩා අපේ ගමන ඉක්මන් කළෙමු. නමුත් එය පහසු දෙයක් නම් නොවීය. එන්ට එන්ටම අඩි පාර පාරකට වඩා මං සළකුණු වලට පමණක් සීමා වන බැව් පෙනුනි. කුහුලත් එනිසාම ඇතිවූ දිරියත් නිසා කුමන බාධාකයකටත් අප අභිබවා යෑමට අපි ඉඩ නොදුන්නෙමු. කටු පදුරු වලින් දෙපය සීරී යද්දී අපි අපේ අවසාන ඉලක්කය පෙනෙන මානයට පැමිණියෙමු. 

 

වැලක එල්ලී යාම කොතරම් අපහසුද, වැලකින් වැලකට මාරු වීම ඊටත් වඩා අපහසුය. එක් වැලක දැඩි වීරියෙන් යුතුව එල්ලී ආ අපට දැන් සිදුවී තිබෙන්නේ වැලකින් වැලකට මාරුවීමටයි. ගුහා කට ඇත්තේ අපට ‍‍වඩා අඩි පහළොවක් පමණ සීග්‍ර නැග්මකට ඉහළින්ය. මෙතරම් අපහසුවක් විද මෙතනට පැමිණි අප කෙසේ නම් සටන අතහැර පලා යන්නද? අපි අභියෝගය බාර ගත්තෙමු. පස් කණ්ඩිය බදා වැළද ගත් අප එකිනෙකා බැගින් ඉහළට යන්නට කළ උත්සාහය අතිශය ත්‍රාස ජනක විය. යන්තම් පය ගසා ගත හැකි කණ්ඩියේ පොඩි කඩතොළු වලට පය රිංගවා කණ්ඩිය මත ඇති වල් පදුරු වල ශක්තියෙන් ඒවායේ එල්ලෙමින් ඉහළ නැගෙන්නට අපි දැරූ උත්සාහය කෙළවරක් නොවීය. ඒ හැම මොහොතකම අපේ උත්සාහයේ නෙත් තුළ දැල්වුනේ ගුහාවේ නිධානයකි. ඒ ව‍යසේ ස්වභාවයට මෙන් අප කා තුළත් නිධානය නම් අලුත් දේ සොයා අත්පත් කර ගැනීමේ උවමනාව දැඩිව විය. 

දහදියෙන් සිරුරු තෙත් කළ ව්‍යායාමයෙන් පැයකට පසු හති හලමින් ගුහා කට අභිමුව සිටින්නට අපි සමර්ථ වීමු. බිම වැතිරී විඩා නිවා ගතිමු. කටෙන් එබෙනා විට ගුහාව තරමක් අදුරුය. ඈත සිටන් බලනා කළ වුව ගුහාවේ කටක් පෙනෙන්නේ එය  ගොඩනැංවීමක් නිසාය. මිනිස් දෑතකින් බැදුනු ගඩොලින් ගුහාවේ කට දොරක් සේ නිමවා තිබිණි. එය පහත සිට බැලූවෙකු දකින තරමට මේ නිරාවරණ පරිසරයේ තියුණුව දිස්වන්නේ එනිසා බව අපට පසක් විය. කටින් එබුනු අපි හිමින් සීරුවේ වට පිටට දෑස් යොමු කළේ මිනිස් දෑතකින් නිමවුනු මේ ගුහා කුටියේ කිසිවකු ලැගුම් ගෙන සිටීමක් ගැන අපට ඉවෙන් මෙන් හැඟුණු නිසාය. දෙවනුව සතා සර්පයා ගැන නිරන්තරයෙන් මෙබදු අදුරේ ඇතිවන බිය නිසා අපි ප්‍රවේශමෙන් අඩි තබන්නට වීමු. ගුහාවේ ද්වාරය අසළින් මෑත් වත්ම අපගේ සෙවණැලි ඡායා ඇදෙන තරමේ ආලෝකයක් කුටිය තුළට වැටුනේය. 

"මොකුත් නෑ" අපේ කෙනෙක් කීවේය.

"ආපහු යමුද? මම ඇසුවේ ගුහා කුටියේ ඒ මේ අත සැළකිය යුතු වේලාවක් පියවර නැගීමෙන් අනතුරුවයි. 

"අර, බිත්තියේ මොකක්ද ලියලා" ‍ප්‍රොෆෙස යන අන්වර්ථයෙන් හැදින්වුනු අනෙක් මිතුරාගේ දෑසට යමක් හසුවී තිබුනේය.

අපි හිස් පහත් කරගනිමින් එතැනට ළං වුනෙමු. මෙය එතරමට ලොකු ගුහාවක් නොවූ බැවින් එකිනෙකා හැපෙන තරමේ සමීපයක සිට ලියා තිබූ දේ අඩ අදුරේ කියවන්නට උත්සාහ කළෙමු. තියුණු දෑස් තිබූ අපට අදුරේ වුව ඒ ගල මත හුණු ගලකින් අසීරුවෙන් කුරුටු කළ අකුරු ගලපන්නට අවසන හැකිවිය. ප්‍රොෆෙස ඒ පද වලට සෙමෙන් හඬ මුසු කළේය. 

 

බොහෝ දුක් විදවමින

ඇයිද ආවේ ඉතින

මොකුත් නෑ දැන් දකින

තේරුනා හිස් බවම

නොතේරී ඒ බැව් මෙහෙ ආමි. තේරුම් ගත් බැවින් මෙලෙස ලිවීමි.

 

 

නිමි

Friday, November 2, 2012

දැන දැන වැරදි කරන්නෝ(නිවරද බර දැන උස්සන්)

මිනිස් සමාජයේ බොහෝ දෙනෙක් වැරදි කරන්නෝය. ඒවා සාධාරණීකරණය කරන්නෝය. 

මේ සදහා හේතු ව‍ශයෙන් හලෝව් රස්ටා දකින්නා වූ කරුණු දෙකකි. එකක් කපටි කමය. අනෙක මෝඩ කමය. තවත් ආකාරයකින් කීවොත්: දන්නා බව වැඩි කමය. නැත්නම් නොදන්නා කමටය.

විපරමෙන් අපේ සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ මේ කොට්ටාශ දෙකම බහුල වශයෙන් සිටින බවය. 

සමහරු දන්නා බව සිතා සිටියාට කරන කියන දෙයින් පෙනෙන්නේ නොදන්නා බවයි. තවත් සමහරු නොදන්නා බව පෙන්නුවාට කරන කියන දෙයින් නම් පෙනෙන්නේ ඔවුන් නොදන්නවා යන්න නොවේ.

සමාජයට ප්‍රබලම විනය කටින්නේ මේ දැන දැන වැරදි කරන්නන්ය. ඔවුන්ගේ කපටිකම් සමාජය පිරිහෙලන්නට කෙළින්ම දායක වන්නේය. පැවැත්ම සදහා උචිතයෙකු වීම උදෙසා කරන සටන සාධාරණ කරගන්නට කියන්නේ කපටිකමෙන්, වංචාවෙන් නොවේ. සැබෑ විග්‍රහයක් මතිනි. මේ විග්‍රහය දැන දැනත් තමන්ගේ සටන කූටත්වයෙන් සාධාරණීකරණය කරන්නා නිවටයෙකි. එහි සරල අදහස දැන දැන වැරදි කරන්නේ නිවටයින් බවයි. එබැවින් ඔවුන්ට කිසිදු සමාවක් නැත. යම් දිනෙක තමන්ගේ හෘද සාක්ෂිය හමුවේ දැවෙන්නට සිදුවීම ඒකාන්තය. එහි දින වකවානු දැන ගැනීම ඔවුන්ටම මිසක් අපට අයත් කාරියක් නොවේ. (නමුත් සරල අනාවැකිය නම් මරණයේදී ඔවුන්ට ඒ පිළිබද හොදින්ම දැනෙනු ඇත යන්නයි.)

එහෙනම් නොදැන වැරදි කිරීම සාධාරණද?

නැත. නමුත් සත්‍ය දැන ගන්නා තෙක් ඔවුන්ට සමාවක් ඇත. ඉන් ඔබ්බේ ඔවුන්ද දන්නා අය වීම නිසා එතැන් සිට වැරදි කරන්නේ නම් දැන දැන වැරදි කිරීමේ වරදට ඔවුන්ටද සමාවක් නැත.

වැරැද්ද මොකද්ද?

හැම වැරැද්දකටම පිළිතුරු ඇති අද සමාජයේ කෝකත් සාධාරණීකරනය කරන්නේ ඉතා පහසුවෙනි. බොහෝ දෙනාගේ ඇස් පනාපිටම බලවන්තයින් කරන අපරාධ ඉතාම සුළු වැරදි සේ මෙහේ බොහෝ තැන්වල සාධාරණීකරනය වන්නේ එබැවිනි. මෙහිදී අපට කළ හැක්කේ කුමක්ද? කළ හැක්කක් ඇත. 

එනම් එබදු බලවන්තයින් වේවා, කුල වන්තයින් වේවා, දැන දැන වැරදි කරන්නන් ප්‍රතික්ෂේප කිරීමය. එම ප්‍රතික්ෂේප කිරීම ගෙදර සිට කරන්නක් පමණක් නොව ඔවුන් ඉදිරියේ වුව කෙලින් කීමට තරම් ශක්තියක් ඇති කර ගැනීමය. එවැනි කෙලින් සිට ගත හැකි කී දෙනෙක් අද මෙහේ සිටිත්ද? මේ කියන්නේ වෛර හිතකින් බුම්මාගෙන හිදීමක් ගැන නොවේ. ආවේගය වේගයක් බවට පත් කරගෙන ඉන් ශක්තියක් උපදවා ගෙන නැගී සිටීමක් ගැනය. මෙය සපුරාම කළ හැක්කකි. 

පළමුව ඔබ නිවැරදි කෙනෙකු වීම මෙහි පළමු අවශ්‍යතාවයයි. ඔබ නිවැරදි නම් බොහෝ දෙනා කියවන "බලවතුන් හමුවේ මරණ බය දැනීම" ඔබට විහිළුවක් පමණක් වනු ඇත. අද සමාජයේ ප්‍රසිද්ධ ජඩ දේසපාලුවන් හමුවේ තමන්ම ගස් බැදෙන නිවටුන් බිහි වන්නේ කලිසමේ මුත්‍රා යන මේ මරණ බය නිසාය. 

මිනිහෙකු මැරෙන්නේ එක් වරකි. නිවටයා හැම නිවට කමකදීම මැරි මැරී උපදින්නේය. අද ලංකාවට ආවේගයෙන් නොව හැබෑ වේගයකින් ක්‍රියා කරන තරුණ පරපුරක් ඇවැසිය. නමුත් ප්‍රශ්නය, අපේ පරපුරේ බොහෝ දෙනාට ඕනෑ වී ඇත්තේ දැන හෝ නොදැනම අනුන් විසින් පුම්බන නිවටයින් වීමට මිස තමන් විසින්ම ශක්තිමත් කරගන්නා මස්පිඩු දැරීම නොවේ. මේ කි‍යුවේ බොඩිබිල්ඩින් ගැන නොවේ. එහි වරදක් නැත. හැබැයි චින්තනයෙන් ශක්තිමත් නැති එකා ගතින් කොපමණ සවිමත් වූවත් වැඩක් නැත. 

එබැවින් තරුණයන්ට සැබෑ හෙටකට නම් මෙහේ, පණ ඇතිව නැගිටියව් ආවේගෙන් නොව වේගයෙන්.

දන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් දන්නවාද කියා. 

නොදන්නවා කියා හිතන බොහෝ දේ නැවතත් හිතා බලපල්ලා ඇත්තටම කොච්චරක් නොදන්නවාද කියා.

එතකොට නුඹලාට ඇත්තටම හමුවේවි, දන්නා දේ තුළ හැංඟුනු නොදන්නා දේත්   නොදන්නා දේ තුළ හැංඟුනු දන්නා දේත් - උඹලා ශක්තිමත් වෙන්නෙ ඇත්ත තේරුම් ගත් දාට විතරයි. 

එතකම්: කොච්චර උඩ ගියත් සද්දයක් නැති පුස් අහස් කූරු විතරයි නුඹලා...