Showing posts with label ශක්තිය. Show all posts
Showing posts with label ශක්තිය. Show all posts

Thursday, October 26, 2023

විසෙන් විෂ ~ නසමුද :

සාර පින් බිම නිස්සාර

කරපු උන් වී සරුසාර

සමය නිමවා පව්කාර

නසා ලමු විෂ විෂඝෝර


අවකෙළි කරන් ගිනිකෙළි

ගුණ දම් මරා ගුටිකෙළි

මජරයින්ගේ සැණකෙළි

කොහෙද රජයේ සැලකිළි


කිරි දරු ගෙන ප්‍රාණ ඇපයට

මව කෙළෙසන්න හැකි උන් හදන තැනකට

තව කල් මරා රට රමණ නැකතට

ඉඩ නොදෙමු සුනඛයින් රට කරන තැනකට

Monday, October 23, 2023

ඇති වෙයන්! බැරි නම් නැති වෙයන්! (මජරයන් පෑගීම ද උන්ට යට වීම ද)

අන් රටවල ජාතක විශ්ලේෂණය තබා තමන්ගේ ජාතකය සොයා පාදා හදා ගත යුතු රටක ~ යුක්තිගරුක මිනිස්සු

Thursday, April 20, 2023

ඔඋන්ගේ ආදරය බලයට ය. රට හෝ ජනතාව ඔඋන්ට අදාළම නැත.

දේශපාලන බල මජරත්වයේ මානසික බර අවිය ~ ජන මනස තුළ ස්ථාපිත ස්කිමාවකි. අපි ම දමාගත් ලෙඩ කි. අප 'ඵලය' මිස 'හේතු ව' නොවෙයි ~ නිරන්තර අප විසින්ම අපේ ඔලුවට දමාගත් මුළාව එයයි. 

එලෙසම දේශපාලකයා මෙහෙම හිතනවා. අපිව පත් කළේ ජනතාව. ඒ අනුව හේතුව ජනතාව. ඵලය තමා අපි, වැරදි නම් ඇයි බලය දුන්නේ..

මජර දේශපාලනයට ඒක හොඳ තර්කයක්.

එතකොට බලය සම්බන්ධ කාරණයේ දී ~ ජනතාව ~ අපි බලය දුන්නා, වගකියපල්ලා කියන අතරේ

දේශපාලකයා ~ ජනතාව අපිට බලය දුන්නා, කරන්න දීපල්ලා කියනවා.

අවසානෙදි වගවීමත් නෑ. කෙරෙන දේකුත් නෑ. කාලය කනවා, මැති ඇමති තණ්හාව මෝරනවා, ඩීල් දැමෙනවා, රට කාලකණ්ණි වෙනවා. ආයෙ බැට කනවා.

එහෙනම් ඇයි අපි අපට වගනොකියන ඔඋන්ව තෝරා ගන්නේ. ඉදිරිපත් වෙන්නෙ එක ම පිරිස් වෙන්න පුළුවන්. ඒත් ඇයි මජර අයවත් බොහෝ විට ප්‍රතික්ෂේප නොවෙන්නේ. ඒකයි මා න සි ක හු රු ව.  අපි බබාලා ගැඹුරින් හිතන්නෙ නෑ ප්‍රතිඵලය තීරණය කෙරෙන හේතුව අපි කියලා. නැත්නම් අහිංසක වැඩි කමට තීරක අයිතිය පවා දීලා. සල්ලි වලට විකිණිලා, අල්ලසකට යට වෙලා.

ඉතින්, ඇත්ත හේතුව ~ අපි, ඵලය ~ ඔඋන්. එනිසා අප විසින් නිවැරදි ප්‍රතිඵල උදෙසා හේතු සම්පාදනය නොකෙරෙන තාක් හොරු /තක්කඩි /වනචර /මජර පිරිස් තම දක්සතා තුළින් අපි දුන් බලය ක්‍රියාවට නඟනවා. ඒ ඉසව් වලින් රට මෙපමණ දියුණුවට ගමන් කර ඇත්තේ ඒකයි. වෙමින් පවතින්නේ එයයි. 

දෙකෝටියකට වඩා එකෙක් බලවත් වෙන්නෙ විධායක කම නිසාම නොවෙයි. ජන අරගලයෙන් පුළුල් කර ගත් ජන මන ස්කිමාව ආපහු පරණ දේශපාලන තැටියටම අකුළගත් නිසා : ඒ තැටිය වාදනය වෙනකම් රටම විකුණුවත් අපි එකම තැනමයි. එයා මෙයා කරයි, ණයට කරයි, පිනට ලැබෙයි කියල හිතන කම් ජනතාවත් රටත් අසරණයි. මජර දේශපාලයේ බර අවිය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි. ඒකට උන්ඩ දෙන්නෙත් ගොදුරු වෙන්නෙත් අපිමයි!

අරුතක් සහිත ජීවිතයක් හොයන්න නම් අවම වශයෙන් අවියත් උණ්ඩත් ගැඹුරු මුහුදේ ගිල්විය යුතුමයි. හතර වටේම මුහුද නිසා අවි බර උනත් හරියට උත්සාහ කරොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ ! කවුරුත් එකතු වෙලා කරොත් බර තවත් හෑල්ලු වෙයි: අපිත්, රටත් හෙට ට ඉතිරි වෙයි !

Thursday, August 21, 2014

මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.

හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් මමත් පිරිමියෙක් නම් එතැන ගණය පිරිමිය. ඔබ ගැහැනියක් නම් මම පිරිමියෙක් වුවත් එතැන අප මිනිස් ගණයේය. ඔබද මිය යනු ඇත. මමද මිය යනු ඇත. එතෙක් අප දෙදෙනාම ආහාර ගන්නෙමු. ඒ දෙතැනක හිදය. ගන්නා ආහාර වර්ගද විවිධය. එහෙත් අප දෙදෙනාම එකලෙස ආහාර දිරවා එක ලෙස බැහැර කරන්නෙමු. ඔබේ දේශගුණය සෞම්‍ය කළාපික වනු ඇත. මා උෂ්ණ කළාපයක වනු ඇත. ඔබේ පැහැය එකක් වද්දී මගේ පැහැය තවකක් වනු ඇත. එහෙත් අප ව්‍යුහාත්මක වශයෙන් එකම විශේෂයක වන්නෙමු. ඔබ මුහුණ දෙන අද්දැකීම් විවිධය. ඔබේ වයස මට වැඩි හෝ අඩුය. මගේ අවශ්‍යතා එකක් වද්දී ඔබේ අවශ්‍යතා තවකකි. එහෙත් අප දෙදෙනාම නින්දත් නොනින්දත් දෙකම ලැබ දිවි ගෙවන්නෝය. ඔබේ පවුලේ සාමාජිකයින් ගණනින් බොහෝ වන්නට පිළිවන. නැත්නම් පවුලේ එකම දරුවා ඔබ වන්නටත් පිළිවන. මගේ තතු ඊ‍ට ඉදුරාම වෙනස් විය හැකිය. එහෙත් අප දෙදෙනාම එකම මූලයකින් බිහිවූවන්ය. ඔබට දරුවන් ද සිටිනවා විය හැකිය. මා විවාහකයෙකු නොවන්නට ද පිළිවන. එහෙත් පුද්ගල භූමිකා වලින් තොරව ගත්විට අප දෙදෙනාම ලෝක වාසී මනුෂ්‍යන්ය. අපට ලැබෙන සැලකීම් පිළිගැනීම් විවිධ වන්නට පිළිවන. එහෙත් අප දෙදෙනාම උපතත් විපතත් අතර දිවියකට හිමිකම් කියන්නන් පමණය. ඔබ මට ඔබේ අදහස් නොකීවා වන්නට පිළිවන. මා මගේ අදහස් ඔබට කීවා වන්නට පිළිවන. මම ඔබ නොදන්නවා වන්නට පිළිවන. ඔබ මා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් අප ලෝකයේ කොහේ  හෝ දිවි ගෙවන්නන් බව අපට විශ්වාසය. එනම් අප ජීවින් බව අපට විශ්වාසය. එයිනුත් මනුෂ්‍යන් බව තව දුරටත් විශ්වාසය. සිංහලය දන්නා බවට ඉදුරාම පැහැදිලිය. ඒ එකම සිංහලය දන්නා නිසා ඔබත් මමත් අතර මනුස්සයා යන්න හැර සියල්ල වෙනස් වුවත් තවත් එක දෙයක් සමාන විය යුතුමය. එනම් සිංහලය දන්නා එකය. දන්නා සිංහලය අප එකි නෙකා වටහා ගන්නා අකාරය විවිධ වන්නට පුළුවන. ඔබ හරි යැයි සිතන දේ මම වැරදි යයි සිතනු ඇත. සමහරවිට එකම දේ අප දෙදෙනාම සිතනු නැත්ද? මම මා ගැන බොහෝ කොට තේරුම් ගෙන ඇත. ඔබ ඔබ ගැන බොහෝ කොට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ඔබෙන් මට ඵලක් නැතිද? මගෙන් ඔබට ඵලක් නැතිද? මිනිසෙකුට තවත් මිනිසෙකු‍ ගෙන් ඵලක් තිබෙන්නේ ගනුදෙනුවකදී පමණක්ද? මම පරිගණකය ඉදි‍රියේ හිදින්නෙමි. ඔබත් පරිගණකය ඉදිරියේ හිදින්නෙහිය. ඒ එකම වේලාවේක නොවනු ඇත. ඔබ යමක් කියවනු ඇත. ලියනු ඇත. බලනු ඇත. මමද යමක් කියවමි ලියමි බලමි. ඒ එකක්ද නොවනු ඇත. එහෙත් දෙකක්ද නොවේ. ඔබටත් මටත් බලන්නට ඇති දේ වල එකම වෙනස රට රට වල තහනම් කොට ඇති දේ පමණි. ඔබත් ලෝකය දකින්නෙහිය. මමද ලෝකය දකින්නෙමි. ඒ එකම ලෝකයකි. නමුත් එකම ආකාරයෙන් නොවේ. කිසිසේත්ම එකම ආකාරයෙන් නොවේ. එ්ත් අප දෙදෙනාම ජීවත් වන්නේ දෙරටක වුවත් එකම රටක දෙතැනක වුවත් එකම ලෝකයේය. ඔබේ පැවැත්ම මමය, මම කියමි. ම‍ගේ පැවැත්ම ඔබය, ඔබ නොකිව්වත් මම කියමි. තවත් මිනිසෙකු නැති ලෝකයක ඔබට පැවතිය හැකිද? මට පැවතිය හැකිද? උත්තරයක් මෙතන ලිවීමට අවැසි තරම් ‍ඔබ හෝ මා බුද්ධියෙන් මන්ද නොවෙමු. එබැවින් මට සහය දුන් ඔබට ස්තූතියි. මගේ ඉදිරි දැක්ම හැදෙන්නේ සියල්ල එකක් බව වටහා ගැනීමෙනුත් එකක් යනු සියල්ල නොවන බව තේරුම් ගැනීම තුළත්ය. ඒ අවබෝධය ලබා දෙන්නට මට පිටිවහල් වූයේ ඔබය. එබැවින් නැවතත් ඔබට ස්තූතිය. දිනෙක අප හමුවන්නටත් කෙදිනකවත් මේ අවකාශයෙන් පිට අප හමු නොවන්නටත් පිළිවන. එහෙත් යහපත පතන ඔබට පිං...සිංහලය තේරෙන අපට එකිනෙකා කෙරෙහි මෙත් සිතින් දිය හැකි එකම තුතියෙන් මම ඔබට සංග්‍රහ කරමි. 

අවසන් වශයෙන් කියමි, මගේ ඉදිරි දැක්ම ඔබයි. ඔබ දෙස බලා ‍මම ශක්තියක් ලබමි. ඒ ශක්තියෙන් මගේ ඉදිරි දැක්ම නිරන්තරයෙන් පෝෂනය වනු ඇත. ඔබට ජය.

ශුද්ධ වූ රස්තියාදුව ජීවිතය ඇතිතෙක් නිමි නොවේ. හිතට එකගව වැරද්දෙන් තොරව ජීවිතය දිනන්නට අප හැමට ශක්තිය...වේවා. 

 මිනිසුන් හැටියට ඉපදී යහපත් මිනිසුන් හැටියට මියයමු.