Sunday, November 30, 2014

දූපතක අපි - ............. පෙර කිවයුතුම ටිකකි.

දූපතක වැසියෝය අප. ඒ දූපත් වාසී කම ලජ්ජාවක් වගේ දැනෙන්නේ උපතින්ම හරි පස්සේ හරි ටිකක් ඉංගිරිස් වලින් කටදිව තෙමෙන්න ගත්තාමද? ඉංගිරිස් තුන්වේල ජීර්ණය නොකරන මට නම් නොතේරේ. දූපතක නිසා අතීතයේ සිට කොතරම් උවදුරු වලින් අප ආරක්සා වෙන්ට ඇතිද? ඒ දූපතේ අහුකොන් වල තිබූ දෙයින් අපි කොතරම් නම් පෝෂණය වෙන්ට ඇත්ද? අම්මා තාත්තා මට නම් සුඛෝපභෝගී විදිහට සුරක්ෂිතව කන්නට බොන්නට දුන් නිසා මට ඔය අහු කොන් වැඩක් නැතේ යයි කෙනෙකු කියන්නටද පුළුවන. අනේ මේ දූපත් රට අදටත් බොහෝ දෙයින් වටින්නේ අපටය. අපේ මෝඩ කමට අපි එහිම ලැග එහිම මියෙත්වා.. මෙහි උපන් නිසා කටදිවේ ගෑවී හදවතේත් බුද්ධියේත් ගැඹුරටම කතාකළ සද්ධර්මය උරුමයක් කොට ගත හැකි වීමම අප ලද වාසනාවක් වේවා. ඒ ධර්මයේ කොනක් හෝ අල්ලා ගත් නිසාම විශ්වය ගවේෂණය නොකොටම තමන් තුළින් විශ්වයම වටහා ගන්නා හැටි වටහා ගත් නිසාම මගේ මානසිකත්වය දූපත්ම වේවා.. ඒ මෝඩකම නිසාම පස්වලින් ගොඩ කර දූපත මහද්වීපයක් හෝ අර්ධද්වීපයක් කරනවාට අපේ කැමැත්තක් නැත. අප කීවේ අප වැනි තවත් ගණනකට ගතහැකි අය ඉන්නා නිසාය. 

කලිසම කමිසය ඇන්දාට ඉංගිරිස් වචන කීවාට අපි අපේ රටේ වැදගත්කම ඉහටත් උඩින් අවබෝධ කර ගෙන ඇත්තෙමු. කාට නොවටිතත් අපට අපේ රට වටින්නේය. ජාතියක් ආගමක් මුල්කොට ගෙන අන්තගාමීවන්නට අපට උවමනා නැති සේම පිට පොට පටලවා ගත් සරමත් නොඅදින හෝ රාත්‍රියට දවටා ගන්නා අයගේ කතා අපට උවමනා නොවෙති. පාලකයන්ගේ වරද නිසා අපේ කමත් අපේ දෙයත් අපේ රටත් කියන්නෙහි අර්ථය සාමාන්‍ය මිනිහාට විටෙක පැටලුනාට ඔහුට ජන විඥානය ඇත. ඔහුගේ හිතේ හෝ ජානවල කොනකින් අවතරණය වූ ඒ ආවේණියේ කොටස් ඇත. 

ලෝකෙන් උතුම් රට අපේ රටයැයි අප කියූවේ ආර්ථික විද්‍යාව වැනි තිරශ්චීන විද්‍යා දර්ශක වලින් නොවේ. සද්ධර්මය පිහිටි රට නිසාය. එහෙයින්ම පාලකයාගේ වැරදි හෝ පාලනයේ වැරදි හෝ කාළගුණ දේශගුණ විපර්යාස හෝ රටේ මිනිහාගේ යම් කොනක් අල්ලා ගෙන සමස්ථ රටේ ගලායාම හෝ පැවැත්ම ගැන ඒ අනුසාරයෙන් අගතියට දෙසන්නට අප සූදානම් නැත. වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට අපේ ඇහැකින් බලනවා විනා තිරශ්චීන විද්‍යා ඇසෙන් බැලීම හෙනම ගොබ්බ වැඩකි. මන්ද ද‍හමෙන් පෝෂණය වූ මහ ඉතිහාසයක් ඇති රටක් තම අනාගතය දෙස බැලීමට රබර් ඇසක් භාවිතාව විහිළුවක් වන බැවිනි. 

ආරෝග්‍ය පරම ලාබය නම් සතුට පරම ධනය නම් පළමුව අප ලද යුත්තේ ඒ ආරෝග්‍ය හා ඒ සතුට නොවේද? සමහරුන්ට මේ දෙකම ගන්නට බටහිර විද්‍යාව හා ආර්ථික විජ්ජාව නැතුව බැරිය. මෙහෙම කිව්ව සැනින් සමහරු හාස්‍යට කට අරින්නේ සල්ලි නැතිව හුස්ම ගන්නේ වත් කොහොමද කියා දෙසමිනි. සල්ලි නැතිව තවමත් හුස්ම ගැනීමේ හැකියාව නිරෝගී අයට තවම මෙහේ තිබෙතත් මුදල් නැතිව ජීවත් වීමට නම් නොහැකි බව කොතැනටත් වගේම මෙතනටත් අදාළ වේ. ඉතින් මුදල් හොයන මග පළමුවට ගෙන අර දූපත් කියාගන්නා මානසිකත්වයට පයින් ගසා.. යන රැල්ලේ ගණිකා වෘත්තිය පවා නීතිගත කරමින් සූදු කැසිනෝ පමණක් නොව ආර්ථික වාසි ගෙනෙන ඕනෑ දෙයක් කර පින්නාගෙන අපි ‍යමුකෝ මරු ගමනක්... ධර්මයවත් අහවල් එකක්වත් මක්කෙටැයි.. ඔය දියුණුයි කියන රටවල් වගේ අපිත් යමු මහා ගමනක්..නිර්මාණය වේවි හොද සංස්කෘතියක්..අලුත් රස්සාත් නිර්මාණය කරන්නට තරමේ තවත් ප්‍රශ්නත්... විනාශ වේවි අපේ කියන හැම දෙයක්ම... ඒත් කමක් නැහැ අධිවේගී ගමනක්ම යමුකෝ හෙමින් නොයා. ආපස්ස බලන්නේ නැතිව.. අපේ මිනිස්සුන්ගේ ෆාස්ට් ෆෝවඩ් ගතිය අඩු නම් සියලු විලි ලජ්ජාව එකවිට නසා‍ගෙන අපි යමු අාර්ථිකයේ විතරක් නොවේ විනාශයේත් කෙළවරටම.. එනිසා...................................

කියන දේත් විග්‍රහත් උගත් බුද්ධිමත් භාවයෙන් අගතැන්පත් වූවත් විෂය හා පූර්ණව බද්ධ වූවත් අපේ ක්‍රමයේ වටිනා දේ අපි දැනුවත්ම මෙන්ම නොදැනුවත්වත් අපේ සංස්කෘතිය තුළ ව‍ාගේම අපේ ජාන ‍ව‍ාගේම හිතේත් හැංගී ඇති බවත් ඒවා සඵලදායී පමණට නිරවුල් කොට ගත හැකි හා යුතු බවත් අපි තේරුම් ගැනීම වැදගත්. අනුන් පෙන්වන පහසු හා සරල මාර්ග බුද්ධියට හොදට ගෝචර වූ පමණින් හිතට බොහෝ සේ සිත්ගත් පමණින්ම යපහතක් සපුරා උදා නොකරන බව අපේ දූපත් මානසිකත්වය  තුළ අප ඉගෙන ඇත. 

උගත් බුද්ධිමත්හු දෙසුවාට හැම දෙනාගේ කල්පනාව ඒ උගත්බුද්ධිමත් රටාව ‍නොවේ. එමෙන්ම හැගීම් බරවම දෙඩුවාට එයත් හැමගේ රටාව නොවේ. බොහෝ දෙනා මේ දෙතැනින්ම මධ්‍යස්ථ වූවන්.. ඔවුන්ගේ අදහස අප පරිණාමය වෙන්නට කලින් පරිණාමය අපි විසින් සිදුකර ගැනීම නොවේ. අකලට මේරීම යනු පරිණාමයක් නොවේ. ඩාවින්ගේ පරිණාම වාදයට අනුව උචිත උන්නතිය කියා කියන්නේද කාලයක් යන වැඩකි. එබැවින් අද උචිතයි කියා පේන දේ හෙට නූචිත වන්නටත් අද නූචිතයැයි පෙනෙන දේ හෙට උචිතවන්නටත් බලපාන පරිසරයත් ධර්මයට අනුව අප දන්නා නියාම ධර්මත් බලාහිදී. එබැවින් විද්‍යාවට වඩා එහා ගැඹුරු නියාමයන් දන්නා අප සරල විද්‍යාව හමුවේ වෙව්ලන්නේ ඇයි?? ධර්මය නොදන්නා කමින්ද?? එහි අදහස සරල විද්‍යාවට ගැරහීමක් නොවන බව උගත් බුද්ධීමත් මතධාරීහු තේරුම් ගනිත්වා.. එබැවින් ඒ විද්‍යාවට‍ අදාළවම වර්ධනය හා විකසනය සුදුසු තැන සුදුසු විට උනාවේ.. අප විසින් බලහත්කාරයෙන් සිදු කර ගැනීමට යා යුතු නැත. එයින් කියවෙන්නේ නිහඩව බකංනිලාගෙන සිටිමක් ගැන නොවන බව හැබෑ බුද්ධිමතුන් තේරුම් ගන්නවා ඇත. 

මේ එළඹ ඇත්තේ කාලයක් තිස්සේ රැස්වූ අවබෝධයකින් රටට ගැලපෙන මාර්ගය හදනා අපේ ගමන යාමේ කාලයක් මිස ලොකු හෝ බලවත් යැයි හංවඩු කොටා ගත් රටවල් දෙස බලා මගුල්ගමනේ හැඩ පෙන්වා දික්කසාදයවෙත යන ගමනක් නොවේ. 

එබැවින් රටට හැබෑ බුද්ධිමත්හු පහළවේවා. උගතුන් පිළිබද අංශමාත්‍ර වූ අනියම් හැගීමකින් තොරව මෙසේ ප්‍රකාශ කරන්නේ උගතුන්ගේ මහිම දකින විට උගත් පමණින් අර්ථයක් හැබෑවට ජීවිතයට ළංකර නොගත් බව දකින නිසා පමණි.‍ අපත් නන්නත්තාර නොවී රස්තියාදුවකින් ජීවිතයේ යම් හෝ යහපත් මාර්ගයක් තේරුම් ගත් හෙයින් මෙසේ කියන්නට ‍කරුණු යෙදී ඇත. නමුත් අපත් සමගත් ඉන් පසුවත් බිහිවූ පරම්පරාවේ කතාව බොහෝ සෙයින් උගත් පන්නයට බර වූවාට හරවත් පන්නය ඇමරිකන් හෝ බටහිර ෆෝමැට් රටාවෙන් නිවට කර ඔද්දල් කරවූ බව අපි දන්නෙමු. එයින් පෙන්වන්නේ බටහිර හෝ ඇමරිකන් විරෝධයක් නොව කරුණු සිදුවූ අයුරුය. එයට අපේ රටේ උගත්තුද බොහේ සෙයින් දායක වූහ. නමුත් හැබෑ බුද්ධිමතුන්ගේ වාසය තවමත් මේ රටේ ඇති බැවින් අපේ චින්තනයට යමක් එක්වුනි. ඔවුන් හැමට පින්සිදු වේවා. 

අමුඩය නොඇන්දත් සරමම පටලවාගෙන නොහිටියත් අප‍ේ කියන දේශපාලන හෝ විවිධ සමිති සමාගම් නියෝජනය නොකළත් අපේ කියා කෙරෙනා සියලු නරකත් හොද ලෙස දකන්නටත් මා සූදානම් නැත. එය වෙනමම දෙයකි. අපේ මිනිසුන් නිවරද වන්නට ඕනෑ එතැනින්ය. අපේ කියා කවුරුන් හෝ අපට පටලවා දුන් වැරැද්දත් අර උගත්කමෙන් වල්මත් වුනු අදහසුත් වෙනමම අප විසින් හදුනා ගත යුතුව ඇත. එය එතරම් පහසු දෙයක්ද නොවේ. අලුත් සංස්කෘතියක් නිර්මාණයට අපේ වැඩිහිටියන් පටන් ගත යුත්තේ ඒ නිවැරදි අවබෝධයට පාර කැපීමෙන් මිස කුඩා දරුවන්ට උගන්වන කවි කතාවක කොනක් අල්ලා නොගෙන බව ඉතා ‍වැඩිහිටියන් කෙරෙහි ගෞර‍වයෙන් මෙන්ම අවධාරණයෙනුත් කිව යුතුව ඇත. නැන්දාත් මාමාත් ගතවෙන කාලය ගැන වගකීම් සහගතව නොහිතා දුන්කොළ නැට්ටේ එල්ලුනොත් විදවීම යනු ඇත්තේ පඹගාලක පැටලෙන අනාගත පරපුරටය. ලංකා මාතා කියා මවකගේ දරුවන්සේ හැදෙන ඔවුන් එක වරම ලෝක අම්මා නොහොත් ලොකු අම්මා ගේ ඇසුරට යැවීම හිතනවාට වඩා පහසුවෙන් හා සරලව ගත්තොත් අපටත් ඇමරිකාවට සේම දෙවිපිහිටය. බටහිර බොහෝ රටවලට සේ දෙවිපිහිටමය. දෙවි පිහිටද සද්ධර්මයේ සරණද යන්න ජාති ආගම් වාද වලින් තොරව රටේ සමස්ථය සමග ඉදිරියට ගැඹුරෙන් හිතන්නට අවැසි අයට සිතිවිලි පහළවේවා...

යමක් කී පමණින් අප එක් කෙළවරක තබා නොසිතන්න. මමද ඔබද අපි සාමාන්‍ය වැසියෝම වෙමු. රජ හෝ බමුණෝත් එලෙසම වෙළෙන්දෝත්, ශුද්‍ර හෝ වෙනයම් කොට්ඨාශයකටත් ධර්මය එකමය. ප්‍රතිපත්තියෙන් අගතැන් නැතත් දැනෙන හැගෙන සත්‍ය කීමට එය බාධාවක්ද නොවේ. එබැවින්ම අප/ මා විසින් ..................... පෙර මෙසේ ලියන්නට අදහස් කරන ලදී.

මොන ආර්ථික මග ගත්තත් ධර්මය අමතක කළ තැන් සිට එ් දියුණුවේ පූර්ණත්වයක් නැති බව නම් අපටත් ඒ මග යෑමට සිදුවුවත් පළමුව කිව යුත්තකි. බුද්ධිය සමග ශ්‍රද්ධාව එක්ව ප්‍රඥාව ගැන අප තේරුම් ගත යුත්තේත් දෙසිය යුත්තේත් එනිසාය.

පට්ට පල් බොරු

සත්‍ය සත්‍ය ලෙසම මුල සිට අවසන දක්වා පවතින සද්ධර්මයක හැර සපුරා සත්‍ය වන කිසිදු නිර්මාණාත්මක දෙයක් ලොව තුළ ඇත්ද? නිර්මාණයක් යනුම ආරම්භයක් හා අවසානයක් ඇත්තකි. සද්ධර්මයට මෙහා අපගේ කිසිදු සම්මුතීන් තුළ පරමාර්ථයන් තුළ ඇති සත්‍ය ස්වභාවය පවතින්නේ නැත. එනිසා නිර්මල පරම සත්‍ය හමුවේ සම්මුති සත්‍යන් යනු අර්ධ සත්‍ය ම පමණි. ඉදින් කවරෙකුටත් අප එදිනෙදා භාවිතයන් සම්මුතියෙන් ‍එහා පරම සත්‍යලෙස අර්ථ දැක්විය නොහැකිය. 

එනිසා මත මත අතර ගැටුම්, දැනුම් පද්ධතීන්, විෂය පද්ධතීන් අතර ගැටුම් යනු හුදු අර්ධ සත්‍යන් ගේ ප්‍රමාණයන් හා අරමුණු අතර ගැටුම් මිස සත්‍ය හා පට්ට පල් බොරු අතර ගනුදෙනු නොවේ. මන්ද මිනිස් සංස්කෘතියම සම්මුතීන් තුළ පවතින පට්ට පල් බොරුවක් බවට තර්ක විරහිත සද්ධර්මය මගින් ඔප්පු කොට හමාර නිසාය. එනිසා එකිනෙකා මත හා උදහස් සහිත අදහස් නිසා මිනිස් සමාජයේ කිසිවකුත් කිසිවිට ගැටුම් ඇතිකර නොගත යුතුය. සද්ධර්මයේ කියවෙන අවබෝධය වටින්නේ මෙතැනදීය. එවිට අවස්ථානෝචිත බව මෙන්ම නිවැරදි ස්ථාවරය මෙන්ම  නිවැරදි ක්‍රියාකාරීත්වය ගැනත් හැගීමක් ලැබෙනු ඇත.

එබැවින් පට්ට පල් බොරු ගැන තීරණය කිරීමේදී පළමුව අප සිටින්නේද සම්මුති සත්‍යක් තුළ බව තේරුම් ගැනීම වටිනු ඇත. එවිට හරි වැරැද්ද තීරණය කිරීමට සම්මුතියේද තවත් කරුණු කාරණා රැසක් ඇති බව පිළිගනු ඇත. සාධාරණය, යුක්තිය, සමානාත්මතාව මෙන්ම සම්මුතිය තුළ පවතින උපසම්මුතීන් ගැනත් කල්පනාව එවිට පහළ වනු අැත.

Wednesday, November 26, 2014

මුනිවර නිහඩතාව

‍මෝඩයන් ඉදිරියේ 

මුනිවරයෝ නිහඩවූහ

උගත්හු ඉදිරියේද 

මුනිවරයෝ නිහඩවූහ

මෝඩයෝ මුනිවරයා නිකමෙකියි කීහ

උගත්හු අව්‍යාජ නම් මුනිවරයෝ නිහඩ නොවෙතියි කීහ

මුනිවරයෝ සිනාසුනහ

නොතේ‍රුම් කමින් හිස පිරී අැත්තන්ගේ හිසේ වෙනත් යමක් දැමීමට ඉඩක් නැත

දැනුමෙන්ද හිස සපුරා පිරී ගියේ නම් ඒ හිස් තුළත් වෙනත් යමක් රදන්නේ නැත

එබැවින් නිහඩවීමයි සුදුසු පිළියම

මුනිවරයෝ උගත්කමින්වත් මෝඩකමින්වත් හිස සපුරා නොපිරුනු තැනැත්තන්ට කීහ 

එ‍විට බුද්ධිමතුන් ?? කෙනෙක් හට ප්‍රශ්නයක් විය

හැබෑ බුද්ධිමතුන් කිසිවකින් කිසිවිට කුස සේ හිස පුරවා නොගන්නා අයයි මුනිවරයෝ කීහ

ඔවුන් හැමවිට උත්සාහ ගන්නේ දැනුමට හෝ හැගීමට වහල් නොවන්නටයි 

එබැවින් ඔවුහු හැමවිට දෙසීමට වඩා ඇසීමට රුචිවෙති

ඇසීමට වඩා ධාරණයට රුචි වෙති

ධාරණයට වඩා අවබෝධයට රුචි වෙති

අව‍බෝධය ඔබේ හිසේ හෝ මනසේ ඉඩ පැහැර නොගන්නා බැවින් ඔවුන්ගේ හිසේ හැම විටම නිදහස පවතී 

...........................

හැගීමට වහල් වීම යම් වරදක්ද දැනුමට වහල් වීමද එවැනිම වරදකි. නිවරද වන්නේ අදාළ තැන දැනුමටත් අදාළ තැන හැගීමටත් තැන දීමය. කොතරම් නිවැරදි වුවත් දැනීමට වඩා හැගීම වටිනා තැනදී එය යටපත් කිරීමට යාමත් කොතරම් බලවත් වුවත් හැගීමට වඩා දැනුම වටිනා තැනදී  එය යටපත් කිරීමත් නොකළ යුතුය. මන්ද මිනිසා හැගීම මෙන්ම දැනීම අතින්ද සමබර සත්වයෙක් නොවුන හොත් තවදුරටත් මිනිසෙකු ලෙස ඇති පැවැත්ම නැති වී යන නිසාය. එබැවින් හැගීම් වැඩීම ගැන දැනුමෙනුත් දැනුම වැඩීම ගැන හැගීමෙනුත් විමසා බැලීමේදී දැනුමේ වටිනාකම නිසා හැගීම බැහැරලීමත් හැගීමේ වටිනාකම නිසා දැනුම බැහැරවීමත් වැළැක්වීමට නම් ඇතිවිය යුත්තේ එකගතාව මිස වාදයක් නොවේ. 

වඩා වටින්නේ දැනුම නොවේ.. සමස්ථ ප්‍රතිඵලයයි.

වඩා වටින්නේ හැගීම නොවේ .. සමස්ථ ප්‍රතිඵලයයි.

යමක සමස්ථ ප්‍රතිඵලය තීරණය වන්නේ කුමක් පදනම් කරගෙනද?  

ලෝකය පිළිබද විස්තර වන්නේ නියාම ධර්ම පහක අනුසාරයෙන් නම් ඒ නියාම ධර්ම පහට ඔය සමස්ථය යටය. ඒ පහම සමස්ථයට අදාළය. ඉදින් සමස්ථයේදී නොදන්නා බොහෝ සාධක, පාලනය කළ නොහැකි සාධක බොහෝ වෙද්දී යම් දැනුමක් හෝ යාන්ත්‍රනයක් මත නැතිනම් එක් නියාම ධර්මයක බැදුනු විද්‍යාවක හෝ චිත්තය හා බැදෙන හැගීමක එල්ලී පමණක් විග්‍රහ කෙරෙන අපේ කතා අතිශය ගැඹුරකින් බැලූ විට කොතරම් බොදළදද? ළාමකද?

එවැනි ළාමක කමක සිට සද්ධර්මය දෙසූ මුනිදුන්ගේ නිහඩතාව දශමයකින් හෝ ගැඹුරෙන් වටහා ගැනීමට හැකිනම් දාහක් දේ අපමණට දොඩවන මෙබදු ක‍ලක අපටම අවශ්‍ය විට නිහඩතාව සොයන්නට සිත්දේවි. සිත්වේවි. නිහඩතාව අැවසි තැන නිහඩවිය යුතු බව තේරුම් ගනීවි.

Monday, November 24, 2014

කොනක්! ඉමක්!

යම් ලක්ෂ්‍යක සිට වමට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල වමටය. එම ලක්ෂ්‍යයේ සිට දකුණට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල දකුණටය. මේ දෙකම සරල රේඛාවන් ලෙස ඇද නැතිව ඇන්දා නම් අවසන එකම රේඛාවකි. 

මේ අතිශයඩිංග තේරම් ගන්නට නොහැකිව මිනිස්සු වම හා දකුණ අතර මහා මත භේදයක් හදා ගනිති. වමට ඇති රේඛාව යම් තාක් දිගද දකුණට ඇදි එක යම් තාක් දිගද දෙකම එක් කළ විට මහා රේඛාවකි. 

රේඛාවන් ගණනක් ඒ මේ අත අැද එක එක හරහා ඇද බැලූ විට එතැන ඇත්තේ අමුතුම කලාවකි. මේ රේඛාවන් සරල රේඛාවන් නම් එය මෝස්තරයක් සේ විය හැකියි. එ්වා සරල නොවන රේඛා නම් ඒ ‍තුළ මෝස්තරයකට එහා දෙයක් වුව ‍දැකිය හැකි වනු ඇත.

කලාව සරල රේඛාවලින් විස්තර කළ නොහැකිය. සරල රේඛා ඔස්සේ පමණක් කලාව පැවැත්විය නොහැකිය. නමුත් මේ රේඛා සියල්ල ඉතා සියුම්ව බිද දැමුවහොත් සරල රේඛාවක් තැනිය නොහැකිද? 

කැමරාව හදන තිත්.. එයින් හැදෙන රේඛා කොටු .. ඒ ‍ඔස්සේ හැදෙන විවිධ වූ දේ..

සියල්ල අවසන පොඩිපට්ටම් කොට එකම රේඛාවකට දැමිය ‍නොහැකිද? 

විදුලිය බල්බය හරහා ගොස් ආලෝකය දී ඉස්ත්‍රික්කය හරහා ගොස් තාපය දී පංකාව කරකවා සිසිල දී තවත් කොයි කොයි නම් තැනකට ඇදී යත්ද? කොපමණ දේ ලබා දෙත්ද? විදුලිය නමින් සියල්ල කරන්නේ එකපසු පස ඇදනෙ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විසින්යැයි සාපෙළ අවදියේ කියා දී ඇත.  

හිත හිතිවිල්ලෙන් හිතිවිල්ල අද්දවා මොන මොන දේ හරහා ගොස් අප කොතැන නතර කරාවිද? අපි හිතට අනුව යනවාද? හිත අපිට අනුව යනවාද? හිතට තිතද? තිතට හිතද?

කලාව මේ සියලු ‍තිත් ‍හිත් හා රේඛා එකතු වුනු තැනක්ය. කලාව මිනිහා හරහා මේ සියලු තිත් හිත් හා රේඛා විවිධ නිමැවුම් බවට පත් කරයි. සංකල්පනා හිතෙන් තිතෙන් හෝ රේඛාවෙන් පටන් ගෙන හිත ගත් ලෙස නිමැවෙයි. තිතක් තබා තවත් තිතක් තබා අතරමැදි රේඛා නිමැවෙයි. හිතත් මේ ‍තිත් රේඛාත් කලාවක් හදයි. විටෙක සියල්ල පැටලී යයි. 

පැටලීම තුළ ‍අපූර්වත්වයක් ජනිත වී අපූර්ව අනගි විශිෂ්ඨ දේ බිහිවෙයි. තවත් විටෙක සියල්ල එකටෙක මනාව ගැලපෙයි. එසේ එක්වී ගැලපී ශ්‍රේෂ්ඨ හෝ අති ශ්‍රේෂ්ඨ දෙයක් බිහිවෙයි. 

විශිෂ්ඨ කලාවද? තිතද? රේඛාවද? හිතද?

මේ සියල්ල දෙස බලා තවත් පසෙකින් බුද්ධිය විචාරන්නේ ඒ ප්‍රශ්නයයි.

Sunday, November 23, 2014

මිනිහා යනු ‍කවරෙක්ද? හා ඔහුගේ කාර්යභාරය....පුවතක්

මිනිහා යනු කවරෙක්ද? ආර්ථික , දේශපාලනික , සමාජීය , සංස්කෘතික , විද්‍යාත්මක , ධර්මාත්මක , කලාත්මක , චින්තනාත්මක , විවාදාත්මක , සංවාදාත්මක වශයෙන් හා තවතත් නා නා විධ විෂය පථයන් ඔස්සේ ගත්විට සමස්ථ ව‍ශයෙන් කිසිම අර්ථයක් ගත නොහැකි බවත්

මිනිහා‍ගේ කාර්යභාරය පිළිබද තීරණය වනුයේ ඒ ඒ විෂය පථය ඔස්සේම බැවින් එය නන්විධාකාරයැයි හෝ සංකීරණයැයි පැවසීම සුද‍සුවන බවත් 

කාලයක් තිස්සේ මේ පිළිබද දීර්ඝකාලීන පර්යේෂණයෙහි යෙදී සිටින පර්යේෂකයෝ පවසති. 

මේ මිනිහා පිළිබද ඇති සංකීරණත්වය නිසා වෙනත් ජීවි ආදේශනයන් හරහා මිනිහා යනු කවරෙක් විය හැකිද යන්න හා ඔහුගේ කාර්යභාරය පිළිබද වටහා ගැනීමට හෙවත් ගවේෂණයට මග සළසා ගත හැකියැයි ඔව්හු වැඩි දුරටත් පවසා සිටිති.

මිනිසා ආශ්‍රයේ සිටින සතුන් අතරින් වඩාත් කිට්ටුවෙන්ම හිදින්නේ බල්ලා හා පූසාය. එමෙන්ම මීයාද මිනිස් වාසස්ථාන ආශ්‍රයේ නිරන්තරයෙන් හිදින්නෙකි. එබැවින් උන්ගේ චර්යා අධ්‍යයනය හා උන් එදිනෙදා ජීවිතයේදී මිනිසා වෙත දක්වන ප්‍රතික්‍රියා හා ප්‍රතිචාර තුළින් මිනිහා පිළිබද අධ්‍යයනය කිරීම වඩාත් පහසුවන බව ඔවුන් මේ වන විට සොයාගෙන ඇත. මෙය හැදින්වෙන්නේ විරුද්ධාභාස ක්‍රමයට චරිතායන අධ්‍යනය යනුවෙනි යැයි මේ පිළිබද පර්යේෂණ කරන ප්‍රධාන මානව විශේෂඥ අනාර්ය අනාර්ය අප හා පැවසුවේය.  පොදුවේ තෝරාගන්නා මේ සතුන්ට අමතරව එක් එක් මිනිසා විශේෂත්වයක් දක්වන්නා වූ තවත් සතුන් ආශ්‍රයෙන්ද මේ ගවේෂණය පුළුල් වශයෙන් සිදුකළ හැකියැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඉතිහාසයේ සිදුකෙරුනු මෙබදු පර්යේෂණ ආශ්‍රයෙන් සොයාගත් තොරතුරු වලට අනුව මෙතාක් හෙළිදරව් කරගෙන ඇති කිසිම තොරතුරක නැවත නැවතත් දැකිය හැකි සමානාතාවයක් දකින්නට නොහැකී වීම නිසා තවමත් මිනිසා හදුනාගැනීමට සතුන් ආදේශයෙන් විරුද්ධාභාස ක්‍රමයට චරිතායන අධ්‍යයනයන් පුළුල්ව සිදුකරන්නට කටයුතු කරන බවත් නුදුරු දිනෙක මිනිහා යනු කවරෙක්ද යන්නත් ඔහුගේ කාර්යභාරය කුමක් විය හැකිද යන්න පිළීබද යම් ඉගියක් ලබා ගැනීමට තමන් ඇතුළු පර්යේෂකයින්ට හැකිවේයැයි අවසන් වශයෙන් ඔහු අප හා පැවසීය.

දිගංශ හා පිඹුරු

ඉහළට

මන්ද බුද්ධිය?

පහළට

මන්ද? බුද්ධිය

දිගට

ධනය හා බලය

හරහට

බලය හා ධනය

ඉදිරියට

දිශාව හා ඉසව්ව

පසුපසට

ඉසව්ව හා දිශාව

Saturday, November 22, 2014

අම්මාගේ දැක්ම.. කණගාටුව.. හා ප්‍රවේශම.

තාත්තාගේ දැක්ම හරි වටිනා මගක ඇත. ඒත් මේ දැන් කතා කරන්නට යන්නේ අම්මාගේ දැක්ම ගැනය. මොනදේ නැතිවුනත් කළ යුතුදේ(නිවැරදි දේ) කිරීම හා ඒ වෙනුවෙන් කැපවීම අම්මාගේ දැක්ම විය. ඇත්තෙන්ම සමහරතැන තාත්තාගේ දැක්මද අබිභවා යහපත් ප්‍රතිඵල ගෙන ඒමට අම්මාගේ දැක්ම ඇත්තෙන්ම මහෝපකාරී විය. කළ යුතුදේ වෙනුවෙන් වෙහෙසී එය හරියට කරන අම්මාගේ දැක්ම රටේ දැක්ම වූවා නම් මට නිකමට සිතේ. ජඩ පුතුන් දාහකට වඩා එවැනි කීපදෙනෙක් වුව මාතෘෘ භූමියට තව තවත් පහළ වේවා. අම්මාගේ දැක්ම ඉදිරියට ගෙනේවා...

කණගාටුයි යන්න මේ දිනවල බොහෝ සේ ඇසෙන්නේය. 18 ගැන කණගාටුයි. සහය දුන්නට කණගාටුයි යනුවෙන් කියවෙන්නේය. කුඩා දරුවන් අඩු තරමේ තරුණයින් වත් අඩු තරමේ අවංකවම වැරදුණු උදවියවත් මෙහෙම කියනවා නම් ඉවසීම මෙන්ම සමාව දීමටද වටී. දැන දැනම වරද කර නැවත නැවතත් වැරදි කරමින් නිරන්තරයෙන් සමාව ඉල්ලන්නෝ අපර ක්‍රමයේ මහත්වරුන්ය. එබන්දන්ගේ කූටත්වයන් හදුනාගෙන සැබෑ කණගාටුව හදුනා ගැනීම මෙබදු කලෙක අතිශයින් වැදගත්යැයි මට සිතේ. අනාගතයේදීත් එබදු කණගාටුවන්නන් ගැන දැන් දැන්ම ඉගි ළුලවෙත්වා...

උෟරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මගුල් යනුවෙන් කතාවක් මා අසා තිබේ. මතකයේ හැටියට කතාව කීවා හරිය. වාසියට එක එකා පිල් බෙදෙද්දී වාසිය යන්නේ පිල්ලේලාටය. මහ වුන් එක එකාගේ බොටුවෙන් අල්ලද්දී කුඩා දරුවෝ දිව යන්නේ නන්නත්තාරේය. සිනාසෙන්නේ අසල්වැස්සෝය. උදව්කරනාවාට වඩා තරගකරන අසල්වැසියන් නම් සිනාසෙන්නේ හිත යටින්ය. එනිසා මොන උෟරන් මොක තැලුවත් කොටුව අයිතිකාරයා ගොවිපළ ගැන වගකියන්නට ඕනෑය.‍ උෟරන් මෙන්ම කුකුළන් ගැනත් වග කියන්නට ඕනෑය. එබදු වගකීමක් දරන්නට නම් ගොවිපළ හිමියා හොද පරිචයක් ඇත්තෙකු විය යුතුය තම කාරිය ගැන. එබදු ගොවිපළ නඩත්තු කරුවෝ බහුලවෙත්වා...

සියල්ල අපට ඕනෑ හැටියට සිදු නොවුනත් අපි බලපෑම් කරගත යුත්තේ සියල්ල සඵලදායීව සිදුකරගැනීමටය. එනිසා ආකාසෙට බැණ නොනගා අතට ගන්නේ කුඩයද තොප්පියද යන්න හොදින්ම තීරණය කිරීමට මේ කාලයයි. අහස දෙස නෙත් යොමන්න. අව්වද? වැස්සද? නැතිනම් නරියගෙ මගුලද? .. මොන මගුලක් වුවත් අවමගුලක් නොකර ගන්නට වගකීමක් ඔබටත්  මටත්  හැම රටවැසියෙකුටමත් නුදුරේම ඇත. ඉන් අනතුරුවත් ඇත.

Tuesday, November 18, 2014

ඕං අපිත් ගොඩ

වරදකට බනින්න කව්රු හරි හොයාගනින්

එතකොට උඔ වගකීමෙන් නිදහස්

මොනවහරි වෙනුවෙන් මොනවහරි කරපන්

එතකොට යුතුක‍මෙනුත් උඹ නිදහස්

අත් දෙකම හෝද ගනින් ඉදුල් නොතියා‍

උඹේ දෑතුත් පිරිසිදුයි දැන්

බලපං අනිත් අය දිහා

ඕං අපිත් ගොඩ ගියා

Friday, November 14, 2014

අවර පදම > මන (උස්+පහත්)

මිනිස්සු වන අපේ ජීවිතේ පදම අහුනොවුනු කල ජීවිතේ අවර පදමට යනව අපි දන්නෙම නැතිව. එහෙම වුනාට පස්සෙ අවර පදම වුනත් රසයි කියනව අපි කව්රුත් පදම නොදැනම. එතකොට අහන දෙය තමයි පදම දන්නේ මොකාද? වගේ ප්‍රශ්නයක්. කිසිවක් උයන්න කරන්න නොදන්නව වුනාම රොටියක් පුස්සන එකත් සම්බෝලෙයි, පරිප්පුයි බතුයි හදාගන්න/උයාගන්න පුළුවන් එකත් මහ ලොකු දෙයක් කියල ‍දැනෙනව වගේ ජීවිතේ ගැන කිසිවක් නොදන්නව වුනාමත් දන්න දේ ගැන මහ ලොකුවට දැනෙනව. හරියට ජීවිතේම අතැඹුලක් වගේ ගානට හිතෙනව වයස විසිපහ යන්නත් කලින්ම. අපිටත් එහෙම නොදැනුනා නොවේ වගේම කරන කියන දෙයින් බොහෝ දෙනාටත් ඒ හිතිවිලි ඇති බව පේනව. පට්ට පල් රස්තියාදු ගානට ටෝක්ස් දිදී අභූත රූපයෙන්, විකාර රූපයෙන් දෙසන ගොඩක් දේ තුළ තියෙන්නේ පදමත් අවර පදමත් අනා ගැනීම මිස වෙන මොකක්ද? ඒ දෙක බේරුම් කරල දෙන එක කිසිම කෝකියෙකුට ලේසි දෙයක් නොවෙයි මේ කාලේ. එතරමට ජීවිත පදම්, අවර පදම් වෙලා. හැබැයි පදම් වුන ජීවිත තුළින් සමහර විට මේ පදම ගැන අදහස් අල්ල ගන්නත් අපි උත්සාහ කරනව. හැබැයි ඒ සියල්ලම තුළ තියෙන්නෙ හරි පදමමද? ප්‍රශ්නයක්. චීන කෑම වල පදම චීන පදම. ජපන් කෑම ජපන් පදමට. අද ජාත්‍යන්තරී කරන මානසිකත්වයක් ඇතුළෙ රස්තියාදුවන අපේ ජීවිත වල පදම ජාත්‍යන්තර පදම. ඒ නිසාම පාසලෙන්, දහම් පාසලෙන් ජීවිතේ පදම ගැන වැටුනු පදනම අදට වලංගු නැති කරගන්නෙ අපි විසින්මයි. මේ පරිසරයෙ ඒකට ඉඩක් නෑ. තාක්ෂණය ඇතුළෙ ජීවිතේ ගලා යනව, නිකං සර්කිට් බෝඩ් එකක තියෙන තවත් එක කන්ඩෙන්සරයක් ගානට. හැට හැත්තෑ ගණන් වල ඉපදුණු උදවිය ජීවිතේ ගැනත් මේ ජාත්‍යන්තරීකරණය ගැනත් අපූරු දේශනා පවත්වනව එයාලගෙ පදමෙන්.. හැබැයි අද දරුවා පදම්වෙන්නෙ වෙන විදිහකට. ඒ පදම ඇතුළෙත් තියෙන්නෙ අර වගේම ජීවිතයක්. හැබැයි අර ගහෙන් කොළෙන් හුළං සැරෙන් හැදුනු ජීවිත පදම අද ගන්න තියෙන්නෙ වායු සමීකරණයෙන් පරිගණකයෙන්?? මේක තුළ ලොකු කතාවක් නෑ, කාලේ වෙනස විතරක් කියා කියන අය හිටියට අපිට ආපස්සට යන්න බෑ කීවට මේ දරුවාටත් වඩා ඔය පරම්පරා අතරේ හිරවුනු අපේ හිත් සම්පූර්ණයෙන් කන්ඩෙන්සර්, ඩයෝඩ නොවුනු නිසාම හදාගන්න හුගාක් අමාරුයි. මේක ලංකාව. ලංකාවෙ සංස්කෘතිය හරියට ඇගට වැදුනු මිනිස්සුගෙ සංවේදීතාවය අසීමිතයි. ඒක ඇතුළෙ ඇමරිකන් ක්‍රමයට  ක්වික් ෆෝමැට් එකක් දෙන්න ගියොත් බිහිවෙන්නෙ අසමජ්ජාතියෙක් විතරයි. කාටද පුළුවන් නැහැ කියල අභියෝග කරන්න. අපි මේ පොළොවේ අවුරුදු විස්සක් තිහක් සාමාන්‍ය උදවිය අතරෙ හොද කටුවක් කාපු අය. ජීවිතේ හරිම දෙයක් හොයාගන්න උත්සාහ කරපු අය. ඔය කවුරු කවුරුත් දෙසා බාන, පත පොතේ තියෙන දේ විතරකින් ජී‍විතේ දිහා බලන්න උත්සාහ කරපු අය‍ නොවෙයි. දෙන දේ කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවට වඩා, පේන දේ අවුල් නම් ඒ අවුලම කිය කිය ඉන්නවට වඩා යමක් හිතන්න උත්සාහ කළ අය. අපිටත් ඒකට අයිතියක් තියෙනව.  මොකද එක එක දේට අර්ථ කතන සපයන පරණ අයට දැනුනු ‍දේවල්ම වෙනස් ලෙසකින් අලුත් පරම්පරාවට දැනුනු හදවතේ සංවේදී බවක් තිබුන යම් කාලයක් දක්වා. දැන් නම් ඒකෙ සංවේදී බවත් ඒ පරම්පරා තුළම මොටවෙලා. සල්ලි හම්බකරගෙන ජීවිතේ විදින එක පමණක් යථාර්තය වෙලා. වෙන‍ මොනවද? ඉර හදත් විහිළුවක් විතරයි. පුලුවන් නම් ඒවයෙ ශක්තීන් වියෝජනය කරල තවත් ඩෙවල් එකක් හදාගන්න බලමු. ඒ සංස්කෘතිය ඇතුළෙ රොබෝලා, සහ සජීවීකරණය වුනු මිනිස් සත්තු. අපි හිතමු ඒ ඒ පදම එහෙමයි, ජාත්‍යන්තර පදම මෙහෙමයි, අනාගතේ පදම ‍එහෙමයි කියල. අද කතා කරන අභුත රූපය තේරුම් ගන්න ඇහැකි අයත් ඉන්න නිසා එහෙව් අයත් තේරුම් ගන්න යමක් වෙච්චාවේ. මනුස්ස‍යාගේ සත්‍ය දැකීමේ ඥානයේ අවර පදමයි මේ. ඒ උත්සාහයේ කතා හමාර උනාවේ. ඉතිරිය එක එක විදිහෙන් පෙනෙන දෙයින් යමක් වටහා ගැනීමේ ගැඹුරු විදර්ශනාව පමණයි. හිතන්න එපා අපි දන්නවා කියා. අපි බොහෝදෙනා තාමත් නොදන්නා නොගැඹුරේ ජීවිතේ විදිනවා යැයි කියමින් අත පත ගාන්නවුන් පමණයි.

ජීවිතේ විදවන එක ගැන සමහරු සමහරුන් වෙනුවෙන් දුක්වෙනවා. ජීවිතේ විදිනවයි කියන එකේ සීමාවක් නැතිවා ව‍ාගේම විදවනවා කියන එකෙත් සීමාවක් නෑ. ඒනිසා මං ජීවිතේ විදින විදිහත් තවත් කෙනෙක් ජීවිතේ විදවනවද කියන එකත් තීරණය වෙන්නේ අප‍ේ සීමාවන් තුළ නොවෙයි. ඒ ඒ පුද්ගලයා කොපමණ සතුටකින් ඉන්නවාද කියන එක තුළ. හැබෑ සතුට තියෙන්නෙ අව්ව තැපීම තුළද අව්ව තපින්නෙ නැතිව කුඩයක් යට ඉන්න එක තුළද කියල අපිට කියන්න බෑ. වැස්සට තේමීම ‍තුළද නොතෙමී ඉන්න එක තුළද කියල අපිට කියන්න බෑ. බය වගේම බය නැතිවීමද සතුට කියන්නෙ කියල කියන්න බෑ. කට දැවිල්ල හැදීමද කට දැවෙන්න මිරිස් නොකන එක තුළද කියල ත් අපිට කියන්න බෑ. හැබෑ සතුට ලැබෙන්නෙ ඒ මොහොතේ මොනව කිරීමෙන්ද එතන සතුටක් විදීමක් තිබේවි. ඒ වගේම ඒ සතුට කොච්චර කල් පවතීවිද කියන්න පුළුවන් ඒක කොච්චර කාලයක් භුක්ති විදින්න පුළුවන්ද කියන එක මත. ඔය සේරම ජීවිතය පවතින වෙනස් වන කාල සීමාවේ. අද සතුටු වෙලා හෙට දුක් වෙනවද, හැමදාම එකම සතුට විදින්න පුළුවන්ද, හෙට මැරුණත් අද සැප කරානම් ‍ඒක ජොලිද, මෙතැනින් එහා මොකුත්ම දෙයක් නැතිද? තමන්ගෙ මට්ටම තම්මැට්ටම කියල විතරක් තේරුම් ගැනීම සෑහේද? තම තමන්ගේ කල්පනාවට අවබෝධයට අනුව එහෙම හැසිරෙන්නත් විදින්න හෝ ජීවිතය විදවන්නත් අයිතිය තමන් සතුයි තමා. ඒත් මනුස්ස ජීවිතයේ පදම හරියට කැලේ මාරු වුනත් කොටියගෙ පුල්ලි මාරු නොවෙන ලෙසින් තිබෙන බවත් සිහියේ ති‍බුනොත් ව‍ටීවි. ජාත්‍යන්තරයේ වුනත් මිනිස්සු මිනිස් නමින් එක තැනකට එන්නේ මේ පදම නිසානේ. ඔය පදම අවර පදමින් වෙන් කරල ගැඹුරින් හොයා ගන්න පුළුවන් නම් හරි වටිනව. මම නම් රස්තියාදුව ශුද්ධ කරගෙන ටික ටික ජීවිතේ පදම හොයාගන්න හදනව. උනන්දුව ඇති අය ඒ පිළිබද තවත් වීරිය කරත්වා. සියල්ලන්ගේ ප්‍රඥාව වැඩේවා.. අපේත්! ජයවේවා.

ජීවිතේ

දන්නා

නොදන්නා

හොයාගත්ත

ආසකරන

හීන මවන

පස්සෙන් පන්නන

එක එක විදිහේ

කුණු හා කුණු නොවූ හරුප

අමුතුම විදිහෙන් කීම හා කිරීම

ජීවිතේ විදීම

දන්නා විදිහෙන් කිරීම

ජීවිතේ විදවීම

අපි නොදන්න

ජීවිතේක හැටි!!

කොටි

හරි හුරතල්

ගර්.. .ගර්...

හරි අහිංසකයි

කූඩු කළානම්

හරියට පූසො වගේමයි

ආසහිතෙයි

හරි කොටි මාංශභක්ෂකයි

කූඩු කරල නැත්නම්

හරි ප්‍රවේශමෙන්!!

කජු මද

කිරි රහයි

කට වණවෙයි

සට පට ගා හැපෙයි

කිටි කිටි ගා හැපෙයි

වැඩිය පිච්චුනොත් අගුරුවෙයි

කජු මාළු හරි රහයි

අහවල් නොවූ කජු මදේ

ජීවිතේක හැටි!!


Wednesday, November 12, 2014

හැම තැනටම දෙමු අපි බකට් අභියෝග!!! රට නගන බකට් පනතක් අපිට ඔනෑ..

ගුරු පාරේ වළවල් වහන්න ඇද්දොත් බොරළු බකට් එකක්-අපි දෙනව අපිගානෙ තව බොරළු තාච්චියක් = මේ අයුරෙන් ජනතාවට අභියෝග කොට රට සංවර්ධනය කරන්නැයි  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආන්ඩුවට අපි ආරාධනය කරමු. බකට් පනතක් ගෙනැවිත් සම්මත කරගන්නා ලෙසට බල කරමු. 2/3 ක් ඇති මොහොතේ අනිවාර්යයෙන්ම කළ හැකිය. බකට් හුරු සියල්ලෝ බකට් නාමයෙන්ම එය අනුමත කරනු ඇත. අවස්ථාවාදී වී බකට් අභියෝග ජනගන්නට උත්සාහ කරමු. අභියෝග කැමති දියුණු සමාජයේ ඒ දියුණු ක්‍රම අපේ දියුණුව උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන්ම යොදා ගනිමු. මේ මොහොතේ රටේ කැකෑරෙන වෙනත් ප්‍රශ්න මගහරවා අපේ ගමන් දිශාවට රට ආනත කිරීමටත් බකට් පනතක් යොදා ගත හැකි නොවේද?

හැම දෙයක්ම අභියෝගයක් බවට පත්කොට එහි ප්‍රතිලාභ ජනතාවටම ලබාදී රට සංවර්ධනය කිරීමේ අපිටම ගැලපෙන අපිටම හරියන හරයාත්මක වැඩපිළිවෙලකි මෙය. වැදගත් එකම දේ මේ අභියෝග වැඩපිළිවෙල අධීක්ෂණය සදහා අල්ලස් පගා නොගන්නා ජරාව නොකන පිරිසිදු නිලධාරී මණ්ඩලයක් ‍පත් කරගැනීම පමණි. වැඩිපුර පිස්සු නැති හොද මහත්මයෙක් මේ වැඩසටහනේ මුලසුන දැරීමද අතිශය වැදගත්ය. බකට් තුළින් රටක් නැගීමේ ලෝකයේ අලුත්ම ප්‍රවණතාවකට අපි මුල්ගල තබමු. ගැඹුරෙන්ම බකට් කරමු. පෝදා හැරත්අර්ථවත්ව බකට් පත්තු කරමු.

Wednesday, November 5, 2014

මලකඩයන් හා මස්වැද්දන් වෙනුවෙන් අපේ ක්‍රමයට නීති දමමු.

ඇමති පුතා නොව ජනපති පුතා වුවත් මලකඩයෙක් නම් මලකඩයෙකි. මස් වැද්දෙක් නම් මස් වැද්දෙකි. එලෙසම බෝසත් ගති ඇත්තෙක් නම් හැබෑ මිනිහෙකි. නමුත් අප කැමති වුවත් අකමැති වුවත් අපට අපේ රටේ අහන්නට විදින්නට වෙන්නේ බොහෝ කොට මලකඩයින් ගේ හොරිකඩ වැඩ හා මස් වැද්දන්ගේ මස් කිරීම් ගැනමය. මේ දිනවල ප්‍රවෘත්ති වලට සවන් දෙන විට ඇත්තේ වැඩිහරියක් මේ දෙගොඩේ දේවල්ය. අමුවෙන් මිනිසුන්ගේ ශරීර ‍කොටස් කපන්නවුන් සිටිනවානම් උන් තිරිසන් මනසක් ඇත්තවුන්ය. උන්ට මහත්මා ක්‍රමයේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර තිරිසන් නීතිය රස විදීමට අවස්ථාවක් ලබා දිය යුතුයැයි කාලයට අනුව පමණක් මෛත්‍රී සිතින්ම පවසන්නට සිදුවේ. එමෙන්ම මලකඩයින්ට කිරි පෙවීමද හිර ගෙවල් දහසක් හදන්නට පිඹුරුපත් සැකසීමක් වන්නේ අනාගතය ‍වෙත යන ගමනකදීය. 

එනිසා මැති ඇමති පුතුන් වූ හෝ නොවූ පමණින් නීතිය මෙන්ම අපගේ සාමාන්‍ය වැටහෙන නුවණද එක එක පරිදි වනවා නම් අපත් පිස්සන් පමණි. සාමාන්‍ය වැටහෙන නුවණින්ම අපටත් රටටත් කාලකන්නි වන පිරිස් වෙනුවෙන් පැහැදිලි නීති, මහත්මා නීති නැතත් අපේ නීති සමාජයේ ක්‍රියාත්මක විය යුතු නැතිද? මේ ජඩයින් පිළිකුල් කරන මස් වැද්දන් කොටු කරන ප්‍රබල ජන සමාජයක් ගැන මිනිසුන් සිහින නොදැක්කොත් අවසන අපට සිදුවන්නේ මරණකදීත් විකලෙන් සිනාසීමට පමණි. බිය නිසා අගතියට යන සීමාවේ කෙළවරට ගියොත් ජන සමාජයකට සිදුවන්නේ පිස්සුවෙන් මරු විකලෙන් සිනා සෙමින් හිදීමට පමණයි.

කුඩා පැළ අවදියේදීම උගුල්ලා මර්ධනය නොකරන වල් පැළ සමාජයට හොදක් උරුම කරන්නේ නැත. ඒ කෙරෙහි සාධාරණ නීතියක්ද, නිර්භය නීතියක්ද නොමැති කල අප යන්න‍ේ කොයි බටද? අප යන්නට තතනන්නේ කුමන අනාගතයක් කරාද? වර දාන වරප්‍රසාද මත එක් එක් අමන මරි මෝඩ ජඩයින්ට ගැති කම් කිරීමට පමණක් පුරුදු වූ ජනතාවකට සාධාරණය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් හයියක් ඇගට හෝ හිතට එන්නේ නැත. යන ක්‍රමයේ හොද නරක නොවිමසා යහපත වෙනුවෙන් එක් බිංදු මාත්‍රයකින් හෝ තමන්ගේ උපරිම දායකත්වය නොදුන් මිනිසුන්ට කුමන සරණද? එහිම ගැත්තන් වී නන්දොඩවනවා විනා...

දැන් සිදුවී ඇත්තේද එයමයි. යන ක්‍රමයේ නරකින් වාසි ලබන නිසා ඒ වරදවල් ඉවසමින් හිදින ජනයාට එය දිනක විදවන්නට සිදුවනු ඇත. අප ඊට අයත් නැත. දැන දැන ම වළක්වා ගත හැකි වැරදි වැළැක්වීමට උත්සාහ නොකරන අදාළ නිල බලයන් ඇත්තෝත් උන්ගේ නොපනත්කම තම වාසිය වෙනුවෙන් ඉවසන ගැත්තෝත් අපායේ සුව දිනෙක විදිනු වැළැක්විය නොහැකියි. ඔවුන් වෙත අපගේ සාතිශය සංවේගය.. :D

යපහත වෙනුවෙන් අනේක බාධක හමුවේ වුව තම යුතුකම් ඉටුකළ මිනිසුන්ට මෙලොවම ඒ වෙනුවෙන් සුර සැප පහළ වේවා...:)

අප්‍රමාණ වූ අවකෙළි හා මළවිකාර දකිමින් විදිමින් හිදිනා අපට සත්‍ය හා යුක්තිය වෙනුවෙන් කළ හැකි ප්‍රාර්ථනා එපමණය. අනෙක් ප්‍රමාණය අපට කළ හැකි අපේ ක්‍රියාවෙන් පමණි.. නීර්භීත, අවංක, යුක්ති ගරුක... සපුරා නිවැරදි නැතත් නිවැරද්ද , සත්‍ය සොයා යන්නට උත්සාහ කරන්නන්ට ජය වේවා. අපේ පමණට අපි හරිදේම කරමු. :)

Sunday, November 2, 2014

කලියුගය මැද්දෙන්.. ගම න

පොඩ්ඩන් අකාලයේ ලොකු කරවන්නට අන්ද   න

ලොක්කන් අාතල් පිණිස පොඩ්ඩන් සේ අදි   න

දේශපාලනයේ රස වින්දනය පුළුල් කෙරෙමින් ය   න

අපි අපි අතරේ බය නැති මං ඔයාගෙ කන අල්ල   න

වැඩි ඈතක් නොගොස් ආපසු කැලෑ වදින්නට සිදුව   න

දැන නොදැන දෙකෙන්ම ගොඩයන්නට තියෙ   න 

අවසන් හුස්ම නොදැනීම වැටෙ   න

හරි අපූරු ලෝකයේ හරි අපූරුවට ගතවෙන කාල ගම   න