Monday, November 24, 2014

කොනක්! ඉමක්!

යම් ලක්ෂ්‍යක සිට වමට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල වමටය. එම ලක්ෂ්‍යයේ සිට දකුණට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල දකුණටය. මේ දෙකම සරල රේඛාවන් ලෙස ඇද නැතිව ඇන්දා නම් අවසන එකම රේඛාවකි. 

මේ අතිශයඩිංග තේරම් ගන්නට නොහැකිව මිනිස්සු වම හා දකුණ අතර මහා මත භේදයක් හදා ගනිති. වමට ඇති රේඛාව යම් තාක් දිගද දකුණට ඇදි එක යම් තාක් දිගද දෙකම එක් කළ විට මහා රේඛාවකි. 

රේඛාවන් ගණනක් ඒ මේ අත අැද එක එක හරහා ඇද බැලූ විට එතැන ඇත්තේ අමුතුම කලාවකි. මේ රේඛාවන් සරල රේඛාවන් නම් එය මෝස්තරයක් සේ විය හැකියි. එ්වා සරල නොවන රේඛා නම් ඒ ‍තුළ මෝස්තරයකට එහා දෙයක් වුව ‍දැකිය හැකි වනු ඇත.

කලාව සරල රේඛාවලින් විස්තර කළ නොහැකිය. සරල රේඛා ඔස්සේ පමණක් කලාව පැවැත්විය නොහැකිය. නමුත් මේ රේඛා සියල්ල ඉතා සියුම්ව බිද දැමුවහොත් සරල රේඛාවක් තැනිය නොහැකිද? 

කැමරාව හදන තිත්.. එයින් හැදෙන රේඛා කොටු .. ඒ ‍ඔස්සේ හැදෙන විවිධ වූ දේ..

සියල්ල අවසන පොඩිපට්ටම් කොට එකම රේඛාවකට දැමිය ‍නොහැකිද? 

විදුලිය බල්බය හරහා ගොස් ආලෝකය දී ඉස්ත්‍රික්කය හරහා ගොස් තාපය දී පංකාව කරකවා සිසිල දී තවත් කොයි කොයි නම් තැනකට ඇදී යත්ද? කොපමණ දේ ලබා දෙත්ද? විදුලිය නමින් සියල්ල කරන්නේ එකපසු පස ඇදනෙ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විසින්යැයි සාපෙළ අවදියේ කියා දී ඇත.  

හිත හිතිවිල්ලෙන් හිතිවිල්ල අද්දවා මොන මොන දේ හරහා ගොස් අප කොතැන නතර කරාවිද? අපි හිතට අනුව යනවාද? හිත අපිට අනුව යනවාද? හිතට තිතද? තිතට හිතද?

කලාව මේ සියලු ‍තිත් ‍හිත් හා රේඛා එකතු වුනු තැනක්ය. කලාව මිනිහා හරහා මේ සියලු තිත් හිත් හා රේඛා විවිධ නිමැවුම් බවට පත් කරයි. සංකල්පනා හිතෙන් තිතෙන් හෝ රේඛාවෙන් පටන් ගෙන හිත ගත් ලෙස නිමැවෙයි. තිතක් තබා තවත් තිතක් තබා අතරමැදි රේඛා නිමැවෙයි. හිතත් මේ ‍තිත් රේඛාත් කලාවක් හදයි. විටෙක සියල්ල පැටලී යයි. 

පැටලීම තුළ ‍අපූර්වත්වයක් ජනිත වී අපූර්ව අනගි විශිෂ්ඨ දේ බිහිවෙයි. තවත් විටෙක සියල්ල එකටෙක මනාව ගැලපෙයි. එසේ එක්වී ගැලපී ශ්‍රේෂ්ඨ හෝ අති ශ්‍රේෂ්ඨ දෙයක් බිහිවෙයි. 

විශිෂ්ඨ කලාවද? තිතද? රේඛාවද? හිතද?

මේ සියල්ල දෙස බලා තවත් පසෙකින් බුද්ධිය විචාරන්නේ ඒ ප්‍රශ්නයයි.

No comments: