Sunday, November 30, 2014

පට්ට පල් බොරු

සත්‍ය සත්‍ය ලෙසම මුල සිට අවසන දක්වා පවතින සද්ධර්මයක හැර සපුරා සත්‍ය වන කිසිදු නිර්මාණාත්මක දෙයක් ලොව තුළ ඇත්ද? නිර්මාණයක් යනුම ආරම්භයක් හා අවසානයක් ඇත්තකි. සද්ධර්මයට මෙහා අපගේ කිසිදු සම්මුතීන් තුළ පරමාර්ථයන් තුළ ඇති සත්‍ය ස්වභාවය පවතින්නේ නැත. එනිසා නිර්මල පරම සත්‍ය හමුවේ සම්මුති සත්‍යන් යනු අර්ධ සත්‍ය ම පමණි. ඉදින් කවරෙකුටත් අප එදිනෙදා භාවිතයන් සම්මුතියෙන් ‍එහා පරම සත්‍යලෙස අර්ථ දැක්විය නොහැකිය. 

එනිසා මත මත අතර ගැටුම්, දැනුම් පද්ධතීන්, විෂය පද්ධතීන් අතර ගැටුම් යනු හුදු අර්ධ සත්‍යන් ගේ ප්‍රමාණයන් හා අරමුණු අතර ගැටුම් මිස සත්‍ය හා පට්ට පල් බොරු අතර ගනුදෙනු නොවේ. මන්ද මිනිස් සංස්කෘතියම සම්මුතීන් තුළ පවතින පට්ට පල් බොරුවක් බවට තර්ක විරහිත සද්ධර්මය මගින් ඔප්පු කොට හමාර නිසාය. එනිසා එකිනෙකා මත හා උදහස් සහිත අදහස් නිසා මිනිස් සමාජයේ කිසිවකුත් කිසිවිට ගැටුම් ඇතිකර නොගත යුතුය. සද්ධර්මයේ කියවෙන අවබෝධය වටින්නේ මෙතැනදීය. එවිට අවස්ථානෝචිත බව මෙන්ම නිවැරදි ස්ථාවරය මෙන්ම  නිවැරදි ක්‍රියාකාරීත්වය ගැනත් හැගීමක් ලැබෙනු ඇත.

එබැවින් පට්ට පල් බොරු ගැන තීරණය කිරීමේදී පළමුව අප සිටින්නේද සම්මුති සත්‍යක් තුළ බව තේරුම් ගැනීම වටිනු ඇත. එවිට හරි වැරැද්ද තීරණය කිරීමට සම්මුතියේද තවත් කරුණු කාරණා රැසක් ඇති බව පිළිගනු ඇත. සාධාරණය, යුක්තිය, සමානාත්මතාව මෙන්ම සම්මුතිය තුළ පවතින උපසම්මුතීන් ගැනත් කල්පනාව එවිට පහළ වනු අැත.

No comments: