Thursday, January 31, 2013

එක හිත

හිතට නොයෙක් දේ හිතෙනවා. සමහර දේ හීන ලෝකෙට ගැලපෙනවා. සමහර දේ සැබෑ ලෝකෙට ගැලපෙනවා. ඒත් ඔය හීනයත් සැබෑවත් ගැලපෙන සමහර අවකාශයන් තියෙනවා. ඒත් ශක්තිමත් නැති හිත එතනදි ඔද්දල් වෙනවා.

එක හිත කියන්නේ හිත එකක් කියා හිතන නිසාද? සිතිවිලි උපදින හිත එක අරමුණකට ගැනීමේ අදහසින්ද? හලෝව් රස්ටා ඉන්නේ දෙවැනි කතාවේ. 

සුවබර හීන දුක්බර හීන එළිවෙන කොට මිනිස්සු වෙව්ලා යනවා. සමහර විට අඩනවා, සමහර විට වැළපෙනවා. ජය ඝෝෂා කරනවා, ඔල්වරසන් දෙනවා. ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. සරලයි, ස්වභාවිකයි. 

ඒත් සමබර වෙන්න නම් ඊලඟ මොහොතේ අපිට ආපහු අපේ හිත එක තැනකට ගන්න වෙනවා. සමහරුන්ට ඒකට කාලයක් යනවා. තවත් කෙනෙක් එතරම් කල් ගන්නේ නෑ. ප්‍රශ්නය කාලය නොවෙයි. කව්රුත් එය කළ යුතු වීමයි. කෙනෙකුට හිත එක අරමුණකට ගේන්න බැරිනම් ඒ කියන්නෙ හිත රස්තියාදුවේ. හිතිවිලි දො‍රේ ගලා යනවා. විවිධ නිර්මාණ කරුවන්, හිතන්නෝ, කවියෝ, අදින්නෝ, රඟන්නෝ මේ ඕනෑම කෙනෙක් වෙන්න පුලුවන්. නැත්නම් සපුරාම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔහුගේ හෝ ඇයගේ ශක්තිය නියම ලෙස භාවිත කරන්නට නම් එය එක ධාරාවකට ගතහැකි විය යුතුමයි. මන්ද නොහිතා වැඩ සිද්ධ වෙනවා මිස නොහිතා වැඩ කරන්නට අපිට හැකියාවක් නැති නිසා. ඒ කියන්නෙ ක්‍රියාවක් වෙන හැම දෙයක්ම උපදින්නේ හිතෙන්. එහෙනම් හිතිවිල්ල ශක්තියක්. 

ඒක එක අරමුණක් ඔස්සේ මුදා හැරියම බලන්න පුළුවන් කෙනෙකුගේ ශක්තියත්. ඒ එක හිත ශක්තිමත් නම් ඒ ශක්තිය යෙදෙන්නේ කුමකටද කියන එකත් හිතන්නම වෙනවා. නූතනයේ කට වහගෙන ශක්තිය රැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වගේම ඒ ශක්තිය භාවිත කරන්නත් නිවැරදි ක්‍රමයක් තෝරා ගත යුතුයි. එය ඵලදායී වැඩදායී එකක් විය යුතුයි. නැත්නම් එයත් අටුව කඩල පුටුව හැදුව වැඩේට දෙවැනි වෙන එකක් නැහැ.

ඒ නිසා පළමුව හදාගන්න එක හිතක්. ඒ කිව්වෙ රස්තියාදු ගහන හිත ශුද්ධ රස්තියාදුවකින් එක තැනකට ගෙන්න ගන්න කියන එකයි. එතකොට එක හිත නිතරම දෙතැනක නවතින එකක් නැහැ.

ප්‍රතික්‍රියාව ගැන හිතුවොත්..

ප්‍රතික්‍රියාව ගැන තේරුම් ගන්න භෞතික විද්‍යාව දැන ගන්නම උවමනා නැහැ. වට පිටාව අපි වැඩ කරන යන්ත්‍ර සූත්‍ර විතරක් නොවෙයි, අපේ ශරීරය ගැන හිතුවමත් වචනාර්ථය ගැන දැන ගෙනම පමණක් වුනත් ප්‍රතික්‍රියාවේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතිං එතකොට තේරෙනවා ප්‍රතික්‍රියාව පටන් ගන්නෙ ක්‍රියාවෙන් කියන එක. එතකොට ක්‍රියාව ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. දහමෙ හේතුවයි ඵලයයි හරහා යන්නේ මේ කතාවේ ලොකු ගැඹුරකට. පනින්න පෙර හිතා බලන්න කියල කියමනක් තියෙන්නෙත් ක්‍රියාවට කලින් ප්‍රතික්‍රියාව ගැන හිතන්න කියලනේ. 

නමුත් අපි පුරුදු වෙලා තියෙන්නෙ ප්‍රතික්‍රියාවට වඩා අපේ ක්‍රියාව ගැන හිතන්න. සමාජයේ මෙපමණකටම ආරවුල් , වාද භේද ඒ නිසාම නොවෙයිද?

ප්‍රතික්‍රියාව ගැන හිතන්න සමහරු දන්නෙ නෑ. ඒ මේ වගෙයි. ඉටිපන්දම් දැල්ලකට කටින් හයියෙන් පිම්බොත් දැල්ල නිවෙනවා. ලිපකට හයියෙන් පිඹලා ගිනි අවුලනවා. ක්‍රියාව සමානයි. ප්‍රතික්‍රියාව වෙනස්. ඒ ඇයි? ප්‍රතික්‍රියාවට බලපාන්නේ ක්‍රියාව පමණක් නොවෙයි. හේතුන් එකක් නොව කීපයක් තිබිය හැකි බව එවිට තේරෙනවා.  හේතු ඵල  කියන දහමේ ගැඹුර එතැනින්ම ඇරඹෙනවා. අපි දන්නා, සොයාගත්, විග්‍රහ කොට ගත් දේ පදනම් කරගෙන කතාකරන විද්‍යාවේ ක්‍රියාව ප්‍රතික්‍රියාවට වඩා දහමේ සංයුක්ත දැක්ම ගැඹුරුයි. විද්‍යාවෙන් වියුක්ත දේ සංයුක්ත කරන ප්‍රබලත්වය නව දැනුම සමග සංශෝධනය වද්දී දහමේ සංයුක්ත දැක්මේ ගැඹුර තවත් පැහැදිලි වෙනවා. 

ඒ නිසා ප්‍රතික්‍රියාව ගැන ගැඹුරෙන් හිතන්න වෙනවා. සරලයි, ජීවිතය. ඒත් ගැඹුරක් හොයා ගන්න තියෙනවා.  ඒ ගැඹුර හොයාගන්න තරමට ජීවිතය තවත් සරල වෙනවා. කවදාහරි ඒ ගැඹුරට පනින්න වෙන්නෙ පතුල ගැන හොදට දැනගෙන. පනින්න පෙර හිතා බලන්න කීවෙත් ඒ නිසානේ. 

සමහරු ප්‍රතික්‍රියාව ගැන නොහිතා නොදන්නා ගැඹුරට පනිනවා. හැබැයි ඒ පිම්මෙන් සිද්ධවෙන්නෙ තමන්ගෙ විනාශය විතරක් නම් ජීවිතය අවදාමේ දැමීම හිස් වැඩක්. ඒත් පනින්න පෙර හිතුවෙ නැත්නම් ඒ ටික තේරුම් ගන්න කෙනෙක් තවදුරටත් ඉතිරි නෑ.

ඒයයි වැදගත්කම හිතුවොත් ප්‍රතික්‍රියාව ගැන,

ඒ නිසා පනින්නට පෙර හිතා බලන්න පුරුදු වුනොත් සමහර පිමි නොපැනම ඉන්න පුළුවන් වෙයි. ඒකෙන් හතර හංදි නොකඩාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි.

අනේ කාලේ..

කාලය සහ අවකාශය දිහා සාමාන්‍යය භෞතිකවාදී විග්‍රහයට එහා හිතකින් හිතුවොත්, කාලය හා අවකාශය කියන්නේ අවස්ථාවක්. 

මිනිස්සුන්ට විවිධ අවස්ථාවන් ලැබෙනවා. ඒ අවස්ථාවන්, කාලයන් ගතවෙන ආකාරය අනුව විවිධ ප්‍රතිඵලත් දෙවනුව උදාවෙනවා.

කෙනෙක් යම් කිසි කාලයකදී ජනප්‍රිය වෙනවා, තවත් කෙනෙක් රජ වෙනවා, තවත් කෙනෙක් පොර වෙනවා, තවත් අය දුක් වෙනවා, තවත් අය ලෙඩ වෙනවා, තවත් අය වැළපෙනවා... මේ ආදී ව‍ශයෙන් තවත් බොහෝ දේ හොදට නරකට සිදු වෙනවා.

කොහොම වුනත්, ආයෙත් කාලය උදාවෙනවා. ජනප්‍රිය වුන අයගෙ ජනප්‍රිය කම අඩුවෙනවා. රජ වුන සමහරු බලු වෙනවා. පොර වුන අයට කොර වෙනවා. දුක් වුන අය සතුටු වෙද්දි ලෙඩ වුන අයට හොද වෙනවා. ඒ අතරෙ වැළෙපමින් හිටි අයට හිනා වෙන්න ඉඩ කඩ හැදෙනවා.

ජීවිතේ හරිම සරලයි. හැමදාම වෙන්නෙ එකම දේ, වෙන වෙන විදිවලින්. අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් වෙනසක් නෑ. 

ඒත් වෙනස් විදි වලින් එන දේවල් ඇතුළෙ තියන එකම දේ හදුනා ගන්න බැරි කමින් ගොඩක් දෙනා වෙහෙස වෙලා. පීඩාවට පත්වෙලා. සමහරු මිහිපිට සදාකාලික සැප හොයනවා ඒ නිසා. ඒත් ‍එහෙම දෙයක් කාටවත් හමුවෙලා නෑ. මිහිපිට සදාකාලික සැපක් නැත්නම් සදාකාලික දුකකුත් නෑ. එහෙම දුකක් නැත්නම් වෙනත් සදාකාලික දේවල් තියෙන්න පුළුවන්ද? ‍

හැබැයි, අපි හිතන පතන විදිහ අනුව සමහර දේවල් අපි විසින් සදාකාලික කරගන්නවා. ඒත් යථාර්තයේ කිසිම දෙයක් සදාකාලික නෑ. 

ඒක ජීවිතේ රිද්මය නම්, සමබර හිතකින් හැම විට ජීවිතය දැකීම නොවෙද හොදම දේ. ඒ නිසා ඇත්ත ඇති හැටියට දකින්න. තේරුම් කරගන්න. එතකොට කවදාවත් අනේ කාලේ කියල වනේ වාසයට යන්න ඕන වෙන එකක් නැහැ...

Saturday, January 26, 2013

අර්නෝලිස් සර්ගේ ගුරු උපදේශය

මගෙන් නම අහලා ලස්සන නමක් යැයි කියූ දෙවන ගුරුතුමා අර්නෝලිස් සර්. එතුමා අපිට පරණ පරම්පරාවේ ගුරු පියෙක්. අපේ දහම් ගුරුවරයා.

ඒ දිනවල අපේ පන්තිවලට ශිෂ්‍ය නායකයින් තෝරා පත්කරගන්නා අවදියක්. මං ඒක දැන ගත්තේ අපේ පන්ති භාර ගුරුතුමා 'අන්න ශිෂ්‍ය නායකයො බදවා ගන්නවා. මොකද බලන් ඉන්නෙ' කියල කිව්වම. 

ඉතින් එතුමගේ කතාව නිසාම මමත් ඉල්ලුම් පතක් ඇරගෙන ඕක පුරවගෙන අර්නෝලිස් සර් ගාවට ගියේ ඒකේ ගුරු නිර්දේශයන් පුරවා ගන්න.

එතුමා මට සුහදව කතා කරලා මෙහෙම කිව්වා.

' මට ඕක අත්සන් කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා ඔයා තව ටික කාළයක් ඔහොම හිටියොත් හොදයි කියලා.'

ලජ්ජාවක් එක්ක වුනත් මං ඒ අදහස පිළිගත්තා. ඇත්ත, අන්න නියම ගුරු උපදේශ. 

තනතුරු කියන දේ සුදුසුකමට ලැබෙනවා මිස ඉල්ලලා ගන්න ඕන දේවලුත් නොවෙයි. මට එහෙම උවමනාවක් තිබුනෙත් නෑ. පන්ති භාර ගුරුතුමාගේ පෙළඹවීමෙන් මාව ඇවිස්සුනත් අර්නෝලිස් සර් මාව නිවුවා. 

ගුරු තුමා කියන්නේ එහෙම කෙනෙක්. ඒත් දැන්.. දැන්.. ඇහෙන්නේ..පලයන් .. ඉල්ලපන්..

බණ කියන්න සුදුසු ගුරුවරු පහළ වේවා..  මේ පෝදා ප්‍රාර්ථනය අනාගතය යහපත් වන්නටයි.

ක්ලාස් 'C'

මිනිස්සුන්ගෙ ‍විශිෂ්ඨත්වය තියෙන්නෙ තමන්ගෙ කුල ගෝත්‍රයට එහායින් තමන් කටයුතු කරන විදිහ අනුවයි කියල දහමෙත් කියනව.

කාළයක් අපේ පාසලේ අපේ පන්ති බෙදුවා, කොටස් හතරකට. ඉගෙන ගන්න දක්වන දක්ෂතාවය, කුසලතාවය අනුව වර්ග කරනව කියලයි කිව්වෙ. ඒත්, කොපිකරල පන්තියේ ඉස්සරහට එන අපේ අය ඉද්දී එක හරිම විහිළුවක් බව මට දැනුන. 

අපිට වැඩිය පස්සෙන් හිටපු යාළුවොත් දෙමව්පියො සතුටු කරන්න කොපි කරල හරි ඉස්සරහට යන්න හිතල තිබුන. ඒ දවස්වලත් තරඟයත් ඒ තරම්මයි. ඉතින් සමහරු කොපි කලේ දෙතුන් දෙනා කණ්ඩායම් ගත වෙලා. 

ඉතින් ඔය සැලසුම් කරුවොත්, ඇත්තටම පොත පතට දක්ෂ අයත් යන සියල්ලටම පළමු පන්තියට ටිකට් 'ඒ'. එතැනින් පස්සෙ දක්ෂයි කියන අයට 'බී' එතකොට තුන්වෙනි පන්තිය 'සී' එතනින් එහාට නොසළකන මට්ටමේ තවත් පන්තියක් තිබුනා ඒක ‍‍'ඩී'. 

කොහොම හරි කොපි කරන්නත් තර‍‍ඟයට ඉගෙන ගන්නත් උනන්දුවක් නොතිබුනු මමත් 'සී' ‍එකේ. ඇත්තෙන්ම ක්ලාස් 'සී' එකේ මං හිටියෙ ඉස්කෝලයට ඇතුළු වූ දා සිටම. ඒකත් හරි පුදුමයක්.

කාළය ගතවුනා. හය වසරෙදි ඇරඹුනු මේ බෙදීම හත අට නවය වෙන තුරුත් සංශෝධයන් එක්ක ගලාගෙන ගියා. තවත් අවුරුදු කීපයකට පස්සෙ සා‍.පෙළ විභාගයට අපි වාඩිවුනා. 

අපේ පන්තියේදී නිතරම ඉදිරියෙන් හිටපු මම සා‍.පෙළ ප්‍රතිඵල එනවිට 'ඒ' මට්ටමේ ඉදිරිපෙළ අයගෙ ප්‍රතිඵල හා සම මට්ටමෙන් හා විටෙක ඉදිරියෙනුත් සිටියා. ඒක වුනේ කොහොමද?

මෝඩ වර්ගීකරණයක් වූ ඒ වර්ගීකරනයෙන් ඇත්තටම මැන තිබුනෙ දක්ෂතා වල එක් අංශයක් පමණයි. දෙවැන්න සැබෑවටම දක්ෂයින් හංගන්න බෑ. තෙවැන්න පන්තියේදී කලබලකාර කරදර කාර කියා හැදින්වූ අය වෙනම පන්තිවලට ගොනු කිරීමෙන් ඇතිවන්නේ මොන දියුණුවක්ද?  කරදරකාරයින්ගේ පන්ති බිහිවෙනවා.. ඒ පන්තියට යන්න ගුරුවරුත් අකමැති වෙනවා.  ඇත්තෙන්ම අපේ පන්තියටත් වඩා 'ඩී' පන්තියට ඒ තත්වය උදාවී තිබුනා.

 ඒත් තර්ඩ් ක්ලාස් ‍එකේ ඉදන් විශිෂ්ඨයෙක් වෙන්න මට පුළුවන් වුනා. කොපි නොකිරීමත්, අනුන්ගේ තරඟවලට ඉගෙන ගන්න නොගිහින් මගේ උවමනාවට ඉගෙනීම මගේ පිහිටට හිටියා.

මේක ලීවේ මගේ සා‍.පෙළ ප්‍රතිඵල කියාදෙන්න නොවෙයි. තවමත් මේ ව‍ගේ මෝඩ වර්ගීකරණ පාසල්වල සිදුවනවා ද යන හැඟීම නිසා. මගේ මිත්‍රයා වූ අංගුලිමාලත් මා සමඟ ක්ලාස් 'සී' වල හිටියේ විශිෂ්ඨ විදිහට ශිෂ්‍යත්වය සමත් වෙලා අපේ පාසල ආ කෙනෙක් හැටියටයි. 

බහු විධ බුද්ධියක් ගැනත් කියන අතරෙ මේ වගේ විහිළු වැඩ නිසා අපේ අවදියේ පන්ති අතර ඇති කර තිබූ අසමානාත්ම තාවය අදත් මගේ හිතට දනවන්නේ සියුම් කණගාටුවක්. අපිට ඒ කණගාටුව දැනෙන්නේ අවංක කමත් එක්ක. එතකොට 'ඩී' පන්තියේ හිටි අයට ඒක කොච්චර දැනුනද? කවුරුත් ඒ ගැන හිතුවද? අපිත් එක්ක එකට හිටි යා‍ළුවෝ ගුරුවරුන්ගෙ මෝඩ වර්ගීකරණයෙන් එක එක බුද්ධිමය පන්ති වලට දාන එක මොන තරම් විහිළුවක්ද?  මේ වර්ගීකරණයට අහුවුනේ අපේ අවුරුද්දෙ අය විතරයි. ඊට කලින් අවුරුද්දෙත් පස්සේ අවුරුද්දෙත් මේ මෝඩකම තිබුනෙ නෑ. ඒ ගැන නම් සතුටු වෙන්න පුළුවන්.

ඒ ක්ලාස් සී වල චණ්ඩි බණ්ඩි මිත්‍රයින් අදටත් මගේ මත‍කයේ ඉන්නව. ඒ කාලෙ නරකම පන්තිය හැටියට නම්වී තිබුණෙ අපේ පන්තිය. එහි නරකම ශිෂ්‍යන් විදිහට හංවඩු ගැහූ අංගුලිමාල මගේ මිත්‍රයෙක් වුනා.

ක්ලාස් 'සී' නිසා මම සමාජය පහසුවෙන් තේරුම් ගත්තා. සීමා මායිම් එහෙ මෙහෙ වුනත් සමාජයේ ක්ලාස් 'සී' එකේ තත්වෙත් මේ ‍ටිකම නෙවෙයිද?

අද වෙනකොට මට හිතෙන්නෙ එහෙමයි.

සර්පයා ගේ පැළැන්තිය

මම උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූයේ එකම පාසලක.

මේ උසස් පෙළ අවදිය - පාසලට අලුතෙන් ළමුන් බදවාගන්න කාළය.

පරණ ළමයි රැග් කියල අලුතෙන් එන ළමයින්ව ටිකක් මඩවනවා.

පරණ කෙනෙක් වුනු මම ඔය අතරෙ අලුත් ළමයි එක්ක සුහදව කතා බහ කළේ කොල්ලන්ගෙ රැග් එක මගේ සිත් නොගත් නිසා. මේ‍ක පිරිමි පාසලක් නිසා කොල්ලන්ගෙ රැග් එකත් අමු විකාර රූපී එකක්වයි තිබුනේ.

ඔය විදිහට අලුත් අය පරණ වෙන ගාණට මාස කීපයක් ගත වෙද්දි අලුතෙන්ම ආපු කෙනෙක් මගෙන් අහනවා. 

"ඔයා මෙහෙට අලුතෙන්ද ආවෙ"  කියල.

රැග් සමඟ සහසම්බන්ධයක් නොතිබූ එකේ ප්‍රතිඵලයද මේ? මං ටිකක් කල්පනා කළා. නිකං ඇහුව විතරයිනේ. මම එයාට ශුද්ධ සිතින් පැහැදිලි කළා මං ජේෂ්ඨයෙක්ද නැද්ද කියල.

නමුත් ඒ සිද්ධියෙන් මං තේරුම් ගත්ත ජීවිතේට ඉතා වැදගත් දෙයක්. සර්පයාගේ පැළැන්තිය පෙන්නන්න නම් එක සරයක් හරි පෙනේ පුප්පන්න ඕන කියන එක, හැමෝටම පේන්න. අර දරමිටියට බදින්න ගත්තෙත් සිල්ගත්ත නයයි කියනවනේ. ඇත්ත, 

අකැමැති වුනත් සමහර දේවල් තියනව කරන්න වෙනව. තත්වය රැකගන්නම නොවෙයි. රැකෙන්න. හැබැයි,  පෙනේ පුප්පනව කියන්නෙ එකක්, දෂ්ට කරනව කියන්නෙ තව එකක් කියන එකත් එතනදි සිහියට ගන්නම වෙනව.

Thursday, January 24, 2013

....කට

මේක මහ පුදුම දෙයක්. බලශක්ති උත්පාදකයක් වගේ..

ටැප් එකක් යෙදුවෙ නැත්නම් බලාගෙන ඉද්දි මේකෙන් දෝරෙ ගලන ශක්තියෙන් බොහෝ දේවල් විනාශ වෙන්න පුළුවන්, මොහොතකදි.

මගේ ඉස්සරහ ඉන්න මනුස්සයව යක්ෂයෙක් කරන්න තරම් ශක්තියක් මේකෙන් තප්පර ගානෙන් උපදවන්න පුළුවන්. සමහරු මේකෙ ශක්තියෙන් මිනිස්සුන්ව රූකඩ වගේ නටවනව. 

හැබැයි, කවුරුත් වැඩිය නොහිතන ඒ වුනත් වැඩියෙන්ම දකින්න පුළුවන් දෙයකුත් ‍තියනව. මේකෙන් වැඩිය ශක්තිය හලන විදිහ අනුව ඇඟ ඇතුළෙ තියෙන ශක්තිය අඩු වැඩි වෙන විදිහයි ඒක.

විනාශකාරී දේවල් වලට මේකෙන් ශක්තිය යොදන්න ගියොත් වැඩි කාලයක් නොගිහින්ම එයාව හිස්වෙන්න ගන්නව.

යහපත් දේවල් වලට මේකෙන් ශක්තිය යොදන්න ගියොත් වැ‍‍‍යවන ශක්තිය දෙගුණ වෙලා ඇතුළ පිරෙන්න ගන්නව. 

අනිත් එක..

මේක හරියට පාවිච්චි කරන්න දන්නව නම් තමන් තුළ ඇතිවන බලශක්ති අර්බුධ අවමයි කියල හලෝව් රස්ටා කියනව. මං විතරක් කියන දෙයක් නෙමෙයි මේ. ලෝකෙ වටිනාම මිනිස්සු කියපු දේවල් හොයල බැලුවොත් ඒක තේරෙනව.

ඉතිං මේ බලශක්ති අර්බුධ ඇතිවෙමින් යන කාලෙ හලෝව් රස්ටත් තීරණය ක‍රනව තවත් අරපිරිමැස්මෙන් මේ බලශක්ති උත්පාදකයෙන් වැඩ ගන්න. ඒ නිසා අත හෙලවෙන එක අඩුවේවි ඉදිරියට. ඒ කට හෙලවෙන එක අඩු වෙන්න යන නිසා. තේරුමක් නැති කට හෙලවිල්ල අඩුවෙද්දි අනිවාර්යයෙන්ම ගතේ හෙලවිල්ලත් හිතේ හෙලවිල්ලත් අඩුවෙන බව හලෝව් රස්ටා තේරුම් අරන් තියෙනව. 

ඇත්තෙන්ම, වැදගත් මහත්‍මයෙක් වෙන්න නෝනා මහත්මියක් වෙන්න.. ඕන වෙන්නෙ ඇවිදින්න ඉගෙන ගන්න එකයි, කන්න බොන්න ඉගෙන ගන්න එකයි, අදින්න ඉගෙන ගන්න එකයි, කතා කරන්න අචාරශීලී භාෂා භාවිතය ඉගෙන ගන්න එක විතරක්ද?

වැදගත් නෝනා මහත්තුරු වෙන්න ඉන්න අයට මේක අතිශයින්ම වැදගත් වේවි ඒ නිසා.

කට ගැහීමත් කටින් ගැහීමත් පුරුදු වුනු අපේ සමාජෙ කට ගහනව වෙනුවට කට වහනව කියන්නෙ පණ යන වැඩක් සමහරුන්ට නම්. ඒත් ඇත්ත ඒකයි. අවශ්‍ය තැන කට අරිනව වගේම අනවශ්‍ය තැන කට වහන්නත් අපි පුරුදු විය යුතුමයි. අපේ වගේ රටවල් වල සමහර වැඩ හැමදාම කටින් විතරක් වෙන්නෙ කට වහල වැඩේට බහින් ඕන තැනදිත් ඒකට වඩා කට ගහල කටෙන් ගැහීම පළවෙනි තැනට තාමත් තියාගෙන ඉන්න නිසා. 

මේ කට වහල අතින් පයින් වැඩ පෙන්නන්න ඕන කාලෙ..ඒ කියන්නෙ කරන දේ කියන්නත් කියන දේ කරන්නත් වැඩ පටන් ගන්නත් ඕන කාලෙ. 

හැබැයි, මේ සේරම වැඩ යහපත් විය යුතුමයි. නැත්නම් වලංගු අතපයත් අවලංගු වෙලා ඔය ම‍හලොකු බලාගාරෙ ෂොක් වෙලා ලොක් වෙලා සමස්ථයම පිපිරෙන්න යන කාලෙ එන්න එන්නම අඩුවේවි. කට නිසාම දිනක ඔබ පිපිරිලා යන්න පුළුවන්.

මම පිපිරෙන්න අකමැතියි.. ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන ජනතාවගෙන් කෙනෙක් වෙන්න මම කල්පනා කළා. වැඩ කරන ජනතාව කතා කරන්නෙ වැඩ කරල ලැබෙන විවේකයේදී ... 

ඒ නිසා මගේ විවේකයත් එන්න එන්නම අඩුවේවි. ඒත් හලෝව් රස්ටා නවතින්නේ නෑ. විවේකයට එනවා.. අනිවා.. 

යන්න කලින් කියන්නේ ... බලාගෙනයි, ප්‍රවේශමෙන් ..ඔය කට!

Monday, January 21, 2013

නොදකිනු හීනය

දත් නැති කටක්

ගස් නැති රටක්

රොන් නැති මලක්

දිග නැති උසක්

 

සැර නැති මිරිස්

රස නැති හොදිත්

ඵල නැති ගසත්

දිය නැති ළිදත්

 

කට නැති බඩක්

ඇට නැති දිවක්

හිස නැති කදක්

හද නැති ළයක්

දායද

කන හැටි 

බොන හැටි 

වෙන විදිහට කන හැටි

අපිට කියලා දුන්නා

දැන් කනවා

බොනවා

වෙන විදිහටත් කනවා

එච්චරයි 

ජීවිතේම

 එච්චරමයි

කියලා දුන්දේ

දන්නෙ නෑ

ඒ හින්දා 

හිතෙන්න ඕනෑ දේ

ඕනෑ නැති දේ

කනවා

බොනවා

අහවල් විදිහටත් කනවා

එච්චරයි

අපිට දුන් දායාද

උන්

තරහක් නෑ

හරක් වගේ 

කනවා 

බොනවා

වමාරමින් කනවා

එච්චරයි

ජීවිතේම

කියලා දුන්‍ දේ

දැන් දන්නා දේ

අනාගතේ 

අපේ අතේ

වගකීම

උඹලගෙ අතේ

Thursday, January 17, 2013

‍අධ්‍යාපනය යනු දැනුමද, තරඟයද..

:(අධ්‍යාපනය ගැන විවිධ වූ නිර්වචන ඇති. ඒත් අද මෙහේ අධ්‍යාපනය කියන්නේ දැනුම හා තරඟයටයි.. 

:)ඒකයි ඇත්ත. කියන්නේ සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය දරුවාගේ, තරුණයාගේ අධ්‍යාපනය ගැන නම් ඇත්ත ඒකයි. යුග යුග සන්සන්දනය කරන්න යන දෙයක් නොවේ මේ. ඒත් මේ යුගය විධිමත් අධ්‍යාපනයට නම් නොවේ, අපි ගොඩක් දේ ඉගෙන ගත්තෙත් අවිධිමත්ම.

 

:(සරලව කිව්වොත් කලා විෂයන්ට වඩා ගණිතයත්, විද්‍යාවත් උගන්නන්න යන එකද අධ්‍යාපනයේ දියුණුව..

:)අදට වඩා හෙටට ඇත්තෙන්ම වැදගත් වෙන්නෙ ගණිත, විද්‍යා දැනුමද? ඇත්තෙන්ම යාන්ත්‍රක වෙන ලෝකයේ ජීවත් වෙන්නට ඒක හොද අත්‍වැළක් වේවි.. ඒත්.. මෙහෙම හිතෙනවා. අපිත් ගණන් විද්‍යාව ඉගෙන ගන්න කාලයක් වැය කළා. අවසානෙට ලොකු දැනුමක් ලැබුනා. හැබැයි ඒ දැනුමත් එක්ක මනුස්ස ගති ඉගෙන ගන්න අපිට වෙලාවක් හෝ ඉඩක් කොහෝවත් ලබාදීල තිබුණෙ නෑ. 

 

:(එතකොට තරඟය..

 :)අපේ අධ්‍යාපන යු‍ගයෙ අපි ඉගෙන ගත්ත අවසානම කාලෙ අපේ ඔළුව ඇතුළෙ තහවුරු වුනේ එකම දෙයයි. ඒ තරඟය විතරයි. වෛද්‍යවරු වෙන්න අපේ යාළුවො 90% ඉගෙන ගත්තෙ තර‍ගෙට .. මිසක් ජනතාව සුවපත් කරන අරමුණෙන් නොවන එක 100%ක් ස්ථ්රයි. ඒත්..පස්සෙ හරි අරමුණ තරඟකාරී රැකියාවක් පමණක් නොවී සේවාවක් කියන ඉසව්වට පියමැන්නා නම්  සන්තෝෂයි.

 

:(ගණිතය, විද්‍යාව ඉගෙනීම මෙහේ තරඟයක් විතරක් වෙන තත්වයට වැටුනෙ.. 

:)අනෙකුත් විෂයන්හී නිසි වටිනාකමක් මේ සමාජයේ දක්නට ඉඩක් ඉතුරුකොට නැති නිසා. අධ්‍යාපනය මෙහේ දැන් තවත් එක ලාබදායී බිස්නස් එකක් විතරයි. 

 

:(එතකොට මේ අධ්‍යාපනයෙන් බිහිවන පිරිසගේ ඔළුව පෝෂණය වෙන්නෙ...

 :)තම තම නැණ පමණ හා දෙමාපිය, පවුල් පරිසරයේ හව්හරණයෙන් පමණක් නොවේද? 

 

:(එවිට ඉතිරි පිරිසට..

 :)හරයාත්මක වටිනාකම් තේරුම් නොගන්නා සමාජයක බිහිවන ක්‍රමවේද හුදෙක් ස්පර්ශ කරන්නේත් මතුපිට තලයේ පෙනෙනා ඉසව් පමණි. ඒ නිසා කියන්න වෙන්නෙ දෙවි පිහිටයි. 

 

:(නොපෙනෙන මූලයන් හදුනා ගැනීමට වගකිවයුත්තන්ට උවමනාවක් වෙත්ද?

 :)එහෙම දෙයක් පේන්න තියෙනවද.. 

 

:(යාන්ත්‍රක චින්තනයක් වැඩෙන යුගයක ගැටුම්, පීඩන වැඩිවන යුගයක අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත යුත්තේ කොයි ආකාරයෙන්ද?

 :)බිස්නස් එකක් හැටියටද, මානව අයිතියක් හැටියටද, නැත්නම් මානව අවශ්‍යතාවක් හැටියටද?

 

:(අධ්‍යාපනයේ අරමුණු මොනවාද?

:)ඒ අරමුණු ප්‍රයෝගික වශයෙන්ම නිශ්චය කොට තිබෙනවාද?

 

:(ඒ වෙත ඉලක්ක ගත වූ ගමනක් මෙහේ තිබෙනවාද?

:)හදුනා නොගන්නා හේතුන් නිසා දුර්විපාක වලින් පීඩාවට පත්වන යම් දිනෙක පෙර දැක්මක් නොමැති දනා මේ පිළිබද ඉව කරනු ඇත. එදිනට අප ප්‍රමාද වැඩි වේවි.

Friday, January 11, 2013

ලයිතන්ගේ ලේනා සහ ඌ මගේ කුක්කා(යථාර්තය අභූතරූපයෙන්)

:(ටෙලි නාට්‍යක තිබූ මේ දෙබස් කොටස්...

:)මගේ සිතේ තදින් රැදුනා.

 

:(ලේනා හා කුක්කා කවුරුන්ද?

:)ඉංග්‍රීසි පාලකයාගේ නියෝජිතයා ලේනාය. ලේනාගේ බැලයා කුක්කාය. අද මෙහේ ඉංග්‍රීසි පාලකයෝ නැත. එහෙත් ලේනෝත් කුක්කෝත් එමටය. 

 

:(ලේනා ටිං ටිං නද නගත්ද?

:)ඌගේ නාදය ලයිතන්ගේ සතුටය. 

 

:(කුක්කා බුරත්ද?

 :)කුක්කාගේ සතුට වලිගය වැනීමය. ලේනා පිටේ නංවාගෙන කුක්කා බුරන්ගේ පිට වුන්ටය.

 

:(ලයිතන් කොහොමද?

 :)ලයිතන් ලේනාගේ නැටුම් බලා සතුටුවන අතර කුක්කාට පයින් ගසා සතුටුවේ. කුක්කා ලයිතන්ගේ දෙපා ලෙවකන්නේ සතුටින්ය.

 

:(මේ ලේනා හා කුක්කා මිනිසුන්ද? 

:)මිනිස්‍ වෙස ඇත. සූකර ගුණ ඇත. අසූචි කන බැවින් ඒ තාක් මිනිස් ගුණ දැරිය නොහැකිය. 

 

:(ජනයා අතර වඩාත් ජනප්‍රිය කවුරුන්ද?

:)පොදු ජනයාගේ හිතවතා කුක්කාය. වීරයා ලේනාය. ලයිතන් දෙවියාය. හදවතින් කෙසේ තක්සේරු කළත් මරබියට ගතේ වන්දනාව එලෙසින්ය.

 

:(අවසන් ඉල්ලීම හා පැතුම?

:)ලයිතන් ගේ ලේනා ගැනත් ලේනාගේ කුක්කා ගැනත් ඉතිහාසයෙනුත් වර්තමා‍නයෙනුත් ඉගෙන ගන්න. තමාගේ වලිගය කපා ගන්න පෙර අං සදහා හිස අතගා බලන්න. මැරෙන දිනය සිහිකර ගන්න. සදාකාලික නොවූ ලොකේ සදාකාලික ප්‍රේමයක් හොයා ගන්න. කට පියා ගන්න. දෑස් අයා ගන්න. බලා ඉන්න තේරෙන කම්, ඉවසන්න වැ‍‍ටහෙන කම්.. 

 

:(හරුප කියන්නේ ඇයි?

:)භාෂාවෙන් කතාකොට අවසානයේ හරුපය භාෂාවයි. එතැනින් අනතුරුවයි නිශ්ශබ්දතාවය.

 

:(ඉතිං ඊට පස්සේ?

:)නිශ්ශබ්දතාවය, බලා ඉන්න ඉර පායනවා.. බැස යනවා.. දවස ගෙවී යනවා, ඔබ වයසට යනවා.

Tuesday, January 8, 2013

අරමුණ

:(අරමුණක් නෑ කියන්නේ...

:)යන්නෙ කොහෙද දන්නෙ නැතිව බයිසිකල් පදිනවා වගේ. හරිම රස්තියාදුවක්. අනතුරක් වුනත් වෙන්න ඉඩකඩ වැඩියි.  හැබැයි යන්නෙ ශුද්ධ හිතකින් නම් එතන අරමුණක් තියෙනවා. ඒ තමයි පිරිසිදුකම, සැහැල්ලුව, නිදහස හොයාගෙන යන එක.  මාර්ගයක් පේන නිසා එතැන අනතුරකට ඉඩකඩ අවමයි.

 

:(එතකොට වැරදි ගැන කතා කිරීමේ අරමුණ?

:)කතා කිරීමේ අරමුණක් අවශ්‍යමයි. අතුගෑමේ අරමුණ පවිත්‍රතාවය වනවා වගේ. හැමදෙනාම වැරදි ගැන කතාකරනවා. අතනත් වැරදි, මෙතනත් වැරදි. අඩුපාඩුත් එහෙමම තමයි. අතනත්, මෙතනත්. නමුත් ලොකුම ප්‍රශ්නෙ මේ හැම දේ කටම තමනුත් වගකියන්න ඕන කියන එක බොහෝ දෙනෙක් වටහා නොගෙන සිටීමයි. හැම ක්‍රියාවකටම ප්‍රති ක්‍රියාවක් තියෙනව කියන්නෙ පිරිසිදු ඇත්තක්. 

 

:(අද ‍ඇතිවෙල තියෙන ගොඩක් ප්‍රශ්න අතීතයෙ සිදුවුණු වැරදි හා දැන දැනම කරපු වැරදි වල ප්‍රතිඵල නොවෙයිද? 

:)රටක ප්‍රශ්න හුදෙක් නිකම්ම ඇතිවෙන ඒව නොවෙයි. ඒව කරන්න දායක වුනු හැම දෙනාමත් ඒවට වග කියන්න ඕනමයි. එහෙට තර්ක කරල මෙහෙට තර්ක කරල ගැලවිජ්ජා කරන්න හැදීම නිරර්ථකයි.‍ 

 

:(එහෙනම් ඔබ කතාකරන වැරදි නිවැරදි කිරීමේ අරමුණ සැබෑවටම ඔබ තුළ තිබෙනවා නම් කළ යුත්තේ වැරැද්දට එරෙහිව දිගු කරන ඔබේ ඇඟිල්ල හැර අනෙක් සියළු ඇඟිලි යොමුවී ඇති දිශාවේ හිදින ඔබ පළමුව නිවැරදි වීම නොවේද?

  :)අරමුණ පිරිසිදු නැති නම් යුක්තිය වෙනුවෙන් කතා කිරීම යනු තවත් එක් භාණ්ඩයක් විකුණා ගැනීමක් පමණක්ම තමා. එහෙනම් මේ දවස්වල විකුණා ගන්න හදන භාණ්ඩ මොනවාද කියා තේරුම් ගන්න. නැතිනම් ඉෂ්ට කරන්න හදන්නෙ යුක්තියද කියල තේරුම් ගන්න. ඒකට අවශ්‍ය ඔබේ යුක්ති සහගත අරමුණ පමණයි.

Wednesday, January 2, 2013

ප්‍රේමය

මිතුදම මිතුදමයි, ‍සොයුරුදම සොයුරුදමමැය, ප්‍රේමය නම් ප්‍රේමය මිස අන් කවරක්ද?

මිතුදම් රස බරය -

සොයුරුදම සුවබරය -

- රස බරය, සුව බරය එලෙසින්ම දුක්බරය ... ප්‍රේමය