Showing posts with label යහමග. Show all posts
Showing posts with label යහමග. Show all posts

Monday, August 11, 2014

යහමගට ඇරඹුමක් - මෛත්‍රියෙන් යුත් ශුද්ධ වූ යුද්ධයක්

අනෙකාගේ බෙල්ලට පිහිය තබා ‍‍"උඹේ ජීවිතය මෙපරිද්දෙන් ගෙවිය යුතුය" තර්ජනයට, ගර්ජනයට හෝ අත්අඩංගුවට ගැන්මට අපට අයිතියක් නැත. එබැවින් අපි අනෙකා වෙත යපහත පතුරවන්නේ ඒ පිළිබද අප වටහා ගන්නා දෑ ප්‍රකාශ කිරීමෙනි. ඒ ප්‍රකාශ කිරීමද සිදුවන්නේ අයහපතට එරෙහිව මිස තවත් යහපත් මතයකට එදිරිව නොවේ. වාණිජවාදී සංකල්ප තුළ හැමදේම මුල්‍ය වටිනාකමින් තක්සේරු කරද්දී යහපත අපට ඒ වටිනාකමින් මැනීමට ඉඩදිය හැකි නොවේ. මිනිසාත් මානව සමාජයේත් විනාශය ඇරඹෙන්නේ එතැනිනි. කොතැන කොයි ලෙසකින් ඒ තත්වය ඇරඹී තිබුනත් අප සමාජයේ ඒ මත පතුරවන්නන් සිටියත් මේ සමාජය ඒ වෙත ගොදුරුවීමට එරෙහිව අපට විසි කළ හැකි වැලිකැටය පවා නිවැරදි ලෙස විසිකරන්නට අප උනන්දු විය යුතුය. තීරණාත්මක පනහට පනහ බල තුලනයේදී වැලි කැටයටත් දශමයකින් වුව මහ විශාල බලයකට දායක විය හැකිය. 

ත්‍රස්තයන් සමග යුධයකදී අපේ මානුෂවාදී බවේ වගපල හේවූ අය තවත් මහ යුධයකදී දත කට පූට්ටු කර ගෙන සිටිති. ලෝකයාගේ හැටි එහෙමය. බලවතාට ලැබෙන තැන දුබලයාට නොලැබෙයි. බලවතා පැහැරුවත් සුවද යැයි කියන මිනිස්සු දුබලයා පැහැරූ තැන දුබලයාට අසූචි කවන්නට හදන්නේ "කැත කළා" යයි කියමිනි. ඒ ලෝකයාට ලොකුකම් පෑවත් අභ්‍යන්තරයෙන් දුබල මිනිසුන්ගේ හැටිය. සමාජ, දේශපාලනික ලොකු කතා අස්සේ යටිතල පහසුකමක් බදු යහමගක් හැම ගමක් ගමක් පසා හැදෙන්නේ නැතිතාක්, ගෙයක් ගෙයක් ගානේ හැදෙන්නේ නැතිතාක් මිනිසා කොච්චර උගත්තත් රටක් ‍පොහොසත් වන්නේ නැත. මහා විශාල ඉතිහාසයක් අනන්‍ය සංස්කෘතියක් ගැන කතා කරන හිතන අප වැනි රටවලට එහි බලපෑම විශාලය. බුද්ධියත්, ශරීරයත් වෙහෙ‍සීම සමග බැදුනු මිනිසුන්ට වඩා හදවතත් හිතත් වෙහෙසෙන මිනිසුන් අප රටවල සිටීම එයට හේතුව නොවේද? එය ප්‍රධාන හේතුවකි. බුද්ධියත් තර්කයත් සමග ගැටලු විසදීම පහසු වුව හදවතත් හිතත් සමග ගැටලු විසදීම පහසු නොවේ. නමුත් මෙහදී අපට උගන්වන පහසු ක්‍රමය නම් හදවත පොම්පයක් බවත් හිතේ හිතලු බොහෝ බවත් බුද්ධියෙන් තේරුම් ගෙන සංස්කෘතික හා ආගමික බැදීමෙන් පහසුවෙන් මිදී පොෂ් ලෝකයට පියමැනිය යුතු බවයි. " අද යන ක්‍රමය ඕකයි " බොහෝ දෙනා යන අතට බෝට්ටු පදින්නයැයි අපට කියන්නේ ඔය සම්මතයට අනුවයි. එහි බලපු ගමන් ඇත්තේ බුද්ධියට ගෝචර හොද ඇත්තකි. ඒ නිසාම බොහෝ දෙනා ඒ අනුව යති. නමුත් ගැඹුරේ ඇති ගැටළු නොදැක යන නිසාම ඒ ගැටලු සමාජ දේශපාලනික ප්‍රශ්න ලෙස මතුවන තැන්වලදී තවත් ප්‍රයෝග තෝරා ගන්නා අතර සියල්ල වාණිජත්වයට යටපත් කරන විසදුම් වලට පිවිස සමාජයම විනාශ කර ගනිති. 

අපට අපේ ජාන වලින් උරුම හැකියා දක්ෂතා බාහිර පරිසරයේ ලබා දෙන සම්මත අධ්‍යාප‍නයෙන් ඔප නගන ක්‍රමයක් අප රටේ වෙත්ද? බහුවිධ බුද්ධියක් ගැන කියන අතර අපි අපේ ජාන අනන්‍යතාවයන්වත් හදුනා ගෙන ඇතිද? අපේ දෙයක් ලෝකයාට දෙන්නට බැරි තරම් අපි අනාථද? තරගකාරීත්වයට අපේ මනස සකස් කළ යුත්තේ අර පෙර කියූ ලෙසින් හදවතත් හිතත් අයාලේ යවමින්ද? එය දහමකට අනූකූල කළ යුතු නැතිද? එසේ නොකොට ඔලුවත් ඇගත් පමණක් හැදූ පසු ඒ අඩුව නිසාම නිර්මාණය වන ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ තව දුරටත් විනාශ වෙමින්ද?

දේශපාලුවෝ බොරු කියති. මහජනයාගෙන්  බහුතරය ඔවුන්ගේ පිට කසති. ඒ පවතින ක්‍රමයෙන් ඔවුන්ට හරි හෝ වැරදි ලෙසින් ලබා දෙන වරදාන නිසාය. ඉතින් මේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම එක් පාර්ශ්වයකට ප්‍රමාණවත් නොවන තැනදී ඔවුහු සමාජයේ විරෝධතා ඇති කරති. බලය ඇති දේශපාලකයෝ තමන්ගේ බලය එවිට පෙන්වති. බලය නැති මහජනයා එය ලබාගත හැකි තවත් පිරිසකට හිතවත් වෙති. සමාජයේ රටේ ගමන ගැන හෝ සමස්ථය ඉදිරිය බලනවා වෙනුවට එක එකාගේ බඩ වියත හෝ බඩ ගෙඩිය තරවීමක් පමණක් සිදුවේ. බඩ ගෙඩි වැඩි ප්‍රමාණයක් තර කළ පමණින් රටක් නිවැරදි ගමනකට අවතීරණ වෙත්ද? අප ජීවිතය යනු බඩ පමණක්ද? ඉතිහාසය භූගෝලය ගැන නන් දොඩවමින් අප කොහේ ගාටාවිද? තවත් රටකට කොකු ගසා ඇදෙන්නේ නැතිව තමන්ගේ රුවලක් නංවාගෙන හුලං සැරේ යොදා ගෙන තමන්ට අවැසි දිශාවට අප දැක්කෙන්නේ කවදාද?

එතැන දී අපේ පළමු අනන්‍යතාවය සිහියයි. බුද්ධියෙන් තර්කයෙන් තම වාසියට කල්පනා කරන රටවලට වඩා හොද සිහියෙන් කල්පනා කරන්නට හැකිනම් අපේ රටේ ශක්තිය අවදිවන්නේ එතැනයි. අපේ ජාන අනන්‍යතාව අවදි වන්නේ එතැනයි. කලක් තිස්සේ ගැඹුරු දහමක රසයෙන් මත්වුනු අපේ හිත් වල හදවත් වල ශක්තිය අවදිවන්නේ එතැනයි. ඉතින් ඒ දහමත් සිහියත් හැරපියා අප යන ගමනේ නිවට ගතියක් මිස අපේ ගතියක් එන්නේ නැත. ඒ ගතිය ගන්නට කලිසමෙන් සරමට බහින්නටම ඕනෑ නැත. ඕනෑ නම් බැස්සත් කමක් නැත. නමුත් ඔය ගතිය ගත යුත්තේ හොද පිළිවෙතකින් මිස සරමෙන්ම හෝ කලිසමෙන් ඔය ගතිය සපුරා එන්නේ නැත. එබැවින් සරම ඇන්ද පමණින් අපේ ගතිය ඇගට ආවට ක්‍රියාවට එන්නේ නැත. ඒත් අදින්නට පුලුවන් නම් සරම හොදය. ඒත් සමග ගැටුමට නැති සිහිය අවැසිය. කලිසම වුව කම් නැත. ඇති කර ගත යුත්තේ නිවැරදි අවබෝධයය. මේ කියන්නට යන්නේ ශුද්ධ වූ ජාතියක් ගැන නොවේ. යහපත් ජාතියක් ගැනය. රටක් ගැනය. සුද්දෝ හෝ කලු සුද්දෝ හෝ ලක්ෂ ගණනින් ගෙන්වා රටට ආදයම ගැනීම එකකි. ඒ ඔස්සේම හීන බැලීම නිවට කමකි. එතැනින් මිදීමට මේ කාලයයි. හැබැයි එතනදී වැඩි කැපවීමත් යහපිළිවෙතත් එක්කරන යහමගක් මිස අන් මගක් ගත්තොත් අපට නැගිටීමක් නම් ඇත කියා හිතෙන්නේ නැත. නැගිටීමක් වෙතොත් අශුද්ධ කිළිටි පාපබර විලසකින් මිස ශුද්ධ ලෙසකින් නම් නොවේ. 

එබැවින් ඒ යහමග සරි කිරීම සදහා අපට ඇති යුතුකම තනි තනි අප යහමගට එළැඹුමයි. එය ශුද්ධ වූ යුද්ධයක්මයි. බෙල්ලට පිහිය තියන්නැති, අ‍පේ හිත් ශක්තිමත් කරගෙන හරි විදිහට වැඩ කරන්නට ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්ධය. අනිවාරතේ රස්තියාදු හිතිවිලි වලටත් ගමන්වලටත් හුරු අපේ රස්තියාදු ශුද්ධ කරන්නට පටන් ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්දේ. ඒ යහමගට අැරඹුමක් හදා ගත්තොත් දිනක අපත් රටත් ගොඩ යාවි. ලෝක විනාශ දිනකදි තවත් දහමක පුරාණයේ කියවෙන පරදි මෙන් කදු ඉස්මත්තක නැවක ඉතිරිවන ජාතියක් වන්නට අපට හැකිවේවි. අලුත් ලොවක් ගොඩ නැගීමට යහපිරිසක් අපෙන් ඉතිරිවේවි. ඒ මනස්කාර උපකල්පිත කෙසේ වෙතත්... මේ දිවියේ කෙළවරකවත් අපි සැනසුමක් ලබාවි. 

අයහපතට උඩගෙඩි හැදෙන ලෝකයක රගමින් හෝ යහපත උදෙසා ම ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් ශුද්ධ වූ යුද්ධයක් කරමු. අපි තුළ නොමිනිසා මරා මිනිසා රැක ගමු. තමාට මෛත්‍රිය වඩමු, අන්‍යනටත් එතැනින් උපදෙන මෛත්‍රියෙන් සංග්‍රහ කරමු.