Showing posts with label අං එන තුරු :) නොතේරේ.. Show all posts
Showing posts with label අං එන තුරු :) නොතේරේ.. Show all posts

Sunday, September 17, 2023

අපිත් රටත් ඇදට ගියාට ක්‍රිකට් ගහන උන් කෙලින් යා යුතුයි (අස්ථාවර රටක ස්ථාවර ක්‍රිකට්)

අභිමානය හා අවමානය අතර ඇත්තේ එක අකුරක වෙනසකි. අතීතයේද වර්තමානයේද  අනාගතයේද කියා එහි වෙනසක් නැති.

රටක් හැටියට ෆේල් වෙලා, කප් එකකින් හරි විලි වහගන්න හැදුවට ඒක අමාරුයි.

දැන් අපිට වහගන්න තරම් දෙයක් නෑ , මේ තාක් වහගෙන හිටියෙත් ඉන්දියානු ආධාරයෙන්.

ඇත්තටම කරන්න තිබුණෙ රටේ මහ පුටුත් එක්ක ක්‍රිකට් එකත් රනිල් දිනේෂ් ඇතුළු පිරිසට බාර දෙන එක. 

මේ රටේ හැම කෙළියක්ම කිරීමේ අනුහස ඇත්තේ රට කාපු උන්ට පමණයි.

අපි රනිල්ගේ වලිගේ එල්ලී තවදුරටත් අහසේ ම රැඳෙමු ! ඉන්දියා, චීන, ඇමරිකා ect.. දෙව් ලෝ පතමු ! 

ඒ පාඩමත් ඉගෙන නොගන්නට තරම් අපි more තකතීරු නම් මේ අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකයන්ටත් පවරා අස්ථාවර ක්‍රිකට් වෙනුවෙන් හෙට අස්ථාවර රටත් ඉන්දියාවට or වැඩි ලාබයට දන් දෙමු !

Thursday, September 14, 2023

යළි යළිත් ලෝක බැංකු සුවය පතමු ! (සදා සරණ වේවා)

පාලකයන් බලෙන් ඇතී

නායකයන්ට ඉඩක් නැතී

පිස්සුවට තැනක් ඇතී

සුදුස්සන් ගෙදර යතී


විප්ලවයකට ඉඩක් ඇතී

අවසානයට පණක් මදී

හොඳ එකාගෙ හොඳත් වැඩී

නරක එකා විනත් කටී


පාරෙවත් නීතියක් බැරී

තදබදයෙන්ම කැපෙයි ඉරී

කහ ඉර ඇතත් නැතත් සොරී

මැරි මැරි ඉපදුණත් ජොලී


හොරු බදාගෙන හොරු

දියුණුවට යයි රට මරු

රජා රකිමින් රජ බඩු

දනන්ට කියයි අවනඩු


නීතිය පොතට සමානලු

කෙරෙන විට අසමාන ලු

දුගියට බෙදා මනිබඩු

ඡන්දය හිඟති රජබඩු


සැබෑ දියුණුව ඊසි ද

වංචාව සමඟ ලේසි ද

රැක දුෂිතයන් පේළිය

මෙහෙම යං මේ ක්රේසිය

Wednesday, May 31, 2023

අන්ධරේලා ~ රේවතීලා

ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාව හැර තවත් ජනතාවක් සිටීද

සිටී

ඒ රටේ සාමාන්‍ය ජනතාවයි


ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩු හැර තවත් යමක් තිබේද

තිබේ

ඒ රටේ රජයයි


ඒ රටේ සාමාන්‍ය ජනතාවටත් ඒ රටේ රජයටත් විහිළු සපයන ඒ රටේ තවත් ජනතාවක් සිටීද

සිටී

ඒ රටේ ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවයි

Monday, April 3, 2023

ඌ මේක් අප් කරා ~ මෝල් ගහ ප්‍රතිව්‍යුහගත කළා! කවුද මේ ත්‍රස්තයා ~ ඌ නොවෙද සර්පයා! (මේ ගමනේ දී ජාතියේ චින්තනය සාධනය කෙරෙන වග නම් හරිම පැහැදිලියි නේද? / කපුටා සුදු වෙලා! මෝල් ගහේ දළු ඇවිත්!)

කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !

බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ...  දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !

(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද ,  පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)

Wednesday, July 18, 2018

ශක්ති සංස්ථිතිය(භෞතිකවාසී මං)

කිසියම් රටක ශක්තිය හානි නොකර දියුණුවට යෙදවීම.. (පරිවර්තනය)  එය අපට පාසලේ භෞතික විද්‍යා පාඩමේ නම් ඉගැන්වූයේ නැත.
භීෂණයෙන්, යුද්ධයෙන්, සුනාමියෙන් හානි වූ රටේ ශක්තිය තව දුරටත් අද අපි නසා ගනිමින් සිටිමු.
ලෝකෙට ලොක්කෝ හදන්නට අපේ දෙමාපියන් වෙහෙසෙන තරමට හෙට දවසේ ලෝකයටම ලොක්කන් මෙහෙන් අපනයනය කළ හැකිවනු ඇත.
අද අපේ අධ්‍යාපනයෙන්ද යහගුණති දරුවෙකුට ඇති පරිසරය ක්රමයෙන් දියවී යනු පෙනේ.
පොත පතට හිමි තැන කුඩු පතට නොගියත් පොත පතේ නීරසයද තාක්ෂණයේ මායා රසයද දරුවන්ගේ මොළයේ ශක්තිය පසෙකින් කුඩේ කුඩුකර ඇත.
පාරේ කුණු හලන්නාගේ සිට පාර්ලිමේන්තුවේ කුණු කෙළ හලන්නා දක්වා තිබෙන්නේ එකම ආත්මාර්ථී චින්තනයකි.
අතේ පයේ ශක්තිය පාරේ තොටේ රස්තියාදු අරගලයටත් කටේදිවේ හයිය ඒ අරගලවල සාධාරණය පතාත් හිතේ හයිය මේ සියල්ල මැද ජීවත්වීම උදෙසාත් යොදන සමාජයක, දෙමාපියන් දකින එකම විකල්ප සිහිනය දරුවා කොතැන හෝ ලොක්කෙකු කරවීමයි.
ඒ අපේක්ෂා ඉටු වීම කෙබඳු වෙතත් එවන් දෘෂ්ටියෙහි පෙළ ගැසෙන බහුතර සමාජයකම ශක්තිය අපතේ යන්නේ රටක සංවර්ධනයට ඇති ජවය හීන දීන කරමින්.
දෑතේ, දෙපයේ, වචනයේ, හිතේ ශක්තිය රටක් ලෙස එක දිශාවකට දිශානුගත කරගන්නට අසමත් අපි තනි තනිව පුංචි රටේ ලොක්කන් වීමට සැරසෙමු.
නූතනයේ අප කාගේත් චින්තනය පෝෂණය කෙරෙන්නේ ඒ අයුරින්මය. ප්‍රභාකරන් ගැන කතා කරන්නවුන් ගේ මෙන්ම හිට්ලර් ගැන කතා දමන්නවුන්ගේත් චින්තනය එබඳු මැයි. දැන් දැන් රටේ සියලුම නායකත්වයන් පෙර කල අපේ බස් රථවල අල්වා තිබූ සුප්රකට ස්ටිකරයේ ප්රතිපක්ෂ භූමිකාව නිරූපණය කරන්නේය. ඒ ස්ටිකරයේ වුයේ "ලොක්කෙකු නොව නායකයෙකු වන්න" යන කියමන හා ලොක්කාගේ හා නායකයාගේ ගති ස්වභාවයේ වෙනසයි.
පුංචි රටක නිවහල් කම යනු රට වෙනුවෙන් රට වැසි සමස්ථයාගේ අවංකව කැපවීමයි. පුරවැසි නායකත්වයයි. ලොක්කෙකු නොව එබඳු නායකයෙකු වීමෙන් දිය හැකි ශක්තියයි. අපේ ශක්ති සංස්ථිතියෙන් දිනාගත හැකි අග්රඵලය එතැනයි.
එනමුත් රටක ශක්තිය සියලු මර්මස්ථාන වලින් අසීමිතව හානි වන තුරු අපට නොලැබෙන්නේ..ත් ඒ ශක්ති සංස්ථිතියමයි.
එබැවින් නොනසා ගන්න ඔබේ ශක්තිය, රටේ දරුවන්ගේ ශක්තිය විවිධ මායාවන්ට දිය වී යා නොදී. යොදවන්න ඉන් හැකි උපරිමය ඔබගේ රට වෙනුවෙන්ම, රටේ දරුවන් වෙනුවෙන්ම.

Thursday, March 16, 2017

කොඩි තුවක්කු කෙබර ලෝ.. මැද(තාධී)

තුවක්කු කටවල්
මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි

සුදු කලු කොඩි
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට

ජාතක පොත් වහන්සේ
මොන්ටිසෝරියි ලු
මැතිණිය

ගස් ගල් මල් හිතිවිලි
හරි සොදුරුයි
ඇස් පියාන

නීතිය හරි ගණන්
ගිනි පනහලු
ඒ කාලේ

ඔයා ළාමකයි
මං ප්‍රබුද්ධ
කබරයාට

තව තව
තව..

සියලු අඩබෙර රණබෙර
රබන් තාල රැප් මැද්දේ 
තාදී ගුණයෙන් යුත්තෝ 
කවදත් එක ලෙසට 
මනුදම් ගුණදම් යහදම් රැක 
අවසන සතුටින් පරලොව වඩින්නාහුය.

Saturday, March 11, 2017

බෝ පැළ සේ - ඒ කාලෙත් අපි ඉන්න ඇති, අමෘතෙ බී ඇන ගන්න ඇතී (පේමතෝ ජායතී සෝ කෝ? නොහොත් අබුද්දස්ස කවි සීපද)

අනිමිස ලෝචනයෙන් ඇයිදෝ...
නොබලන්නේ
නුඹ පිට දී නැතිවද සෙවණේ උන්නේ
බෝ පැළ වාගේ මිනිස් ගුණේ
එය රැකීම අප උරුමේ.... සුහදේ

නා පැළ බෝ පැළ සේ සෙත් පා සෙත්
පරම සුවද රැදි උරුමය නිකළෙස්
කෙලෙසද කෙළෙසුන් පරදන්නේ..
අපගේ ගුණ කද පුන්
සද සේ බබළන්නේ..

වැද වැද වැද වැද
ගෙනම සිටිනවා අප
සංස්කෘතිය අපගේ රන් කද
රැකගෙන අප හැම තාක්ෂණෙන්
මේ කප් සරණින් තිරිහන් කරදේවා..

Thursday, March 9, 2017

ෆීලීන් ඕසම්..

කථානායක නියෝගයට අනුව පාර්ලිමේන්තුවෙන් එළියට මන්ත්‍රීන් වඩම්මන පොලිස් නිළධාරීන් තරු පටි පදක්කම් අංකතහඩු ගලවන් එන්නේ ඒවා වැදීමෙන් මන්ත්‍රීන්ගේ ශුද්ධ කාය සීරීමට පවා ඉඩ තිබෙන බැවිනි.
ලංකාවේ පොදු මහජන සත්කාර සේවාවන් කෙතරම් මානුෂීය වන්නේද යනු ඒ ඇසුරින් වටහා ගත යුතු ගැඹුරු සත්‍යයයි.

-පාර්ලිමේන්තුව ඇසුරිනි.

Wednesday, March 8, 2017

ෆීලිං...ජොලියට

කියාදෙන්න 
චංගුමී
හරියටම
කටුව ගසන හැටි
නිලයට..

විනය කඩති
වෘද්ධයෝ
හිටගෙනම
තැන නොතැන
නිළ යට..

ගල් ගසමු
මල් නෙළා
ස්වර්ගයම
උගස් කර
නිරයට..

Friday, August 29, 2014

කවදා තේරුම් ගනීද මේවා...

අපි වර්ජන කරන්නේ ආණ්ඩුවට අපේ රුදාව දනවන්නටයි. හැබැයි අපේ බොහෝ වර්ජන වල විලිරුදාව විදින්නේ මහජනයායි. නමුත් අපේ උදවිය හිතන්නේ මහජනයා විදවීමෙන් ආණ්ඩුවලට රිදෙන බවකි. ආණ්ඩුවට පහර වැදෙන බවකි. එ්ත් මහජනයා බනින්නේ වර්ජන කරන උන්ටය. අවසන එකිනෙකාට රිද්දාගන්නේ උන් හා මුන්ය. එනම් දෙපිළ බෙදෙන මහජනයාමය. අර එක් ආගමික ශාස්තෲන් වහන්සේ කෙනෙකුට දුන් මරණ දඩුවම තමාගේ තීරණයක් නොවේ යැයි අත හෝදා ගත් පිලාත් ලා මෙන් අපේ මැති ඇමැති ගොල්ලත් දෙපැත්තට රිද්දාගන්නට දී අත් හෝදා කටවලුත් හෝදා ගනිති. වගකීමක් හිස දරා ඒ වෙනුවෙන් තම තනතුරින් පවා ඉල්ලා අස්වන්නට හිතන එකෙකු අපේ මැති ඇමැති අතර නැත. ඔට්ටුවලට, ගොන් කම් වලට ඉල්ලා අස්වෙන්නට මාධ්‍ය තුළ හඩ තැලීමට පමණි උන් දන්නේ. අනේ ඉතිං ඇදගන්නේ අපම තමා. ඇන්දෙන්නේ අපම තමා. වගකීමත් අපෙම තමා. ඔවුන් බබාලා, අපි විසින් නළවන තොත්ත බබාළා...

ඉතිං වර්ජනයෙන් දෙන ගර්ජනය ආණ්ඩුවට කෙසේවෙතත් මහජනයාට දැනෙනවා. පෙරළා ඔවුන්ගේ ගර්ජනයත් ආණ්ඩුවලට නොව තමන්ට සේවය නොදෙන උන් වෙත. ඉතිං අර වර්ජන වල බලපෑමෙන් රිදෙන්නේ කාටද? වඩා හොද නැතිද තමන්ගේ සේවය නිසි ලෙස කරලාම මහජනයාගේ හිතත් හිසත් දිනාගෙනම විරෝධය පාන්නට වෙනත් ක්‍රම ‍සොයා ගැනීම, කල්පනා කර බැලීම. මොකද, ආණ්ඩුවෙන් අපේම සල්ලි හොලවල සොච්චම් විජ්ජාවක් කළාම මිනිස්සු ආපහු ඒකටම යට වෙන නිසා. බොහෝ වෙලාවට නිවැරදි තීරණයක් ගන්න හයිය තියෙන්නෙ දාහෙන් කෙනෙකුට, එ්කත් නිවැරදි වෙලාවෙ වෙන්නෙ තවත් දාහෙන් ‍එක් අවස්ථාවක.

එ් නිසා ආණ්ඩු පෙරළෙන තරමට නො‍එන වර්ජන  ආපහු කරන අතටම කැරකෙනවා. ආණ්ඩු සුද්දයි. කරපු උන් හා විදින මුන් දත් නියවනවා උනුන්ටම. ඉතින් ඔය අවසානය වෙනස් කරගෙන ප්‍රතිඵලයක් දකින්න නම් වෙනස් විදිහකට හිතන්න වෙනවා. 

මහජනයා නොරිදවා, 

සේවය නොවරදවා, 

බැති පෙම් උපදවා, 

වැඩය කරගත යුතුයි සොදවා...

දූ දරුවන්ට ගහනකොට අම්මලා තාත්තලාට රිදුනට මොකද, මහජනයාට ගැහුවට අපේ ආණ්ඩුවලට රිදෙන්නෙ නෑ කියල දැනගත්තොත් ඇති. ඒ ගොල්ලො ඡන්දෙ ගන්නෙත් අපේ අය ඡන්දෙ දෙන්නෙත් වෙනමම දේවල්වලට...අර අයිස් බකට් වගේ, නැත්නම්  ගස් බැදීම වගේ.. ඒවයි සුදුසුකම්. 

ඉතිං දෙපිළ තුන්පිළට බෙදී අපිත් කරමු ඡන්ද කාලෙට දේසපාලන සෙල්ලම. අවුරුදු ක්‍රීඩාවලටත් වඩා ඒක හරිම විනෝදයි ...