Showing posts with label අදාළ යි. Show all posts
Showing posts with label අදාළ යි. Show all posts

Thursday, February 1, 2024

ඔබ මේ මොහොතේ හෝ ඔවුන්ගෙන් සමාව ගන්නවාද ? (VlA ~ ඉතා වැදගත් සත්තු)

ළමයින් හෝ පරපුරක් තබා රටේ ජඩ සමාජ ක්‍රමයක් නිර්මාණයට දිගින් දිගටම දායක වූ කිසිවෙක් ඒ ජඩ ක්‍රමය නිසා පීඩාවන්ට විනාශයන්ට ගොදුරු වූ කිසිවෙකුගෙන් අදටත් සමාව ඉල්ලූයේ නැත. අඩු තරමේ තමන්ගේ වගකීමක වගකීමක් ගත්තේ නැත. ඔවුන්ට තිබුනේ ගැලවීමට හේතු පමණය. වචනයකටත් වටිනා කමක් ඇති සමාජ සංස්කෘතියක් අපට තිබුණා නම් අප අද ජීවත් වන්නේ කිසිදා බංකොලොත්භාවයක් සිහිනයකින් හෝ නොදකින තැනකය (ඊයේ පෙරේදා පදවිය හැර ගිය ජනපතිකෙනෙක් යන්නට ආසන්න කාලක සමාව ඉල්ලුවා මතකය). වැඩිදෙනෙක් යළි යළි පෙරළා පෙරළා ඉල්ලූ යේ ඡන්දයයි. රට බංකොලොත් වුවද ඔවුන් යළි යළි ඉල්ලන්නේ ඡන්දයයි. භෞතිකවද චින්තනමය වශයෙන්ද අසරණ කරනු ලබන මිනිසුන්ගෙන් හා බත්බැල කොටසකින් ලබාගන්නා ඡන්දය ගැන පාරම් බාන්නට තරම් ඔවුන්ගේ ලජ්ජාවද විලි වැසීමකට වැඩියෙන් නැත.

අලුත් රටක් හදමු කියා නිවැරදි හා සත්‍යවාදී දැක්මකින් කිසිදා අලුත් නොවන ඒ කිසිවෙක් උදෙසා, යුක්ති සහගත රාජකාරියක් රටේ ක්‍රියාත්මක වනු කිසිදා අපට දකින්නට තිබුනේ නැත, ලැබුනේ නැත. බලයේ මානය පෙන්නුවා පමණ ය.

හැම විට සොක්කන් තලා පෙළා කොක්සන් ලා ලොක්කන්ට නළා පිඹිමින් පෙරහර පැවැත්වීම ලොකුකමක් හා බලවත් කමක් වී ඇත. එකල අධිරාජ්‍යවාදීන් තමන්ට ගැති කම් කරන වුන්ට පඬුරු පාක්කුඩම් ලබාදී සමාජයේ වැජඹෙන්නට අවස්ථා ලබා දුන් ස්වරූපයේ අද වෙනස අධිරාජ්‍යයෙන් ගලවා දැමූ රාජ්‍යක් වී තිබීම පමණය. තමන්ගේ රටේ මහජනයාට දබරඟිලි දිගු කරන විධායකයන් මිස පාලක පැළැන්තිය තුළ හිඳිනා මජර ජඩයින් වෙත ඒ ඇඟිලි දිගු කරන පණැති අය අප දැක නැත. ඔවුන් වෙන රැකවරණයේ දෑත් දිගවනු අප දැක ඇත.  බෙල්ලෙන් අල්ලා හෝ අවම බලයක් යොදා හෝ පාලක පක්ෂයක ජඩ දේශපාලකයෙකු පොලිස් රියක ඔබාගෙන යනු අප දැක නැත. අප දැක ඇත්තේම වෙනත් මිනිසුන් එසේ ඔබාගෙන යන වීර පොලිස් නිළදරුවන් ය. උස් තැන් දක හැකිලෙන මිටි තැන් වෙත පූප්පන මහජන සේවකයින්ය. තමන්ගේ ගජ මිතුරන් විසින් කොල්ලකා හිස් කළ භාණ්ඩාගාර පිරවීමට ජනතාවගේ බොටුව මිරිකා හූරාකන ෂෙරීෆ්ලා ව දකින මුත් ජනතාවගේ පැත්තේ හිට ගත් පාලක පක්ෂයක රොබින් හුඩ්ලා අප දැක නැත. රට සංවර්ධනය කරන සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහෙම ෂෙරීෆ්ලාය. සුරංගනා කතා තුළ වත් කූට ජඩ පාලකයන්ට පැවැත්මක් නැත. එහෙත් සැබෑ ලෝකයේ ජඩ පාලකයන් ප්‍රශ්නයක් වන්නේම සාමාන්‍ය ජනයාට සුරලෝ කතා නිර්මාණය කරන්නේ ඔවුන්ම වීම නිසාය. සුරඟන කතා වල සතුන්ට පමණක් නොව පිනෝකියෝලාට පවා නිවැරදි වීමට හැකියාවක් ඇත. නමුත් රටේ ලෝකයේ මිනිස්සු සමාව ගත්තත් සත්තු සමාව ගන්නේ නැති බව මෙහි අප තේරුම් ගත යුතුය. එවන් සතුන් කීප දෙනෙකුට සමාජයක් ගොදුරු වීමේ ඛේදවාචකයට හොඳම උදාහරණයද අපම මිස කවුරුන් ද!

Tuesday, January 30, 2024

දුප්පත් කළ රටක තිරසර කළ උරුම ! ?

උත්ඝෝෂණ

වැඩ වර්ජන

ජල ප්‍රහාර

කඳුළු ගෑස්

බැටන් පොලු

අල්ලන සෙල්ලං

අකල් විකල් මරණ

ඇරෙන වැහෙන සැලුන් දොර

අමන සමන නොනිමෙන ණය වර

අවිශ්වාසය බිය සැක සංකා මත සංක්‍රමණ


(76 ත් කට උඩ - තාමත් දුවන්නේ ඇයි කොට උඩ ? !

වරදකරු ට වඩා වරද හඳුනා ගත්තා නම් නරකද)

Sunday, January 28, 2024

ටියුෂන් සහ රිවිෂන් නම් ~ අයි එම් එෆ් ම තමයි ! (පාසල් මොටද !)

නිදහස් අධ්‍යාපනය යටතේ පාසලේ ප්‍රාථමිකයෙන් පසු උසස් අධ්‍යාපනය දක්වා අප වැඩිපුරම ලියුවේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරුය. සා පෙළ, උසස් පෙළ සඳහා ටියුෂන් පමණක් නොව ප්‍රශ්න පත්‍ර සඳහාම රිවිෂන් පන්තිද නොගිය අයෙක් නැති තරමට අපි ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් පිළිතුරු දීමට සූදානම් වූ ජාතියක් ව ඉන්නෙමු. (නිදහස් කීවාට පාසල - ටියුෂනුත් සමඟින් ප්‍රශ්න උත්තර කලාවට යන වියදම රටේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ගෙන් විමසා දත යුතුය) ජනගහනය හේතු නොවන්නට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීම අතින් ලොව පළමු තැන හිඳින්නේද අප වන්නට පුළුවන. 
බහුවරණ වල ඇත්තේ ප්‍රශ්නයකට අදාළ ව දී ඇති ප්‍රතිචාර කීපයෙන් නිවැරදි පිළිතුර තෝරා දීමටයි, ව්‍යූහගත වලදී දී ඇති දත්ත රූප සටහන් හෝ අදාළ ආකෘති මත අදාළ පිළිතුරු සම්පාදනය කළ යුතුයි, රචනා වලදී දීර්ඝව පිළිතුරු රචනා කිරීමට සිදු වේ යයි කියා අමුතුවෙන් මෙහි ලියා වරද්දා ගැනීමට අවශ්‍ය නොවන තරමට නිදහස් අධ්‍යාපනය තුළ අධ්‍යපනික සාක්ෂරතාවයෙන් පිරුණු පරපුරක් අපට හිඳී.
එපමණක් නොව ප්‍රශ්න පත්‍ර වලට ලියූ එපමණක් පිළිතුරු පත්‍ර පරීක්ෂා කළ විශිෂ්ඨ ගුරු පිරිසක්ද අපට සිටිති. කලක ඔවුන් ද අපමණ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයකට පිළිතුරු සැපයූ සිසුන්ම වූ අයයි. 
මේ ලෙසින් අවුරුදු දොළහක් දහතුනක් ලබන පාසල් අධ්‍යාපනය, ඉන් ඔබ්බේ අධ්‍යාපන මට්ටමකට ලඟා නොවූවද අපට ලබා දෙන ප්‍රශ්න පිළිතුරු අභ්‍යාසය කිසිසේත් කුඩා නොවේ. එවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ එතැන් සිට විවිධ මට්ටම් දක්වා පැමිණියෝ ප්‍රශ්න පිළිතුරු විභාගයේ කෙළ පැමිණි පිරිසක් විය යුතුමයි.
මේතාක් එදා මෙදා ලංකාවේ නිදහස් අධ්‍යාපන කාර්යය සඳහා රාජ්‍යයක් ලෙස අප රට දරා ඇති වියදම් කෙබඳු වන්නට ඇත්ද?
ඉන් විශාල කොටසක් ප්‍රශ්න උත්තර මත අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්නට සමත් කළ යුතු විභාග උදෙසා ද වන්නට ඇත.
එසේ බැලූ විට අද රටේ අති මහත් බහුතරයක් උගතුන් නොවන්නට හේතුවක් නැත. අඩු තරමේ උසස් පෙළ දක්වා හෝ අධ්‍යාපනයක් බහුතරයකට ඇත.
මෙපමණ ප්‍රශ්න හා පිළිතුරු පරිහරණය කෙරුණා වූ අධ්‍යාපනයකින් පෝෂණය වූ ජනතාවක් සිටින රටක් බංකොලොත් භාවයකට පත් වූයේ කෙසේද?
රටක් වශයෙන් අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගැනීමට අපි අසමත් වූවාද? 
රාජ්‍ය හා මහජනයා බෙදලාද?
රාජ්‍ය හා අපි අතර සිටින අප නියෝජිතයින් රටේ භාණ්ඩාගාරය ගසා කෑවාද ?
ඉතිං අපි හිටියේ හිටියේ නිදා ගෙනද ?
නිදා හිටි වේලාවක රට වැටුනාද ?
ඒ කවදා සිටද ?
නිදහස් දවසේ ඉඳලාම ද?
ඊට කලින් ද?
ඈත මෑත කවදද ?
එහෙම උත්තරයක් ඇද්ද ? නැද්ද ?
කිසිවෙකුත් අදටත් කොපි කර හෝ නොකර නිවැරදිව පිළිතුරු දී ලකුණු ලබා ගැනීමට නොහැකි නිසාම මඟ හැර යන රචනා ප්‍රශ්නය එයම නොවේද ?
ඒ ඇයි?
එසේ නොහැකි නම් රාජ්‍ය විසින් මෙන්ම පුද්ගලිකවද වියහියදම් දරා ජීවිත කාලයෙන් තුනෙන් එකකටත් වඩා වැය කර අප ලබන අධ්‍යාපනයේ ඵලය කිම ! විවිධ විෂයන් පිළිබඳ විශේෂඥයින්ගේ අධ්‍යාපන දැනුමේ ඵලය කිම !
අප රටට ණය වීමත් රට ලෝකයට ණය වීමත් දේශපාලන විඳවීමත් හේතු ඵල විමසීමත් සාධනය කර ගත නොහැකි සඳ ~ බැරිකමට පිළියම ~ රට හැටියටම ටියුෂන් සහ රිවිෂන් නම් ~  තව දුරටත් ප්‍රශ්න වලට උත්තර ලියන අපේ නිදහස්  අධ්‍යාපනයෙන් තබා මිලදී ගත්ත ද මෙහෙම අධ්‍යාපනයකින් රටට ඇති වැඩක් නැත.

Friday, January 26, 2024

බල උමතුවේ ගොදුරු ~ මන්ත්‍රී සෙයියාව

ජඩ වැඩ කොට උනත් නෝන්ඩි 

අපි හැමෝම මාර චණ්ඩි

රහට කටේ ගොට්ටෙ මණ්ඩි 

බලය අපේ අපියි චණ්ඩි


බණත් අපේ අණත් අපේ

රටත් අපේ තොපත් අපේ

හපේ කරත් කුමක් තොපේ

බලය මොකේ තුනෙන් අපේ


අපි හොඳ නෑ ඔව් හොඳ නෑ

නමුත් තොපට ඉඩදෙන් නෑ

අපිම තමයි මෙහි ඉන්නේ

තොපට තමයි වැඩ දෙන්නේ


හොඳ විදිහට නෑ බලයක්

නෑ අපි ළඟ හුරතලයක්

බ්ලේඩ් වගේ අපි තලයක්

ඔව් මං පොර වෙඩි බලයක්


(පළමුව අපේ නියෝජිතයින්ව පසුව බල උමතුවට ගොදුරු වී තමනුත් වැනසී රටත් වනසන රෝගී සත සුවපත් වේවා, නැණ මල් පිබිදේවා!)

Monday, January 22, 2024

හැට පන්දාස් ගණනයි කෝටි දෙකයි ~ රාජ්‍යයේ ලාංඡන සියල්ල අති ධාර්මිකයි

තුට්ටු දෙකේ චණ්ඩි /මැරයෝ හැදූ වැඩූ ධර්මද්වීපයේ මජරයෝ නොසෑහෙන කලක පටන් (අදටත්) දිවි හිමියෙන් රට බේරා ගනිද්දී පොලිසිය අසීමිතව යුක්තිය ඉටු කරයි. උපන්දා සිට මේ නාටක අඩු වැඩිය දැකීමට කොරෝනා ගොරෝනා අනෝරා හමුවේ අපි තවම පණපිටින් ඉතා වාසනාවන්තයි ...! භීෂණ යුද්ධ අරගල අති ආශ්වාදනීයයි. උගත් පාඩම් අති උන්මාදනීයයි. මීළඟ පරපුරේ උරුමය යන ලෙසට මග දිගට දිව්‍යමය වීම ඒකාන්තයි. ඒ උදෙසා එන අණ පනත් රමණීයයි, ප්‍රේමණීයයි ...!

ජීවිත මිල පහළට! (පෙට්ටි මිල ඉහළට)

මේ මොහොතේ මහජනයාට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් බලා ගැනීමට ඉඩ සැළැස්වීම තුළ රටේ ආණ්ඩුවට මහජන ආරක්ෂාව උදෙසා දරණ වියදම් කප්පාදු කළ හැකිය.

ඒ මුදල් සොහොන් බිම් සංවර්ධනය සඳහා යෙදවීම තුළ පෙට්ටි ව්‍යාපාරය සඳහා ආයෝජන අවස්ථා පුළුල් කරමින් නව රැකියා උත්පාදනයට මංපෙත් විවර කළ හැකිය.

එවිට ජීවිතය පෙට්ටියේ ප්‍රමාණයට ප්‍රතිව්‍යුහගතකරණය පහසු වනු ඇති අතර පෙට්ටිය සුවපහසු වීමත් මිල ගණන් සාධරණ වීමත් ඉදිරියේ දී සිදුවනු ඇත.

Monday, January 15, 2024

රටේ ජාතික ප්‍රශ්නය ~ (ඒ දිග මදි ශිෂ්ණය)

ජාත්‍යන්තරයට ගිය ගායිකාවක ලෙස මේ දිනවල කතාබහට ලක්වන යොහානි ගේ ගීතයේ අදාළ කොටස තුළින් සරලවම මට නම් පෙනෙන්නේ අපේ රටම ජාතියම සාතිශයව සෝපාහාසයට ලක් කිරීමකි. එය හුදෙක් පුරුෂාධිපත්‍යකට එල්ල වුවක් ලෙසින් ලඝු කිරීම එම නිර්මාණය අවතක්සේරු කිරීමකි. කලා නිර්මාණයකින් ජනතාව ඥානනය කරනවා යනු පුළුල් අරුතකට ප්‍රවේශයයි. බොහෝ අය හුදු ලිංගිකත්වය බද්ධ කොට දක්වන්නට හදන 'රම්‍ය නැතිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය' යන්න මට නම් පෙනෙන්නේ ජාතික නායකයන් වෙත ගැසූ අතුල් පහරක් මෙන්ය. මෙතරම් රම්‍ය වූ සුවිශේෂී ලක්ෂණයන්ගෙන් හෙබියාවූ රටක් ගොඩනැගීමට හැකියාවක් නොමැති ජාතික නායකයින්ගේ ජාතිකත්වය උදෙසා ජාතකත්වයට අදාළව ශිෂ්ණය ප්‍රාණවත් හෝ ප්‍රමාණවත් නොවීම ~ සැබවින්ම සත්‍ය කරුණ නොවේ ද? රට ජාතිය උදෙසා බලය භාවිතයේදී සීග්‍ර විසර්ජනය ත් අනතුරුව ජාත්‍යන්තරය හමුවේ ශ්වේත රෙද්දේ අමන රුධිර පරීක්ෂණ වලට නොවෙද අපි අදටත් මුහුණ දෙමින් හිඳින්නේ.

පපුව ඇතුළේ චේ ගුවේරා ඕෂෝ දලෙයි ලාමා සැරිසරන අමු ගතියට මේ මොහොතේ රටේ තත්වය ගැන කිව හැකි වෙනත් වැදගත් වචන තිබේද?

ඒ අනුව වැඩිහිටි පරපුර විසින් සංගීතය තනුව නොයොදා කියන පද රචනය ඇය විසින් සංගීතයක් තනුවත් අතරේ මෙලෙස දිගහැරීම සුවිශිෂ්ඨ ජාතික කාර්යයක් ම වන්නේය. 

මේ අනුව රටක් ජාතියක් වශයෙන් අනුන්ගෙන් ණයට කෑම යනු කවර අර්ථයක් දෙන්නේ ද යන්නත් එතුළ අප රට ගොදුරු වන ඛේදවාචකය කවරේ ද යන්නත් තවත් ගීයක් අස්සේ ලිංගාශ්‍රිත රෝගයක් ලෙසින් වුව පැමිණිය හැකිය. විශේෂයෙන් කුඩා දරුවන් ඒවා කියන විට තේරුම් කරදීමට වැඩිහිටියන් දැන් තියා සූදානමින් සිටීම බොහෝ සුදුසු ය.

Thursday, January 11, 2024

ඉතිං ! නතිං ! තිංකින් ! සිස්ටම් ! (අද ෂේප් ණය රට, හෙට ගහපන් පත හෙන)

රනිල්ගෙන් ෂේප් වෙමු. ඊට පස්සේ, ෂේප් වෙන්ට රනිල්ට දෙමු. ඊට පස්සේ, ෂේප් කරන කෙනෙකුට දෙමු. ඊට පස්සේ, කාට හරි දීල ෂේප් වෙමු. ඊට පස්සේ, අදාළ නෑ කොහොමත් ෂේප්.. අපි වයසයි ...

මජර ~ අමර

රට බංකොලොත් වී ජනතාව හොම්බෙන් යන අතර රට බේරාගත් හා ඉදිරියේදී යළි බේරා ගැනීමට බලාපොරොත්තු වන දැයට උපන් වීරයෝ රිලැක්ෂේෂන් උදෙසා බෝල ගැසූහ. පාටි දැමූහ. මහ ජනතාව බෝල ඇහිලූහ. ඉඳුල් කෑහ. මහා දේශපාලනයේ ගොඩ රිලැක්ෂේෂන් මදි ජාතික මනස් ජල රිලැක්ෂේෂන් පැතූහ. එතැන්හී ජනතාව මඩකෙළියට වන්හ.

ප්‍රසන්නව බුරති බල්ලෝ
පාටි දැම්මෙ නෑ කොල්ලෝ
සංවර්ධනේ රෝල් කරගෙන
නැවේ හිටියේ බල්ලෝ

මයිනෙකුත් එහි හිටියා
බූරුවත් අපි දුටුවා
පෙනුණු හැටියට සංවර්ධනේ
සත්තු සේරම හිටියා

කා බී ප්‍රීතියෙන්
සංවර්ධනේ සාදයෙන්
ලෝකල් දනා රෝහලෙන්
මල් ශාලව ඉදිරියෙන්

Sunday, January 7, 2024

හිස්~ටින් එකක් වාගේ අපේ ...?

වර්ගකිලෝමීටර හැට පන්දාස් ගණනක් සාරවත් ඉඩමක් 

නිදහස් වී දශක ගණනක් 

බෙදා ගන්නට හටනක්

රකින්නට දශක ගණනක් 

දහස් ගණනක ජීවිත පූජාවක් / ඩැහැ ගැනීමක්

ගොඩ නැගීමට / ගොඩ ගැනීමට තවම තටමන තරමක් 

හිසේ කෙස් හිඳෙන තුරු

රටේ ගිණුම් හිඳෙන තුරු

තම ගිණුම් තරවෙන තුරු

ඇතැමුන් තිරිහන් වෙනතුරු

රටේ මහ බඩවැල පාත්වන තුරු

සංවර්ධන අර්ශස් හැදෙන තුරු

සංවර්ධනයට අර්ශස් හැදෙන තුරු

පරම්පරා මියැදෙන තුරු

ජාතික උවමනාවන් පසෙක ලා

දේශපාලන අශූචි වෙනුවෙන්

කරනා අසීමිත ම තැටමීමක්

පළමුවත් දෙවනුවත් තෙවනුවත්

සදාකාලික දේශපාලන රැවටීමක්