නිදහස් අධ්‍යාපනය යටතේ පාසලේ ප්‍රාථමිකයෙන් පසු උසස් අධ්‍යාපනය දක්වා අප වැඩිපුරම ලියුවේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරුය. සා පෙළ, උසස් පෙළ සඳහා ටියුෂන් පමණක් නොව ප්‍රශ්න පත්‍ර සඳහාම රිවිෂන් පන්තිද නොගිය අයෙක් නැති තරමට අපි ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් පිළිතුරු දීමට සූදානම් වූ ජාතියක් ව ඉන්නෙමු. (නිදහස් කීවාට පාසල - ටියුෂනුත් සමඟින් ප්‍රශ්න උත්තර කලාවට යන වියදම රටේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ගෙන් විමසා දත යුතුය) ජනගහනය හේතු නොවන්නට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීම අතින් ලොව පළමු තැන හිඳින්නේද අප වන්නට පුළුවන.
බහුවරණ වල ඇත්තේ ප්‍රශ්නයකට අදාළ ව දී ඇති ප්‍රතිචාර කීපයෙන් නිවැරදි පිළිතුර තෝරා දීමටයි, ව්‍යූහගත වලදී දී ඇති දත්ත රූප සටහන් හෝ අදාළ ආකෘති මත අදාළ පිළිතුරු සම්පාදනය කළ යුතුයි, රචනා වලදී දීර්ඝව පිළිතුරු රචනා කිරීමට සිදු වේ යයි කියා අමුතුවෙන් මෙහි ලියා වරද්දා ගැනීමට අවශ්‍ය නොවන තරමට නිදහස් අධ්‍යාපනය තුළ අධ්‍යපනික සාක්ෂරතාවයෙන් පිරුණු පරපුරක් අපට හිඳී.
එපමණක් නොව ප්‍රශ්න පත්‍ර වලට ලියූ එපමණක් පිළිතුරු පත්‍ර පරීක්ෂා කළ විශිෂ්ඨ ගුරු පිරිසක්ද අපට සිටිති. කලක ඔවුන් ද අපමණ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයකට පිළිතුරු සැපයූ සිසුන්ම වූ අයයි.
මේ ලෙසින් අවුරුදු දොළහක් දහතුනක් ලබන පාසල් අධ්‍යාපනය, ඉන් ඔබ්බේ අධ්‍යාපන මට්ටමකට ලඟා නොවූවද අපට ලබා දෙන ප්‍රශ්න පිළිතුරු අභ්‍යාසය කිසිසේත් කුඩා නොවේ. එවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ එතැන් සිට විවිධ මට්ටම් දක්වා පැමිණියෝ ප්‍රශ්න පිළිතුරු විභාගයේ කෙළ පැමිණි පිරිසක් විය යුතුමයි.
මේතාක් එදා මෙදා ලංකාවේ නිදහස් අධ්‍යාපන කාර්යය සඳහා රාජ්‍යයක් ලෙස අප රට දරා ඇති වියදම් කෙබඳු වන්නට ඇත්ද?
ඉන් විශාල කොටසක් ප්‍රශ්න උත්තර මත අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්නට සමත් කළ යුතු විභාග උදෙසා ද වන්නට ඇත.
එසේ බැලූ විට අද රටේ අති මහත් බහුතරයක් උගතුන් නොවන්නට හේතුවක් නැත. අඩු තරමේ උසස් පෙළ දක්වා හෝ අධ්‍යාපනයක් බහුතරයකට ඇත.
මෙපමණ ප්‍රශ්න හා පිළිතුරු පරිහරණය කෙරුණා වූ අධ්‍යාපනයකින් පෝෂණය වූ ජනතාවක් සිටින රටක් බංකොලොත් භාවයකට පත් වූයේ කෙසේද?
රටක් වශයෙන් අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගැනීමට අපි අසමත් වූවාද?
රාජ්‍ය හා මහජනයා බෙදලාද?
රාජ්‍ය හා අපි අතර සිටින අප නියෝජිතයින් රටේ භාණ්ඩාගාරය ගසා කෑවාද ?
ඉතිං අපි හිටියේ හිටියේ නිදා ගෙනද ?
නිදා හිටි වේලාවක රට වැටුනාද ?
ඒ කවදා සිටද ?
නිදහස් දවසේ ඉඳලාම ද?
ඊට කලින් ද?
ඈත මෑත කවදද ?
එහෙම උත්තරයක් ඇද්ද ? නැද්ද ?
කිසිවෙකුත් අදටත් කොපි කර හෝ නොකර නිවැරදිව පිළිතුරු දී ලකුණු ලබා ගැනීමට නොහැකි නිසාම මඟ හැර යන රචනා ප්‍රශ්නය එයම නොවේද ?
ඒ ඇයි?
එසේ නොහැකි නම් රාජ්‍ය විසින් මෙන්ම පුද්ගලිකවද වියහියදම් දරා ජීවිත කාලයෙන් තුනෙන් එකකටත් වඩා වැය කර අප ලබන අධ්‍යාපනයේ ඵලය කිම ! විවිධ විෂයන් පිළිබඳ විශේෂඥයින්ගේ අධ්‍යාපන දැනුමේ ඵලය කිම !
අප රටට ණය වීමත් රට ලෝකයට ණය වීමත් දේශපාලන විඳවීමත් හේතු ඵල විමසීමත් සාධනය කර ගත නොහැකි සඳ ~ බැරිකමට පිළියම ~ රට හැටියටම ටියුෂන් සහ රිවිෂන් නම් ~ තව දුරටත් ප්‍රශ්න වලට උත්තර ලියන අපේ නිදහස් අධ්‍යාපනයෙන් තබා මිලදී ගත්ත ද මෙහෙම අධ්‍යාපනයකින් රටට ඇති වැඩක් නැත.
No comments:
Post a Comment