Thursday, September 15, 2016

දුෂ්ට නලුවා වෙම්

පට්ට පදිරි වූ ලෝකෙක
ඇට්ට කුණා වෙන උදවිය හට
සිනාසෙමි විදා දත් තිස්දෙක
රොමැන්තිකමය යකෙක් සේ

පියවරුය ජාතියට ආගමට 
ලබ්බටත් පුහුලටත් ගියතැන 
දිනේවා නග්නව ඒ දෙක 
කැකිරිගෙඩියත් තව

දීපන් අරකත් මේකත් නොමිලයේ
නිදහසත් අදහසත් ප්‍රජාතන්ත්‍රවාදේ
වයිපයි හා අත්‍යවශ්‍ය භාණ්ඩ බෝ
නේක දනා වෙති ප්‍රීති බොහෝ

මත කෙළවරක් තදින් අල්ලා
ඇද ඇද දෙපස රටම හොල්ලා
හිටින තාලෙට ලණුව අල්ලා
අදිනවද කඹ තවත් හොල්ලා

පුහු මානයන් මත හෙලා
බලය හා අරගල කතා
නොවෙන්නට තව මංමුළා
වෙමි දුදනන්ට දුෂ්ටයා

Saturday, September 3, 2016

වැඩිහිටිය කන්දක් වෙයන්- (තිරිහන් වෘද්ධයනට)

කළ යුතුදේ ම කරන්
හළ යුතු දේ ම හළන්
මරණයට බිය ම නොවෙන්
වැඩිහිටිය
කන්දක් වෙයන්

බොරුව ම පාගා ලන්
ඇත්ත ම ඔසවා ලන්
දෙපයින් ම සිට ගන්
වැඩිහිටිය
කන්දක් වෙයන්

කාලය ම යයි පියඹමින්
සසල සිතමය රැවටෙමින්
ගැඹුරු සැනසුම ගිලිහෙමින්
වැඩිහිටිය
කන්දක් වෙයන්

දරුවනට උස් ලෙස පෙනෙන්
ඉහළ හිද පහළද බලන්
දුරක් ගැඹුරක් සකසමින්
වැඩිහිටිය
කන්දක් වෙයන්