Showing posts with label කළ යුතුය - කළ හැකිය. Show all posts
Showing posts with label කළ යුතුය - කළ හැකිය. Show all posts

Sunday, July 20, 2014

පුරුද්ද, ඇබ්බැහිය සමග ඉදිරිය

බස්රථයේ කොන්දොස්තර ගමන් ගාස්තුවක ඉතිරි රුපියල දෙක තමා සන්තකයට ගැනීම හරි අපූරු පුරුද්දකි. හේතුව මාරු නොමැති කමය. ඒ පුරුද්ද වර්ධනය වූවාට පසු මාරු සල්ලි තිබුණද මගියාගේ පරීක්ෂාවක් නොමැති නම් කොන්දොස්තරගේ අර පුරුද්ද ඇබ්බැහියකටම යන්නේය. සමහර තැන ඉතිරි රුපියල දෙක නොව සම්පූර්ණම ඉතිරිය වුව නොදී යා හැකි තරමට ඇබ්බැහිකම බලවත් වන්නේය. බස්රථයේ පමණක් නොව මෙහේ බොහෝ තැන් වල අගතියට යන පුරුදු අපමණකට වැඩෙන්නට අපමණ නිදහස ඇත්තේය. 

අපටද පුරුදු තිබුණි. හොද හා නරක වශයෙන් මේ පුරුදු වැඩිදියුණු කිරීමට සමාජයෙන් අසීමිත පිටුබලයක් සැපයුණි. ඛේදය හොදට මෙන්ම නරකටත් වැඩෙන්නට අපූරු නිදහසක් අපට ලැබී තිබීමය. නරකයට වඩා වැඩි නිදහසක් ලැබී තිබීමය.‍ තනිවම නන්නත්තාරවෙමින් හෝ හදාගත් හයියෙන් අයහපතේ දොරට තට්ටු දමන්නට යෙදුනත් ඉන් ඇතුළු නොවී එන්නට අපට ශක්තියක් තිබුණි. කල්පනාවක් තිබුණි. එ් රැලි අස්සේ පීනූ ලොකු රස්තියාදුවක් ශුද්ධ කරමින් ලබා ගත් පන්නරයකිනි. නමුත් බොහෝ දෙනාට සිදු වූයේ මෙහි අනෙක් පැත්තය. අයහපතට ලැජ්ජාවෙන් හෝ බියෙන් හැංගී සිටි මිනිස්සු ඒ දෙක නැසුනු තැන කරළියට විත් අලුත්ම පෙරළි නොහොත් සමාජයකටම වල කපන්නවුන් බවට පත්වීමය. වැරද්ද ඔවුන්ගේ පමණක් නොවේ. දුටු තැන වැරැද්ද ලොප් කළ හැකි යුරු පෙන්වා දෙන්නාක් මෙන්ම හොද වීමට ‍දිරිදෙන ප්‍රායෝගික සමාජ සංසිද්දීන්ගෙන් බැහැර වන අපේ වටපිටාවයි. නරකයෙන් බැහැර වීමට හදුන්වාදෙන හොද විකල්පයන්ගේ හිග කමයි.

සමාජයකට හොද පුරුදු අවැසිය. ඒ හොද පුරුදු තුළ නිර්මාණය වන ජනයාගෙන් සමාජයට යහපතක්ම වන්නේය. වැරදි පුරුදු වලින් මිදීම  සමාජයකට අවැසිය. එතුළින් වඩා යහපත් දිශාවක් වෙත ජනසමාජයට ගමන් කළ හැකිය. නමුත් හොද ගැන කියමින් නරක පූර්වාදර්ශ සැපයීම අපේ සමාජයේ කාලීන ස්වභාවයයි. කටින් කෙසේ කීවත් ක්‍රියාවෙන් යමක් පෙන්වන්නට අසමත් කොට එතැන ඇත්තේ අඩුවකි. ඉන් ඔබ්බට ගොස් කටින් හොද යමක් කියා ක්‍රියාවෙන් නරක යමක් කරයි නම්... එතැන ඇත්තේ නරක පූර්වාදර්ශයකි. මෙවැනි දෙනෝදාහක් අාටක නාටක මැද්දේ හැදෙන පරපුරට අපි යහපත ගැන දෙසන්නෙමු.

සමහරුන්ට අනුව හොද  නරක පිළිබද කතිකාව යනු සරල තත්වයන් ඉක්මවා ගිය පුද්ගලානුබද්ධ ස්වභාවයක් ඇති ගැඹුරු සංකීර්ණ  මාතෘකාය. මා කතා කරන්නේ එවැනි ගැඹුරු තත්වයකට මෙපිටින්ය. ලොකු සංකීර්ණතා තුළ හිරවෙන අ‍යගෙන් මගහැරෙන ඇස් කණ්නාඩිය හි‍සේ රදවාගෙන එය සොයමින් ගේ පුරා දිවීමේ කතාවක් ගැනය. 

හැගීම් දැනීම් හා බුද්ධිය පිනවීම ගැන බොහෝ ලෙස කතා කරන අප සමාජයේ ඒවායේ ගැඹුරක්, පිළිවෙලක් මෙන්ම දිශානතියක් පිළිබද කතාකරනවා බොහෝ දුලබය. ඇතොත් එක් ධාරාවක්ම පමණය. ඉන් ඔබ්බට සමාජයක ඉදිරි ගමන හා මේ හැගීමේ දැනීමේ මෙන්ම බුද්ධියේ අැති බද්ධතාව තඹකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නවා ලෙසින් පෙන්වන වැඩි අවස්ථා ගණනක ඇත්තේ බොරුව හා මුළාවය. දැන් බොහෝ තැන කලාවක් වී ඇත්තේ ඒ මුළාවය. 

වෙලාවකට වැඩ කිරීම, කලාවකට වැඩ කිරීම, විශ්වාසවන්ත බව, ගනුදෙනුවලට අවංක වීම, කෙළෙහි ගුණය , ඇහුම්කන් දීම, පොදු කටයුතු වලදී බොරු නොකිරීම  ආදිය සරල තැනක ඇති සමාජයකට ශක්තියක් සපයන කාරණාය. නමුත් ඉන් විරුද්ධාභාසය ඇති පුරුදු හා ඇබ්බැහි ගණනාවක් අපේ සාමාන්‍ය භාවිතාවේ එයි. එනම් වෙලාවට වැඩ නොකිරීම, කිසි පිළිවෙලක් නැතිකම, විශ්වාසවන්ත වචනයක් නොමැතිව බොරු කීම, ගනුදෙනුවලදී වංචාව, කෙළෙහිගුණයක් නැති කපටිකම, ඇහුම්කන්‍ නොදීමේ උද්දච්ඡභාවය, පොදු කටයුතුවලදී බොරුකිරීම නොහොත් අයිස් ගැහීම අාදී දේයි. පිටත පෙනුමට නම් අපි හැම දෙනාම බොහෝ සද්ගුණවත්ය. නමුත් භාවිතාව බලාගැනීමට නම් තරමක් විමසිලිමත් විය යුතුය. එවිට මේ මගඩි හා ජඩ ගති එලියට පනින්නේය. හැම දෙනාම මෙසේ නැත. නමුත් සමාජයේ කරළියේ නිතර රගන බොහෝ දෙනාගෙන් සමාජය වෙත ගලන්නේ දුගද පුරුදු වල ඕජාවේ අවාදර්ශයයි. එය බාල පරපුරට කරනා බලවත් හානියකි. ඒ නිසා සුගන්ධවත් සමාජයක් ගැන කතාව‍ නිකන් අපි අපිම වරද්දාගෙන, රවට්ටාගෙන රගපාන නාටකයක් ගානට යන්නේය. හෑල්ලුවට ඇද වැටෙන්නේය.

පළමුව තමන්ගේ සද්භාවය උදෙසා කැපවීම පෙන්වන පුරුද්දක් ආවොත් ඒ පුරුද්ද ඇබ්බැහියක් වූවොත් සමාජයක් ගොඩ නැගෙන්නට පටන් ගනීවී යහපත්ව, නැතිනම් බොරුවම තමා. ඉතිරි වන්නේ ලෙඩට පෙති ගැනීමේ සංස්කෘතියක් පමණයි. දැන් අපි අත් පොත් තබා සිටින්නේත් ලෙඩ රෝග වළක්වම සංස්කෘතියකට වඩා ලෙඩට පෙත්ත සංස්කෘතියට නොවේද! ඉන් මිදෙන්නට අප පටන් ගත යුත්තේ කළ වැරදි වුණු වැරදි සාධාරණීකරනයෙන්ම නොව එ්වා නිවැරදි කරගන්නට අවංකව වෙහෙසෙන තැනකිනි. මේ නිවැරදි අවංකභාවය හදුනා ගැනීමට නොහැකි වීමෙනුත් සමාජයක්ම පීඩාවේ හිදින්නේය. ඇතුළත් ගැට පිටත් ගැට , ගැට පිට ගැට වැටෙන සමයක හැබෑවට හොද දේ පුරුදු වීමත් ඒ පුරුදු ඇබ්බැහියකට ගැනීමත් දැලි පිහියෙන් කිරිකෑමකට සමව ඇත. නමුත් සුලබ ලාබ සංස්කෘතියේ ගැඹුරට අක් මුල් නොඅදින පොෂ් පුරුදු වලින් පොෂ් වීමනම් එතරම් අපහසු නැත. නමුත් සමාජයකට ඉන් පොෂ් බවක් මිස ශක්තියක් ලැබෙන්නේ නම් නැත. ඒ නිසා අප හදා ගත යුත්තේ හැබෑ ශක්තිමත් සමාජයක්ද, මතුපිටට පිම්බුනු සෝබමාන සමාජයක්ද යන්න හැම‍දෙන සිතිය යුතුය. එය ඔබේ මෙන්ම මගේද වගකීමකි. යුතුකමකි. 

එබැවින් පුරුදු විය යුතු දේත් ඇබ්බැහි විය යුතු දේත් පිළිබද අප නැවත නැවතත් සිතා බැලිය යුතුය. ඒ උත්සාහයේදී වැරදි දිශාවට හැරී සිටින්නන් නිවැරදි තැනට දක්කන්නේ කෙලෙසද යන්න ගැනත් ඒ ‍උදෙසා කටයුතු කිරීමටත් හැමටම සාමාජීය වගකීමක්ද ඇත. වගකීම් යුතුකම් හරියාකාරව වටහාගෙන හැකි පමණ ඒවා ඉටු කිරීම මතු භවයට පිං තකා දෙන සකළ දාන මාන සියල්ලට වඩා වටිනා පිං කමක් බව නම් අප හැගීමයි. එසේ කරන්නාවූ ගුණවන්තයින් කිහිප දෙනා බැගින් හෝ මෙරටේ සිටිත්.. ඔවුන්ට දිරි වේවා.  තවත් බොහෝ දෙනා ඒ පුරුද්දටත් එ් ඇබ්බැහිටයත් පත් වේවා. අපටද හැකි පමණ ඒ පුරුද්දට යොමු වන්නට හැකි වේවා...

Friday, July 11, 2014

වෙස්වලාගෙන රිංගන්න රජතුමනි හද්දා බැදිවල

හැබෑම ප්‍රශ්න ගැටලු හොයාගන්නට වෙස්වලාගෙන බැදි වල රිංගූ ඉස්සර රජවරු ගැන අසා ඇත්තෙමි. මාධ්‍ය සාකච්ඡා තියා සජීවීව මහජනයා හා කතා කිරීමට වඩා හැබෑවටම මහජනයා ගැන සිතන මහ රජවරු කළ යුතුදෑ ඒවාය. රාජ තේජසින් ඔද වැඩෙන අප ජනයාට මහරජතුමා හමුවේ දෙපයින් හිටගෙන තම අවංක අදහස කියන්නට පෙර අමූළික ශ්‍රද්ධාවෙන් පිරීයන හදවතින් මතුවන දේ කටට එන්නේය. එවිට මහ රජවරු මුළාවේ වැටෙන තරමේ දෑ කටින් පිටවන්නේය. එය හැබෑවක් කොට සිතූ කළට රටත් රජත් දෙකම මුළාවේය. ඊලගට මැති ඇමති හා වන්දිභට්ටයින්ය.‍ ඔවුන් ඒ මුළාව වගාවක් කොට ඉන් අස්වැන්න නෙළන්නේය. අනේ ‍අපොයි.. අපි වලක වැටෙන තුරුම දන්නේ නැත. 

මිනිසුන් ගේ මනසට චරිතයක් ලෙස කිදා බැස්ස පමණින් රජා මරු වුවත් රටට මරේ මරු වෙන්නේ නැත. රජා වෙස්වලාගෙන මහජනයා අතරට ගොස් ජනයාගේත් රටේත් හැබෑම පොළොවේ පය ගහන්නේ නම් එදාට රජා ‍රටකට රටක් වටීවි. මහරජවරු පොළොවේ පය ගසා මිනිසුන් හා දෑත් බැද වැඩට බහින්නේ නම් ක්‍රමය මොකක් වුව මහ පොළොවේ යමක් ගොඩනැගෙනවා සත්තයි. රජා වැඩට බහින්නේ නම් මැති ඇමතිවරුන්ටත් බිමට බහින්නටම වන්නේය. නැතුව නිකං මහා වප් මගුල සමරන්නට වාගේ අමුඩය ගසා අලි පිටින් ආවත් , එදාට පමණක් හී හෑවත් වැඩක් නැත. අපේ රටේ අද මිනිහාට හැබෑවට  මහ පොළොවත් , කරුමාන්තත් සමග හැප්පෙන්නට බැරි ඇයි?  මොනයම් ක්‍රමේකට හරි, වැඩි ලේසි ඊසි පි‍ළිවෙත් වල පිහිට පතා ගොස් මහරජාත් මැති ඇමති සේම අනෙකුත් බත්බැලයනුත් ඇතුළු සියල්ලෝ මහ පත කම්මැළියන් වී ඇති නිසාද? එක්කෝ ඒසී නැතුව වැඩ බැරිය. නැත්නම් වැඩ නැතුවම හරි බිසීය. දැන් මෙහේ මීටර් සියය යන්නටත් ටැක්සියක් නැතුවම බැරිය. පාපැදියට වඩා තිබේ නම් මීටර් එක හමාරටත් කාර්කටුවක සරණය. අනේ ඉල්ලං කකා පම්පෝරි ගහන රටකට ගිය කලක්... විලිලජ්ජාවම හුරු වී දැන් අපි හැමෝම කම්මලේ බල්ලන් ගානය. 

රට තොටේ ගොස් එහෙන් මෙහෙන් පොලිෂ් වූ බොහෝ දෙනා පාරම් බාන්නේ රට රටවල් හා සංසන්දනය කරමිනි. සාපේක්ෂතාවාදය පසෙක තිබේවා  හැබෑවට දියුණුවක් ගැන තේරුම්ගන්නට සංසන්දනද උවමනා නැත. තමන්ගේ මගක හරියට යන්නට අනුන්ගේ පාරවල්වල දිග පළල මැන බැලිය යුතු නැත. තමන්ගේ වැඩේ ඉටියෙන් හරි මැටියෙන් හරි කොරගෙන බණ දෙසන බණ අහන උදේ හවා සම්මාදන් වෙන්නේ කුමක්දැයි නොදන සම්මාදන් වෙන අපහට ගිය කලක්....

නාස්තිකාර කමේ ඉමක් නැත. පරිසරය ගැන හැගීමක් නැත. හදාගත්තු දේ දිගටම පවත්වන්නට වැඩ පිළිවෙලවල් බොහෝ තැන්වල නැත. හැබැයි පම්පෝරිය නම් තියෙනවාය. ඉතිං ගැඹුරෙන් හිතුවොත් මේ පම්පෝරි වන්දිභට්ටකම් නවතා කටවල් වසාගෙන වැඩකළ යුතු කාලයකි. වැඩ ඇරඹිය යුතු කාලයකි. ඒත් වැඩේ නම් එක එකට වැඩ දෙනවා මිසක එක එකා කළ යුතු වැඩ තවම හරිහැටි හදුනාගෙන නැති කමය. තෝරාගෙන නැති කමය. වට රවුමේ දිවුවා වාගේ එකම තැන ඉන්නේ එකෙක්වත් රවුම කඩාගන්නට කැමති නැති හෙයිනි. එක එක දේවල් කඩාගත යුතු විදි ඇත. පෙට්ටියක් කැඩිය යුත්තේ පියන ඇරීමෙනි. ලියුම් කවරයක් විවර කළ යුතු පිළිවෙලක් ඇත. හැමදා එකම තැන කැරකෙන සංවර්ධන චක්කරේ රජයේ සූදුව මෙන් ජනයා රවටන ලොතරැයියක් නොවී එකෙකුට දෙන්නෙකුට පමණක් හෝ සුළු දෙනෙකුට පමණක් ජයක් ගෙනන එකක් නොවී හැමදෙනාට දිනුම ගෙනෙන තැනකින් වටරවුමෙන් පාරකට අවතීරණ විය යුතුය. මිනිසුන්ට හැගීම් තිබේ. යුද්ධය දිනුවේ ඒ හැබෑ හැගීමෙන් යුද්ධ කිරීමෙනි.  ඒ හැගීම් වලට නිසි වටිනාකම් අවස්ථා නොලැබ අයාලේ යන්නට හැරි කල හැගීම් අපතේ යන්නේය. සංවර්ධනය කළ යුත්තේ හැබෑවට නිසිලෙස නිසිවිට හැමදෙන වෙහෙසීමෙනි. එය ජනයාගේ රැවටෙන මනසට නොව ගැඹුරේ විඥානයටම දැනිය යුතුය. කතාවට විඥානයක් නෑ යයි කීවාට හැබෑවට සවිඥානික ජනයා කොතෙකුත් වෙත්. අහේතුව ඔවුන්ට ‍හැමදෙන තමන් රවටන බව දැනීමයි. ඇත්ත ඇති හැටියට ගැනෙන තැනදී ඔවුන් කරළියට එන්නේය. උරය නොව දෙවුරම දෙන්නේය. නැතුව බොරුවට නැති වෙහෙසක් මවා පෙන්වන සංවර්ධන රැළි වලින් ඔවුන් මුළා කළ හැකි නොවේ. හැමදෙන ටයිල් නැති හැබෑ පොළොවට හරි අරමුණකින් බැසීමෙන් පමණකි මෙහේ ජනයා කවදා හෝ නැගී සිටින්නේ නම්... මා කීවත් කවරකු කීවත් කතාව නම් එයමය. අපට හරියන්නේ අපේ ඇගේ ඇති දැනෙන හැගෙන පිළිවෙලය. එය රවටා‍ ගෙන බොරු පොෂ් ගති පෙන්නන්නට ගියහොත් කවදා හරි  අපට ඉතිරිවන්නේ ඇට පෑදුණු පස්සක් පමණකි.

Thursday, July 10, 2014

මහරජ මමයි

මහරජ මමයි මහරජ මමමයි කියලා

ඉන්නට හැකියාව ඇත්නම් කල් බලලා

රටටම හොදයි හැමදෙන වේ රජගොල්ලා

 ඉහළින් ඉන්න හැකි වේ දසතම හොල්ලා

 

සෝදා ගත් කලට මඩ ගොවි රජ වේලු

එහෙව් ගොවි පුතුන් අද දින නැති වීලු

රාජ සබේ වට පිට නම් මඩ වීලු

මෝඩ කමේ දුගදක් ඉන් හැමුවාලු

 

අහවල් ‍රටේ අච්චර ධනපති සිටියේ

තවත් රටක මහාරාජා වරු සිටියේ

අපි හැමදෙනයි මහරජ නම්බුව ගත්තේ

වැඩකට අතගසන්නට නොම බිම බැස්සේ

 

ඉන්නට කැමතිනම් මහරජ සේ සුද්දෙන්

කාටත් හිස නොදී දන්ගෙඩියට සද්දෙන්

 පිදුවොත් සවිය හැම විදිහට නිසි පැත්තෙන්

උඹ මෙන් මටත් ගමනක් ඇත රජ වංසෙන්

 

යන්නට තිබේ හදලා ගෙන බැදි පාර

හයිවේ නොවේ යන්නට ඇති එක පාර

සුදුස්සාට නියමිත ‍තැන දෙන පාර

හැමෙකා වේය මහරජ දිරියෙන් සාර

Monday, June 30, 2014

දෙපයින් නැගී සිටීමේ සිහිනය යථාර්තයක් බවට - (පස්ස පැත්තෙන් යාම හා සබැදේ)

දෑස් පෙනෙන්නට ගැනීම නිසා මහත් ආශ්වාදයක් ලද හැක්කේ අන්ධව සිටි තැනැත්තාටය. සාමය සතුට හොදින් දැනෙන්නේ යුද්ධයෙන් භීෂණයෙන් පීඩා විදි ජනයාටය. ජලයේ ඉමිහිරි රසයක් ඇතැයි හැගෙන්නේ පීපාසයෙන් පීඩා විදි තැනැත්තවුන්ටය.

දෙපයින් නැගී සිටීමේ තෘප්තිය හොදින්ම ලබන්නේ පස්ස පැත්තෙන් ගිය උන්ය.

විඩාවකදී පස්ස බිම තබා හිදගෙන විවේක සුවයක් ලැබීම එකකි. දෙපා පණනැති කමෙන් ශක්තිය නැති කමෙන් පස්සෙන් ම ඇදි ඇදී යාම අනෙකකි. අපි පස්සෙන් ඇදි ඇදී යා යුතු මිනිසුන් කොටසක්ද? නැත්නම් ඔබ විශ්වාස කරන්නේ මේ වන විට අප දෙකකුලෙන් යන බවද? යුද්ධයක් නිමාව අද්දර මුහුණ පෑ අනේක විධ බාධක කරදර මැඩ අප දෙපයින් නැගී සිටීමට උත්සාහ ගන්නා බව අසත්‍යක්ද? නැත. මා දන්නා ආකාරයට නම් ඉතිහාසයේ ඈත මෑත හැම යුගයකම හැල හැප්පීම් බාධා තර්ජන මැද අප ඔලුව උස්සන්නට වෙර දරා ඇත. සමහර තැනක අප ඔලුව ඔස්සා දෙපයින් හිට ගෙන සිටින්නටද ඇත. නමුත් දැන් අප සිටින්නේ අද දවසේය. යා යුත්තේ හෙට දවසටය. ඉතිහාසය අමතක ‍කර මෙන්ම ඉතිහාසය කියවමින් පමණක්මත් අපට යහපත් පැහැදිලි හෙටක් උදා කරගත හැකිද? යුද්ධයෙන් පසු අප දෙපයින් නැගිටින්නට උත්සාහ කළත් අප එය කරන්නේ හැබෑවටමද? වැටුනු මිනිසුන් නැගිටින්නට උත්සාහ කරන පුරුද්ද අනුකරණයෙන් පමණක්ද? 

අද අප ලබන දියුණුව එකකි. කෙනෙකුට එයින් සතුටු විය හැකිය. මං මාවත් තැනේ. ගොඩනැගිලි තැනේ. අධිවේගී මාර්ග, වරාය, තවත් දේ කියති. පෙන්වති. ඒවා හොදය. නමුත් අදට වඩා නිවැරදි හෙටක් වෙත යන්නට ඒවා පමණක් ප්‍රමාණවත් නැත. පොඩි පොඩි වශයෙන් හිතුවත් අප හැමදා වරද්දාගෙන ඇති මේ ලොකුවී වනසන්නට අමාරු ‍වන තෙක් වැඩෙන පොඩි වැරදි අදත් අප නොසළකාම හැර තිබේ. මේ නැගිටීමේ උත්සාහයන් හුදෙක් වැටුණු මිනිහෙකු නැගී සිටින්නට දරණ අනුකාරකවාදී තත්වයක් පමණක් ලෙසින් දකින්නට වන්නේ එහෙයිනි. 

තැන තැන ඇති තමන්ගේ කුණු කිසි හැගීමක් නැතිව ඔහේ විසිකරණ, අලුතෙන් හැදෙන වැසිකිලි කැසිකිසි වල පිටපැත්තේ සුලුදිය හලන ගති අඩුවනවායයි වත් හිතමු, ඒත් වැරදි පාරෙන් වැඩ කරවා ගැනීමේ ගති, සුදුස්සාට සුදුසු තැන දෙන්නට අකමැති ගති, පොඩි පොඩි පන්දම් වලින් වැඩ කරවා ගැනීමේ ගති, පරංගියා කෝට්ටේට ගියා සේ නිකං අපේම මිනිස්සු රස්තියාදු කරන රාජකාරි ගති, අරමුණු නොහදා පෙරගමන් සංවිධානය කරන ගති, අනුනුත් රවටා තමනුත් රැවටෙන ගති, ඇත්තට වඩා වාසියට බොරු කියන හා කරන ගති, රෑ වැටුණු වලේ දවල්ටත් වැටෙන්නට යන ගති, හිත හොද කම නිසා ඇන්දෙන හා ඇදගන්නා ගති, වෙලාවකට වැඩක් කරන්නට ද‍න්නේ නැති ගති, පුද්ගලික හෝ මුදල් නොලැබෙන වැඩක නම් වගකීම් හා යුතුකම් අමතක වෙන ගති ආදී වශයෙන් ගත් කළ තවත් නොකී අමන ගති රාශියක්ම නම් කිසිම අඩුවීමක් පෙනෙන්නට නැත. මේ අපේ ජන්ම ගති යයි සමහරු සහ විටෙක අපි අපිම කියතත්, එය එසේ විය හැකිද? සුනාමිය වැනි අතිභයංකර පෙර නොඇසූ විරූ විනාශයක් අත්දුටු අප ඒ මොහොතේ අප මිනිසුන්ගේ ජඩ ගති මතුවනවා දැක්කේ ඉතා අහම්බෙනි. බොහෝ දෙනා අපේ ජන්ම ගති වල හොද පැත්ත පමණත් ඉක්මවා දැක්වූයේ හදාගත් හැදියාවට වඩා ඒ ජන්ම උණුවීම අපට ඇති බව පෙන්වා දෙමිනි. ඒත් ඒ උණුවීම වඩා හොද විදිහකට භාවිතාවට ගෙනෙන්නට අපට නොහැකිද?

කවුරු කෙසේ කීවත් අහු මුළු වලට හොස්ස පො‍වා හොදින් ඉවකරන ලෝකයේ බලගතු රටවල් ගහන්නට හිතුණු තැන තණකොළ කපන්නට ගස් ගිය මිනිහාටත් වඩා හේතු සහිතව අදාළ තැනට ගහන්නේ කට උත්තර නැතිවන්නටය. නමුත් අවුරුදු ගණන් අපේම වැරදි වලින් දක්කා ගෙන ගිය යුද්ධ අපි කට උත්තර ඇති පමණට නිමා කොට ඇත. එහිදීද උණුවීම අපි දැක්කෙමු. එය ඔය සමහර රටවල හදාගත් හැදියාවට වඩා ඇත්තෙන්ම සද්භාවික විය. නමුත් ඒ සද්භාවය අන්ධභාවයක් දක්වා ගෙන යන්නට හදන ව්‍යාපාරත් සමහරු මෙහි බිහි කර ඇත. එමෙන්ම සද්භාවය කුරුවල් කරන්නට සමහරු වලිකන්නේය. දෙපයින් නැගී සිටින්නට හිතන මිනිහාගේ ශක්තිය එතැන අපතේ යන්නේය. නාස්ති වන්නේය. අමන ගති හදන්නට වඩා වවන්නට අවස්ථාවාදී දේශපාලුවෝ කරුණු කියද්දී මිනිසුන්ගේ සද්භාවය කුරුවල් කරන්නටත් ඔවුන් අන්ධ කරන්නටත් ඇතැමෙක් වලිකද්දී කවර නම් මිනිහෙකුට දෙපයින් නැගී සීටීමට හැකිවෙයිද? 

අපි කුඩා කල කල්පනා කළේ රට ගැන අපට හදා දී තිබූ ප්‍රතිරූප ඔස්සේය. සැබෑවටම ඒ ප්‍රතිරූප ඉතිහාසයේ වෙහෙර විහාර ගල්කණු තුළින් අලංකාර වී තිබුණු නමුත් මෑත තිබූ සුද්දාගේ ආක්‍රමණ වලිනුත් පසුව ඇතිවූ භීෂණවලිනුත් අනතුරුව ඇතිවුණු යුද්ධ තුළිනුත් භයංකර වී තිබුණි. අප උපන් සමය භීෂණයේ කෙළවරකටත් යුද්ධයක ඇරඹුමටත් මැදිවිය. බෝම්බ යනු අප ළමා වියෙන් ගැටවර වියට එළැඹෙන විට අලුතෙන්ම ඉගෙන ගන්නා මාරකයය. රටේ ඉහළම පුද්ගලයින් ඉහළම තැන් බිමට සමතලාවනු අපි දැක්කෙමු. ඉන් අනතුරුව යුද්ධ කතා මෙන්ම සාම කතා වටයන් දැක්කෙමු. ඒ අවධියේ වැඩිහිටියන් කළ කතා අපි අසා සිටියෙමු. තරුණ අවදියට එන විට ජීවිතයේ පළමු වරට එක දිනට දෙකට දහස් ගණනින් මිනිසුන් මියගිය සුනාමිය අපි දුටුවෙමු. අනතුරුව යුද්ධයේ අවසානය අපි දුටුවෙමු. අපේ මානසිකත්වය කෙබදුද? රට ගැන ප්‍රතිරූපය කෙලෙස වෙනස්වීද? ලෝක කුසලානයක් දිනා ගැනීමේදී දැනුනු සතුටක් පමණද රටක් ගැන මිනිසුන් විදිය යුත්තේ, යුද්ධයක් නිමා‍වීමේ සතුට පමණක්ද මිනිසුන් තම ජන සමාජය ගැන විදිය යුත්තේ. තුවාලයන් තිබූ තැනැත්තාට සුවයේ සතුට හොදින් දැනෙනා බව ඇත්තකි. මා කතාවේ මුලින්ම එය කියූවෙමි. එහෙත් සුවයෙන් පසු දෙපයින් නැගී සිටින්නට හැබෑ වීරිය නොගන්නේ කම්මැලියන්ය. කලක් ඇදේම ලැග තුවාල සුව වුවත් දෙපා බිම නොගහන්නේ බියගුල්ලන්ය. අපි දැන් දෙපා බිම ගසා නැගිටින බව කෙනෙක් කීවත් ‍බොහෝ දෙනා පිළිගත්තත් හරියට අපේ වැරදි හදුනාගැනීමකින් තොරව නැවත නැගිටීම අනුකරණයක් පමණකි. අනුකරණයට කියනා තවත් පදයකි රංගනය.   

එක එක මිනිහාගේ එක එක වැරදි හදන්නට කාටවත් බැරිය. ඒවා තමන් විසින්ම කර ගත යුතුය. එහෙත් රටක මිනිසුන්ගේ පොදු දුර්වලතා හදන්නට නීති හෝ රීති තිබිය යුතුය. වෙලාවට වැඩ කරන්නට, හරියට වැඩ කරන්නට බැරි ඇයි. සුදුස්සෝ සුදුසු තැන්වල නොතබන්නේ ඇයි? හරි ක්‍රමවේද ඇති කිරීම තමන්ගේ ඉදිරි ගමනට වල කපා ගැනීමක් යයි හිතන්නෝ මැරයෝම  නොවේද? එබදු මැරයෝද බොහෝ තැන් කරවන්නේ, සිල් රෙදි සේ රෙද්ද බැනියම අදින සමහරුන් මෙවැන්නන්ද? කෝට් කබා ඇද උගත් හදාගත් හැදියාව පෙන්වන සමහරුන් මෙබන්නන්‍ නොවේද? 

කොතැනින් හෝ කෙසේ හෝ කවරෙකු බැගින් හෝ පටන් ගත යුතුය. නොපමාව නිවරද වෙන්නට පටන් ගත යුතුය.‍ 

ලොකු ලොකු විලසින් ලොකු ලොකු දේ ගැන කතා කලාට ඒ සාකච්චා සම්මන්ත්‍රණ ඉවර කර කා බී හමාර කළ දේ පුටුව යට හලා යන ක්‍රමයන් වෙනස් කළ යුතුය. වරු ගණන් කතා කොට ඔලු ගෙඩි ඉහළටත් පහළටත් හොල්ලා හදාගත් හිනා වෙස්මූණු පෙන්වා අතීරණයෙන් ආපහු හැරෙන කාලකණ්නි ක්‍රම වෙනස් කළ යුතුය. වැරදිම දකින වැරදිම කියන තමන්ගේ මතයට බැහැරව වුව කළා වූ හරි දෙය වුව පිළි නොගන්නා අන්තවාදය හදුනා ගත යුතුමය. එකෙකුටවත් යට නොවී නිවැරදි දේට හා හරි මාර්ගයට පමණක් යට වීමේ මානසිකත්වයක් මිනිසුන් තුළ ඇතිවිය යුතුය.‍ එතැනදි අපි අපි නිවැරදි වන්නට උත්සාහ නොකරන්නේ නම් මගේ අයිතිය ගැන මිස මගේ යුතුකම ගැන නොහිතන්නේ නම් අනේ අපිට සාධු.. 

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හෝ අකුරක් කියන්නට ලියන්නට දන්නා අපේ ඈයින්ට බඩ ගෝස්තරය ගැන පමණක් හිතන නිවට නියාලු හිතුවිලි පමණක් තිබිය නොහේ. ලෝකයේ නන් දෙස අපේ ඇසට විකාර රූපී මෙන්ම හැබෑවටත් විකාර රූපී සංස්කෘති ඒ ඒ උදවියට ඔවුන්ගේ උරුමයට තබාලා අනුන්ගේ ඇසට කෙසේ වේවා අපි දන්නා අපේ උරුමයක් අපි හදා ගමු. වැරදි හදාගන්න හදන අපේ උරුමයක් හොයා ගන්න හදන අපට පමණයි, වෙනස් වන ලෝකයක ඒ වෙනස දකිමින් අපේ ක්‍රමයක නොසැලී ඉන්නට හැක්කේ. දෙපයින් නැගී සිටීමේ තැනකදී අපේ කාර්ය එයට උරදීමේ අපේ මග හොයා ගැනීම මිස ජාතික කොඩිය ඔසවාගෙන තැන නොතැන දගර නැටුම් දැමීම නොවේ.

Saturday, June 21, 2014

ඇම්ම ගැම්ම නැම්ම හා පස්සපැත්තෙන් යාම නොහොත් මේක අපේ රට - දෙකකුලෙන් යාම පිණිසයි.

රට ගැන හැගීමක් මොටද?

ඇම්මටද, ගැම්මටද, නැම්මටද?

අපේ පරම්පරාව පැත්තක තියෙද්දි -රට ගැන හැගීමක් තියෙනවයි කියන එක- පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන පොඩි පට්ට පහේ ඇම්මක් ගැම්මක් වගේම නැම්මක් ගන්න වැඩක් ද? කියල වෙලාවකට හිතෙන්නෙ වැඩිහිටි උදවියටත් ඒක ඒ ගානට දැනිල වගේ පෙනෙන නිසා.  හරියට මගුලටත් අවමගුලටත් දුකටත් සැපටත් අඩියක් ගහනව වගේ වැඩක් වෙලා තියෙන නිසා...

මේ රට පස්ස පැත්තෙන් යන‍්නෙ ඔන්න ඔය නිසා. 

පට්ට දේශපාලන අදහස් නොදැරුවට, ධනවාදයේ පරතෙර අස්සෙන් සමාජවාදයේ පරතෙර නොදැක්කාට, මහා බුද්ධිමත් උගත් පණ්ඩිතයන් නොවුනට, අනුන්ගෙන් බැනුම් ඇහුවට, හිත හොද, ඔළුව ඇතුළෙ සාධාරණ බුද්ධියක් ඇති මිනිස්සු තවම මෙහේ ඉන්නවා. අච්චර බුද්ධිමතුන් ඉන්නවට වඩා අන්න ඒ අහිංසක මිනිස්සු ඉන්න රටකට මෙහෙම වීම ඛේදවාචකයක්. අනුන්ගෙ හන්දියක හරි ලයිට් කණුවක දවල්ටත් ලයිට් පත්තුවෙන එක ජාතික අපරාධයක් කියල හිතල කණුවෙම පහළ තියෙන ස්විච් එකෙන් ඒක නිවල දාන මිනිස්සුත් තවම ඉන්න රටකට පස්ස පැත්තෙන් යන්න වීම හරිම දුක හිතෙන කතාවක්. ගන්න පඩියට විතරක් නොවී රජයේ රස්සා කරන මිනිස්සු තවම ඉන්න රටක මේක විළිලජ්ජාව හදාගන්න ඕන කතාවක්. පිනට විතරක් නැතුව ඕන තරම් දන් දෙන මිනිස්සු තවමත් ඉන්න රටක මේ පොළොව පළාගෙන යන්න ඕන කතාවක්.

ඇමරිකාව වගේ ඉදිරිගාමී රටවල් ඉස්සරට බර නිසා පොඩ්ඩක් වැරදුනු ගමන් ඇනෙන්නෙ හොම්බ. අපි වගේ රටවල් පසුගාමීව පස්සට වැඩි බරක් තියෙන නිසා වැරදුනු තැන බිම ඇනෙන්නෙ පස්ස. හොම්බ බිම ඇනීම වගේම හොම්බෙන් යන්නට වුනොත් ඒක වේදනාවක්. ඉතින් ආයෙ පස්ස බිම වැදීම හා පස්සෙන් යන්නට සිදු වුනොත් ඒකෙන් ඇති වන වේදනාව ගැන පර්යේෂණ කරලම වටහා ගන්න අයට මිස අනෙත් අයට අමුතුවෙන් කිව යුතු නැහැ.  ඒ වගේම හොම්බ ඇන ගන්න රටවල් පස්ස ඇනගන්න රටවල් ගැන විමර්ශනය කිරීම කියන්නෙ අමුම විහිළුවක් බව හිනා නොවෙන්න දන්න අයට මිස අනෙක් අයට කිව යුතුත් නැහැ.

තවමත් අපි මාතෘකාව වටේ ගියා මිස ඒ රස්තියාදුව ශුද්ධ කරන්ඩ ගත්තෙ නෑ. ඔන්න දැන් ඒ කතාව... 

තවම අපේ මිනිස්සුන්ට තියෙන්නෙ දේශපාලකයෙක් පස්සෙ බඩගාල, හිතවතෙක්ට සළකල දුව පුතාට හොද රස්සාවක් හෙවීමේ චින්තනේ. ඒ සාමාන්‍ය ගොල්ලන්ට. අනෙක් අයට ඒ ඒ තරාතිරමෙ හැටියට ධනය, බලය, මානය රැකෙන මට්ටමේ විවිධ රැකියා. තමන් විතරක් තනිව දියුණු කරන අධ්‍යාපනේ පරතෙර. හැබැයි ඉතින් කොහොම අධ්‍යාපනේ කළත් මන්ත්‍රී ඇමති ඇදුනුම් කමත් පක්ෂ සංවිධානෙ ලැයිස්තුවේ නම තිබීමත් අතිශය වැදගත්. අනේ සාධු.. මේ රැකියා අතරේ -සුරක්ෂිතව දිවි නසා ගැනීම වගේ- අමුතු දේවලුත් තියෙනව. කමක් නෑ, මොකද මටයි ගෙදර අම්ම තාත්ත ඇතුළු පවුලෙ අයටයි මැරෙන්න තරම් ප්‍රශ්නයක් තවම නෑ, හොද පඩියක් ලැබෙනවනම් එච්චරයි. පවුලෙ නෑදෑ කෙනෙක් හෙම සේවාව ගන්න ආවොත් පොඩ්ඩක් හොරෙන් දැනුවත් කරන්න පුළුවන්නේ වැඩේ භයානක කම ගැන, මේක තවත් බිස්නස් එකක් විතරයි කියලා.

එතකොට තව සමහර රස්සා නිකං ආතල් එකට රස්තියාදු වෙනව වගේ දේවල්. බඩු විකුණල ලකුණු දා ගන්න එක, අල කියල ලූනු දෙන්න හදනව වගේ ප්‍රමෝෂන් වැඩ. අපේ රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන කොල්ලො කෙල්ලො වැඩි පිරිසකට මෙවැනි රස්සා ලැබෙනව. ඒ ගොල‍්ලො හරි කැමතියි ඒවට, ලස්සන ඇදුමක්, සමහරවිට පයින් ඇවිද්දත් දාඩිය දාන්නෙ නැති වෙන්න ටයි පොල්ලකුත් ඕනනම් කෝට් බෑයකුත් දාගෙනම වැදගත් කමට ගෙයින් ගෙට පයින් කට්ට අවුවෙ ගාටන්න පුළුවන්. ලස්සනට බිස්නස් එක කෙ‍රෙනව. ඇවිදින තරමට මේ රටේ ගෙවල්වල පාරිභෝගිකයින්ගෙ වත්කම් තේරෙනව. ඩොලර් අහවල් ගාටන වැඩියිලු.  දේසපාලුවන්ගෙ හයියට තමන්ගෙ හයියත් දාල කප්පන් ගන්න වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒවත් හොද රස්සා අප්පා .. ඉක්මණින්ම දියුණු වෙන්න පුළුවන් ඒවායින් මෙහේ.

ඔය අතරෙ අපේ ඇගේ වැඩකරන ඇම්ම ගැම්ම තමන්ගෙ නැම්මට හරි ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නනව. හැම කෙනා ගාවම හොද නවීන පන්නයේ ජංගම දුකරථන, ලැප්ටොප් කීවොත් ගොඩක් දෙනා හැරිල බලනව. පල්ලෙහා ඉන්න ගොඩක් දෙනා මේවට හරියට නැමෙනවා. උඩ ඉන්න අයට නොදැනීම තවත් උඩට යන්න තමන්ගෙ කොන්ද දන් දෙනවා. පින් නැතිව උනත් ඒ දන් දීම නම් පාප උල්පතක්, ඒත් ඒක සිද්ද වෙන්නෙ නොදැනීමනේ. බස් ලගදි නොහැරෙන ඔලු කාර් ලගදි හැරෙන ගතියක් ලගදි මම පාරෙදි දැක්කා.

ඉතින් ඔහොම සවිඥානිකව පාරෙ යන අය ඉද්දි කහ ඉරෙන් පාර පනින අයටත් තමන්ගෙ සීලෙ බිද ගන්න පොලිසියත් ආරාධනා කරනවා සමහර තැන්වල. ඒකෙ අනිත් අදහස මිනිස්සුන්ට කමක් නැත්නම් එයාලටත් කමක් නෑ වගේ තත්වයක් හැදිල තියෙන්නේ, ඒකත් හරි අපූරුයි. ගුරුවරුන් හා ළමයින් අතර සම්බන්ධයත් උපයන්න පුළුවන් ආදායමත් එක්ක ඉල්ලුමට සැපයුම වගේ තත්වයකින් අපූරුවට යනවා.  වැඩිහිටියො පොඩිවුන් දිහා බලලා අනේ අපේ හෙට පරපුර කියලා සන්තෝෂ වෙද්දී දරුවෝ වැඩිහිටියෝ දිහා බලලා අනේ මෙයාලට තේරෙන්නේ නෑනේ වගේ ගතියකින් බකං නිලාන ඉන්නවා. 

රට රැකගන්න කතා කරනවා, අවවාද දෙනවා, බණ කියනවා. පිළිපදින මනුස්සයගෙ කකුල කොනිත්තනවා. අපි අහවල් රටක් හදමු කියනවා. කැප කරන එකෙක් නැති ගානට ලක්ස ගණන් අතරේ පේනවා. ඉන්න එකා නොපෙනී යනවා. උදව් ලැබෙන්නේ හිගමනේ යන්නාට. කොන්දක් ඇති මිනිස්සුන්ට උදව් නෑ. මේ කියන්නේ දේශපාලනේ නැම්මවල් හදාගන්න කතාන්දර රගන උදවිය ගැන නොවෙයි. එක එක තැන්වල එක එක දේට හිතුමතේ ඔලුව පාත් නොකරන මිනිස්සු. එහෙම උදවිය රටකට ඕන නැති ගානයි. දුකටයි සැපටයි අඩි පුඩි ගහන මිනිස්සු හදන්න වියදම් කරන රටකට පස්ස පැත්තෙන් යන්න වෙන එක අහන්නත් දෙයක්ද? නමුත් නොතේරෙන්නෙ ඇස් කන් වීමවත් කන් වලට නොඇස් වී යාමවත් නිසා නොවෙයි. පිළිවෙතකට නොයාම නිසයි. ඔහෙ කියවනවා විතරයි. හරි හමන් තැනකින් පටන් ගන්න හයිය ඇති කරගන්නෙ නෑ. එතනට ඔය කයිවාරුකාර බොහෝ දෙනා කැපවෙන්න සූදානම් නෑ. ළිදට වැටුණු මිනිස්සු ‍ඒ කටෙන් හරි උමගක් කපල වෙන තැනකින් ගොඩ එන්න හරි වෙහෙසෙන්න ඕනමයි. නමුත් අපේ උන් හදන්නෙම ආඩි හතේ කැදහැලි බොහෝ තැන්වල ලක්ස ගණනින් එකතුවෙලත්.

ඒ අතරෙ ඇම්මට හදාගන්නා ජාති වාදත්, ගැම්මට හදාගන්නා අහවල් වාදත් තුළින් රටට නැම්මවල් දීමට ගොස් හදන්නේ පස්ස පැත්ත තවත් තුවාල කිරීම පමණයි.‍ ඒ තුවාල තවත් වැඩිවූ දාට ආයේ කන දේ දිරෙව්වත් බැහැර කර ගන්නට බැරි තත්වයක් හදා ගතහොත් එදාට තේරේවි යන්නේ පස්සෙන් බව. අපේ උදවිය බොහෝ දෙනාට තේරෙන්නේ එවැනිම විටෙකයි. එතකොට කැපකිරීම එන්නේ බණක් ලෙස නොව අණක් ලෙස බලහත්කාරයෙන්. අපේ පසුගාමිත්වය එයට කැමතියි. පසුගාමිත්වයෙන් සිට හොම්බෙන් නොයන තරමේ ඉදිරිගාමිත්වයකට අප පැමිණිය යුතුයි. එතැනට නම් අවම වශයෙන් අප එකිනෙකා අවංක ව සිතන තැනකට පැමිණිය යුතුයි. පටු ආත්මාර්ථයෙන් අත්වන විනාශය විදවමින් විලාප නගමින් වෙනස් වන්නට සිද්ද කරගන්නවාට වඩා, තමා ගැන විලසින්ම අනෙකා ගැන හිතන යුගයකට කල්පනා නො‍කළහොත් ..... අපි අපවම රවටා ගැනීමේ ඛේදය බරපතළ අයුරින් අපේ අනාගතයට පහරදෙනු වැළැක්විය නොහැකි වේවි. අපේ ළාමක බවට දැනෙන අළාමක තත්වාකාරය නම් එයමැයි.

යා යුත්තේ දෙපයිනි, එනිසා තතු විමසිය යුතු සේම නිවරද දේ වටහා ගැනීමත් ඒ හා එක්ව යාමත් කළ යුතුමය.

Tuesday, June 10, 2014

පාට දේදුනු සේදිලා - තෝරාගන්න -

වර්ජන, ගර්ජන, උපවාස, උත්ඝෝෂණ, සමහරුන්ට හරියට අහසේ වෙලාවකට පායන දේදුනු වගේ. ජීවිතේට, ඇගට ලොකු ගැම්මක් නැම්මක් ගේනවා. බලාපොරොත්තු ගේනවා. හීන ගේනවා. ඒ අමාරු දුෂ්කර කාලෙ කාටත් වැඩත් අවැඩත් වෙමින් නිමා වුනාට පස්සෙ නිකං පාට දේදුනු  හේදිලා වගේ දැනෙනවා. ආයෙ එහෙම අවස්ථාවක් එනකම් හීන, බලාපොරොත්තු වැටිලා බිමටම. වල් පල්, බයිලා ගහ ගහ ඉන්න පුළුවන් ආයෙ කාලයක් එනකම් ඒ වගේ. සමහරුන්ට එහෙම, විශේෂයෙන් දේසපාලනයට දණ්ඩ නමස්කාරයෙන්ම බඩගෝස්තරමාර්ග හදාගත් උදවියට. තවත් සමහරුන්ට අරවගේ කාල වලින් පස්සෙ හැබෑවටම වැඩ තියෙනවා. බකන්නිලං ඉන්න වෙලාවක් ඒ අයට නෑ. අනිත් අයත් එක්කම තල්ලු වෙලා දිනාගන්න කේක් කෑල්ල තිබුණට තනියම පරහට කරන්න වැඩත් තියනවා එයාලට. අපේ සමාජෙ මෙහෙමයිලු. කොයි කොයි සමාජවලත් එහෙම මෙහෙම දේවල් එහෙ මෙහෙ විදිහට තිබෙනවාලු.

කොහොම උනත් ජීවිතයකට හීන බලාපොරොත්තු උවමනායි. ඒව හදාගන්නෙත් ඒ වෙත ගමන් කරන්නට තිබෙන්නෙත් අපිටමයි. එක්කො හීන දැක දැක බල බල ඉන්නත් පුලුවන්. නැත්නම් ඒ පස්සෙ දුවන්නත් පුලුවන්. අහසේ ඈතට හුළං බලෙන් ඇදෙන සරුංගලේ පස්සෙ ඒ දිහා බලන් බිම දුවන්න බෑනේ. සරුංගලේ දිහා බලන ගමන් බිම බල බල ඒ පස්සෙ දුවන්න වෙන්නෙ. බලාපොරොත්තු පසු  පස්සෙ යෑමත් ඒ වගේ නොවෙද? නෙළාගන්න ඕනකරන දේ වපුරන්න වෙනව වගේ හදාගන්න අරමුණු වල විදිහට ඒවගෙ පස්සෙ දිවිල්ලත් වෙනස් වෙනව. හැබැයි ඉතිං වපුරපු දේ නෙළාගන්නත් කාළය එනකම් වගාව සුරැකෙන්න එපැයි. ඉතිං අරමුණු වලට යන්න තියෙන මාර්ගයෙ හරියට යන්නෙ නැතිව වෙනත් වෙනත් තැන්වල රස්තියාදු වෙන්න ගත්තොත් හැමදාම වට රවුම වටේ ගියා වගේ වෙන්නත් බැරිනොවී යනව. අවසානෙට නෙළා ගන්න වෙන්නෙ පුස්සක් වෙන්නත් පුළුවන්. 

ඒ නිසා අපි හදා ගන්න අරමුණු දිනාගන්න තැන, අරමුණත් මගත් දෙකත් එක්කම ගොඩක් හිතන්න වෙනවා අපිට. අද ගොඩක්ම වෙලා තියෙන්නෙ මගේ මාර්ගය මට ඕනෑ එක, මට ඕනෑ විදිහට යන්න පුළුවන් කියල හිතන එක. ඒකෙ වරදක් නෑ තමන්ගෙ ගමන තනියම යනවානම් තනියෙන් ඉපදී තනියෙන් ම මරණයට යනවා ‍වගේ. ඒත් උපත විපත තබා හැම ගමනක්ම එක එකාගේ ඇගේ හැපෙමින් යන්නට වන විටක, අපිට අප සමග ගැටෙන අනෙකා ගැනත් හිතන්නටම සිදු නොවේද අපමණටම. 

අනිකගෙ බෙල්ල උඩින් නෙවෙයි, බෙලි රොත්තක් උඩින් ගියත් කම් නෑ අපේ ගමන කියල සමහර අය හිතන්න උත්සාහ කරන එක, හිතන් ඉන්න එක පාට දේදුනු හේදිලා කියල දවසකදි කියන්න සිද්ද කරන වැඩක්. විනාශයක්, ඒක විනාශයක් වෙන්නෙ ඔබේ මාර්ගය තවත් කෙනෙක්ගෙ බෙල්ලක් උඩින් වැටෙන කොට ඒක ඔබට ප්‍රශ්නයක් නොවේ නම් තවත් කෙනෙක්ගෙ මාර්ගය ඔබේ ගෙල උඩින් වැටෙන එක ඔහුට හෝ ඇයටත් ප්‍රශ්නයක් නොවන නිසා. හැමදෙනාම එහෙම හිතුවොත්,,, එහෙම අරමුණු දිනා ගැනීමක් අවසන ඉතිරි වෙන්නෙ කව්ද? කිසි කෙනෙක් නෑ අවසන ඉතිරිවෙන, හිස් බවක් මුග්ධ කමක් විතරයි. 

ඒ නිසා තෝරාගනිමු උස් අරමුණුත් නිසි මගත්. මුළු අස්වැන්න නැතත් අස්වැන්නෙන් කොටසක් හෝ ලැබේවි. හානිය අවම වේවි. කාලය ඉතිරි වේවි එවිට.

Sunday, May 18, 2014

පොතේ ගුරුන් වෙත විශේෂයෙනි, කුණු‍ / කුණු ගැන යමක්, කුණු කර නොගනු පිණිස යමක්.

පොත් අපට ගුරුන් විය. මේ පොත බලා අපට කියන කියවන ගුරුන්ද සිටිහය. නාටකයන්හි පොතේ ගුරෝ සිටියහ. හැබැයි ගුරාගේ පොත කියවීම අනුවම නාටකය තේරුම් ගැනීම යනු නාටකය නැරඹුවා යනුද නොවන බව දන්නේ කවුරුන්ද!

එක් පොතකින් ගෙන තවත් පොත් වලට සමහරුන් ගරහති. පොත් යනුද හිත්මය. එකෙකුගේ ස්වභාවයට වඩා තවෙකෙකුගේ ස්වභාවය වෙනස්ය. එකම හිත් වුවත් ඒ ස්වභාවයේ වෙනස අපට දැනෙන්නේය. ක්‍රියාවන් හරහා පෙනෙන්නේය. පොත්ද එලෙසින්ම වටහා ගනු නොවටීද. පරම පුස්තක ලෝකයේ තිබෙනවාද! එය හරියට පරම මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්න කිරීමක් මෙනි. යම් ආකාරයකින් ලෝකයේ ලැබිය හැකි පරම තත්වයක් යමෙකු ලබාගත්තේනම් ඒ පරම තත්වය විචාරිය හැක්කේ කුමන මිනුම් දණ්ඩෙන්ද! ලෝකයේ හෑම සත්‍යම පොත පතේ තිබෙනවාද, පොත පත අපට යටද, අප පොත පතට යටද!

මිනිස්සු සසරක් ගැන කියති. පෙරුම් දම් පුරනවා යැයි කියති. මේ භවයේම මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වා යති. පහ වසරේ ළමයෙකු කළ දෙය විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිදරයෙකු කරත්ද! විශ්වවිද්‍යාලය දක්වා යන්නට ආසාවෙන් ඔහු කළ කී දේ උපාධිදරයෙකු වූ පසු ඔහුගේ ක්‍රියාකාරිත්මය හා සම වෙත්ද! නොපෙනෙන විදුලිය දැකිය හැකි ලෙසින් මතු වන නිසාත් වෙනත් නොයෙක් ශක්තීන් බවට පරිවර්තනය වන නිසාත් පමණක් පිළිගන්නා ලෙසින් මිනිහා තුළ දිවෙන්නා වූ ජීවය හා බැදි චිත්තය ගැන අපි කතා කරමුද! ඒ ඔස්සේ සසර නොදකිමුද!

නොදන්නා දේ බොහොමයක් යම් තර්ක ක්‍රමයක් තුළ විග්‍රහ වූ පමණින් තර්කය බලවත් අවියක්ද! පොත් පත් ගුරුවූ පමණින් පත පොත යනු අප එකම දැනුම් මාර්ගයත් අවබෝධය දෙන සන්නිවේදන මගකුත් වෙත්ද! එලෙසම තර්කය හා පොත පත මැදි කරගත් පමණින් අපේ විග්‍රහ විචාර අර්ථ සම්පන්න හෝ ප්‍රඥාගෝචර වෙත්ද? 

ප්‍රඥාගෝචර කර ගැනීම උදෙසාද මාර්ග සියල්ලක්ම තිබිය යුතුය. පොත පත තර්කය, තවත් දේ...හැබැයි එපමණකින් කිසිවක් කුණු කර ගත යුතුද ‍නොවේ. පොදු බිත්තර පුද්ගලිකව පරිහරණයට ගෙන කුණු කරන්නට කිසිවෙකුට රිසි හෝ නිසි අයිතියක්ද නොවේ. එබැවින් නන්නත්තාර සන්තෝෂයේ කරක් ගහන අප අඩුම වශයෙන් අප වෙතින් අනාගත පරපුර උදෙසා දශමයක හෝ සත්භාවයක් ඉතිරිකළ යුතුය. ඒ යුතුකමෙන් පලා යාමට පණ ඇති මිනිස් වංශයේ කිසිවෙකුටත් අයිතියක් නැත.

තැන තැන ගොඩ ගැහුණු කුණු ගැන කතා කිරීමත් ඒ කුණු වර්ගීකරණයත් හොදය. නමුත් වඩා වැදගත් වන්නේ හැකි පමණ කුණු ශුද්ධ කොට දමන්නට වෙහෙසීමය. ඒ සදහා මාර්ග සොයා ගැනීමය. හැකිතරම් දෙනා හැකිතරම් තැන්වල රිසි රිසි සේ කුණු අවුස්සන මෙකල නැතහොත් හැමතැන අහන්නට වන්නේ කුණු ගැන කුණු කුණු කතාම පමණි. එබැවින් කුණු ඇවිස්සිය යුත්තේ ශුද්ධ කර  දමන්නට මිස කපුටන් කුණු අවුස්සන ලෙසින් නම් නොවේ. කපුටා කුණු අවුස්සන්නේ කුණු වුනු ආහාර කන්නටය. බුද්ධිමත් බවටත් වඩා ප්‍රඥාවට දිරි වඩන මිනිසුන් විශේෂයෙන් ‍එලෙස නොවිය යුතුය. ඇවිස්සෙන කුණු ගොඩවල් අතර ඉන්නට සිදු වුවත් ඒ අවබෝධයෙන් ජීවත් වන්නට හැකි නම් සුදුසු මෙන්ම නුසුදුසු තැන්වල බොහෝ කොට කුණු ගොඩ නොගැසේවි.

Thursday, May 1, 2014

පුංචි කුරුල්ලෝ - ලොකුවට හිතන්න

අපේ ගෙදර විශාල මල් වත්තක් නැත. නමුත් පුංචියට සැකසුනු කුඩා මල් වත්තක ලකුණු ඇත. එය මාගේ ව්‍යායාමයක් නොව පියාගේ හා මවගේ වෙහෙසමය. නමුත් කතාව එය නොවේ.

මේ මල් ගස් අතර පියඹන පුංචි කුරුල්ලන්ය. විටෙක ජනෙල් වීදුරු තුළින් උන්ගේම රුව දැක ටක ටක නාදයෙන් පුංචි හොටින් විදුරුවට අනිමින් කරනා අරගලයේ හුරතලයය. විටෙක ජනෙල් කවුලුවක යකඩ රාමු අතර මැවෙන්නේ අපූරු රූප රාමුය. පුංචි කුරුල්ලන්ගේ පුංචි නාදය අපූරු සංගීතයකි. නමුත් පුංචි ලංකාවේ මිනිසුන්ට දැන් පුංචි රස දැනෙන්නේ නැත. මේ කියන්නේ සපුරා සමස්ථයට නොවේ. වැඩි බහුතරයකටය. ඒ බහුතරයද දැන් වැඩිවෙමින් පවතින ලකුණු පෙනේ. ගෙදර කුකුළා නිතර දකින නිසා කරමළය සුදට පෙනෙන්නා සේ වටපිටාවෙන් පරිසරයෙන් රහ සෙවූ කාලය මේ පුංචි රටෙන්ද තුරන්ව යමින් පවතී. දැන් අපිට ඕනෑ මෙගා ටයිප් දේවල්ය. පුංචි රසය සියුම් සංවේදී බව යන්න නොතේරුමෙන්දෝ විශාල තැන්වල විශාල දේවල් අතර සැරිසැරීම අපට මහා ලොකු දෙයකි. විශාල දේවල් ගැන කතාකිරීම අපට ලොකු දෙයකි. තමන්ගේ පුංචි වැරැද්ද හදා ගන්නට බැරි මිනිහා රටේ තො‍ටේ ලොකු වැරදි හදන්නට කතා කරන්නේ එලෙසින්ය. ලජ්ජාව හා විනාශය නම් ලෝකයේ නිර්මලම දහමක් කටේ දිවේ ගාගත් අයවලුන්ගෙන් පිරි රටක මෙබදු දේ සිදුවීමය. 

පුංචි පැලේ ගස වෙනා කියන්න නොදන්නා අපේ රටේ ඇත්තෝ සියලු ආටක නාටක මැද්දේ හෙට දින කුඩා වුන් කෙසේ වැඩේවිදැයි හිතන්නේද? සමහරුන්ගේ සිහිනය ඔවුනුත් පටන් ගන්නා තැනින්ම මෙගා කිරීමය. උගැන්මෙන් මෙන්ම තරු කිරීමෙන් වශයෙනි ඒ.    තරු කිරීම මෝස්තරයකි. උගැන්වීමද දැන් මෝස්තරයකි. ගණිතය, විද්‍යාව ඉගෙන ගත් පමණින් ලොවම දිනාගත හැකි යැයි ඇතැමෙක් සිතන බව පෙනේ. හැබැයි එබන්දන් බොහෝ කොට ලොවම දිනා තමාගේම ගෙදර අනාගන්නා හෝ නාගන්නා අය බවට පත්වේනම්.. අපේ පුංචි මොළයට වැටහෙන ආකාරයට නම් පරපුරකින් පරපුරකට, මිනිසෙකුගෙන් මිනිසෙකුට හුවමාරු කර ගත හැකි තවත් බොහෝ දෑ ඇත. ඒ තරු උණුසුම, ගණන් පෙන්වීම හෝ විද්‍යා විජ්ජාම නොවේ. බොහෝ කොට පුංචිම වුවත් හිත හැදෙන සැනහෙන දෑය. හරිලොකු ලොකුමලොකු දේවල් වලට වඩා පුංචි කුරුල්ලා වටින්නේ ඒ සැනසුමටය. ලොවක් දිනූ දිග්විජය කළ වුන් ධර්මවිජය කරන්නට හැරෙන්නේ ඒ පුංචි සද්දයේ ඇති මහා බලවත් කමෙනි. 

එනිසා ලොකු දේවල් අවැසි වන බව තේරුම් ගන්නා අතරම පුංචි දේ ඇති වටිනාකමද නොඅඩුව තේරුම් ගත යුතුය. නමුත් සමහර ලොකු රටවල ලොකු මිනිස්සු පවා තම ලොකුකම් නොසිතා තමන්ට මගහැරුණු පොඩි දේ සොයා ආපහු හැරෙද්දී පොඩි දේ අතර ඉන්න අපේ මිනිස්සු අල්ලා ගත හැකි ප්‍රමාණයටත් වඩා ලොකු දේ පස්සේ දුවන්නේ තෘෂ්ණාව නැමැති නොසන්සිදෙන හැගීමක් පසුපස දුවමිනි. ඒත් සියලු ආශාවන් ගැන ගැඹුරින් හිතන මිනිස්සු ලොකු ආසාවන් පුංචි දෙයින් සන්සිදවා ගන්නේ එබදු හඹායෑමෙන් විය හැකි ඉමහත් වැනසීමක් වළක්වා හික්මීමෙන් සැනහෙමිනි.

එනිසා දැවැන්ත බවක් තුළ ඇති කරගන්නා මහා හිස් දෝංකාරයකට වඩා පමණට පුංචිවට දැනෙනා සුමිහිරි බව විදින්නට මේ පුංචි රටේ මිනිස්සු පුරුදු වුනොත්...ඔවුන් ඇත්තටම ලොකුකම් හදාගත් ලොකු තැන්වල ලොකු මිනිසුන්ව නිරායාසයෙන් අභිබවාවි. 

සැබවින්ම වටිනා බලයක් තිබෙන්නේ ලොකු තැන්වල නොව පුංචි ප්‍රතිපදා තුළ ශක්තිමත් වූ ස්ථිර ගුණ ඇති මිනිසුන් තුළයි.

පුංචි දෙයින් පාඩම් ඉගෙන ගන්න කාලය හරි කියලයි අපට හිතෙන්නේ. මිනිස්සු ලොකුවට හිතන්න ඕනෑ තමයි, හැබැයි ඒ පේන ලොකු දේවල්වලට වඩා හැංගෙන, වැළලෙන පුංචි පුංචි දේවල් ගැන. අනිත් අතින් අපි වාසිය තකා නිරායාසවම වගේ  ලොකුවට හිතන්න පුරුදුවෙලා ඉන්න සමහර දේවල් ඇතුළෙ ඇත්තටම හිතන්න පුංචිම දෙයක්වත් නෑ කියල ප්‍රත්‍යක්ෂ වුන දාට පුංචිවට අපි අමකත කරපු පුංචිම පුංචි දේවල් ආපහු මතක් නොවෙනවද කියලත් තමා තුළින්ම හොයල බලන්න. පුරුද්දට වගේ ලොකු තෑගි දුන්න අය ගැනම හිතුවට වැරැද්දක් වෙනුවෙන් පුංචි ටොක්කක් දුන්න මිනිහගෙ වටිනාකමක් එදාට දැනේවි.

Saturday, April 12, 2014

ආවේගයන් හරවමු - කට් නොකළ හැකි ඇක්ෂන් ගැන අවදි සිහියෙන් ඉමු.

අපට කළ හැකි දේ අප නිවැරදි වීමයි. ලොවක් නිවැරදි වන්නට පටන් ගැනෙන්නේ එතැනිනි. අනෙකාගෙන් පටන් ගැනීමට පෙර මගෙන් පටන් ගත යුතුය. ආවේගය ගැනද එබදුමය. මගේ ආවේගය කිසිවෙකුටත් ගැටලුවක් නොවන්නේ යම් සේද එතැනින් නොවේද අප ඇරඹිය යුත්තේ!

වීරත්වය හා ආවේගය අතර අපූරු සම්බන්ධතාවක් ඇත. නමුත් ආවේගයෙන් පමණක් බිහිවන්නන්ට වීරයන් කියන්නේ නැත. වීරත්වයක් ලැබීමට නම් ආවේගය හසුරුවා තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙයක් කළ යුතු වන්නේය. විශේෂයෙන් ප්‍රයෝගික ලෝකයේ වීරයෝ තමන්ටත් වඩා අනුන් ගැන සිතිය යුතුමය. 

නමුත් රගපෑමෙන් උපදින බයිස්කෝප් ලෝකයේ නම් එය වැදගත් කරුණක් නොවේ. මන්ද ඇක්ෂන්- කට් තුළ සියල්ල නිමවන බැවිනි.

නමුත් කට් කළ නොහැකි ඇක්ෂන් පාට් බයිස්කෝප් ලෙසින් හැබෑ ලෝකයේ විනාශකාරී ලෙස අත්හදා බලන්නට කෙනෙකු පෙළඹෙනවානම් එය ඉතා බරපතළ තත්වයකි.

බොහෝ ජනයා දෑහින් බලා සිටියදී විවිධ අවදිවල සිටි විවිධ විෂම පුද්ගලයෝ තම තමන්ගේ නා නා විධ ආවේග මුදා ලූයේ ලජ්ජාව හෝ බිය තඹයකට නොතකමින් බව පතපොතේ එන ඉතිහාසයේද කියැවෙයි. දං ගෙඩියට ගෙල පෑ වීරයෝ  මෙන්ම නින්දිත දූෂකයෝද ඒ අතර සිට ඇත. ලේ කදුළු අතර මහා අරගල බිහිව ඇත්තේ එතැනිනි. ලජ්ජාව හා බිය ලෝක පාලක ධර්මතා ලෙසින් දහමෙහි කියා තිබීම අරුමයක් නොවන්නේත් මෙනිසාය. මරණය මෙන්ම වරණයද අබිබවා ‍යන මේ කාරණා සියල්ල පටන් ගැනෙනුයේ ආවේගයෙනි. හොද ආවේග ඇවැසි බව කියවෙන ලෙසම නරක ආවේග යටපත් කළ යුතු බවද කියවෙන්නේ නිකම්ම නොවේ.

රස්තියාදුකම ඉවවහා ගිය ලෝකයක මේ ගැන කතාව සමහරෙකුට විහිළුවක් වුවත් සැබෑව ඉන් යටපත් නොවන්නේය. එබැවින්ම අපි ශුද්ධ රස්තියාදුවක් ගැනද කියන්නෙමු.

කලකදී අපිද ආවේග වලට ගොදුරුවීමු. ඒවා විවිධ විය. විෂම විය.

ඒ බව වැටහුණු නිසාම රස්තියාදුවේ යෙදෙමින් ආවේග හැරවීම පිණිස විවිධ මාර්ග සොයන්නට වීමු.

මමම කියවනු පිණිස මටම ලියූවෙමි. ආවේග හරණයක් එයිද සිදු විය.

එක් ලෙසකින් සමහර ආවේග නිවස තුළම සාකච්ඡා මාර්ගයෙන් විසදිණි.

තවත් ලෙසකින් වේදිකාවක නිදහසේ රගන්නට නාටකයක් තනා ගෙන තවත් ආවේග බාගයක් මුදා හැලූයෙමි.

සමහර දේ සමහරුන්ගේ මුහුණටම කියා ආවේගය පිට කරගත්තේ කිසිවිටකත් ආවේසයකින් නම් නොවේ. පාලනයෙන් යුතු ස්ථානෝචිත කතාවකට අවතීරණ වීමෙනි. 

ඒ සියල්ල පිළිබද කෙටියෙන් කියන්නේනම් සුදුසු තන්හී ස්ථානෝචිත ලෙසින් විසදුනා යැයි කිව හැකිය. 

නමුත් ආවේග නොසිදෙන සුළුය. තවමත් ආවේග ඇති වන්නේ පණඇති ප්‍රාණියෙකු නිසාය. නමුත් ඒවා රටකට ජාතියකට තබා මොහොතකට හෝ මිනිහෙක්වත් අවුල් කළා නම් බිංදුවට වඩා සුළු අගයකින් දශම ගණනකින් බව වගකීමෙන්ම කියමි. කොහොමත් උපරිමය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට නම් ගියේම නැත.

නමුත් ඉවසීමෙන් කිසිත් නොකොට දෙනෝ දාහකට බලපාන අයුරින් තමාගේ ආවේග  දසත මුදන්නට යෑමෙන් මෙලොව පමණක් නොව තවත් ලෝක කීපයකටම බලපානා අයුරින් කාරණා කටයුතු සිද්ධ වෙන බව මේ තරම් වූ ජාල ගත ලෝකයක කුරා කුහුඹුවාටත් තේරුම් යා යුතුය. 

පුංචි හොදක් මහා බලයක් කරගත හැක්කේ යම් සේද නොමනා ස්ථානිය හා අස්ථානීය ආවේග මහා විනාශයන් උදා කරන්නේය. අපටද රටටද ලොවටද එවැනි ආවේග ගෙන දුන් හානිය අපමණය.

එබැවින් ආවේගය  මුදා ලිය යුත්තේ නුවණට ආවැඩෙන අයුරෙනි. කාරණය පහසු නැත. නමුත් වැටි වැටී හෝ නැගිටින්නට මිනිසා උගත යුතුමය.

හරුපයේ තෙවැනි අර්ථයෙන් රස්ටාගේ ආවේගයේ සිට හලෝව්ගේ වේගය වෙත ගෙන යා යුතු ජීවිත නොහොත් නව ලොව ජීවිතය වෙනුවෙන් අවබෝධ කළ යුතු හලෝව් රස්ටාගේ යථාර්තවාදී හරුපය  

Friday, March 7, 2014

විකල්ප - පීනා හෝ එගොඩ වෙමු

මෙගොඩ සිට එගොඩට යාමේදී වැදගත් වන්නේ දෙගොඩ අතර අතරමැදි ප්‍රමාණයයි. ගංගාවේ පළල, වගේම දිය ගැඹුරුද යන්නත් කිඹුලන් සැරිසරන්නේද යන්නත් වැදගත්. මේ තොරතුරු හරි හැටි නිරවුල් නම් යන්නේ පහුරෙන්ද පීනා එගොඩ වෙනවාද යන මූලික සරල තීරණයට එළැඹිය හැකිය.

අපි එගොඩ වෙන්නට විධි සොයමින් සිටින්නෙමු. දියුණුව, සංවර්ධනය ඇත්තේ එගොඩයි. තවමත් අපි මෙගොඩයි. හැබැයි ඔය දියුණුව සංවර්ධනය අපේක්ෂා කරන්නේ ආර්ථිකමය අංශයෙන්ම පමණක් නොවේ. මනුසත් කමද දියුණුව සංවර්ධනය කරා යා යුතුය. ඉදින් එහෙව් දියුණුවක් සංවර්ධනයක් නැමැති එගොඩක් කරා යාමේදී සමහරු ධනවාදී පහුරක් ගැන කියති. සමහරු සමාජවාදී පහුරක් ගැන කියති. ගගේ කිඹුල්ලු නැති නම් පීනා හෝ එගොඩ විය යුතුයි සිතනා අපට නම් ඔය ධනවාදී හෝ සමාජවාදී පහුර මත්තේ නැහෙන්නට ඕනෑ නැත. පුළුවන් නම් දෙකම කඩා හෝ වඩා හොද පහුරක්, ලොකු පහුරක් හදා ගෙන වැඩි දෙනා එගොඩට යාම තැනට සුදුසු නුවණයි. ඵලදායී නුවණයි. 

ආර්ථිකයම පතා ගොහින් විහින් නැහෙනවාද? සමානාත්මතාවම පතා ගොහින් නාස්ලනුවක් දමා ගන්නවාද? යන පැනවලදී නුවණැති පිළිතුර නම් ආර්ථිකය පමණටත් සමානාත්මතාව පමණටත් ගෙන යන ගමනට පෙරමුණ දීමයි. ආර්ථිකය මත සියලු දේ තීරණය නොවන්නා සේම සමානාත්මතාව උදෙසා ක්‍රියා කළ හැකි වුවත් කප්පාදුවෙන් හෝ වාත්තුවෙන් සර්ව සම්පූර්ණ සමානාත්මතාවක් රදාපැවැත්විය හැක්කේද නැත. එබැවින් වඩා වැදගත් වන්නේ කළ හැකි දේ හා කළ යුතු දේ කිරීම විනා අන්තගාමී වීම නොවේ.‍ පහුර කරතබා ගෙන, අප එගොඩ වීමට වඩා පහුර එගොඩ කරවීමට තැත් දැරීම මෝඩ කමකි. එමෙන්ම අනෙකාගේ කකුලින් ඇද හෝ අනෙකාගේ ඇග මතින් හෝ තමා පමණක් එතෙර වුව හොත් සෑහේ යැයි සිතීම දුෂ්ට කමකි. එබැවින් අනෙකාටද සාධාරණ ඉඩක් තබා අප ගං තොටේ රැදිය යුතුය. පහුරකින් හෝ පිහිනා හෝ එගොඩ විය යුත්තේද අනෙකාගේ ඉඩ අහුරමින් නොවේ. මේ ගංගා තරණය තරගකාරී කරගත යුතුද නොවේ. මන්ද වඩා වැදගත් වන්නේ ගගින් සෑම දෙනාටම නිරුපද්‍රිතව එතෙර වීමට හැකි වීම ‍මිස පළමුවෙනියා දෙවැනියා තේරීම නොවන හෙයිනි. නුවණක්කාරී බව යනුද එයමයි. 

එබැවින් පහුරු කර තබා ගෙන යනවාට වඩා ගංගා තරණය ගැන වෙහෙසීම මැනවි. තමාගේ ශක්තියෙන් අවස්ථානුකූලව කළ යුතුදේ තමාම තීරණය කිරීම මැනවි. එහිදී ආර්ථිකය මෙන්ම සමානාත්මතාවද සැළකීම මැනවි. 

ලොව ඉදිරියට යන්නේ තරගකාරිත්වය මතම නොවේ. තරගකාරිත්වය අත්කරදෙන්නේ දියුණුවක්ම ද නොවේ. ලොව නිවැරදි දියුණුව කරා යොමුවන්නේ පුද්ගලයා වශයෙන් එකිනෙකා තමා කළ යුත්ත කිරීමෙනි. කළ හැකිදේ කිරීමෙනි. නිවැරදිව කිරීමෙනි. එබැවින් වඩාත්ම සැළකිලිමත් විය යුත්තේ කළ යුතුදේ හා නොයු‍තු දේ හදුනා ගැනීමටයි. එහිදී වාද භේද හිසින් හිතින් ගැනීමට වඩා හැළීම වැදගත්ය. මන්ද ඒ නිදහස් භාවයම තමන්ගේ ගමනට අවැසි අවධානය එයටම යොදන්නටත් එනිසාම එගොඩ දක්වා ගමන සුන්දරව ඒ ඒ මොහොතේදී නිසි රිසි ලෙස ක්‍රියාකරමින් යන්නටත් අවස්ථාව පෑදෙන හෙයිනි.

Thursday, February 6, 2014

සාධාරණය හා යුක්තිය හදමු

දෙවර්ගයක මිනිස්සු නිතර සාධාරණත්වය හා යුක්තිය ගැන කතා කරති. පළමු වර්ගය තමන්ට වැරදුනු තැන සාධාරණය හා යුක්තිය කතා කරන පුලන්නෝය. දෙවැනි වර්ගය ජාත්‍යන්තර චින්තනධාරී සාධාරණ හා යුක්තිගරුක ප්‍රතිරූපධරයන්ය. මේ අතරමැද ඉන්නන්ගෙන් බහුතරය අන්ත අවස්ථාවාදී ලෙස ක්‍රියාකිරීමට හුරු කරන ලද්දන්ය. ඒ අවස්ථාවාදීත්වය කොතරම්ද යත් එය අද වන විට තැනේ හැටියට ඇණේ ගැසීමත්, වැල යන අතට මැස්ස ගැසීමත් යන සම්ප්‍රදායටම යටවී සම්මත සාධාරණීකරනයකට යටත් කර ඇත්තේය. නමුත් මේ අතරමැද නිවැරදි දිශානුගතව ක්‍රියාත්මක වන සුළුතරයක්ද සිටින බව නොසිතිය නොයුතුය. නමුත් ධනයත් බලයත් මත සියල්ලන්ගේ දෑස් නිලංකාර කරන විට මේ සුළුතර මතය හෝ බලය නොපෙනෙන්නේය. නමුත් සමාජයක සාධාරණය හා යුක්තිය හැදිය හැක්කේ අවස්ථාව හා පක්ෂය නොබලා ප්‍රතිපදාවෙන් ඒ උදෙසා පෙනී සිටින්නන්ට පමණි. 

තමන්ට වැරදෙන තෙක් අසාධාරණය හා අයුක්තිය ගැන නොදකින්නෝ සිය හොට පැටලුනු විට සාධාරණය හා යුක්තිය ඉල්ලා ආඩපාලි කියන්නෝය. සමහරු එතැනින් ‍ඔබ්බට ගොස් සමාජ සාධාරණය තකා යුධ වදින්නටත් කල්ලි තනන්නටත් වෙහෙසෙන්නෝය. මේ සියල්ල කෙටි කාලයකින් නිමවී යනු අප දැක ඇත. 

එමෙන්ම ජාත්‍යන්තර චින්තනධාරීහුද මතවාදීව සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිති. එය එක්තරා පැත්තකින් හොද වෙළද පොළකි. තමන්ගේ පුද්ගලභාවයට තවරා ගත හැකි හොද අයිසින් තට්ටුවකි. මානව හිතවාදීන්, මානව ප්‍රේමීන්, නායකයන් කියාගන්නා පිරිස් එබදු ලෙසින්ද ජනිතව සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෝය. 

මේ ජවනිකාමය සාධාරණය හා යුක්තිය ‍හුදෙක් තමන්ගේ පුද්ගලභාවය, ධනය, ව්‍යාපාරය හෝ දේශපාලනය වෙනුවෙන් මිස සැබෑවටම සාධාරණයේ හෝ යුක්තියේ අවශ්‍යතාව පිරිමසනු සදහා නොවන බව අපි කොතරම් නම් දැක ඇත්ද? එහෙත් ඒ ඒ විෂයේදී මෙන්ම සමස්ථයේදීත් සාධාරණය හා යුක්තිය තේරුම් බේරුම් කර ගැනීමට තරම් ඉවසීමක් මෙන්ම සමහර තැනකදී නිර්භීත කමත් සමහර තැනකදී බුද්ධියත් නොමැති වීමෙන් අපි තවමත් පීඩා විදින්නෙමු. 

සාධාරණය හා යුක්තිය යනු කුමක්ද? එය වටහා ගත හැක්කේ තමාටම පමණි. නමුත් එය වටහා ගැනීමට නම් ඒ තැනැත්තා තුලාවක මධ්‍ය ලක්ෂ්‍ය මෙන් විය යුතුය. තමන්ගේ වාසිය ගැන පමණක් තකන්නට හුරු කරන අද ලෝකයේ හැබෑවටම තුලාවේ කටුව වන අය මිසක් මධ්‍ය ලක්ෂ්‍ය සේ ස්ථාවරව හිද පැත්තේ බර අනුව කටුවෙන් පෙන්වන වෙනස දකින්නට ඉඩ හසර විවර කරන්නෝ වෙත්ද? නැත්තේම නැත.

මෙය කළ යුත්තකි. පටන්ගත යුත්තේ තමාගෙන්මය. තමාට තමා තුළ කොතරම් සාධාරණව ක්‍රියාත්මක විය හැකිද, යුක්තිසහගත විය හැකිද? 

කන්ට නැතිව හිටියත් පගාව නොගෙන ජරාව නොගෙන ජීවත් විය නොහැකිද? 

නිසි විය‍දමෙන් දිවිය සරි කොට ගෙන වංචාවට දූෂණයට දෙන තල්ලුව නැවතිය නොහැකිද?

තමන්ගේ ශක්ති ප්‍රමාණයට මිස අදිසි හස්තයන්ගේ බලයෙන් වරදාන නොලබා ජීවත් විය නොහැකිද?

පින තකා මල්වට්ටියට අත ගසන සේ තම පරමාධිපත්‍ය පක්ෂ පාට නොතකා නිවැරදි තැන නිවැරදි ලෙසින් භාවිත කළ හෝ හළ නොහැකිද? 

තමා නිවැරදිතැන නිවැරදි සේම වැරදිතැන හෘද සාක්ෂියට එකගව වරද පිළිගැනීම හා එතැන් සිට නිවැරදි මග ගැනීම කළ නොහැක්කක්ද?

අනුන්ගේ ක්‍රියාව කුමක් වේවා තමන්ගේ ක්‍රියාවට තමන්ට සපුරා වග කිව නොහැකිද? එසේ කළ නොයුතුද?

තවත් බොහෝ කළ යුතු හා කළ හැකිදේ විවිධ හේතු මත සාධාරණීකරනය කරමින් නොකරන්නට අපේ රටේ බොහෝ දෙනා දක්ෂයන්ය. එයට හේතුව රස්තියාදු ලෝකයක රස්තියාදු වීමට වඩා නිසි මග ගැනීමට ඇති හීන වීර්යය මිස අන් කවරක්ද? සැබවින්ම මේ හීන වීර්ය නිසාම බොහෝ දෙනා දෙසන්නෝ මිස කරන්නෝ නොවී හිදිති. කරතොත් බොහෝ විට තමන්ගෙන් නොව අනෙකාගෙන් ඇරඹුම බලාපොරොත්තු වෙති.

තනි තනිව අප පටන් ගත යුතුය. රටක සාධාරණය හෝ යුක්තිය ප්‍රශ්න කරන්නට තරම් අපි ජගත්හු වන්නෝ එවිට මිස ජාත්‍යන්තර චින්තනධාරී ලෙස සිතූ පමණින් නොවේ. අද හැමදේ ප්‍රශ්න කරන්නට සූදානම් අප කොතරම් නම් සාධාරණ හා යුක්ති සහගත අයවලුන්ද යන්න සිතා බලනු වටී. ප්‍රතිපදාවෙන්ම සැබෑ ශක්තිවන්තයෙකු ලෙස නොව වාසියට හෝ නොදැනම බළල් අතක් වී අප අසන ප්‍රශ්න හුදෙක් වැරදි දිශාව වෙත බදින තවත් හිනිමංම බව සාධාරණය හා යුක්තිය පිළිබද මේ පුංචි රස්තියාදුව ශුද්ධ වෙමින් යන විට මට හැගෙන්නේය. 

අපට යම් කරු‍ණක් වෙනුවෙන් පෙනී‍සිට එහි සැබෑ සත්‍ය වෙත යම් බලපෑමක් කළ හැක්කේ අප කොතරම් ප්‍රතිපදාවෙන් ඒ කරුණු කෙරෙහි ක්‍රියා කොට ඇතිද යන්න මතය, නැත්නම් එය හුදෙක් පුස් වෙඩිල්ලක් පමණක් වීම වළක්වනු නොහැකිය. ස්වභාව ධර්මයාගේ අපට පරාජය ‍කළ නොහැකි තැන එයයි. කිසියම්ම සත්‍යතාවයක් මත නොපිහිටා කරන කටයුතු සියල්ලක් කෙදිනකවත් අපේක්ෂිත නිසි ප්‍රතිඵලය ගෙන දෙන්නේ නැත. 

කළ නොහැක්කක් නොමැත යන්න හැබෑ පොළවේ විෂ නොවී ඵලදරන්නට නම් අපි සැබෑ අවෛරී හා මෛත්‍රී හැගීමෙන්ම ඒ වෙත ක්‍රියාකළ යුතුය. අපේ මහ පොළවේ හැබෑ ඵලදැරීමක් කරන්නට නම් එකිනෙකා බැගින් සැවොම වෙහෙසිය යුතුය. වාණිජත්වය හාත්පස උතුරා පිටාර ගැලූවත් ඒ වාණිජත්වය තුළ නිවැරදි සාධාරණ හා යුක්ති සහගත ඉසව්ව වෙත පිහිනීමට අප දිශානු ගත විය යුතුය. එ් එල්ලේ පිහිනිය යුතුය. නොකළ හැකි දේ පසෙක තිබියදී කළ හැකි අවම දේ හෝ ‍ඉටු වන්නේ එවිටය. 

සාධාරණය හා යුක්තිය හදමු මගෙනුත් ඔබගෙනුත් අරඹා...දායාද කරමු එය මව් පොළවට, උපන් බිමට...