Showing posts with label රස්ටා-3. Show all posts
Showing posts with label රස්ටා-3. Show all posts

Monday, October 8, 2012

2012+

සාමය සමෘද්ධිය සතුට ජය සමඟ යහපත් සියළු දේ සදහා සැමට නොකො‍මා සුභ පැතුම්..

අදියරක් නිමා කොට රස්ටාගේ අලුත් ලිවීම අරඹන්නට අවසරයි මෙතැන් සිට..

බලමු ඉදිරිය... රස්තියාදුවේ හැබෑ ශුද්ධ හැඟුම් කියවන්නට රිසි සැමට ආරාධනා...

කතා

කතා ඇති කියන්න වෙන්නෙ වැඩ පටන් ගන්න ඇත්තටම ඕන වුනාම. පළමුවෙන්ම කතා කරල ටිකෙන් ටික හරි ඒ දේවල් ශුද්ධ බුද්ද කර ගත්තෙ නැත්‍නම් කිසිම ‍හරයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නෑ කියන්නෙ ආපහු වැඩක් නෑ කියන ‍එකනේ. 

ඒ නිසා කතා කොට තේරුම් ගත් හරය වෙනුවෙන් දෙවනුව ලැහැස්ති වෙන්න ඕන ක්‍රියා කරන්න. එතකොට එන ප්‍රශ්නෙ තමයි කොහොමද ක්‍රියා කරන්නෙ කියන එක. ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයත් ඒක. අපිට අනුන්ගෙ කියුම් කෙරුම් වැඩක් නෑ, අපි මොනව හරි කරමු කීවට ආපහු එහෙම කියන අයගෙ වැඩත් ගොඩක් වෙලාවට ඔවුන් විවේචනාත්මකව හිතපු මුල් සාම්ප්‍රදායික ක්‍රමේටම වැටිලයි ආපහු නවතින්නෙ. එතකොට පටන් ගත්ත තැනමයි.

හැම දෙයක්ම චක්‍රකයට වැටෙන ලෝකේ ඒකෙන් මිදෙන්න පුළුවන් දේවල් නැතිද කරන්න?

සීයට සීයක් නැතත් කීප ගුණයකින් හරි එහෙම දේවල් නැත්තෙත් නෑ. ඒ මොනවද කියල හදුනගන්නත් ඒ ‍දේවල් ක්‍රියාත්මක කරන්නත් නිකම් බෑ. හිතන්න, මහන්සි වෙන්න ඕන. 

කතා ඇති කියල ඇත්තටම දෙයක් පටන් ගන්න පුළුවන් වෙන්නෙ එතනදි. හැබැයි ඒකත් අපි කියනවට වඩා වෙනසක් දනවන දෙයක් බව සැබෑවට සමාජයකට දනවන්න පුළුවන් නම්, එදාට අපි සාර්ථකයි. හැමදාම හැමදේම රැදෙන්නෙත් නෑ. ඒකත් ඒ අතරම මතක තියාගැනීමත් වටිනව.

විචාර සීමා කරගෙන බලමු ඉදිරිය, 

හමුවෙන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

තාරුන්නිය

අපේ ඇස් වහලා

ඒක සැපයක් වීලා

නොදැක වස කලා

දිරවනු පිණිස පොවලා

 

මං වින් නම් මෝඩයා

ලෝ නම් රට ගිය පුතා

උන්ට ගිය ලෝකයා

ඌව රකිනා කෙරුම් දූතයා

 

කරනු කිම මල්ලී

ඇයි ඕවයේ එල්ලී

මෙහේ හැටි මල්ලී

බීපන් උණට කොත්තමල්ලී

 

ඕව මොන ජාතී

ලොක්කො නොවැ ජාතී

වැදගෙන හෑම ජාතී

පතමු පිහිටක් ජාති ජාතී

 

ලජජාව නැති රාළේ

කීවයි නොකීවයි කාලේ

රමණ වන තාලේ

අතුත් පොඩි දී නටන් රාලේ 

 

හමුවන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

අනාග‍තේ

අනාග‍තේ අ‍පේ අ‍තේ යැයි කියන්නේ මත්තට ලොකු වන්නට සිටින පොඩි උන් නොව මෙහේ බලයේ සිටින කෙරුමෝයි. එබැවින්ම කවදා මුත් මෙහේ එහෙව් වූ අනාගතයක් නම් උදාවන්නේම නැත.

කේතුමතියේ නොව මෙහේ සැබෑ හෙටක් නිර්මාණය නොවන්නට හේතු කීපයක් රස්ටා දකින්නේ දශක දෙකකට මදක් වැඩිවූ නමුත් මේ ජීවිත රස්තියාදුව නිරන්තරව හොද හැටි ශුද්ධ කොට ගන්නා කෙනෙකු වීමේ හේතුවෙනි. 

ඒ අනුව, පළමුවැන්න නම්,,

මෙහේ කෙරුමෝ ආඩිහතේ කතාන්තරය නිරූපණය කිරීමයි. 

කෙරුමෝ රට කරවති. වටේ සිටින උපදේශකයෝ කලා කරුවෝ වේවා, වන්දි භට්ටයෝ වේවා, හිතවතුන් වේවා, කෙරුමෝත් සමඟ මේ උදවිය රඟන්නේ සාමන්‍ය ජනයා නොදකින ආඩි හතේ කතාන්දරයයි. 

මම විශ්වාස කරන ලෙසට නම් සැබෑ නායකයින් කියන්නවුන් ජීවිතයෙන් ම ආදර්ශ දුන් උදවියයි. එහෙව් කොට මීඩියා වල රඟන්නන් නොවේ. ආඩි හත රංගය යනු සියල්ලන්ටම පෙනෙන සේ හෙට අනාගතය වෙනුවෙන් තැනෙන කැද හැලියට දායක වන බව අතිශය තාත්වික ලෙස රඟා පෙන්වීමයි. කලා කරුවෝ ආදීන් උත්පත්ති හැකියාවත් සතත අභ්‍යාසයත් නිසා මේ රංගනය හොදින්ම කරති. ඒ අනුව කැද හැලිය වෙනුවෙන් හාල් නොදමන්නෙක් නොමැති තරම්ය. දර දිය නොඅදින්නෙක් නොමැති තරම්ය. එපමණකට දේශ ප්‍රේමය උතුරන්නේය. හැලියේ වතුර හොදට නටන්නේ හැලියට දර ඇද හොදට ගිනි පිබින නිසාය. දියද යහමින් දමා ඇත. එ‍හෙත් කවුරුන් අතරත් කුප්‍රකට සත්‍ය සැලියේ හාල් නොමැති බවය. නමුත් එහි වගක් නොදැනෙන පරිදි රංගය ඉදිරියටම යන්නේ යටිපෙළෙහි තම තමන් කෙරුමෝ ආශ්‍රයෙන් දිනා ගන්නා මාන්නය රැකෙන පරිදිය. කෙරුමෝ සියල්ලන්ටම රංගය උදෙසා හොදින් සළකන්නේය. දාන මාන දෙන්නේය. ඉදින් කෙදි‍නකවත් මේ කැද හැලිය තැනෙන්නේ නැත. මති මතාන්තර විවිධ වේවා අහිංසක හෝ එඩිතර කොල්ලන් යුද්ධය දිනා දුන්නෝය. එහි ගෞරවය ගැන තවමත් පූචානම් කෙළවර නැත. එය ඊළඟට අවසනාවකට හෝ මෙබන්දක් සිදුවන තෙක්ම නවතින්නක් නොවේ. මෙහේ එහෙමය. 

කැද හැලිය ගැන කතාව නම් අපි දන්නා කලක සිට මතුවටත් අනාගතයටත් සංවර්ධනය ම වෙමින් සිටින්නෙමු යන්නයි. අපේ උදවිය මේ රට වූ තරමක රස්තියාදුව අවංක සිතින් ශුද්ධ කරගැනීමට පෙළඹෙන දිනයක් තෙක්ම කැද හැලියක් තැනෙන්නේ නැත. කැද කියා පට්ට උණු වතුර බී හරි අපූරු කැද යයි කියනා පිරිසක්ද වෙති. දිව උණුවතුරට පිච්චුනත් ඒ කතා වෙනසක් වෙන්නේ නැති. ඔවුන් තවත් වසර 25 කට පසු තේරුම් ගන්නා දේ නම් අපි එදා කරේ කුමක්ද යන්නයි. එතකොට කොරන්නට වන්නේ තවත් 25 ඉදිරියට හිතා ළතවීම පමණි. අහේතුවක මහත. කවදා කාට මේ කැද උගුරක් බොන්නට ලැබේද යන්නයි.

අවසන් තරගයට එන අපිට ඒක ගහගෙන දිනන්නට බැරි අපගේ අවිනිශ්චිත මානසිකත්වයයි. ‍රටම සංවර්ධනය වෙමින් තිබෙනවා මිස ඉන් ගොඩ ඒමක් නැති සේම අපිද අවසන් වටයේම හිදීම මිස ඉන් ඔබ්බට පය නොඋස්සන්නේත් සැබවින්ම බුද්ධිමත් කොල්ලන් රැසක් සිටින ක්රීඩා කණ්ඩායම් වලටද ඔවුන්ටත් නොදැනීම මේ කැදහැලියේ මානසිකත්වය කාන්දු වී ඇති නිසා දැයි විටෙක සිතෙන්නේ මේ කැද ප්‍රශ්නය රටේ හෙට ගැන සැබෑම ප්‍රශ්නයක් වෙන නිසාය.

කෙසේ හෝ වේවා, අපේ උන්දැලෑ මැරෙන බව දන්නා මුත් ලැබුනොත් බලේ අත්හරින්ට නම් සූජානමක් නැත. අපිට අනෙක් රටවල් වැඩක් නැත. මෙහේ සිටින්නේ ලෝකයේ උතුම්ම ආගම් ඇදහීම් කොට ගත් පිරිස්ය. එබන්දන් බලය වෙනුවෙන් දිවි නොතකා නැ‍හෙනවාද? නමුත් එය මෙහේ සත්‍යයි‍‍. බලය භාවිතා කොට සැබෑ ගොඩ නැංවීමක් පිණිස නායකයා අමුඩය ඇන්දාත් ජනතාව හිනා නොවේ. ඔවුනුත් අමුඩය ඇදීමට සූදානම් වනු ඇත. නමුත් ප්‍රශ්නය ජනතාවට අමුඩ ගහන්නට කියා පාලකයින් බොටම් හැදීමය. පාලකයන් යනු අකාශයෙන් පැන නැගී අප මුදන්නට ආ පිරිසක් නොවේ. ඔවුනුත් බලය ලැබෙන්නට පෙර රටේ හුදී ජනයාය. කුල ගෝත්‍ර වාදයට යුගය මෙය නොවේ. එනිසා එය කල් ඉකුත්වී ඇති බව සැලකුව මනාය.‍ කුල ගොත, වගතුග අපට වැඩක් නැත. බලය ලැබුනද හුදී ජනයා නියෝජනය කරන්නා වූ නායකයා ඔවුන්ගන් මිදී නොයයි. අතේ ඇගිලි ගණනට හෝ ලෝකයේ පරම ආදර්ශන නොවුනත් ආදර්ශයට ගත හැකි නායකයින් ගැන අප අසා ඇත. ඔවුන් නම් ඉතිහාසයේ කැද හැලි තැනූ ආඩින්ගේ ගොන්නට වැටී නැත. 

කාවුරුත් දන්නා, කාටත් වැටහෙන සුපුරුදු සත්‍ය එක් එක් අර්ථ ගැන්වීම් තුළ දෙසාබානවා විනා තමන්ට තමන් අවංක නැති නිවටුන් බහුතරය නම්, ඔවුන් මෝඩයන් හැටියට අමතක කර දමා අපි අපේ යුතුකම නොපිරිහෙලා ඉටුකරනු වටී. එය කවුරුත් සැනසීම උදෙසා නොව අප සැනසීම පිණිස මැයි, යහපත පිණිස මැයි. ඉදින් මෝඩයෝ නම් 25 කින් පසු මෙය තේරුම් ගනු ඇත. 

මෝඩකම් අඩුවේවා, රංගන හැකියාව නළු වෘත්තිකයන්ට ලැබේවා.

ඕනෑම දෙයක් සැබෑවක් කිරීමට නම් ඒ ක්රියාවට අදාළ කැපවීමට ඉහළ සිට පහළටම නියම වූ වගකීමක් ඇත. එය කැදහැලි රංගනයකට සීමා කරගන්නේ නම් රැවටෙනු ඇත්තේ අනාගතයේ ඒ ආඩීන්මය. එයට වන්දි ගෙවීමට සසරේ කවදා හෝ සිදුවනු ඇත. 

අපරාධයට ද‍ඩුවම පෙනී හෝ නොපෙනී නියතය.

ගිහින් එන්නම්..

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

Sunday, October 7, 2012

ස්කෝ..

මැච් එකක ස්කෝ කරන්නත් ඕන හා ලැබෙන වෙලාවක් තියනව. ඒ වෙලාව හරියට පාවිච්චි කරන්න බැරි වුනොත් කාටත් එකම සන්තෑසිය පැරදීම තමයි. ඒකෙන් බේරුණොත් පූරුවේ වාසනාව සීයට අනූනවයක් බලපාපු අවස්ථාවක විතරයි. ඉතිං නොදන්නා පූරුවේ වාසනාව ගැන නොහිතා ජීවිතේත් හරියට මැච් එකක් වගේ කියන්නත් සුදුසු මේ ‍වගේ වෙලාවක්ම තමයි. 

අපිට මේ අත්දැකීම් ගොඩක් තිබිලත් ඒ රස්තියාදු ශුද්ධ නොකරගන්න නිසාම හැමදාම ගොඩක් සමානම දේ භුක්ති විදින්න වෙනව ජීවිතේදි වගේම.

ස්කෝ කරන්න පුළුවන් මැච් එකෙත් ජීවිතෙත් මුල් කාලෙ. ඒ මුල් කාලෙ නිකම්ම ගතවෙලා ගියොත් අවසානෙ පීඩනෙ වැඩි වෙන එක ගැන ආයෙ කියන්න  උවමනා නැහැ. මුල් කාලෙ හොදට ස්කෝ කරන්න නම් ඉක්මණට පිටිය තුළ ස්ථාවර වෙන්න ඕන. එහෙම නැතිව නිකම්ම පිටියෙ රැදිල හිටියට විතරක් වැඩක් වෙන්නෙ නැහැ. අනික එහෙම රැදිල ඉන්නවනම් අවසාන මොහොතෙ, උචිතම වෙලාවට හොදට ස්කෝ කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් මැච් එක වගේම ජීවිතෙත් පරදින්න වෙන්නෙ අවසාන මොහොතෙ එන ලොකු පීඩනයට මුහුණ දෙන්න බැරිව. 

ඒක නිසා හිතන්න අවස්ථාව මුලින් ගන්න ඕන. වැඩේ වුනාට පස්සෙ කරන්න පුළුවන් දෙයක් නැහැ. ජීවිතේ තරුණ අවදිය රස්තියාදුවේ විතරක් ගිහින් වයසට යනකොට ඒ රස්තියාදුව ශුද්ධ වෙයි කියල හිතුවොත් වෙන්නෙ අවසන් ඕවරේදි ගහල මැච් එක දිනන්න යනව වගේ අවදානමක් ගන්න එක විතරයි. හැබැයි මුලින්ම ඒ රස්තියාදුව ශුද්ධ කරගෙන ජීවිතේ හතර මායිම හොයාගෙන තිබ්බ නම් මැච් එකේ රන් රේට් එක ඇල්ලුව වගේ අව‍සානෙට ඊසි බැට් කරල දිනන්න පුළුවන්, සමහර විට වෙලාවටත් කලින්. ඒ කියන්නෙ නියමිත ඕවර ගානට පෙර.

හැබැයි අපි කවුරු මොනදේ කතා කලත් මෙහේ බොහෝ උදවියට (රස්ටා කලිනුත් කියා ඇති පරිදි) කියූ දේ පිළිබද සත්‍ය ඥාන, කෘත්‍ය හා කෘත ඥානය පහළ වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 කට පසුව පමණ වන නිසා එබන්දන්ට මැච් එක සේම ජීවිතේද ගැන තේරුම් ගන්නට වෙන්නේ තවත් අවුරුදු විසි පහකින්. ඒ සදහාද හේතුවක් තිබේ. නිකම්ම අවබෝධ වෙන තුරු සිටිනවා මිස මෙහේ යමක් අවබෝධයට වීරිය කරන්නන් අඩුය. කෙසේ නමුත් රස්ටාගේ පැතුම මේ 25 අඩුවේවා යන්නයි. හැබැයි එය නිකම්ම නම් සිදු නොවනු ඇත. කොහොම නමුත් නැවතත් ප්පරාර්ථනය, 25 අඩුවේවා..

එතෙක්..

හමුවෙන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

හුරේ..

අනාවැකි කීවා ඇති දැන්. 

කාලයක් තිස්සෙ අවසන් තරඟවලට වලට ආපු ක්රීඩකයින් ගැන අනාවැකි කීවා.. කණ්ඩායම් ගැන අනාවැකි කීවා..

ඇති.

තවදුරටත් අනාවැකි උවමනා නැහැ. 

කාරිය, 

වීරිය ඇති නම් රට පෙරටුවේ තබා දිනන්න. ජය ඔබටයි. සුභ පැතුම්..

 

එක බැගින් දෙක බැගින් අවසන්ම හතරක්ලු

අවසානෙ ජය ගන්න බැරි කමක් නැති වීලු

ඒත් එක පුරුද්දක් අනාවැකි වැඩිවීලු

ජය පතමු වීර කම හැකිකමෙන් දිනන්නලු..

 

රස්තියාදුවේ හයිය පරාජයෙන් ජය වෙත යාමයි.

එතෙක්..

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

Saturday, October 6, 2012

ලෙඩ

ලෙඩ ගැන මා දරන්නේ වෙනස්ම ආකල්පයකි. ඊට පළමුව කිව යුත්තේ ආරෝග්‍ය පරම ලාබය බව මගේ ඇදහීම යන්නයි.

කෙසේ නමුත් හෙම්බිරිස්සාව වැනි දෙයක්, වැටීමක්, තැලීමක් ජීවිතයට අවශ්‍යම බව මාගේ විශ්වාසයයි. හංදියේ ෂොප් කලාවෙන් කෙටි කෑමට වඩා මල්ලිත් මමත් පමාවී හෝ ආ වැස්සට එදා තෙමුනේ නම් යහපති. රස්තියාදුවක් නැති නොතැලි ජීවිතේ හැදි නොගා හැදූ හොද්දක් සේ පමණක් නොවේ. එය පදම් නොවූ පිත්තකි. පිත්තක් පිතිකරුවාට හොදින්ම හැසිරවිය හැක්කේ එය අතටත් බෝලයටත් හොදින් පදම් වූ පසුවයි. 

වැස්සෙන් අව්වෙන් පදම් නොවී ඒසී , බිසී මැද ගතවෙන ජීවිත ඊ, ඕ සද්දෙන් ඉසෙඩ් වෙන තුරු යන්නේ ලෙඩ ගානේය. රුධිරයට පීඩනයයි, ලේ වලට සීනීයි, බඩට දාරයි කියල අපහසුව දැනෙන්න ගත්තම එක තැන කැරකෙන යන්තරයකින් ඒකට පිහිට පතන බොහෝ ලොක්කෝ රස්තියාදුවට කැමති නැත්තේ ඇයි? තරුණ ලොක්කන්ට මේක විශේෂිතය. එක තැනම වට රවුමක, චතුරස්‍රයක රවුම් දමා හැමදාම වගේ එක තැන රස්තියාදු කරගන්නා ජීවිතය ඉංග්‍රීසියෙන් බැස ‍‍සිංහලයෙන් පුස් බයිසිකලයක හතර අතේ රවුමක් ගස්වනු බැරි ඇයි?, මෙහේ එයට දුප්පතාගේ වාහනය ලෙසින් ගසා ඇති නාම තහඩුව නිසාද?

‍‍‍‍‍‍...................................................

 2035 ට වත් මේ පිළිබද සිත් පහළ‍ වේවා. සත්‍ය අවුරුදු 25කින් පසු ප්රත්‍යක්ෂ කොට ගන්නා අපේ රටේ එය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කොට ගන්නේ එවිටයි. එතකොට පෙරහැර ගිහින් හමාර මුත් එබදු කලකට හෝ වැටහීමේ නුවණ අපේ ර‍ටේ එදා අද මෙන් හෙටටත් ඉතිරිවේවා. රස්ටා පතන්නේ, සදය ලෙස නරක සහ හොද දෙපැත්තක දකිමින්.

දුප්පත් රස්ටා ඒ අතින් වාසනාවෙකි. ආරෝග්‍ය පරමා ලාබා ..

රස්ටාගේ හිතින් ගතින් නිරන්තර ගහන රස්තියාදුවෙන් දහදිය දමා නිරන්තර පිරිසිදු වන ලේ ගනයක් තිබීම පිළිබද සතුටුවෙමි. ඔබටත් දුප්පත් වන්නට ලැබේවා.. දුප්පත් කම බොහෝ දේ පිළිබද නුවණ සපයන බැවිනි ඒ. ඉන්පසු නැවතත් පොහොසත් වේවා.. 

එතකොට කෑම කන සල්ලිත්, අපිව කන සල්ලිත් ඔබ හදුනා ගෙන තිබේවි.  

 එතෙක්..

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය.. 

මල්ලිත් මමත් නොතෙමුණි මේ වෙලාවේ..

ෂෝ..

කලින් මෙහේ හොද දේ තිබු බව සත්තයි

දැනුත් මෙහේ හොද දේ ඇති බව ඇත්තයි

පිළිගන්නේ පිට රට තියරියි සද්දයි

ඒක නිසා ෂෝ එක දැන් මෙහෙ උස්සයි

 

ෂෝ‍ පෙන්නීමට සැබවින්ම ලැජ්ජාවක් තිබුනේ සැබවින්ම ෂෝ එකක හැර ෂො‍් පෙන්වීමක් ගැන මෙහේ අපි අපේ අද්දියා‍පනේ හෝ සදාචාරයේ ඉගෙන ගෙන නොතිබූ බැවිනි.

 

ෂෝ එක ගණන් ගන්නේ නැති බව කියති

එනමුත් අඩ ෂෝම උස්සා ගෙන දුවති

කටින් කියන එක වගකීමක් නොවෙතී

ඒක නිසා අපටත් දැන් ෂෝ අවැසී

 

එබැවින් පට්ට ෂෝ එකක් දැමීමට හොද මොළයක් මෙන්ම අහිංසක හදවතක් ඇති මුත් රස්ටා තීරණය කළේ, සාමාන්‍ය ලෝකයේ වලංගුතා මැද ජීවිතය ජය ගැනීම උදෙසාම නොව බල්ලන් අප ස්වාමියන් වනු වළක්වාගනු පිණිසමැයි.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

මානේ..

හීන වූ මානය ගෙනේ අඩමානය

අධික වූ මානය ගෙනේ අවසානය

නොදැන මේ මානය වීය අවමානය

අවසනදි දැන ගත්තේ පරම මානය කෝණ මානය

 

සුළු කෝණ, මහා කෝණ, සියළු කෝණ මැනීම සදහා කෝණ මානය භාවිතයට ඒ අනුව මම තීරණය ක‍ළෙමි.

 

දැන ගතිමි ගණිතයක්

මැන ගතිමි කෝණයක්

ඊට අහුනොවන්නට

ලොවෙත් නැත කෝණයක්

 

අනතුරුව සුළු කෝණ කරුවන්ගේත් මහා කෝණ කරුවන්ගේත් වෙනස හොදින්ම ගණනය කරන්නට මට හැකිවිය. බොහෝ දෙනා ලොකු කෝණ පෙන්නුවාට සැබවින්ම සුළු < , මහා < , එකම වෘත්තයක් තුළ අඩංගු බැවින් වෘත්තය ගැන ඉගෙන ගන්නට අනතුරුව මම කල්පනා කළෙමි. වෘත්තය ගැන දැන ගතිමි. දැන් මානයේ ප්‍රශ්න විසදාගැනීම මට හරිම පහසුය.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..