Sunday, January 20, 2019

ඒවා

සිංහලෙන් ආත්මය අතගා
ඉංගිරිසියෙන් අනාත්මය අතගා
සංස්කෘතියෙන් හිස අතගා නා
අසංස්කෘතික ජීවිත මේවා

Sunday, January 6, 2019

පෙකෙණිවැළ...(සංක්ෂිප්තයි)

ගිය නුවණ ... ගතවුණු කාලය ආපසු ගත නොහැක. ලෝකය යන්නේ ඉදිරියටය. වාසියක් තිබේ නම් ඒ ආසන්න චක්‍රවල එකම රටාවක දිවෙන මේ ගෝලයේ ඉරෙගියුලත්වයන් අතරේ රෙගියුලර් බවක් තිබීමයි. අක්රමවත් දේ තුළ ඇති මේ ක්රමවත් රටාව පමණි අපට පසුගිය කාලය හා නුවණ ලබා ගතහැකි එකම මග. අත්දැකීම් ලෙස ඒවා ඉදිරි ජීවිතය උදෙසා එක්වන තරමට අපත් ලෝකයත් ඉදිරියට ගියා නොවෙද, ඒ අත්දැකීම් දැනුමට විද්‍යාවට පෙරළා ගත් මිනිසුන් රටවල් ජාතීන් ආගම් දර්ශන සියල්ලටම ගමනක් තිබිණි. අපට ටැග් වී ඇති දෙදහස් පන්සීය තබා පහුගිය වසර දහයක් පාඩමක් කොට ගන්නට බැරි රටක ජාතියක් නොවෙද අප. අධිකතර තණ්හාවක් බඩ බැඳගෙන බොරුව රැවටීම පදනම් කරගෙන දෙදාහක් තබා වසර දසදහසක් ඉතිහාසයක් ගැන පාරම්බෑවත් ඵල නැත. නිරුවත් දෑසින් විචාර බුද්ධියෙන් බැලුවා නම් ආපසු මීට කළකට පෙර, අද වන විට අප බොහෝ වටනා දෙයින් පූර්වාදර්ශී රටකි ලොව.. අපිවත් ගතවුණ කාලය, නුවණ ආපසු අදින අතහැරුණු කඹකොන ඇල්ලිය යුතුය. එය ඇදිය යුත්තේ අතීතයේ සිට අනාගතය වෙතය. චක්‍රයක වුව ලෝකය රට සමඟ අප ඉදිරියට යැවෙනුයේ එමඟිනි. සාර්ථකත්වය එතුළය. අතීතය අනාගත සිහින තුළට සංශෝධනය වන්නේ එවිටය. ඒ සංශෝධිතයන් රටේ අනාගතය උදෙසා දැනුම විද්‍යාව කලාව ලෙස බිහි වෙත්වා.. කවුරු කෙලෙස කීවත් ඒ විලිරුදාව හෙට උපදින දරුවාගේ අනාගත ස්ථායීතාව වනු ඇත. පරපුරක අතීත උරුමය වනු ඇත.
පෙකෙණිවැල නම් අතීතයෙන් අනාගතයට ඇදගත යුතු අප කලින් කී ඒ කඹයයි.

Thursday, January 3, 2019

ඇහැරුණෙමි

ගොඩෝ නැත
පාන්දරට මීදුමත්
දහවලට මිරිඟුවත් ඇත
දෙවියනි, පුදුමය ඔබ මැවූ ලොව
නිවෙන තෙක් මේ පහන
දකින්නේ අපි සිහින

Wednesday, January 2, 2019

සැ.කණුව

අන්දරේලාට
කළ හැකිද විප්ලව
මහදැනමුත්තන්ට එදිරිව..
ටික දුරයි
තව ඇත්තෙ
මූකළන් කනත්තට...

හුස්ම

වැරදුණු තැනකි අප හැමට
ගන්නා මුත් සැවොම සැමවිටම
කීවත් වඩන්නට ඵල ධ්‍යාන
සිහිපත් කොට භාවනාව සති අනාපාන

බාගෙට පුරවගෙන පපුව
හිරවෙන හිරකරගෙන නොදැනීම බොටුව
අදාළද අනදාළද ප්රශ්න කොටුව
ඔළුවට ලේ පුරාවිද පුරවන්න හිස්කොටුව

හදිස්සිය තදියම තරඟය
ජීවිතය දිනන්නට කියා දී තිබෙන පිස්සුව
අපායට යන්නට වුව පළමුව ගෙන රන් පදක්කම
ඒකයි අපගෙ තරඟය මැරුණත් වැටී එකා පිට

ගත්ත හුස්ම ටික කොහොමද රැඳෙන්නේ වෙලාවක
රඳවා ගන්න නෑ අපි අද වෙහෙසෙන්නේ කලාවට
ගනුදෙනු විලස ගන්නට දෙන්නට පමණි දන්නේ මුලාකොට
හුස්ම ත් දැන් අපේ ගනුදෙනුවක් වී ඇත ඒ විලාසෙට

ඒක නිසා හෙලන්නෙ සතියක් හතියක් වාගෙයි හුස්ම
හතියත් සතියත් පැටලී වැරදී ගන්නා හුස්ම
ගත්තත් ලෙඩ කෝටියකම මූලය වී ලා හුස්ම
හුස්මක් කටක් ගෙන 'ගොරවන' රට ගැන හිතපන් බෝම