Tuesday, October 14, 2014

ලාංකීය ‍දේශපාලනයේ තදාත්මීය රංගය හා තදාත්ම විඝටන රංග කාර්ය - නළුවෙකුගේ ඇසින් සරලව

මෙතඩ් ඇක්ටින් යනු රුසියානු ජාතික ස්ටැනිස්ලාවුස්කි විසින් හදුන්වා දෙන්නට යෙදුනු රංග විලාසයකි. නළුවා සීයයට වැඩි ගණනකින් බාහිර හා අභ්‍යන්තරික වශයෙන් චරිතයට ආරෝපණය වී මිනිස් හදවතට සමීප රංගයක් ඉදිරිපත් කිරීම මෙහි සරල අර්ථයයි. ඇදුම පැළදුම, චරිතයේ සියුම් හැසිරීම් මෙන්ම අභ්‍යන්තරික වශයෙන් ගන්නා භාවයන් හෝ මානසික ස්වභායන් මෙහිදී වඩාත් වැදගත්ය. මෙය ප්‍රේක්ෂකයාගේ හදවතට, ආත්මයට තදින් බැදෙන රංගයක් යන අරුතින් තදාත්මීය ලෙසින් හදුන්වතියි අප උගෙන ඇත.

දුරස්ථිකරණ රංග රීතිය කරළියට ගෙන ආවේ බර්ටෝල් බ්‍රෙක්ට්ය. මතක ඇති හැටියට ඔහු ජර්මන් ජාතිකයෙකි. නාටකයක චරිත කෙරෙහි ඇති වන තද බැදීම මිනිසාගේ බුද්ධිය වසා දැමනවා යන හේතුමත ඔහු තදාත්මය විඝටනය කරන කරුණු සොයයි. ඒ අනුව මේ රංගයක් බවත් රගන්නා නළුවකු බවත් සිහිපත් වන ලෙසට අභ්‍යන්තරයටත් වඩා බාහිර සමාරෝපයට අදාළ රංග වස්ත්‍ර, වේශ නිරූපණය ආදිය සාමාන්‍ය භාවිත‍ාවෙන් විශේෂ කරයි. එවිට ප්‍රේක්ෂකයා නළුවා හෝ නාටකය කෙරෙහි බුද්ධිමය ඇස යොමන්නට කල්පනා කරතියි තදාත්මයක් ඇති නොවෙතියි සැළකෙයි. ඒ අරුතින් මේ දුරස්ථිකරණය තදාත්ම විඝටනයක් ලෙසින් හදුන්වතියි අපට උගන්වා ඇත.

ගැඹුරෙහි නොගොස් වුව ඉගෙනගත් දෙය ඔස්සේ  නිවැරදි නාටකීය කෝණයකින් දේශපාලන වේදිකා‍ව දෙස බලද්දී ඒ ඒ පක්ෂත් ඒ ඒ පුද්ගලයාත් ප්‍රේක්ෂකයා හෙවත් මහජනයා වෙත ළංවන්නට මේ ක්‍රම භාවිත කරන අයුරු මට පෙනෙන්නට විය. ස්ටැනිස්ලාව්ස්කිටත් බ්‍රෙක්ටත් තවත් එවැනි රංග භාවිතාවන් තැනූ අයටත් පිං සිදුවන්නට මේ දේශපාලන නාටකය විස්තර කරගන්නටත් පැහැදිලි කරගන්නටත් මාවතක් සපයා ගැනීමට මට හැකිවිය.

ඒ අනුව බලන කල අපේ මිනිසුන්ගෙන් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් තවමත් මෙතඩ් ඇක්ටින් ප්‍රිය කරන බව පෙනේ. හදවතට දැනෙන ලෙසින් දෙඇසට අසුවන්නා වූ රංගයට ඔවුන් කැමති බවයි එහි අදහස. ඒ අනුව ස්ටැනිස්ලාව්ස්කි ගේ ක්‍රමය තවමත් ඉදිරියෙනි. බ්‍රෙක්ට් ගේ ක්‍රමයට කැමැත්තෝ ඊට අඩු ප්‍රමාණයක් බව පෙනේ. එනම් මේ නාටකයක් බවත් රගන්නේ නළුවන් බවත් සළකා බුද්ධියෙන් මෙය තේරුම් ගැනීමට හිතන පිරිස තවමත් අඩු බවයි එහි අදහස. මීට අමතරව මේ දෙක අතරමැදි ස්වභාවයක්ද තිබේ. එය හැදින්විය හැක්කේ අභූත රූපී නොහොත් විකාර රුපී නැතිනම් ඇබ්සර්ඩ් යනුවෙන් හැදින්වෙන නාටක විලාසයටයි. 

ඒ ඇබ්සර්ඩ් අනුව මුලක් මැදක් අගක් දැකිය නොහැකි ස්වභාවික බවක් දැකිය නොහැකි අප විසින් ගලපාගත යුතු නාටකත් දේශපාලනයේ එයි. එ් නළුවන්ගේ හැසිරීම් සාමාන්‍ය භාවිතාවෙන් එහිදී මැනිය නොහැකිය. එ් නිසාම එබදු දේශපාලන භාවිතාවේ සැබෑ වටිනාමක් තිබූවත් එය මහජනයා නොහොත් ප්‍රේක්ෂකයාට වැඩිමනක් සමීප නොවේ. 

කෙසේ වෙතත් මේ තදාත්මීය ලෙසින් රගන්නේ කව්ද? තදාත්ම විඝටනයෙහි සමත් කව්ද? අභූත රූපී දේශපාලනය කාගේද?  වඩා වැදගත් තදාත්මයද, එය විඝටනයද, අභූත රූපයද යන්න මේ පිළිබදව වටහා ගැන්මකින් පසු ඔබ තීරණය කළ යුතු දෙයකි. සමහර විට ස්ථානයට හා වේලාවට අනුව නාටකය රැගිය යුත්තේ කෙසේදැයි තීරණය කළ යුතු වනවා වන්නට පිළිවන. වඩා වැදගත් දේශපාලකයා මේ සියල්ල උගෙන ප්‍රේක්ෂකයා ‍ඥානනය උදෙසා සුදුසු තන්හි සුදුසු ලෙසින් රංග කාර්ය සිදුකිරීමය. ප්‍රේක්ෂකයාටද මෙහිදී යුතුකමක් ඇත. එනම් මේ නාටකීය ස්වභාවයන් උගෙන දේශපාලන වේදිකාව කෙරේ බැදෙන අතරම ඒ නාටකයන් මොනවාදැයි වටහා ගැනීමය.

එහෙයින් ලාංකීය දේශපාල‍නයේ යෙදෙන්නන් ඒ ගැන වඩාත් සැළකා බැලීම වැදගත්යැයි මම සිතමි. විශේෂයෙන් ලාංකීය දේශපාලන පක්ෂ හා නියෝජිතයන්හට රංගකලාව පිළිබද ප්‍රවීණයින් තම උපදේශකයින් හැටියට පත් කරගන්නේ නම් ‍ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්කරගත හැකි බවද මාගේ අදහසයි. :D විශේෂයෙන්ම තමාගේ දේශපාල‍න මතවාදයේ පමණක් නොසිටිමින් ඒ මතවාදය ප්‍රේක්ෂකයා නොහොත් මහජනයා වෙත ගෙන යන නාටකීය භාවිතාව ඔවුන් හදාරන්නේ නම් තදාත්මීය හෝ දුරස්ථීකරණ හෝ අභූත රූපී ලෙසින් සීමා වලට කොටු නොවී ‍ඒ සියල්ල ආශ්‍රයේ තමාගේ මතවාදය සුදුසු ලෙස රගදැක්වීමේ අවස්ථාව උදා වනු ඇත. එයට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවනු ඇත. දේශපාලන වේදිකාවේ තරගය උණුසුම් වනු ඇති අතරම වේදිකාවේ විනයක්ද හැදෙනු ඇත. නළුවන්ට අධ්‍යක්ෂක වරුන්ට මෙන්ම ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂාවටත් හොද වටිනාකමක් හිමිවනු ඇත. එබැවින් කරුණාකර දේශපාලයත් නාටකයක් කර ගන්න. එවිට රංග කලාවටද එ් ඔස්සේ වටිනාකමක් හිමි වනු ඇත.;D දේශපාලනය හරි ලෙසින් ගෑවුන තැන නැගීමත් වැරදි ලෙසින් ගෑවුන තැන වණවීමත් යනු තවමත් අපේ ර‍ටේ වලංගු රීතියකි. අපි එයට එකග නැතත් මහජනයා තවමත් තදාත්මික ලෙසින් දේශපාලන වේදිකාවට බැදීම මෙහි සැගවුන අර්ථය නොවේද?

මීට,

 නළුවා...

ප.ලි. - ආධුනික නළුවකු බැවින් ප්‍රවීණ රංගධරයන‍්ගේ ඇස ගැටෙන අභාග්‍ය සම්පන්න වැරදි වෙතොත් කමත්වා!

No comments: