Wednesday, October 8, 2014

විළිය හා රුදාවට නිසි චරිත දෙන්න

ල සුන්දරය. මළ අසුන්දරය. සමහරු මලෙන් උපන් සේ ජීවත් වද්දී තවකෙකුට ජීවත් වන්නට සිදුවන්නේ මළෙන් උපන් හැටියටයි. ඒ ජීවිතේ හැටිය. මලෙන් උපන් ‍චරිත දෙස බලා සමහරු සිහින මවද්දී සමහරු තමාගේ උපත ගැන වදවෙති. තමා මළෙන් උපන්නා යැයි සමාජයකටම වෙර වඩන ඇත්තෝද වෙති. කෙසේ නමුත් උපත සිදුවී හමාර හෙයින් එය මලෙන් වුවත් මළෙන් වුවත් කම් නැත. ඇත්තේ ජීවත් වීමටය.

සමහර විට ජීවිත ලේබල් වන්නේය. මලින් උපන් මිනිස්සු , මළින් උපන් මිනිස්සු.. කලකදි ඉන්දියාවේ බමුණන් මලින් උපන් නැත්නම් මහබඹාගේ මුවින් උපන් මිනිස්සු යැයි නම් ලබද්දී ශුද්‍රයන් මළින් නැත්නම් මහබඹාගේ දෙපතුළින් ඉපදුනායැයි සැ‍ළකුවේ කාලයේ බලවතුන්ගේ බලයේ ආධිපත්‍ය පතුරවමිනි. සද්ධර්මයෙන් ඊට නිසි පිළිතුරු ලැබුනේය. බලවතුන්ගේ හිත් රිදුනේය. පෙළපතින් කෙසේ කියවුනත් මිනිහා මැනිය හැක්කේ ක්‍රියාවෙන් පමණකි.

ක්‍රියාවෙන් චරිතය මැනෙන කලාවක්ද අප අතර ඇත්තේය. එහිදී චරිතයක ක්‍රියාවන් රංගනයකි. චරිතය මැනෙන්නේ ඒ රංගන ක්‍රියාවෙනි. මලින් උපන් චරිතත් මළින් උපන් චරිතත් මෙහිදී එකක්මය. ඔය හැම වර්ගයේම චරිත  රංගනය මත මෙහිදී සම්මානයටද පාත්‍ර වන්නේය. සම්මාන උළෙලවල විනිවදභාවය හෝ ඒවායේ සාධාරණත්වය හෝ වාණිජමය ස්වභාවයන් කෙසේ වුවත් මලින් උපන් චරිතයක් වුව මළින් උපන් චරිතයක් වුව හිමිවන සම්මානයේ භෞතික වටිනාකම එකක්මය.

එසේ වුවද ජනසමාජයක සම්මානය නම් සීයට ගණනකින්ම මීට සපුරා වෙනස්ය. සැබෑ ජීවිත වේදිකාවේ දී ක්‍රියාවන් රංගනයක් බවට පත් කරගතහොත් කෙටි කාලීනව සම්මාන ලැබිය හැකි වුවත් දිගු කාලීනව ලැබෙන්නේ නිග්‍රහ පමණකි. අත්වන්නේ විනාශය පමණකි. එබදු අත්විදීම් අපේ සමාජය ඉතා මැතදීත් හොදින්ම ලැබූ බව තවමත් මතකය ඇත්තන්ගේ මත‍කයේ ඇතුවාට සැක නැත.

ඒ කෙසේ වෙතත් කාර්ය බහුල මිනිසාට සමාජය දෙස හැරී බලන්නට, එහි අවශ්‍යතාවය ග්‍රහණය කරන්නට වෙලාවක් නැත්නම් මේ රංගන කලාවන් තුළින් හෝ යථාර්තය ගැඹුරේ මෙන්ම නොගැඹරේද ඥානනය කරගන්නට මගක් හැදිය නොහැකිද, පොතපතින් එහා ඒ භාවිතාවට අප විධිමත්ව යන්නේ කවදාද? සමාජයේ මළින් නොමළින් උපන් කොයි කාටත් උපතට වඩා ජීවිතය ගැන කියවා ගන්නට, තම තමන්ගේ චරිත දැක ගන්නට කැඩපතක් වනවා නම් ඔය කොයි චරිතත් ඇති රංගකලාවත් නූතනයේ හරි වටිනා එකක් වනු නැද්ද. 

ඒ බැල්මෙන් බලන කල අද මෙහේ ප්‍රශ්නයක් පෙනේ. අද නොවේ, හරිනම් කලක සිට ඇති ප්‍රශ්නයේ පිටක් පෙරළෙන්නටත් දැන් නම් කාලය හරි තරමය.  

අපිට අද අපේම සංස්කෘතියේ අපේම නව නිර්මාණ නැතිද? 

 මලින් හෝ මළින් වේවා මේ එළඹ ඇත්තේ අපේ සංස්කෘතියට විළිරුදා ඇතිවිය යුතු කාලය නොවෙද. උපන්නට පෙරම ගබ්සා කළ බොහෝ දරුවන්ගේ අතීත උරුමය සේම නිදහසේ අයිතිය අහිමි නොකොට ඒ විළිරුදාවට හේතුවන දරු ගැබ හදන්නට අප විසින්ම සංස්කෘතියට දුන් දායකත්වයේ වගකීම දරමින් ඒ දරුවා මලෙන් උපන්නද මළින් උපනන් ද යනුවෙන් ප්‍රශ්න නොකොට උගේ ජීවිතය නගාගන්නට අත මෙන්ම හිත දීමක්ද කළ යුතුව ඇත. මලත් මළත් දෙමග අතර දියුණු සංකල්පයකට බුද්ධියට මෙන්ම හදවතට යන්නට බලයත් සවියත් දෙන්න.. චරිත නගන්න, ගොඩ නගන්න. විළිය හා රුදාවට නිසි චරිත දී සමාජයට මගක් දෙන්න.

No comments: