Sunday, October 19, 2014

බුද්ධියෙන් හැගීමත් හැගීමෙන් බුද්ධියත් පණ පෙවීම

ප්‍රඥා වන්තයා හොද බුද්ධියක් කල්පනාවක් ඇත්තෙකි. ශ්‍රද්ධා වන්තයා හොද හදවතක් හැගීමක් ඇත්තෙකි. වීර්ය වන්තයා හැගීමෙන් බුද්ධියත් බුද්ධියෙන් හැගීමත් පණ පොවා ගන්නට ශක්තියමත්භාවය ඇත්තෙකි.

හොද කල්පනාවත් ‍හොද හැගීමත් හොද ශක්තියකුත් ඇත්නම් එබදු මිනිසෙක් සැබවින්ම වටිනා මිනිසෙකි. දියුණුවට යන්නෙකි. හොද කල්පනාවත් හොද හැගීමත් ඒ දෙකම තුළ කාර්ය සාධනයෙහි අවශ්‍ය ශක්තිමත් භාවයත් නැත්නම් මිනිසා දුර්වලයෙකි. වහ වහා නිවැරදි නොවුනොත් වහා පිරිහෙන්නෙකි.

බුද්ධිමත් කල්පනාව ඇත්තා බොහෝ තැන්හිදී බො‍ෙහෝ විට පළමු තැන ගනී. කරුණු කාරණා ඔහුට හොදින් වැටහෙන බැවින් භෞතික ක්‍රියාකාරීත්වයන් තුළ ඔහුගේ කල්පනාව වඩා ඉක්මන් ප්‍රතිඵල දෙයි. ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ ඉක්මන් ක්‍රියාකාරීත්වය නිසා සමස්ථ කාර්යයක් තුළ මේ ප්‍රඥාවන්තයා වේගවත්ය. බුද්ධිමත්භාවයෙන් යුතු කල්පනාව නිසා ආවේගශීලීත්වය මෙන්ම කලබලය අඩුය.

හොද හැගීමක් අැති තැනැත්තා බොහෝ විට මේ මගෙහි දෙවන තැන හිදී. කරුණු වටහා ගැනීමේදී වඩා හොද හැගීමකින් කටයුතු කරන්නට වෙහෙසෙන බැවින් කරුණු වඩාත් විග්‍රහකොට වටහා ගන්නට මෙබන්දෝ කැමතිය. එනිසා කල්පනාකාරීත්වය ඉක්මනට වඩා හෙමින් ස්ථාවරව සිදුවේ. අරමුණ කෙරෙහි හොද හැගීමක් තබා ගෙන, දරා ගෙන කටයුතු කරන්නට හැකියාවක් ඇති බැවින් ශ්‍රද්ධා වන්තයාගේ ප්‍රභාව වැඩිය. හොද හැගීම් නිසා යහපත් ආවේගයන් ප්‍රබලය. ජව සම්පන්න බව වැඩිය.

නිවැරදි කල්පනාවත් නිවැරදි හැගීමත් දෙක අතර නිරන්තර දෝලනය වන්නෝද සිටිත්. ඔවුන් හැගීම හෝ කල්පනාව තෝරා බේරා ගෙන කාර්යය සාධනයට වීර්ය කරන්නෝය. එබැවින් ඔවුන් ඉතා ශක්තිමත්ය, සූක්ෂමය. නමුත් කල්පනාවත් හැගීමත් අතර දෝලනය හා තර්කය නිසා ඔවුන් සමස්ථ කාර්ය සදහා වැඩි කාලයක් ගත කළ හැකිය. නමුත් වඩා පූර්ණත්වයකින් කටයුතු කරන්නෝය. ස්ථාවරය හා ශක්තිමත් බව වැඩි නිසා ප්‍රභාවේ පැවැත්ම ද දීර්ඝකාලීනය. බුද්ධිමය හා භාවමය සම්මිශ්‍රනය නිසා ආවේගයේ ප්‍රබල බවේ හා ජව සම්පන්න කමේ තියුණු භාවය වැඩිය.

අද අප ජීවත් වන සංකීර්ණ සමාජයේ සමස්ථ කාර්යාවලියේ දී රටක් ජනතාවක් හැටියට අපට වැදගත් ඔය තුනෙන් කවරක්ද? ඔය තුනම පොදුවේ අවශ්‍ය වුවත් එකෙන් දෙකෙන් දැනටමත් ලබා ඇති දේවල් තුන්වන මට්ටමේ එසවීමකට ගෙන ඒම පළමු වගකීමක් නොවන්නේද. ලබාගත් දිනාගත් දේ දිගු කාලයකට පවත්වා ගැනීම සදහා වීරිය කරවන බල ගැන්වුමක් අපට අවශ්‍ය නොවන්නේද?

තැන නොතැන රස්තියාදුවීම නිසා මලකෑ එංජින් අලුත් කර සවිමත් කර බල ගන්වා ගැනීමට නම්.......................................බුද්ධියෙන් හැගීමත් හැගීමෙන් බුද්ධියත් පණ පොවන්න.

No comments: