Sunday, May 18, 2014

පොතේ ගුරුන් වෙත විශේෂයෙනි, කුණු‍ / කුණු ගැන යමක්, කුණු කර නොගනු පිණිස යමක්.

පොත් අපට ගුරුන් විය. මේ පොත බලා අපට කියන කියවන ගුරුන්ද සිටිහය. නාටකයන්හි පොතේ ගුරෝ සිටියහ. හැබැයි ගුරාගේ පොත කියවීම අනුවම නාටකය තේරුම් ගැනීම යනු නාටකය නැරඹුවා යනුද නොවන බව දන්නේ කවුරුන්ද!

එක් පොතකින් ගෙන තවත් පොත් වලට සමහරුන් ගරහති. පොත් යනුද හිත්මය. එකෙකුගේ ස්වභාවයට වඩා තවෙකෙකුගේ ස්වභාවය වෙනස්ය. එකම හිත් වුවත් ඒ ස්වභාවයේ වෙනස අපට දැනෙන්නේය. ක්‍රියාවන් හරහා පෙනෙන්නේය. පොත්ද එලෙසින්ම වටහා ගනු නොවටීද. පරම පුස්තක ලෝකයේ තිබෙනවාද! එය හරියට පරම මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්න කිරීමක් මෙනි. යම් ආකාරයකින් ලෝකයේ ලැබිය හැකි පරම තත්වයක් යමෙකු ලබාගත්තේනම් ඒ පරම තත්වය විචාරිය හැක්කේ කුමන මිනුම් දණ්ඩෙන්ද! ලෝකයේ හෑම සත්‍යම පොත පතේ තිබෙනවාද, පොත පත අපට යටද, අප පොත පතට යටද!

මිනිස්සු සසරක් ගැන කියති. පෙරුම් දම් පුරනවා යැයි කියති. මේ භවයේම මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වා යති. පහ වසරේ ළමයෙකු කළ දෙය විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිදරයෙකු කරත්ද! විශ්වවිද්‍යාලය දක්වා යන්නට ආසාවෙන් ඔහු කළ කී දේ උපාධිදරයෙකු වූ පසු ඔහුගේ ක්‍රියාකාරිත්මය හා සම වෙත්ද! නොපෙනෙන විදුලිය දැකිය හැකි ලෙසින් මතු වන නිසාත් වෙනත් නොයෙක් ශක්තීන් බවට පරිවර්තනය වන නිසාත් පමණක් පිළිගන්නා ලෙසින් මිනිහා තුළ දිවෙන්නා වූ ජීවය හා බැදි චිත්තය ගැන අපි කතා කරමුද! ඒ ඔස්සේ සසර නොදකිමුද!

නොදන්නා දේ බොහොමයක් යම් තර්ක ක්‍රමයක් තුළ විග්‍රහ වූ පමණින් තර්කය බලවත් අවියක්ද! පොත් පත් ගුරුවූ පමණින් පත පොත යනු අප එකම දැනුම් මාර්ගයත් අවබෝධය දෙන සන්නිවේදන මගකුත් වෙත්ද! එලෙසම තර්කය හා පොත පත මැදි කරගත් පමණින් අපේ විග්‍රහ විචාර අර්ථ සම්පන්න හෝ ප්‍රඥාගෝචර වෙත්ද? 

ප්‍රඥාගෝචර කර ගැනීම උදෙසාද මාර්ග සියල්ලක්ම තිබිය යුතුය. පොත පත තර්කය, තවත් දේ...හැබැයි එපමණකින් කිසිවක් කුණු කර ගත යුතුද ‍නොවේ. පොදු බිත්තර පුද්ගලිකව පරිහරණයට ගෙන කුණු කරන්නට කිසිවෙකුට රිසි හෝ නිසි අයිතියක්ද නොවේ. එබැවින් නන්නත්තාර සන්තෝෂයේ කරක් ගහන අප අඩුම වශයෙන් අප වෙතින් අනාගත පරපුර උදෙසා දශමයක හෝ සත්භාවයක් ඉතිරිකළ යුතුය. ඒ යුතුකමෙන් පලා යාමට පණ ඇති මිනිස් වංශයේ කිසිවෙකුටත් අයිතියක් නැත.

තැන තැන ගොඩ ගැහුණු කුණු ගැන කතා කිරීමත් ඒ කුණු වර්ගීකරණයත් හොදය. නමුත් වඩා වැදගත් වන්නේ හැකි පමණ කුණු ශුද්ධ කොට දමන්නට වෙහෙසීමය. ඒ සදහා මාර්ග සොයා ගැනීමය. හැකිතරම් දෙනා හැකිතරම් තැන්වල රිසි රිසි සේ කුණු අවුස්සන මෙකල නැතහොත් හැමතැන අහන්නට වන්නේ කුණු ගැන කුණු කුණු කතාම පමණි. එබැවින් කුණු ඇවිස්සිය යුත්තේ ශුද්ධ කර  දමන්නට මිස කපුටන් කුණු අවුස්සන ලෙසින් නම් නොවේ. කපුටා කුණු අවුස්සන්නේ කුණු වුනු ආහාර කන්නටය. බුද්ධිමත් බවටත් වඩා ප්‍රඥාවට දිරි වඩන මිනිසුන් විශේෂයෙන් ‍එලෙස නොවිය යුතුය. ඇවිස්සෙන කුණු ගොඩවල් අතර ඉන්නට සිදු වුවත් ඒ අවබෝධයෙන් ජීවත් වන්නට හැකි නම් සුදුසු මෙන්ම නුසුදුසු තැන්වල බොහෝ කොට කුණු ගොඩ නොගැසේවි.

Thursday, May 1, 2014

පුංචි කුරුල්ලෝ - ලොකුවට හිතන්න

අපේ ගෙදර විශාල මල් වත්තක් නැත. නමුත් පුංචියට සැකසුනු කුඩා මල් වත්තක ලකුණු ඇත. එය මාගේ ව්‍යායාමයක් නොව පියාගේ හා මවගේ වෙහෙසමය. නමුත් කතාව එය නොවේ.

මේ මල් ගස් අතර පියඹන පුංචි කුරුල්ලන්ය. විටෙක ජනෙල් වීදුරු තුළින් උන්ගේම රුව දැක ටක ටක නාදයෙන් පුංචි හොටින් විදුරුවට අනිමින් කරනා අරගලයේ හුරතලයය. විටෙක ජනෙල් කවුලුවක යකඩ රාමු අතර මැවෙන්නේ අපූරු රූප රාමුය. පුංචි කුරුල්ලන්ගේ පුංචි නාදය අපූරු සංගීතයකි. නමුත් පුංචි ලංකාවේ මිනිසුන්ට දැන් පුංචි රස දැනෙන්නේ නැත. මේ කියන්නේ සපුරා සමස්ථයට නොවේ. වැඩි බහුතරයකටය. ඒ බහුතරයද දැන් වැඩිවෙමින් පවතින ලකුණු පෙනේ. ගෙදර කුකුළා නිතර දකින නිසා කරමළය සුදට පෙනෙන්නා සේ වටපිටාවෙන් පරිසරයෙන් රහ සෙවූ කාලය මේ පුංචි රටෙන්ද තුරන්ව යමින් පවතී. දැන් අපිට ඕනෑ මෙගා ටයිප් දේවල්ය. පුංචි රසය සියුම් සංවේදී බව යන්න නොතේරුමෙන්දෝ විශාල තැන්වල විශාල දේවල් අතර සැරිසැරීම අපට මහා ලොකු දෙයකි. විශාල දේවල් ගැන කතාකිරීම අපට ලොකු දෙයකි. තමන්ගේ පුංචි වැරැද්ද හදා ගන්නට බැරි මිනිහා රටේ තො‍ටේ ලොකු වැරදි හදන්නට කතා කරන්නේ එලෙසින්ය. ලජ්ජාව හා විනාශය නම් ලෝකයේ නිර්මලම දහමක් කටේ දිවේ ගාගත් අයවලුන්ගෙන් පිරි රටක මෙබදු දේ සිදුවීමය. 

පුංචි පැලේ ගස වෙනා කියන්න නොදන්නා අපේ රටේ ඇත්තෝ සියලු ආටක නාටක මැද්දේ හෙට දින කුඩා වුන් කෙසේ වැඩේවිදැයි හිතන්නේද? සමහරුන්ගේ සිහිනය ඔවුනුත් පටන් ගන්නා තැනින්ම මෙගා කිරීමය. උගැන්මෙන් මෙන්ම තරු කිරීමෙන් වශයෙනි ඒ.    තරු කිරීම මෝස්තරයකි. උගැන්වීමද දැන් මෝස්තරයකි. ගණිතය, විද්‍යාව ඉගෙන ගත් පමණින් ලොවම දිනාගත හැකි යැයි ඇතැමෙක් සිතන බව පෙනේ. හැබැයි එබන්දන් බොහෝ කොට ලොවම දිනා තමාගේම ගෙදර අනාගන්නා හෝ නාගන්නා අය බවට පත්වේනම්.. අපේ පුංචි මොළයට වැටහෙන ආකාරයට නම් පරපුරකින් පරපුරකට, මිනිසෙකුගෙන් මිනිසෙකුට හුවමාරු කර ගත හැකි තවත් බොහෝ දෑ ඇත. ඒ තරු උණුසුම, ගණන් පෙන්වීම හෝ විද්‍යා විජ්ජාම නොවේ. බොහෝ කොට පුංචිම වුවත් හිත හැදෙන සැනහෙන දෑය. හරිලොකු ලොකුමලොකු දේවල් වලට වඩා පුංචි කුරුල්ලා වටින්නේ ඒ සැනසුමටය. ලොවක් දිනූ දිග්විජය කළ වුන් ධර්මවිජය කරන්නට හැරෙන්නේ ඒ පුංචි සද්දයේ ඇති මහා බලවත් කමෙනි. 

එනිසා ලොකු දේවල් අවැසි වන බව තේරුම් ගන්නා අතරම පුංචි දේ ඇති වටිනාකමද නොඅඩුව තේරුම් ගත යුතුය. නමුත් සමහර ලොකු රටවල ලොකු මිනිස්සු පවා තම ලොකුකම් නොසිතා තමන්ට මගහැරුණු පොඩි දේ සොයා ආපහු හැරෙද්දී පොඩි දේ අතර ඉන්න අපේ මිනිස්සු අල්ලා ගත හැකි ප්‍රමාණයටත් වඩා ලොකු දේ පස්සේ දුවන්නේ තෘෂ්ණාව නැමැති නොසන්සිදෙන හැගීමක් පසුපස දුවමිනි. ඒත් සියලු ආශාවන් ගැන ගැඹුරින් හිතන මිනිස්සු ලොකු ආසාවන් පුංචි දෙයින් සන්සිදවා ගන්නේ එබදු හඹායෑමෙන් විය හැකි ඉමහත් වැනසීමක් වළක්වා හික්මීමෙන් සැනහෙමිනි.

එනිසා දැවැන්ත බවක් තුළ ඇති කරගන්නා මහා හිස් දෝංකාරයකට වඩා පමණට පුංචිවට දැනෙනා සුමිහිරි බව විදින්නට මේ පුංචි රටේ මිනිස්සු පුරුදු වුනොත්...ඔවුන් ඇත්තටම ලොකුකම් හදාගත් ලොකු තැන්වල ලොකු මිනිසුන්ව නිරායාසයෙන් අභිබවාවි. 

සැබවින්ම වටිනා බලයක් තිබෙන්නේ ලොකු තැන්වල නොව පුංචි ප්‍රතිපදා තුළ ශක්තිමත් වූ ස්ථිර ගුණ ඇති මිනිසුන් තුළයි.

පුංචි දෙයින් පාඩම් ඉගෙන ගන්න කාලය හරි කියලයි අපට හිතෙන්නේ. මිනිස්සු ලොකුවට හිතන්න ඕනෑ තමයි, හැබැයි ඒ පේන ලොකු දේවල්වලට වඩා හැංගෙන, වැළලෙන පුංචි පුංචි දේවල් ගැන. අනිත් අතින් අපි වාසිය තකා නිරායාසවම වගේ  ලොකුවට හිතන්න පුරුදුවෙලා ඉන්න සමහර දේවල් ඇතුළෙ ඇත්තටම හිතන්න පුංචිම දෙයක්වත් නෑ කියල ප්‍රත්‍යක්ෂ වුන දාට පුංචිවට අපි අමකත කරපු පුංචිම පුංචි දේවල් ආපහු මතක් නොවෙනවද කියලත් තමා තුළින්ම හොයල බලන්න. පුරුද්දට වගේ ලොකු තෑගි දුන්න අය ගැනම හිතුවට වැරැද්දක් වෙනුවෙන් පුංචි ටොක්කක් දුන්න මිනිහගෙ වටිනාකමක් එදාට දැනේවි.