Friday, August 30, 2013

ජඩ හා පාදඩ - දෙවියන් පිදීම, නොතේරීම හා පොඩි දරුවෝ

සුවද

නැහැයටය

ගදද

නැහැයටය

නැහැය ඇත්තෝ

ගද සුවද හදුනන්නෝය

ජඩ ගදය

පාදඩ ගදය

දෙකම සුවදය

නැහැයට යටින් අනුභව කරන්නෝය

යෙහෙන් වැජඹෙන්නෝය

දෙවියන් පුදන්නෝය

මේක තෝරන්නෝ

නොවන තරමට වාසි වන්නෝය

එහෙයින්ම

අප පොඩි දරුවෝ වම්හ‍‍..

Wednesday, August 28, 2013

අවසන් කටයුත්ත - පළමුකොට

හී පහරක් වැද අවසන් හුස්ම හෙළනා මිනිසා දෙස බලා

ඔහුව වට කොට වටේ රැස්කා පොදිකා, දෙපා අගින් හෝ එසැවී බලා

හීය ගැනත් දුන්න ගැනත් දුනු දිය නැගූවන් ගැනත්

විවිධ වූ මත කියා ගලපා දෙසා, ඒ මතම හැපෙමින්

වඩා වෛවාරණ වූ අපේ සන්තුෂ්ටිය සොයා ගත් පසුය

දුටුවේ මිනිසා මැරී හුන් බව අප දෙපා අබියස

ඉන් ඉක්බිති හීය මුදා කතා කරමු ඔහුගේ දෙන ගැන

කෙසේද සිදු කරනුයේ අවසන් කටයුත්ත

Saturday, August 17, 2013

මීට, විශ්වාසයි.. තවමත් මිනිහෙක්.

කකියනු දැනෙන්නේ ‍
නහර පමණක්
නොව මගේ
ගලන තරමට
අනුන්ගේ ලේ

මීට, විශ්වාසයි..
තවමත් මිනිහෙක්.

එහෙත් ලෙයට ලෙය යනු හුදු ආකල්පයක් මිස සංකල්පයක් හෝ විකල්පයක් නොවන බව කරුණාවෙන් සළකන්න.

Thursday, August 15, 2013

පිබිදීම හා පිරිහීම නොහොත් ඔලුවෙන් හිටගෙන සිටිනා යටිකුරු ප්‍රතිබිමිබ

වචනාර්ථ ප්‍රයෝගික යථාර්තයන් හා ගලපා ගන්නට අසමත් විට සිදුවන්නේ බේදයකි. ජය කියා පරාජයට යන්නේත් සැප කියා දුක බදා ගන්නේත් බෙදා ගන්නට යනවා කියා බදා ගන්නේත් එවිටයි. මේ පටලා ගැනීමේ කතාවේ මුල් තැනම හිදින්නේ දේශපාලුවෝය. ඔවුන් එතැන හිදින්නේත් සිය කැමැත්තෙනි. මිනිස්සුන්ට එක් පොරොන්දුවක් දී පසුව ඒ වචන වලට වෙනත් අර්ථකතන දෙන්නේ ඔවුන්ය. එය සිය පැවැත්මේ මග කියා ඔවුන් සිතතත් සැබවින්ම එය ඔවුන්ගේ නැවැත්ම වෙත වැටෙන මගකි.‍ මන්ද මිනිසුන් තවත් කෙනෙකු පිළිබද තීරණයක් දෙන්නේ වචනයට වඩා ක්‍රියාව මත පදනම් වෙමින් වන බැවිනි.

අද අප රටේ බොහෝ දෙනා පිබිදීමක් ගැන කතා කරති. ආගමික වේවා, දේශපාලනික වේවා නැත්නම් සමාජීය කාරණා පදනම් කරගෙන හෝ ‍ඔවුන් කතාකරන්නේ නව පිබිදීමක අරමුණ පදනම් කරගනිමිනි.‍ නමුත් මෙලෙස පෙළ ගැසෙන්නට උත්සාහ කරන බොහෝ දෙනා තමන් ඉන්නේ පිබිදීමේ මාවතේද නැත්නම් පිරිහීමේ මාවතේද යන්න පළමුව තේරුම් කරගත යුතුය. 'පිහිය රත්තරන් කියා ඇනගන්නද' යනුවෙන් කතාවක් මා අසා තිබේ. රත්තරන් හෝ පිත්තල හෝ මළ නොකන වානේ හෝ පිහියකින් ඇන ගත්තොත් සිදුවන්නේ ඛේදයකි. එබැවින් පිහිය රත්තරන් වූ නිසා රත්තරන් පිහියකින් ඇන ගෙන මියයාමේ ඉතිහාසගත වීමක් බලාපොරොත්තු වන්නේ නම් ඒ පල් මෝඩ, තකතීරු බවක් , අමන කමක් බව බව අමුතුවෙන් කීමේ කිසිම අවශ්‍යතාවක් නොවේ. එවැනි මෝඩයින් ‍රටේ සාමාන්‍ය බහුතරය නොවන බව අපි විශ්වාස කරමු.

ඉතින් එහෙනම් සළකා බැලිය යුත්තේ මේ පිබිදීමේ මාර්ග පිරීහීමේ මාර්ග වී ඇත්තේ ඇයි දැයි යන්නයි. ධාර්මික බව සිහළ බව අපි මේ දිනවල පිබිදීමක් බලාපොරොත්තු වන කාරණා අතර පළමු තැනක රැදී ඇත. මේ ධාර්මිකත්වයත් සිහළ හෝ ජාතිකත්වයත් සැබවින්ම පිබිදීමකට ලක් විය යුත්තේ කෙසේද? නැත්නම් පිබිදීමේ මග කියමින් බොහෝ දෙනා ගන්නා මග පිරිහීමට මගක් නොවන්නේද? අප බොහෝ තැන්වලදී දකින්නේ නම් මේ පිරිහීමේ මග ගැනීම මිස පිබිදීමේ මග ගැනීම නම් නොවේ.

සරමක්, බැනියමක් හොදින් ඇදගෙන, චීත්තයක්, හැට්ටයක් හොදින් ඇදගෙන සිටින මිනිසා ගැහැනිය අපේ කමත් රැදි සුන්දර ගැමි මතක අවුලුවන දසුනකි. මේ ඇදගත් සරම චීත්තය වැටකින් පනින්නට උස්සාගත්තත් එය තරමට වඩා උත්සාගෙන දබරයට යන්නේ නම් එතැන කිසිම සුන්දරත්වයක් දැකිය නොහැකිය. විලි වසාගන්නට නම් රෙදි ඇදගත්තේ අමුඩය වුව සිහියෙන් දවටා ගෙන සිටීම වටී. යට ඇදුම උඩට ඇදගත් වීරයන් අනුගමනය කරන අපි අපේ සිහළ කම රැකගන්නටත්, අපේ ධාර්මික බව රැකගන්නටත් ‍තෝරා ගන්නේ රෙදි උත්සා ගන්නා ක්‍රමවේදය නම් එය පිරිහීමේ මිස පිබිදීමේ මග නොවේ. නිවැරදි සටන් කරුවා යනු ඇදගත් රෙද්ද තවදුරටත් තදකොට ඇද නිසි තැන සටන් බිමට  බහින තැනැත්තෙකු ‍මිස රෙදි උස්සා ගලවා ගෙන වැදෙන පදයට රගන්නෙක් නොවේ. ‍අනෙක දක්ෂ සටන් කරුවා කිසිවිටකත් නිකරුනේ තම ශක්තිය අපතේ නොහරින්නාසේම දුර්වලයින් පෙළා දමන්නෙකුද නොවේ. ඔහු තම දක්ෂතාවය ඔප්පු කරන්නේ පහර දීමෙන්ම නොව අනෙකාගේ පහර මගහැර නොවැටී නිවැරදිව තම ස්ථාවරයේ සිටිමින්ය. පහර දෙනවා නම් ඒ නිසි තැන නිසි එල්ලයේදී පමණි. ආවේගයෙන් වියරු වැටුනු පිස්සු බල්ලන් ලෙසින් නොවේ. එබදු ශික්ෂනයක් ඇත්තෝ පමණකි නිර්භීත සටන් කරුවන් වන්නේ, ඔවුන්ට පමණකි ප්‍රතිපත්තිමය පදනමක සිට සටන් කළ හැක්කේ.. ඔවුන් නිකං බුරන බල්ලෝ පමණක් නොවන නිසාය ඒ. ඉතිං එබදු සටන් කරුවන් ජාතියට දේශයට අවැසි යුගයක බුරන බල්ලෝ කරන්නේ ආවේග ඇවිස්සීම පමණකි. අවසන් ප්‍රතිඵලය තවත් නිහඩ බල්ලන් පිරිසක්, දඩාවතේ යන බල්ලන් පිරිසක් ආදී හැම බල්ලාම අවදි කරගැනීම පමණකි. එය වගකීම් විරහිත මෝඩ පිබිදීම නොවන පිරිහීමයි. කලක පටන් ටිකෙන් ටික පැමිණි මේ බිරුම් දැන් නිරර්ථක ලෙස සීමා මායිම් ඉක්මවා හැම තැන ඉබාගාතේ සරයි. මේවාට වග කියන්නන් තමන්ගේ උණුසුම ගැන මිස ඔවුන් කියනා ලෙසින්ම තම බාල පරපුර ගැන නුවණැතිව සිතා ඇත්ද? හැගීමෙන් පමණක් සියල්ල විසදිය නොහැකිය. බුද්ධිය ද යොදා නුවණැති නොවීමේ ඵලය ආපහු ඇතුන් තබා බැකෝ දහසක් යොදා වත් ඇද්දවිය නොහැකි නම් වනු ඇත.

කෙටියෙන් මුත් සිංහලයෙන් කියන්නට සිදුවන්නේ මේ ආටක නාටක ක්‍රමවේදයේ නම් සිහළ කමවත් ධර්මයවත් නොරැකෙන බවයි. ප්‍රතිපත්තියෙන් සටනට බහිනවා වෙනු‍වට කට පූචානමෙන් ලැබෙන්නේ ඒ පූචානමට ලැබෙන නොසරුප් වදන් සංග්‍රහයක් පමණි. 

එබැවින් නුවණ නැත්තෝ පදවලට නටද්දී නුවණ ඇත්තෝ නටන තැනත් වන්නමත් තෝරා ගත යුතුය. නැත්නම් දුවන මුවන් දැක නෙලූ පලා දමා ඒ පසුපස්සේ දිව්වාට නොදෙවෙනි ප්‍රතිඵල අපට නුදුරේම අත්විදින්නට සිදුවනු ඇත.

එබැවින් පිබිදීමත් පිහිරීමත් වෙන්වන තැන හදුනා ගන්න. පිරිහීමෙන් මිදී පිබිදීමට එකතු වන්න. කිසිවිටකත් ඔලුවෙන් හිටගත් යටිකුරු ප්‍රතිබිම්බයක් නොවන්න. මා දන්නා සිංහලයෙන් අපේ රැකුමට අපේ වයසට දැනෙන හැගෙන දේ කතාකළයුත්තේ මේ අයුරින්ය. යාචකයෝත් බණ කියන යුගයක පාලකයෝ හා යාමකයෝ කාගේ දැපනේ වැටීදැයි අ‍ප‍ නොදන්නෙමු. අඩු තරමේ කට්ට කා වෙට්ට පිත්තල වූ යාචක බණකවත් ඇති සුළු ඇත්ත හෝ මුන්ට පෙනෙන දැනෙන හැගෙන කලක් ඒවා.

Tuesday, August 13, 2013

චක්කරේ

මිත්‍යාවෙන් විද්‍යාවට 

විද්‍යාවෙන් මිත්‍යාවට 

ඇත්තේ යාම් ඊම් 

කව්දෝ කීවාසේ 

එනවා  යනවා

ගැලවීමට වඩා 

ගැලවිජ්ජාව 

ලජ්ජාව නැති 

විලි ලජ්ජාව 

දවසෙන් දවස ගෙවෙමින් 

හැමදා එකම තැන 

ලගිමින් විදවමින් දොඩවමින්

මදු‍රුවෝ තලමින් හරි 

පාඩමට ගනු 

දිනකදි මුණගැහෙයි ප්‍රශ්නයක් 

දෙකක් තුනක් හතරක් 

ඊ‍ට වැඩියෙන් සමහරක් 

විදවන්න විසදන්න 

එදාට ඕනෑවෙයි 

දැනගන්න 

චක්කරේ 

සංසාර

සංසාර 

සංසාර

 


Thursday, August 8, 2013

හම්බරුවෝ සහ අම්බරුවෝ - උපමාවෙන් උගනිමු

සුදුස්සාත් නුසුදුස්සාත් බණ දෙසති. හරි පාරේ යන්නා බණ නැතත් අණක්‍ හෝ දීමට සුදුස්සෙකි. නමුත් කැලෑ පාරේ යමින් අවනීතියට උඩගෙඩි දෙමින් අණත් බණත් දෙසන්නෝ දැන් දැන් කරළියේ පොදි කති. 

වතුරේ පෙනෙන 'හද' ගලවා ගන්නට පොකුණේ දියත් මඩත් ඉසින්නෝ මෝඩයෝය. එනමුත් මේ දියත් මඩත් ඉසීම අද ශ්‍රද්දාවන්ත පින් කමක් කරගෙන තිබේ. දැන් දැන් දසතින් පෙනෙන්නේ ඇසෙන්නේ හද ගලවා ගැනීමේ මෙහෙයුමට ආරාධනාය. ඒ ආරාධනා කරන්නේත් ලෝකයේ ඇති ලොකුම පින්කම මේ හද ගලවා ගැනීම යනුවෙන් කියමිනි. දැන් මෙතැන එකම කෙළියකි. දිය ඉසින අතරේ එකිනෙකා දිය බුං ගසමින් එකිනෙකාට දිය ඉසිමින් විනෝදයේය. එමෙන්ම මඩෙත් මෙබදුම කෙළියකි. එකිනෙකා මඩේ ලගිමින්ද මඩ ගසා ගනිමින්ද ප්‍රීති වෙති. සියළුදෙනාගේ අරමුණ 'හද' ගලවා ගැනීමේ මෙහෙයුමයි. පොකුණේ දියත් මඩත් ඉස හද ගලවා ගැනීම මොවුන්ගේ අදහසයි. 

කුමක්ද මේ හද? රටේ ධර්මාලෝකය ධර්ම ප්‍රදීපය නිවී යන්නේය. එයට ප්‍රධානම දොස හම්බරුවන්ගේයැයි ඔවුන් කියති. ‍මෙය අද ඊයේ ප්‍රශ්නයක්ද නොවේ. නමුත් ගැටළුව ධර්ම ප්‍රදීපය නිවෙන්නේ හුදෙක් හම්බරුවෝයැයි ඔවුන් හදුන්වන උදවියගේ ක්‍රියාකලාපයෙන්ම පමණක්ද? පළමු වෙනස පටන් ගත යුත්තේ තමන්ගෙන්ම යැයි ඔවුන් නොදන්නෝය. ඔවුන්ට අවශ්‍ය ඝණකම පෙන්නීම පමණකි. ඇග පතේ හයියත් හිතේ හයි‍යත් පෙන්නන්නට පොකුණ වටා රැස්වී දිය ඉසීම මඩ ඉසීම ඒ හයිය පෙන්නීමට හොදය. හැබැයි ඉන් හද රැකෙන්නේ නැත. එවිට බුද්ධිය හා හදවත සමබරව පවත්නා උදවියට සිතෙන්නේ අනේ අම්බරුවනේ කියාය. 

අඩු ගණනේ හද ගැන හිතන වුන් බැලිය යුත්තේ පළමුව අහස දෙසය. දෙවනුව තේරුම් ගත යුත්තේ හද වළාවකට වැසුනත් හද වැනසිය නොහැකි බවයි. නමුත් අප පොළවේ සිට නංවන ඝන දුමාරයට හේතු වන ගිනි දළු නම් හද වසා ලන වළාකුළු නිමවීමට හේතුවන බව දෙවනුව තේරුම් ගැනීම බුද්ධිමත් කමයි. එබැවින් ඈත අහසේ සිහින් වළාවට වඩා, අපි විසින් නිර්මාණය කරන ධූම වළා භයානක බව සිහිකරගනු වටී. ඔය ගතේ හිතේ හයිය ඔළ මොල විදිහට මුදා හැරීමෙන් කිසිවෙකුටත් යහපතක් නම් තවදුරටත් සිදු නොවනු ඇති. 

සමහර තැනක කෙනෙකුගේ තර්කය පාලනයන් යාමනයන් සදහා මෙබදු හවුල් ඇවසි බවය. එය හැබෑවකි. නමුත් කිසිවෙකුගේ පාලනයට අවසන නතු නොවන හවුල් අවසන ඇති කරන්නේ බරපතළම අවුලකි. අවසන එබදු හවුල් පාලනය වන්නේ පිරිස දැක්කෙන දිශාවට මිස දක්කන දිශාවට නොවේ. අම්බරුවන්ගේ ශක්තිය වැඩිවූ විට ගැල පදවන්නාගේ මග නොව අම්බරුවන්ට අවැසි තැනට ගැල යනු ඇත. නමුත් වගකියන්නට වෙන්නේ අම්බරුවන්ට නොව ගැල පදවන්නාටයි, ඔහු සමාජයක් වෙනුවෙන් වග කියාවිද?

මාවත් ඇදගෙන මේ හරක් රැළ දිව්වා . . යී කීවොත්, 

එනිසා හම්බරුවන් මේච්චල් කරන්නට පෙර අම්බරුවන් මේච්චල් කරන්නට දරන උත්සාහය වඩා ඵලදායී වනු ඇත. අඩුගණනේ හම්බරුවන් දමනයට ගන්නා උත්සාහය විද්දේ හාවාට වැදුනේ පදුරට යන නියායෙන් අම්බරුවන්ගේ දමනයට වත් හේතු වේවා.

නැත්නම් හද ගලවන්නට ගොස් වතුරත් මඩත් ඉස අවසන අපට ඉන්නට වෙන්නේ තිබුණු වතුර ටිකත් නැතිව වියළුණු මඩ කට්ට මතය. අපටත් වඩා අපේ බාල පරපුරට එය උරුම වන්නට ඉඩ තිබේ, එනිසා පනින්ට පෙර සිතා බැලීම නැවත නැවතත් අප ප්‍රගුණ කළ යුතුය. පනින්නට ම උවමනා නම් පනින විදිහත් ප්‍රගුණ කළ යුතුමය. නැත්නම් අතපය හතර කඩාගෙන බකං නිලාගෙන බඩ උලාගෙන ඉන්නට සිදුවීම නම් අනිවාර්යයෙන් සිදුවේවි. ඒ ගැන අටුවා ටීකා තවත් කවර පනමකටද? අම්බරුවන් නම්..

Wednesday, August 7, 2013

තමන්ගේ ලයිට් බිලත් නොගෙවා අනුන්ගේ කරන්ට් එකෙන්...තවත් එක් අභුතයක්-

මගේ ගෙදර ලයිට් බිලත් නොගෙවා, අනු‍න්ගේ ගෙදර කරන්ට් ලයින් එකෙන් වැඩ ගන්නට හිතන්නෝ දැන් දැන් මෙහේ වැඩිවෙමින් යත්ද? කපුවා එක තැන සිට කරද්දී ගෝලයා දුව දුවා කරයි කියා කව්දෝ කියනවා ඇසුනා සේ ... බොන්නට දී මෝඩයන්ට නිකමුන්ට රස්සා දී හදා ගත් පිරිස දැන් දැන් දුව දුවා පහරනු පෙනේ. 

වරදත් නිවට දියාරු සිතිවිලිත් සියල්ල අවසන පාදඩ දේසපාලුවන්ට උගස් කරනා පරමාධිපත්‍යත් මරණයෙන් කෙළවර නොවනා සිදුවීම් වෙනුවෙන් ලංසු තැබීමත් කිසි ලෙසකින් කිසිවෙකුටත් ජය ලැබෙනා මාර්ග නොවේ.

ග හොදට තිබෙද්දී කිම බැදි වල යන්නේ දැයි පැවසූ සැටියෙන්ම නිවරද මාර්ගය සොයා ගන්නට වෙහෙස හෝ එය පාදා ගැනීමට දහදිය හෝ නොවගුරා.. තමන්ගේ ලයිට් බිලත් නොගෙවා අනුන්ගේ කරන්ට් ‍එකෙන් තමන්ගේ වැඩ කරගන්නට හිතන අපේ උන් කවදා කොතැනින් කොහොම නැගිටීවිද? 

මෙහෙම ගියොත් හැමදා මෙහෙම මිස එහෙම නොවේ.

එක එක රට්ටුන්ට කඩේ නොයා පොදු යුක්තිය හා සාධාරණය පෙනුවෙන් පුද්ගලිකව පෙනී ඉන්න, ඔබ නීති විශාරදයෙක් වීම මේ සදහා කිසිම සුදුසු කමක් නොවන බව කරුණාවෙන් සළකන්න.

තේරෙන සිංහලය කනකට නොගෙන තුන් සිංහලයම නෑදෑයෝ කිව්වාට පල නැත. එය හුදෙක් මූණිච්චාවක් ම වනු ඇත.