Thursday, August 8, 2013

හම්බරුවෝ සහ අම්බරුවෝ - උපමාවෙන් උගනිමු

සුදුස්සාත් නුසුදුස්සාත් බණ දෙසති. හරි පාරේ යන්නා බණ නැතත් අණක්‍ හෝ දීමට සුදුස්සෙකි. නමුත් කැලෑ පාරේ යමින් අවනීතියට උඩගෙඩි දෙමින් අණත් බණත් දෙසන්නෝ දැන් දැන් කරළියේ පොදි කති. 

වතුරේ පෙනෙන 'හද' ගලවා ගන්නට පොකුණේ දියත් මඩත් ඉසින්නෝ මෝඩයෝය. එනමුත් මේ දියත් මඩත් ඉසීම අද ශ්‍රද්දාවන්ත පින් කමක් කරගෙන තිබේ. දැන් දැන් දසතින් පෙනෙන්නේ ඇසෙන්නේ හද ගලවා ගැනීමේ මෙහෙයුමට ආරාධනාය. ඒ ආරාධනා කරන්නේත් ලෝකයේ ඇති ලොකුම පින්කම මේ හද ගලවා ගැනීම යනුවෙන් කියමිනි. දැන් මෙතැන එකම කෙළියකි. දිය ඉසින අතරේ එකිනෙකා දිය බුං ගසමින් එකිනෙකාට දිය ඉසිමින් විනෝදයේය. එමෙන්ම මඩෙත් මෙබදුම කෙළියකි. එකිනෙකා මඩේ ලගිමින්ද මඩ ගසා ගනිමින්ද ප්‍රීති වෙති. සියළුදෙනාගේ අරමුණ 'හද' ගලවා ගැනීමේ මෙහෙයුමයි. පොකුණේ දියත් මඩත් ඉස හද ගලවා ගැනීම මොවුන්ගේ අදහසයි. 

කුමක්ද මේ හද? රටේ ධර්මාලෝකය ධර්ම ප්‍රදීපය නිවී යන්නේය. එයට ප්‍රධානම දොස හම්බරුවන්ගේයැයි ඔවුන් කියති. ‍මෙය අද ඊයේ ප්‍රශ්නයක්ද නොවේ. නමුත් ගැටළුව ධර්ම ප්‍රදීපය නිවෙන්නේ හුදෙක් හම්බරුවෝයැයි ඔවුන් හදුන්වන උදවියගේ ක්‍රියාකලාපයෙන්ම පමණක්ද? පළමු වෙනස පටන් ගත යුත්තේ තමන්ගෙන්ම යැයි ඔවුන් නොදන්නෝය. ඔවුන්ට අවශ්‍ය ඝණකම පෙන්නීම පමණකි. ඇග පතේ හයියත් හිතේ හයි‍යත් පෙන්නන්නට පොකුණ වටා රැස්වී දිය ඉසීම මඩ ඉසීම ඒ හයිය පෙන්නීමට හොදය. හැබැයි ඉන් හද රැකෙන්නේ නැත. එවිට බුද්ධිය හා හදවත සමබරව පවත්නා උදවියට සිතෙන්නේ අනේ අම්බරුවනේ කියාය. 

අඩු ගණනේ හද ගැන හිතන වුන් බැලිය යුත්තේ පළමුව අහස දෙසය. දෙවනුව තේරුම් ගත යුත්තේ හද වළාවකට වැසුනත් හද වැනසිය නොහැකි බවයි. නමුත් අප පොළවේ සිට නංවන ඝන දුමාරයට හේතු වන ගිනි දළු නම් හද වසා ලන වළාකුළු නිමවීමට හේතුවන බව දෙවනුව තේරුම් ගැනීම බුද්ධිමත් කමයි. එබැවින් ඈත අහසේ සිහින් වළාවට වඩා, අපි විසින් නිර්මාණය කරන ධූම වළා භයානක බව සිහිකරගනු වටී. ඔය ගතේ හිතේ හයිය ඔළ මොල විදිහට මුදා හැරීමෙන් කිසිවෙකුටත් යහපතක් නම් තවදුරටත් සිදු නොවනු ඇති. 

සමහර තැනක කෙනෙකුගේ තර්කය පාලනයන් යාමනයන් සදහා මෙබදු හවුල් ඇවසි බවය. එය හැබෑවකි. නමුත් කිසිවෙකුගේ පාලනයට අවසන නතු නොවන හවුල් අවසන ඇති කරන්නේ බරපතළම අවුලකි. අවසන එබදු හවුල් පාලනය වන්නේ පිරිස දැක්කෙන දිශාවට මිස දක්කන දිශාවට නොවේ. අම්බරුවන්ගේ ශක්තිය වැඩිවූ විට ගැල පදවන්නාගේ මග නොව අම්බරුවන්ට අවැසි තැනට ගැල යනු ඇත. නමුත් වගකියන්නට වෙන්නේ අම්බරුවන්ට නොව ගැල පදවන්නාටයි, ඔහු සමාජයක් වෙනුවෙන් වග කියාවිද?

මාවත් ඇදගෙන මේ හරක් රැළ දිව්වා . . යී කීවොත්, 

එනිසා හම්බරුවන් මේච්චල් කරන්නට පෙර අම්බරුවන් මේච්චල් කරන්නට දරන උත්සාහය වඩා ඵලදායී වනු ඇත. අඩුගණනේ හම්බරුවන් දමනයට ගන්නා උත්සාහය විද්දේ හාවාට වැදුනේ පදුරට යන නියායෙන් අම්බරුවන්ගේ දමනයට වත් හේතු වේවා.

නැත්නම් හද ගලවන්නට ගොස් වතුරත් මඩත් ඉස අවසන අපට ඉන්නට වෙන්නේ තිබුණු වතුර ටිකත් නැතිව වියළුණු මඩ කට්ට මතය. අපටත් වඩා අපේ බාල පරපුරට එය උරුම වන්නට ඉඩ තිබේ, එනිසා පනින්ට පෙර සිතා බැලීම නැවත නැවතත් අප ප්‍රගුණ කළ යුතුය. පනින්නට ම උවමනා නම් පනින විදිහත් ප්‍රගුණ කළ යුතුමය. නැත්නම් අතපය හතර කඩාගෙන බකං නිලාගෙන බඩ උලාගෙන ඉන්නට සිදුවීම නම් අනිවාර්යයෙන් සිදුවේවි. ඒ ගැන අටුවා ටීකා තවත් කවර පනමකටද? අම්බරුවන් නම්..

No comments: