Thursday, August 15, 2013

පිබිදීම හා පිරිහීම නොහොත් ඔලුවෙන් හිටගෙන සිටිනා යටිකුරු ප්‍රතිබිමිබ

වචනාර්ථ ප්‍රයෝගික යථාර්තයන් හා ගලපා ගන්නට අසමත් විට සිදුවන්නේ බේදයකි. ජය කියා පරාජයට යන්නේත් සැප කියා දුක බදා ගන්නේත් බෙදා ගන්නට යනවා කියා බදා ගන්නේත් එවිටයි. මේ පටලා ගැනීමේ කතාවේ මුල් තැනම හිදින්නේ දේශපාලුවෝය. ඔවුන් එතැන හිදින්නේත් සිය කැමැත්තෙනි. මිනිස්සුන්ට එක් පොරොන්දුවක් දී පසුව ඒ වචන වලට වෙනත් අර්ථකතන දෙන්නේ ඔවුන්ය. එය සිය පැවැත්මේ මග කියා ඔවුන් සිතතත් සැබවින්ම එය ඔවුන්ගේ නැවැත්ම වෙත වැටෙන මගකි.‍ මන්ද මිනිසුන් තවත් කෙනෙකු පිළිබද තීරණයක් දෙන්නේ වචනයට වඩා ක්‍රියාව මත පදනම් වෙමින් වන බැවිනි.

අද අප රටේ බොහෝ දෙනා පිබිදීමක් ගැන කතා කරති. ආගමික වේවා, දේශපාලනික වේවා නැත්නම් සමාජීය කාරණා පදනම් කරගෙන හෝ ‍ඔවුන් කතාකරන්නේ නව පිබිදීමක අරමුණ පදනම් කරගනිමිනි.‍ නමුත් මෙලෙස පෙළ ගැසෙන්නට උත්සාහ කරන බොහෝ දෙනා තමන් ඉන්නේ පිබිදීමේ මාවතේද නැත්නම් පිරිහීමේ මාවතේද යන්න පළමුව තේරුම් කරගත යුතුය. 'පිහිය රත්තරන් කියා ඇනගන්නද' යනුවෙන් කතාවක් මා අසා තිබේ. රත්තරන් හෝ පිත්තල හෝ මළ නොකන වානේ හෝ පිහියකින් ඇන ගත්තොත් සිදුවන්නේ ඛේදයකි. එබැවින් පිහිය රත්තරන් වූ නිසා රත්තරන් පිහියකින් ඇන ගෙන මියයාමේ ඉතිහාසගත වීමක් බලාපොරොත්තු වන්නේ නම් ඒ පල් මෝඩ, තකතීරු බවක් , අමන කමක් බව බව අමුතුවෙන් කීමේ කිසිම අවශ්‍යතාවක් නොවේ. එවැනි මෝඩයින් ‍රටේ සාමාන්‍ය බහුතරය නොවන බව අපි විශ්වාස කරමු.

ඉතින් එහෙනම් සළකා බැලිය යුත්තේ මේ පිබිදීමේ මාර්ග පිරීහීමේ මාර්ග වී ඇත්තේ ඇයි දැයි යන්නයි. ධාර්මික බව සිහළ බව අපි මේ දිනවල පිබිදීමක් බලාපොරොත්තු වන කාරණා අතර පළමු තැනක රැදී ඇත. මේ ධාර්මිකත්වයත් සිහළ හෝ ජාතිකත්වයත් සැබවින්ම පිබිදීමකට ලක් විය යුත්තේ කෙසේද? නැත්නම් පිබිදීමේ මග කියමින් බොහෝ දෙනා ගන්නා මග පිරිහීමට මගක් නොවන්නේද? අප බොහෝ තැන්වලදී දකින්නේ නම් මේ පිරිහීමේ මග ගැනීම මිස පිබිදීමේ මග ගැනීම නම් නොවේ.

සරමක්, බැනියමක් හොදින් ඇදගෙන, චීත්තයක්, හැට්ටයක් හොදින් ඇදගෙන සිටින මිනිසා ගැහැනිය අපේ කමත් රැදි සුන්දර ගැමි මතක අවුලුවන දසුනකි. මේ ඇදගත් සරම චීත්තය වැටකින් පනින්නට උස්සාගත්තත් එය තරමට වඩා උත්සාගෙන දබරයට යන්නේ නම් එතැන කිසිම සුන්දරත්වයක් දැකිය නොහැකිය. විලි වසාගන්නට නම් රෙදි ඇදගත්තේ අමුඩය වුව සිහියෙන් දවටා ගෙන සිටීම වටී. යට ඇදුම උඩට ඇදගත් වීරයන් අනුගමනය කරන අපි අපේ සිහළ කම රැකගන්නටත්, අපේ ධාර්මික බව රැකගන්නටත් ‍තෝරා ගන්නේ රෙදි උත්සා ගන්නා ක්‍රමවේදය නම් එය පිරිහීමේ මිස පිබිදීමේ මග නොවේ. නිවැරදි සටන් කරුවා යනු ඇදගත් රෙද්ද තවදුරටත් තදකොට ඇද නිසි තැන සටන් බිමට  බහින තැනැත්තෙකු ‍මිස රෙදි උස්සා ගලවා ගෙන වැදෙන පදයට රගන්නෙක් නොවේ. ‍අනෙක දක්ෂ සටන් කරුවා කිසිවිටකත් නිකරුනේ තම ශක්තිය අපතේ නොහරින්නාසේම දුර්වලයින් පෙළා දමන්නෙකුද නොවේ. ඔහු තම දක්ෂතාවය ඔප්පු කරන්නේ පහර දීමෙන්ම නොව අනෙකාගේ පහර මගහැර නොවැටී නිවැරදිව තම ස්ථාවරයේ සිටිමින්ය. පහර දෙනවා නම් ඒ නිසි තැන නිසි එල්ලයේදී පමණි. ආවේගයෙන් වියරු වැටුනු පිස්සු බල්ලන් ලෙසින් නොවේ. එබදු ශික්ෂනයක් ඇත්තෝ පමණකි නිර්භීත සටන් කරුවන් වන්නේ, ඔවුන්ට පමණකි ප්‍රතිපත්තිමය පදනමක සිට සටන් කළ හැක්කේ.. ඔවුන් නිකං බුරන බල්ලෝ පමණක් නොවන නිසාය ඒ. ඉතිං එබදු සටන් කරුවන් ජාතියට දේශයට අවැසි යුගයක බුරන බල්ලෝ කරන්නේ ආවේග ඇවිස්සීම පමණකි. අවසන් ප්‍රතිඵලය තවත් නිහඩ බල්ලන් පිරිසක්, දඩාවතේ යන බල්ලන් පිරිසක් ආදී හැම බල්ලාම අවදි කරගැනීම පමණකි. එය වගකීම් විරහිත මෝඩ පිබිදීම නොවන පිරිහීමයි. කලක පටන් ටිකෙන් ටික පැමිණි මේ බිරුම් දැන් නිරර්ථක ලෙස සීමා මායිම් ඉක්මවා හැම තැන ඉබාගාතේ සරයි. මේවාට වග කියන්නන් තමන්ගේ උණුසුම ගැන මිස ඔවුන් කියනා ලෙසින්ම තම බාල පරපුර ගැන නුවණැතිව සිතා ඇත්ද? හැගීමෙන් පමණක් සියල්ල විසදිය නොහැකිය. බුද්ධිය ද යොදා නුවණැති නොවීමේ ඵලය ආපහු ඇතුන් තබා බැකෝ දහසක් යොදා වත් ඇද්දවිය නොහැකි නම් වනු ඇත.

කෙටියෙන් මුත් සිංහලයෙන් කියන්නට සිදුවන්නේ මේ ආටක නාටක ක්‍රමවේදයේ නම් සිහළ කමවත් ධර්මයවත් නොරැකෙන බවයි. ප්‍රතිපත්තියෙන් සටනට බහිනවා වෙනු‍වට කට පූචානමෙන් ලැබෙන්නේ ඒ පූචානමට ලැබෙන නොසරුප් වදන් සංග්‍රහයක් පමණි. 

එබැවින් නුවණ නැත්තෝ පදවලට නටද්දී නුවණ ඇත්තෝ නටන තැනත් වන්නමත් තෝරා ගත යුතුය. නැත්නම් දුවන මුවන් දැක නෙලූ පලා දමා ඒ පසුපස්සේ දිව්වාට නොදෙවෙනි ප්‍රතිඵල අපට නුදුරේම අත්විදින්නට සිදුවනු ඇත.

එබැවින් පිබිදීමත් පිහිරීමත් වෙන්වන තැන හදුනා ගන්න. පිරිහීමෙන් මිදී පිබිදීමට එකතු වන්න. කිසිවිටකත් ඔලුවෙන් හිටගත් යටිකුරු ප්‍රතිබිම්බයක් නොවන්න. මා දන්නා සිංහලයෙන් අපේ රැකුමට අපේ වයසට දැනෙන හැගෙන දේ කතාකළයුත්තේ මේ අයුරින්ය. යාචකයෝත් බණ කියන යුගයක පාලකයෝ හා යාමකයෝ කාගේ දැපනේ වැටීදැයි අ‍ප‍ නොදන්නෙමු. අඩු තරමේ කට්ට කා වෙට්ට පිත්තල වූ යාචක බණකවත් ඇති සුළු ඇත්ත හෝ මුන්ට පෙනෙන දැනෙන හැගෙන කලක් ඒවා.

No comments: