Showing posts with label අදාළ නෑ. Show all posts
Showing posts with label අදාළ නෑ. Show all posts

Wednesday, January 24, 2024

අන්සේෆ් ඕෆ්ලයින් සමාජයෙන් ඈත්ව ඔන්ලයින් සේෆ්ටි සමාජයේ ජීවත් වෙමු ! (සදාචාරවත් ඔන්ලයින් සමාජයක් උදෙසා ~ ඕෆ්ලයින් දුක් වේදනා අමතක කරමු)

රටේ සමාජයේ ජීවත් වීමේදී අනෙකාගේ අනාචාරය දුරාචාරය අවිචාරය නිසා අවම ~ සදාචාරය ඇති පුරවැසියාට පවා අසීමිත දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදුවීම අප රටේ ඛේදවාචකයකි. කොපමණ නීති තිබුණත් නීතිය සාධාරණව යුක්ති සහගතව ක්‍රියාත්මක නොවේ නම් ඒ උදෙසා අමතර පිරිවැයක් දරන්නට සිදුවේ නම් මුල්‍ය ශක්තිය නොමැති පුරවැසියාට අත්වන ඉරණම දෛවය හෝ ඇතැම් විට දෛවයේ සරදමක් විය හැකිය. එසේ මුල්‍ය ශක්තිය ඇත්තාට වුවද ඇත්තේ සාධාරණය උදෙසා පවතින උත්සාහක අවස්ථාවකි. නඩු නිමිති සාක්ෂි සාධක තර්ක විතර්ක ඔප්පු කිරීම් තුළ ඒ දිනුම තීරණය වනු ඇති. අද්දැකීම අනුව අපේ ඔෆ් ලයින් ජීවිතය තවමත් එතරම් සේෆ් නැත. ප්‍රමාණවත් විධායක හෝ ව්‍යවස්ථාදායක බලයටවත් තවදුරටත් එය සුව පහසු කිරීම පහසු නැති බව පෙනේ. ඒ අතින් අසමාන හොර බොරු වංචා දුෂණ නිසාම කළමණාකරනය කර ගත නොහැකිව බංකොලොත් වූ රටේ පුරවැසි ගිණුම එසේ අන්සේෆ් වෙද්දී අපේ මේ ඔන්ලයින් සමාජය සේෆ්ටි කිරීමට කටයුතු කිරීම සම්බන්ධව අදාළ තැනැත්තන්ට ස්තුති පුර්වක විය යුතුය. අඩු තරමේ ඕෆ්ලයින් ජීවිතයේ ඇති ජාගර පරිසරය ඔන්ලයින් තුළින් ඉවත් කොට සනීපයෙන් සැපෙන් ගිණුම් ගත වීමට හැකියාවක් ලබා දීම සැබවින්ම රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් වනු නම් නොඅනුමානය. තිරසර සංවර්ධනය හීනයක් කළ සමාජයකට මේ ඔන්ලයින් සමාජ සංවර්ධනය හොඳ නින්දක් වනු නැති ද...?

Sunday, December 31, 2023

2024 ~ Theory & Revision ~ නොවෙනස් නම් අපි හෙටටත් (ගේම ගහන හැටි)

ඔලුවක් නැති තිරසාර රටක් ~ නෑ වෙන්ට ඔබට කිසි බයක් ~ පරම්පරා හතකට මේක මරු/මාර ෆ්ලැට්ෆෝම් එකක් ~ ඔය එක පරම්පරාවකට සෙට් වෙන එක ඔබට අයිති වැඩක් ?

සින්දු ගහන නැටුම් ගහන පරම්පරාවක් ඉන්නවා

කුඩු ගහන කුඩු බෙදන පරම්පරාවක් ඉන්නවා

ඒ පරම්පරා හදපු පරම්පරාවත් ඉන්නවා

රටවැසියා බඩසයින් මියැදුනත් රස මසවුළු බුදිමින් රජ කරන පරම්පරාවක් ඉන්නවා

එතනට රට ගෙනාපු පරම්පරාවත් ඉන්නවා

ගේ දොර නාය යන තරමට පරිසරය සකස් කරපු පරම්පරාවත් ඉන්නවා

බඩ වෙනුවෙන් ඔලුව විකුණපු සියළු අවැඩ වෙනුවෙන් දායක වුණු පරම්පරාවත් ඉන්නවා

Sunday, December 17, 2023

ජය වේවා ! (රැවටීමට චියර්ස්)

දේශපාලකයෝ ගේම දුන්න
කලාකරුවෝ ආතල් දුන්න
මහ ජනයා බලය දුන්න
රටක් හැදුණු හැටි බලන්න

සේවකයෝ රජයට දුන්න
දායකයෝ ආගමට දුන්න
ගුරුවරු දරුවන්ට දුන්න
දායාදයෙ ඵල නෙළන්න

ඔබත් හාල් මිටක් දැම්ම
මමත් හාල් මිටක් දැම්ම
හැමෝම ගින්දරත් දැම්ම
කැඳක් නොමැති වතුර බොන්න

Monday, December 11, 2023

සිරිමත් මගෙ සකි ~ දොන් ජුවන් සැපට ඇති (සිරිලක සිරිසැප ~ නොලද සිරිමත / නිදිමත බුදිමත ~ දොන් ජුවන්ල සැපට ඇත)

ජාතිවාදය ආගම්වාදය මුග්ධවාදය මජරකම අවුස්සා බහුතර ඡන්දය දිනා ගත හැකිය. 

බදු ගසා රාජ්‍යයේ දේපළ විකුණා ගෙල මිරිකා සිහිමුර්ඡා කොට ප්රතිව්‍යූහගතකරණ සංදර්ශන පෙන්විය හැකිය.

වංචාව දූෂණයේ යෙදෙමින් හොරකම් මැරකම් කරමින් රට පාලනයට පූර්ණ සහාය දෙමින් ව්‍යාපාර කළ හැකිය.

වරප්රසාද භුක්ති විඳිමින් දේශපාලනය කරමින් නීති පනවමින් නීති නවමින් රටේ නිදහසේ කල් ගෙවිය හැකිය.

සාධාරණව යුක්ති සහගතව සාමකාමීව නීතිගරුකව නිදහසේ නිවහල්ව ජීවත්වීමට නොහැකිය. : !?

Saturday, December 9, 2023

රට කලා ~ 1/4 ක්‍රියා(කාලක්‍රියා) ~ ක්ලීන් ෂොට් ~ නොකවුට්

රටට කලාවක් ඕනෑය. ඒ රසවින්දනයට පමණක් නොවේ. ඥානනයට පමණක් නොවේ. රට භෞතික වශයෙන් ගොඩනැංවීමටත් කලාවක් අවැසිය. ගෙයක් දොරක්, වත්තක් පිටියක්, ගමක්, නගරයක් ගොඩනැගිය යුත්තේ ඒ අනුවය. රටක සංස්කෘතියක අතීත උරුමයන්ගෙන් අදටත් අපි දකින්නේ ඒ කලාවයි.

ගම පන්සල වැව දාගැබ ද එහෙම කලාවකි. ඈත මැත එහෙම ඉතිහාසයක ජීවිතයට ගමට පරිසරයට බද්ද වූ කලාවක්  අපට තිබිණි.
ඒ කලාව අද දක්වා අපි ඉදිරියට ගෙනවිත් ඇත්තේ කෙසේද?
රට රට වලින් ණය ආධාර ලැබුණු පමණට ඡන්ද ටිකක් බිලිබා ගත හැකි වූ පමණට තැන නොතැන නොයෙක් දේ ඇටවීමෙන් ඒ කලාවට රටට ලැබුණු පෝෂණය කවරේද? ඉන් සිදුවී ඇති විනාශය කොපමණද? ජීවිත දේපළ වශයෙන් ඒ ඒ අවස්ථා වල අපි ඒ ප්‍රතිඵල ගණනය කරමින් සිටින්නෙමු. වැසි සමයේ ගම් නගර යට වීමෙන් නොනැවතී වතුපිටි ගෙවල් දොරවල් ගිලා බැහීම දැන් සුලබ කරුණක් වී ඇත. ඊට හේතු මොනවාද? සුන්දර පරිසරය, ඉතිහාසයේ උරුමය පෙන්නා විදෙස් විනිමය ඉපයීම පිළිබඳ මහා උජාරුවකින් පාරම් බානා රටේ ගෙයක් දොරක්, පාරක් තොටක් ඉදිකිරීමේ දී රටට ගැලපෙන කලාවක් ක්‍රමයක් තිරසරභාවයක් ගැන කිසිඳු තැකීමක් අද උවමනා නැද්ද?
කෙස් පැළෙන තර්ක සහිත අපූරු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා තුළ ගොනු වූවාට එහි ප්‍රතිඵල වශයෙන් යහපතක අංශුමාත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දශකයකට තබා ශතකයකටවත් සිදු නොවන රටක අපට කළ හැක්කේ කුමක්ද?
තාක්ෂණික නිළධාරීන් හිටියාට, අණ පනත්  පොත් පත් තුළ තිබුණාට වගකීම් යුතුකම් පිළිබඳ බහුතරයාට ඇත්තේ එකම කැත ගතියකි. එනම් එකිනෙකාට බෝල පාස් කරන ~ අදාළත්වය පැහැර හරින මඟහරින ~ ඇඟ බේරා ගන්නා තක්කඩි නින්දිත නිවට ස්වභාවයයි.
වැල යන අතට මැස්ස ගැසීම, එන එන අතට උළුවහු ගැසීම දිගටම ක්‍රියාත්මක ය. වමට දකුණ කරන්නට දකුණට වම කියන්නටත් කිසිඳු විලි ලජ්ජාවකින් තොරව ඒ පැත්ත මේ පැත්ත හැරෙන්නට වගකිව යුත්තන්ට හැකිය. හොඳට බුරන්නට හැකි නම් බල්ලෙක්ට වුව රට කරන කලාවේ හොඳ නමක් සහ තැනක් හදා ගන්නට හැකිය. රට ගොඩනැගීම පිළිබඳ නූතනයේ අපේ කලාව ඇත්තේ එබඳු තැනකය. 

මජර තක්කඩිකම් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි හිමි පිරිස් රටට නායකත්වය දෙන්නේ රට කරන්නේ එහෙම කලාවකටය. ඉංග්‍රීසීන්ට රට බාර දුන්නාට වඩා ජාත්‍යන්තර සමාගම් හොඳ වනු ඇත. ඉන්දියාව චීනය අපට විශ්වාසය. ඇමරිකාව? තවත් රටවල් එමට. ඔවුන් අපේ හෙට දවසට මඟ පෙන්වනු ඇත. ඒ මඟ පෙන්වීම අපට අලුත් සංස්කෘතියක් තනනු ඇත. ඉංග්‍රීසින්ගේ පාලම් බෝක්කු රේල්ලු වලට පසු මේ මිත්‍ර ජාත්‍යන්තරය ශක්තිමත් ආකෘතින් ඔස්සේ නාය යන ගෙපැලේ සිට අප ගොඩ ගනු ඇත. රටම ගිලා බැස්සත් සියළු මහා මාර්ග හයිවේ කළ යුතුමය. දිනපතා කව්රුන් බිලි වුවත් අලි මිනිස් ගැටුම විසඳුම් නොමැති පුවත් බවටම පත් කළ යුතුය.

ගම ...යාව ...නය ...කාව
අප ගෙවල් දොරවල් ගම් නගර තැනිය යුත්තේ එහෙම 1/4 ක්‍රියා කලාවකටය ~ කාලක්‍රියාවකටය. පාලකයින්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ එමමය. වචන මරනවාට එහා රටේ අක් මුල් ගැන ඔවුන් දන්නා දෙයක් නැත.

Monday, December 4, 2023

නූල කැඩුණු සරුංගලේ (පරමාධිපත්‍ය උඩු හුළඟට !)

රජා රට කරපු කාලේ තිබුණු කුල ක්‍රමයත් ආණ්ඩු රට කරන කාලේ ඇති පක්‍ෂ ක්‍රමයත් රට ශක්තිමත් කළේ හෝ කර නැත. ඉන් ජනතා මතය පමණක් නොව ජනතාවම බෙදුවේය. බල තණ්හාවෙන් වරප්‍රසාද භුක්තියට ඇති කෑදර කමින් රජකම් කළ උන් ද ආණ්ඩු කළ උන්ද උන් ශක්තිමත් කළ උන් ද හැදුවේ රට නොව තම පරපුර හා ඔවුන්ගේ අනාගතය පමණි. එදා සිට රටේ තරුණ උදවිය රට ජාතිය ආගම සාධාරණය යුක්තිය සමානාත්මතාව නාමයෙන් කොතැන කෙලෙස බිලිවුවද බිලිකලද ඒ මඟින් රටේ ඉරණම යහපත් කර ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඒ සියළු ක්‍රියාදාමයන් අවසානයේ මජර දේශපාලනයේ ගොදුරු බවට පමණක් පත්විය. ආණ්ඩු ප්‍රශ්න හැදුවා සේම ඒවා නිරාකරණය කළේත් එහෙමය. භීෂණයත් යුද්ධයත් අරගලයත් තරුණයාත් ආණ්ඩු වලට එකක්ම වූයේ ඒ අනුවය. මේ තාක් රටේ ආණ්ඩු නියමින් අනියමින් පන්න පන්නා රටේ තරුණයින්ට ඔවුන්ගේ මතවාදයන්ට වැඩේ දුන්නා මිස රටේ ප්රගමනයට ඔවුන් හෝ ඔවුන්ගේ සංකල්ප දායක කර ගත්තේ නැත.

හැමගේ ශක්තියෙන් රට ඔසවා තබනු වෙනුවට පාණ්ඩුව හැදුණු ආණ්ඩු රටත් ජනතාවත් හිඟමනට දැමුවේය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනාට කිසි කලක ආණ්ඩු කළ උන්ට හෝ රට කළ උන්ට පාණ්ඩුව හැදුනේ නැත. ඉන් වැනසුනේ රටේ සමාන්‍ය ජනතාවය. රටය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනේ රාජ්‍යයේ රුධිරය කිරට හරවමින් උරා බිව් ජනතාවක් නිසාද අකාලයේ විනාශ කළ තරුණ පරපුරක් නිසාද රාජ්‍ය භාවය ඉල්ලමක් කොට ගත් නිලධාරී පැළැන්තියක් නිසාද නොඑසේ නම් එන්නත් කටු ගසා රුධිරය අමු අමුවේ ඩැහැගත් කොල්ලකාගත් පිරිස් හා ඊට උඩගෙඩි දෙමින් රටේ ආණ්ඩු කළ පිරිස් නිසා ද යන්න තවමත් රටට රහසක්ද?

ගේ දොර හරක බානේ සිට තම දරු සිඟිත්තා දක්වා ඔට්ටු තබමින් සූදු කෙළින්නෙකුගෙන් මේ රාජ්‍ය කළ උන් වෙනස් වන්නේ නැත. එකිනෙකාට තම හෘද සාක්ෂිය ගලවා ගැනීමේ චරිත සහතික හෝ හැන්සාඩ් වාර්තා තිබිය හැකිමුත් රටක් ජාතියක් හිඟන වින්දනයකට ඇද දැමුණු පාප කර්මයෙන් මිදීමට කිසිවෙකුට කිසිදා හැකි වනු ඇති ද?

එසේ නොහැකි වන්නේ බලය හා ඊලඟ වාරය ගැන මිස තමන් පත් වූ කාල සීමාවේ වැඩ පිළිවෙල හෝ තමන්ට ඉතිරි වී ඇති කාලය පිළිබඳ හෝ රටේ කාලය විනාශ කර දැමීමෙන් ඇතිවී ඇති කාලකන්ණි කම පිළිබඳ හෝ වදවෙන වගවෙන වගකීමක් දරණ එකෙක් අදටත් මේ රටේ පාලනයේ දක්නට නැති නිසාය.

කුල ක්රමයක් හෝ පක්‍ෂ ක්‍රමයක් තුළ පැමිණෙන බ්‍රෝකර්ලාට මහජන නියෝජිතයින් යැයි කීමට සූදානම් පිරිසක් තවදුරටත් දක්නට ඇති නිසාය.

Friday, December 1, 2023

පච රජ වීම ~ රට පච වීම (රජාගේ සෙට් එකේ ආතල් එකට සෙට් වෙමු)

දේවාලයක් කරන්න එපා මේක, පච මෝලක් කරන්න ~ මැරෙනකම්ම තව තියෙනව, හතරවරම් දිග අරින්න

Thursday, November 30, 2023

Tuesday, November 28, 2023

හෙලුවෙන් ම ඉන්නට ලැබේවා'යි සුබ පතමු ! (හොරුන්ගේ ජනපති)

 හොරු නැති රටේ ඇඳි වත ඉනු ජනපතිට

සහායට අගමැති ද මැති ඇමතිද පැමිණ

හැම දෙන හිඳින විට හෙලුවෙන් එක පෙළට

ආඩම්බරයි හොරු නැති රට හොරු හැමට

Tuesday, November 21, 2023

උනුන් වෙනුවෙන් සට්ටැඹි කාර්ය කරගනු ~ රටට හෙන ගහපු දෙන්!

රට වැසියා වෙනුවෙන් නැති සටන්කාමිත්වයකින් ස්වකීය හාම්පුතුන් වෙනුවෙන් බුරන බල්ලෝ සිටින පාර්ලිමේන්තු සඳහා දරණ වියදම් බලු කපුටු දානයක් ලෙස සළකමු!

Friday, November 10, 2023

මනෝ පුබ්බංගමා ධම්මා ~ මානසික බංකොළොත්භාවය

ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?

විකුණමු


 

Saturday, November 4, 2023

මේක ලංකාවේ දෛවය ~ කිසිවෙකු කිසිවකට වගකිවයුතු නැහැ! (pass your ball)

රට නොහැදුවට භූමි භූමිපුත්‍රයෝ නොහැදුවට ඔවුන් තමන් වෙනුවෙන් ලක්ෂ ගණනින් ඡන්ද දායකයො හැදුවා ~ අදටත් හෙටටත් හදනවා ~ ඒකට කාටත් වැඩ පිළිවෙලක් තියෙනවා, ප්‍රතිපාදන තියෙනවා!

රෝහල් ළඟ මල් ශාලාව තියෙනවා!

බංකොලොත්භාවය ළඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙනවා!

ඊළඟ ජනපතිවරණයට අපේක්ෂකයො ඉන්නවා!

මේ ලෝක කුසලානෙට පස්සේ ඊළඟ ලෝක කුසලානය තියෙනවා!

හැමදාටම හැමදේටම අපි ළඟ ඕන තරම් විචාර විවේචන තියෙනවා!

ආන්දෝලනයක් නම් විධායක ජනාධිපතිගෙ කොමිසන් තියෙනවා!