Monday, December 4, 2023

නූල කැඩුණු සරුංගලේ (පරමාධිපත්‍ය උඩු හුළඟට !)

රජා රට කරපු කාලේ තිබුණු කුල ක්‍රමයත් ආණ්ඩු රට කරන කාලේ ඇති පක්‍ෂ ක්‍රමයත් රට ශක්තිමත් කළේ හෝ කර නැත. ඉන් ජනතා මතය පමණක් නොව ජනතාවම බෙදුවේය. බල තණ්හාවෙන් වරප්‍රසාද භුක්තියට ඇති කෑදර කමින් රජකම් කළ උන් ද ආණ්ඩු කළ උන්ද උන් ශක්තිමත් කළ උන් ද හැදුවේ රට නොව තම පරපුර හා ඔවුන්ගේ අනාගතය පමණි. එදා සිට රටේ තරුණ උදවිය රට ජාතිය ආගම සාධාරණය යුක්තිය සමානාත්මතාව නාමයෙන් කොතැන කෙලෙස බිලිවුවද බිලිකලද ඒ මඟින් රටේ ඉරණම යහපත් කර ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඒ සියළු ක්‍රියාදාමයන් අවසානයේ මජර දේශපාලනයේ ගොදුරු බවට පමණක් පත්විය. ආණ්ඩු ප්‍රශ්න හැදුවා සේම ඒවා නිරාකරණය කළේත් එහෙමය. භීෂණයත් යුද්ධයත් අරගලයත් තරුණයාත් ආණ්ඩු වලට එකක්ම වූයේ ඒ අනුවය. මේ තාක් රටේ ආණ්ඩු නියමින් අනියමින් පන්න පන්නා රටේ තරුණයින්ට ඔවුන්ගේ මතවාදයන්ට වැඩේ දුන්නා මිස රටේ ප්රගමනයට ඔවුන් හෝ ඔවුන්ගේ සංකල්ප දායක කර ගත්තේ නැත.

හැමගේ ශක්තියෙන් රට ඔසවා තබනු වෙනුවට පාණ්ඩුව හැදුණු ආණ්ඩු රටත් ජනතාවත් හිඟමනට දැමුවේය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනාට කිසි කලක ආණ්ඩු කළ උන්ට හෝ රට කළ උන්ට පාණ්ඩුව හැදුනේ නැත. ඉන් වැනසුනේ රටේ සමාන්‍ය ජනතාවය. රටය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනේ රාජ්‍යයේ රුධිරය කිරට හරවමින් උරා බිව් ජනතාවක් නිසාද අකාලයේ විනාශ කළ තරුණ පරපුරක් නිසාද රාජ්‍ය භාවය ඉල්ලමක් කොට ගත් නිලධාරී පැළැන්තියක් නිසාද නොඑසේ නම් එන්නත් කටු ගසා රුධිරය අමු අමුවේ ඩැහැගත් කොල්ලකාගත් පිරිස් හා ඊට උඩගෙඩි දෙමින් රටේ ආණ්ඩු කළ පිරිස් නිසා ද යන්න තවමත් රටට රහසක්ද?

ගේ දොර හරක බානේ සිට තම දරු සිඟිත්තා දක්වා ඔට්ටු තබමින් සූදු කෙළින්නෙකුගෙන් මේ රාජ්‍ය කළ උන් වෙනස් වන්නේ නැත. එකිනෙකාට තම හෘද සාක්ෂිය ගලවා ගැනීමේ චරිත සහතික හෝ හැන්සාඩ් වාර්තා තිබිය හැකිමුත් රටක් ජාතියක් හිඟන වින්දනයකට ඇද දැමුණු පාප කර්මයෙන් මිදීමට කිසිවෙකුට කිසිදා හැකි වනු ඇති ද?

එසේ නොහැකි වන්නේ බලය හා ඊලඟ වාරය ගැන මිස තමන් පත් වූ කාල සීමාවේ වැඩ පිළිවෙල හෝ තමන්ට ඉතිරි වී ඇති කාලය පිළිබඳ හෝ රටේ කාලය විනාශ කර දැමීමෙන් ඇතිවී ඇති කාලකන්ණි කම පිළිබඳ හෝ වදවෙන වගවෙන වගකීමක් දරණ එකෙක් අදටත් මේ රටේ පාලනයේ දක්නට නැති නිසාය.

කුල ක්රමයක් හෝ පක්‍ෂ ක්‍රමයක් තුළ පැමිණෙන බ්‍රෝකර්ලාට මහජන නියෝජිතයින් යැයි කීමට සූදානම් පිරිසක් තවදුරටත් දක්නට ඇති නිසාය.

2 comments:

මයියා said...

දිර්ඝ ලිපියක් ලිව්වට ස්තුතියි..

පාලකයො වැරදියි තමයි...ඒ වගේම නිකං ඉදගෙන කන්න බොන්න බලං, රොබින් හුඩ් දේශපාලකයන්ට ජන්දෙ දුන්න මිනිස්සු වැරදි නැද්ද?

මේ දෙගොල්ල්ම කලේ රටේ අනාගත පරපුර උකස් කරලා ණයට අරං කාලා බීලා ජොලියෙ හිටපු එක නොවෙද? -Mayya

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ඔබේ විමසීමට ස්තූතියි Mayya,
මං හිතන්නෑ රොබින් හුඩ් හෝ සරදියෙල් පන්නයේ දේශපාලකයො ඉන්නවා කියන එක. ඒක එක්තරා ජනප්‍රිය පන්නයේ රංගයක් විතරයි.
දේශපාලනයේ ස්වරූපය වෙනස් කරන්න ඕන මිනිස්සුම තමයි. නමුත් ඒ ඒ මොහොතේ අවශ්‍යතා හැරුණම රටේ මිනිස්සු බහුතරය බොහොම නිද්රාශීලියි, විශේෂයෙන් ගම් දනව්වල අපේක්ෂාවන්. රටක් කඩා වැටෙනකන් කාගෙවත් ඇස් ඇරෙන්නේ නෑ. ඒ කියන්නෙ ඔවුන් ගමේ රටේ සිද්ද වෙන දේ නොදන්නවා කියන එකද ? නෑ. තමන්ට අවුලක් නැති තාක් රටේ කොතැන මොනව වුනත් තමන්ට අදාළ නෑ කියන සිතිවිල්ලක්. අපි පුදුම විදිහට ඒ හිතිවිලිවලට ගැති වෙලා. දේශපාලකයා ඒ චින්තනේ හසුරවනවා ගමේ ප්‍රාදේශීය සභා වේ ඉඳන් විධායකය දක්වාම. අපි දේශපාලක බ්‍රෝකර්ලා පිළිගන්නේ ඔවුන්ට වගේම අපිටත් ලාබ ගනුදෙනුවක් ගැන හිතාගෙන. අවසානෙට ලාබ දේට හැමදාම අපි රැවටෙනවා.
ඔය හදාගත්තු පට්ටම බිඳගෙන අලුත් වෙන්න කම්මැලි කමටත් වඩා අපි බයයි ~