Saturday, December 9, 2023

රට කලා ~ 1/4 ක්‍රියා(කාලක්‍රියා) ~ ක්ලීන් ෂොට් ~ නොකවුට්

රටට කලාවක් ඕනෑය. ඒ රසවින්දනයට පමණක් නොවේ. ඥානනයට පමණක් නොවේ. රට භෞතික වශයෙන් ගොඩනැංවීමටත් කලාවක් අවැසිය. ගෙයක් දොරක්, වත්තක් පිටියක්, ගමක්, නගරයක් ගොඩනැගිය යුත්තේ ඒ අනුවය. රටක සංස්කෘතියක අතීත උරුමයන්ගෙන් අදටත් අපි දකින්නේ ඒ කලාවයි.

ගම පන්සල වැව දාගැබ ද එහෙම කලාවකි. ඈත මැත එහෙම ඉතිහාසයක ජීවිතයට ගමට පරිසරයට බද්ද වූ කලාවක්  අපට තිබිණි.
ඒ කලාව අද දක්වා අපි ඉදිරියට ගෙනවිත් ඇත්තේ කෙසේද?
රට රට වලින් ණය ආධාර ලැබුණු පමණට ඡන්ද ටිකක් බිලිබා ගත හැකි වූ පමණට තැන නොතැන නොයෙක් දේ ඇටවීමෙන් ඒ කලාවට රටට ලැබුණු පෝෂණය කවරේද? ඉන් සිදුවී ඇති විනාශය කොපමණද? ජීවිත දේපළ වශයෙන් ඒ ඒ අවස්ථා වල අපි ඒ ප්‍රතිඵල ගණනය කරමින් සිටින්නෙමු. වැසි සමයේ ගම් නගර යට වීමෙන් නොනැවතී වතුපිටි ගෙවල් දොරවල් ගිලා බැහීම දැන් සුලබ කරුණක් වී ඇත. ඊට හේතු මොනවාද? සුන්දර පරිසරය, ඉතිහාසයේ උරුමය පෙන්නා විදෙස් විනිමය ඉපයීම පිළිබඳ මහා උජාරුවකින් පාරම් බානා රටේ ගෙයක් දොරක්, පාරක් තොටක් ඉදිකිරීමේ දී රටට ගැලපෙන කලාවක් ක්‍රමයක් තිරසරභාවයක් ගැන කිසිඳු තැකීමක් අද උවමනා නැද්ද?
කෙස් පැළෙන තර්ක සහිත අපූරු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා තුළ ගොනු වූවාට එහි ප්‍රතිඵල වශයෙන් යහපතක අංශුමාත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දශකයකට තබා ශතකයකටවත් සිදු නොවන රටක අපට කළ හැක්කේ කුමක්ද?
තාක්ෂණික නිළධාරීන් හිටියාට, අණ පනත්  පොත් පත් තුළ තිබුණාට වගකීම් යුතුකම් පිළිබඳ බහුතරයාට ඇත්තේ එකම කැත ගතියකි. එනම් එකිනෙකාට බෝල පාස් කරන ~ අදාළත්වය පැහැර හරින මඟහරින ~ ඇඟ බේරා ගන්නා තක්කඩි නින්දිත නිවට ස්වභාවයයි.
වැල යන අතට මැස්ස ගැසීම, එන එන අතට උළුවහු ගැසීම දිගටම ක්‍රියාත්මක ය. වමට දකුණ කරන්නට දකුණට වම කියන්නටත් කිසිඳු විලි ලජ්ජාවකින් තොරව ඒ පැත්ත මේ පැත්ත හැරෙන්නට වගකිව යුත්තන්ට හැකිය. හොඳට බුරන්නට හැකි නම් බල්ලෙක්ට වුව රට කරන කලාවේ හොඳ නමක් සහ තැනක් හදා ගන්නට හැකිය. රට ගොඩනැගීම පිළිබඳ නූතනයේ අපේ කලාව ඇත්තේ එබඳු තැනකය. 

මජර තක්කඩිකම් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි හිමි පිරිස් රටට නායකත්වය දෙන්නේ රට කරන්නේ එහෙම කලාවකටය. ඉංග්‍රීසීන්ට රට බාර දුන්නාට වඩා ජාත්‍යන්තර සමාගම් හොඳ වනු ඇත. ඉන්දියාව චීනය අපට විශ්වාසය. ඇමරිකාව? තවත් රටවල් එමට. ඔවුන් අපේ හෙට දවසට මඟ පෙන්වනු ඇත. ඒ මඟ පෙන්වීම අපට අලුත් සංස්කෘතියක් තනනු ඇත. ඉංග්‍රීසින්ගේ පාලම් බෝක්කු රේල්ලු වලට පසු මේ මිත්‍ර ජාත්‍යන්තරය ශක්තිමත් ආකෘතින් ඔස්සේ නාය යන ගෙපැලේ සිට අප ගොඩ ගනු ඇත. රටම ගිලා බැස්සත් සියළු මහා මාර්ග හයිවේ කළ යුතුමය. දිනපතා කව්රුන් බිලි වුවත් අලි මිනිස් ගැටුම විසඳුම් නොමැති පුවත් බවටම පත් කළ යුතුය.

ගම ...යාව ...නය ...කාව
අප ගෙවල් දොරවල් ගම් නගර තැනිය යුත්තේ එහෙම 1/4 ක්‍රියා කලාවකටය ~ කාලක්‍රියාවකටය. පාලකයින්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ එමමය. වචන මරනවාට එහා රටේ අක් මුල් ගැන ඔවුන් දන්නා දෙයක් නැත.

No comments: